Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ මාර්ගයෙහි ගමන් කිරීමෙන් අත් වන මහඟු ඵල

යෙහෝවාගේ මාර්ගයෙහි ගමන් කිරීමෙන් අත් වන මහඟු ඵල

යෙහෝවාගේ මාර්ගයෙහි ගමන් කිරීමෙන් අත් වන මහඟු ඵල

ඔබ කවදා හෝ කඳු තරණය කර තිබෙනවාද? ඔබ එසේ කර තිබෙනවා නම් හරියට ලෝකයේ පියස්ස උඩ ඉන්නවා කියන හැඟීම ඔබට ඇති වූවාට සැකයක් නැහැ. කඳු මුදුන කරා හමා එන නැවුම් සීතල සුළඟේ සුවය විඳින්න ලැබීමත් කඳු ගැට්ටෙන් එහා ඈත එපිට දිස් වෙන දසුනෙන් නෙත් පිනවාගන්න ලැබීමත් මොනතරම් ප්‍රියජනක අද්දැකීමක්ද! එහි සිට පහත බලන විට අපව කනස්සල්ලට පත් කරවන සමහර දේවල් එතරම් වැදගැම්මකට නැති දේවල් කියා හැඟෙන්න පුළුවන්.

බොහෝ අය මෙවැනි ගමන්වලින් විනෝදයක් ලබන්නේ ඉතා කලාතුරකින්. කෙසේ නමුත් ඔබ කැපවූ ක්‍රිස්තියානියෙක් නම් ඔබ කාලයක් පුරා ආත්මික අර්ථයකින් කඳු නිම්නවල සැරිසරමින් සිටිනවා වන්න පුළුවන්. ගීතිකාකරු කළා හා සමානව ඔබත් මෙසේ යාච්ඤා කර තිබෙනවාට නිසැකයි. “යෙහෝවා, ඔබගේ මාර්ග මට දැක්වුව මැනව. ඔබගේ මාවත් මට ඉගැන්නුව මැනව.” (ගීතාවලිය 25:4) යෙහෝවාගේ ගෘහය පිහිටි කන්දට ගොස් එම උස් තැන්වල ඔබ ගමන් ගත් පළමු වතාව මතකද? (මීකා 4:2; හබක්කුක් 3:19) පවිත්‍ර නමස්කාරය නමැති මෙම උස් බිම්වල ගමන් කිරීමෙන් ඔබට ආරක්ෂාවක් හා ප්‍රීතියක් ගෙන දුන් බව අමුතුවෙන් මතක් කළ යුතු නැහැ නේද? ඔබටත් ගීතිකාකරු හා සමානව හැඟෙන්න පටන්ගත් බව නියතයි. “ප්‍රීතිමත් හඬ දන්නාවූ සෙනඟ ආශීර්වාද ලද්දෝය [සන්තෝෂවත්ය, NW]. යෙහෝවා, ඔවුහු ඔබගේ මුහුණේ එළියෙහි හැසිරෙති.”—ගීතාවලිය 89:15.

සමහර අවස්ථාවලදී, මෙම කඳු තරණය කරන සංචාරකයන්ට තියුණු බෑවුම් සහිත ප්‍රදේශයකින් ගමන් කිරීමට මහත් වෙහෙසක් දැරිය යුතු වෙනවා. ඔවුන්ගේ පාදවලට දැනෙන වේදනාව ඔවුන්ව විඩාවට පත් කරයි. ඒ හා සමානව අපටද අපේ දේවසේවයේදී යම් යම් අසීරුතාවලට මුහුණ දීමට සිදු වෙයි. මෑතකදී අප අද්දුටු සමහර තත්වයන් ටිකක් පීඩාකාරි හා වෙහෙසකාරි වෙන්නට ඇති. නමුත් නැවත අපේ ජවය හා ප්‍රීතිය ලබාගන්නේ කෙසේද? මේ සඳහා ගත හැකි පළමුවෙනි පියවර වන්නේ යෙහෝවාගේ මාර්ගවල උත්කෘෂ්ටභාවය තේරුම්ගැනීමයි.

යෙහෝවාගේ උසස් නීති

යෙහෝවාගේ මාර්ග ‘මනුෂ්‍යයාගේ මාර්ගවලට වඩා උසස්’ වන අතර ඔහුගේ නමස්කාරය ‘කඳුවල මුදුනේ [ස්ථිරව, NW] පිහිටවනු ලබන්නේය. හෙල්වලට වඩා උසස් වන්නේය.’ (යෙසායා 55:9; මීකා 4:1) යෙහෝවාගේ ප්‍රඥාව ‘ඉහළින් පැමිණෙන ප්‍රඥාවයි.’ (යාකොබ් 3:17) ඔහුගේ නීති අන් සියලුම නීතිවලට වඩා ශ්‍රේෂ්ඨයි. උදාහරණයක් ලෙස කානානිවරු තම දූ පුතුන් කුරිරු ලෙස පූජා කරන විට යෙහෝවා ඉශ්‍රායෙලිතයන්ට සදාචාරමය වශයෙන් උසස් හා දයාවන්ත නීති දුන්නා. ඔහු කිව්වේ “දිළින්ඳාගේ පහත් තත්වයවත්, බලවතාගේ උසස් තත්වයවත් [නොසලකන්න]. . . නුඹලා අතර වාසය කරන විදේශිකයා සැලකිය යුත්තේ, නුඹලා අතර උපන් කෙනෙකු මෙන් ය.”—ලෙවී කථාව [ලෙවී ව්‍යවස්ථාව] 19:15, 34, නව අනුවාදය.

ඉන් සියවස් පහළොවකට පමණ පසු යේසුස් යෙහෝවාගේ ‘තේජවත් ව්‍යවස්ථාව’ සම්බන්ධයෙන් තවත් උදාහරණ ගෙනහැර දැක්වූවා. (යෙසායා 42:21, NW) කන්ද උඩ දේශනාවේදී යේසුස් ඔහුගේ ගෝලයන්ට පැවසුවේ “ඔබේ සතුරන්ට දිගටම ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න. ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ බව ඔප්පු කරන පිණිස මෙසේ කරන්න.” (මතෙව් 5:44, 45, NW) “එබැවින් අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, එලෙසම ඔවුන්ට කළ යුතුය. ව්‍යවස්ථාවෙත් අනාගතවාක්‍යයෙත් හරය මෙයයි.”—මතෙව් 7:12, NW.

මෙම උසස් නීතිවලට ප්‍රතිචාරය දක්වන අයගේ හෘදවල ඒවා පැලපදියම් වී තිබෙන අතර ඔවුන් නමස්කාර කරන දෙවිව අනුකරණය කිරීමට ඒවා ඔවුන් තුළ පෙලඹීමක් ඇති කරයි. (එපීස 5:1; 1 තෙසලෝනික 2:13) පාවුල් ඔහුගේ ජීවිතයේ කළ පරිවර්තනය ගැන මඳකට සිතා බලන්න. ඔහුගේ ජීවිතයේ මුල් කාලයේ ඔහු ස්තේපන්ව “මරණයට පත් කිරීම අනුමත කළේය.” තවද ඔහු “සභාව වනසන්න පටන්ගත්” බවද කියැවේ. නමුත් ඉන් අවුරුදු කිහිපයකට පසු ඔහු “කිරි මවක් ඇගේම දරුවන් පෝෂණය කරන්නාක් මෙන්” තෙසලෝනික සභාවේ සිටි අය සමඟ ඉතා මුදු මොළොක් ලෙස කටයුතු කළේය. පීඩා කරන්නෙකු වූ පාවුල් ක්‍රිස්තියානින්ව ආදරයෙන් රැකබලා ගන්නෙකු දක්වා පරිවර්තනය වූයේ දිව්‍ය ඉගැන්වීම නිසයි. (ක්‍රියා 8:1, 3, NW; 1 තෙසලෝනික 2:7) යේසුස්ගේ ඉගැන්වීම් තුළින් තම ජීවිතය යහ මඟට ගෙන ඒමට හැකිවීම පිළිබඳව ඔහු ඇත්තෙන්ම කෘතඥපූර්වක වූවා. (1 තිමෝති 1:12, 13) එයාකාර අගය කිරීමක් පෙන්වීම අපටත් දෙවිගේ උසස් මාර්ගවල ගමන් කිරීමට උපකාරයක් විය හැක්කේ කෙසේද?

අගයෙන් පූර්ණ ගමනක්

පරිසරකාමී සංචාරකයන් පරිසරය දායාද කරන සිත්තම් නරඹන්නේ ප්‍රීතියෙන්. එමෙන්ම මඟ දෙපස සරසන ඕනෑම දර්ශනයක් ඔවුන් වැළඳගන්නේ මහත් ආදරයෙන්. සමහරවිට මෙය අසාමාන්‍ය ගල් කැටයක්, ලස්සන මලක් හෝ වන සතෙක් වෙන්න පුළුවන්. ආත්මික අර්ථයකින් දෙවි සමඟ ගමන් කිරීමේදී ලැබෙන කුඩා හා විශාල දායාද කෙරෙහි අප විමසිලිමත්ව සිටිය යුතුයි. මෙය වටහාගැනීමෙන් වෙහෙසකාරි ගමනක් ප්‍රාණවත් එකක් කරවිය හැකියි. එමගින් විඩාවූ දෙපාවලට නව පණක් ලබා දීමට පුළුවන්. දාවිත්ගේ වදන් අපේ දෙසවනේ රැව් පිළි රැව් දෙයි. “උදය ඔබගේ කරුණාගුණය මට ඇසෙන්ට සැලැස්සුව මැනව. මක්නිසාද ඔබ කෙරෙහි විශ්වාසය තබමි. මා විසින් යා යුතු මාර්ගය මට දැක්වුව මැනව. මක්නිසාද ඔබ දෙසට මාගේ සිත ඔසවමි.”—ගීතාවලිය 143:8.

අවුරුදු ගණනාවක් යෙහෝවාගේ මාර්ගයේ ගමන් කර ඇති මේරිට හැඟෙන්නේ මෙසේයි. “යෙහෝවාගේ මැවිලි දිහා බලනකොට ඔහුට සංකීර්ණ දේවල් නිර්මාණය කරන්න පුළුවන් හැකියාව විතරක් නොවෙයි යෙහෝවාගේ ප්‍රේමයත් ඒ තුළින් දකින්න පුළුවන්. කුඩා කෘමී සතෙක්, කුරුල්ලෙක් හෝ වෙන ඕනෑම මැවිල්ලක් තුළ ඒ මැවිල්ලටම ආවේනික වූ ගති ලක්ෂණවලට අපේ සිත ආකර්ෂණය වන්නේ නිතැතින්මයි. ඒ හා සමානව ආත්මිකව අප ලබන්නාවූ සත්‍යයන් දවසින් දවස තවත් පැහැදිලි වන විට එයාකාර ප්‍රීතියක් අද්දකින්න ලැබෙනවා.”

අපේ අගය වැඩි කළ හැක්කේ කෙසේද? යෙහෝවා අප වෙනුවෙන් කර තිබෙන දේවල් සැහැල්ලුවට නොගැනීමෙන්. පාවුල් දිරිගන්වන්නේ “නොකඩවා යාච්ඤා කරන්න. සියල්ලේදී ස්තුති කරන්න” කියායි.—1 තෙසලෝනික 5:17, 18; ගීතාවලිය 119:62.

පුද්ගලික පාඩම අපව ආත්මිකව නඟා සිටුවීමට මහත් උපකාරයක් සපයයි. පාවුල් කොලොස්සි ක්‍රිස්තියානීන්ට උනන්දු කළේ ‘[ක්‍රිස්තුස් යේසුස්] සමඟ දිගටම ගමන් කරමින්, ඇදහිල්ලෙහි පිහිටා, බොහෝසෙයින් ස්තුති දෙන්න’ යනුවෙනි. (කොලොස්සි 2:6, 7, NW) බයිබලය කියවීමෙන් හා කියවූ දේ ගැන මෙනෙහි කිරීමෙන් අපේ ඇදහිල්ල ශක්තිමත් වන අතර බයිබලයේ කර්තෘ වෙතට අපව ළං කරවයි. මේ සෑම පිටුවක් තුළම ඇති නිධාන අපව පොළඹවන්නේ ‘බොහෝසෙයින් ස්තුති කිරීමටයි.’

අපේ සහෝදරයන් හා උරෙන් උර ගැටී යෙහෝවාට සේවය කරන විටද අපේ ගමන පහසු වේ. ගීතිකාකරු ඔහු ගැන පැවසුවේ ‘මම ඔබ කෙරෙහි භය ඇති සියල්ලන්ගේ සමාගම්කාරයෙක්මි’ කියායි. (ගීතාවලිය 119:63) අපේ ජීවිතයේ වඩාත් ප්‍රීතිමත් අවස්ථාවන් වන්නේ ක්‍රිස්තියානි එක්රැස්වීම්වලදී හෝ වෙනත් අවස්ථාවලදී සහෝදරයන් සමඟ ආශ්‍රය කිරීමට ලැබීමයි. එසේ නොවෙයිද? අද මෙවැනි මිල කළ නොහැකි ජාත්‍යන්තර සහෝදරත්වයක් බිහි වී තිබෙන්නේ යෙහෝවා හා ඔහුගේ උසස් මාර්ග නිසා බව අපි පිළිගන්නෙමු. අප සැමෝම මේ සම්බන්ධයෙන් යෙහෝවාට ණයගැතියි.—ගීතාවලිය 144:15ආ.

මේ දේවල් සම්බන්ධව අප තුළ ඇති වන අගයත් සමඟම වගකීමේ හැඟීමද යෙහෝවාගේ උසස් මාර්ගයේ ගමන් කිරීමට වූ අපේ අදිටන ශක්තිමත් කරයි.

වගකීමෙන් යුතුව ගමන් කිරීම

අතරමං වීමෙන් හා භයානක ප්‍රපාතවලින් වැළකීම සඳහා වගකීමෙන් යුතුව ගමන් කරන පරිසරකාමී සංචාරකයන් පිය නඟන්නේ ඉතා සුපරීක්ෂාකාරිවයි. නිදහස් සෙනඟක් වශයෙන් යෙහෝවා අපට යම් තාක් දුරට නිදහසක් දී තිබෙන අතර පෙරමුණ ගෙන කටයුතු කිරීමටත් ඉඩහැර තිබෙනවා. නමුත් එම නිදහසත් සමඟ වගකීමේ හැඟීමකින් යුතුව ක්‍රිස්තියානි වගකීම් ඉටු කිරීමටද අප බැඳී සිටිනවා.

උදාහරණයක් වශයෙන් යෙහෝවා තමන්ගේ සේවකයන් යුතුකම් නොපිරිහෙළා ඉටු කරාවි කියා විශ්වාස කරයි. අප ක්‍රිස්තියානි දේවසේවයේ කොපමණ කාලයක් ශක්තියක් වැය කළ යුතුද යන්නත්, කොපමණ මූල්‍යමය ආධාර දිය යුතුද යන්නත් ගැන යෙහෝවා දෙවි නීති පනවන්නේ නැහැ. ඒ වෙනුවට කොරින්තිවරුන්ට පාවුල් දුන් උපදෙස් අපට අදාළ වේ. “එක් එක්කෙනා තම තමාගේ සිතින් නියම කරගත් ලෙස දේවා.”—2 කොරින්ති 9:7; හෙබ්‍රෙව් 13:15, 16.

ක්‍රිස්තියානීන් වගකීමේ හැඟීමකින් කරදීම යන්නට ශුභාරංචිය බෙදා දීමත් ඇතුළත්ය. අප වගකීම් දරන අය බව පෙන්විය හැකි තවත් ක්‍රමයක් නම් ලෝක ව්‍යාප්ත රාජ්‍ය කටයුතුවලට මූල්‍යමය ආධාර සැපයීමයි. නැඟෙනහිර යුරෝපයේ එක්රැස්වීමකට සහභාගී වීමෙන් පසු ගර්හාඩ් නම් සභා වැඩිමහල්ලෙක් හා ඔහුගේ බිරිඳ වැඩිපුර සම්මාදම් කිරීමට පෙලඹී තිබෙනවා. “අපි දැක්ක දෙයක් තමයි, එහේ සහෝදරයන්ට ද්‍රව්‍යමය දේවල් තියෙන්නේ ටික වුණත් ආත්මික දේවල් වන බයිබල් පොත් පත් බොහෝ සෙයින් අගය කළා. ඉතිං අපි තීරණය කළා අවශ්‍යතාවන් වැඩියෙන් තියෙන වෙනත් රටවල සහෝදරයන්ට හැකි සෑම උපකාරයක්ම කරන්න.”

විඳදරාගැනීම වර්ධනය කිරීම

උස් කඳුවල සංචාරය කිරීමට හොඳ කායික ශක්තියක් අවශ්‍යයි. පරිසරකාමී සංචාරකයන් හැකි සෑම අවස්ථාවකදීම ව්‍යායාම්වල යෙදෙනවා. සමහරු නිතර නිතර කෙටි දුරක් ගමන් කිරීමෙන් දුර ගමන් කිරීම සඳහා පුහුණුවක් ලබාගනියි. ඒ හා සමානව අපේ ආත්මික යෝග්‍යතාව පවත්වාගැනීමට නිතරම දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම්වල යෙදීම අවශ්‍ය බව පාවුල් පෙන්වා දෙයි. “[යෙහෝවාට] ඔබින ලෙස” ගමන් කිරීමට හා “බලයෙන් ශක්තිමත්” වීමට කැමති අය “සියලු ආකාර යහපත් ක්‍රියාවලින් ඵල [දැරීමට]” උත්සාහ කළ යුතුයැයි පාවුල් උපදෙස් දෙයි.—කොලොස්සි 1:10, 11, 12ආ.

සංචාරකයෙකුගේ උද්‍යෝගිමත් ආකල්පය ඔහුට ශක්තිමත්ව සිටීමට මහෝපකාරි වේ. ඒ කොහොමද? තමා අත් කරගැනීමට වෙර දරන යම් නිශ්චිත ඉලක්කයක් දෙසට අවධානය යොමු කිරීම මගින්. උදාහරණයකට කඳු නඟින කෙනෙක් තමාගේ අවධානය කන්ද දෙසටම යොමු කිරීම මගින් යම් දිරිගැන්වීමක් ලබා ගනියි. කඳු නඟින්නෙක් තැනින් තැන ඇති මායිම් ගල් පසු කරන විට තමාගේ අවසාන ඉලක්කයට ඇති දුර නිශ්චය කරගැනීමට ඔහුට හැකියි. ඔහු මෙතෙක් ගමන් කර ඇති දුර ප්‍රමාණය දකින විට ඔහු තෘප්තියට පැමිණෙයි.

ඒ හා සමානව සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව අපට දේවල් දරාගැනීමේ හැකියාවත් යහපත් දේ සඳහා පෙලඹවීමත් ලබා දෙයි. (රෝම 12:12) යෙහෝවාගේ මාර්ගයේ ගමන් කරන විට අප යම් ක්‍රිස්තියානි ඉලක්ක තැබීමෙන් හා අත් කරගැනීමෙන් සෑහීමට පත් වෙනවා. ගෙවී ගිය අවුරුදු කිහිපය තුළ දී යෙහෝවාට කළ අවංක සේවය හෝ අපි අපේ පෞද්ගලිකත්වයේ සිදු කළ යම් යම් වෙනස්කම් දෙස බැලීමෙන් ඇත්තෙන්ම අප ප්‍රීතියක් අද්දකින්නේ නැද්ද!—ගීතාවලිය 16:11.

දුර ගමන් කරන සංචාරකයන් තමන්ගේ ශක්තිය රඳවාගැනීම සඳහා පියවර නඟන්නේ නිශ්චිත වේගයකිනි. ඒ හා සමානව අපත් හොඳ විධිමත් සැලැස්මක් අනුව නිතිපතා රැස්වීම්වලට හා ක්ෂේත්‍රයේ සහභාගි වනවා නම් අප බලාපොරොත්තු වන ඉලක්කය පහසුවෙන් අත් කරගත හැකියි. පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට උනන්දු කළේ “අපි නිසි පිළිවෙළකට අනුව පැමිණ සිටිමුද අපි ඒ ආකාරයට හැසිරෙමු” කියායි.—පිලිප්පි 3:16, NW.

අප යෙහෝවා දෙවිගේ මඟෙහි ගමන් කරන්නේ තනිව නොවෙයි. “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු” යැයි පාවුල් පැවසුවේය. (හෙබ්‍රෙව් 10:24) යහපත් ක්‍රිස්තියානි ඇසුරක් තිබීම අපේ අනෙකුත් ඇදහිලිවන්තයන් සමඟ ගමන් කිරීමට පහසු කරවයි.—හිතෝපදේශ 13:20.

අප කිසිම දවසක යෙහෝවා දෙන ශක්තිය අමතක නොකළ යුතුයි. යෙහෝවාව ඔවුන්ගේ ශක්තිය කරගන්නන් “වැඩි වැඩියෙන් ශක්තිමත් වන්නෝ ය.” (ගීතාවලිය 84:5, 7, න. අ.) ජීවිත ගමනේ පා නැඟීමට සිදු වන සමහර මාවත් අසීරු වුවද යෙහෝවාගේ උපකාරය ඇතුව ඒවා සමතලා කරගන්න පුළුවන්.