Skip to content

පටුනට යන්න

යෙහෝවා ආලෝකයෙන් තම සෙනඟ අලංකාර කරයි

යෙහෝවා ආලෝකයෙන් තම සෙනඟ අලංකාර කරයි

යෙහෝවා ආලෝකයෙන් තම සෙනඟ අලංකාර කරයි

‘[ස්ත්‍රිය, NW] නැඟිට බැබළෙන්න. මක්නිසාද ඔබේ ආලෝකය පැමුණුණේය. යෙහෝවාගේ තේජසද ඔබ කෙරෙහි උදා වී තිබේ.’—යෙසායා 60:1.

1, 2. (අ) මනුෂ්‍යවර්ගයා අද්දකින්නේ කෙබඳු ආකාරයේ තත්වයක්ද? (ආ) මනුෂ්‍යවර්ගයා අද්දකින අන්ධකාරය පිටුපස සිටින්නේ කවුද?

 “අනේ අපිට යෙසායා කෙනෙක් නැත්නම් ශාන්ත පාවුලු කෙනෙක් හිටියා නම්!” එක්දහස් නවසිය හතළිස් ගණන්වලදී එක්සත් ජනපදයේ ජනාධිපති හැරි ටෲමන්ගේ දුක් අඳෝනාව වූයේ එයයි. ඔහු එහෙම කිව්වේ ඇයි? උසස් සදාචාර ප්‍රමිතිවලට අනුව ක්‍රියා කරන ශ්‍රේෂ්ඨ නායකයන් තමාගේ කාලයේදී අවශ්‍ය බව ඔහුට හැඟී ගිය නිසයි එසේ පැවසුවේ. ඒ කාලය වෙද්දී, 20වන සියවසේ අඳුරුම කාලපරිච්ඡේදය වන දෙවන ලෝක මහා යුද්ධයේ ගිනිදැල් නිවී ගොස් වැඩි කල් ගෙවී තිබුණේ නැහැ. යුද්ධය අවසන් වුණත්, ලොව තුළ සාමයක් තිබුණේ නැහැ. දිගටම පැවතුණේ අන්ධකාර ස්වභාවයක්. ඇත්තෙන්ම, එම යුද්ධය නිම වී අවුරුදු 57ක් ගෙවී ගොස් තිබුණත් ලෝකය තවමත් පවතින්නේ අන්ධකාර ස්වභාවයකයි. ජනාධිපති ටෲමන් අද ජීවතුන් අතර සිටියා නම්, යෙසායා සහ පාවුල් හා සමාන උසස් සදාචාර ප්‍රමිති රකින නායකයන්ගේ අවශ්‍යතාව ඔහු නැවතත් දකින බව නිසැකයි.

2 මනුෂ්‍යවර්ගයාට බලපාන පීඩාකාරි අන්ධකාරය ගැන ප්‍රේරිත පාවුල් කතා කළ බව ජනාධිපති ටෲමන් දැන සිටියාද නැද්ද කියා අප දන්නේ නැහැ. කෙසේවෙතත්, ප්‍රේරිත පාවුල් ඔහුගේ ලියවිලිවල එම අන්ධකාරය ගැන අනතුරු ඇඟවීම්ද කළා. උදාහරණයක් හැටියට ඔහු සෙසු ඇදහිලිවන්තයන්ට මෙසේ අනතුරු ඇඟෙව්වා. “අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය.” (එපීස 6:12, අකුරු ඇල කළේ අපය.) මුළු ලෝකයම ආත්මික අන්ධකාරයෙන් වැසී යන බව පමණක් නොව, එයට සැබෑ හේතුවත් පාවුල් දැන සිටි බව ඔහුගේ එම වදන්වලින් පැහැදිලි වෙනවා. මෙම ආත්මික අන්ධකාරය ජනිත වන්නේ “ලෝක මුලාදෑනීන්” නොහොත් පාලකයන් ලෙස විස්තර කළ බලවත් භූත බලවේගයන්ගෙන් බව ඔහු දැන සිටියා. මේ ලෝකයේ අන්ධකාර තත්වයට වගකිව යුත්තේ එම බලවත් ආත්මයන් නිසා, මෙම අන්ධකාරය නැති කිරීමට මිනිසාට කරන්න පුළුවන් දේ කුමක්ද?

3. මනුෂ්‍යවර්ගයා අන්ධකාරයේ සිටියත් ඇදහිලිවන්තයන් ගැන යෙසායා පුරෝකථනය කළේ කුමක්ද?

3 ඒ හා සමානව යෙසායාද මනුෂ්‍යවර්ගයාට දුක් වේදනා ඇති කරවන අන්ධකාර තත්වය ගැන කතා කළා. (යෙසායා 8:22; 59:9) කෙසේවෙතත් යෙහෝවා මෙම අඳුරු සහිත කාලවලදී පවා ආලෝකයට ප්‍රිය කරන අයගේ බලාපොරොත්තු දීප්තිමත් කරන බව යෙසායා අපගේ කාලයට යොමු දක්වමින් දේවානුභාවයෙන් පුරෝකථනය කළා. පාවුල් සහ යෙසායා දැන් අප අතර නොසිටියත්, මඟ පෙන්වීම් ලබාගැනීම සඳහා ඔවුන් දේවානුභාවයෙන් ලියූ ලියවිලි අපට තිබෙනවා. මෙය යෙහෝවාට ප්‍රේම කරන අයට මොනතරම් ආශීර්වාදයක්ද කියා තේරුම්ගැනීමට යෙසායා 60වන පරිච්ඡේදයේ සඳහන් ඔහුගේ අනාවැකිමය වදන් සලකා බලමු.

අනාවැකියක සඳහන් ස්ත්‍රියක් ආලෝකය විහිදුවාලයි

4, 5. (අ) යෙහෝවා ස්ත්‍රියකට අණ කරන්නේ කුමක් කිරීමටද? ඔහු දෙන පොරොන්දුව කුමක්ද? (ආ) යෙසායා 60වන පරිච්ඡේදයේ අඩංගු වන්නේ හැඟීම් දනවන කිනම් තොරතුරුද?

4 යෙසායා 60වන පරිච්ඡේදයේ මුල් වගන්තිවල සඳහන් වදන් මගින් අමතනු ලබන්නේ ඉතා දුකින් සිටින ස්ත්‍රියකටයි. ඇය අන්ධකාරයෙන් වැසී තිබෙන ස්ථානයක බිම වැතිර සිටිනවා. හදිසියේම, අඳුර කපාගෙන ආලෝකයක් නිකුත් වන අතර යෙහෝවා මෙසේ හඬනඟා පවසනවා ඇසෙයි. ‘[ස්ත්‍රිය, NW] නැඟිට බැබළෙන්න. මක්නිසාද ඔබේ ආලෝකය පැමුණුණේය. යෙහෝවාගේ තේජසද ඔබ කෙරෙහි උදා වී තිබේ.’ (යෙසායා 60:1) නැඟිට දෙවිගේ ආලෝකය නොහොත් ඔහුගේ තේජස විහිදුවාලන්න මේ සංකේතමය ස්ත්‍රියට කාලය පැමිණ තිබෙනවා. ඒ මන්ද? ඊට පිළිතුර අපට ඊළඟ පදයෙන් සොයාගන්න පුළුවන්. එහි මෙසේ සඳහන් වෙනවා. “පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නුමුත් නුඹ කෙරෙහි යෙහෝවා උදා වන්නේය. ඔහුගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය.” (යෙසායා 60:2) මෙම ස්ත්‍රිය යෙහෝවාගේ එම ආඥාවට කීකරු වන විට අද්දකින ප්‍රීතිමත් ප්‍රතිඵලය ගැන ඇයට සහතික කරනු ලබනවා. මේ ගැන යෙහෝවා මෙසේ පවසනවා. “ජාතීන් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත.”—යෙසායා 60:3.

5 ඉහත පද තුනෙහි සඳහන් හැඟීම් දනවන වදන් මගින් යෙසායා 60වන පරිච්ඡේදයේ අඩංගු ඉතිරි කොටසට හැඳින්වීමක් මෙන්ම සාරාංශයක්ද සපයයි. මිනිස්වර්ගයා අන්ධකාරයෙන් වැසී සිටියත් අපට යෙහෝවාගේ ආලෝකය තුළ දිගටම රැඳී සිටිය හැකි ආකාරය ගැන අනාවැකියේ සඳහන් ස්ත්‍රිය අද්දකින දෙයින් පුරෝකථනය කරනවා. හැඳින්වීම සපයන මෙම පද තුනෙහි සඳහන් සංකේතවලින් නියෝජන කරන්නේ මොනවාද?

6. යෙසායා 60වන පරිච්ඡේදයේ සඳහන් ස්ත්‍රිය කවුද? පොළොව මත ඇයව නියෝජනය කරන්නේ කවුද?

6 යෙසායා 60:1-3හි සඳහන් ස්ත්‍රිය, සියොන්ය. එනම් ආත්ම මැවිලිවලින් යුත් යෙහෝවාගේ ස්වර්ගික සංවිධානයයි. අදදින පොළොව මත සියොන් නියෝජනය කරන්නේ ‘දෙවිගේ ඉශ්‍රායෙල්ගේ’ ඉතිරි කොටසයි. එනම් ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයෙහි පාලනය කිරීමේ බලාපොරොත්තුව ඇතුව සිටින ආත්මයෙන් ආලේප ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත ජාත්‍යන්තර සභාවයි. (ගලාති 6:16) මෙම ආත්මික ජාතියෙහි සාමාජිකයන් 1,44,000දෙනෙක් සිටිනවා. යෙසායා 60වන පරිච්ඡේදයේ සඳහන් අනාවැකියේ නවීන දින ඉටුවීම, මෙම “අන්තිම දවස්වල” මොවුන් අතුරින් මිහිපිට ඉතිරිව සිටින අය හා සම්බන්ධයි. (2 තිමෝති 3:1; එළිදරව් 14:1) එපමණක්ද නොව, මෙම ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ ආශ්‍රිතයන් වන ‘වෙනත් බැටළුවන්ගෙන්’ සමන්විත “මහත් සමූහය” ගැනද මෙම අනාවැකියෙහි තොරතුරු බොහොමයක් ඇතුළත් වී තිබෙනවා.—එළිදරව් 7:9; යොහන් 10:16.

7. වර්ෂ 1918දී සියොන් සිටියේ කුමන තත්වයකද? මේ ගැන අනාවැකි පළ කර තිබුණේ කෙසේද?

7 එම අනාවැකියේ සඳහන් ස්ත්‍රියට සිදු වූ දෙයට සමානව, දෙවිගේ ඉශ්‍රායෙල් අන්ධකාරයෙහි වැතිර සිටි කාලයක් තිබුණාද? ඔව්, මීට අවුරුදු 80කට වැඩි කාලයකට ඉහතදී ඇය සිටියේ එවැනි තත්වයකයි. පළමුවන ලෝක මහා යුද්ධ සමයේදී සාක්ෂි දැරීමේ වැඩය දිගටම කරගෙන යෑම සඳහා ආලේප ලත් ක්‍රිස්තියානීන්ට සෑහෙන පොර බැදීමක් කරන්න සිදු වුණා. එනමුත් 1918 වන විට, සංවිධානාත්මක මට්ටමින් දේශනා කිරීමේ වැඩය සම්පූර්ණයෙන්ම වගේ නතර වුණා. ලොව පුරා දේශනා කිරීමේ කටයුතු අධීක්ෂණය කරමින් සිටි සහෝදර රදෆඩ් ඇතුළු එම කාර්යයෙහි මුල් තැන ගෙන ක්‍රියා කළ වෙනත් ක්‍රිස්තියානීන්ට බොරු චෝදනා පිට දිගු කාලයකට සිර දඬුවම් දෙනු ලැබුවා. ඒ කාලයේ සිටි ආලේප ලත් ක්‍රිස්තියානීන්ව, ‘ආත්මික අර්ථයෙන් සොදොම සහ මිසරයත්යයි කියනු ලබන මහත් නුවර වීථියේ තිබෙන’ මළකඳන් ලෙස එළිදරව් පොතේ අනාවැකිමය ලෙස විස්තර කර තිබුණා. (එළිදරව් 11:8) පොළොවේ සිටින ඇගේ ආලේප ලත් දරුවන්ගෙන් නියෝජනය කරන සියොන් සඳහා එය ඇත්තටම අඳුරු කාලපරිච්ඡේදයක් වුණා.

8. වර්ෂ 1919දී සිදු වූ පුදුමාකාර වෙනස කුමක්ද? එහි ප්‍රතිඵල මොනවාද?

8 කෙසේවෙතත්, 1919දී පුදුමාකාර වෙනසක් සිදු වුණා. යෙහෝවා සියොන් මතට ආලෝකය හෙළුවා! දෙවිගේ ඉශ්‍රායෙල්ට අයත් අය නැඟිට දෙවිගේ ආලෝකය විහිදුවමින්, ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ වැඩය නැවතත් නිර්භීත ලෙස කරන්නට පටන්ගත්තා. (මතෙව් 5:14-16) මෙම ක්‍රිස්තියානීන්ගේ නැවත පණගැන්වුණු ජ්වලිතයට ස්තුතිවන්ත වන්න, තවත් අය යෙහෝවාගේ ආලෝකයට ඇදී ආවා. මුලින්ම ආ නවකයන් දෙවිගේ ඉශ්‍රායෙල්ට අලුතින් එකතු වූ සාමාජිකයන් ලෙස ආලේප කරනු ලැබූ අයයි. ඔවුන් දෙවිගේ ස්වර්ගික රාජ්‍යයෙහි ක්‍රිස්තුස් සමඟ හවුල් උරුමක්කාරයන් වන නිසා යෙසායා 60:3හි ඔවුන්ව හඳුන්වා තිබෙන්නේ “රජවරුන්” හැටියටයි. (එළිදරව් 20:6) ඉන්පසුව වෙනත් බැටළුවන්ගෙන් යුත් මහත් සමූහයක්ද යෙහෝවාගේ ආලෝකයට ඇදී එන්න පටන්ගත්තා. යෙසායා 60:3හි “ජාතීන්” ලෙස හඳුන්වා තිබෙන්නේ ඔවුන්වයි.

ස්ත්‍රියගේ දරුවන් තම නිවහන කරා එයි!

9, 10. (අ) ස්ත්‍රියගේ නෙත ගැටුණේ කිනම් අපූර්ව දර්ශනයක්ද? එයින් පූර්වාදර්ශනය කළේ කුමක්ද? (ආ) ප්‍රීතිවීම සඳහා සියොන්ට තිබෙන හේතුව කුමක්ද?

9 යෙහෝවා යෙසායා 60:1-3හි සඳහන් අනාවැකිමය දළ සටහන තව තවත් තොරතුරුවලින් පුරවන්න පටන්ගනියි. ඔහු ස්ත්‍රියට තවත් ආඥාවක් දෙයි. ඔහු කියන දේට සවන් දෙන්න. “නුඹේ ඇස් ඔසවා වටකර බලන්න.” ස්ත්‍රිය ඊට කීකරු වෙයි. සිත් පිනා යන දසුනක් ඇගේ නෙත ගැටෙයි. ඇගේ දරුවන් තම නිවහන කරා එමින් සිටිනවා. එම පදයෙහි තවදුරටත් මෙසේ පවසනවා. “ඔවුන් සියල්ලෝම රැස් වී නුඹ ළඟට එති. නුඹේ පුත්‍රයන් දුර සිට එනවා ඇත, නුඹේ දූවරුන්ද උකුළේ වඩාගන එන්ට යෙදෙනවා ඇත.” (යෙසායා 60:4) වර්ෂ 1919දී ආරම්භ වූ රාජ්‍යය ප්‍රකාශ කිරීමේ ලෝක ව්‍යාප්ත වැඩයේ ප්‍රතිඵලයක් හැටියට යෙහෝවාට සේවය කරන්න නවකයන් දහස් ගණනක් ඇදී ආවා. මොවුන්ද දෙවිගේ ඉශ්‍රායෙල්ට අයත් ආලේප ලත් සාමාජිකයන්ගෙන් නියෝජනය වන සියොන්ගේ “පුත්‍රයන්” සහ “දූවරුන්” බවට පත් වුණා. මෙසේ යෙහෝවා 1,44,000දෙනාට අයත් ඉතිරි අය ආලෝකය කරා ගෙන එමින් සියොන් අලංකාරවත් කළා.

10 සියොන්ට ඇගේ දූ දරුවන් සමඟ නැවත එක්වීමට ලැබීම ගැන ඇය කොතරම් සතුටු වෙන්න ඇද්ද කියා ඔබට සිතාගන්න පුළුවන්ද? යෙහෝවා ප්‍රීතිවීම සඳහා සියොන්ට තවත් හේතු සපයයි. ඒ ගැන අපට මෙසේ කියවීමට තිබෙනවා. “එකල නුඹ දැක ප්‍රීති වන්නෙහිය, නුඹේ සිතද පිනා ගොස් විශාල වන්නේය. මක්නිසාද මුහුදේ සම්පත් නුඹ වෙත හැරී එන්නේය. ජාතීන්ගේ වස්තුද නුඹ ළඟට පැමිණෙන්නේය.” (යෙසායා 60:5) මෙම අනාවැකිමය වදන්වලට එකඟව 1930 ගණන්වල සිට භූමික බලාපොරොත්තුවක් ඇති ක්‍රිස්තියානීන් විශාල පිරිසක් සියොන් වෙතට එක් රොක් වී සිටිනවා. ඔවුන් දෙවිගෙන් ඈත්ව සිටින මිනිස්වර්ගයාව නියෝජනය කරන ‘මුහුදෙන්’ ඉවතට ඇවිත් සිටින අතර ජාතීන්ගේ වස්තු ඔවුන්ගේ නියෝජනය වෙනවා. ‘සියලු ජාතීන් අතරින් ආශා වෙන දේවල්’ වන්නේ ඔවුනුයි. (යෙසායා 57:20; හග්ගයි 2:7) මෙම ‘ආශා වෙන දේවල්’ යෙහෝවාට සේවය කරන්නේ තම තමන්ට ඕන විදිහට නොවන බව සැලකිල්ලට ගන්න. ඔවුන් තමන්ගේ ආලේප ලත් සහෝදරයන් සමඟ එක්ව නමස්කාරයේ හවුල් වෙමින් ‘එක එඬේරෙක් යටතේ සිටින එක රැළක්’ මෙන් කටයුතු කරනවා. මෙසේ ඔවුන් සියොන්හි අලංකාරය තව තවත් වැඩි කරනවා.—යොහන් 10:16.

වෙළඳුන්, එඬේරුන් සහ ව්‍යාපාරිකයන් සියොන් වෙත එයි

11, 12. සියොන් වෙත ඇදී එන සමූහයන් විස්තර කරන්න.

11 පුරෝකථනය කරන ලද මෙම ඒකරාශි වීමේ ප්‍රතිඵලය වන්නේ යෙහෝවාට ප්‍රශංසා කරන අය සුවිශේෂ ආකාරයකින් වැඩි වෙමින් පැවතීමයි. මෙම අනාවැකියේ මතු දැක්වෙන වදන්වල ඒ බව පුරෝකථනය කරයි. මෙම අනාවැකියේ සඳහන් ස්ත්‍රිය සමඟ ඔබ සියොන් කන්දෙහි සිටගෙන සිටිනවා කියා සිතන්න. නැඟෙනහිර දෙස බලන්න. ඔබ දකින්නේ කුමක්ද? “ඔටු සමූහයකින්ද මිදියන් සහ ඒපාහි තරුණ ඔටුවන්ගෙන්ද නුඹේ ස්ථානය පිරෙන්නේය. ෂෙබායෙන් ඔවුන් සියල්ලන් එනවා ඇත. ඔවුන් රන්ද කට්ටකුමංජල්ද ගෙනවුත් යෙහෝවාගේ ප්‍රශංසා ප්‍රකාශ කරනවා ඇත.” (යෙසායා 60:6) වෙළඳුන් රැගත් ඔටුවන් සමූහයක් යෙරුසලම බලා දිවෙන සියලුම මාර්ගවල ගමන් කරමින් සිටියි. මෙම ඔටුවන් සමූහය හරියට ප්‍රදේශයක් වසාගෙන තිබෙන ගංවතුරක් වගෙයි! ව්‍යාපාරිකයන්ගේ ගමන් මලුවල ‘රන් හා කට්ටකුමංජල්’ වැනි වටිනා තෑගි තිබෙනවා. මෙම වෙළඳුන් යෙහෝවාගේ ආලෝකය වෙත පිවිසෙන්නේ ප්‍රසිද්ධියේ ඔහුට ‘ප්‍රශංසා කරන්නයි.’

12 ගමන් කරමින් සිටින්නේ වෙළඳුන් පමණක් නොවෙයි. සියොන් වෙත එක්රැස් වෙන අය අතර එඬේරුන්ද සිටී. අනාවැකියේ තවදුරටත් මෙසේ සඳහන් වෙනවා. “කේදාර්හි සියලු එළු බැටළු රැළවල් නුඹ වෙතට රැස් කරනු ලැබෙත්, නෙබායොත්හි බැටළුවෝ නුඹට සේවය කරත්.” (යෙසායා 60:7අ) එඬේර ගෝත්‍රිකයන් ශුද්ධ නුවර වෙතට පැමිණෙන්නේ තමන්ගේ රැළවල්වලින් ගත් හොඳම දේවල් පූජා කරන්නයි. සියොන් වෙනුවෙන් සේවය කරන්න පවා ඔවුන් ඉදිරිපත් වෙනවා. යෙහෝවා මෙම විදේශිකයන්ව භාරගන්නේ කොහොමද? මෙයට දෙවි විසින්ම මෙසේ උත්තර දෙයි. “උන් මාගේ පූජාසනය පිටට පැමිණ පිළිගනු ලැබෙත්. මමද මාගේ තේජසේ ගෘහය අලංකාර කරන්නෙමි.” (යෙසායා 60:7ආ) මේ විදේශිකයන් පිරිනමන පූජා හා සේවය යෙහෝවා අනුග්‍රහයෙන් යුතුව පිළිගනියි. එසේ ඔවුන් පැමිණ සිටීමෙන් ඔහුගේ මාළිගාව අලංකාර වෙයි.

13, 14. බටහිර දෙසින් පැමිණෙමින් තිබෙනවා දකින්නේ කුමක්ද?

13 දැන් බටහිර දෙසට ඔබේ ඇස් යොමා, එහි ඈත කෙළවර දෙස හොඳින් බලන්න. ඔබ දකින්නේ කුමක්ද? මුහුද වසාගෙන තිබෙන සුදු පාට වලාකුළක් වැනි දෙයක් ඈත කෙළවර දකින්නට තිබෙනවා. දැන් ඔබේ මනසේද මතු විය හැකි ප්‍රශ්නයම යෙහෝවා මෙසේ අසයි. “වලාකුළක් මෙන්ද පරෙවියන් උන්ගේ කවුළුවලට ඉගිළෙන්නාක් මෙන්ද අර ඉගිලී එන අය කවුරුද?” (යෙසායා 60:8) තමන් විසින් ඇසූ ප්‍රශ්නයට යෙහෝවාම මෙසේ පිළිතුරු දෙයි. “සැබවින් ද්වීපයෝද පළමුකොට තර්ෂිෂ්හි නැව්ද මා ගැන බලා සිටින්නෝය. බලා සිටින්නේ දුරින් නුඹේ පුත්‍රයන්ද ඔවුන් සමඟ ඔවුන්ගේ රන් රිදීද නුඹේ දෙවි වූ යෙහෝවාගේ නාමයත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තාත් නිසා ගෙනෙන පිණිසය. මක්නිසාද [ඔහු] නුඹට ගෞරව කර තිබේ.”—යෙසායා 60:9.

14 ඔබට මෙම දසුන සිතෙන් මවාගන්න පුළුවන්ද? සුදු පාට වලාකුළ ටිකෙන් ටික ළං වෙලා. එය දැන් පෙනෙන්නේ ඈත බටහිර දෙසින් දිස් වෙන සුදු පැහැති තිත් පොකුරක් වගෙයි. එය හරියට මුහුදේ රැළවල ගෑවී නොගෑවී පියාසර කරන කුරුලු රංචුවක් වගෙයි. නමුත් තව තවත් ළං වෙන කොට, ඒවා සුළඟට ලෙළ දෙන රුවල් නැව් බව ඔබ දකිනවා. යෙරුසලම කරා යාත්‍රා කරන නෞකා ගණන කොතරම්ද කියනවා නම් ඒවා පරෙවි රෑනක් හා සමානයි. දුර ඈත වරායන්වලින් පිටත් වූ මෙම නෞකා සමූහය යෙරුසලම කරා කඩිනමින් රැගෙන එමින් සිටින්නේ යෙහෝවාට නමස්කාර කරන්න කැමැත්තෙන් සිටින ඇදහිලිවන්තයන්වයි.

යෙහෝවාගේ සංවිධානය වර්ධනය වෙයි

15. (අ) යෙසායා 60:4-9හි සඳහන් වදන්වල පුරෝකථනය කරන වර්ධනය කුමක්ද? (ආ) සැබෑ ක්‍රිස්තියානීන් විදහාපෙන්වන්නේ කුමන ආකාරයේ ස්ප්‍රීතුවක්ද?

15 වර්ෂ 1919 සිට ලොව පුරා සිදු වී ඇති පුළුල් වර්ධනය ගැන 4 සිට 9 දක්වා වගන්තිවල සිතුවම් කරන්නේ මොනතරම් අලංකාර අනාවැකිමය චිත්‍රයක්ද! යෙහෝවා සියොන්ට එතරම් වර්ධනයක් ලබා දෙමින් ආශීර්වාද කළේ මන්ද? දෙවිගේ ඉශ්‍රායෙල් 1919 සිට කීකරුව, යෙහෝවාගේ ආලෝකය නොනවත්වා විහිදුවා ඇති නිසයි. හත්වන වගන්තියට අනුව අලුතෙන් පැමිණෙන අය ‘දෙවිගේ පූජාසනය පිටට පැමිණෙන’ බව ඔබ දුටුවාද? පූජා ඔප්පු කරන තැනකයි පූජාසනයක් තිබෙන්නේ. අනාවැකියේ සඳහන් එම අංගයෙන් අපට සිහිගන්වන්නේ යෙහෝවාට කරන සේවයට පූජා ඔප්පු කිරීම අයත් වන බවයි. ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා. “නුඹලාගේ ශරීරයන් ජීවමාන වූ, ශුද්ධ වූ දෙවි විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට . . . ඉල්ලමි.” (රෝම 12:1) පාවුල්ගේ එම වදන්වලට එකඟව ක්‍රිස්තියානීන් සතියකට වතාවක් දේවමෙහෙයන් නොහොත් ආගමික රැස්වීම් කිහිපයකට පමණක් යෑමෙන් සෑහීමට පත් වන්නේ නැහැ. ඔවුන් නිර්මල නමස්කාරයේ අභිවෘද්ධිය සඳහා තමන්ගේ කාලය, ශ්‍රමය සහ සම්පත් යොදවනවා. මෙතරම් කැපවීමකින් නමස්කාර කරන අය සිටීමෙන් යෙහෝවාගේ ගෘහය අලංකාරවත් වන්නේ නැද්ද? ඔව්, එසේ වන බව යෙසායාගේ අනාවැකියේ පවසා තිබෙනවා. එවන් ජ්වලිතවත් නමස්කාරකයන් යෙහෝවාගේ ඇස් හමුවෙහි අලංකාර වනවාට සැකයක් නැහැ.

16. පුරාණ කාලයේ නැවත ගොඩනැඟීමේ කාර්යයට උපකාර කළේ කවුද? නවීන දින මෙය කරන්නේ කවුද?

16 මෙම නවකයන් ආශාවෙන් සිටින්නේ වැඩ කිරීමටයි. අනාවැකියෙහි තවදුරටත් මෙසේ සඳහන් වෙනවා. “විදේශීහු නුඹේ පවුරු ගොඩනඟන්නෝය. ඔවුන්ගේ රජවරුද නුඹට සේවය කරන්නෝය.” (යෙසායා 60:10) දෙවිගේ සෙනඟ බබිලෝනියේ වහල්භාවයෙන් නිදහස ලබා ආපසු ඔවුන්ගේ මව්බිමට පැමිණි කාලයේදී එම වදන්වල මුල් ඉටුවීම සිදු වුණා. ඒ කාලයේදී අවට සිටි රජවරුන් හා ජාතීන් යෙරුසලමේ පිහිටි දේවමාළිගාව නැවත ගොඩනැඟීමේ කාර්යයට විවිධ අයුරින් උපකාර කළා. (එස්රා 3:7; නෙහෙමියා 3:26) නවීන දින ඉටුවීමේදී සැබෑ නමස්කාරය ගොඩනැංවීමේ කාර්යයට මහත් සමූහය ආලේප ලත් අයට පූර්ණ සහයෝගය දී තිබෙනවා. ක්‍රිස්තියානි සභාවන් ගොඩනැඟීමට උපකාර කිරීමෙන් ඔවුන් යෙහෝවාගේ සංවිධානයේ “පවුරු” ශක්තිමත් කිරීමට හවුල් වෙනවා. රාජ්‍ය ශාලා, එක්රැස්වීම් ශාලා සහ බෙතෙල් සංකීර්ණ ගොඩනැඟීමේ කාර්යයටද ඔවුන් හවුල් වෙනවා. මේ ආකාරවලින් ඔවුන් දිනෙන් දින වර්ධනය වන යෙහෝවාගේ සංවිධානයේ අවශ්‍යතාවන් පිරිමැසීමේ වගකීම බාරගෙන සිටින තම ආලේප ලත් සහෝදරයන්ට අත හිත දෙනවා.

17. යෙහෝවා ඔහුගේ සෙනඟව අලංකාරවත් කර තිබෙන එක් ආකාරයක් පැහැදිලි කරන්න.

17 යෙසායා 60:10හි සඳහන් අවසාන වදන් මොනතරම් දිරිගන්වනසුලුද! යෙහෝවා මෙසේ පවසයි. “මම මාගේ උදහසෙන් නුඹට පහර දුන් නුමුත් මාගේ කරුණාවෙන් නුඹට අනුකම්පා කළෙමි.” ඔව්, වර්ෂ 1918ත් 1919ත් අතර කාලපරිච්ඡේදයේදී යෙහෝවා ඔහුගේ සෙනඟට හික්මවීමක් දුන්නා. එහෙත් ඔහු එසේ කළේ අතීතයේදීයි. තමන්ගේ ආලේප ලත් සේවකයන්ට හා ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් වන වෙනත් බැටළුවන්ට අනුකම්පාව පෙන්වීමේ කාලය ලෙස යෙහෝවා සලකන්නේ මේ කාලයයි. මෙය සත්‍යයක් බව ඔහු ඔවුන්ට ආශීර්වාද කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අද්දකින මවිතකර වර්ධනයෙන් පැහැදිලියි. මෙලෙස ඔහු ඔවුන්ව ‘අලංකාරවත්’ කර තිබෙනවා.

18, 19. (අ) යෙහෝවාගේ සංවිධානයට පැමිණෙන නවකයන් ගැන ඔහු දෙන පොරොන්දුව කුමක්ද? (ආ) යෙසායා 60වන පරිච්ඡේදයේ ඉතිරි වගන්තිවල අපට හෙළි කරන්නේ මොනවාද?

18 සෑම වසරකම ‘විදේශීන්’ සිය දහස් ගණනක් යෙහෝවාගේ සංවිධානය සමඟ ඇසුරු කිරීමට පැමිණෙනවා. ඔවුන් පසුපස ඒමට තව බොහෝදෙනෙකුට දොරටු දිගටම විවෘතව තිබෙනවා. යෙහෝවා සියොන්ට මෙසේ පවසයි. “ජාතීන්ගේ වස්තු නුඹ ළඟට ගෙනෙන පිණිසද ඔවුන්ගේ රජුන් පෙරටුව එන පිණිසද නුඹේ දොරටු රෑ දාවල් නොවසා නිතරම ඇරී තිබේ.” (යෙසායා 60:11) ඇතැම් විරුද්ධවාදීන් මෙම “දොරටු” වසා දැමීමට උත්සාහ කළත්, ඔවුන්ගේ උත්සාහයන් සාර්ථක නොවන බව අපි දන්නවා. කෙසේ හෝ මෙම දොරටු ඇරී තිබෙනවා කියා පවසා තිබෙන්නේ යෙහෝවායි. වර්ධනය අඛණ්ඩව සිදු වෙනවා නිසැකයි.

19 මේ අන්තිම දවස්වලදී යෙහෝවා ඔහුගේ සෙනඟව අලංකාරවත් කරමින් ඔවුන්ට තවත් ආකාරවලින් ආශීර්වාද කර තිබෙනවා. මේ ආකාර මොනවාද කියා යෙසායා 60වන පරිච්ඡේදයේ ඉතිරි වගන්තිවල අනාවැකිමය ලෙස අනාවරණය කරනවා.

ඔබට පැහැදිලි කළ හැකිද?

• දෙවිගේ “ස්ත්‍රිය” යනු කවුද? පොළොව මත ඇයව නියෝජනය කරන්නේ කවුද?

• සියොන්ගේ දරුවන් බිම වැතිරී සිටියේ කවදාද? ඔවුන් ‘නැඟිට්ටේ’ කවදාද? කෙසේද?

• යෙහෝවා විවිධ සංකේත යොදාගනිමින් මේ කාලයේ රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වර්ධනය ගැන අනාවැකි පළ කළේ කෙසේද?

• යෙහෝවා ඔහුගේ සෙනඟ මත ආලෝකය බැබළෙන්න සැලැස්සුවේ කිනම් ආකාරවලින්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූරය]

නැඟිටින්න කියා යෙහෝවාගේ ‘ස්ත්‍රියට’ අණ කරනු ලබයි

[12වන පිටුවේ පින්තූරය]

නැව් සමූහය දිස් වෙන්නේ ක්ෂිතිජයෙන් මතු වන පරෙවි රෑනක් වගෙයි