Skip to content

පටුනට යන්න

වර්ෂ 2003 ජාත්‍යන්තර සමුළු

වර්ෂ 2003 ජාත්‍යන්තර සමුළු

වර්ෂ 2003 ජාත්‍යන්තර සමුළු

වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියාහි (Watch Tower Bible and Tract Society of Pennsylvania) සාමාජිකයන්ගේ වාර්ෂික රැස්වීම, 2001 ඔක්තෝබර් 6වන සෙනසුරාදා අ.එ.ජ., නිව් ජර්සිහි, ජර්සි නගරයේ පැවැත්විණ. එම රැස්වීමෙන් පසු එම සාමාජිකයෝ හා පැමිණ සිටි අමුත්තෝ විශේෂ වැඩසටහනකින් ප්‍රයෝජන ලැබුවෝය. පසු දා, කැනඩාවේ හා එක්සත් ජනපදයේ නගර හතරක පැවැත්වූ අතිරේක රැස්වීම් නිම කරමින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෝ මතු දැක්වෙන නිවේදනය ප්‍රකාශ කළහ.

“අනාගතය දෙසට නෙත් යොමද්දී පෙනී යන්නේ, දෙවිගේ සියලු සෙනඟ අත්නෑර එකට එක්රැස් වීම ඉතා වැදගත් බවයි. යෙහෝවාගේ මහත්, බිය උපදවන දවස ළඟා වන බව දකින විට එකිනෙකාව දිරිගැන්වීම සඳහා වඩ වඩා එක්රැස් වන ලෙසට ප්‍රේරිත පාවුල් අවවාද කළේය. (හෙබ්‍රෙව් 10:24, 25) මෙම ශුද්ධ ලියවිලිමය අණට එකඟව, එන අවුරුද්දේ [2002] ලෝකයේ සියලු පැතිවල දිස්ත්‍රික් සමුළු පැවැත්වීමට අපි බලාපොරොත්තු වන්නෙමු. ඉන්පසු, 2003දී යෙහෝවාගේ කැමැත්ත ලැබේ නම්, සමහරවිට ලොව පුරා ඇතැම් පළාත්වල විශේෂ ජාත්‍යන්තර සමුළු පැවැත්වීමට හැකි වේවි. ලෝකයේ නොයෙක් සිදුවීම් සිදු වන අයුරු අවබෝධ කරගැනීම සඳහා අවදිව, දෙනෙත් යොමාගෙන සිටිය යුතු කාලය මෙයයි.”

මෙම වත්මන් ක්‍රමයේ නිමාව ළඟා වෙද්දී අස්ථිරභාවය හා නොසන්සුන් චිත්ත වේගයන් වැඩි වෙමින් තිබුණද දෙවිගේ ජනයා ක්‍රියාශීලීව ඉදිරියට ඇදී යා යුතුය. බයිබලයේ ඇති අනතුරු ඇඟවීමේ පණිවිඩය ඇතුළත් රාජ්‍යයේ ශුභාරංචිය සෑම ජාතියකටම, ගෝත්‍රයකටම, භාෂාවකටම අයත් ජනයාට ප්‍රකාශ කළ යුතු අතර, ‘දෙවිගේ විනිශ්චයේ පැය පැමිණ ඇති බැවින් දෙවිට භය වී ගෞරවය දෙන්න’ කියා ඔවුන්ට පැවසිය යුතුය. (එළිදරව් 14: 6, 7) එබැවින්, අපේ ස්වර්ගික පියාගේ කැමැත්තට හා ඔහුගේ සතුටට හේතු වන ආකාරයෙන් වර්ෂ 2003 සඳහා ලොව පුරා විවිධ පළාත්වල ජාත්‍යන්තර සමුළු පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මුලින්ම උතුරු අමෙරිකාවේ හා ඉන් නොබෝ කලකින් යුරෝපයේ නගර කීපයකම එම එක්රැස්වීම් පැවැත්වීමට තාවකාලිකව දින නියම කර තිබේ. ඊටත් ටික කලකට පසුව, 2003දී නියෝජිත කණ්ඩායම් කීපයකට ආසියාවේ නගර කීපයකට යෑමටද, වසර අවසානයේදී තවත් කණ්ඩායම් කීපයකට අප්‍රිකාවට, දකුණු අමෙරිකාවට හා පැසිෆික් ප්‍රදේශයට යෑමටද විධිවිධාන යොදනු ඇත. සමුළු පැවැත්වෙන එම ස්ථානවලට නියෝජිතයන් සීමිත සංඛ්‍යාවක් එවන මෙන් ඇරයුම් කරනු ලබන්නේ ඇතැම් ශාඛාවන්වලට පමණක් බැවින් සියල්ලන්ටම ආරාධනා කිරීමට හැකියාවක් නොතිබෙනු ඇත. කෙසේවුවද, විවිධ රටවල් නියෝජනය කරමින් නියෝජිතයන් සීමිත සංඛ්‍යාවක් හෝ මේ ස්ථානවල සිටීම දිරිගන්වන්නකි.

මෙම රැස්වීම් පිළිබඳව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවලට යථා කාලයේදී තොරතුරු ලබා දෙනු ඇත. ආරාධිත නියෝජිතයන්ට සහභාගි වීමට නියමිත නගර හා ස්ථිර දිනයන් පිළිබඳ තොරතුරු අදාළ ශාඛාවලින් ලැබේවි. එමනිසා, දැන් සිටම එම කාරණය සම්බන්ධයෙන් ලිපියකින් හෝ වෙනයම් මඟකින් නොවිමසන ලෙස ඉල්ලා සිටින්නෙමු.

අන්තිමේදී නියෝජිතයන් ලෙස තෝරාගනු ලබන්නේ කදිම ආදර්ශයක් වේයැයි සිතිය හැකි කැප වූ බව්තීස්ම ලත් සාක්ෂිකරුවන් පමණක් වන අතර ඔවුන් එම ස්ථානවල සිටින ප්‍රාදේශීය සහෝදරයන්ට සහෝදර ස්නේහය දක්වන පිරිසක් වේවි. එම සහෝදරයන්ටද, අමුත්තන්ව සාදරයෙන් පිළිගැනීමට හා අව්‍යාජ ලෙස සංග්‍රහශීලී වීමට කදිම අවස්ථා උදා වනු ඇත. (හෙබ්‍රෙව් 13: 1, 2) මෙය “එකිනෙකා අතර දිරිගැන්වීමේ හුවමාරුවක්” කිරීම සඳහා ප්‍රස්තාවක් වේ. (රෝම 1: 11, 12, NW) එක්තරා රටකට හෝ ඇතැම් රටවලට නියෝජිතයන් යැවීමට ඇරයුම් ලබන ශාඛාවන් මගින් මෙම විධිවිධාන සම්බන්ධයෙන් තවදුරටත් විස්තර සපයනු ඇත.

වර්ෂ 2003 සඳහා සාමාන්‍ය පරිදි රටවල් බොහොමයක දින තුනේ දිස්ත්‍රික් සමුළු පැවැත්වීමට කටයුතු පිළියෙළ කෙරේ. එකට එක්රැස් වීමෙන්, ‘සවන් දීමට, ඉගෙනගැනීමට හා දිරිගැන්වීමක් ලැබීමට’ ප්‍රස්තාව ලැබේ. (ද්විතීය කථාව 31:12; 1 කොරින්ති 14:31, NW) එමගින් දෙවිගේ සියලු සෙනඟට “යෙහෝවා යහපත් බව රස බලා දැනගන්න” අවස්ථාව උදා වේ. (ගීතාවලිය 34:8) සියලුම ජාත්‍යන්තර සමුළුවලට මෙන්ම දිස්ත්‍රික් සමුළු බොහොමයකට මිෂනාරිවරුන් පැමිණෙන අතර ඉන් සමහරෙකු වැඩසටහනේ කොටස්වලටද සහභාගි වනු ඇත.

මෙම වසරේදී අපි “ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෝ” නම් දිස්ත්‍රික් සමුළුවලින් ප්‍රයෝජන ලබන්නෙමු. එවිට අතිමහත් සාක්ෂියක් දැරීම සඳහා වූ අපේ උද්‍යෝගය වැඩි වේ. එසේ සාක්ෂි දරමින් සිටියදී, යෙහෝවා අප වෙනුවෙන් ඊළඟ වසර සඳහා සූදානම් කර තිබෙන දේ කෙරෙහි බලා සිටීමේ ආශාව ස්ථිර වශයෙන්ම වැඩි වනු නිසැකය. මෙම අන්තරා සහිත මෙන්ම ඉතා වැදගත් කාලය ගැන සලකා බලන විට ‘සෝදිසියෙන්, අවදිව හා සූදානමින්’ සිටීමට එම ආශාව උපකාරවත් වනු ඇත.—මතෙව් 24:42-44, NW.