Skip to content

පටුනට යන්න

ඇත්තෙන්ම නිරය යනු කුමක්ද?

ඇත්තෙන්ම නිරය යනු කුමක්ද?

ඇත්තෙන්ම නිරය යනු කුමක්ද?

“නිරය” යන වචනය ඇසෙත්ම ඔබගේ මනසේ කුමන ආකාරයේ චිත්‍රයක් මැවුණද, එය පාපයට දඬුවම් දෙන ස්ථානයක් බව පොදුවේ පිළිගනු ලැබේ. පාපය හා එහි බලපෑම ගැන බයිබලයේ කියන්නේ “එක් මනුෂ්‍යයෙකු කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල් වුණාක් මෙන්, සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය” කියායි. (රෝම 5:12) ශුද්ධ ලියවිල්ලේ තවදුරටත් මෙසේද සඳහන් වේ. “පාපයේ කුලී නම් මරණයය.” (රෝම 6:23) පාපය සඳහා දඬුවම මරණය වන බැවින් නිරයේ සැබෑ තත්වය දැනගැනීම සඳහා අපි මේ ප්‍රශ්නයට පිළිතුරු ලබාගත යුත්තෙමු. එනම් අප මිය ගිය විට සිදු වන්නේ කුමක්ද?

මරණයෙන් පසු යම් ආකාරයකින් හෝ ස්වභාවයකින් ජීවිතය දිගින් දිගටම පවතිනවාද? නිරය කියන්නේ කුමක්ද? එහි යන්නේ කවුද? නිරයේ ඉන්න අයට යම් බලාපොරොත්තුවක් තිබෙනවාද? බයිබලයේ මෙවැනි ප්‍රශ්නවලට සත්‍යවාදී හා සෑහීමට පත් විය හැකි පිළිතුරු සපයයි.

මරණින් පසු ජීවිතය?

මරණයේදී පුද්ගලයෙකු තුළ ආත්මයක් වැනි අමරණීය යමක් සිරුරෙන් පිට වී ගොස් අඛණ්ඩව පවතීද? සොක්‍රටීස් හා ප්ලේටෝ යන පුරාණ ග්‍රීක දාර්ශනිකයන් විශ්වාස කළේ කෙනෙක් මිය යන විට ඔහුගේ ශරීරයේ අභ්‍යන්තර ආත්මයක් මරණය ජයගන්නා බවත් එය කිසිදා නොමියෙන බවත්ය. පළමු මිනිසා වන ආදම්ට ජීවය ලැබුණු හැටි මදකට සිතා බලන්න. බයිබලයේ පවසන්නේ “ස්වාමී වූ දෙවි භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළුවේය” කියායි. (උත්පත්ති 2:7) හුස්ම ගැනීමෙන් ජීවයක් පවත්වාගත හැකි වුවද, “ජීවන හුස්ම” නාස්පුඩු තුළට හෙළීම යනුවෙන් අදහස් වන්නේ නිකම්ම පෙණහලුවලට හුස්ම ඇතුල් කරනවාට වඩා වැඩි යමකි. එයින් අදහස් වූයේ දෙවි ආදම්ගේ අජීවි ශරීරය තුළට ජීවය නමැති දැල්ල ඇතුල් කළ බවය. එනම් මිහිපිට සෑම ජීවියෙකුගේම පැවැත්මට අවශ්‍ය “ජීවන හුස්ම” නොහොත් ජීව බලය ලබා දුන් බවයි. (උත්පත්ති 6:17, 7:22) බයිබලයේ සිරුර පණගන්වන මෙම ජීව බලය හඳුන්වන්නේ “ආත්මය” යනුවෙනි. (යාකොබ් 2:26) මෙම ආත්මය යම් යන්ත්‍රයක් හෝ උපකරණයක් ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය විදුලි ධාරාවක් හා සැසඳිය හැක. විදුලිය උපකරණයකට බලය සැපයුවද එම විදුලිය කිසිදාක උපකරණය බවට පත් වන්නේ නැත. ඒ හා සමානව ජීව බලය ජීවියාව පණ ගැන්වුවද එය ජීවියෙකු බවට පත් නොවෙයි. එය ජීවියාට කිසිම අන්දමකින්වත් සමාන නොවන අතර පෞද්ගලිකත්වයක් හෝ කල්පනා ශක්තියක්ද එයට නොමැත.

පුද්ගලයෙකු මිය යන විට මෙම ජීව බලයට නොහොත් ආත්මයට සිදු වන්නේ කුමක්ද? ගීතාවලිය 146:4හි මෙසේ පවසා තිබේ. “ඔහුගේ හුස්ම [ආත්මය, NW] නික්ම යයි, ඔහු ස්වකීය භූමියට හැරී යයි. එදාම ඔහුගේ කල්පනා නැති වේ.” මේ අනුව පුද්ගලයෙක් මිය ගිය විට පෞද්ගලිකත්වයක් නොමැති ඔහුගේ ආත්මය වෙනත් භවයක් ලබමින් ආත්ම ජීවියෙකු හැටියට පවතින්නේ නැත. එය “ඒක දුන් දෙවි වෙතට හැරී [යන්නේය].” (දේශනාකාරයා 12:7) මින් අදහස් වන්නේ එම පුද්ගලයාගේ නැවත ජීවත් වීමේ අපේක්ෂාව සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ දෙවිගේ හස්තයෙහි බවයි.

එනමුත් ප්‍රාණය සම්බන්ධව බයිබලය උගන්වන්නේ කුමක්ද? උත්පත්ති 2:7හි පෙන්නුම් කරන්නේ ආදම් “ජීවමාන ප්‍රාණයක් විය” යනුවෙනුයි. ඔහු ප්‍රාණයක් වූවා මිසක අමරණීය වූ යමක් ඔහු තුළට ඇතුල් කළේ නැති බව සැලකිල්ලට ගන්න. මේ අනුව “ප්‍රාණය” සඳහා භාවිත කර ඇති මුල් භාෂා වචනයට “ප්‍රාණය” භාවිත නොකර, “සත්වයා” “පුද්ගලයා” “සිත” “ආත්මය” සහ “ජීවිතය” ලෙස ශුද්ධ ලියවිල්ලෙහි විවිධාකාරව පරිවර්තනය කර ඇත. ඊට හේතුව පුද්ගලයෙකු වශයෙන් ඔහු ජීවිතයේ අද්දකින විවිධ තත්වයන් එම යෙදුම්වලින් විස්තර කෙරෙන නිසාය. මේ අනුව, ප්‍රාණය නොහොත් පුද්ගලයා වැඩ කරනවා, කෑමට ආශා කරනවා, පැහැරගනු ලබනවා, ශෝකය අද්දකිනවා යනාදි වශයෙන් ශුද්ධ ලියවිල්ලේ සඳහන් වේ. (ලෙවී කථාව 23:30; ද්විතීය කථාව 12:20; 24:7, නව අනුවාදය ගීතාවලිය 119:28) පුද්ගලයාට නොහොත් ප්‍රාණයට මරණයේදී සිදු වන්නේ කුමක්ද? ඔහු මිය යයි.—එසකියෙල් 18:4.

එසේ නම්, මළවුන්ගේ සැබෑ තත්වය කුමක්ද? ආදම් කළ වරදට විනිශ්චය දීමේදී යෙහෝවා මෙසේ පැවසීය. “නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහිය.” (උත්පත්ති 3:19) දෙවි භූමියේ දූවිල්ලෙන් ආදම්ව සාදා ඔහුට ජීවිතය දීමට පෙර ඔහු සිටියේ කොහේද? ඔහු කොතැනකවත් සිටියේ නැත. ආදම් මිය ගිය විට ඔහු සම්පූර්ණයෙන්ම අප්‍රාණික සිහි නැති තත්වයකට පත් විය. මළවුන්ගේ තත්වය දේශනාකාරයා 9:5, 10හි මෙසේ මනාව පැහැදිලි කර තිබේ. “මළාහු කිසිවක් නොදනිති . . . නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.” ශුද්ධ ලියවිල්ලේ පෙන්නුම් කරන ආකාරයට මරණය යනු පැවැත්මෙන් තොර අප්‍රාණික තත්වයකි. මළවුන්ට කිසි හැඟීමක් දැනීමක් හෝ කල්පනාවක් නැත.

නිමක් නැති වධ විඳීමද? පොදු මිනිවළද?

මළාවූ අය සිහි නැති අක්‍රිය තත්වයක සිටින නිසා නියත වශයෙන්ම නිරය යනු මිය ගිය පසු දුෂ්ටයන්ට වධ හිංසා කරන ස්ථානයක් විය නොහැක. එසේනම් නිරය කියන්නේ කුමකටද? යේසුස් මිය ගිය පසු ඔහුට සිදු වූ දේ ගැන පරීක්ෂා කිරීම මගින් මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලබාගත හැකියි. සුවිශේෂ ලේඛක ලූක් “[ක්‍රිස්තුස්ව] පාතාලයේ [හේදීසයේ, NW; නිරයේ, කිං ජේම්ස් වර්ෂන්] නවතින්ට හරිනු නොලැබූ බවත් ඔහුගේ මාංසය කුණු නොවූ බවත්” පැවසුවේය. (ක්‍රියා 2:31) a යේසුස් පවා ගිය පාතාලය හෙවත් නිරය කුමක්ද? මේ සම්බන්ධව පාවුල් ලිව්වේ මෙසේයි. “ඉතින් මාත් . . . නුඹලාට භාර දුනිමි. එනම්, ලියවිලිවල ප්‍රකාරයට අපේ පව් නිසා ක්‍රිස්තුස් මැරුණු බවත්, ඔහු තැන්පත් කරනු ලැබූ බවත්, ලියවිලිවල ප්‍රකාරයට තුන්වෙනිදා ඔහු නැඟිටුවනු ලැබූ බවත්ය.” (1 කොරින්ති 15:3, 4) යේසුස් පවා පාතාලයේ හෙවත් නිරයෙහි සිටි බව මින් පැහැදිලියි. ඔහුව එහි අත්හැර දමා තිබුණේ නැත. ඒ වෙනුවට ඔහුව නැවත නැඟිටුවන ලදි.

බොහෝ දුක් වේදනාවලට මුහුණ දුන් ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් වන යෝබ් ගැනද සලකා බලන්න. ඔහු දුක් වේදනාවන්ගෙන් තමන්ව මුදවාලන මෙන් ආයාචනා කර සිටියේ මෙසේයි. “අහෝ, ඔබ මා ෂෙයෝලෙහි [නිරයෙහි, කිං ජේම්ස් වර්ෂන්] වසා තබා, ඔබගේ උදහස පහ වන තුරු මා සඟවා, මට කාලයක් නියම කොට, මා සිහි කරන්නේ නම් කැමැත්තෙමි!” b (යෝබ් 14:13) මේ පීඩාවලින් මිදීම සඳහා යෝබ් ගිනිමය වේදනා විඳින තැනකට යෑමට ඉල්ලා සිටියා කියා සිතීම තර්කානුකූලද? යෝබ් “නිරය” සැලකුවේ ඔහුගේ වේදනාවන් නිමාවට පත් කරන පොදු මිනිවළ හැටියටයි. එසේනම් බයිබලයේ කතා කරන නිරය යනු හොඳ හා නරක යන දෙකොට්ඨාසයම යන පොදු මිනිවළයි.

නිරාගින්නෙන් සදාකාලික විනාශයක්?

නිරාගින්නෙන් සම්පූර්ණ විනාශ වී යෑමක් සංකේතවත් කරනවා විය හැකිද? ගින්න හේදීසය හෙවත් නිරයෙන් වෙන් කොට දක්වමින් ශුද්ධ ලියවිල්ලෙහි පවසන්නේ “මරණයත් හේදීසයත් ගිනිවිලට හෙළන ලද්දේය” කියායි. ගිනිවිල යන වචනය භාවිතා කර තිබෙන්නේ සංකේත භාෂාවෙනි. පදගතාර්ථයෙන් ගත් කළ මරණය හා නිරය (හේදීසය) පිලිස්සිය නොහැක. “මෙය [ගිනිවිල] දෙවෙනි මරණයය.” දෙවෙනි මරණයෙන් අදහස් වන්නේ නැවත නැඟිටීමක් නැති තත්වයකි.—එළිදරව් 20:14, NW.

ගිනිවිලට සමාන අරුතක් ඇති තවත් වචනයකි, යේසුස් කතා කළ “ගිනිමය ගෙහෙන්නාව.” (මතෙව් 5:22; මාර්ක් 9:47, 48, NW) ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිලිවල ගෙහෙන්නාව යන වචනය 12 වතාවක් සඳහන් වී ඇති අතර එයින් ඇඟවූයේ යෙරුසලමේ තාප්පයෙන් පිටත පිහිටා තිබුණු හින්නොම් මිටියාවතයි. යේසුස්ගේ කාලයේදී මෙම මිටියාවත කුණු කසළ දමන ස්ථානයක්ව තිබුණි. එක් මූලාශ්‍රයකට (Smith’s Dictionary of the Bible) අනුව එහි “අපරාධකාරයන්ගේ මළ සිරුරු හා තිරිසනුන්ගේ මළකුණුද ඇතුළු වෙනත් සෑම වර්ගයකම කුණු ඒ ස්ථානයට දමන ලදි.” කුණු කසළ පිලිස්සීම සඳහා නොකඩවාම ගින්දර අවශ්‍ය වූ නිසා එහි ගෙන්දගම් එකතු කරන ලදි. සදාකාල විනාශය සංකේතවත් කිරීමට යේසුස් එම මිටියාවත භාවිතා කිරීම කොතරම් උචිතද?

ගෙහෙන්නාව හා සමානව ගිනිමය විලෙනුත් සදාකාල විනාශය සංකේතවත් කරයි. හේදීසය හා මරණය ‘ගිනිවිලට හෙළීම’ යන්නෙන් අදහස් වන්නේ මනුෂ්‍යයා පාපයෙන් හා මරණ දණ්ඩනයෙන් නිදහස් වීම මගින් ඒවා සම්පූර්ණයෙන්ම නැති වී යෑමයි. හිතාමතා පව් කරන අයට මෙම ගිනිවිලෙහි ‘කොටසක්’ තිබෙන බව කියැවේ. (එළිදරව් 21:8) ඔවුන්ව සදාකාලයටම විනාශ වනු ඇත. අනික් අතට යෙහෝවාගේ මතකයේ රැඳී සිටින, නිරයේ හෝ පොදු මිනිවළෙහි සිටින්නන්ට අනාගතය පිළිබඳ මහඟු බලාපොරොත්තුවක් තිබේ.

නිරය හිස් වන දා

එළිදරව් 20:13හි පවසන්නේ “සමුද්‍රය එහි උන් මළවුන් පාවා දුන්නේය. මරණයත් පාතාලයත් එහි උන් මළවුන් පාවා දුන්නෝය” යනුවෙනි. අනිවාර්යයෙන්ම බයිබලයේ කතා කරන නිරය හිස් වෙයි. යේසුස් පොරොන්දු කළේ මෙසේය. “සිහිවීමේ සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට [යේසුස්ගේ] හඬ ඇසෙන පැය පැමිණෙන්නේය. . . . [ඔවුහු] පිටතට එන්නෝය.” (යොහන් 5:28, 29, NW) යෙහෝවාගේ මතකයේ සිටින මිලියන ගණන් මළාවූ අය දැන් මොනම ස්වභාවයකින්වත් නොපැවතුණද යළි පිහිටුවන ලද පාරාදීසයක නැවත නැඟිටීමට එසේත් නැත්නම් යළි ජීවත් වීමට ඔවුන්ට හැකි වනු ඇත.—ලූක් 23:43; ක්‍රියා 24:15.

දෙවි විසින් පිහිටුවනු ලබන නව පොළොවේදී ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුකූලව ජීවත් වන්නාවූ මනුෂ්‍යයන් නැවත කිසිමදාක මිය යන්නේ නැත. (යෙසායා 25:8) “ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණය තවත් නොවන්නේය. වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.” (එළිදරව් 21:4) නිරයේ එනම් “සිහිවීමේ සොහොන් ගෙවල්හි” සිටින සියලුදෙනාටම මෙය මොනතරම් ප්‍රීතිමත් ආරංචියක්ද! මෙම කදිම ආශීර්වාදයන්ම යෙහෝවා දෙවි හා ඔහුගේ පුත් යේසුස් ගැන වැඩිපුර දැනුමක් ලබාගැනීමට ඔබව පොලඹවන්නේ නැද්ද?—යොහන් 17:3.

[පාදසටහන්වල]

a ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල හේදීසය යන වචනය සඳහන් ස්ථාන 10හිම කිං ජේම්ස් වර්ෂන්හි එය පරිවර්තනය කොට ඇත්තේ “නිරය” වශයෙනි. ලූක් 16: 19-31හි වධ විඳීම ගැන සඳහන් කළත් එම මුළු වාර්තාවම ලියා ඇත්තේ උපමාලංකාර භාෂාවෙන්ය. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොතේ 88වෙනි පරිච්ඡේදය බලන්න.

b හෙබ්‍රෙව් ලියවිල්ලේ ෂෙයෝලය යන හෙබ්‍රෙව් වචනය 65 වතාවක් සඳහන් වේ. එය “නිරය,” “මිනිවළ” හා “වළ” වශයෙන් කිං ජේම්ස් වර්ෂන්හි පරිවර්තනය කොට ඇත.

[5වන පිටුවේ පින්තූරය]

යෝබ් නිරයේ ආරක්ෂාව පතා යාච්ඤා කළේය

[6වන පිටුවේ පින්තූරය]

ගිනිමය ගෙහෙන්නාව—සදාකාල විනාශය සංකේතවත් කරයි

[7වන පිටුවේ පින්තූරය]

‘සිහිවීමේ සොහොන් ගෙවල්හි සිටින සියලුදෙනා පිටතට පැමිණෙයි’