Skip to content

පටුනට යන්න

ඔබේ විඳදරාගැනීමට දේවභක්තිය එකතු කරගන්න

ඔබේ විඳදරාගැනීමට දේවභක්තිය එකතු කරගන්න

ඔබේ විඳදරාගැනීමට දේවභක්තිය එකතු කරගන්න

“ඔබේ ඇදහිල්ලට . . . විඳදරාගැනීමද, ඔබේ විඳදරාගැනීමට දේවභක්තියද . . . එකතු කරගන්න.” —2 පේතෘස් 1:5, 6, NW.

1, 2. (අ) දරුවෙකු සම්බන්ධයෙන් බලාපොරොත්තු වන්නේ කෙබඳු වැඩීමක්ද? (ආ) ආත්මික වර්ධනය කොතරම් වැදගත් දෙයක්ද?

 දරුවෙකු තුළ යම් වැඩීමක් දක්නට ලැබීම ඉතා වැදගත්ය. එනමුත්, වැඩීම යන්න ශාරීරික වර්ධනයට සීමා වූ දෙයක් නොවේ. මනසින් සහ චිත්තවේගයන් අතින්ද වර්ධනයක් අපේක්ෂා කෙරේ. කල් යත්ම, දරුවෙක් තම බොළඳ පුරුදු අත්හැර, මේරූ පුරුෂයෙකු හෝ ස්ත්‍රියක දක්වා වැඩෙයි. ප්‍රේරිත පාවුල් මෙවැන්නකට යොමු දක්වමින් මෙසේ ලීවේය. “මම බිලිඳෙකුව සිටියදී, බිලිඳෙකු මෙන් කතා කළෙමි. බිලිඳෙකු මෙන් සිතුවෙමි. බිලිඳෙකු මෙන් තර්ක කළෙමි. නමුත් දැන් මා වැඩිහිටියෙකු බවට පත්ව සිටින හෙයින්, මම බිලිඳෙකුගේ ගතිලක්ෂණ අත්හැර දමා සිටිමි.”—1 කොරින්ති 13:11, NW.

2 පාවුල්ගේ වදන්වලින් ආත්මික වර්ධනය ගැන වැදගත් කරුණක් හෙළි වේ. එනම් ‘තේරුම්ගැනීමේ හැකියාවන් සම්බන්ධයෙන් මේරූවීමට’ ක්‍රිස්තියානීන් ආත්මික බිලිඳුකම අත්හැර ප්‍රගතියක් ලබාගත යුතු බවය. (1 කොරින්ති 14:20, NW) එමනිසා “ක්‍රිස්තුස්ගේ පූර්ණකමට අයත් උස මහත කරා” පැමිණීමට වෑයමක් දැරීම අවශ්‍යය. එසේ කළහොත්, ඔවුන් ‘සුළඟක් වැනි ඉගැන්වීම් නිසා මුහුදේ රැළි මෙන් එහාට මෙහාට වීසි වෙන්නාවූ බාලයන්’ මෙන් නොවනු ඇත.—එපීස 4:13, 14, NW [4:12, 14].

3, 4. (අ) ආත්මික අර්ථයකින් පරිණත වීමට අප කුමක් කළ යුතුද? (ආ) අප විදහාපෙන්විය යුත්තේ කවර දිව්‍යමය ගුණාංගද? ඒවා කොතරම් වැදගත්ද?

3 ආත්මික අර්ථයකින් අපට පරිණත විය හැක්කේ කෙසේද? සාමාන්‍ය තත්වයන් යටතේදී ශාරීරික වර්ධනය නිරායාසයෙන්ම සිදු වුවත්, ආත්මික වර්ධනය සඳහා දැඩි වෑයමක් දැරිය යුතුය. මුල්ම පියවර වන්නේ දේවවචනය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගෙන, අප ඉගෙනගන්නා දේට එකඟව ක්‍රියා කිරීමයි. (හෙබ්‍රෙව් 5:14; 2 පේතෘස් 1:3) ප්‍රතිඵලයක් ලෙස දිව්‍යමය ගුණාංග විදහාපෙන්වීමට අපට අවකාශ සැලසේ. ශාරීරික වර්ධනය සිදු වන්නාක් මෙන්, විවිධාකාර දිව්‍යමය ගුණාංගද අප තුළ සමගාමීව වර්ධනය වේ. ප්‍රේරිත පේතෘස් ලීවේ මෙසේය. “මේ කාරණය නිසාම මුළු උත්සාහයෙන් ඔබේ ඇදහිල්ලට සුචරිතයද, ඔබේ සුචරිතයට දැනුමද, ඔබේ දැනුමට ආත්ම-දමනයද, ඔබේ ආත්ම-දමනයට විඳදරාගැනීමද, ඔබේ විඳදරාගැනීමට දේවභක්තියද, ඔබේ දේවභක්තියට සහෝදර ස්නේහයද, ඔබේ සහෝදර ස්නේහයට ප්‍රේමයද එකතු කරගන්න.”—2 පේතෘස් 1:5-7, NW.

4 පේතෘස් මෙහිදී ලැයිස්තුගත කරන සෑම ගුණාංගයක්ම වැදගත්ය. එමනිසා ඉන් කිසිවක් ඉවතලන්නට නුපුළුවන. ඔහු මෙසේද එකතු කරයි. “මේවා ඔබ තුළ පවතී නම්, ඉතිරී යනවා නම්, ඒවා අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ නිවැරදි දැනුම සම්බන්ධයෙන් අක්‍රියාශීලී වීමෙන් හෝ ඵල රහිත වීමෙන් ඔබව වළක්වයි.” (2 පේතෘස් 1:8, NW) කෙසේවෙතත්, අපගේ විඳදරාගැනීමට දේවභක්තිය එකතු කිරීමේ අවශ්‍යතාව කෙරෙහි මෙහිදී අපගේ අවධානය යොමු කරමු.

විඳදරාගැනීම සඳහා ඇති අවශ්‍යතාව

5. අපට විඳදරාගැනීම අවශ්‍ය වන්නේ මන්ද?

5 පේතෘස් හා පාවුල් යන දෙදෙනාම විඳදරාගැනීමට දේවභක්තිය සම්බන්ධ බව දක්වති. (1 තිමෝති 6:11, NW) විඳදරාගන්නවා යන්නෙන් අදහස් වන්නේ නිකම්ම දුෂ්කරතා දරාගෙන, අධිෂ්ඨානපූර්වකව සිටීම නොවේ. මීට අයත් වන්නේ, පීඩා, බාධක, පරීක්ෂා හෝ වෙනත් අසීරුතා හමුවේ ඉවසිලිවන්තව, ධෛර්යයෙන් සහ බලාපොරොත්තු නැති කර නොගෙන ස්ථිරව සිටීමය. “ක්‍රිස්තුස් යේසුස් තුළ භක්තිවන්ත ලෙස” ජීවත් වන අය වශයෙන්, අපි පීඩා අපේක්ෂාවෙන් සිටිමු. (2 තිමෝති 3:12) යෙහෝවා සඳහා අපගේ ප්‍රේමය ඔප්පු කිරීමටත්, ගැළවීම සඳහා අවශ්‍ය ගුණාංග වර්ධනය කරගැනීමටත් අප විඳදරාගත යුතුමය. (රෝම 5:3-5; 2 තිමෝති 4:7, 8; යාකොබ් 1:3, 4, 12) අප විඳදරාගන්නේ නැත්නම්, අපට සදාකාල ජීවනය හිමි වන්නේ නැත.—රෝම 2:6, 7; හෙබ්‍රෙව් 10:36.

6. අවසානය දක්වා විඳදරාගැනීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

6 අපගේ ආරම්භය කොතරම් සාර්ථක එකක් වුවද, අන්තිමේදී සාර්ථකත්වය තීරණය වන්නේ අප විඳදරාගත්තාද නැද්ද යන කාරණය මතයි. “ගළවනු ලබන්නේ අවසානය දක්වා විඳදරාගන්නා තැනැත්තාව” බව යේසුස් පැවසුවේ එනිසාවෙනි. (මතෙව් 24:13, NW) මින් පැහැදිලි වන්නේ, අපගේ ජීවිතයේ කෙළවර දක්වා හෝ මෙම දුෂ්ට ක්‍රමයේ අවසානය දක්වා හෝ අප විඳදරාගත යුතු බවයි. අපට කුමක් සිදු වුවත්, දෙවිට අපගේ අඛණ්ඩතාව පවත්වාගැනීම අනිවාර්යය. කෙසේවෙතත්, අපගේ විඳදරාගැනීමට දේවභක්තිය එකතු කළේ නැත්නම්, යෙහෝවාව සතුටු කිරීමට අප සමත් වන්නේ නැත. ප්‍රතිඵලයක් ලෙස සදාකාල ජීවනය අපට අහිමි වනු ඇත. එසේ නම්, දේවභක්තිය යනු කුමක්ද?

දේවභක්තියෙන් අදහස් වන දේ

7. දේවභක්තිය යනු කුමක්ද? එයින් අප තුළ පෙලඹීමක් ඇති කරන්නේ කුමක් කිරීමටද?

7 දේවභක්තිය යනු යෙහෝවා දෙවිගේ විශ්වනීය පරමාධිපත්‍යයට පක්ෂපාත වීම හේතුවෙන් ඔහුට පෞද්ගලිකව දක්වන ගැඹුරු ගෞරවය, ඉදිරිපත් කරන නමස්කාරය සහ සේවයයි. යෙහෝවා ඉදිරියෙහි දේවභක්තිය විදහාපෙන්වීමට නම්, ඔහු සහ ඔහුගේ මාර්ගයන් ගැන අපට නිවැරදි දැනුමක් තිබීම අවශ්‍යය. දෙවිව පෞද්ගලිකව, ඉතා කුලුපග ලෙස දැනහඳුනා ගැනීම අපගේ ආශාව විය යුතුය. එහි ප්‍රතිඵලයක් ලෙස, හද පත්ලෙන්ම නික්මෙන ඇල්මක් ඇති කරගැනීමට අප පෙලඹෙන අතර, අපගේ ක්‍රියාවන් සහ ජීවිතය ගත කරන ආකාරය තුළින් එය දැකගත හැකි වේ. අපගේ ආශාව වන්නේ හැකි තරම් යෙහෝවා හා සමාන වීමටයි. ඒ සඳහා ඔහුගේ ක්‍රියාවන් අනුකරණය කිරීමටත්, ඔහුගේ ගුණාංග සහ පෞද්ගලිකත්වය පිළිබිඹු කිරීමටත් අපි ආශා වන්නෙමු. (එපීස 5:1) ඇත්තෙන්ම, අප කරන සියල්ලේදී දෙවිව සතුටු කිරීමට අපව පොලඹවන්නේ දේවභක්තියයි.—1 කොරින්ති 10:31.

8. දේවභක්තිය සහ තනි භක්තිය අත්වැල් බැඳගෙන ක්‍රියාත්මක වන්නේ කෙසේද?

8 දේවභක්තිය විදහාපෙන්වීමට නම්, අප යෙහෝවාට පමණක් නමස්කාරය පිරිනැමිය යුතුය. ඔහුට හිමි විය යුතු තැන වෙනත් කිසිවකට නොදීමට අප වගබලා ගත යුතුය. ඔහු අපගේ මැවුම්කරු නිසා, අපගෙන් තනි භක්තිය අපේක්ෂා කිරීමේ අයිතිය ඔහු සතුය. (ද්විතීය කථාව 4:24; යෙසායා 42:8) කෙසේවෙතත්, යෙහෝවා ඔහුට නමස්කාර කරන්නට කියා අපට බලා කරන්නේද නැත. ඔහු ආශා වන්නේ අප කැමැත්තෙන්ම ඔහුට භක්තිය පෙන්වනවා දැකීමටයි. දෙවි සඳහා අප දක්වන ප්‍රේමය නිවැරදි දැනුම මත පදනම් වී ඇත්නම්, අපගේ ජීවිතය පවිත්‍ර කරගැනීමටත්, කොන්දේසි විරහිතව ඔහුට කැපවීමටත්, එම කැපවීමට එකඟව ජීවත් වීමටත් අපි පෙලඹෙන්නෙමු.

දෙවි සමඟ සබඳතාවක් ගොඩනැඟීම

9, 10. දෙවි සමඟ කිට්ටු සබඳතාවක් ගොඩනැංවීමටත්, පවත්වාගැනීමටත් හැක්කේ කෙසේද?

9 දෙවිට අප කළ කැපවීම බව්තීස්ම වීමෙන් සංකේතවත් කිරීමෙන් අනතුරුව, දෙවි සමඟ තව තවත් කිට්ටු සබඳතාවක් ගොඩනැඟීමේ අවශ්‍යතාව පවතී. මේ දේ කිරීමටත්, යෙහෝවාට විශ්වාසවන්තව සේවය කිරීමටත් අපට ආශාවක් තිබෙන නිසා, ඔහුගේ වචනය නිරතුරුව අධ්‍යයනය කරන්නටත්, ඒ ගැන මෙනෙහි කරන්නටත් අපි පෙලඹෙන්නෙමු. අපගේ මනස් සහ හදවත් තුළ දෙවිගේ ආත්මය ක්‍රියාත්මක වීමට ඉඩ දෙන විට, යෙහෝවා සඳහා අපගේ ප්‍රේමය තව තවත් ගැඹුරු වේ. අපගේ ජීවිතයේ වඩාත්ම වැදගත් දේ වන්නේ ඔහු සමඟ තිබෙන අපගේ සබඳතාවයි. යෙහෝවාව අපගේ හොඳම මිතුරා ලෙස සලකන අපි, නිරතුරුව ඔහුව සතුටු කිරීමට ආශාවෙන් සිටින්නෙමු. (1 යොහන් 5:3) දෙවි සමඟ භුක්ති විඳින මෙම සතුටුදායක සබඳතාවෙන් අප අද්දකින ප්‍රීතිය වර්ධනය වේ. අවශ්‍යතාවක් පැනනඟින විට ඔහු අපට ප්‍රේමනීයව උපදෙස් දෙමින්, නිවැරදි කරන විට, අප එය භාරගන්නේ කෘතගුණෙන් පිරි හදවත්වලිනි.—ද්විතීය කථාව 8:5.

10 යෙහෝවා සමඟ අප භුක්ති විඳින මෙම අනගි සබඳතාව ශක්තිමත් කිරීමට නිරතුරුව පියවර නොගතහොත්, එම සබඳතාව දුර්වල වී යා හැක. එවැන්නක් සිදු වූවා නම්, දෙවිට දොස් තැබිය නොහැක. මන්ද “ඔහු අප එකිනෙකාට නුදුරුව සිටින්නේය.” (ක්‍රියා 17:27) එසේ නම්, යෙහෝවා වෙතට එළඹීමේ මඟ පහසු එකක් වීම ගැන අපට කොතරම් සන්තෝෂ විය හැකිද! (1 යොහන් 5:14, 15) කෙසේවෙතත්, යෙහෝවා සමඟ කිට්ටු සබඳතාවක් පවත්වාගෙන යෑමට අපගේ පැත්තෙන් දැඩි වෑයමක් දැරීම අවශ්‍යය. එනමුත්, දේවභක්තිය ගොඩනැංවීමටත්, පවත්වාගැනීමටත් අවශ්‍ය සැපයුම් සියල්ල අපට ලබා දීමෙන් ඔහුට ළංවීම සඳහා අවශ්‍ය උපකාර ඔහු පිරිනමයි. (යාකොබ් 4:8) මෙම ප්‍රේමනීය සැපයුම්වලින් උපරිම ප්‍රයෝජන නෙළාගත හැක්කේ කෙසේද?

ශක්තිමත් ආත්මිකත්වයක් පවත්වාගන්න

11. අපගේ දේවභක්තිය ප්‍රකාශ වන සමහරක් දේවල් මොනවාද?

11 අපගේ දේවභක්තියේ තරම විදහාපෙන්වීමට අපව පොලඹවන්නේ දෙවි කෙරෙහි ගැඹුරින් මුල් බැසගත් අපගේ ප්‍රේමයයි. මේ අනුව, පාවුල්ගේ මෙම උපදෙසට අපි අවනත වන්නෙමු. “සැබෑවේ වචනය හරි ආකාර පහදා දෙන්නාවූ, ලජ්ජා වෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවිට ඒත්තු වුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහ කරන්න.” (2 තිමෝති 2:15) ඒ සඳහා නිතිපතා බයිබල් අධ්‍යයනය, රැස්වීම්වලට යෑම සහ ක්ෂේත්‍ර සේවයෙහි සහභාගි වීම සම්බන්ධයෙන් හොඳ පුරුදු පවත්වාගැනීම අවශ්‍ය වේ. ‘නොකඩවා යාච්ඤා කිරීමෙන්ද’ යෙහෝවාට ළංව සිටිය හැක. (1 තෙසලෝනික 5:17) මේ සියල්ල අපගේ දේවභක්තිය අර්ථාන්විතව ප්‍රකාශ කිරීමට ඉවහල් වන දේවල්ය. ඉන් යමක් නොසලකා හැරියහොත්, අප ආත්මිකව රෝගාතුර වී, සාතන්ගේ උපායන්වලට පහසුවෙන් ගොදුරු විය හැක.—1 පේතෘස් 5:8.

12. අපට පරීක්ෂාවන්ට සාර්ථකව මුහුණ දිය හැක්කේ කෙසේද?

12 ආත්මික ලෙස ශක්තිමත්ව හා ක්‍රියාශීලීව සිටීමද, අප හමුවට පැමිණෙන ඕනෑම පරීක්ෂාවක් ඉදිරියේ ස්ථිරව සිටීමට මහෝපකාරි වේ. අපට දැඩි පීඩාවක් විය හැකි මාධ්‍යයකින් පීඩා පැමිණිය හැක. නිදසුනකට, උදාසීනකම, විරුද්ධවාදිකම් සහ පීඩා පවුලේ සාමාජිකයන්, නෑදෑයන් හෝ අසල්වාසීන් අතින් විඳීමට සිදු වන විට, ඒවා විඳදරාගැනීම වඩාත් අසීරු වේ. රැකියා ස්ථානයෙහි හෝ පාසැලේදී අපගේ ක්‍රිස්තියානි ප්‍රතිපත්ති අත්හැරීමට ඉතා කූට අන්දමකින් පීඩන එල්ල විය හැක. අපව ශාරීරිකව දුර්වල කළ හැකි අසනීප, අධෛර්යය වීම් සහ විෂාදය හේතුවෙන්, ඇදහිල්ලේ පරීක්ෂාවලට සාර්ථකව මුහුණ දීම තවත් අසීරු වේ. එනමුත්, “යෙහෝවාගේ දවසේ පැමිණීම බලා සිටිමින්, එය මනසෙහි ප්‍රමුඛව තබාගනිමින්, ශුද්ධ වූ හැසිරීම සහ දේවභක්තික ක්‍රියා” විදහාපෙන්වීමට නිරතුරු උත්සාහයක් දරනවා නම්, ඕනෑම පරීක්ෂාවකට සාර්ථකව මුහුණ දීමට අපට පුළුවන. (2 පේතෘස් 3:11, 12, NW) එමෙන්ම දෙවිගේ ආශීර්වාදය ගැන නිසැක වෙමින්, අපගේ ප්‍රීතියද ඒ අතරතුර පවත්වාගත හැක.—හිතෝපදේශ 10:22.

13. දිගටම දේවභක්තිය විදහාපෙන්වීමට නම් අප කුමක් කරමින් සිටිය යුතුද?

13 දේවභක්තිය විදහාපෙන්වන අයට, සාතන් විශේෂයෙන් කුරුමානම් ඇල්ලුවත්, අපට බියවීමට අවශ්‍ය නැත. ඒ මන්ද? ‘භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්නට යෙහෝවා දන්නා’ බැවිනි. (2 පේතෘස් 2:9, 10) පරීක්ෂාවන් විඳදරාගෙන, එවන් ගැළවීමක් අද්දැකීමට නම්, අප “අභක්තිකකමද, ලෞකික තෘෂ්ණාද, එපා කර . . . සිහියෙන් යුක්තවද ධර්මිෂ්ඨ ලෙසද භක්තිවන්ත ලෙසද මේ ලෝකයෙහි ජීවත්” විය යුතුය. (තීතස් 2:12, 13) අපගේ දේවභක්තිය කාදැමීමට හා විනාශ කර දැමීමට මාංසික තෘෂ්ණා සහ ක්‍රියාවන් සම්බන්ධ ඕනෑම දුර්වලකමකට හැකි නිසා, ඒවාට කිසිදු බුරුලක් නොදීම සම්බන්ධයෙන් ක්‍රිස්තියානීන් ලෙස අප සුපරීක්ෂාකාරි වීම අත්‍යවශ්‍යය. මෙවැනි තර්ජන සමහරක් දැන් සලකා බලමු.

දේවභක්තියට තර්ජනයක් විය හැකි දේවලින් පරෙස්සම් වෙමු

14. ද්‍රව්‍යවාදයේ උගුලට හසු වී ඇත්නම් අප කුමක් මතක තබාගත යුතුද?

14 බොහෝදෙනෙකු හසු වන උගුලකි ද්‍රව්‍යවාදය. ‘භක්තිවන්තකම [ද්‍රව්‍යමය] ලාභ ලැබීමට මාර්ගයකැයි සිතීමෙන්’ අප අපවම රවටාගැනීමට පවා පුළුවන. ප්‍රතිඵලයක් ලෙස, සෙසු ඇදහිලිවන්තයන් අප කෙරෙහි තබා ඇති විශ්වාසයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට තරම් අප නිර්භීත විය හැක. (1 තිමෝති 6:5) බොහෝදුරට ගෙවාගත නොහැකි බව දැන දැනත් ධනවත් ක්‍රිස්තියානියෙකුගෙන් ණයක් බල කර ඉල්ලීමෙහි කිසිදු වරදක් නැතැයි අප වැරදි ලෙස නිගමනය කිරීමට පවා පුළුවන. (ගීතාවලිය 37:21) එනමුත් ‘මතු ජීවිතය ගැන පොරොන්දු’ රඳා පවතින්නේ දේවභක්තිය මත මිස ද්‍රව්‍යමය දේවල් අත් පත් කරගැනීම මත නම් නොවේ. (1 තිමෝති 4:8) එබැවින්, ‘අප මේ ලෝකයට කිසිවක් ගෙනාවේ නැති නිසාත්, එයින් අපට කිසිවක් ගෙනයන්ට බැරි’ නිසාත්, “ලත් පමණින් සතුටු වීම [සෑහීමට පත්ව සිටීම, NW] සමඟ භක්තිවන්තකම” නොහොත් දේවභක්තිය දැඩි අධිෂ්ඨානයකින් යුතුව ලුහුබඳිමින් ‘කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටු වෙමු.’—1 තිමෝති 6:6-11.

15. අපගේ දේවභක්තියට හිමි තැන අහිමි කිරීමට විනෝදය ලුහුබැඳීම තර්ජනයක් වේ නම් අපට කුමක් කළ හැකිද?

15 විනෝදය ලුහුබැඳීමෙන් දේවභක්තියට හිමි තැන අහිමි විය හැක. මේ සම්බන්ධයෙන් වහාම යම් සකස් කිරීම් අප විසින් කරගැනීමේ අවශ්‍යතාවක් මතු වී ඇද්ද? ශාරීරික ව්‍යායාමයෙන් සහ විනෝද වීමෙන් යම් ප්‍රයෝජන නෙළාගත හැකි බව ඇත්තය. එනමුත්, සදාකාල ජීවනය හා සසඳන විට, ඉන් ලබාගත හැකි ප්‍රයෝජන ඉතා අල්පය. (1 යොහන් 2:25) අදදින බොහෝදෙනා “දෙවිට වඩා සැපසෙල්ලමට ප්‍රේම” කරන අතර, “දේවභක්තියේ වේසය දරන නමුත්, එහි බලය එපා කළ අයව සිටින්නෝය.” මෙවැනි පුද්ගලයන්ගෙන් අප අහක් විය යුතුය. (2 තිමෝති 3:4, 5) දේවභක්තියට මුල් තැන දෙන අය “සැබවින් ජීවනය වූ ඒ ජීවනය අල්ලාගන්නා පිණිස මතු කාලයට යහපත් අත්තිවාරමක්” තබාගන්නා බව කිව හැක.—1 තිමෝති 6:19.

16. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට ඇතමුන්ට බාධාවක් වන්නේ කවර පව්කාර තෘෂ්ණාද? මෙම තෘෂ්ණා මැඩපවත්වා ගැනීමට අපට හැකි වන්නේ කෙසේද?

16 අපගේ දේවභක්තිය විනාශ කර දැමීමට මත්පැන් අනිසි භාවිතය, මත්ද්‍රව්‍ය භාවිතය, දුරාචාරය සහ පව්කාර තෘෂ්ණාවලට පුළුවන. මෙවැනි දේවලට හසු වන විට, දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට එය අපට බාධකයක් විය හැක. (1 කොරින්ති 6:9, 10; 2 කොරින්ති 7:1) පාවුල්ට පවා විඳදරාගැනීමෙන් යුතුව පව්කාර මාංසය සමඟ දිගු සටනක් කිරීමට සිදු විය. (රෝම 7:21-25) පව්කාර තෘෂ්ණා මුලිනුපුටා දැමීමට දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය. ඒ සඳහා අවශ්‍ය එක දෙයක් නම්, සදාචාරමය වශයෙන් පවිත්‍රව සිටීමට අප අධිෂ්ඨානපූර්වකව සිටීමය. පාවුල් අපට පවසන්නේ මෙසේය. “පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැඳීම වූ තණ්හාවත් නසන්න.” (කොලොස්සි 3:5) මෙවැනි පව්කාර දේවල් සම්බන්ධයෙන් අපගේ සිරුරේ අවයවයන් නැසීමට නම්, ඒවා මුලිනුපුටා දැමීමට, ඒවා සහමුලින්ම අතු ගා දැමීමට තරම් දැඩි අදිටනක් අවශ්‍ය වේ. පව්කාර තෘෂ්ණා ප්‍රතික්ෂේප කිරීමටත්, මෙම දුෂ්ට ක්‍රමයේදී ධර්මිෂ්ඨකම සහ දේවභක්තිය ලුහුබැඳීමටත් දෙවිගේ උපකාර ඉල්ලා උනන්දුවෙන් යාච්ඤා කිරීම මහෝපකාරි වනු ඇත.

17. අප හික්මවීම සැලකිය යුත්තේ කෙසේද?

17 අප අධෛර්යයට පත් වන්නේ නම්, අපගේ විඳදරාගැනීමේ ශක්තිය දුර්වල වී, එය අපගේ දේවභක්තියට අහිතකර ලෙස බලපාන්නට පුළුවන. යෙහෝවාගේ සේවකයන් බොහෝදෙනෙකුට අධෛර්යය සාමාන්‍ය අද්දැකීමකි. (ගණන් කථාව 11:11-15; එස්රා 4:4; යෝනා 4:3) අපට මදිපුංචිකමක් කළා කියා හැඟෙන නිසා හෝ අපට දැඩි අවවාදයක් හෝ හික්මවීමක් ලැබී ඇති නිසා හෝ අමනාපයක් ඇතිවීමෙන් අප අධෛර්යයට පත් වනවා නම්, ඉන් බරපතළ හානි සිදු විය හැක. කෙසේවෙතත්, අවවාද සහ හික්මවීම අපට ලැබෙන්නේ දෙවි අප කෙරෙහි උනන්දුවක් සහ ප්‍රේමනීය සැලකිල්ලක් දක්වන නිසාය. (හෙබ්‍රෙව් 12:5-7, 10, 11) හික්මවීම සැලකිය යුත්තේ නිකම්ම දඬුවමක් ලෙස නොව, ධර්මිෂ්ඨකමේ මාර්ගයෙහි ගමන් කිරීමට ලැබෙන පුහුණුවක් ලෙසය. අප යටහත් පහත් අය නම්, “ගුරුකමේ අවවාද ජීවනයේ මාර්ග” බව තේරුම්ගනිමින්, ලැබෙන උපදෙස් කෘතඥතාවෙන් යුතුව පිළිගනු ඇත. (හිතෝපදේශ 6:24) මෙසේ කිරීමෙන් දේවභක්තිය ලුහුබැඳීම යන කාරණය සම්බන්ධයෙන් කදිම ප්‍රගතියක් ලබාගැනීමට අපට හැකි වේ.

18. පෞද්ගලික ගැටලු සම්බන්ධයෙන් අපට තිබෙන වගකීම කුමක්ද?

18 වරදවා වටහාගැනීම් සහ අපට විරුද්ධව පෞද්ගලිකව කර ඇති වරදක් අපගේ දේවභක්තියට අභියෝගයක් එල්ල කළ හැක. මේ නිසා යම් සිත්තැවුලක් ඇති විය හැකි අතර, තම ආත්මික සහෝදර සහෝදරියන්ගෙන් බැහැර වීමේ අඥාන පියවර ගැනීමට පවා සමහරුන් පෙලඹෙන්නට පුළුවන. (හිතෝපදේශ 18:1) එනමුත්, අනුන් සම්බන්ධයෙන් අමනාපයක් සිතේ තබාගැනීම හෝ යම් වෛරයක් සිතේ පැසවීමට ඉඩහැරීම යෙහෝවා සමඟ තිබෙන අපගේ සබඳතාවට අහිතකරව බලපෑ හැකි බව මතක තබාගැනීම යහපති. (ලෙවී කථාව 19:18) ඇත්තෙන්ම, “තමා දුටු සහෝදරයාට ප්‍රේම නොකරනවා නම්, තමා නුදුටු දෙවිට ප්‍රේම කරන්ට” එවන් කෙනෙකුට නුපුළුවන. (1 යොහන් 4:20) පෞද්ගලික ප්‍රශ්න නිරාකරණය කරගැනීමට වහාම පියවර ගැනීමේ අවශ්‍යතාව යේසුස් සිය කන්ද උඩ දේශනාවෙහි අවධාරණය කළේය. සිය ශ්‍රාවකයන්ට ඔහු පැවසුවේ මෙසේය. “ඔබේ පඬුර පූජාසනය වෙත ගෙන එන කල, ඔබට විරුද්ධව ඔබේ සහෝදරයාට යම් කාරණාවක් ඇති බව එහිදී ඔබට සිහි වේ නම්, පඬුර පූජාසනය ඉදිරිපිට තබා ගොස් පළමුවෙන් ඔබේ සහෝදරයා හා සමාදාන වන්න. ඉන්පසු ඔබ ඇවිත් පඬුර ඔප්පු කරන්න.” (මතෙව් 5:23, 24, NW) අකාරුණික වචන හෝ ක්‍රියා මගින් සිදු කළ තුවාලය සුව කිරීමට හැකි වන්නේ සමාව අයැද සිටීමෙනි. අප සමාව ඉල්ලා, අප අතින් වරදක් සිදු වූවා යන්න පිළිගන්නවා නම්, දෙකඩ වූ සබඳතාවක් යා කර, සාමදායී සබඳතාවක් යළි පිහිටුවිය හැක. මෙවැනි ගැටලු හැසිරවීම සම්බන්ධයෙන් යේසුස් තවත් උපදෙස්ද සැපයීය. (මතෙව් 18:15-17) ගැටලු නිරාකරණය කරගැනීමට වෑයමක් දැරීමෙන් සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට හැකි වූ විට අපි කොතරම් සතුටු වන්නෙමුද!—රෝම 12:18; එපීස 4:26, 27.

යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරමු

19. යේසුස්ගේ ආදර්ශය අනුකරණය කිරීම ඉතා වැදගත් වන්නේ මන්ද?

19 අපට පීඩාවලට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදු වේ. එනමුත් සදාකාල ජීවනය නමැති ධාවන තරඟයෙන් අපව ඉවත් කිරීමට ඒවා හේතුවක් කරගත යුතු නැත. අපව පරීක්ෂාවලින් ගැළවීමට යෙහෝවාට හැකි බව මතක තබාගන්න. එබැවින්, ‘සියලු බර අහක දමා,’ “අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් [විඳදරාගැනීමෙන්, NW]” දුවන අතරතුරේදී, ‘අපගේ ඇදහිල්ලේ කර්තෘවරයාද, සම්පූර්ණ කරන්නාද වන යේසුස් දෙසම’ ඕනෑකමින් බලා සිටිමු. (හෙබ්‍රෙව් 12:1-3) යේසුස්ගේ ආදර්ශයට කිට්ටු අවධානයක් දීමෙන්ද වචනයෙන් හා ක්‍රියාවෙන් ඔහුව අනුකරණය කිරීමට වෑයම් දැරීමෙන්ද දේවභක්තිය ගොඩනඟා ගැනීමටත්, එය වඩාත් පුළුල් ලෙස විදහාපෙන්වීමටත් අපට හැකි වේ.

20. විඳදරාගැනීම සහ දේවභක්තිය ලුහුබැඳීමෙන් කවර විපාක භුක්ති විඳිය හැකි වේද?

20 එසේ නම්, අපගේ ගැළවීම ස්ථිර කරගැනීමට උපකාරයක් ලෙස, විඳදරාගැනීම සහ දේවභක්තිය අත්වැල් බැඳගෙන ක්‍රියා කරයි. මෙම අනගි ගුණාංග විදහාපෙන්වීමෙන්, දෙවිට අප පිරිනමන පරිශුද්ධ සේවය විශ්වාසවන්තව ඉටු කිරීමට අපට හැකි වේ. අප පරීක්ෂා යටතේ සිටියත්, අප යෙහෝවාගේ මුදු මොළොක් සෙනෙහස හා ආශීර්වාද අද්දකිමින් විඳදරාගෙන, දේවභක්තිය විදහාපෙන්වා ඇති නිසා, අප සන්තෝෂය අද්දකිනු නියතය. (යාකොබ් 5:11) තවද යේසුස් අපට සහතික කරන පරිදි, “ඔබේ විඳදරාගැනීම නිසා ඔබේ ජීවිතය ඔබට ලැබෙන්නේය.”—ලූක් 21:19, NW.

ඔබේ පිළිතුර කුමක්ද?

• විඳදරාගැනීම වැදගත් වන්නේ මන්ද?

• දේවභක්තිය යනු කුමක්ද? එය විදහාපෙන්වනු ලබන්නේ කෙසේද?

• දෙවි සමඟ කිට්ටු සබඳතාවක් ගොඩනඟා ගෙන, පවත්වාගත හැක්කේ කෙසේද?

• අපගේ දේවභක්තියට තර්ජනයක් වන සමහරක් දේවල් නම් කරන්න. අපට ඒවායින් වැළකී සිටිය හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12, 13වන පිටුවේ පින්තූර]

දේවභක්තිය නොයෙකුත් ආකාරවලින් ප්‍රකාශ වේ

[14වන පිටුවේ පින්තූර]

දේවභක්තියට තර්ජනයක් විය හැකි දේවල් ගැන පරෙස්සම් වන්න