Skip to content

පටුනට යන්න

ඔවුන් දිගටම සත්‍යතාවෙහි ගමන් කරනවා

ඔවුන් දිගටම සත්‍යතාවෙහි ගමන් කරනවා

ඔවුන් දිගටම සත්‍යතාවෙහි ගමන් කරනවා

“මාගේ දරුවන් දිගටම සත්‍යයෙහි ගමන් කරනවා ඇසීමට වඩා වෙන කිසි හේතුවක් ස්තුතිවන්ත වීම සඳහා මට නැත.”—3 යොහන් 4, NW.

1. ‘සත්‍යතාවේ ශුභාරංචිය’ කේන්ද්‍රගත වී තිබෙන්නේ කුමක් මතද?

 යෙහෝවා අනුමත කරන්නේ ඔහුට ‘ආත්මයෙන් සහ සත්‍යතාවෙන්’ නමස්කාරය කරන අයව පමණයි. (යොහන් 4:24, NW) මෙවැනි අය දෙවිගේ වචනය මත පදනම් වන මුළු ක්‍රිස්තියානි ඉගැන්වීම් සමුදායම පිළිගන්නවා. මෙම “ශුභාරංචියේ සත්‍යතාව” කේන්ද්‍රගත වන්නේ යේසුස් ක්‍රිස්තුස් මත හා රාජ්‍යය මගින් යෙහෝවාගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගතභාවය තහවුරු කිරීම මතයි. (ගලාති 2:14, NW) බොරුවට ප්‍රිය කරන අය තුළ “මුළාවේ ක්‍රියා කිරීමක්” ඇතිවීමට දෙවි ඉඩහැර ඇති නමුත් ගැළවීම රඳා පවතින්නේ ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල තැබීම හා සත්‍යයෙහි ගමන් කිරීම මතයි.—2 තෙසලෝනික 2:9-12; එපීස 1:13, 14.

2. ප්‍රේරිත යොහන් විශේෂයෙන් ස්තුතිවන්ත වූයේ කුමක් සඳහාද? ඔහුට ගායස් සමඟ තිබුණේ කුමන ආකාරයේ සබඳතාවක්ද?

2 රාජ්‍ය ප්‍රකාශකයන් ‘සත්‍යයෙහි හවුල් වැඩකරුවන්’ ලෙස කටයුතු කරනවා. ප්‍රේරිත යොහන් හා ඔහුගේ මිතුරා වූ ගායස් මෙන් ඔවුන්ද සත්‍යය තදින් අල්ලාගෙන එහි ගමන් කරනවා. ගායස්ව සිතෙහි තබාගනිමින් යොහන් මෙසේ ලිව්වා. “මාගේ දරුවන් දිගටම සත්‍යයෙහි ගමන් කරනවා ඇසීමට වඩා වෙන කිසි හේතුවක් ස්තුතිවන්ත වීම සඳහා මට නැත.” (3 යොහන් 3-8, NW) මහලු වියේ පසු වූ යොහන් ගායස්ට පෞද්ගලිකව සත්‍යය ඉගැන්වූයේ නැති වුණත්, ප්‍රේරිතවරයාගේ වයස, ක්‍රිස්තියානි මේරූකම හා ඔහු දැක්වූ පියෙකු බඳු සෙනෙහස නිසා, පෙනෙන විදිහට යොවුන් වියේ පසු වූ මේ පුරුෂයාව යොහන්ගේ ආත්මික දරුවෙකු ලෙස සැලකීම සුදුසුයි.

සත්‍යය සහ ක්‍රිස්තියානි නමස්කාරය

3. මුල් ක්‍රිස්තියානීන් පැවැත්වූ රැස්වීම්වල අරමුණ වූයේ කුමක්ද? ඒවායින් ඔවුන් ලැබූ ප්‍රයෝජන මොනවාද?

3 මුල් ක්‍රිස්තියානීන් සත්‍යය ඉගෙනගැනීම සඳහා සභා හැටියට පෞද්ගලික නිවෙස්වල බොහෝ අවස්ථාවලදී එකට රැස් වුණා. (රෝම 16:3-5) මෙසේ එකට රැස්වීමෙන් ඔවුන් දිරිගැන්වීමක් ලැබුවා. ඒ වගේම ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට එකිනෙකාව පෙලඹුවා. (හෙබ්‍රෙව් 10:24, 25) පසු කලෙක සිටි ක්‍රිස්තියානීන් කියා පැවසූ අය සම්බන්ධයෙන් (පො.යු. 155 පමණ සිට 220න් පසු කාලය දක්වා විසූ) ටර්ටූලියන් මෙසේ ලිව්වා. “අපි දෙවිගේ පොත් කියවීමට එකට හමු වන්නෙමු. . . . ඒවායේ සඳහන් ශුද්ධ වූ වචනවලින් අපේ ඇදහිල්ල අපි පෝෂණය කරගන්නෙමු. අපේ බලාපොරොත්තුව ශක්තිමත් කරගන්නෙමු. අපේ නිසැකකම තහවුරු කරගන්නෙමු.”—Apology, 39වන පරිච්ඡේදය.

4. ක්‍රිස්තියානි රැස්වීම්වලදී ගීතිකාවලින් ඉටු කෙරෙන්නේ කිනම් කාර්යභාරයක්ද?

4 ගීතිකා ගායනා කිරීම, මුල් ක්‍රිස්තියානි රැස්වීම්වල කොටසක් වූ බව පෙනෙන්න තිබෙනවා. (එපීස 5:19; කොලොස්සි 3:16) ක්‍රිස්තියානීන් කියා හැඳින්වූ අය ගායනා කළ ගීතිකා “මොනතරම් ලස්සනද කියනවා නම් ඒවා තමාගේ හැඟීම්වලට තදින්ම බලපෑ නිසා ඒවා කෙරෙහි තමාගේ අකමැත්ත උත්සන්න වූවා” කියා දෙවන සියවසේ සිටි විචාරකයෙකු වූ සෙල්සස් පැවසූ බව මහාචාර්ය හෙන්රි චැඩ්වික් සඳහන් කරනවා. ඔහු එයට මෙසේද එක් කරනවා. “ක්‍රිස්තියානි නමස්කාරය සඳහා සුදුසු වන්නේ කුමනාකාරයේ සංගීතයද යන්න ගැන සාකච්ඡාවට භාජන කළ මුල්ම ක්‍රිස්තියානි ලේඛකයා ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට්ය. මෙම සංගීතය රාගික නැටුම් ඇතුළත් සංගීතයට කිසිසේත් සම්බන්ධ නැති බව ඔහු සඳහන් කරයි.” (The Early Church, පිටු 274-5) මුල් ක්‍රිස්තියානීන් එකට එක්රැස් වූ අවස්ථාවලදී ගීතිකා ගායනා කළාක් මෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද දෙවිව හා රාජ්‍යය පැසසුමට ලක් කරන බයිබලය මත පදනම් වූ ප්‍රබල බලපෑමක් ඇති කරන ගීතිකා බොහෝ අවස්ථාවලදී ගායනා කරනවා.

5. (අ) මුල් ක්‍රිස්තියානි සභාවල ආත්මික මඟ පෙන්වීම සපයනු ලැබුවේ කෙසේද? (ආ) මතෙව් 23:8, 9 සඳහන් යේසුස්ගේ වදන් සැබෑ ක්‍රිස්තියානීන් අදාළ කරගෙන තිබෙන්නේ කෙසේද?

5 මුල් ක්‍රිස්තියානි සභාවල සිටි අවේක්ෂකයන් සත්‍යය ඉගැන්වූවා. සභා සේවකයන් විවිධාකාරවලින් සෙසු ඇදහිලිවන්තයන්ට උපකාර කළා. (පිලිප්පි 1:1, NW) දේවවචනය හා ශුද්ධාත්මය මත රඳා සිටි පාලක මණ්ඩලයක් විසින් ආත්මික මඟ පෙන්වීම සපයනු ලැබුවා. (ක්‍රියා 15:6, 23-31) යේසුස් ඔහුගේ ගෝලයන්ට දුන් මෙම අණ නිසා ආගමික නිල නාම භාවිත කළේ නැහැ. “නුඹලා රබ්බියි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ ආචාරීන් එක්කෙනෙක්මය. නුඹලා සියල්ලෝම සහෝදරයෝය. පොළොවෙහි කාටවත් පියාණෝයයි නොකියන්න. මක්නිසාද නුඹලාගේ පියාණෝ එක්කෙනෙක්මය. එනම් ස්වර්ගයෙහි සිටින තැනැත්තාමය.” (මතෙව් 23:8, 9) ඉහත සඳහන් කළ කාරණා හා වෙනත් කාරණා සලකා බලද්දී පෙනී යන්නේ මුල් ක්‍රිස්තියානීන් හා යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර සමානකම් තිබෙන බවයි.

සත්‍යය දේශනා කිරීම නිසා හිංසා පීඩාවලට ලක් වී

6, 7. සැබෑ ක්‍රිස්තියානීන් ප්‍රකාශ කරන්නේ සාමකාමී පණිවිඩයක් වුණත් ඔවුන්ව සලකා තිබෙන්නේ කෙසේද?

6 මුල් ක්‍රිස්තියානීන් ප්‍රකාශ කළේ රාජ්‍යය හා සම්බන්ධ සාමකාමී පණිවිඩය වුණත් යේසුස්ට වගේ ඔවුන්ටත් හිංසා පීඩා සිදු කළා. (යොහන් 15:20; 17:14) ඉතිහාසඥ ජෝන් එල්. ෆොන් මෝෂයිම් මුල් සියවසේ ක්‍රිස්තියානීන්ව හැඳින්වූයේ “ආණ්ඩුවට විරුද්ධව කිසිම ආකාරයක සතුරුවාදී හැඟීමක් කවදාවත් ඇති කර නොගත්, කිසිවෙකුට හිංසාවක් කරදරයක් නොකළ සාමකාමී කණ්ඩායමක්” ලෙසයි. “රෝමවරුන් ක්‍රිස්තියානීන්ට වෛර කළේ වෙනත් මිනිසුන්ගේ ආගමික චාරිත්‍රවලට කිසිදු සම්බන්ධයක් නොතිබුණු ඔවුන්ගේ නමස්කාරය ඉතා සරලව හා චාම්ව තිබුණු නිසයි” කියා ආචාර්ය මෝෂයිම් සඳහන් කළා. ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළා. “පූජා ඔප්පු කිරීම, දේවස්ථාන, පිළිම ඔවුන්ට තිබුණේ නැහැ. පේන කියන්නන් හෝ පූජකයන් ඔවුන් අතර සිටියේ නැහැ. මේ දේවල් නැත්නම් ආගමක් තිබිය නොහැකියි කියා සිතූ, සත්‍යය කුමක්ද කියා හරි හැටි නොදත් විශාල ජන පිරිසක් ඔවුන්ට නින්දා කිරීමට ඒවා හේතුවක් වුණා. දෙවිව පිළිනොගන්නා පිරිසක් කියමින් ඔවුන්ව සුළු කොට සැලකුවා. රෝම නීතියට අනුව දෙවි කෙනෙකුව පිළිනොගැනීමේ වරදට චෝදනා ලැබූ අයව සැලකුවේ සමාජයට හානිකර පිළිලයක් ලෙසයි.”

7 පිළිම නමස්කාරයෙන් උපයන ආදායමෙන් ජීවත් වූ පූජකයන් හා කැටයම්කරුවන් එකතු වී, පිළිම නමස්කාරයේ හවුල් නොවූ ක්‍රිස්තියානීන්ට විරුද්ධ වීමට මහජනයාව උසිගැන්වූවා. (ක්‍රියා 19:23-40; 1 කොරින්ති 10:14) ටර්ටූලියන් මෙසේ ලිව්වා. “ආණ්ඩුව මුහුණ දෙන සෑම විපතකටම හා මහජනයා අද්දකින සෑම අවාසනාවන්ත සිදුවීමකටම හේතුව ක්‍රිස්තියානීන් කියා ඔවුන් සිතුවා. ටයිබර් නදියේ ජල මට්ටම නුවරේ පවුරු සීමාවට නැඟී ආවොත්, නයිල් ගඟේ ජලය ගොවි බිම් කරා නොගියොත්, වැසි නොවැස්සොත්, භූමිකම්පාවක්, සාගතයක් හෝ වසංගතයක් පැමිණියොත් සියලුදෙනාම කෑගසන්නේ ‘ක්‍රිස්තියානීන්ව සිංහයන්ට දමනු!’ කියායි.” මුහුණ දීමට සිදු වන දෙය කුමක් වුණත් සැබෑ ක්‍රිස්තියානීන් “දේවතා රූපවලින් දුරුව” සිටිනවා.—1 යොහන් 5:21.

සත්‍යය සහ ආගමික උත්සව

8. සත්‍යයෙහි ගමන් කරන අය නත්තල පවත්වන්නේ නැත්තේ ඇයි?

8 ‘ආලෝකය සහ අන්ධකාරය අතර පංගුකාරකමක්’ නැති නිසා සත්‍යයෙහි ගමන් කරන අය ශුද්ධ ලියවිල්ලට පටහැනි උත්සව පවත්වන්නේ නැහැ. (2 කොරින්ති 6:14-18) උදාහරණයක් හැටියට ඔවුන් දෙසැම්බර් 25වනදාට යෙදී තිබෙන නත්තල පවත්වන්නේ නැහැ. ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියාහි සඳහන් වන පරිදි “ක්‍රිස්තුස් උපත ලැබූ නිවැරදි දවස කවුරුවත් දන්නේ නැහැ.” දි එන්සයික්ලොපීඩියා අමෙරිකානාහි (1956 සංස්කරණය) සඳහන් වන්නේ “දෙසැම්බර් මැද පවත්වනු ලැබූ සැටර්නේලියා නම් රෝම මංගල්‍යය නත්තල හා බැඳි විනෝදකාමී චාරිත්‍ර වාරිත්‍ර රැසකට ආකෘතියක් වූ” බවයි. මක්ලින්ටොක් සහ ස්ට්‍රෝං විසින් සම්පාදනය කළ සයික්ලොපීඩියාහි මෙසේ සඳහන් වෙනවා. “නත්තල සැමරීමට දෙවි අණ කර නැත. එමෙන්ම එහි ආරම්භය ගැන හෝ පදනම ගැන නව ගිවිසුමෙහි කිසිම සඳහනක්ද නැත.” තවත් පොතක (Daily Life in the Time of Jesus) මෙසේ සඳහන් වෙනවා. “ගව එළු බැටළු රැළවල් . . . ශීත ඍතුවේදී සිටියේ මඩුවලයි. මේ කාරණයෙන්ම පැහැදිලි වන්නේ ඈත අතීතයේ සිට නත්තල සමරන ශීත ඍතුවේ දිනය නිවැරදි විය නොහැකි බවයි. මන්ද එඬේරුන් තණ පිට්ටනිවල සිටි බව සුවිශේෂ වාර්තාවල සඳහන් වන බැවිනි.”—ලූක් 2:8-11.

9. අතීතයේ සහ වර්තමානයේ සිටින යෙහෝවාගේ සේවකයන් පාස්කු ඉරිදා සමරන්නේ නැත්තේ ඇයි?

9 ක්‍රිස්තුස් මළවුන්ගෙන් උත්ථාන වීම සැමරීමක් කියා පවත්වනු ලබන පාස්කු ඉරිදා පවත්වන උත්සවයේ මූලාරම්භය මෙන්ම ඒ හා බැඳි චාරිත්‍රවල ආරම්භය බොරු නමස්කාරය හා සම්බන්ධයි. පාස්කු ඉරිදා “මුලින්ම ආරම්භ වූයේ ටියූටෝනික් නම් ආලෝකයට අධිපති දේවතාවියට ගරු බුහුමන් දැක්වීම සඳහා වසන්ත සමයේ පැවැත්වූ උත්සවයකිනි. වසන්ත සමය ඇන්ග්ලෝ සැක්සන්වරුන් අතර ජනප්‍රිය වුණේ ඊස්ට්‍රෙ ලෙසයි” කියා එක් පොතක (The Westminster Dictionary of the Bible) සඳහන් වෙනවා. එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකාහි මෙසේ සඳහන් වෙනවා. “පාස්කු ඉරිදා පවත්වනු ලබන උත්සවය සැමරීම ගැන කිසිම ඉඟියක් අලුත් ගිවිසුමේ නැහැ.” මුල් ක්‍රිස්තියානීන් පාස්කු ඉරිදා සැමරුවේ නැහැ. ඒ හා සමානව අද සිටින යෙහෝවාට නමස්කාර කරන අයද එය පවත්වන්නේ නැහැ.

10. යේසුස් හඳුන්වා දුන් සැමරීම කුමක්ද? මෙය නිසි ලෙස පවත්වා ඇත්තේ කවුරුන් විසින්ද?

10 යේසුස් පවත්වන්න කියා ඔහුගේ අනුගාමිකයන්ට අණ කළේ ඔහුගේ උපත හෝ මළවුන්ගෙන් නැවත නැඟිටීම නොවේ. නමුත් ඔහු තමන්ගේ යාගික මරණය සිහි කිරීම ඔහුගේ ගෝලයන්ට හඳුන්වා දුන්නා. (රෝම 5:8) සමරන්න කියා යේසුස් ඔහුගේ ගෝලයන්ට අණ කළ එකම සිද්ධිය මෙය පමණයි. (ලූක් 22:19, 20) ස්වාමීන්ගේ රාත්‍රි භෝජනය කියාද හඳුන්වනු ලබන මෙය වාර්ෂිකව සමරනු ලබන සුවිශේෂී සිද්ධියක් වන අතර, යෙහෝවාගේ සාක්ෂිකරුවන් මේ දක්වා එය වාර්ෂිකව පවත්වනවා.—1 කොරින්ති 11:20-26.

සත්‍යය ලොව වටේ ප්‍රකාශ කෙරේ

11, 12. සත්‍යයෙහි ගමන් කරන අය එදත් අදත් දේශනා කිරීමේ කාර්යයට සහයෝගය දක්වා තිබෙන්නේ කෙසේද?

11 ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය සඳහා තමන්ගේ කාලය, ශ්‍රමය හා වෙනත් සම්පත් යොදවන්න ලැබීම සත්‍යය දන්න අය සලකන්නේ වරප්‍රසාදයක් ලෙසයි. (මාර්ක් 13:10) මුල් ක්‍රිස්තියානීන් කළ දේශනා කිරීමේ කාර්යය සඳහා ස්වේච්ඡාවෙන් කළ සම්මාදම්වලින් ලැබුණේ මහත් පිටිවහලක්. (2 කොරින්ති 8:12; 9:7) මේ ගැන ටර්ටූලියන් මෙසේ ලියා තිබෙනවා. “මුදල් දැමීම සඳහා පෙට්ටියක් වැනි දෙයක් තිබුණත් ඇතුල් වීමේ ගාස්තු ලෙස එයට මුදල් දැමුවේ නැහැ. එසේ කළා නම් ආගම ව්‍යාපාරයක් බවට පත් වෙන්න ඉඩ තිබෙනවා. සෑම කෙනෙක්ම මාසයකට වතාවක් තමන්ගේ හැකියාව අනුව සුළු මුදලක් ගෙන එයි. ඔහුට හැකි ඕනෑම අවස්ථාවක එසේ සම්මාදමක් කරන්නේ ඔහු කැමති නම් පමණයි නැතහොත් ඔහුට පුළුවන් නම් පමණයි. කිසිවෙකුට බල නොකරයි. එය සිය කැමැත්තෙන්ම දෙන යමක්.”—Apology, 39වන පරිච්ඡේදය.

12 යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ලොව පුරා සිදු කරනු ලබන දේශනා කිරීමේ කාර්යය සඳහා වැය වන වියදම් පියවාගනු ලබන්නේ ස්වේච්ඡා සම්මාදම්වලිනුයි. මීට අමතරව උනන්දුව දක්වන කෘතවේදී පුද්ගලයන් මේ කාර්යයට මුදලින් සම්මාදමක් කිරීම සලකන්නේ වරප්‍රසාදයක් ලෙසයි. මෙහිදීද අප දකින්නේ මුල් ක්‍රිස්තියානීන් හා යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර තිබෙන සමානකමයි.

සත්‍යය සහ පෞද්ගලික හැසිරීම

13. තමන්ගේ හැසිරීම සම්බන්ධයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් පිළිපදින්නේ පේතෘස්ගේ කුමන උපදේශයද?

13 සත්‍යයෙහි ගමන් කරන්නන් හැටියට මුල් ක්‍රිස්තියානීන් ප්‍රේරිත පේතෘස්ගේ මෙම උපදේශයට එකඟව කටයුතු කළා. “නුඹලා නපුර කරන්නෝයයි අන්‍යජාතීන් නුඹලාට විරුද්ධව කතා කරන නුමුත්, ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක, විභාග කිරීමේ දවසේදී දෙවිට ගෞරව කරන පිණිස, ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබින ලෙස පවත්වන්න.” (1 පේතෘස් 2:12) යෙහෝවාගේ සාක්ෂිකරුවන් එම වදන් හොඳින් සිතට ගනියි.

14. දුරාචාරමය විනෝදාස්වාදයන් ක්‍රිස්තියානීන් සලකන්නේ කෙසේද?

14 ඇදහිල්ල අත්හැර යෑම පටන්ගැනීමෙන් පසුව පවා, ක්‍රිස්තියානීන් කියා හැඳින්වූ අය සදාචාරයට පටහැනි ක්‍රියාවලින් වැළකී සිටියා. සභා ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ඩබ්. ඩී. කීලන් මෙසේ ලියා තිබෙනවා. “දෙවන හා තුන්වන සියවස්වල ඉතා විශාල නගරවල පිහිටි නාට්‍ය ශාලා බොහෝ පිරිසක් රැස්වූ ප්‍රධාන මධ්‍යස්ථානයන් විය. රංගන ශිල්පීන් දුරාචාරයේ යෙදුණු අය වූ අතර ඔවුන්ගේ රංගන නිර්මාණය කර තිබුණේ ඒ කාලයේ සිටි අයගේ කාමුක ආශාවන් තෘප්තිමත් කිරීම පෙරදැරි කරගෙනයි. . . . සියලුම ක්‍රිස්තියානීන් මෙම රංගන ශාලාවන් දෙස බැලුවේ මහත් පිළිකුලෙන් යුතුවයි. . . . ඔවුහු එහි තිබූ නීච පහත් දේවල් පිළිකුල් කරමින් ඒවායින් ඈත්ව සිටියෝය. මෙම රඟ දැක්වීම් නිතරම මිථ්‍යා දෘෂ්ටික දෙවි දේවතාවුන්ගේ නමස්කාරය හා සම්බන්ධව පැවති නිසාත් ඒවා ඔවුන්ගේ ආගමික ප්‍රතිපත්තිවලට පටහැනිව දිව ගියා.” (The Ancient Church, පිටු 318-19) වර්තමානයේ සිටින යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ද නීච, පහත් විනෝදාස්වාදවලින් වැළකී සිටිනවා.—එපීස 5:3-5.

සත්‍යය සහ “උසස් බලධාරීන්”

15, 16. “උසස් බලධාරීන්” කියන්නේ කාටද? සත්‍යයෙහි ගමන් කරන අය ඔවුන්ව සලකන්නේ කෙසේද?

15 මුල් ක්‍රිස්තියානීන් යහපත් පුරවැසියන් ලෙස හැසිරුණත් රෝම අධිරාජ්‍යවරුන් බොහෝදෙනෙකුට ඔවුන් ගැන තිබුණේ වැරදි මතයක්. අධිරාජ්‍යවරුන් ඔවුන්ව සැලකුවේ “කිසි වැදගැම්මකට නැති උන්මත්තකයන්” ලෙසයි කියා ඉතිහාසඥ ඊ. ජී. හාඩි පවසනවා. බිතිනියේ ආණ්ඩුකාරයා වූ කනිෂ්ඨ ප්ලිනි සහ ට්‍රේජන් අධිරාජ්‍යයා අතර හුවමාරු වූ ලිපිවලින් පැහැදිලි වන්නේ ක්‍රිස්තියානි ධර්මයේ සැබෑ ස්වභාවය පාලකයන් නොදැන සිටි බවයි. ක්‍රිස්තියානීන් රජය සලකන්නේ කෙසේද?

16 යේසුස්ගේ මුල් අනුගාමිකයන් මෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද ආණ්ඩුවේ සිටින ‘උසස් බලධාරීන්ට’ [NW] සාපේක්ෂ ලෙස යටත් වෙනවා. (රෝම 13:1-7) මිනිසුන් ඉල්ලා සිටින දෙයක් හා දිව්‍ය කැමැත්ත අතර ගැටීමක් තිබෙන අවස්ථාවකදී ඔවුන් සිටින්නේ “පාලකයා හැටියට අප කීකරු විය යුත්තේ මිනිසුන්ට වඩා දෙවිටය” යන ස්ථාවරයේයි. (ක්‍රියා 5:29, NW) එක් පොතක (After Jesus—The Triumph of Christianity) මෙසේ සඳහන් වෙනවා. “ක්‍රිස්තියානීන් අධිරාජ්‍යයාට නමස්කාර කිරීමෙහි හවුල් නොවුණත් ඔවුන් කිසිවිටකත් කලහකාරි දේවලට අනුබල දී නැහැ. වෙනත් ආගම්වල අය ඔවුන්ගේ ආගම අමුතු ආගමක් ලෙස සලකමින් ඇතැම් අවස්ථාවලදී පිළිකුලට ලක් කළත් ඔවුන් අධිරාජ්‍යයට කිසිම ආකාරයකින් තර්ජනයක් වූයේ නැහැ.”

17. (අ) මුල් ක්‍රිස්තියානීන් පූර්ණ සහයෝගය දැක්වූයේ කුමන ආණ්ඩුවටද? (ආ) ක්‍රිස්තුස්ගේ සැබෑ අනුගාමිකයන් යෙසායා 2:4හි සඳහන් වදන් තම ජීවිතවල අදාළ කරගෙන තිබෙන්නේ කෙසේද?

17 ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් වැනි ආදි පිතෘවරුන් පවා ‘දෙවි සෑදූ නුවර’ පිළිබඳ පොරොන්දුව කෙරෙහි ඇදහිල්ල තැබුවාක් මෙන් මුල් ක්‍රිස්තියානීන්ද ඔවුන්ගේ සම්පූර්ණ සහයෝගය දුන්නේ දේවරාජ්‍යයටයි. (හෙබ්‍රෙව් 11:8-10) තම ස්වාමීන් වන යේසුස් මෙන් ඔහුගේ ගෝලයන්ද ‘ලෝකයට අයත් වූයේ නැත.’ (යොහන් 17:14-16, NW) මිනිසුන් අතර යුද්ධ හා ආරවුල් පවතින අවස්ථාවලදී ඔවුන් ‘තමුන්ගේ කඩුවලින් හීවැල් තළාගනිමින්’ සාමය ලුහුබැන්දා. (යෙසායා 2:4) මුල් ක්‍රිස්තියානීන් සහ යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර තිබෙන සිත්ගන්නාසුලු සමානකමක් ගැන සභා ඉතිහාසය ගැන දේශකයෙකු වූ ජෙෆ්රි එෆ්. නටොල් මෙසේ අදහස් පළ කළා. “මෙය පිළිගැනීම පහසු දෙයක් නොවුණත් යුද්ධ සම්බන්ධයෙන් මුල් ක්‍රිස්තියානීන් දැරූ ආකල්පය යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියා තමන්ව හඳුන්වනු ලබන සෙනඟ දරන ආකල්පයට සමානයි.”

18. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන භයවීමට කිසිම ආණ්ඩුවකට කිසිම හේතුවක් නැත්තේ ඇයි?

18 ‘උසස් නිලධාරීන්ට’ යටත් වීමේදී මධ්‍යස්ථ පුද්ගලයන් ලෙස කටයුතු කළ මුල් ක්‍රිස්තියානීන් කිසිම දේශපාලනික බලවේගයකට තර්ජනයක් වූයේ නැහැ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැනත් කිව හැක්කේ ඒ දෙයමයි. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඕනෑම ආණ්ඩුවකට තර්ජනයක් විය හැකි පිරිසක් කියා විශ්වාස කරන්නේ තම මතයේම එල්බගෙන සිටින නිතරම සැකයෙන් දේවල් දෙස බලන අය පමණයි” කියා උතුරු අමෙරිකාවේ පත්‍රකලාවේදියෙක් සඳහන් කළා. “ඔවුන් ආණ්ඩු පෙරළා දමන පිරිසක් නොවේ. සාමයට ලැදි ආගමික කණ්ඩායමකි” කියා ඔහු තවදුරටත් සඳහන් කළා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන තමන් කිසිම භයක් ඇති කරගත යුතු නැති බව ඔවුන් කවුද කියා දන්න බලධාරීන් දන්නවා.

19. බදු සම්බන්ධයෙන් සලකා බලද්දී මුල් ක්‍රිස්තියානීන් හා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන කුමක් කිව හැකිද?

19 මුල් ක්‍රිස්තියානීන් ‘උසස් බලධාරීන්ට’ ගරු කළ එක් ආකාරයක් වූයේ ඔවුන් ගෙවිය යුතු බදු ගෙවීමයි. ක්‍රිස්තියානීන් “අන් සෑම කෙනෙකුටම වඩා මනාප සිතින්” ඔවුන්ගේ බදු ගෙවූ බව ජස්ටින් මාටර් රෝමයේ අධිරාජ්‍යයා වූ ඇන්ටෝනියස් පයස්ට (පො.යු. 138-161) ලියූ ලිපියක සඳහන් කළා. (First Apology, 17වන පරිච්ඡේදය) ක්‍රිස්තියානීන් පැහැර නෑර බදු ගෙවූ නිසා බදු එකතු කිරීමට රෝම පාලකයන් පත් කළ අය “ක්‍රිස්තියානීන්ට කෘතඥ වීම සම්බන්ධයෙන් ණයගැතියි” කියා ටර්ටූලියන් එම පාලකයන්ට පැවසුවා. (Apology, 42වන පරිච්ඡේදය) රෝමයේ පැවති සාමකාමී තත්වයන් නිසා ක්‍රිස්තියානීන් නොයෙක් ප්‍රයෝජන ලැබුවා. එහි පැවති නීතිය හා නිසි පිළිවෙළ, හොඳ පාරවල් හා බොහෝදුරට සුරක්ෂිත නාවික ගමනාගමනය වැනි දේවල ප්‍රයෝජන ක්‍රිස්තියානීන්ද භුක්ති වින්දා. සමාජයට තමන්ද යමක් දීමට බැඳී සිටින බව වටහාගත් ඔවුන් යේසුස්ගේ මෙම වදන්වලට කීකරු වුණා. “කායිසර්ගේ දේ කායිසර්ටද දෙවිගේ දේ දෙවිටද දෙන්න.” (මාර්ක් 12:17) අද සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද එම උපදේශය පිළිපදිනවා. බදු ගෙවීමේදී දැකිය හැකි ඔවුන්ගේ අවංකකම බොහෝදෙනාගේ පැසසුමට ලක් වී තිබෙනවා.—හෙබ්‍රෙව් 13:18.

සත්‍යය—එකමුතුකමේ බැම්මකි

20, 21. සාමකාමී සහෝදරත්වයක් පැවතීම සම්බන්ධයෙන් බලද්දී මුල් ක්‍රිස්තියානීන් හා යෙහෝවාගේ වර්තමාන සේවකයන් අතර දැකිය හැකි සැබෑ තත්වය කුමක්ද?

20 මුල් ක්‍රිස්තියානීන් සහෝදරයන් මෙන් සාමයෙන් එකට වෙළී සිටියේ ඔවුන් සත්‍යතාවෙහි ගමන් කළ නිසයි. අද සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතරද මෙය දැකගත හැකියි. (ක්‍රියා 10:34, 35) එක් සඟරාවක (The Moscow Times) පළ වූ ලිපියක මෙසේ සඳහන් වුණා. “[යෙහෝවාගේ සාක්ෂිකරුවන්] බොහොම මිත්‍රශීලී, කරුණාවන්ත හා නිහතමානී සෙනඟක් බව බොහෝදෙනෙක් දන්නා දෙයක්. ඔවුන් සමඟ කටයුතු කිරීම බොහොම ලෙහෙසියි. ඔවුන් අනිත් අය මත පීඩනයක් ඇති කරන්නේ නැහැ. ඔවුන් නිතරම වෑයම් කරන්නේ අනිත් අයත් සමඟ සාමකාමී සබඳතාවක් පවත්වාගෙන යන්නයි. . . . ඔවුන් අතර අල්ලස් ගන්නන් බේබද්දන් මත් ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් නැහැ. මෙයට හේතුව සරලයි. ඔවුන් වෑයම් කරන්නේ තමන් කරන කියන සෑම දෙයකදීම බයිබලය මත පදනම් ඔවුන්ගේ විශ්වාසයන්වල මඟ පෙන්වීමට අනුව කටයුතු කරන්නයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් වගේ බයිබලයේ පවසන විදිහට ජීවත් වෙන්න ලෝකයේ සිටින සෑම කෙනෙක්ම අඩුම තරමින් උත්සාහයක්වත් දරනවා නම් මේ නපුරු ලෝකයේ විශාල වෙනසක් වේවි.”

21 එක් ආශ්‍රේය ග්‍රන්ථයක (Encyclopedia of Early Christianity) මෙසේ සඳහන් වෙනවා. “මුල් සභාව නව මිනිස් සමාජයක් ලෙසයි පෙනී සිටියේ. කලින් සතුරුව සිටි යුදෙව්වන්ට සහ අන්‍යජාතිකයන්ට එකට සාමයෙන් සහ සමඟියෙන් ජීවත් වන්ට එම සමාජය තුළ හැකි විය.” යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද සාමයට ලැදි ජාත්‍යන්තර සහෝදරත්වයක් වන අතර, ඔවුන්ගෙන් නව ලෝක සමාජයක් අද බිහි වී තිබෙනවා. (එපීස 2:11-18; 1 පේතෘස් 5:9; 2 පේතෘස් 3:13) විවිධ වර්ගවලට අයත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සාමකාමීව සමුළුවක එක්රැස් වී සිටි ආකාරය දුටු දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා වෙළඳ සල්පිල් භූමියක ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මෙසේ පැවසුවා. “පසුගිය දවස් කිහිපයෙත් අදත් සෑම කෙනෙක්ම කටයුතු කරන්නේ ආචාරශීලී ලෙසයි. එකිනෙකා සමඟ කතා බහ කරන්නේ කරුණාවන්තවයි. ඔවුන් විදහාපෙන්වූ ආකල්පයෙන් පැහැදිලි වෙන්නේ ඔබේ සභාවේ සාමාජිකයන් හරිම යහපත් බවයි. සෑම කෙනෙක්ම සිටින්නේ ප්‍රීතිමත් පවුලක සාමාජිකයන් වගෙයි.”

සත්‍යය ඉගැන්වීම නිසා ලබන ආශීර්වාද

22. ක්‍රිස්තියානීන් සත්‍යය ප්‍රකාශ කරමින් සිටින නිසා සිදු වෙමින් පවතින්නේ කුමක්ද?

22 පාවුල් සහ වෙනත් ක්‍රිස්තියානීන් තමන්ගේ හැසිරීමෙන් මෙන්ම දේශනා කිරීමෙන් ‘සත්‍යය ප්‍රකාශ’ කළා. (2 කොරින්ති 4:2, NW) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද ඒ දෙයම කරමින් සියලු ජාතීන්ට සත්‍යය උගන්වමින් සිටිනවා. ඔබ මෙයට එකඟ වන්නේ නැද්ද? ලොව පුරා සිටින මිනිසුන් සැබෑ නමස්කාරය වැලඳගනිමින් ‘යෙහෝවාගේ ගෘහයේ කන්ද’ වෙත එක්රැස් වෙමින් සිටිනවා. (යෙසායා 2:2, 3) දෙවිට තමන්ගේ කැපවීම සංකේතවත් කරමින් දහස් ගණනක් සෑම වසරකම බව්තීස්ම වෙනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට අලුත් සභාවන් විශාල ගණනක් ඇති වෙමින් පවතිනවා.

23. සියලු ජාතීන්ට සත්‍යය උගන්වන අයව ඔබ සලකන්නේ කෙසේද?

23 විවිධ පසුබිම්වලින් පැමිණ සිටියත් යෙහෝවාගේ සෙනඟ සැබෑ නමස්කාරයෙහි එක්සත්ව සිටිනවා. ඔවුන් විදහාපෙන්වන ප්‍රේමය ඔවුන් යේසුස්ගේ ගෝලයන් බවට සාක්ෂියක්. (යොහන් 13:35) සැබවින්ම ‘දෙවි ඔවුන් අතරෙහි’ සිටින බව ඔබට දැකගන්න පුළුවන්ද? (1 කොරින්ති 14:25) සියලු ජාතීන්ට සත්‍යය උගන්වමින් සිටින අයගේ පැත්තෙහි සිටිමින් ඔවුන්ට සහයෝගය දැක්වීමට ඔබ පියවර ගෙන තිබෙනවාද? එසේ නම්, සත්‍යය සඳහා ඔබ තුළ සැමදා පවතින කෘතඥතාව පෙන්වීමටත් දිගටම සත්‍යයෙහි ගමන් කිරීමටත් ඔබට හැකියාව ලැබේවා!

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• නමස්කාරය සම්බන්ධයෙන් බලද්දී මුල් ක්‍රිස්තියානීන් හා යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර තිබෙන සමානකම් මොනවාද?

• සත්‍යයෙහි ගමන් කරන අය විසින් පවත්වනු ලබන එකම ආගමික සැමරීම කුමක්ද?

• “උසස් බලධාරීන්” කියන්නේ කාටද? ක්‍රිස්තියානීන් ඔවුන්ව සලකන්නේ කෙසේද?

• සත්‍යය එකමුතුකමේ බන්ධනයක් වන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි රැස්වීම් සත්‍යයෙහි ගමන් කරන අයට කවදත් ආශීර්වාදයක් වී තිබෙනවා

[23වන පිටුවේ පින්තූර]

තමාගේ පූජනීය මරණය සිහි කරන්න කියා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට අණ කළා

[24වන පිටුවේ පින්තූරය]

මුල් ක්‍රිස්තියානීන් මෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද ‘උසස් බලධාරීන්ට’ ගරු කරනවා