Skip to content

පටුනට යන්න

ක්‍රිස්තියානීන් නමස්කාර කරන්නේ ආත්මයෙන් සහ සත්‍යතාවෙන්ය

ක්‍රිස්තියානීන් නමස්කාර කරන්නේ ආත්මයෙන් සහ සත්‍යතාවෙන්ය

ක්‍රිස්තියානීන් නමස්කාර කරන්නේ ආත්මයෙන් සහ සත්‍යතාවෙන්ය

“දෙවි ආත්මයක්ය. ඔහුට නමස්කාර කරන්නන් ආත්මයෙන්ද සත්‍යතාවෙන්ද නමස්කාර කළ යුතුය.”—යොහන් 4:24, NW.

1. දෙවි ප්‍රසන්න වන්නේ කුමන ආකාරයේ නමස්කාරයටද?

 යෙහෝවාගේ ඒකජාතක පුත් යේසුස් ක්‍රිස්තුස් සිය ස්වර්ගික පියා ප්‍රසන්න වන නමස්කාරය කුමක්ද කියා ඉතාමත් පැහැදිලිව සඳහන් කළා. සිඛාර් නුවර අසල පිහිටි ළිඳක් ළඟදී සමාරිය ස්ත්‍රියකට සිත්ගන්නාසුලු සාක්ෂියක් දෙමින් සිටි අවස්ථාවේදී යේසුස් ඇයට මෙසේ පැවසුවා. “නුඹලා නමස්කාර කරන්නේ නොදන්නා දේටය. අපි දන්නා දේට නමස්කාර කරමුව. මක්නිසාද ගැළවීම යුදෙව්වරුන්ගෙන්ය. නුමුත් සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද [සත්‍යතාවෙන්ද, NW] පියාට නමස්කාර කරන කාලය පැමිණෙන්නේය. දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියා තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳු වූවන් සොයන්නේය. දෙවි ආත්මයක්ය. ඔහුට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද [සත්‍යතාවෙන්ද, NW] නමස්කාර කළ යුතුය.” (යොහන් 4:22-24) මෙම වදන්වල අර්ථය අප තේරුම්ගත යුත්තේ කොහොමද?

2. සමාරියයන්ගේ නමස්කාරය පදනම් වී තිබුණේ කුමක් මතද?

2 සමාරිවරුන් බොරු ආගමික මතවල බලපෑමට හසු වී සිටියා. දේවානුභාවයෙන් ලියා තිබෙන්නේ ශුද්ධ ලියවිලිවල මුල් පොත් පහ පමණක් බවයි ඔවුන් පිළිගත්තේ. ඔවුන්ගේ භාෂාවට පරිවර්තනය කරගත් මෙම පොත් පහ හඳුන්වනු ලැබුවේ සමාරිය පංච පුස්තකය ලෙසයි. සමාරියයන් දෙවිව හරිහැටි දැනගෙන සිටියේ නැහැ. ශුද්ධ ලියවිලි පිළිබඳ දැනුම දෙවි විශ්වාසයෙන් යුතුව භාර දී තිබුණේ යුදෙව්වන්ටයි. (රෝම 3:1, 2) විශ්වාසවන්ත යුදෙව්වන්ට හා වෙනත් අයට යෙහෝවාගේ අනුමැතිය භුක්ති විඳින්න හැකියාව තිබුණා. නමුත් මේ සඳහා ඔවුන් කළ යුතුව තිබුණේ කුමක්ද?

3. දෙවිට ‘ආත්මයෙන් සහ සත්‍යතාවෙන්’ නමස්කාර කිරීම සඳහා අවශ්‍ය කරන්නේ කුමක්ද?

3 යෙහෝවාව ප්‍රසන්න කිරීම සඳහා යුදෙව්වන් හා සමාරියයන් ඇතුළු අතීතයේ ජීවත් වූ වෙනත් අය කළ යුතුව තිබුණේ කුමක්ද? ඔවුන් ඔහුට නමස්කාර කළ යුතු වූයේ ‘ආත්මයෙන් සහ සත්‍යතාවෙනි.’ අප නමස්කාර කළ යුත්තේද එසේමයි. අප දෙවිට කරන සේවය ප්‍රාණවත්ව නැතහොත් ජ්වලිතව පිරිනැමිය යුතු අතර ප්‍රේමයෙන් හා ඇදහිල්ලෙන් පිරුණු හදවතකින් ඒ සඳහා පෙලඹිය යුතුයි. එනමුත් දෙවිට ආත්මයෙන් නමස්කාර කිරීමේදී තවත් සුවිශේෂ අවශ්‍යතාවක් සපුරාලන්න අවශ්‍යයි. එය නම් අප මත ඔහුගේ ශුද්ධාත්මය තිබීම හා එහි මඟ පෙන්වීමට අප යටත් වීමයි. දේවවචනය අධ්‍යයනය කිරීමෙන් හා අදාළ කරගැනීමෙන් අපේ ආත්මය නොහොත් මානසික නැඹුරුවාව ඔහුගේ ආත්මයට එකඟව සකස් කරගත යුතුයි. (1 කොරින්ති 2:8-12) අපේ නමස්කාරය යෙහෝවා විසින් පිළිගනු ලැබීමට නම් සපුරාලිය යුතු තවත් අවශ්‍යතාවක් වන්නේ එය සත්‍යතාවෙන් යුතුව පිරිනැමීමයි. එනම්, එය දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් දේවවචනය මගින් අනාවරණය කර තිබෙන දේවල් සමඟ එකඟ විය යුතුයි.

සත්‍යය සොයාගත හැකියි

4. සමහරුන් සත්‍යය සලකන්නේ කෙසේද?

4 පරම සත්‍යය මිනිසාට අත් කරගත නොහැකියි යන මතය දර්ශනවාදය හදාරන ඇතැම් අය ගොඩනඟා තිබෙනවා. ස්වීඩන් ජාතික කතුවරයෙකු වන ආල්ෆ් අල්බර්ග් මෙසේ ලිව්වා. “නිශ්චිත පිළිතුරක් දිය නොහැකි වීම දර්ශනවාදි ප්‍රශ්න බොහොමයක් සම්බන්ධයෙන් දැකිය හැකි ලක්ෂණයක්.” තිබෙන්නේ සාපේක්ෂී සත්‍යයක් පමණයි කියා සමහරු පැවසුවත් එම අදහසෙහි සැබෑවක් තිබෙනවාද? යේසුස් ක්‍රිස්තුස් පැවසූ දේවලින් පැහැදිලි වන්නේ එය සත්‍යයක් නොවන බවයි.

5. යේසුස් මේ ලෝකයට ආවේ ඇයි?

5 අපි සිතමු, පහත සඳහන් සිද්ධිය අපි බලාගෙන සිටිනවා කියා. මෙය සිදු වන්නේ පො.යු. 33වන අවුරුද්දේ මුල් භාගයේදීයි. යේසුස් රෝම ආණ්ඩුකාර පොන්තියුස් පිලාත් ඉදිරියෙහි සිටගෙන සිටියි. යේසුස් පිලාත්ට මෙසේ පවසයි. “මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂි දෙන පිණිසය.” පිලාත් මෙසේ අසයි. “සත්‍යය නම් කිමෙක්ද?” නමුත් යේසුස් මේ ගැන තවත් විස්තර ඉදිරිපත් කරන තෙක් පිලාත් බලා නොසිටියි.—යොහන් 18:36-38.

6. (අ) “සත්‍යය” නිර්වචනය කර තිබෙන්නේ කෙසේද? (ආ) යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට දුන් බලපැවරුම කුමක්ද?

6 “සත්‍යය” නිර්වචනය කර තිබෙන්නේ “සැබෑ දේවල්වල, සිද්ධීන්වල හා කරුණුවල එකතුවක්” ලෙසයි. (Webster’s Ninth New Collegiate Dictionary) නමුත් යේසුස් සාක්ෂි දැරුවේ පොදුවේ සැබෑ වූ දේවල් ගැනද? නැහැ. ඔහුගේ මනසේ තිබුණේ සුවිශේෂ වූ නිශ්චිත සත්‍යයක්. එම සත්‍යය ගැන ජනයාට ප්‍රකාශ කිරීම සඳහා ඔහු සිය අනුගාමිකයන්ට බලතල පවරමින් මෙසේ පැවසුවා. “නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න. පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරන්න. මා විසින් නුඹලාට අණ කළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න.” (මතෙව් 28:19, 20) පවතින ක්‍රමයේ අවසානයට කලින් යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් “ශුභාරංචියේ සත්‍යතාව” පොළොව පුරා ප්‍රකාශ කරනු ඇති. (මතෙව් 24:3; ගලාති 2:14, NW) මෙම ශුභාරංචිය ප්‍රකාශ කරනු ලබන්නේ යේසුස් පැවසූ මෙම වදන්වල ඉටුවීමක් හැටියටයි. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේය. එවිට අන්තිමය පැමිණෙන්නේය.” (මතෙව් 24:14) මේ නිසා රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම මගින් සියලු ජාතීන්ට සත්‍යය උගන්වමින් සිටින අයව අප විසින් හඳුනාගැනීම අතිවැදගත් දෙයක්.

අපට සත්‍යය ඉගෙනගත හැකි අයුරු

7. යෙහෝවා සත්‍යයේ උල්පත බව ඔබ තහවුරු කරගන්නේ කොහොමද?

7 ආත්මික සත්‍යයේ උල්පත යෙහෝවායි. ගීතිකාකරු දාවිත් යෙහෝවාව හැඳින්වූයේ “සත්‍යතාවේ දෙවි” ලෙසයි. (ගීතාවලිය 31:5, NW; 43:3) යේසුස් ඔහුගේ පියාගේ වචනය සත්‍යය බව පිළිගත් අතර, මෙසේද ප්‍රකාශ කළා. “සියල්ලෝම දෙවි විසින් උගන්වනු ලබන්නෝයයි අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවල ලියා තිබේ. පියාගෙන් අසා ඉගෙනගත් සියල්ලෝම මා ළඟට එති.” (යොහන් 6:45; 17:17, 18; යෙසායා 54:13) මෙයින් පැහැදිලි වන්නේ සත්‍යය සොයන අය ශ්‍රේෂ්ඨ ගුරුවරයා වන යෙහෝවාගෙන් ඉගෙනගත යුතු බවයි. (යෙසායා 30:20, 21) සත්‍යය සොයන අය “දෙවි පිළිබඳ දැනුම” ලබාගත යුතුයි. (හිතෝපදේශ 2:5, NW) යෙහෝවා ප්‍රේමනීය ලෙස විවිධාකාරවලින් සත්‍යය උගන්වා හෝ ලබා දී තිබෙනවා.

8. දෙවි සත්‍යය උගන්වා හෝ ඉදිරිපත් කර තිබෙන්නේ කිනම් ආකාරවලින්ද?

8 උදාහරණයක් හැටියට දේවදූතයන් මාර්ගයෙන් දෙවි ඉශ්‍රායෙල්වරුන්ට ව්‍යවස්ථාව දුන්නා. (ගලාති 3:19) ආදි පිතෲන් වූ ආබ්‍රහම් හා යාකොබ්ට පෙනෙන්න සලස්වනු ලැබූ සිහිනවලදී ඔවුන්ට ආශීර්වාද කරන බවට ඔහු පොරොන්දු වුණා. (උත්පත්ති 15:12-16; 28:10-19) යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේදී ස්වර්ගයේ සිට දෙවිම කතා කළා. ඔහුගේ මෙම ගරුබිය දනවන වදන් පොළොවටද ඇසුණා. “මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය. මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි.” (මතෙව් 3:17) දෙවි ඔහුගේ ආනුභාවය ලැබූ බයිබල් ලේඛකයන් මාර්ගයෙන්ද සත්‍යය දැනගන්න සැලැස්වීම ගැනත් අපට ස්තුතිවන්ත විය හැකියි. (2 තිමෝති 3:16) එසේනම් දේවවචනයෙන් ඉගෙනගැනීම මගින් “සත්‍යය කෙරෙහි ඇදහිල්ල” ඇතුව සිටින්න අපට පුළුවන්.—2 තෙසලෝනික 2:13, NW.

සත්‍යය සහ දෙවිගේ පුත්‍රයා

9. දෙවි සත්‍යය හෙළි කිරීම සඳහා ඔහුගේ පුත්‍රයාව යොදාගෙන තිබෙන්නේ කෙසේද?

9 මනුෂ්‍යවර්ගයාට සත්‍යය හෙළි කිරීම සඳහා දෙවි විශේෂයෙන්ම යොදාගත්තේ ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වයි. (හෙබ්‍රෙව් 1:1-3) ඇත්තෙන්ම යේසුස් වෙන කිසිවෙකු කතා කර නොතිබූ ආකාරයෙන් සත්‍යය ගැන කතා කළා. (යොහන් 7:46) ඔහු ස්වර්ගයට ගිය පසුත් ඔහුගේ පියාගෙන් ලැබුණු සත්‍යය හෙළි කළා. උදාහරණයක් හැටියට “ඉක්මනින් වෙන්ට ඕනෑ දේවල්, එනම් දෙවි තමන්ගේ දාසයන්ට දක්වන පිණිස යේසුස් ක්‍රිස්තුස්ට දුන්නාවූ යේසුස් ක්‍රිස්තුස්ගේ එළිදරව් කිරීම” ප්‍රේරිත යොහන්ට ලැබුණා.—එළිදරව් 1:1-3.

10, 11. (අ) යේසුස් සාක්ෂි දැරූ සත්‍යය කුමක් හා සම්බන්ධද? (ආ) යේසුස් සත්‍යය යථාර්ථයක් බවට පත් කළේ කෙසේද?

10 යේසුස් පොන්තියුස් පිලාත්ට පැවසුවේ සත්‍යයට සාක්ෂි දරන්න තමන් පොළොවට පැමිණි බවයි. මෙම සත්‍යය, ක්‍රිස්තුස් රජුව සිටින දේවරාජ්‍යය මගින් යෙහෝවාගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගත බව තහවුරු කිරීම හා සම්බන්ධ වන බව යේසුස් අනාවරණය කළා. නමුත් යේසුස් සත්‍යය ගැන සාක්ෂි දැරීමේදී දේශනා කිරීමට හා ඉගැන්වීමට වඩා වැඩි යමක් ඔහුගෙන් බලාපොරොත්තු වුණා. යේසුස් සත්‍යය යථාර්ථයක් බවට පත් කරමින් එය ඉටුවීමට සැලැස්සුවා. මේ සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා. “කෑම ගැනවත් බීම ගැනවත් මංගල්‍ය දවසක් ගැනවත් අමාවක දවසක් ගැනවත් සබත් දවස් ගැනවත් නුඹලා විනිශ්චය කරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න. ඒවා පැමිණෙන්ට තිබෙන දේවල ඡායාවක්ය. නුමුත් සිරුර [යථාර්ථය, NW] ක්‍රිස්තුස්ගේය.”—කොලොස්සි 2:16, 17.

11 සත්‍යය යථාර්ථයක් බවට පත් වූ එක් අවස්ථාවක් වූයේ පුරෝකථනය කරන ලද යේසුස්ගේ උපත බෙත්ලෙහෙමේ සිදුවීමයි. (මීකා 5:2; ලූක් 2:4-11) ‘අවුරුදු සති’ 69 අවසානයේදී මෙසියස් පෙනී සිටීම ගැන දානියෙල් පළ කළ අනාවැකිය ඉටුවීමෙන්ද සත්‍යය යථාර්ථයක් බවට පත් වුණා. මෙම අනාවැකිය ඉටු වූයේ හරියටම කලින් පවසා තිබූ කාල වකවානුවේදීම, එනම් පො.යු. 29දී යේසුස් තමන්වම දෙවිට ඉදිරිපත් කරමින් බව්තීස්ම වූ විටයි. ඒ අවස්ථාවේදී ඔහුව ශුද්ධාත්මයෙන් ආලේප කරනු ලැබුවා. (දානියෙල් 9:25; ලූක් 3:1, 21, 22) යේසුස් රාජ්‍ය ප්‍රකාශකයෙකු වශයෙන් මිනිසුන්ට පැහැදිලි අවබෝධයක් සපයමින් කළ දේවසේවය මගින්ද සත්‍යය තවදුරටත් යථාර්ථයක් බවට පත් වුණා. (යෙසායා 9:1, 2, 6, 7; 61:1, 2; මතෙව් 4:13-17; ලූක් 4:18-21) සත්‍යය යථාර්ථයක් වූ බවට තවත් උදාහරණයකි, ඔහුගේ මරණය හා නැවත නැඟිටීම.—ගීතාවලිය 16:8-11; යෙසායා 53:5, 8, 11, 12; මතෙව් 20:28; යොහන් 1:29; ක්‍රියා 2:25-31.

12. ‘සත්‍යය මමය’ කියා පැවසීමට යේසුස්ට හැකි වූයේ මන්ද?

12 සත්‍යය කේන්ද්‍රගතව තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වටායි. මේ නිසයි ඔහුට මෙසේ පැවසීමට හැකි වූයේ. “මාර්ගයද සත්‍යයද ජීවනයද මමය. මා තුළින් මිස කිසිවෙක් පියාණන් වෙතට පැමිණෙන්නේ නැත.” (යොහන් 14:6, NW) ජනයා දෙවිගේ අරමුණ තුළ යේසුස් විසින් ඉටු කරනු ලබන කාර්යභාරය පිළිගැනීමෙන් තමන් ‘සත්‍යයට පක්ෂ’ බව පෙන්වද්දී ඔවුන් බොරු නමස්කාරයෙන් නිදහස් වෙනවා. (යොහන් 8:32-36; 18:37, NW) බැටළු ගුණැති අය සත්‍යය පිළිගනිමින් ඇදහිල්ලෙන් යුතුව ක්‍රිස්තුස්ව අනුගමනය කරන නිසා ඔවුන්ට සදාකාල ජීවනය ලැබෙනු ඇති.—යොහන් 10:24-28.

13. අපි ශුද්ධ ලියවිලිමය සත්‍යය ගැන පරීක්ෂා කර බලන්නේ කුමන කාරණා තුන සම්බන්ධයෙන්ද?

13 සැබෑ ක්‍රිස්තියානි ඇදහිල්ල ගොඩනැඟෙන්නේ යේසුස් හා ඔහුගේ ගෝලයන් දේවානුභාවයෙන් ප්‍රකාශ කළ සත්‍යය හා බැඳි තොරතුරු සමුදාය මතයි. මේ නිසා ‘ඇදහිල්ලට කීකරු වන’ අය ‘සත්‍යයෙහි දිගටම ගමන් කරයි.’ (ක්‍රියා 6:7; 3 යොහන් 3, 4, NW) එසේනම් වර්තමානයේ සත්‍යයෙහි ගමන් කරන්නේ කවුද? ඇත්තෙන්ම සියලු ජාතීන්ට සත්‍යය උගන්වමින් සිටින්නේ කවුද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේදී අපේ මූලික අවධානය මුල් ක්‍රිස්තියානීන් කෙරෙහි යොමු කරමින් මතු දැක්වෙන කාරණා තුන සම්බන්ධයෙන් ශුද්ධ ලියවිලිමය සත්‍යය පරීක්ෂා කර බලමු. (1) විශ්වාසයන් හා සම්බන්ධ සත්‍යය. (2) නමස්කාර විධිය හා සම්බන්ධ සත්‍යය. (3) පෞද්ගලික හැසිරීම හා සම්බන්ධ සත්‍යය.

සත්‍යය සහ විශ්වාසයන්

14, 15. ශුද්ධ ලියවිලි පිළිබඳව මුල් ක්‍රිස්තියානීන්ගේ මෙන්ම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ආකල්පය ගැන ඔබට කුමක් කිව හැකිද?

14 මුල් ක්‍රිස්තියානීන් යෙහෝවාගේ ලිඛිත වචනයට මහත් ගෞරවයක් දැක්වුවා. (යොහන් 17:17, 18) විශ්වාසයන් හා ක්‍රියා පිළිවෙත් සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රමිතිය වූයේ එයයි. දෙවන සහ තුන්වන සියවස්වල විසූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් මෙසේ පැවසුවා. “සත්‍යය මුළුමනින්ම සහතික කරගැනීමට වෙහෙස මහන්සි වන අය තමන් විශ්වාස කරන දේවලට අදාළ සාක්ෂි ශුද්ධ ලියවිල්ල තුළින්ම සොයාගන්න තෙක් තම ගවේෂණය කිසිදාක නතර කරන්නේ නැත.”

15 මුල් ක්‍රිස්තියානීන් හා සමානව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද බයිබලයට මහත් ගෞරවයක් දක්වනවා. ‘මුළු ලියවිල්ල දේවානුභාවයෙන් බවත් ඉගැන්වීමට ප්‍රයෝජනවත්’ බවත් ඔවුන් විශ්වාස කරනවා. (2 තිමෝති 3:16) දැන් අපි මුල් ක්‍රිස්තියානීන්ගේ විශ්වාසයන් කිහිපයක් සලකා බලමු. මෙහිදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමන්ගේ ප්‍රධාන පාඩම් පොත හැටියට බයිබලය පාවිච්චි කරන නිසා ඔවුන් ඉගෙනගෙන තිබෙන දේවල්ද සැලකිල්ලට ගනිමු.

මිනිසා පිළිබඳ සත්‍යය

16. මිනිසා පිළිබඳ සත්‍යය කුමක්ද?

16 මුල් ක්‍රිස්තියානීන් ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේවල් විශ්වාස කළ නිසා ඔවුන් මිනිසා පිළිබඳව ඉගැන්වූයේ සත්‍යයයි. දෙවි මිනිසාව මැවූ අවස්ථාවේදී “මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක්” වූ බව ඔවුන් දැන සිටියා. (උත්පත්ති 2:7) ඒ විතරක් නොවෙයි, මිනිසා මිය යන බවත් ඔවුන් පිළිගත්තා. (උත්පත්ති 2:17; 3:19) ‘මළවුන් කිසිවක් නොදන්න’ බවත් ඔවුන් දැන සිටියා.—දේශනාකාරයා 9:5, 10; ගීතාවලිය 146:3, 4.

17. මියගොස් සිටින අයට තිබෙන බලාපොරොත්තුව ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?

17 කෙසේවෙතත් දෙවිගේ මතකයේ සිටින මියගිය අයව නැවත නැඟිටුවනු ලබන බවට හෝ ජීවනයට ගෙන එන බවට ස්ථිර බලාපොරොත්තුවක් යේසුස්ගේ මුල් ගෝලයන්ට තිබුණා. ඔවුන්ගේ එම විශ්වාසය මෙම වදන්වලින් පාවුල් හොඳින් පැහැදිලි කළා. “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැඟිටීමක් වන්නේයයි . . . මමත් දෙවි කෙරෙහි බලාපොරොත්තුවෙන් යුක්තව සිටිමි.” (ක්‍රියා 24:15) තමන් ක්‍රිස්තියානියෙකු බව පැවසූ මහාචාර්යවරයෙකු වූ මිනුසියස් ෆීලික්ස් පසු කලෙක මෙසේ ලීවා. “මුලින්ම දෙවි විසින් නිර්මාණය කරනු ලැබූ මිනිසාව දෙවිට නැවතත් නිර්මාණය කළ නොහැකියි කියා පවසන තැනැත්තා මෝඩයෙකි, අඥානයෙකි.” මුල් ක්‍රිස්තියානීන් මෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද මිනිසා, මරණය හා නැවත නැඟිටීම පිළිබඳව ශුද්ධ ලියවිල්ලේ සඳහන් සත්‍යයට ඇලී සිටිනවා. දෙවි සහ ක්‍රිස්තුස් කියන්නේ කවුද යන්න ගැන දැන් අපි සලකා බලමු.

සත්‍යය සහ ත්‍රිත්වය

18, 19. ත්‍රිත්වය ශුද්ධ ලියවිල්ලේ සඳහන් ඉගැන්වීමක් නොවෙයි කියා පැවසිය හැක්කේ මන්ද?

18 මුල් ක්‍රිස්තියානීන් දෙවි, ක්‍රිස්තුස් හා ශුද්ධාත්මය ත්‍රිත්වයක් හැටියට සැලකුවේ නැහැ. මේ ගැන දි එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා මෙසේ පවසනවා. “අලුත් ගිවිසුමේ ත්‍රිත්වය නමැති වචනයවත් එම ඉගැන්වීම ගැනවත් සඳහන් වී නැත. ඇරත් යේසුස් සහ ඔහුගේ ගෝලයන් ‘එම්බා, ඉශ්‍රායෙල් අසන්න. අපේ දෙවි වූ ස්වාමීන් එකම ස්වාමීන් වේ’ නමැති පරණ ගිවිසුමේ සඳහන් ෂෙමාහි [හෙබ්‍රෙව් යාච්ඤාවක] සඳහන් ප්‍රකාශයට විරුද්ධව කිසිදු පියවරක් ගත්තේ නැත (ද්වි. 6:4).” ක්‍රිස්තියානීන් රෝම ත්‍රිත්වයට හෝ වෙනත් දෙවි දේවතාවුන්ට නමස්කාර කළේ නැහැ. නමස්කාර කළ යුත්තේ යෙහෝවාට පමණක් කියා යේසුස් කළ ප්‍රකාශය ඔවුන් පිළිගත්තා. (මතෙව් 4:10) ඒ විතරක් නොවෙයි, “පියාණන් මට වඩා උතුම්ය” කියා යේසුස් පැවසූ වදන්ද ඔවුන් විශ්වාස කළා. (යොහන් 14:28) අද සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද දරන්නේ එම අදහස්මයි.

19 යේසුස්ගේ මුල් අනුගාමිකයන් දෙවි, ක්‍රිස්තුස් සහ ශුද්ධාත්මය අතර තිබෙන වෙනස්කම් පැහැදිලිව දැක්වුවා. ඇත්තෙන්ම ඔවුන් ගෝලයන්ව බව්තීස්ම කළේ යම් ත්‍රිත්වයක නාමයෙන් නොව, (1) පියාණන්ගේ නාමයෙන් (2) පුත්‍රයාගේ නාමයෙන් සහ (3) ශුද්ධාත්මයේ නාමයෙනුයි. මේ හා සමානව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද දෙවි, ඔහුගේ පුත්‍රයා සහ ශුද්ධාත්මය අතර තිබෙන වෙනස්කම් දක්වමින් ශුද්ධ ලියවිල්ලේ සඳහන් සත්‍යය උගන්වනවා.—මතෙව් 28:19.

සත්‍යය සහ බව්තීස්මය

20. බව්තීස්ම අපේක්ෂකයන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමන ආකාරයේ දැනුමක්ද?

20 ජනයාට සත්‍යය උගන්වා ඔවුන්ව ගෝලයන් කරන්න කියා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට බලපැවරුමක් දුන්නා. ඔවුන් බව්තීස්මය සඳහා සුදුසුකම් ලබන්න නම් ශුද්ධ ලියවිලි ගැන මූලික දැනුමක් ඔවුන්ට තිබීම අවශ්‍යයි. උදාහරණයක් හැටියට ඔවුන් පියාට හා ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ට හිමි තත්වය හා බලතල පිළිගත යුතුයි. (යොහන් 3:16) ශුද්ධාත්මය කියන්නේ දෙවිගේ ක්‍රියාකාරි බලය මිස පුද්ගලයෙක් නොවන බවත් බව්තීස්ම අපේක්ෂකයන් තේරුම්ගැනීම අවශ්‍යයි.—උත්පත්ති 1:2, NW පාද සටහන.

21, 22. බව්තීස්මය ඇදහිලිවන්තයන් සඳහායි කියා ඔබ පවසන්නේ මන්ද?

21 මුල් ක්‍රිස්තියානීන් බව්තීස්ම කළේ පසුතැවිලි වී, දෙවිගේ කැමැත්ත කිරීම සඳහා කොන්දේසි විරහිතව ඔහුට කැප වූ දැනුම් තේරුම් ඇති පුද්ගලයන්ව පමණයි. පොදු යුගයේ 33දී යෙරුසලමෙහි රැස්ව සිටි යුදෙව්වන්ට හා යුදෙව් ආගම වැලඳගත් අයට ඒ වන විටත් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි ගැන දැනුමක් තිබුණා. මෙසියස් වන යේසුස් ගැන ප්‍රේරිත පේතෘස් කළ කතාවට සවන් දීමෙන් පසු 3,000දෙනෙකු පමණ ‘වචනය උද්‍යෝගයෙන් පිළිගෙන බව්තීස්ම වුණා.’—ක්‍රියා 2:41, NW; 3:19–4:4; 10:34-38.

22 ක්‍රිස්තියානි බව්තීස්මය ඇදහිලිවන්තයන් සඳහායි. සමාරියේ විසූ ජනයා සත්‍යය පිළිගත් අතර ‘ඔවුන් දෙවිගේ රාජ්‍යය හා යේසුස් ක්‍රිස්තුස්ගේ නාමය ගැන ශුභාරංචිය දේශනා කළාවූ පිලිප්වද විශ්වාස කළ විට, පුරුෂයන්වද ස්ත්‍රීන්වද බව්තීස්ම කරනු ලැබුවා.’ (ක්‍රියා 8:12) යෙහෝවා ගැන දැනුමක් තිබූ යුදෙව් ආගම වැලඳගත් භක්තිමත් පුද්ගලයෙකු වූ ඉතියෝපීය නපුංසකයා මුලින්ම කළේ මෙසියස් හා සම්බන්ධ අනාවැකිවල ඉටුවීම ගැන පිලිප් පැවසූ දේවල් පිළිගැනීමයි. ඔහුව බව්තීස්ම කරනු ලැබුවේ ඉන් අනතුරුවයි. (ක්‍රියා 8:34-36) පසු කලෙක පේතෘස් කොර්නේලියස්ට හා වෙනත් අන්‍යජාතිකයන්ට පැවසුවේ ‘දෙවි කෙරෙහි භය ඇතුව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තා ඔහුට ප්‍රසන්න’ බවයි. යේසුස් කෙරෙහි ඇදහිල්ල තබන සෑම කෙනෙකුම ඔවුන්ගේ පාපවලට සමාව ලබාගන්න බවත් ඔහු පැවසුවා. (ක්‍රියා 10:35, 43; 11:18) මේ සෑම දෙයක්ම “ගෝලයන් කරන්න. . . . මා විසින් නුඹලාට අණ කළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න” යන යේසුස්ගේ ආඥාවට එකඟයි. (මතෙව් 28:19, 20; ක්‍රියා 1:8) ශුද්ධ ලියවිලි පිළිබඳ මූලික දැනුමක් ලැබීමෙන් අනතුරුව දෙවිට පෞද්ගලිකව කැප වී තිබෙන අයව පමණක් බව්තීස්ම කිරීමෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද එම ප්‍රමිතියම ක්‍රියාත්මක කරයි.

23, 24. ක්‍රිස්තියානි බව්තීස්මය සිදු කළ යුතු නිවැරදි ක්‍රමය කුමක්ද?

23 ඇදහිලිවන්තයන්ව බව්තීස්ම කිරීමේ නිසි ක්‍රමය වන්නේ ඔවුන්ව සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්වීමයි. යේසුස් යොර්දාන් ගඟේ බව්තීස්ම වූ පසු ඔහු ‘දියෙන් උඩට මතු වුණා.’ (මාර්ක් 1:10, NW) ඉතියෝපීය නපුංසකයාව බව්තීස්ම කරනු ලැබුවේ ‘ජලය ඇති තැනකයි.’ ඔහුද පිලිප්ද ‘වතුරට බැස’ එයින් ‘ගොඩ ආවා.’ (ක්‍රියා 8:36-40, NW) ශුද්ධ ලියවිල්ලේ බව්තීස්මය සංකේතමය භූමදානයකට සමාන කර තිබෙන අතර, එයින් ඇඟවෙන්නේද සම්පූර්ණයෙන්ම දිය යට ගිල්වීමයි.—රෝම 6:4-6; කොලොස්සි 2:12.

24 එක්තරා ආශ්‍රේය ග්‍රන්ථයක (The Oxford Companion to the Bible) මෙසේ සඳහන් වෙනවා. “අලුත් ගිවිසුමේ සඳහන් බව්තීස්මයන් ගැන කර තිබෙන විස්තරවලින් පැහැදිලි වන්නේ බව්තීස්ම කරනු ලබන පුද්ගලයාව දිය යට ගිල්වනු ලැබූ බවයි.” ප්‍රංශ බසින් රචිත පොතකට (Larousse du XXe Siècle, පැරිස්, 1928) අනුව “ජලය තිබූ සෑම තැනකම පාහේ දියේ ගිල්වීමෙන් මුල් ක්‍රිස්තියානීන්ව බව්තීස්ම කරනු ලැබුවා.” තවත් පොතක (After Jesus—The Triumph of Christianity) මෙසේ සඳහන් වෙනවා. “බව්තීස්මයේ ප්‍රධානතම ලක්ෂණයක් වූයේ බව්තීස්ම අපේක්ෂකයා තම ඇදහිල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව යේසුස්ගේ නාමයෙන් සම්පූර්ණයෙන්ම දියේ ගිල්වීමයි.”

25. ඊළඟ ලිපියේදී සලකා බලන්නේ කුමක් ගැනද?

25 බයිබලය මත පදනම් විශ්වාසයන් හා මුල් ක්‍රිස්තියානීන් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත් ගැන සලකා බැලූ ඉහත කරුණු උදාහරණ කිහිපයක් පමණයි. ඔවුන්ගේ විශ්වාසයන් හා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් අතර තවත් සමානකම් ඉදිරිපත් කරන්න පුළුවන්. ජනයාට සත්‍යය උගන්වමින් සිටින අයව හඳුනාගැනීමට උපකාරවත් වන තවත් අමතර දේවල් ගැන ඊළඟ ලිපියේදී සලකා බලමු.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• දෙවි අපේක්ෂා කරන්නේ කුමන ආකාරයේ නමස්කාරයක්ද?

• යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් සත්‍යය යථාර්ථයක් වූයේ කෙසේද?

• මිනිසා හා මරණය පිළිබඳ සත්‍යය කුමක්ද?

• ක්‍රිස්තියානි බව්තීස්මය සිදු කරන්නේ කෙසේද? බව්තීස්ම අපේක්ෂකයන්ගෙන් අවශ්‍ය කරන්නේ මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ පින්තූරය]

“මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂි දෙන පිණිසය” කියා යේසුස් පිලාත්ට පැවසුවා

[17වන පිටුවේ පින්තූරය]

‘සත්‍යය මමය’ කියා යේසුස් පැවසුවේ මන්දැයි ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද?

[18වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි බව්තීස්මය පිළිබඳ සත්‍යය කුමක්ද?