Skip to content

පටුනට යන්න

ධර්මිෂ්ඨකම වපුරා දෙවිගේ ප්‍රේමනීය කරුණාව කපාගන්න

ධර්මිෂ්ඨකම වපුරා දෙවිගේ ප්‍රේමනීය කරුණාව කපාගන්න

ධර්මිෂ්ඨකම වපුරා දෙවිගේ ප්‍රේමනීය කරුණාව කපාගන්න

“නොදන්න කෙනෙකුට ඇප වෙන්නා විපතට පැමිණෙයි; එසේ ඇප නොවෙන්නා සුරැකි ව සිටියි” (හිතෝපදේශ 11:15, නව අනුවාදය) මෙම කෙටි හිතෝපදේශයෙන්, අප යම් බැරෑරුම් දෙයකට මුලපුරන විට කොතරම් වගකීමෙන් කටයුතු කළ යුතුද කියා පෙන්වා දෙයි. හොඳ හැටි නොදන්න කෙනෙකුට ඇපකරුවෙක් වීම මූල්‍යමය ගැටලුවලට මුලපිරීමක්. පුරාණ ඉශ්‍රායෙලයේ කෙනෙකු සම්මුතියකට එකඟතාව පළ කළේ තම අත්සන තැබීමෙන් නොව අතට අත දීමෙනි. යම් කෙනෙකු එසේ නොකළ විට මූල්‍යමය උගුලකට හසුවීමෙන් වැළකීමට හැකියාව ලැබුණි.

මෙහි ගැබ් වී තිබෙන මූලික සත්‍යය නම් “මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපාගන්නේය” යන්නයි. (ගලාති 6:7) අනාගතවක්තෘ හොෂෙයා පැවසුවේ “ඔබ උදෙසා ධර්මිෂ්ඨකම වපුරාගෙන ප්‍රේමනීය කරුණාව කපාගන්න” යනුවෙනි. (හොෂෙයා 10:12, NW) දෙවිගේ ක්‍රමයට දේවල් කිරීමෙන් ධර්මිෂ්ඨකම වපුරා ඔහුගේ ප්‍රේමනීය කරුණාව කපාගත හැකියි. මෙම ප්‍රතිපත්තිය නිතර අදාළ කරගැනීමෙන් අප තෝරාගත යුතු නිවැරදි ක්‍රියාකලාපය, අවංක කතාව සහ අප හැසිරිය යුතු සුදුසු ආකාරයට අයත් ගුණාංග වඩවාගන්නා ලෙස ඉශ්‍රායෙලයේ සාලමොන් රජ දිරිගන්වයි. ඔහුගේ ප්‍රඥාවන්ත වදන් පරීක්ෂා කර බැලීමෙන් අප උදෙසා ධර්මිෂ්ඨකම වපුරාගැනීමට දිරිය වඩවාගත හැකියි.—හිතෝපදේශ 11:15-31.

“විනීතකම” වපුරා “ගෞරවය” කපාගන්න

“[විනීත, NW] ස්ත්‍රියක් ගෞරවය රැකගන්නීය. බලාත්කාරකම් කරන්නෝ වස්තුව රැකගනිති” කියා ප්‍රඥාවන්ත රජ පවසයි. (හිතෝපදේශ 11:16) මෙම පදයෙන් ගුණ ගරුක ස්ත්‍රියක් එනම් “විනීත ස්ත්‍රියක්” ලබාගන්නා ගෞරවයත් බලාත්කාරකම් කරන්නාගේ තාවකාලික වස්තුවත් අතර වෙනස ගෙනහැර පායි.

ගෞරවය හිමි කර දෙන විනීතකම යම් කෙනෙකු අත් කරගන්නේ කෙසේද? ඒ සඳහා “ප්‍රායෝගික ප්‍රඥාව සහ සිතීමේ හැකියාව රක්ෂා කරගන්න. එවිට එය නුඹේ . . . ගෙලට අලංකාරයක් වන්නේය” කියා සාලමොන් උපදෙස් දෙයි. (හිතෝපදේශ 3:21, 22, NW) ‘රජ්ජුරුවන් තම තොල්වලින් අනුග්‍රහය [විනීතකම, NW] වැගිරවූ’ ආකාරය ගීතිකාකරුද සඳහන් කළේය. (ගීතාවලිය 45:1, 2) ප්‍රායෝගික ප්‍රඥාව, සිතීමේ හැකියාව සහ හරියාකාරව දිව පාවිච්චි කිරීම පුද්ගලයෙකුගේ වටිනාකමට සහ විනීතකමට දායක වන බව නොකිවමනාය. අඥාන නාබල්ගේ බුද්ධිමත් භාර්යාව වන අබීගායිල් මීට කදිම නිදසුනක්. ඇය “බුද්ධිමත්, රූප ශෝභාව ඇති” තැනැත්තියක් වූ අතර ඇගේ ‘නුවණැතිකමට’ දාවිත් රජ ඈට ප්‍රශංසා කළේය.—1 සාමුවෙල් 25:3, 33.

සැබෑ විනීතකම ඇති භක්තිවන්ත ස්ත්‍රියක් අනිවාර්යයෙන්ම ගෞරවය දිනාගනියි. එමෙන්ම අන් අය අතරේ ඈ හොඳ නමක් ඇති කරගනියි. ඈ විවාහක නම් ඇගේ ස්වාමිපුරුෂයාගේ ගෞරවාදරයටද පාත්‍ර වෙයි. ඇත්තෙන්ම ඈ මුළු පවුලටම ගෞරවය ගෙන එයි. ඇගේ ගෞරවය කලකට පමණක් පැවත නැති වී යන්නාවූ දෙයක් නොවෙයි. මන්දයත් “බොහෝ ධනයට වඩා හොඳ නමක්ද රන්රිදීවලට වඩා කරුණාවද අගනේය.” (හිතෝපදේශ 22:1) එලෙසම දෙවි සමඟ ඇය ඇති කරගන්නා සම්බන්ධතාවට ඇත්තේ අමිල වටිනාකමකි.

නමුත් ‘බලාත්කාරකම් කරන්නෙකුගේ’ තත්වය මීට හාත්පසින්ම වෙනස්. (හිතෝපදේශ 11:16) දුෂ්ට මනුෂ්‍යයන් සහ යෙහෝවාගේ නමස්කාරකයින්ට විරුද්ධවාදීකම් පාන අය බලාත්කාරකම් කරන්නෙකුගේ ගණයට දැමිය හැකියි. (යෝබ් 6:23; 27:13) එවැනි මනුෂ්‍යයෙක් ‘තමුන් ඉදිරියෙහි දෙවිව තබාගෙන නැත.’ (ගීතාවලිය 54:3) අහිංසකයන්ට බලපෑම් කරමින් ආත්මාර්ථකාමී ලෙස ලාභ ප්‍රයෝජන ගන්න අයෙක් ‘පස් වගේ රිදී ගොඩ කරගනියි.’ (යෝබ් 27:16) ඒත් යම් දවසක ඔහු සදාකාලයටම දෙනෙත් පියාගනියි. (යෝබ් 27:19) ඔහුගේ සියලු ධනය සහ අත් පත් කරගැනීම්වලින් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත.—ලූක් 12:16-21.

හිතෝපදේශ 11:16හි දෙනු ලබන පාඩම කොයිතරම් වැදගත්ද! විනීතකමත් බලාත්කාරකමත් කපාගැනීමට යන ප්‍රතිඵල ගැන ඉතා කෙටියෙන් අපට පෙන්වා දෙමින් ඉශ්‍රායෙලයේ රජ ධර්මිෂ්ඨකම වපුරන මෙන් අපගෙන් අයැද සිටියි.

“ප්‍රේමනීය කරුණාව” ආශීර්වාද ගෙන එයි

මිනිස් සම්බන්ධතා පිළිබඳව තවදුරටත් උපදෙස් දෙමින් සාලමොන් මෙසේ පවසයි. “[ප්‍රේමනීය කරුණාව ඇති, NW] මනුෂ්‍යයා තමාගේම ප්‍රාණයට යහපත කරගන්නේය. එහෙත් කෲරයා තමාගේම මාංසය කලඹන්නේය.” (හිතෝපදේශ 11:17) “මෙම හිතෝපදේශයේ හරය නම්, යම් කෙනෙකු අන් අය සමඟ කටයුතු කරන ආකාරය හොඳ වුවත් නරක වුවත් එමගින් තමන් නොසිතූ ආකාරයේ ප්‍රතිඵල අත් විඳින්න සිදු වන බවයි” කියා එක් විශාරදයෙක් පැවසීය. යොවුන් වියේ පසු වන ලීසාගේ අද්දැකීම සලකා බලන්න. a ඇය යම් කෙනෙකුව මුණගැසීමට කථිකා කරගත් වේලාවට යන්න කොයිතරම් උත්සාහ දැරුවත් එම වේලාවට යෑමට අසමත් වන්නීය. ඇය දේශනා සේවයේ යෙදෙන රාජ්‍ය ප්‍රචාරකයන් හමුවීමට නියම කරගත් වේලාවට වඩා විනාඩි 30ක් හෝ ඊට වඩා ප්‍රමාද වීම අසාමාන්‍ය දෙයක් නොවෙයි. මෙම පුරුද්දෙන් ලීසාට වාසියක් වූයේ නැත. කාලය නිරපරාදේ නාස්ති වන නිසා මතුවට ඈ සමඟ කාල වේලා නියම කරගැනීමට අසතුටු වන විට එම පුද්ගලයන්ට දොස් නැඟීමට ඇයට හැකිද?

සර්ව සම්පූර්ණත්වය බලාපොරොත්තු වන කෙනෙක්, වෙනත් විදිහකින් පවසනවා නම් ළඟා විය නොහැකි ප්‍රමිති තබාගෙන සිටින කෙනෙක් එමඟින් තමන්ටම විනාශයක් කරගනියි. මන්දයත් නිරතුරුවම ළඟා විය නොහැකි ඉලක්ක පසු පස හඹා යෑමෙන් සිදු වන්නේ අනවශ්‍ය ලෙස වෙහෙසට පත්වීම සහ බලාපොරොත්තු කඩවීමයි. ඒත් අප යථාර්ථවාදී සහ සාධාරණ ඉලක්ක තබාගන්නවා නම් යහපත් ප්‍රතිඵල අත් කරගත හැකියි. සමහර සංකීර්ණ කාරණා වෙනත් අය මෙන් අපට ඉක්මනින් තේරුම්ගත නොහැකි වන්න පුළුවන්. එසේ නැතහොත් අසනීප තත්වයක් නිසා හෝ මහලු වයස නිසාවෙන් යම් සීමාවන් ඇති විය හැකියි. අපගේ ආත්මික දියුණුව ගැන නිස්කාරණයේ කරදර නොවී අපේ සීමාවන් තුළ කටයුතු කරන විට සාධාරණකම පිළිබිඹු කරමු. අපේ පුළුවන්කමේ හැටියට ‘උපරිමය’ කරන විට අපට සතුටු විය හැකියි.—2 තිමෝති 2:15; පිලිප්පි 4:5.

ධර්මිෂ්ඨ මනුෂ්‍යයා යහපත් ප්‍රතිඵල භුක්ති විඳින ආකාරය සහ කෲර මනුෂ්‍යයා තමුන්ටම වින කරගන්න ආකාරය තවදුරටත් විස්තර කරමින් ප්‍රඥාවන්ත රජ මෙසේ පවසයි. “දුෂ්ටයා වංචාකාර ලාභයක් සම්බ කරගන්නේය. එහෙත් ධර්මිෂ්ඨකම වපුරන්නා ස්ථිර ප්‍රතිඵල ලබන්නේය. ධර්මිෂ්ඨකමෙහි ස්ථිරව සිටින්නා ජීවනයට පැමිණෙන්නේය. නපුර අනුව යන්නා තමාට මරණය ළඟා කරගන්නේය. වංක සිත් ඇත්තෝ යෙහෝවාට පිළිකුලක්ය. එහෙත් සම්පූර්ණ මාර්ගයක යන්නන්ට ඔහු ප්‍රසන්නය. අතට අත එකතු වුණත් දුෂ්ටයා දඬුවම් නොලැබ නොසිටින්නේය. එහෙත් ධර්මිෂ්ඨයන්ගේ වංශය මුදනු ලබන්නේය.”හිතෝපදේශ 11:18-21.

මෙම පද විවිධ පැතිවලින් ගෙනහැර පාන්නේ මෙම මූලික අංගයයි. එනම් ධර්මිෂ්ඨකම වපුරා එහි ඵල භුක්ති විඳීමයි! දුෂ්ටයා කිසිම වෙහෙසක් නොදරා වංචාවෙන් හෝ සූදු කෙළීමෙන් යම් දේවල් ලබාගනී. එහෙත් එවැනි දේ ස්ථිර නැත. ඔහුගේ බලාපොරොත්තු සුන් වෙන්නටද පුළුවන. එනමුත් අවංක කඩිසර සේවකයෙක් ලබන සාධාරණ ඉපැයීම් ස්ථාවරයි. එපමණක්ද නොවෙයි, නිර්දෝෂ අයෙකුට දෙවිගේ අනුමැතිය තිබෙන නිසාවෙන් ඔහුට සදාතන ජීවනයේ බලාපොරොත්තුව තිබේ. නමුත් දුෂ්ටයෙකුට ලැබෙන ප්‍රතිඵලය කුමක්ද? කූට ලෙස “අතට අත එකතු වුණත්” දුෂ්ටයාට දඬුවමෙන් ගැලවීමක් නැත. (හිතෝපදේශ 2:21, 22) ධර්මිෂ්ඨකම වැපිරීම සඳහා මෙය මොනතරම් කදිම උපදෙසක්ද!

සැබෑ අලංකාරය නුවණැත්තන්ටය

“ඌරෙකුගේ හොස්සේ ලූ රන් මුදුවක් යම් සේද නුවණ නැති රූපත් ස්ත්‍රියද එසේමය” කියා තවදුරටත් සාලමොන් පවසයි. (හිතෝපදේශ 11:22) බයිබල් කාලවලදී නාස් මුදුව ඉතා ජනප්‍රිය සැරසිල්ලක්. රන් නාස් මුදුවක් නාසයේ කෙළවරින් ඇතුල් කිරීම හෝ නාස් පුඩු අතරමැද බිත්තිය සිදුරු කර පැළඳි විට එය කොයි කාටත් මනාව දැකගැනීමට හැකිය. මෙම අලංකාරවත් ආභරණය ඌරෙකුගේ හොස්සට කොයිතරම් නොගැළපෙන දෙයක්ද! එලෙසින්ම පිටාතර අලංකාරය පමණක් තිබෙන “නුවණ” නැති පුද්ගලයෙකුත් ඒ හා සමානයි. එනම් පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියකගේ එවන් අලංකාරය සැබෑ අලංකාරය නොවෙයි. එමෙන්ම එය නොගැළපෙනවා පමණක් නොව සිත්ගන්නා සුළු දෙයක්ද නොවෙයි.

අපේ පෙනුම ගැන අන් අය කුමක් සිතාවිද කියා සැලකිලිමත් වීම සාමාන්‍ය දෙයක්. නමුත් අපේ මුහුණ හෝ ශාරීරික පෙනුම ගැන අනවශ්‍ය ලෙස කරදර වන්නේ හෝ සෑහීමට පත් නොවන්නේ මන්ද? අපේ ශරීරයේ අංග ලක්ෂණ අපට උපතින්ම උරුම වූ දේවල් මිසක් අපේ කැමැත්ත ලෙස ලබාගත් දේවල් නොවෙයි. ඇත්තෙන්ම වඩා වැදගත් දේ ශාරීරික පෙනුම නොවෙයි. අපේ සිත්ගත් සහ අප අගය කරන පුද්ගලයන් බොහෝදෙනෙකු සාමාන්‍ය පෙනුමක් තිබෙන අයයි. ශාරීරික ආකර්ෂණය සන්තෝෂයට යතුර නොවෙයි. සදාකාලයටම පවතින්නේ දෙවිගේ ගුණාංග පිළිබිඹු කරන ඇතුළාන්ත අලංකාරයයි. එම නිසා අපි නැණවත්ව කටයුතු කරමින් එවන් ගුණාංග වගා කරමු.

“ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය”

“ධර්මිෂ්ඨයන්ගේ ආශාව යහපතමය. දුෂ්ටයන්ගේ බලාපොරොත්තුව උදහසය” කියා සාලමොන් රජ සඳහන් කරයි. මෙය සිදු වන්නේ කෙසේද කියා පෙන්වීමට ඔහු තවදුරටත් පවසන්නේ මෙසේයි. “විසුරුවන නුමුත් වස්තුව වැඩි කරගන්න කෙනෙක්ද හිඟකමට පැමිණෙන හැටියට අයුතු ලෙස වළක්වාගන්න කෙනෙක්ද ඇත.”හිතෝපදේශ 11:23, 24.

දෙවිගේ වචනයෙහි තිබෙන දැනුම අන් අයට කඩිසර ලෙස බෙදාහරින විට දේවවචනයේ “පළල, දිග, උස, ගැඹුර” හොඳින් තේරුම්ගැනීමට අපට හැකියාව ලැබෙයි. (එපීස 3:18, 19) තම දැනුම බෙදා නොගෙන තමන්ටම තබාගන්න අයෙකුට, තිබෙන දේත් නැතිවීමට ඉඩ කඩ තිබේ. “මසුරු ලෙස වපුරන්නා මසුරු ලෙස කපාගන්නේය. නොමසුරුව වපුරන්නා නොමසුරුව කපාගන්නේය” යන්න පරම සත්‍යයකි.—2 කොරින්ති 9:6.

“ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය. පැන් ඉසින තැනැත්තේ පැන් ඉසිනු ලබන්නේය.” (හිතෝපදේශ 11:25) අප නොමසුරු ලෙස අපගේ කාලය සහ සම්පත් සැබෑ නමස්කාරය වැඩි දියුණු කිරීමට යොදවන විට එය යෙහෝවාට ප්‍රසන්නය. (හෙබ්‍රෙව් 13:15, 16) එවිට ඔහු ‘අහසේ කවුළු ඇර ඉඩම් මදි වෙන තරම් ආශීර්වාද වගුරුවනවා’ ඇත. (මලාකී 3:10) ඔහුගේ සේවකයන්ගේ ආත්මික සමෘද්ධිය කොතරම්ද කියා බලන්න!

ධර්මිෂ්ඨකම සහ දුෂ්ටකම අතර වෙනස පෙන්වීමට සාලමොන් තවත් නිදසුනක් ගෙනහැර දක්වයි. “ධාන්‍යය නොදෙන්නාට සෙනඟ ශාප කරනවා ඇත. එහෙත් එය විකුණන්නාගේ හිසට ආශීර්වාදයක් පැමිණෙයි.” (හිතෝපදේශ 11:26) බඩු මිල පහත බැස තිබෙන විට ඒවා තොග වශයෙන් මිල දී ගෙන පසුව මිල ඉහළ ගිය විට භාවිතයට ගැනීම වාසිදායකයි. නමුත් මූල්‍යමය වාසි තකා මෙලෙස පරිභෝජනය සීමා කිරීම හෝ ගබඩා කිරීම වාසිදායක වුවත් මෙයින් ආත්මාර්ථකාමිත්වය පිළිබිඹු වන නිසා එලෙස කටයුතු කරන කෙනෙකු ගැන මනුෂ්‍යයන් එතරම් ප්‍රසන්න වන්නේ නැත. එහෙත් හදිසි අවස්ථාවකින් වාසි ප්‍රයෝජන ගැනීමට මාන නොබලන කෙනෙකු මහජන ප්‍රසාදය දිනාගනියි.

යහපත්කම නැතහොත් ධර්මිෂ්ඨකම ලුහුබඳින මෙන් දිරිගන්වනු වස් ඉශ්‍රායෙලයේ රජ මෙසේ පවසයි. “යහපත ගැන වීර්යය කරන්නා කරුණාව සොයන්නේය. එහෙත් නපුර සොයන්නාට ඒකම පැමිණෙන්නේය. තමාගේ වස්තුව කෙරෙහි විශ්වාස කරන්නා වැටෙන්නේය. එහෙත් ධර්මිෂ්ඨයා අමු කොළයක් මෙන් සශ්‍රීක වෙයි.”හිතෝපදේශ 11:27, 28.

ධර්මිෂ්ඨයා ආත්ම දිනාගන්නේය

අනුවණ ක්‍රියාවක් නිසා ඇති වන අහිතකර ප්‍රතිඵල සාලමොන් මෙසේ ගෙනහැර දක්වයි. “තමාගේ පවුල කලඹන්නාට සුළං උරුම වන්නේය.” (හිතෝපදේශ 11:29අ) ආකාන්ගේ වැරදි ක්‍රියාකලාපය නිසා ‘තම ජීවිතය කැලඹුණු’ අතර ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ව ගල් ගසා මරන ලදි. (යෝෂුවා 7වන පරිච්ඡේදය) අදදින ක්‍රිස්තියානි පවුලක ප්‍රධානියා හෝ ඔහුගේ පවුලේ අනෙකුත් සාමාජිකයන් වරදකට හසු වූ විට ක්‍රිස්තියානි සභාවෙන් නෙරපනු ලැබිය හැකියි. යම් පුද්ගලයෙක් දෙවිගේ අණ පනත්වලට අනුව ජීවත් වීමට අසමත් වීමත්, දරුණු පාපයක් ඔහුගේ පවුල තුළ සිදුවීමට ඉඩහැරීමත් නිසා නිවස කැලඹීමකට පත් විය හැකියි. ඔහුව සහ සමහරවිට ඔහුගේ පවුලේ අනෙකුත් සාමාජිකයන්ව පසුතැවිලි නොවන වරදකරුවන් ලෙස ක්‍රිස්තියානි සභා ඇසුරෙන් කපාහරින්නට පුළුවන. (1 කොරින්ති 5:11-13) ඇත්තෙන්ම ඔහුට උරුම වූයේ කුමක්ද? සුළඟ පමණි.

“මෝඩයා ප්‍රඥා සිතක් ඇත්තාට වැඩකාරයෙක් වන්නේය” යයි පදයේ ඊළඟ කොටසේ සඳහන් වේ. (හිතෝපදේශ 11:29ආ) මෝඩ පුද්ගලයෙකුට ප්‍රායෝගික ප්‍රඥාව නොමැති නිසා ඔහුට වැඩි වගකීම් භාර දිය නොහැකියි. එමෙන්ම ඔහුගේ පෞද්ගලික කටයුතු හරිහැටි පාලනය කරගත නොහැකි නිසා තව කෙනෙකුගේ සහාය පැතීමට ඔහුට සිදු වේ. එවන් අනුවණ තැනැත්තෙක් “ප්‍රඥා සිතක් ඇත්තාට වැඩකාරයෙක්” වන බව අමුතුවෙන් කිව යුතු නැත. එසේ නම්, අපේ සියලු කටයුතුවලදී හොඳ විනිශ්චයක් සහ ප්‍රායෝගික ප්‍රඥාව පාවිච්චි කිරීම අත්‍යවශ්‍ය බව පැහැදිලියි.

“ධර්මිෂ්ඨයාගේ ඵලය ජීවන වෘක්ෂයක්ය. ආත්ම දිනාගන්නා ඥානවන්තයෙක්ය” කියා ප්‍රඥාවන්ත රජ අපට සහතික කරයි. (හිතෝපදේශ 11:30) එනම් ධර්මිෂ්ඨයෙකු තම කතාව සහ හැසිරීම තුළින් අන් අයව ආත්මිකව පෝෂණය කරයි. එමෙන්ම යෙහෝවා දෙවිට සේවය කිරීමට ඔහු ඔවුන්ව දිරිගන්වන අතර අවසානයේදී දෙවි දෙන ජීවනයටද ඔවුහු උරුමකම් කියති.

‘පව්කාරයාට වැඩියෙන් විපාක ලැබෙයි’

ඉහත සඳහන් හිතෝපදේශයන් ධර්මිෂ්ඨකම වැපිරීමට දිරිගන්වන්නේ අපගේ හදවතට කතා කරන ආකාරයෙනි. “මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපාගන්නේය” යන ප්‍රතිපත්තිය අදාළ වන තවත් මුහුණුවරක් සාලමොන් පෙන්වයි. “බලව, ධර්මිෂ්ඨයා පොළොවේදී ප්‍රතිඵල විඳින්නේය. ඊට කොපමණ වැඩියෙන් දුෂ්ටයාටත් පව්කාරයාටත් විපාක නොලැබෙන්නේද!”හිතෝපදේශ 11:31.

ධර්මිෂ්ඨ පුද්ගලයෙකු නිවැරදි දේ කිරීමට වෑයම් කළත් අසමත් වන අවස්ථා නැතුවා නොවෙයි. (දේශනාකාරයා 7:20) වැරදි කළත් හික්මවීම පිළිගැනීමෙන් ඔහු “ප්‍රතිඵල” ලබයි. නමුත් සිතා මතා වැරදි හැසිරීමක නිරත වන දුෂ්ට පුද්ගලයෙකු තම හැසිරීම නිවැරදි කරගැනීමට උත්සාහ නොදරයි නම් තත්වය කුමක්ද? ඔහුට දරුණු “ප්‍රතිඵල,” එනම් දැඩි දඬුවමක් ලැබෙනු ඇත. “ධර්මිෂ්ඨයෙකුට ගැලවීම දුෂ්කර වේ නම් අභක්තිකයාට හා පාපිෂ්ඨයාට කුමකින් කුමක් වෙයි ද?” (1 පේතෘස් 4:18, න. අ.) එමනිසා නිරතුරුවම ධර්මිෂ්ඨකම වපුරා ඉන් අත් වන ප්‍රයෝජන අප කපාගනිමු.

[පාදසටහන]

a සැබෑ නම නොවෙයි.

[28වන පිටුවේ පින්තූරය]

“විනීතකම” අබීගායිල්ට “ගෞරවය” ගෙන දුණි

[30වන පිටුවේ පින්තූර]

‘දුෂ්ටයා වංචාවෙන් ලාභයක් සම්බ කරගනියි. එහෙත් ධර්මිෂ්ඨයා සැබෑකමින් උපයාගනියි’

[31වන පිටුවේ පින්තූරය]

‘නොමසුරුව වපුරා නොමසුරුව කපාගන්න’