Skip to content

පටුනට යන්න

නිරාගින්නට සිදු වී ඇත්තේ කුමක්ද?

නිරාගින්නට සිදු වී ඇත්තේ කුමක්ද?

නිරාගින්නට සිදු වී ඇත්තේ කුමක්ද?

“නිරය” යන වචනය ඇසෙත්ම ඔබගේ මනසේ ඇඳෙන්නේ කෙබඳු චිත්‍රයක්ද? ඔබ හිතන්නේ නිරය යනු ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන නිමක් නැති වේදනා ගෙන දෙන දුඃඛිත ස්ථානයක් කියාද? නැත්නම් නිරය යම් තත්වයක් විස්තර කරන උපමාලංකාර වචනයක් පමණක්ද?

නිරය පව්කාරයන්ට වධ හිංසා පමුණුවන දරුණු ස්ථානයක් ලෙසට දශක ගණනාවක් පුරා ක්‍රිස්තියානි මණ්ඩලයේ නායකයන්ගේ පිළිගැනීමක් තිබුණි. මෙම මතය වෙනත් බොහෝ ආගම්වලද ඉතා ප්‍රචලිතව පවතී. “ක්‍රිස්තියානීන් නිරය යන වචනය සියලුදෙනාටම හුරු කර තිබෙනවා” යැයි එක් මූලාශ්‍රයක (U.S.News & World Report) පෙන්නුම් කරයි. “නමුත් නිරය සම්බන්ධයෙන් මෙවැනි සංකල්පයක් දරන්නේ ක්‍රිස්තියානි භක්තිකයන් පමණක්ම නොවේ. ලෝකයේ සෑම ප්‍රධාන ආගමකම පාහේ පමණක් නොව සුළු ආගම් කිහිපයක පවා මරණින් පසු දරුණු වේදනාකාරි දඬුවම් අත්විඳින්න සිදු වන බව විශ්වාස කරයි.” යම් ආකාරයක නිරයක් නැතහොත් අපායක් ගැන විශ්වාස කරන වෙනත් ආගම් නම් හින්දු, බෞද්ධ, මුස්ලිම්, ජෛන ධාර්මිකයන් සහ ටාඕවාදීන්ය.

කෙසේවෙතත්, නවීන දින නිරය අලුත් මුහුණුවරක් ගෙන තිබෙන බවට ඉහත සඳහන් මූලාශ්‍රයේ තවදුරටත් මෙසේ කියැවේ. “නිරය ගිනිමය ස්ථානයක් යන ගතානුගතික විශ්වාසය ඇති අය තවමත් සිටියද සදාකාලික වධ හිංසාව පිළිබඳව අලුත් මතයක් පැන නැඟී තිබේ. එම මතයට අනුව නිරයෙන් ඇඟවෙන්නේ පිළිකුල් දනවන ස්ථානයක හුදකලාවේ කල් ගෙවීමයි. නිරය කලින් සිතූ තරමටම දැඩි රස්නයක් ඇති ස්ථානයක් නොවන බව මින් ඇඟවේ.”

ජේසු නිකායේ සංග්‍රහයක (La Civilta Cattolica) සඳහන් වූයේ මෙසේයි. “දෙවි භූතයන් යොදාගෙන ගින්දරින් භයංකර වධ හිංසා මනුෂ්‍යයන්ට තීන්දු කරමින් දුක් දෙයි කියා සිතීම මුළා කරවනසුලුය.” තවදුරටත් එහි මෙසේ පවසයි. “නිරය නිශ්චිතව පවතින ස්ථානයක් නොව තත්වයක් පමණකි. එය දෙවිගෙන් ඈත් වූ කෙනෙක් අද්දකින මානසික වධ හිංසාවකි.” තවද මේ සම්බන්ධව 1999දී IIවෙනි ජුවාම් පාවුලු පාප් ප්‍රකාශ කළේ “එය නිශ්චිත ස්ථානයක් නොව සියලු ජීවනයේ හා ප්‍රීතියේ උල්පත වන දෙවිගෙන් වුවමනාවෙන්ම හා මුළුමනින්ම තමන්වම ඈත් කරගන්නා අයට අත් වන තත්වයක්” ලෙසයි. නිරය ගින්නෙන් දැවෙන ස්ථානයක් ලෙස පෙන්නුම් කරනුයේ “දෙවිගෙන් තොර ජීවිතය සම්පූර්ණයෙන්ම කලකිරීම හා හිස්භාවයෙන් පිරුණු යමක් බව ඒත්තු ගැන්වීමට” යැයි ඔහු තවදුරටත් පැවසීය. “රතු වස්ත්‍රවලින් සැරසුණු ත්‍රිශූල අතැති යක්ෂයෙකු වැඩ වසන ගිනි දැල්වලින් පිරුණු තැනක්” ලෙස පාප් නිරය ගැන අදහස් දැක්වූවා නම් ඉතිහාසඥ මාර්ටින් මාර්ටි පවසන පරිදි “මිනිසුන් එය එතරම් බැරෑරුම් දෙයක් ලෙස නොසලකනු ඇත.”

ඒ හා සමානව, වෙනත් ආගමික නිකායන්වලද ඉගැන්වීම් වෙනස් වෙමින් පවතියි. එංගලන්ත සභාවේ මූලධර්ම කොමිසමේ වාර්තාවකට අනුව “නිරය සදාකාලික වධ වේදනා විඳින ස්ථානයක් නොව නැවත දෙවි හා සමඟි විය නොහැකි වන සේ දෙවිට සම්පූර්ණයෙන්ම විරුද්ධ වන්නට කෙරෙන තෝරාගැනීමකි. මෙම තත්වයේ අවසාන ප්‍රතිඵලය නම් සදාතනික විනාශයයි.”

එක්සත් ජනපදයේ එපිස්කෝපල් පල්ලියේ ආගමික ප්‍රශ්නෝත්තර සංග්‍රහයේ නිරය නිර්වචනය කර තිබුණේ “දෙවිව ප්‍රතික්ෂේප කිරීම නිසා අත් වන සදාකාලික මරණය” ලෙසයි. එ.ජ. ප්‍රවෘත්ති හා ලෝක වාර්තා මෙම මතයට රුකුල් දෙන බව බොහෝ අයගේ අදහසයි. “දුෂ්ටයන්ගේ අවසානය විනාශය මිස සදාකාලික වධ හිංසාව නොවේ. . . . [ඔවුන්] පවසන්නේ දෙවිව ප්‍රතික්ෂේප කරන අයව අවසානයේදී ‘දැවෙන ගින්නෙන්’ නැත්තටම නැති වී යන බවයි.”

ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන ස්ථානයක් යන අදහස වත්මන් ජනයා ප්‍රතික්ෂේප කිරීමට නැඹුරු වුවද, තවමත් බොහෝදෙනෙක් නිරය ඇත්ත වශයෙන්ම වධ වේදනා විඳින ස්ථානයක් බව විශ්වාස කරයි. “ශුද්ධ ලියවිල්ලේ නිරය ශාරීරිකව වධ වේදනා විඳින ගිනිමය ස්ථානයක් බව පැහැදිලිව කියා තිබේ” යැයි ඇල්බට් මොල්අර් (අ.එ.ජ. කෙන්ටකිහි දකුණු බැප්ටිස්ට් දේවධර්මීය සෙමනේරියේ සාමාජිකයෙක්) පවසයි. නිරයේ ස්වභාවය යන මාතෘකාව යටතේ එවැන්ජලිස්ත සංගමයේ කොමිසම මගින් පිළියෙළ කරන ලද වාර්තාවක මෙසේ කියැවේ. “නිරය යනු තමාව ප්‍රතික්ෂේප කර ඇති බවක් හා තමාට වධ හිංසා කරන බවක් දැනෙන ස්ථානයකි.” තවදුරටත් එම වාර්තාවේ මෙසේද සඳහන් වේ. “පොළොවේදී එක් එක්කෙනා කරන වැරදිවල බරපතළකම අනුව නිරයේදී දඬුවම් කරනු ලැබේ.”

ඇත්තටම නිරය යනු සදාකාලික වධ හිංසා කරන ස්ථානයක්ද නැත්නම් එයින් ඇඟවෙන්නේ සම්පූර්ණ විනාශ වීමක්ද? නැත්නම් එය හුදෙක් දෙවිගෙන් ඈත් වූ තත්වයක්ද? ඇත්තටම නිරය යනු කුමක්ද?

[4වන පිටුවේ කොටුව⁄පින්තූර]

නිරාගින්නේ ඉතිහාසය ගැන කෙටි සමාලෝචනයක්

ක්‍රිස්තියානීන්යයි ප්‍රකාශ කරන්නාවූ අය නිරාගින්න ගැන විශ්වාස කිරීම ආරම්භ කළේ කවදාද? එම විශ්වාසය ඇරඹුණේ යේසුස් හා ඔහුගේ ප්‍රේරිතයන්ගේ කාලයෙන් බොහෝ කලකට පසුවයි. ප්‍රංශ එන්සයික්ලෝපීඩියා යුනිවර්සාලිස් පවසනුයේ “නිරයේදී පව්කාරයින්ට ගෙන දෙන වධ වේදනා හා දඬුවම් විස්තර කරන පළමු ක්‍රිස්තියානි නිර්මාණය බිහි වූයේ පොදු යුගයේ 2වෙනි ශතවර්ෂයේ පේදුරු තුමාගේ එළිදරව්ව නමින් හැඳින්වූ [සම්මත ග්‍රන්ථ සමූහයට අයත් නොවන] ප්‍රකාශනය” බිහිවීමත් සමඟ කියාය.

ඇත්ත වශයෙන්ම, මුල් සභා පියවරුන් අතර නිරය පිළිබඳව මතභේද තිබුණි. ජස්ටින් මාටර්, ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට්, ටර්ටූලියන් හා සයිප්‍රියන් යනාදීහු ගිනිමය නිරයක් තිබෙන බව විශ්වාස කළෝය. නිරය යනු මිනිසාව දෙවිගෙන් ඈත් කර තබන හා ආත්මිකව වධ හිංසාවලට පමුණුවන තැනක් බව දේවධර්මවාදියෙක් හා පූජකයෙක් වන නීසාහි ග්‍රෙගරි විශ්වාස කළේය. ඊට වෙනස්ව හිපෝහි ඔගස්ටින් නිරය යනු ආත්මිකව හා ශාරීරිකව වධ වේදනා විඳින තැනක් බවට ඒත්තුගැන්වූ අතර මේ මතයට පිළිගැනීමක් ලැබෙන බවක් දක්නට තිබුණි. මහාචාර්ය ජේ. එන්. ඩී කෙලී ලියනුයේ “පස්වෙනි ශතවර්ෂය වන විට, පව්කාරයන්ට මෙම ජීවිතයෙන් පසුව තවත් ජීවිතයක් නොලැබෙන බවට හා ඔවුන් විනාශ කරන ගින්න කිසිදා නිවාලනු නොලබන බවට වූ දැඩි මතය සෑම තැනකම පාහේ මහ ඉහළින් පිළිගත්” බවයි.

නිරයේ ගිනිමය වධ වේදනා විඳීමෙන් සංකේතවත් වන්නේ දෙවිගෙන් සදාකාලිකවම ඈත්ව ගෙවන ජීවිතයක් බව 16වෙනි ශතවර්ෂයේ රෙපරමාදු සභාවේ ප්‍රතිසංස්කරණවාදීන් වන මාර්ටින් ලූතර් හා ජෝන් කැල්වින් විශ්වාස කළෝය. කෙසේවෙතත් ඊළඟ ශතවර්ෂ දෙක තුළදී නිරය වධ දෙන ස්ථානයක් යන අදහස නැවතත් පිළිගන්නා ලදි. රෙපරමාදු දේශක ජොනතන් එඩ්වර්ඩ් නිරය හා සම්බන්ධ භයානක චිත්‍ර මගින් දහඅටවෙනි ශතවර්ෂයේ යටත් විජිතයන්හි විසූ අමෙරිකානු ජනතාව තුළ බියක් ඉපදවීය.

නමුත් ඉන් ටික කලකට පසු නිරයේ ගිනි දැල් නිවී යන්ට පටන්ගත්තේය. “විසිවෙනි ශතවර්ෂය තුළදී නිරය මුළුමනින්ම වාගේ අභාවයට ගොස් තිබූ” බව එක් මූලාශ්‍රයක (U.S.News & World report) කියැවේ.

[පින්තූර]

නිරය ගිනිමය ස්ථානයක් බව ජස්ටින් මාටර් විශ්වාස කළේය

නිරයේදී ආත්මිකව හා ශාරීරිකව වධ වේදනා විඳින බව හිපෝහි ඔගස්ටින් ඉගැන්නුවේය