Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ආත්මික හේතු මත ක්‍රිස්තියානි ස්ත්‍රියකට හිස් ආවරණයක් පැළඳීම යෝග්‍ය වන්නේ කුමන අවස්ථාවලදීද?

“තම හිස නොවසා යාච්ඤා කරන හෝ අනාවැකි කියන සෑම ස්ත්‍රියක්ම ඇගේ හිස ලැජ්ජාවට පත් කරන්නීය” [NW] කියා ප්‍රේරිත පාවුල් ලිව්වා. මෙසේ ලිවීමට හේතු වූයේ ‘ස්ත්‍රියකගේ හිස පුරුෂයාය’ යන මූලිකත්වය පිළිබඳ දිව්‍ය ප්‍රතිපත්තිය නිසයි. ක්‍රිස්තියානි සභාවේ යාච්ඤා කිරීමේ හෝ දේශනා කිරීමේ වගකීම සාමාන්‍යයෙන් පැවරී තිබෙන්නේ පුරුෂයෙකුටයි. මේ නිසා, සාමාන්‍යයෙන් තම ස්වාමිපුරුෂයා හෝ බව්තීස්ම ලත් පුරුෂයෙක් නමස්කාරය සම්බන්ධයෙන් සිදු කළ යුතු දේවල්, ක්‍රිස්තියානි ස්ත්‍රියකට කිරීමට සිදු වන විට, ඇය හිස් ආවරණයක් පැළඳිය යුතුයි.—1 කොරින්ති 11:3-10.

ක්‍රිස්තියානි ස්ත්‍රියකට ඇගේ විවාහ සම්බන්ධතාව තුළ හිස් ආවරණයක් පැළඳිය යුතු අවස්ථා පැනනැඟිය හැකියි. උදාහරණයක් වශයෙන්, පවුලක සාමාජිකයන් බයිබල් පාඩමකට හෝ කෑමකට එක් වන අවස්ථාවකදී ඔවුන්ට ඉගැන්වීමට හෝ ඔවුන් වෙනුවෙන් දෙවිට යාච්ඤා කිරීමට සාමාන්‍යයෙන් මූලිකත්වය ගන්නේ ස්වාමිපුරුෂයායි. කෙසේවෙතත්, ඔහු නොඇදහිලිවන්තයෙක් නම් මෙම වගකීම දැරීමට භාර්යාවට සිදු විය හැකියි. එබැවින්, ක්‍රිස්තියානි ස්ත්‍රියක් තම ස්වාමිපුරුෂයා ඉදිරියේ තමා හා අන්‍යයන් වෙනුවෙන් ශබ්ද නඟා යාච්ඤා කරන විට හෝ තම දරුවන් සමඟ බයිබල් පාඩමක් පවත්වන විට හිස් ආවරණයක් පැළඳ සිටීම යෝග්‍යයි. ස්වාමිපුරුෂයා නොසිටින මොහොතකදී, තම දරුවන්ට ඉගැන්වීම සඳහා භාර්යාවට දිව්‍ය අනුමැතිය ලැබී තිබෙන නිසා ඇය හිස් ආවරණයක් පැළඳීම අවශ්‍ය නැහැ.—හිතෝපදේශ 1:8; 6:20.

එහෙත්, පවුලේ බාල පුතෙක් යෙහෝවා දෙවිට කැප වූ බව්තීස්ම ලත් සේවකයෙක් නම් තත්වය මොකක්ද? පුතෙක් ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙක් නිසා ඔහු උපදෙස් ලබාගත යුත්තේ එහි පිරිමි සාමාජිකයන්ගෙනුයි. (1 තිමෝති 2:12) ඔහුගේ පියා ඇදහිලිවන්තයෙක් නම් පුතාට ඉගැන්විය යුත්තේ පියායි. කෙසේවුවත්, පියා නොසිටින මොහොතකදී බාල වියේ පසු වන බව්තීස්ම ලත් පුතා හා අනිත් දරුවන් සමඟ මව බයිබල් පාඩමක් පවත්වන විට ඇය හිස් ආවරණයක් පැළඳිය යුතුයි. එවැනි පාඩමකදී හෝ කෑම ගන්නා අවස්ථාවේදී යාච්ඤා කිරීමට බව්තීස්ම ලත් පුතාට ආරාධනා කරනවාද නැද්ද යන්න තීරණය කිරීමේ වගකීම ඇය සතුයි. එසේ කිරීමට තවමත් ඔහුට ප්‍රමාණවත් හැකියාවක් නැතැයි ඇයට හැඟේ නම් ඇයම යාච්ඤාව කිරීමට තීරණය කළ හැකියි. එවැනි අවස්ථාවකදී ඇය යාච්ඤා කිරීමට තීරණය කරනවා නම්, ඇය හිස් ආවරණයක් පැළඳිය යුතුයි.

ඇතැම් සභා ක්‍රියාකාරකම්වල හවුල් වන විට ක්‍රිස්තියානි ස්ත්‍රීන්ට හිස් ආවරණයක් පැළඳීමට සිදු විය හැකියි. උදාහරණයකට, සතිය මැද ක්ෂේත්‍ර සේවය සඳහා රැස් වන අවස්ථාවකදී බව්තීස්ම ලත් පුරුෂයන් නොසිට ක්‍රිස්තියානි සහෝදරියන් පමණක් සිටිය හැකියි. සභා රැස්වීමකදී බව්තීස්ම ලත් පුරුෂයන් නොසිටින අවස්ථාද උදා වෙන්න පුළුවන්. සභා මට්ටමෙන් සැලසුම් කළ රැස්වීමකදී හෝ ක්ෂේත්‍ර සේවය සඳහා රැස් වන විටදී සාමාන්‍යයෙන් සහෝදරයෙකු දරන වගකීම් දැරීමට සහෝදරියකට සිදු වන අවස්ථාවලදී ඇය හිස් ආවරණයක් පැළඳිය යුතුයි.

වාචිකව හෝ සංඥා භාෂාවෙන් බයිබල් අනුශාසනා පරිවර්තනය කරන විට හෝ සභා රැස්වීමක භාවිත වන බයිබල් පාඩම් ආධාරකයකින් ප්‍රසිද්ධියේ ඡේද කියවන විට ක්‍රිස්තියානි ස්ත්‍රීන් හිස් ආවරණයක් පැළඳිය යුතුද? නැහැ. මෙම වගකීම් දරන විට සහෝදරියන් මුලසුන හෙබවීමක් හෝ ඉගැන්වීමක් කරන්නේ නැහැ. එලෙසම, නිරූපණවලට සහභාගි වන විට, අද්දැකීම් දෙන විට හෝ දිව්‍යාණ්ඩු සේවා පාසැලේ ශිෂ්‍ය කතා දෙන විට සහෝදරියන් හිස් ආවරණයක් පැළඳීම අවශ්‍ය නැහැ.

සභාව තුළ ඉගැන්වීම බව්තීස්ම ලත් පුරුෂයන් සිදු කළ යුතු අතර සභාවෙන් පිටත දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යය පුරුෂයන් හා ස්ත්‍රීන් යන දෙපක්ෂයේම වගකීමයි. (මතෙව් 24:14; 28:19, 20) ඉතින් යෙහෝවාගේ සාක්ෂිකාර පුරුෂයෙක් ළඟ සිටියදී ක්‍රිස්තියානි ස්ත්‍රියක් පිට අයට දෙවිගේ වචනය ගැන කතා කරන විට ඇය හිස් ආවරණයක් පැළඳිය යුතු නැහැ.

කෙසේවෙතත්, නියම කරගත් පරිදි නිතිපතා නිවසක බයිබල් පාඩමක් පවත්වන විට කැප වූ බව්තීස්ම ලත් පුරුෂයෙක් ළඟ සිටී නම් තත්වය ඊට වෙනස්. මෙය කලින් සූදානම් කරගත් ඉගැන්වීමේ වැඩසටහනක් නිසා ඇත්තෙන්ම මුලසුන හොබවන්නේ පාඩම පවත්වන තැනැත්තායි. මෙම තත්වයන් යටතේ, පාඩමක් සභාවට අයත් කොටසක් බවට පත් වෙයි. බව්තීස්ම ලත් සාක්ෂිකාර පුරුෂයෙක් ඉදිරියේ බව්තීස්ම ලත් සාක්ෂිකාර ස්ත්‍රියක් එවැනි පාඩමක් පවත්වනවා නම් ඇය හිස් ආවරණයක් පැළඳීම යෝග්‍යයි. කෙසේවෙතත්, යාච්ඤාව ඉදිරිපත් කළ යුත්තේ කැප වූ සහෝදරයායි. සහෝදරයාට කතා කිරීමට අපහසු ශාරීරික ආබාධයක් වැනි දෙයක් තිබෙන අවස්ථාවකදී හැර අන් සෑම අවස්ථාවකදීම කැප වූ සහෝදරයෙකු ළඟ සිටියදී සහෝදරියක් යාච්ඤා නොකළ යුතුයි.

ක්‍රිස්තියානි සහෝදරියකට යම් විටකදී බව්තීස්ම නොලත් රාජ්‍ය ප්‍රචාරකයෙකු සමඟ බයිබල් පාඩමකට යෑමට සිදු විය හැකියි. ඇය කැමති නම්, පාඩම පැවැත්වීමට ඔහුගෙන් ඉල්ලා සිටිය හැකියි. එහෙත් යෙහෝවාට යාච්ඤා කිරීමේදී ඔහුට බව්තීස්ම ලත් සහෝදරියව නිසි ලෙස නියෝජනය කළ නොහැකි නිසා පාඩමේදී ඇය යාච්ඤා කිරීම සුදුසුයි. පාඩම පවත්වන්නේ හා යාච්ඤා කරන්නේ ඇය නම්, සහෝදරිය ඇගේ හිස වසාගත යුතුයි. ප්‍රචාරකයා තවම බව්තීස්ම වී නැතත්, ඔහු දේශනා සේවයේ හවුල් වන විට පිටත අය ඔහුව ගණන් ගන්නේ සභාවේ කෙනෙකු ලෙසයි.

“දේවදූතයන් නිසා ස්ත්‍රිය තම හිස මත, අධිකාරියට යටත් වීමේ ලකුණක් ඇතිව සිටිය යුතුය” [NW] කියා ප්‍රේරිත පාවුල් ලිව්වා. ඔව්, ක්‍රිස්තියානි සහෝදරියන්ට, නොකඩවාම යෙහෝවාට පක්ෂපාතකමින් යටත්ව සිටින මිලියන සංඛ්‍යාත දේවදූතයන්ට හොඳ ආදර්ශයක් තැබීමේ වරප්‍රසාදය ලැබී තිබෙනවා. දේවභක්තික ස්ත්‍රීන් සුදුසු අවස්ථා එළඹෙන විට හිස් ආවරණයක් පැළඳීම ගැන සැලකිලිමත් වීම මොනතරම් යෝග්‍ය දෙයක්ද!

[26වන පිටුවේ පින්තූර]

හිස් ආවරණය මූලිකත්වයට ගරු කිරීමේ ලකුණක්