Skip to content

පටුනට යන්න

‘සියල්ලන්ටම යහපත්කම් කරමු’

‘සියල්ලන්ටම යහපත්කම් කරමු’

මා වෙතට එන්න, මම ඔබට සහනය දෙමි

‘සියල්ලන්ටම යහපත්කම් කරමු’

දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම හා ඉගැන්වීම යේසුස් සිදු කළ මූලික වැඩ කොටසට අයත් විය. (මාර්ක් 1:14; ලූක් 8:1) ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ඔහුව අනුකරණය කිරීමට ආශාවක් දක්වන නිසා, දෙවිගේ රාජ්‍යය පිළිබඳ බයිබල් පණිවිඩය ඉගැන්වීමේ වැඩය තම ජීවිතයේ ප්‍රධාන කාර්යය ලෙස ඔවුහු සලකති. (ලූක් 6:40) යේසුස් මිහිමත සිටි අවදියේදී මෙන් අදදිනද රාජ්‍ය පණිවිඩය පිළිගන්නාවූ අයට එමගින් කල්පවතින ප්‍රබෝධයක් ලැබෙන අයුරු දැකීමෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ හදවත් ඇත්තෙන්ම උණුසුම් වේ.—මතෙව් 11:28-30.

යේසුස් දෙවිගේ වචනය උගන්වනවාට අමතරව රෝගීන් සුව කිරීම හා කුසගින්නෙන් පෙළෙන්නන්ට කන්න දීම වැනි වෙනත් යහපත් වැඩද කළේය. (මතෙව් 14:14-21) එලෙසම, යෙහෝවාගේ සාක්ෂිකරුවෝද බයිබලය ඉගැන්වීමේ වැඩයට අමතරව අවශ්‍යතා ඇති අයට උපකාර කරමින් තම වැඩය සම්පූර්ණ කරති. ඇත්තවශයෙන්ම, ශුද්ධ ලියවිලි මගින් ක්‍රිස්තියානීන්ව “සියලු යහපත් ක්‍රියාවලට” සූදානම් කරන අතර ඔවුන්ගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ ‘සියල්ලන්ටම යහපත්කම්’ කරන්න කියාය.—2 තිමෝති 3:16; ගලාති 6:10.

“අපේ සහෝදරයෝ ආවා”

වර්ෂ 1999 සැප්තැම්බරයේදී තායිවානය දරුණු භූමිකම්පාවකින් දෙදරා ගියේය. මාස කීපයකට පසු, තොරතෝංචියක් නැතුව ඇද හැළුණු වැහි කෝඩයන් හා ගංවතුර ගැලීම් සමඟම වෙනිසුවෙලා ඉතිහාසයේ දරුණුතම ස්වාභාවික විපත්වලින් එකක් හටගත්තේය. ඉතා මෑතකදී, මහා ගංවතුර ගැලීම් මගින් මුළු මොසැම්බික් රටම සෝදා පාළු වී ගියේය. මේ අවස්ථා තුනේදීම, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ විපතට ගොදුරුවූවන් සඳහා ආහාර, ජලය, ඖෂධ, ඇඳුම් පැළඳුම්, කූඩාරම් සහ ඉවුම් පිහුම් උපකරණ රැගෙන යුහුසුලුව පැමිණියහ. වෛද්‍ය කුසලතා ඇති ස්වේච්ඡා සේවකයන් තාවකාලික ගිලන් හල් පිහිටුවාගෙන තුවාලකරුවන්ට ප්‍රතිකාර කළ අතර ඉදි කිරීමේ අංශයේ සේවය කළ ස්වේච්ඡා සේවකයෝ නිවාස අහිමි වූ අයට නිවාස තනා දුන්හ.

නිසි වෙලාවට තමන් ලද උපකාර හේතුවෙන් ව්‍යසනයට ගොදුරුවූවන් තුළ ඇති වූයේ අමුතුම සතුටක්. “අපි හුඟක් කලකිරිලා හිටිය වෙලාවේ අපේ සහෝදරයෝ ආවා” කියා මාලියෝරි පවසයි. වෙනිසුවෙලාහි හටගත් ගංවතුරකින් ඇගේ නිවස බිමටම පාත් වුණි. ඉදි කිරීමේ ස්වේච්ඡා සේවකයන් මාලියෝරිගේ පවුලේ උදවියට අලුත් නිවසක් තනා දුන් පසු ඈ මෙසේ පැවසුවාය. “යෙහෝවා අප වෙනුවෙන් කරලා තියෙන දේවල්වලට කොහොම ස්තුති කරන්නද කියලා මට හිතාගන්න බැහැ!” එමෙන්ම මොසැම්බික්හි ගංවතුරට ගොදුරුවූවන්ට අලුතෙන් ඉදි කළ නිවාසවල යතුරු ලැබුණු විට මුළු කණ්ඩායමම එක්ව “යෙහෝවා, අපගේ රක්ෂාස්ථානයයි” නම් රාජ්‍ය ගීය ගැයීමට පටන්ගත්හ. a

අවශ්‍යතා ඇති අයට උපකාර කිරීමෙන් ස්වේච්ඡා සේවකයෝද ප්‍රබෝධයක් ලැබූහ. “හුඟක් දුක් විඳපු සහෝදරයන්ට උපකාර කරන්න ලැබුණ එක සතුටක්” කියා මොසැම්බික්හි සරණාගත කඳවුරක සාත්තු සේවකයෙකු ලෙස සේවය කළ මාසිලෝ පැවසුවේය. තායිවානයේ ස්වේච්ඡා සේවකයෙකු වන හුවාන්ග් පැවසුවේ මෙසේය. “අවශ්‍යතා ඇති සහෝදරයන්ට ආහාර සහ කූඩාරම් බෙදා දීමේ හවුල් වෙන්න ලැබුණ එක ලොකු ප්‍රීතියක්. ඒක ඇදහිල්ල ශක්තිමත් කරවන දෙයක්.”

වැඩදායක ස්වේච්ඡා වැඩසටහනක්

ලොව පුරා සිටින දස දහස් ගණන් සිරකරුවන්ට ස්වේච්ඡා සේවයෙන් ආත්මික ප්‍රබෝධයක්ද ලැබුණි. කෙසේද? මෑත කාලයේදී, එක්සත් ජනපදයේ බන්ධනාගාර 4,000ක පමණ සිරගතව සිටි සිරකරුවන් 30,000කට වඩා වැඩි පිරිසකට යෙහෝවාගේ සාක්ෂිකරුවන් බයිබල් පොත් පත් සපයා තිබේ. ඊට අමතරව, අවසර දෙන බන්ධනාගාරවලට යෙහෝවාගේ සාක්ෂිකරුවෝ පෞද්ගලිකවම ගොස් සිරකරුවන් සමඟ බයිබල් පාඩම්ද, ක්‍රිස්තියානි රැස්වීම්ද පවත්වති. සිරකරුවෝ ඉන් ප්‍රයෝජන ලබත්ද?

බයිබලය පාඩම් කරමින් සිටි ඇතැම් සිරකරුවෝ තමන් දෙවිගේ වචනයෙන් දැනගත් නැවුම් ඉගැන්වීම් සෙසු සිරකරුවන්ටද කීමට පටන්ගත්හ. ප්‍රතිඵලයක් වශයෙන්, දසත පිහිටි බන්ධනාගාර ගණනාවකම දැන් යෙහෝවාට එක්ව නමස්කාර කරන සිරකරුවන්ගේ කණ්ඩායම් සිටිති. “අපේ කණ්ඩායම වැඩි වෙනවා. අපිට දැන් රාජ්‍ය ප්‍රචාරකයන් 7දෙනෙක් ඉන්නවා. බයිබල් පාඩම් 38ක් පවත්වනවා. ප්‍රසිද්ධ කතාවටයි, මුරටැඹ පාඩමටයි 25දෙනෙකුට වඩා එනවා. ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට 39දෙනෙක් ආවා. ටික දවසකින් තව තුන්දෙනෙක් බව්තීස්ම වෙයි” කියා 2001දී අ.එ.ජ. ඔරිගන්හි සිරකරුවෙක් වාර්තා කළේය.

ප්‍රයෝජනයන් හා ප්‍රීතිවීම්

මෙම ස්වේච්ඡා වැඩසටහනෙන් ඵල ප්‍රයෝජන තිබෙන බව බන්ධනාගාර නිලධාරීන් දැක තිබේ. නිලධාරීන්ගේ සිත වඩාත්ම ඇදී යන්නේ මෙම ස්වේච්ඡා වැඩසටහන තුළින් ඇති වන දිගු කාලීන ප්‍රයෝජනයටයි. එක් වාර්තාවක මෙසේ සඳහන් වේ. “මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ වසර දහය තුළ බන්ධනාගාරයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු ලෙස බව්තීස්ම වී නිදහස්ව ගිය කිසි සිරකරුවෙකු යළිත් බන්ධනාගාර ගත වී නැත. එහෙත් වෙනත් කණ්ඩායම්වලින් සියයට 50-60 අතර සංඛ්‍යාවක් යළිත් එහි පැමිණ ඇත.” සාක්ෂිකාර ස්වේච්ඡා සේවකයන් ලබා ඇති ප්‍රතිඵල දුටු ආයිඩාහෝහි බන්ධනාගාර දේවගැතිවරයෙක් සතුටට පත්ව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයට මෙසේ ලිවීය. “මම පෞද්ගලිකව ඔබේ ධර්මයට එකඟ නූණත් ඔබේ සංවිධානය ගැන මට හොඳ පැහැදීමක් තියෙනවා.”

බන්ධනාගාරවල සිටින සිරකරුවන්ට උපකාර කිරීම ස්වේච්ඡා සේවකයන්ටද ආශීර්වාදයක් වී ඇත. පළමු වතාවට රාජ්‍ය ගීතිකාවක් ගැයූ සිරකරු කණ්ඩායමක් සමඟ රැස්වීමක් පැවැත්වීමෙන් පසු එක් ස්වේච්ඡා සේවකයෙක් මෙසේ ලිවීය. “පුරුෂයන් 28දෙනෙක් යෙහෝවාට ප්‍රශංසා ගී ගැයීමේ හවුල් වෙනවා දැකීම දිරිගන්වනසුලු දෙයක්. ඔවුන් හඬ නඟා ගායනා කළා! ඒ වගේ අවස්ථාවකට සහභාගි වෙන්න ලැබීම මොනතරම් මහඟු වරප්‍රසාදයක්ද!” ඇරිසෝනාහි බන්ධනාගාරවලට ගිය එක් ස්වේච්ඡා සේවකයෙක් මෙසේ පැවසීය. “මේ විශේෂ වැඩයට හවුල් වෙන්න ලැබුණ එක මොනතරම් ආශීර්වාදයක්ද!”

ලොව පුරා සාක්ෂිකාර ස්වේච්ඡා සේවකයෝ කැමැත්තෙන්ම යේසුස් පැවසූ දෙයට එකඟ වෙති. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබේ.” (ක්‍රියා 20:35, NW) සියල්ලන්ටම යහපත්කම් කිරීමට දී ඇති බයිබල් ඔවදනට කීකරු වීම ඇත්තෙන්ම ප්‍රබෝධය ගෙන දෙන්නක් බවටද ඔවුහු සහතික වෙති.—හිතෝපදේශ 11:25.

[පාදසටහන]

a යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද යෙහෝවාට ප්‍රශංසා ගී ගයන්න නම් පොතේ 85වන ගීතිකාව බලන්න.

[8වන පිටුවේ පින්තූරය]

වෙනිසුවෙලා

[8වන පිටුවේ පින්තූරය]

තායිවානය

[8වන පිටුවේ පින්තූරය]

මොසැම්බික්