කුමන අවංක වෑයමටද යෙහෝවාගෙන් ආශීර්වාද ලැබෙන්නේ?
කුමන අවංක වෑයමටද යෙහෝවාගෙන් ආශීර්වාද ලැබෙන්නේ?
“පහන් වේගන එන බැවින් මට යන්න හරින්න.”
“ඔබ මට ආශීර්වාද කළොත් මිස මම ඔබට යන්න නොහරින්නෙමි.”
“ඔබේ නම කුමක් ද?”
“ජාකොබ්”
“මින්මතු ඔබ ජාකොබ් නොවනු ඇත. ඔබ දෙවි හා මනුෂ්‍යයා සමඟ පොරබදා ජයගත් බැවින් ඔබේ නම ඉශ්රායෙල් වන්නේ ය.”—උත්පත්ති 32:26-28, නව අනුවාදය.
හද දනවන එම දෙබස ඇති වූයේ 97-වියැති යාකොබ්ගේ දක්ෂ හරඹයේ විශිෂ්ට නිමාවක ප්‍රතිඵලයක් වශයෙනි. බයිබලයේ ඔහුව මලල ක්‍රීඩකයෙකු ලෙස විස්තර නොකළත් ඔහු මුළු රැයක් පුරා දේවදූතයෙකු සමඟ පොරබැදුවේය. මන්ද? තම උරුමය පිළිබඳව යෙහෝවා තම සීයාට දුන් පොරොන්දුව ගැන යාකොබ් ගැඹුරට කල්පනා කළ බැවිනි.
ඊට වසර ගණනකට පෙර යාකොබ්ගේ සහෝදරයා වූ ඒසව් කොල්ලු භාජනයකට සිය කුලුඳුල්කම හුවමාරු කරගැනීම හේතුවෙන් එය අහිමි කරගත්තේය. ඒසව් මිනිසුන් 400ක් සමඟ පැමිණෙන බව යාකොබ්ට සැළ වේ. යොර්දාන් ගඟෙන් එතෙර පිහිටි දේශයේදී යාකොබ්ගේ පවුල සමෘද්ධිමත් වන බවට යෙහෝවා තමාට දුන් පොරොන්දුව ස්ථිර කරගැනීමට ඔහු මෙතරම් උනන්දු වූයේ මන්දැයි අපට තේරුම්ගත හැක. යාකොබ් සිය යාච්ඤාවලට එකඟව තීරණාත්මක පියවරක් තබයි. ඔහු තමා හා සටනට එමින් සිටි ඒසව් වෙත පරිත්‍යාගශීලීව තෑගි යවයි. ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ගනිමින් තම සෙනඟ කණ්ඩායම් දෙකකට බෙදන ඔහු තම බිරියන්ව හා දරුවන්ව යබ්බොක් තොටුපළෙන් එතෙර කරයි. බොහෝ කඳුළු වගුරමින් නොසෑහෙන වෙහෙසක් දරන ඔහු දැන් මුළු රැයක් පුරා දේවදූතයෙකු සමඟ පොරබදමින් තවදුරටත් ප්‍රයත්න දරන්නේ ‘ආශීර්වාදයක් ලබාගැනීමටය.’—හොෂෙයා [හොසියා] 12:4, න.අ.; උත්පත්ති 32:1-32.
ඊට පෙර සිදු වූ දෙයක් සලකා බලන්න. රාඛෙල් යාකොබ්ගේ දෙවන බිරිය හා ප්‍රථම ප්‍රේමයයි. යාකොබ්ට ආශීර්වාද කරන බවට වූ යෙහෝවාගේ පොරොන්දුව ගැන රාඛෙල් හොඳින් දනියි. ඇගේ සහෝදරිය මෙන්ම යාකොබ්ගේ පළමු බිරිය වූ ලෙයා පුතුන් හතරදෙනෙකු ලැබීමට භාග්‍යය ලැබුවත් රාඛෙල් වඳව සිටියි. (උත්පත්ති 29:31-35) ආත්ම අනුකම්පාවෙන් කනස්සලු වෙමින් නොසිට නොකඩවාම යෙහෝවාට යාච්ඤා කරමින් කන්නලව් කරන ඇය තම යාච්ඤාවලට එකඟව ඒකාන්ත පියවරක් ඉදිරියට තබයි. ඇගේ මිත්තණියක් වූ සාරා හාගර් සම්බන්ධයෙන් සිදු කළ දේට සමාන දෙයක් රාඛෙල් කරයි. ඈ තම දාසී වූ බිල්හා යාකොබ් වෙතට ගෙනැවිත් දෙවන භාර්යාවක් හැටියට ඇයව යාකොබ්ට විවාහ කර දෙමින් ‘ඈ කරණකොටගෙන මට දරුවන් ලැබෙයි’ කියා පවසයි. * බිල්හා යාකොබ්ට දාව දාන් හා නප්තලී යන පුතුන් දෙදෙනා බිහි කරයි. නප්තලී ඉපදෙන විට රාඛෙල් තම සිත තුළ තෙරපී තිබූ හැඟීම් පිටතට දමමින් මෙසේ පවසයි. “මහත් පොර ඇල්ලීම්වලින් මාගේ සහෝදරී හා සමග පොර අල්ලා ජයගතිමි.” ඉන්පසු රාඛෙල්ටද යෝසෙප් හා බෙන්ජමින් යන පුතුන් දෙදෙනාව බිහි කිරීමට භාග්‍යය ලැබිණ.—උත්පත්ති 30:1-8; 35:24.
යාකොබ්ගේ හා රාඛෙල්ගේ කායික සහ චෛතසික ප්‍රයත්නයන්ට යෙහෝවා ආශීර්වාද කළේ මන්ද? යෙහෝවාගේ කැමැත්තට මුල් තැන දුන් ඔවුන් තම උරුමය ආදරයෙන් රැකබලා ගත් නිසාය. ආශීර්වාද කරන මෙන් ඉල්ලමින් අවංකවම ඔහුට යාච්ඤා කළ ඔවුහු දෙවිගේ කැමැත්තට හා තමන්ගේම ඉල්ලීම්වලට එකඟව ඒකාන්ත පියවර ගත්හ.
යෙහෝවාගේ ආශීර්වාද ලැබීමට දැඩි වෑයමක් දැරිය යුතු බව යාකොබ් හා රාඛෙල් මෙන් අදදිනත් බොහෝදෙනෙකු අද්දැක තිබේ. ඔවුන්ට වෑයම් දරන්න සිදු වන්නේ බොහෝවිට කඳුළු සලමින්, අධෛර්යයෙන් හා කලකිරීමෙන් යුතුවය. සෑහෙන කලක් ක්‍රිස්තියානි රැස්වීම්වලට නොගිහින් සිට නැවතත් එහි නිතිපතා යෑමට අවංකවම වෑයමක් දරන්න සිදු වුණා කියා ක්‍රිස්තියානි මවක් වූ එලිසබෙත් පවසන්නීය. කුඩා දරුවන් පස්දෙනෙකු හා නොඇදහිලිකාර ස්වාමිපුරුෂයෙකු සිටීමත් ළඟම තිබූ රාජ්‍ය ශාලාවට කිලෝමීටර් 30ක දුරක් යෑමට සිදුවීමත් ඇයට අභියෝගයක් විය. “රැස්වීම්වලට නිතිපතා යන්න වෑයම් කිරීම සඳහා සෑහෙන දුරකට මාවම හික්මවාගන්න සිද්ධ වුණා. ඒක මගෙත් පුතාලාගෙත් යහපතට හේතු වන බව මම දැනගෙන හිටියා. මේ ක්‍රියාමාර්ගය ලුහුබැඳීමට තරම් වටිනා එකක් බව තේරුම්ගන්න ඔවුන්ට එය උපකාරවත් වුණා.” යෙහෝවා ඇගේ වෑයම්වලට ආශීර්වාද කළේය. ක්‍රිස්තියානි සභාවේ ක්‍රියාශීලීව සිටින ඇගේ පුතුන් තිදෙනාගෙන් දෙදෙනෙක් දැන් පූර්ණ-කාලීන දේවසේවයේ යෙදෙති. ඔවුන්ගේ ආත්මික දියුණුව ගැන ප්‍රීති වෙමින් ඇය මෙසේ පවසන්නීය. “ඔවුන් මටත් වඩා ආත්මිකව දියුණුයි.” ඇගේ අවංක වෑයමට ලැබුණේ මොනතරම් කදිම ආශීර්වාදයක්ද!
අවංක වෑයමට යෙහෝවාගෙන් ආශීර්වාද
අවංක වෑයමක් දැරීමෙන් හා වෙහෙසී වැඩ කිරීමෙන් ඇත්තටම ආශීර්වාද ලැබේ. අප යම් වැඩක් හෝ පැවරුමක් ඉටු කරන විට අප දරන වෑයමේ තරමටම අපට තෘප්තියද ලැබේ. යෙහෝවා අපව සාදා තිබෙන්නේ එලෙසය. “කොයි මනුෂ්‍යයෙක් නුමුත් කා බී තමාගේ මුළු වෑයමේදී සැප භුක්ති විඳින්නේ නම් එය දෙවිගේ දීමනාවක්” කියා සාලමොන් රජ ලීවේය. (දේශනාකාරයා 3:13; 5:18, 19) එහෙත්, දෙවිගෙන් ආශීර්වාද ලැබීමට නම් අප සුදුසු දේවල් කිරීම සඳහා වෑයම් කිරීමට වගබලාගත යුතුය. උදාහරණයක් වශයෙන්, ආත්මික කාරණා දෙවන ස්ථානයට දමා ඇති ජීවන රටාවකට යෙහෝවා ආශීර්වාද කරයි කියා අපේක්ෂා කිරීම සාධාරණද? ක්‍රිස්තියානි රැස්වීම්වලදී ලැබෙන ඇදහිල්ල ගොඩනංවන ඇසුර හා උපදෙස් නිතර අතපසු කිරීමට සිදු වන රැකියාවක් හෝ උසස් වීමක් ලබාගැනීමට වෙහෙසෙන කැප වූ ක්‍රිස්තියානියෙකුට යෙහෝවාගේ අනුමැතිය බලාපොරොත්තු විය හැකිද?—හෙබ්‍රෙව් 10:23-25.
ආත්මික දේවල් පැත්තකට දමා මුළු ජීවිතයම බාහිර වෘත්තිය හෝ ධන සම්පත් වෙනුවෙන් කැප කරමින් දරන වෙහෙස ‘සැප භුක්ති විඳීමක්’ කියා අනිවාර්යයෙන් පැවසිය නොහැක. වැරදි දිශාවකට යොමු වී දරන වෑයමේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යේසුස් වපුරන්නාගේ උපමාවෙන් පැහැදිලි කළේය. “කටු අතරෙහි වපුරන” ලද බීජයෙන් සංකේතවත් වන්නේ කවරෙකුද යන වග යේසුස් පැහැදිලි කළේ “වචනය අසා, ලෝකය ගැන වෙහෙසීමෙන්ද වස්තුවේ රැවටිලිකාරකමෙන්ද වචනය යටවීමෙන් ඵල නොදරන තැනැත්තාය” කියාය. (මතෙව් 13:22) එම මලපත ගැන පාවුල්ද අනතුරු ඇඟවූ අතර ද්‍රව්‍යවාදි ක්‍රියාමාර්ගයක් ලුහුබඳින අය “පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥාන වූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය” කියා පැවසුවේය. ආත්මික විනාශයක් කරා ගෙන යන එවැනි ජීවන මාර්ගයකින් මිදීමට ඇති පිළියම කුමක්ද? පාවුල් තවදුරටත් මෙසේ පැවසීය. ‘මේවායින් පලා ගොස්, වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, සියල්ල භුක්ති විඳින පිණිස අපට බහුල ලෙස දෙන්නාවූ දෙවි කෙරෙහි බලාපොරොත්තු වී සිටින්න.’—1 තිමෝති 6:9, 11, 17.
අපේ වයස කුමක් වුවත්, අප යෙහෝවාට කොපමණ කලක් සේවය කර තිබුණත් යාකොබ් හා රාඛෙල් විදහාපෙන්වූ අවංකකම අනුකරණය කිරීමෙන් අප සියල්ලන්ටම ප්‍රයෝජන ලැබිය හැක. දිව්‍යමය අනුමැතිය ලැබීමට ආශාවෙන් සිටි ඔවුන්ට භයංකර හෝ කලකිරවනසුලු තත්වයන්ට මුහුණ දීමට සිදු වූවා විය හැකි වුවත්, ඔවුන් කිසිදා තම උරුමය ගැන අමතක කළේ නැත. අදදින, අප මුහුණ දෙන පීඩන හා අසීරුතාවන් එලෙසම තැතිගන්වනසුලු, කලකිරවනසුලු හෝ විෂාදය පවා ඇති කරන ඒවා විය හැක. එවිට අප පෙලඹෙන්නේ වෑයම අත්හැර දමා සාතන්ගේ ප්‍රහාරයට ගොදුරු වන කෙනෙකු බවට පත්වීමටය. සාතන් තම අභිලාෂය ඉටු කරගැනීමට විනෝදාස්වාදය, ක්‍රීඩා හෝ විනෝදාංශ, වෘත්තීන් නැතහොත් ද්‍රව්‍යමය සමෘද්ධිය වැනි මොනයම් හෝ ක්‍රමයක් භාවිත කළ හැක. මේ දේවලින් හොඳක් සිදු වන බවට බොහෝවිට පොරොන්දු කරනු ලැබුවත්, යම් යහපතක් වේ නම් ඒ කලාතුරකිනි. එවන් දෑ ලුහුබැඳ යෑමේ පරීක්ෂාවට ගොදුරු වන හෝ ඒවාවලට මුළා වන අයට අවසානයේදී බොහෝවිට ඉතුරු වන්නේ විශාල කලකිරීමක් පමණි. පුරාණයේ සිටි යාකොබ් හා රාඛෙල් මෙන් අපද අවංක පොරබදන්නෙකුගේ ස්වභාවය ඇති කරගෙන සාතන්ගේ උපායන් ජයගනිමු.
‘තත්වය දරුණුයි, කිසිම විසඳුමක් නැහැ. මහන්සි වෙන එක බොරු වැඩක්’ කියා සිතමින් අප නැමී යටත් වෙනවා දැකීමට වඩා වෙන සතුටක් යක්ෂයාට තවත් නැත. එසේනම්, ‘මට කිසි කෙනෙක් ආදරේ නැහැ,’ ‘යෙහෝවා මාව අමතක කරලා’ කියා පරාජිත ආකල්පයක් ඇති කරගැනීමෙන් අප සියල්ලන්ම වැළකී සිටීම මොනතරම් වටීද! එවැනි සිතුවිලි ඇති කරගැනීම තමාගේම වළ කපාගැනීමක් වැනිය. ඉන් ඇඟවෙන්නේ අපි අපේ අත් අකුළාගෙන, කිසිදු වෑයමක් නොදරා යෙහෝවාගෙන් ආශීර්වාදයක් ලැබෙන තුරු බලා සිටිය හැකි බවද? යෙහෝවා ආශීර්වාද කරන්නේ අපේ අවංක වෑයමට බව මතක තබාගන්න.
යෙහෝවාගේ ආශීර්වාද ලබාගැනීමට දිගටම වෑයම් කරන්න
යෙහෝවාගේ සේවකයෙකු වශයෙන් අපේ ජීවිතය හා සම්බන්ධ ප්‍රධාන සත්‍යයන් දෙකක් කෙරෙහි අප දක්වන අගය මතයි අපේ ආත්මික ශුභසිද්ධිය රඳාපවතින්නේ. එනම් (1) ගැටලු, ලෙඩ රෝග හෝ ජීවිතයේ දුෂ්කර තත්වයන් අද් නොදකින කෙනෙක් නොමැති වීමයි; එමෙන්ම (2) උපකාරය හා ආශීර්වාදය අවංකව ඉල්ලමින් කන්නලව් කරන්නන්ට යෙහෝවා සවන් දීමයි.—නික්මයාම 3:7-10; යාකොබ් 4:8, 10; 1 පේතෘස් 5:8, 9.
ඔබේ තත්වයන් කෙතරම් දුෂ්කර වුවත්, ඔබව කොටු වී ඇති බවක් හැඟුණත් ‘පහසුවෙන් අප අසු කරන පාපයට’ ඉඩ නොදෙන්න. එසේ ඉඩ දීම ඇදහිල්ලේ ඌනතාවකි. (හෙබ්‍රෙව් 12:1) ආශීර්වාදයක් ලැබෙන තුරු දිගටම වෑයම් කරන්න. ඉවසිලිමත් වන්න. මහලු යාකොබ් ආශීර්වාදයක් ලබාගැනීමට මුළු රැයක්ම පොරබැදූ අයුරු මතකයට නඟාගන්න. වසන්ත කාලයේදී වපුරා අස්වැන්න ලැබෙන තුරු ඉවසීමෙන් බලා සිටින ගොවියා මෙන් ඔබේ ආත්මික ක්‍රියාකාරකම්වල යෙදෙද්දී ඔබව කොටු වී ඇති බවක් හැඟුණත් යෙහෝවාගේ ආශීර්වාද ලැබෙන තුරු ඉවසීමෙන් බලා සිටින්න. (යාකොබ් 5:7, 8) එමෙන්ම ගීතිකාකරුගේ වචන සැමවිටම මතකයේ තබාගන්න. “කඳුළු සහිතව වපුරන්නෝ ප්‍රීතියෙන් කපන්නෝය.” (ගීතාවලිය 126:5; ගලාති 6:9) ස්ථිරෙන් සිට, දිගටම වෑයම් කරන අය අතර රැඳී සිටින්න.
[පාදසටහන]
^ 9 ඡේ. මෝසෙස්ට දුන් නීතියට පෙර සිටම අවිවාහක භාර්යා සේවනය පැවති අතර එය එකල නීතිය මගින් පාලනය වූ හා පිළිගත් දෙයක් විය. යේසුස් ක්‍රිස්තුස් පැමිණෙන තුරු, මුලින්ම ඒදන් උයනේදී ස්ථාපිත කර තිබූ ඒක භාර්යා සේවනයේ ප්‍රමිතිය යළි ස්ථාපිත කිරීමට දෙවි අදහස් නොකළ නමුත් නීතියෙන් අවිවාහක භාර්යාවන්ට ආරක්ෂාව සලසා තිබිණ. තර්කානුකූලව බලන කල, ඉශ්‍රායෙල් ජනගහනයේ ශීඝ්‍ර වර්ධනයට අවිවාහක භාර්යා සේවනයද දායක විය.