Skip to content

පටුනට යන්න

දෙවිගේ අධිකාරියට පක්ෂපාතව යටත් වන්න

දෙවිගේ අධිකාරියට පක්ෂපාතව යටත් වන්න

දෙවිගේ අධිකාරියට පක්ෂපාතව යටත් වන්න

“යෙහෝවාම අපේ විනිශ්චයකාරයාණෝය. යෙහෝවා අපේ නීති දායකයාණෝය. යෙහෝවා අපේ රජ්ජුරුවෝය.”—යෙසායා 33:22.

1. ඉපැරණි ඉශ්‍රායෙල්, ජාතීන් අතර සුවිශේෂී ජාතියක් බවට පත් වූයේ කිනම් හේතු නිසාද?

ඉශ්‍රායෙල් ජාතිය බිහි වූයේ පො.යු.පෙ. 1513දීය. ඒ කාලයේදී ඔවුන්ටම කියා අගනුවරක් හෝ මව් බිමක් තිබුණේ නැත. එමෙන්ම දෘශ්‍යමාන රජෙක්ද ඔවුන්ට සිටියේ නැත. එහි වැසියෝ කලින් වහලුන් ලෙස ජීවත් වූහ. කෙසේවෙතත්, මේ අලුත් ජාතිය වෙනත් ජාතීන්ට වඩා සුවිශේෂී ආකාරයකින් වෙනස් විය. යෙහෝවා දෙවි මේ ජාතියේ අදෘශ්‍යමාන විනිශ්චයකරුද නීති දායකයාද රජද වූයේය. (නික්මයාම 19:5, 6; යෙසායා 33:22) මෙය වෙනත් කිසිම ජාතියකට නොතිබුණු දෙයකි.

2. ඉශ්‍රායෙල් ජාතිය සංවිධානය වී තිබූ ආකාරය සම්බන්ධයෙන් මතු වන ප්‍රශ්නය කුමක්ද? මේ ප්‍රශ්නයට උත්තරය අපට වැදගත් වන්නේ මන්ද?

2 යෙහෝවා පිළිවෙළට දේවල් කරන සමාදානයේ දෙවි කෙනෙකු නිසා ඔහු පාලනය කළ ඕනෑම ජාතියක් හොඳින් සංවිධානය වී තිබූ බව අපට සිතාගත හැකියි. (1 කොරින්ති 14:33) ඇත්තෙන්ම මෙය සත්‍යයක් වූ බව පුරාණ ඉශ්‍රායෙල් ගැන සලකා බැලීමේදී පෙනී යයි. නමුත් භූමික දෘශ්‍යමාන සංවිධානයක් අදෘශ්‍යමාන දෙවි කෙනෙකු විසින් පාලනය කරනු ලබන්නේ කෙසේද? යෙහෝවා පුරාණ ඉශ්‍රායෙල් ජාතිය පාලනය කළ ආකාරය සලකා බැලීම ප්‍රයෝජනදායකයි. මෙහිදී ඔහු ඉශ්‍රායෙල්වරුන්ව පාලනය කළ ආකාරයෙන් දේව අධිකාරියට පක්ෂපාතව යටත් වීමේ වැදගත්කම අවධාරණය කෙරෙන අයුරු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම වටී.

පුරාණ ඉශ්‍රායෙලය පාලනය කරනු ලැබූ අයුරු

3. තම සෙනඟට මඟ පෙන්වීම සැපයීම සඳහා යෙහෝවා පිළියෙළ කළ ප්‍රායෝගික විධිවිධානය වූයේ කුමක්ද?

3 ඉශ්‍රායෙලයේ අදෘශ්‍යමාන රජු වූයේ යෙහෝවා වූවත් ඔහු තමන්ගේ දෘශ්‍යමාන නියෝජිතයන් හැටියට විශ්වාසවන්ත පුරුෂයන්ව පත් කළේය. උපදේශකයන් හා විනිසුරුවන් වශයෙන් ජනයාට සේවය කිරීම සඳහා අධිපතීහු, පියවරු හා වැඩිමහල්ලෝ ඉශ්‍රායෙලයේ සිටියහ. (නික්මයාම 18:25, 26; ද්විතීය කථාව 1:15) කෙසේවෙතත් එම වගකීම් ඉසුලූ පුරුෂයන්ට දෙවිගේ මඟ පෙන්වීම නොමැතිව කාරණා දෝෂ රහිතව, විචාර බුද්ධියෙන් හා අවබෝධයෙන් යුතුව විනිශ්චය කිරීමේ හැකියාව තිබූ බව අප නිගමනය නොකළ යුතුය. ඔවුහු පරිපූර්ණ අය නොවූහ. සෙසු නමස්කාරකයන්ගේ හදවත්වල තිබූ දේවල් දැනගන්ට ඔවුන්ට හැකියාවක් නොතිබිණ. එහෙත් තමන්ගේ සෙසු ඇදහිලිවන්තයන්ට උපකාරවත් වන උපදෙස් දීමට දේවබියැති විනිශ්චයකරුවන්ට හැකි විය. මන්ද ඔවුන්ගේ උපදෙස් පදනම් වී තිබුණේ යෙහෝවාගේ නීතිය මත බැවිනි.—ද්විතීය කථාව 19:15; ගීතාවලිය 119:97-100.

4. ඉශ්‍රායෙල්හි විශ්වාසවන්ත විනිශ්චයකරුවන් කල්පනාකාරි විය යුතු වූයේ කිනම් නැඹුරුවාවකින් වැළකී සිටීමටද? ඒ මන්ද?

4 විනිශ්චයකරුවෙකු වීම සඳහා නීතිය ගැන දැනුමක් තිබෙනවාට වඩා වැඩි යමක් අවශ්‍ය විය. එදා සිටි වැඩිමහල්ලන්ද අසම්පූර්ණ අය වූ නිසා ආත්මාර්ථකාමී වීම, පැති ගැනීම හා ගිජුකම වැනි දේවල බලපෑමට හසුවීමට ඉඩ තිබිණ. එවන් බලපෑම්වලට යට වී තමන්ගේ අභිමතයට අනුව දේවල් කිරීමේ නැඹුරුවාවෙන් වැළකී සිටීම සඳහා නිතරම කල්පනාකාරි වීමට ඔවුන්ට සිදු විය. මන්ද එවන් දේවලින් ඔවුන්ගේ විනිශ්චය දෝෂ සහිත වීමට ඉඩ තිබූ බැවිනි. මෝසෙස් ඔවුන්ට මෙසේ පැවසුවේය. “විනිශ්චයේදී මිනිසුන්ගේ තරාතිරම් නොබලා ලොකු කුඩා අයට එක ලෙස කන් දෙන්න. මනුෂ්‍යයන්ට භය නොවෙන්න. මක්නිසාද විනිශ්චය කිරීම දෙවිගේය.” ඔව්, ඉශ්‍රායෙල්හි විනිශ්චයකරුවන් විනිශ්චය කළේ දෙවි වෙනුවෙන් පෙනී සිටීමෙනි. මෙය මොනතරම් ගෞරවනීය වරප්‍රසාදයක් වූවාද!—ද්විතීය කථාව 1:16, 17, අකුරු ඇල කළේ අපය.

5. යෙහෝවා විනිශ්චයකරුවන්ව පත් කිරීමට අමතරව, ඔහුගේ සෙනඟගේ ආත්මික අවශ්‍යතා සපුරාලීම සඳහා ඇති කළ වෙනත් විධිවිධාන මොනවාද?

5 තම සෙනඟගේ ආත්මික අවශ්‍යතා සපුරාලීම සඳහා යෙහෝවා තවත් විධිවිධානයන් ඇති කළේය. සැබෑ නමස්කාරයේ මධ්‍යස්ථානය ලෙස මණ්ඩපයක් සාදන්ට කියා ඔහු ඔවුන්ට අණ කළේ ඔවුන් පොරොන්දු දේශයට පැමිණීමටත් කලින්ය. නීතිය ගැන ඉගැන්වීමටත්, සත්ව පූජා ඔප්පු කිරීමටත් උදෑසන සහ සවස සුවඳ ද්‍රව්‍ය දැවීමටත් ඔහු පූජක තන්ත්‍රයක් පිහිටෙව්වේය. දෙවි ඉශ්‍රායෙල්හි මුල්ම උත්තම පූජකයා ලෙස මෝසෙස්ගේ වැඩිමහල් සහෝදරයා වූ ආරොන්ව පත් කළ අතර ඔහුට පැවරී තිබූ කාර්යයන්වලට සහය වීම සඳහා ඔහුගේ පුත්‍රයන්ව පත් කළේය.—නික්මයාම 28:1; ගණන් කථාව 3:10; 2 ලේකම් 13:10, 11.

6, 7. (අ) පූජකවරුන් හා පූජකයන් නොවූ ලෙවීවරුන් අතර තිබුණේ කුමනාකාරයේ සබඳතාවක්ද? (ආ) ලෙවීවරුන් ඉටු කළ විවිධ කාර්යයන් මගින් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? (කොලොස්සි 3:24)

6 දශලක්ෂ ගණනකගේ ආත්මික අවශ්‍යතා සපුරාලීම දැවැන්ත කාර්යභාරයක් වූ අතර, සෙනඟ සමඟ බලන කල පූජකයන් සිටියේ ස්වල්පදෙනෙකි. මේ නිසා ලෙවී ගෝත්‍රයේ සෙසු සාමාජිකයන්ගේ සහයද පූජකයන්ට ලබාගැනීමේ විධිවිධානයක් ඇති කරන ලදි. යෙහෝවා මෝසෙස්ට මෙසේ පැවසුවේය. “ලෙවීවරුන් ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දෙන්න. ඔවුහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මුළුමනින්ම ඔහුට දෙන ලද්දෝය.”—ගණන් කථාව 3:9, 39.

7 ලෙවීවරුන්ව හොඳින් සංවිධානය කර තිබිණ. ඔවුන්ව ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරී නමින් පවුල් තුනකට බෙදනු ලැබූ අතර, ඒ සෑම පවුලකටම නිශ්චිත කාර්යයක් පවරන ලදි. (ගණන් කථාව 3:14-17, 23-37) සමහර පැවරුම් අනිත් ඒවාට වඩා වැදගත් කියා පෙනෙන්න ඉඩ තිබුණත්, සියලුම පැවරුම් අත්‍යවශ්‍ය ඒවා විය. කොහාත්වරුන්ගේ පවුලට අයත් ලෙවීවරුන්ට පැවරී තිබූ කාර්යය නිසා ඔවුන්ට පරිශුද්ධ වූ ගිවිසුම් පෙට්ටිය හා මණ්ඩපයේ තිබූ භාණ්ඩ ආසන්නයේම සේවය කිරීමේ ප්‍රස්තාව උදා විය. කෙසේවෙතත්, කොහාත්වරුන්ගේ පවුලට අයත් වූවත් නැතත් සෑම ලෙවීවරයෙකුම භුක්ති වින්දේ උතුම් වරප්‍රසාදයකි. (ගණන් කථාව 1:51, 53) සමහරුන් තමන්ගේ වරප්‍රසාද අගය නොකිරීම කනගාටුදායකයි. මොවුහු දේව අධිකාරියට පක්ෂපාතව යටත් වෙනවා වෙනුවට, තමන්ගේ පැවරුම ගැන සෑහීමට පත් නොවී උඩඟු වූහ. බලයට හා තනතුරුවලට ආශා වූ ඔවුහු ඊර්ෂ්‍යාසහගත වූහ. කෝරා නම් ලෙවීවරයා එවැනි අයගෙන් කෙනෙකි.

“නුඹලා පූජක තනතුරත් ගන්ට හදනවාද?”

8. (අ) කෝරා කියන්නේ කවුද? (ආ) කෝරා මුළුමනින්ම මිනිස් දෘෂ්ටියකින් පූජක තන්ත්‍රය දෙස බලන්ට හේතු වූවා විය හැක්කේ කුමක්ද?

8 කෝරා ලෙවී ගෝත්‍රයේවත් කොහාත්වරුන්ගේ පවුල්වලවත් ප්‍රධානියා වූයේ නැත. (ගණන් කථාව 3:30, 32) කෙසේවෙතත් ඔහු ඉශ්‍රායෙලයේ ගෞරවයට පාත්‍ර වූ අධිපතීන්ගෙන් කෙනෙක් විය. කෝරාට පැවරී තිබූ රාජකාරි නිසා ආරොන් හා ඔහුගේ පුත්‍රයන් සමඟ කිට්ටු ඇසුරක් පැවැත්වීමට අවස්ථාවක් ඔහුට තිබුණා විය හැක. (ගණන් කථාව 4:18, 19) මේ පුරුෂයන්ගේ අඩුපාඩුකම් දුටු කෝරා මෙසේ සිතන්ට ඇති. ‘මේ පූජකයෝ අසම්පූර්ණ වුණත් ඔවුන්ට යටත් වීම මගෙන් බලාපොරොත්තු වෙනවා! ආරොන් රන් වස්සෙක් හදලා වැඩි කාලයක් ගත වෙලා නැහැ. අපේ මිනිස්සු පිළිම නමස්කාරයට වැටුණේ ඒ රන් වස්සාට නමස්කාර කරපු හින්දයි. ඒත් තවමත් උත්තම පූජකයා හැටියට සේවය කරන්නේ මෝසෙස්ගේ සහෝදරයා, ආරොන්! මේක හරිම අසාධාරණයි! ආරොන්ට වැඩි සැලකිලි ලැබිල තියෙනවා. නාදාබ් සහ අබිහු කියන ආරොන්ගේ පුත්‍රයන් කවුද කියලා මම දන්නේ නැද්ද? ඒ අය නෙමේද, ඔවුන්ගේ වරප්‍රසාදවලට අගෞරව වෙන විදිහේ දේවල් කළේ. යෙහෝවා ඒ අයව මරණයට පත් කළෙත් ඒ හින්දයි!’ * (නික්මයාම 32:1-5; ලෙවී කථාව 10:1, 2) කෝරා සිතූ විදිහ කුමක් වුණත් එක දෙයක් පැහැදිලියි. එනම් ඔහු පූජක තන්ත්‍රය සලකන්ට පටන්ගත්තේ මිනිස් දෘෂ්ටියකිනි. මෙහි ප්‍රතිඵලයක් හැටියට ඔහු මෝසෙස්ට හා ආරොන්ටද අවසානයේදී යෙහෝවාටද එරෙහිව කැරලි ගැසුවේය.—1 සාමුවෙල් 15:23; යාකොබ් 1:14, 15.

9, 10. කෝරා සහ ඔහුට එක් වූ සෙසු කැරලිකරුවන් මෝසෙස්ට විරුද්ධව කළ චෝදනාව කුමක්ද? ඔවුන් හොඳින්ම දැන සිටියේ කුමක්ද?

9 යම් ප්‍රමාණයක බලතල තිබූ කෝරාට තම අදහස්වලට සමාන අදහස් තිබූ අයව තමා වටා ඒකරාශි කරගැනීම එතරම් අමාරු කාර්යයක් වූයේ නැත. දාතාන් හා අබීරාම් සමඟ එකතු වී කෝරාට තමාගේ අදහස්වලට එකඟ වන මිනිසුන් 250දෙනෙකු සොයාගැනීමට හැකි විය. මොවුහු සියලුදෙනාම සෙනඟ අතර සිටි ප්‍රධානීහු වූහ. මේ සියලුදෙනාම මෝසෙස් සහ ආරොන් ළඟට පැමිණ මෙසේ පැවසූහ. “මුළු සභාවේ සියල්ලන් ශුද්ධව සිටිද්දීත්, යෙහෝවාද ඔවුන් අතරෙහි සිටිද්දීත් නුඹලා යෙහෝවාගේ සභාවට ඉහළින් ලොකුකම් ගන්නේ මක්නිසාද?”—ගණන් කථාව 16:1-3.

10 මේ කැරලිකරුවන් ඒ වන විටත් තමන් දැන සිටි දේවල් ගැන සිතුවා නම් මෝසෙස්ගේ අධිකාරිය අභියෝගයට ලක් කිරීමෙන් වැළකී සිටින්ට ඉඩ තිබිණ. ඔවුන් කරන්ට හදන දෙයම ආරොන් හා මිරියාම්ද මීට කලින් කළහ. ඒ වැඩි කාලයකට ඉහතදී නොවේ. ඔවුන් දෙදෙනා කල්පනා කළේද කෝරා හා සමානවයි. ගණන් කථාව 12:1, 2හි සඳහන් වන පරිදි ඔවුහු මෙසේ ඇසූහ. ‘යෙහෝවා කතා කෙරෙවුවේ මෝසෙස් ලවා පමණක්ද? ඔහු අප ලවාත් කතා කෙරෙවුවේ නැද්ද?’ යෙහෝවා මෙයට සවන් දීගෙන සිටියේය. නායකයා හැටියට යෙහෝවා තෝරාගන්නේ කාවද කියා පෙන්වීමට සම්මුඛ වීමේ කූඩාරම ඉදිරිපිට සිටින මෙන් ඔහු මෝසෙස්ටද ආරොන්ටද මිරියාම්ටද අණ කළේය. ඉන්පසුව යෙහෝවා ඉතාමත් පැහැදිලිව මෙසේ පැවසුවේය. “නුඹලා අතරෙහි ප්‍රොපේත කෙනෙක් සිටී නම් යෙහෝවා වූ මම ඔහුට දර්ශනයකින් ප්‍රකාශ වන්නෙමි. හීනයකින් මම ඔහුට කතා කරන්නෙමි. මාගේ මෙහෙකරු වූ මෝසෙස් එසේ නොවේ. ඔහු මාගේ ගෘහයෙහි ඉතා විශ්වාසිකය.” ඉන්පසු යෙහෝවා මිරියාම්ට ලාදුරු රෝගයෙන් තාවකාලිකව පහර දුන්නේය.—ගණන් කථාව 12:4-7, 10.

11. කෝරා ඇති කළ තත්වයේදී මෝසෙස් කටයුතු කළේ කෙසේද?

11 කෝරා සහ ඔහුගේ පැත්ත ගත් අය ඒ සිද්ධිය ගැන දැන සිටි බවට සැකයක් නැත. ඔවුන්ගේ කැරැල්ල සාධාරණීකරණය කරන්ට කිසිම පදනමක් නොතිබිණ. හොඳ හේතුවක් නැතුව තමාට චෝදනා කළත් මෝසෙස් ඉවසිලිවන්තව ඔවුන්ට කරුණු පහදා දීමට වෑයම් කළේය. ඔවුන්ට ලැබී තිබෙන වරප්‍රසාද මීට වඩා වැඩියෙන් අගය කරන්ට කියා ඔහු මෙසේ පවසමින් ඔවුන්ගෙන් ඕනෑකමින් ඉල්ලා සිටියේය. “නුඹලාව තමන් ළඟට පමුණුවන ලෙස ඉශ්‍රායෙල්ගේ දෙවි ඉශ්‍රායෙල් සභාවෙන් නුඹලා වෙන් කරගත් එකත් . . . මදිද [සුළු දෙයක්ද, NW]?” නැත, එය “සුළු දෙයක්” නොවීය. ඒ වන විටත් ලෙවීවරුන්ට බොහෝ දේවල් ලැබී තිබිණ. ඔවුන් තවත් ආශා කරන්නේ මොනවාටද? ඔවුන්ගේ හදවත්වල තිබූ සිතුවිලි මෝසෙස් පැවසූ මෙම වදන් මගින් හෙළි විය. “නුඹලා පූජක තනතුරත් ගන්ට හදනවාද?” * (ගණන් කථාව 12:3; 16:9, 10) දේව අධිකාරියට එරෙහිව දියත් කරන ලද මේ කැරැල්ල හමුවෙහි යෙහෝවා ප්‍රතික්‍රියා කළේ කෙසේද?

ඉශ්‍රායෙල්හි විනිශ්චයකරු මැදිහත් වෙයි

12. ඉශ්‍රායෙල්වරුන් දෙවි සමඟ යහපත් සබඳතාවක් පවත්වාගැනීම රඳා පැවතුණේ කුමක් මතද?

12 ඉශ්‍රායෙල්වරුන් කීකරු වූවා නම් ඔවුන් “ශුද්ධ ජාතියක්” වන බව යෙහෝවා ඔවුන්ට නීතිය දුන් අවස්ථාවේදී පැවසීය. ඔවුන්ට දිගටම ශුද්ධව සිටීමට හැකි වූයේ යෙහෝවාගේ විධිවිධානය පිළිගන්නා තාක් කල් පමණි. (නික්මයාම 19:5, 6) කැරැල්ලක් එළි පිට දියත් කර තිබූ නිසා, ඉශ්‍රායෙල්හි විනිශ්චයකරු මෙන්ම නීති දායකයාට මැදිහත් වීම සඳහා කාලය එළඹිණ. මෝසෙස් කෝරාට මෙසේ පැවසුවේය. “නුඹ සහ නුඹේ මුළු සභාවද ආරොන්ද හෙට යෙහෝවා ඉදිරියෙහි සිට, එකිනෙකා තම තමාගේ ධූප භාජන රැගෙන එහි සුවඳ ද්‍රව්‍ය ලා එකිනෙකා ධූප භාජනයක් බැගින් ධූප භාජන දෙසිය පනසක්ද නුඹ හා ආරොන් තම තමාගේ ධූප භාජනයද යෙහෝවා ඉදිරියට ගෙනෙන්න.”—ගණන් කථාව 16:16, 17.

13. (අ) යෙහෝවා ඉදිරියෙහි සුවඳ ද්‍රව්‍ය ඔප්පු කිරීම කැරලිකරුවන් කළ හිතුවක්කාර ක්‍රියාවක් වූයේ මන්ද? (ආ) යෙහෝවා කැරලිකරුවන් සමඟ කටයුතු කළේ කෙසේද?

13 දෙවි දුන් නීතියට අනුව සුවඳ ද්‍රව්‍ය ඔප්පු කිරීමට අවසර තිබුණේ පූජකයන්ට පමණි. පූජකයන් නොවන ලෙවීවරුන් යෙහෝවා ඉදිරියෙහි සුවඳ ද්‍රව්‍ය ඔප්පු කිරීමේ අදහස ගැන සිතීමම, කැරලිකරුවන්ට තමන් කරන්ට තැත් කරන දෙය ගැන පැහැදිලිව සිතන්ට හේතුවක් විය යුතුව තිබිණ. (නික්මයාම 30:7; ගණන් කථාව 4:16) කෝරාවත් ඔහුගේ පැත්ත ගත් අයවත් ඒ ගැන කිසිම තැකීමක් කළේ නැත! පසුවදා කෝරා “[මෝසෙස්ට හා ආරොන්ට] විරුද්ධව මුළු සභාව සම්මුඛ වීමේ කුඩාරමේ දොරකඩ ළඟට රැස් කළේය.” බයිබල් වාර්තාවේ තවදුරටත් අපට මෙසේ පවසයි. “යෙහෝවා මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට, මා විසින් මේ සභාව ක්ෂණයකින් විනාශ කරන පිණිස නුඹලා මොවුන් අතරෙන් වෙන් වෙන්නැයි කීවේය.” නමුත් සෙනඟව විනාශ නොකරන ලෙස මෝසෙස් සහ ආරොන් ආයාචනා කළහ. යෙහෝවා ඔවුන්ගේ ආයාචනය පිළිගත්තේය. නමුත් කෝරා සහ ඔහුගේ පැත්ත ගත් සෙනඟ මතට “යෙහෝවා කෙරෙන් ගිනි නික්ම අවුත් සුවඳ දුම් ඔප්පු කළ දෙසිය පනස්දෙනා දවා දැමීය.”—ගණන් කථාව 16:19-22, 35. *

14. යෙහෝවා ඉශ්‍රායෙල් සභාවට විරුද්ධව දැඩි පියවරක් ගත්තේ මන්ද?

14 යෙහෝවා කැරලිකරුවන් සමඟ කටයුතු කළ ආකාරය සියැසින්ම දුටු ඉශ්‍රායෙල්වරුන් ඒ වන විටත් පාඩමක් ඉගෙනගෙන නොතිබීම හරිම පුදුමයි! “පසුවදා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධව කොඳුරමින්, නුඹලා යෙහෝවාගේ සෙනඟ මැරුවහුයයි කීවෝය.” ඉශ්‍රායෙල්වරු කුමන්ත්‍රණකරුවන්ගේ පැත්ත ගනිමින් සිටියහ. අවසානයේදී යෙහෝවාගේ ඉවසීම කෙළවර විය. මේ අවස්ථාවේදී කිසිවෙකුට, එනම් මෝසෙස්ටවත් ආරොන්ටවත් සෙනඟ වෙනුවෙන් මැදිහත් විය නොහැකි විය. යෙහෝවා අකීකරු වූ අය අතරෙහි වසංගතයක් ඇතිවීමට සැලැස්සුවේය. “කෝරාගේ කාරණය නිසා මැරුණවුන් ඇර වසංගතයෙන් මැරුණු අය දසසතරදාස් හත්සියයක් වූහ.”—ගණන් කථාව 16:41-49.

15. (අ) ඉශ්‍රායෙල්වරුන් නොපැකිලව මෝසෙස්ගේ හා ආරොන්ගේ නායකත්වය පිළිගත යුතුව තිබුණේ කුමන හේතු නිසාද? (ආ) මේ වාර්තාව යෙහෝවා ගැන ඔබට උගන්වා ඇත්තේ කුමක්ද?

15 ඒ මිනිසුන් සියලුදෙනාටම මරණයට පත්වීමෙන් පහසුවෙන්ම වැළකී සිටින්ට හැකියාව තිබිණ. නමුත් එසේ හැකි වූයේ කාරණා නිසි ලෙස වටහාගැනීමේ හැකියාව ඔවුන් පාවිච්චි කළා නම් පමණි. තමන්ගෙන්ම මෙම ප්‍රශ්න ඔවුන් අසාගත යුතුව තිබිණ. ‘තමන්ගේ ජීවිත පරදුවට තබා ඵාරාවෝ ඉදිරියෙහි පෙනී සිටි අය කවුද? ඉශ්‍රායෙල්වරුන්ව නිදහස් කරන ලෙස ඉල්ලා සිටි අය කවුද? ඉශ්‍රායෙල්වරුන් ගැළවීම ලැබීමෙන් පසු, හොරේබ් කන්දේදී යෙහෝවාගේ දූතයා සමඟ මුහුණට මුහුණලා කතා කිරීමට ආරාධනාව ලැබුණේ කාටද?’ මෝසෙස් හා ආරොන් ඇති කරගෙන තිබූ විශිෂ්ට වාර්තාව ඔවුන් යෙහෝවාට පක්ෂපාත වූ බවටත් සෙනඟ සඳහා ප්‍රේමයක් ඔවුන්ට තිබූ බවටත් සාක්ෂියක් වූ බව නිසැකයි. (නික්මයාම 10:28; 19:24; 24:12-15) කැරලිකරුවන්ව මරණයට පත් කිරීම ගැන යෙහෝවා කිසිසේත් සතුටු වූයේ නැත. එහෙත් සෙනඟ තමන්ගේ කැරැල්ල දිගටම ගෙන යන බවට පැහැදිලි සාක්ෂි දුටු විට පියවර ගැනීමට ඔහු තීරණය කළේය. (එසකියෙල් 33:11) මේ සෑම දෙයක්ම අදදින සිටින අපට ඉමහත් වැදගත්කමකින් යුක්තයි. ඒ මන්ද?

අදදින තිබෙන මාධ්‍යය හඳුනාගනිමු

16. (අ) යේසුස් යෙහෝවාගේ නියෝජිතයා බව විශ්වාස කිරීමට පළමුවන සියවසේ සිටි යුදෙව්වන්ට තිබූ සාක්ෂි මොනවාද? (ආ) යෙහෝවා ලෙවී පූජක තන්ත්‍රය වෙනස් කළේ මන්ද? ඒ වෙනුවට පිහිටුවනු ලැබුවේ කුමන ආකාරයේ පූජක තන්ත්‍රයක්ද?

16 වර්තමානයේ අලුත් ‘ජාතියක්’ සිටින අතර, ඔවුන්ගේ අදෘශ්‍යමාන විනිශ්චයකරුද, නීති දායකයාද රජුද වන්නේ යෙහෝවායි. (මතෙව් 21:43) මේ “ජාතිය” බිහි වූයේ පො.යු. පළමුවන සියවසේදීය. මේ කාලය වන විට මෝසෙස්ගේ කාලයේ තිබූ මණ්ඩපය වෙනුවට යෙරුසලමෙහි අලංකාර දේවමාළිගාවක් සාදා තිබිණ. ඒ වන විට එහි සේවය කළේ ලෙවීවරුන්ය. (ලූක් 1:5, 8, 9) කෙසේවෙතත් පො.යු. 29දී තවත් දේවමාළිගාවක් දක්නට ලැබිණ. ආත්මික එකක් වන මෙහි උත්තම පූජකයා වන්නේ යේසුස් ක්‍රිස්තුස්ය. (හෙබ්‍රෙව් 9:9, 11) දේව අධිකාරිය පිළිබඳ ප්‍රශ්නය නැවත වතාවක් ඉස්මතු විය. මේ අලුත් ‘ජාතියට’ මඟ පෙන්වීම සැපයීම සඳහා යෙහෝවා යොදාගැනීමට නියමිතව තිබුණේ කවුරුන්වද? තමන් කොන්දේසි විරහිතව දෙවිට පක්ෂපාත වන බව යේසුස් ඔප්පු කළේය. ජනයාට ප්‍රේම කළ ඔහු බොහෝ ප්‍රාතිහාර්යයන්ද කළේය. එහෙත් ලෙවීවරුන්ගෙන් වැඩි පිරිසක් ඔවුන්ගේ උඩඟු හිතුවක්කාර මුතුන්මිත්තන්ගේ අඩි පාරේ යමින් යේසුස්ව පිළිගැනීම ප්‍රතික්ෂේප කළහ. (මතෙව් 26:63-68; ක්‍රියා 4:5, 6, 18; 5:17) අවසානයේදී යෙහෝවා ලෙවී පූජක තන්ත්‍රයට වඩා වෙනස් රාජකීය පූජක තන්ත්‍රයක් පිහිටෙව්වේය. මේ රාජකීය පූජක තන්ත්‍රය අද දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.

17. (අ) අදදින රාජකීය පූජක තන්ත්‍රය සමන්විත වන්නේ කුමන කණ්ඩායමෙන්ද? (ආ) යෙහෝවා රාජකීය පූජක තන්ත්‍රය යොදාගන්නේ කෙසේද?

17 අදදින, මේ රාජකීය පූජක තන්ත්‍රයට අයත් වන්නේ කවුරුන්ද? ප්‍රේරිත පේතෘස් දේවානුභාවයෙන් ලියූ ඔහුගේ මුල් ලිපියේදී ඒ ප්‍රශ්නයට උත්තර සපයයි. ක්‍රිස්තුස්ගේ සිරුරේ අවයව බඳු ආලේප ලත් සාමාජිකයන්ට පේතෘස් මෙසේ ලීවේය. “අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනැත්තාගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධ වූ ජාතියක්ද දෙවි සන්තක සෙනඟක්ද වන්නහුය.” (1 පේතෘස් 2:9) මෙම වදන්වලින් පැහැදිලි වන්නේ කණ්ඩායමක් හැටියට යේසුස්ගේ අඩි පාරේ ගමන් කරන ආලේප ලත් අනුගාමිකයන්ගෙන් ‘රාජකීය පූජක තන්ත්‍රය’ සෑදෙන බවයි. “ශුද්ධ වූ ජාතියක්” කියාද පේතෘස් ඔවුන්ව හැඳින්වූයේය. යෙහෝවා ඔහුගේ සෙනඟට ඉගැන්වීම සඳහාත් ඔවුන්ට ආත්මික මඟ පෙන්වීම් සැපයීම සඳහාත් යොදාගන්නා මාධ්‍යය වන්නේ මොවුන්ය.—මතෙව් 24:45-47.

18. පත් කරන ලද වැඩිමහල්ලන් හා රාජකීය පූජක තන්ත්‍රය අතර තිබෙන සම්බන්ධය කුමක්ද?

18 රාජකීය පූජක තන්ත්‍රය නියෝජනය කරනු ලබන්නේ පත් කර සිටින වැඩිමහල්ලන් විසිනි. මොවුහු ලොව පුරා සිටින යෙහෝවාගේ සෙනඟගෙන් සමන්විත සභාවල විවිධ වගකීම් උසුලති. මෙම පුරුෂයන් ආලේප ලත් අය වුවත් නැතත් මොවුන් අපේ ගෞරවය හා හෘදයාංගම සහයෝගය ලැබීමට වටී. ඒ මන්ද? යෙහෝවා මේ වැඩිමහල්ලන්ව ඔවුන්ගේ සේවා වරප්‍රසාදවලට පත් කර තිබෙන්නේ ඔහුගේ ශුද්ධාත්මය මගින් නිසාය. (හෙබ්‍රෙව් 13:7, 17) මෙය සිදු විය හැක්කේ කෙසේද?

19. වැඩිමහල්ලන්ව ශුද්ධාත්මයෙන් පත් කරනු ලබන බව පැවසිය හැක්කේ මන්ද?

19 මෙම වැඩිමහල්ලෝ දෙවිගේ ආත්මයෙන් ලියවී තිබෙන ඔහුගේ වචනයේ සඳහන් සුදුසුකම් සපුරාලති. (1 තිමෝති 3:1-7; තීතස් 1:5-9) මේ නිසා ඔවුන්ගේ පත්වීම සිදු වන්නේ ශුද්ධාත්මයෙන් කියා පැවසිය හැක. (ක්‍රියා 20:28) වැඩිමහල්ලන් දේවවචනයේ තිබෙන දේවල් හොඳින් දැන සිටිය යුතුය. තමන්ව පත් කර තිබෙන උත්තරීතර විනිශ්චයකරු මෙන් වැඩිමහල්ලන්ද විනිශ්චය කිරීම්වලදී අපක්ෂපාති විය යුතුය. පැති ගැනීමට මඟ පාදන ඕනෑම දෙයක් ඔවුන් විසින් සම්පූර්ණයෙන්ම හෙළා දැකිය යුතුය.—ද්විතීය කථාව 10:17, 18.

20. වෙහෙස මහන්සි වී සේවය කරන වැඩිමහල්ලන් කරන කුමන දේවල්ද ඔබ අගය කරන්නේ?

20 වෙහෙස මහන්සි වී සේවය කරන අපේ වැඩිමහල්ලන්ගේ අධිකාරිය ගැන ප්‍රශ්න නොකර ඔවුන්ව අගය කරමු. ඔවුන් ඇදහිලිවන්තව වසර ගණනාවක සිට කරමින් සිටින සේවය අපේ විශ්වාසය තවත් ශක්තිමත් කරවයි. ඔවුහු සභා රැස්වීම්වලට හොඳින් සූදානම් වන අතර ඒවා මෙහෙයවීමටද හවුල් වෙති. අප සමඟ උරෙන් උර ගැටී ‘රාජ්‍යයේ ශුභාරංචිය’ දේශනා කිරීමෙහිද හවුල් වෙති. අවශ්‍ය අවස්ථාවලදී අපට ශුද්ධ ලියවිල්ල යොදාගනිමින් අවවාද අනුශාසනා සපයති. (මතෙව් 24:14; හෙබ්‍රෙව් 10:23, 25; 1 පේතෘස් 5:2) අපට අසනීප වූ විට අපව බලන්ට ඔවුන් පැමිණෙන අතර අප දුකෙන් සිටින විට අපව සනසවයි. ඔවුහු පක්ෂපාතව හා පරාර්ථකාමී ලෙස රාජ්‍ය කටයුතුවලට සහයෝගය දක්වති. යෙහෝවාගේ ආත්මයද අනුමැතියද ඔවුන්ට තිබේ.—ගලාති 5:22, 23.

21. වැඩිමහල්ලන් සාවධානව සිටිය යුත්තේ කුමක් ගැනද? ඒ මන්ද?

21 වැඩිමහල්ලන් සම්පූර්ණ අය නොවේ යන්න අප කවුරුත් දන්නා දෙයකි. තම සීමාවන් හොඳින් තේරුම්ගනිමින්, “දෙවිගේ උරුමය” වන රැළ කෙරෙහි අධිපතිකම් කිරීමට ඔවුහු තැත් නොකරති. ඔවුන් තමන්ව සලකන්නේ “තම සහෝදරයන්ගේ ප්‍රීතිය සඳහා සිටින සෙසු සේවකයන්” ලෙසය. (1 පේතෘස් 5:3; 2 කොරින්ති 1:24; NW) යටහත් පහත් මෙන්ම වෙහෙස වෙමින් සේවය කරන වැඩිමහල්ලෝ යෙහෝවාට ප්‍රේමය පෙන්වන අතර, තමන් ඔහුව වඩාත් කිට්ටුවෙන් අනුකරණය කරන තරමට සභාවටද වඩාත් ප්‍රයෝජන ගෙන දිය හැකි බව දනිති. මෙය මනසෙහි තබාගෙන සිටින ඔවුන් නිතරම වෑයම් කරන්නේ ප්‍රේමය, දයාව හා ඉවසීම වැනි ගුණාංග වර්ධන කරගනිමින් දෙවිව අනුකරණය කිරීමටය.

22. කෝරා හා සම්බන්ධ වාර්තාව නැවත සලකා බැලීමෙන් යෙහෝවාගේ දෘශ්‍යමාන සංවිධානය කෙරෙහි ඔබේ ඇදහිල්ල ශක්තිමත් වී තිබෙන්නේ කෙසේද?

22 අපේ අදෘශ්‍යමාන පාලකයා වශයෙන් යෙහෝවාද, අපේ උත්තම පූජකයා වශයෙන් යේසුස් ක්‍රිස්තුස්ද, අපේ ගුරුවරුන් වශයෙන් ආලේප ලත් රාජකීය පූජක තන්ත්‍රයේ සාමාජිකයන්ද, අපේ උපදේශකයන් වශයෙන් විශ්වාසවන්ත වැඩිමහල්ලන්ද සිටීම ගැන අපට දැනෙන්නේ මොනතරම් සතුටක්ද! මිනිසුන්ගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන කිසිම සංවිධානයක් පරිපූර්ණ නැත. කෙසේවෙතත් ප්‍රීතියෙන් දේව අධිකාරියට යටත් වන විශ්වාසවන්ත නමස්කාරකයන් සමඟ එක්ව දෙවිට සේවය කරන්ට ලැබීම ගැන අපි සතුටු වන්නෙමු.

[පාදසටහන්වල]

^ 8 ඡේ. ආරොන්ගේ අනිත් පුත්‍රයන් දෙදෙනා වූ එලෙයාසර් සහ ඊතාමාර් ආදර්ශවත් ලෙස යෙහෝවාට සේවය කළහ.—ලෙවී කථාව 10:6.

^ 11 ඡේ. කෝරාට එකතු වූ සෙසු කුමන්ත්‍රණකරුවන් වන දාතාන් හා අබීරාම් අයත් වූයේ රූබෙන් ගෝත්‍රයටය. මේ නිසා ඔවුන් පූජක තනතුරු ලබාගැනීමට ගිජුකමක් දැක්වූවා කියා සිතිය නොහැක. ඔවුන් මෝසෙස් සමඟ අමනාපයෙන් සිටියේ ඔහු නායකයා ලෙස කටයුතු කළ නිසාත්, පොරොන්දු දේශයට යෑමේ ඔවුන්ගේ අපේක්ෂාව ඒ වන විටත් ඉටු නොවී තිබුණු නිසාත්ය.—ගණන් කථාව 16:12-14.

^ 13 ඡේ. ආදි පිතෘවරුන්ගේ කාලවලදී සෑම පවුලකම ප්‍රධානියා ඔහුගේ භාර්යාවව හා දරුවන්ව නියෝජනය කරමින් දෙවි ඉදිරියෙහි පෙනී සිටියේය. ඔවුන් වෙනුවෙන් පූජා ඔප්පු කරනු ලැබුවේද ඔහු විසිනි. (උත්පත්ති 8:20; 46:1; යෝබ් 1:5) කෙසේවෙතත්, නීතිය ස්ථාපිත කළ පසු යෙහෝවා පූජකයන් හැටියට පත් කළේ ආරොන්ගේ පවුලට අයත් පුරුෂයන්ව පමණයි. පූජා ඔප්පු කළ යුතුව තිබුණේ ඔවුන් මාර්ගයෙන් පමණි. ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබූ එම සකස් කිරීමට එකඟව කටයුතු කරන්ට කැරලිකරුවන් 250දෙනා අකමැති වූ බවයි පෙනෙන්නේ.

ඔබ ඉගෙනගත්තේ මොනවාද?

• යෙහෝවා ඉශ්‍රායෙල්වරුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රේමනීයව පිළියෙළ කළ විධිවිධාන මොනවාද?

• මෝසෙස්ට සහ ආරොන්ට විරුද්ධව කෝරා දියත් කළ කැරැල්ල සමාව දිය නොහැකි පාපයක් වූයේ මන්ද?

• යෙහෝවා කැරලිකරුවන් සමඟ කටයුතු කළ ආකාරයෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

• අදදින යෙහෝවාගේ විධිවිධාන අප අගය කරන බව පෙන්විය හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ සේවයෙහි ඕනෑම පැවරුමක් ඔබ සලකන්නේ වරප්‍රසාදයක් ලෙසද?

[10වන පිටුවේ පින්තූරය]

“නුඹලා යෙහෝවාගේ සභාවට ඉහළින් ලොකුකම් ගන්නේ මක්නිසාද?”

[13වන පිටුවේ පින්තූරය]

පත් කර සිටින වැඩිමහල්ලෝ රාජකීය පූජක තන්ත්‍රය නියෝජනය කරති