Skip to content

පටුනට යන්න

‘දෙවිගේ මහිමාන්විත දේවලින්’ පෙලඹී

‘දෙවිගේ මහිමාන්විත දේවලින්’ පෙලඹී

‘දෙවිගේ මහිමාන්විත දේවලින්’ පෙලඹී

“අපගේ භාෂාවලින් දෙවිගේ බලවත් ක්‍රියා [මහිමාන්විත දේවල්, NW] ගැන ඔවුන් කතා කරනවා අසමු.”—ක්‍රියා 2:11.

1, 2. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී යෙරුසලමේ සිදු වූ පුදුමසහගත දෙය කුමක්ද?

පොදු යුගයේ 33වන අවුරුද්දේ වසන්ත සමයේ උදෑසනක පුරුෂයන්ගෙන් හා ස්ත්‍රීන්ගෙන් සමන්විත වූ කණ්ඩායමක් අතර පුදුමසහගත දෙයක් සිදු විය. යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන් වූ ඔවුන් රැස් වී සිටියේ යෙරුසලමේ පිහිටි පෞද්ගලික නිවසකය. “තද හුළඟක් හමන්නාක් මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන් හිඳගෙන උන්නාවූ මුළු ගෙය පිරුණේය. ගිනි වැනි වූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුණේය. . . . ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මය ඔවුන්ට කතා කරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කතා කරන්ට පටන්ගත්තෝය.”—ක්‍රියා 2:2-4, 15.

2 විශාල සමූහයක් එම නිවස ඉදිරිපිට එක්රැස් වූහ. මොවුන් අතරෙහි වෙනත් දේශවල උපන් ‘භක්තිවන්ත යුදෙව්වරුන්’ සිටි අතර, ඔවුන් යෙරුසලමට පැමිණ තිබුණේ පෙන්තකොස්ත උත්සවය සැමරීමටයි. ගෝලයන් එක් එක්කෙනා “දෙවිගේ මහිමාන්විත දේවල් ගැන” [NW] තමන්ගේ භාෂාවෙන් කතා කරනවා ඇසීමෙන් ඔවුහු පුදුම වූහ. එසේ කතා කරමින් සිටි සියලුදෙනාම ගලීලයේ වැසියන් වූ නිසා එවැනි දෙයක් සිදු විය හැක්කේ කෙසේද?—ක්‍රියා 2:5-8, 11.

3. ප්‍රේරිත පේතෘස් පෙන්තකොස්ත දවසේදී සෙනඟට කළ කතාව මගින් දුන් පණිවිඩය කුමක්ද?

3 ප්‍රේරිත පේතෘස් එම ගලීල වැසියන්ගෙන් කෙනෙකි. සති කිහිපයකට කලින් අධර්මිෂ්ඨ මිනිසුන් විසින් යේසුස් ක්‍රිස්තුස්ව ඝාතනය කළ බව ඒ අවස්ථාවේදී ඔහු පැහැදිලි කළේය. එහෙත් දෙවි ඔහුගේ පුත්‍රයාව මළවුන්ගෙන් නැඟිටුවා තිබිණ. ඉන්පසු යේසුස් ඔහුගේ ගෝලයන්ගෙන් බොහෝදෙනෙකු ඉදිරියෙහි පෙනී සිටියේය. පේතෘස් හා ඔහු සමඟ මේ අවස්ථාවේ සිටි අයද යේසුස්ව දුටු අය අතර විය. මේ අවස්ථාව වන විට යේසුස් ස්වර්ගයට ගොස් දවස් දහයක් ගත වී තිබිණ. තම ගෝලයන් මතට ශුද්ධාත්මය වැගුරුවේ ඔහුය. පෙන්තකොස්ත උත්සවය පැවැත්වූ අයට එහි යම් වැදගත්කමක් තිබුණාද? ඔව්, ඇත්තෙන්ම එහි වැදගත්කමක් තිබිණ. ඔවුන් යේසුස් කෙරෙහි ඇදහිල්ල තැබුවා නම්, ඔහුගේ මරණය ඔවුන්ගේ පාපවලට සමාව ලබාගැනීමටත්, “ශුද්ධාත්ම දීමනාව” ලැබීමටත් පදනම සැපයීය. (ක්‍රියා 2:22-24, 32, 33, 38) “දෙවිගේ මහිමාන්විත දේවල්” තමන්ගේ සවනට වැකුණු විට එතැන සිටි අය ප්‍රතික්‍රියා කළේ කෙසේද? එමෙන්ම අප යෙහෝවාට කරන සේවය ඇගයීමට මේ වාර්තාව අපට උපකාරවත් විය හැක්කේ කෙසේද?

ක්‍රියාවට පෙලඹී!

4. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී ඉටු වූ යෝවෙල්ගේ අනාවැකිය කුමක්ද?

4 යෙරුසලමෙහි සිටි ශුද්ධාත්මය ලැබූ ගෝලයෝ හැකි විගස ගැළවීමේ ශුභාරංචිය අනිත් අයට පැවසීමට පටන්ගත්හ. මුලින් ඔවුන් දේශනා කළේ පෙන්තකොස්ත දවසේ උදෑසන එක්රැස් වී සිටි අයටයි. ඔවුන් කළ මෙම දේශනා කිරීම මගින් සුවිශේෂී අනාවැකියක් ඉටු විය. ඊට සියවස් අටකට කලින් පෙතුයෙල්ගේ පුත්‍රයා වූ යෝවෙල් විසින් වාර්තා කළ එම අනාවැකියේ මෙසේ සඳහන් වේ. “මාංසමය වූ සියල්ලන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය. නුඹලාගේ මහල්ලෝ ස්වප්න දකින්නෝය. නුඹලාගේ යෞවනයන්ට දර්ශන පෙනෙනවා ඇත. ඒ දවස්වලදී දාසයන් සහ දාසීන් කෙරෙහි පවා මාගේ ආත්මය වගුරුවන්නෙමි.” මෙය සිදු වන්නේ “යෙහෝවාගේ මහත් වූ භයානක වූ දවස පැමිණෙන්ට පළමුවෙන්” බව එම අනාවැකියේ තවදුරටත් සඳහන් වේ.—යෝවෙල් 1:1; 2:28, 29, 31; ක්‍රියා 2:17, 18, 20.

5. මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් අනාවැකි පැවසුවේ කිනම් අර්ථයකින්ද? (පාද සටහන බලන්න.)

5 එම අනාවැකියෙන් අදහස් කළේ දෙවි විසින් දාවිත්, යෝවෙල් වැනි පුරුෂයන්ගෙන් සහ දෙබොරා වැනි ස්ත්‍රීන්ගෙන් සමන්විත අනාගතවක්තෘවරුන්ගේ නව පරම්පරාවක් බිහි කොට, ඔවුන් ලවා අනාගතයේ සිදු වන දේවල් පුරෝකථනය කරනු ඇති බවද? නැත. ක්‍රිස්තියානි ‘පුතුන් හා දූවරුන්ද දාසයන් හා දාසීන්ද’ යම් ආකාරයකින් අනාවැකි පවසනු ඇත්තේ, ඔවුන් යෙහෝවාගේ ආත්මයෙන් පෙලඹී යෙහෝවා ඒ වන විටත් කර තිබූ හා කිරීමට නියමිතව තිබූ “මහිමාන්විත දේවල්” ප්‍රකාශ කරනු ඇතැයි යන අදහසිනි. මෙසේ ඔවුන් මහෝත්තමයාගේ නියෝජිතයන් වශයෙන් ක්‍රියා කරනු ඇත. * එනමුත් පේතෘස්ට සවන් දී ගෙන සිටි සෙනඟ ප්‍රතික්‍රියා කළේ කෙසේද?—හෙබ්‍රෙව් 1:1, 2.

6. පේතෘස්ගේ කතාවට සවන් දීමෙන් පසු සෙනඟ අතර සිටි බොහෝදෙනෙකු පෙලඹුණේ කුමක් කිරීමටද?

6 පේතෘස්ගේ පැහැදිලි කිරීමට සවන් දුන් පසු සෙනඟ අතර සිටි බොහෝදෙනෙකු තමන්ට අසන්ට ලැබුණු දේවලට අනුව ක්‍රියා කිරීමට පෙලඹිණ. ඔවුහු ‘ඔහුගේ වචනය උද්‍යෝගයෙන් පිළිගෙන බව්තීස්ම වූහ. එදින තුන්දහස්දෙනෙක් පමණ ඔවුන්ට එකතු වූහ.’ (ක්‍රියා 2:41, NW) ඔවුන් උපතින්ම යුදෙව්වන් හා යුදෙව් ආගම වැලඳගත් අය වූ නිසා ශුද්ධ ලියවිලි ගැන මූලික දැනුමක් ඒ වන විටත් ඔවුන් ලබා තිබිණ. එම දැනුම හා පේතෘස්ගෙන් ඔවුන් ඉගෙනගත් දේවල් කෙරෙහි තැබූ ඇදහිල්ල, “පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයට” බව්තීස්ම වීමට ඔවුන් සඳහා පදනම සැපයීය. (මතෙව් 28:19) බව්තීස්ම වීමෙන් පසු “ඔවුහු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහි . . . පැවතුණහ.” ඒ අතරම ඔවුහු තමන්ගේ අලුත් ඇදහිල්ල ගැන අනිත් අය සමඟ කතා කරන්ට පටන්ගත්හ. “ඔවුහු දවසින් දවස නොකඩවම එක්සිත්ව දේවමාළිගාවේ සිටිමින් . . . දෙවිට ස්තුති ප්‍රශංසා කරමින්, සෙනඟට ප්‍රිය උපදින ලෙස ක්‍රියා කරමින් පසු වුණෝය.” ඔවුන් මෙසේ සාක්ෂි දැරීමේ ප්‍රතිඵලයක් හැටියට ‘යෙහෝවා ගැළවෙන්නාවූ අයව දවස්පතා ඔවුන්ට එක් කළේය.’ (ක්‍රියා 2:42, 46, 47) අලුතින් ඇදහිලිවන්තයන් බවට පත් වූ අය විසූ ස්ථාන බොහොමයක ඉතා ඉක්මනින් ක්‍රිස්තියානි සභා එකක් පාසා එකක් බිහි විය. ඔවුන් ආපසු තමන්ගේ නිවෙස් බලා පැමිණි පසු “ශුභාරංචිය” දේශනා කිරීමට ජ්වලිතව දැරූ වෑයම් යම් දුරකට එම වර්ධනයට හේතු වූ බවට සැකයක් නැත.—කොලොස්සි 1:23.

දෙවිගේ වචනය බලවත්ය

7. (අ) අදදින සියලු ජාතීන්ට අයත් ජනයා යෙහෝවාගේ සංවිධානයට ආකර්ෂණය වන්නේ කුමක් නිසාද? (ආ) ඔබේ රටේ සහ ලොව පුරා තවත් වර්ධනය වීමට තිබෙන ඉඩ කඩ ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? (පාදසටහන බලන්න)

7 අදදින දෙවිගේ සේවකයන් වීම සඳහා ආශාවක් දක්වන අය ගැන කුමක් කිව හැකිද? ඔවුන්ද දෙවිගේ වචනය හොඳින් පාඩම් කිරීම අවශ්‍යයි. ඔවුන් මෙසේ පාඩම් කරද්දී යෙහෝවා දෙවි “අනුකම්පාවෙන් පූර්ණ වූ දයාවන්ත වූ උදහස් වීමට ප්‍රමාද වන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ” දෙවි කෙනෙක් බව දැනගන්නවා ඇත. (නික්මයාම 34:6; ක්‍රියා 13:48) එමෙන්ම, යෙහෝවා ප්‍රේමනීය ලෙස යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් සැපයූ මිදීමේ මිලය ගැන ඔවුහු ඉගෙනගන්නෝය. ඔවුන් ඉගෙනගන්න තවත් දෙයක් වන්නේ සියලු පාපවලින් තමන්ව පවිත්‍ර කිරීමට ඔහු වැගුරූ රුධිරයට හැකි බවය. (1 යොහන් 1:7) “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත නැඟිටීමක්” සිදු කිරීමට දෙවි අරමුණු කර තිබෙන බව දැනගැනීමෙන් ඔවුහු කෘතඥපූර්වක වෙති. (ක්‍රියා 24:15) මෙම ‘මහිමාන්විත දේවල’ උල්පත වන යෙහෝවා කෙරෙහි ඇති වන ප්‍රේමයෙන් ඔවුන්ගේ හදවත් පිරී යන අතර මේ අනර්ඝ සත්‍යයන් අනිත් අයටද පවසන්ට පෙලඹීමක් ඔවුන් තුළ ඇති වේ. අනතුරුව ඔවුහු කැප වී දෙවිගේ සේවකයන් වශයෙන් බව්තීස්ම වෙති. ඉන් පසුවද ඔවුහු දිගටම “දෙවි පිළිබඳ නිවැරදි දැනුමෙහි වර්ධනය” වෙති. *කොලොස්සි 1:10, NW; 2 කොරින්ති 5:14.

8-10. (අ) දෙවිගේ වචනය “බලවත්” බව ක්‍රිස්තියානි ස්ත්‍රියකගේ අද්දැකීමෙන් ඔප්පු වන්නේ කෙසේද? (ආ) මේ අද්දැකීමෙන් යෙහෝවා ගැනත් තමන්ගේ සේවකයන් සමඟ ඔහු කටයුතු කරන ආකාරය ගැනත් ඔබ ඉගෙනගත්තේ මොනවාද? (නික්මයාම 4:12)

8 දෙවිගේ සේවකයන් බයිබලය පාඩම් කිරීමෙන් ලබාගන්නා දැනුම මතුපිටට සීමා වී නැත. එම දැනුම ඔවුන්ගේ හදවත්වල පෙලඹවීමේ බලයක් ඇති කර, ඔවුන් සිතන විදිහ වෙනස් කරමින් එම සිතුවිලිවලම රැඳී සිටීමට සලස්වයි. (හෙබ්‍රෙව් 4:12) මේ උදාහරණය සලකා බලන්න. කමීල් නම් කාන්තාව රැකියාව කළේ වැඩිහිටි නිවාසයකයි. එම වැඩිහිටි නිවාසයේ සිටි යෙහෝවාගේ සාක්ෂිකාරියක් වූ මාර්තා, කමීල්ගේ ඇප උපස්ථාන ලැබුවාය. මාර්තා දරුණු ලෙස උන්මාදව සිටි නිසා නිරතුරු අවධානයක් ඇයට අවශ්‍ය විය. කෑම කන්ට, ඇතැම්විට ආහාර ගිලීමට පවා ඇයට නිතර මතක් කරන්ට සිදු විය. කෙසේවෙතත් එක දෙයක් මාර්තාගේ සිතෙහි නොමැකෙන ලෙස ලියැවී තිබිණ. මෙය කුමක්ද කියා අපි දැන් බලමු.

9 දවසක් කමීල් පෞද්ගලික ප්‍රශ්න ගැටලු නිසා අඬමින් සිටිනවා මාර්තා දුටුවාය. කමීල්ව තම අත් දෙකින් තුරුල් කරගෙන තමන් සමඟ බයිබලය පාඩම් කිරීමට කැමතිද කියා මාර්තා ඇගෙන් ඇසුවාය. නමුත් මාර්තාගේ තත්වයේ සිටින කෙනෙකුට බයිබල් පාඩම් පවත්වන්ට පුළුවන්ද? ඔව්, ඇයට පුළුවන් විය. මාර්තාට බොහෝ දේවල් අමතක වී තිබුණත් මහිමවත් දෙවි ගැනත් ඇය බයිබලයෙන් ඉගෙනගෙන තිබූ අනර්ඝ සත්‍යයන් ගැනත් ඇයට අමතක වී නොතිබිණි. සෑම ඡේදයක්ම කියවීමටත් සඳහන් කර තිබෙන ශුද්ධ ලියවිලි පාඨ බැලීමටත් පිටුවේ පහළින් තිබෙන ප්‍රශ්න කියවා උත්තර සැපයීමටත් මාර්තා පාඩම පවත්වන අතරතුර කමීල්ගෙන් ඉල්ලා සිටියාය. මේ ආකාරයට කාලයක් පාඩම කෙරීගෙන ගිය අතර මාර්තාට කළ හැකි දේවල් සීමිත වූවත් කමීල් බයිබලය පිළිබඳ දැනුමෙහි වර්ධනය වූවාය. කමීල් දෙවිට සේවය කිරීමට කැමැත්තක් දක්වන අය සමඟ ඇසුරු කිරීමේ අවශ්‍යතාව වටහාගත් මාර්තා තමාගේ ශිෂ්‍යයාට ඇඳුමක් හා සපත්තු ජෝඩුවක් දුන්නාය. මේ නිසා මුල් වතාවට රාජ්‍ය ශාලාවට යන විට ඇඳගෙන යෑමට සුදුසු ඇඳුමක් කමීල්ට ලැබිණ.

10 මාර්තා පෙන්වූ ප්‍රේමනීය සැලකිල්ල, ආදර්ශය හා ඇදහිල්ල මගින් කමීල් තුළ සෑහෙන පෙලඹීමක් ඇති විය. මාර්තා බයිබලය යොදාගනිමින් තමාට ඉගැන්වූ දේවල් ඉතාමත් වැදගත් දේවල් විය යුතු බව කමීල් නිගමනය කළාය. මන්ද සෑම දෙයක්ම වාගේ අමතක වී තිබුණත් ශුද්ධ ලියවිලිවලින් ඉගෙනගෙන තිබූ දේවල් මාර්තාට අමතක වී තිබුණේ නැත. කලකට පසු කමීල්ව වෙනත් වැඩිහිටි නිවාසයක සේවය කිරීමට මාරු කරන ලදි. ඒ වන විට පියවර ගැනීමට කාලය එළඹී තිබූ බව ඇය තේරුම්ගත්තාය. මාර්තා දුන් ඇඳුම ඇඳගත් කමීල් සපත්තු ජෝඩුවද දමාගෙන ඇයට ලැබුණු පළමු අවස්ථාවේදීම රාජ්‍ය ශාලාවකට ගියාය. එහිදී ඇය බයිබල් පාඩමක් ඉල්ලා සිටියාය. කදිම වර්ධනයක් ලැබූ කමීල් බව්තීස්ම වූවාය.

යෙහෝවාගේ ප්‍රමිති පිළිබිඹු කිරීමට පෙලඹී

11. රාජ්‍ය පණිවිඩය මගින් අප පෙලඹීමක් ලබා තිබෙන බව, ජ්වලිතව දේශනා කිරීමෙහි හවුල් වෙනවාට අමතරව අපට පෙන්විය හැක්කේ කෙසේද?

11 වර්තමානයේ මාර්තා සහ කමීල් මෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් දශලක්ෂ හයකට වැඩි පිරිසක් ලොව පුරා ‘රාජ්‍යයේ ශුභාරංචිය’ දේශනා කරමින් සිටිති. (මතෙව් 24:14; 28:19, 20) මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් මෙන් ඔවුන්ද “දෙවිගේ මහිමාන්විත දේවල්” මගින් මහත් පෙලඹීමක් ලබා තිබේ. යෙහෝවාගේ නාමය දරන්ට හැකිවීම හා ඔහුගේ ආත්මය තමන් මත තිබීම ඔවුන් අගය කිරීමෙන් යුතුව සලකන්නේ ඉමහත් වරප්‍රසාදයක් ලෙසයි. මේ නිසා ඔවුහු තමන්ගේ ජීවිතයේ සෑම කාරණාවකදීම දෙවිගේ ප්‍රමිති අදාළ කරගනිමින්, “යෙහෝවාව පූර්ණ ලෙස ප්‍රසන්න කිරීමේ අරමුණ ඇතුව ඔහුව ගෞරවයට පත් වන ලෙස ගමන් කිරීමට” [NW] හැකි සෑම වෑයමක්ම දරති. මෙහිදී ඇඳුම් පැළඳුම් තෝරාගැනීමේදී හා බාහිර පෙනුම සකස් කිරීමේදී දෙවිගේ ප්‍රමිතිවලට ගරු කිරීමට ඔවුහු සැලකිලිමත් වෙති.—කොලොස්සි 1:10, 12ආ; තීතස් 2:9, 10.

12. ඇඳුම් පැළඳුම් හා බාහිර පෙනුම ගැන 1 තිමෝති 2:9, 10හි දී තිබෙන සුවිශේෂ උපදෙස් මොනවාද?

12 අපේ බාහිර පෙනුම හා සම්බන්ධ ප්‍රමිති යෙහෝවා දී තිබේ. මේ සම්බන්ධයෙන් දෙවි අපේක්ෂා කරන දේවල් කිහිපයක් ගැන ප්‍රේරිත පාවුල් මෙසේ සඳහන් කළේය. “ස්ත්‍රීන් ලජ්ජාවෙන් [සිහි බුද්ධියෙන්, NW] සහ විනීතභාවයෙන් යුක්තව, ඔබින වස්ත්‍ර ඇඳ, ඉසකේ ගෙතීමෙන්වත් රනින්වත් මුතුවලින්වත් අනර්ඝ වස්ත්‍රවලින්වත් නොව, දේවභක්ති නාමය දරන [දෙවිට ගෞරවය කරන බවට කියා සිටින, NW] ස්ත්‍රීන්ට සුදුසු ලෙස යහපත් ක්‍රියාවලින් සැරසෙනවාට කැමැත්තෙමි.” * මේ වදන්වලින් අප ඉගෙනගන්නේ කුමක්ද?—1 තිමෝති 2:9, 10.

13. (අ)‘ඔබින වස්ත්‍රවලින් සැරසීම’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) යෙහෝවාගේ ප්‍රමිති සාධාරණයි කියා අපට පැවසිය හැක්කේ මන්ද?

13 ක්‍රිස්තියානීන් ‘ඔබින වස්ත්‍රවලින් සැරසී’ සිටිය යුතු බව පාවුල්ගේ වදන්වලින් පැහැදිලි වේ. තමන් සැරසී සිටින ආකාරය අපිළිවෙළකට හෝ අශෝභන ලෙස නොතිබිය යුතුය. පිළිවෙළකට, පවිත්‍රව හා ප්‍රසන්න ලෙස ඇඳ පැළඳ සිටීමෙන් දුප්පත් අය ඇතුළු සෑම කෙනෙකුටම එම සාධාරණ ප්‍රමිති පිළිපැදිය හැක. මේ අද්දැකීම සලකා බලන්න. දකුණු අමෙරිකාවේ පිහිටි රටක සිටින සාක්ෂිකරුවන්ට සෑම වසරකම දිස්ත්‍රික් සමුළුවට යෑම සඳහා කැලෑවක් හරහා කිලෝමීටර් ගණනාවක් පයින් ගමන් කිරීමෙන් අනතුරුව තවත් පැය ගණනාවක් ඔරුවකින් ගමන් කිරීමට සිදු වේ. ඔවුන් මෙසේ ගමන් කරන අතරතුරේදී සමහර අයව ඔරුවෙන් ගඟට වැටීම හා වනාන්තරයේ පඳුරුවල පැටලීම නිසා ඇඳුම් ඉරීම සුලබ සිදුවීමකි. මොවුන් සමුළුව පවත්වන ස්ථානයට පැමිණෙන විට ඔවුන්ගේ පෙනුම බොහෝ අවස්ථාවලදී අපිළිවෙළකින් යුක්තයි. මේ නිසා ඔවුහු තමන්ගේ ඇඳුම්වල ගැළවී ගිය බොත්තම් ඇල්ලීමටත්, සිප් නැවත සකස් කරගැනීමටත් සමුළුවේදී අඳින ඇඳුම් සෝදා අයන් කරගැනීමටත් කාලය වැය කරති. යෙහෝවාගේ ආත්මික මේසයෙන් පෝෂණය වීමට තමන්ට ලැබී තිබෙන ආරාධනාව ඉමහත් සේ අගය කරන ඔවුන් කැමති වන්නේ සමුළුවේදී යෝග්‍ය ලෙස ඇඳ පැළඳගෙන සිටීමටයි.

14. (අ) ‘සිහි බුද්ධියෙන් හා විනීතභාවයෙන් යුක්තව’ ඇඳ පැළඳ සිටීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) ‘දෙවිට ගෞරව කරන බවට කියා සිටින අය වශයෙන්’ [NW] ඇඳ පැළඳ සිටීමට අයත් වන්නේ මොනවාද?

14 පාවුල්ගේ වදන්වලින් තවදුරටත් ඇඟවෙන්නේ අප ‘සිහි බුද්ධියෙන් හා විනීතභාවයෙන් යුක්තව’ ඇඳ පැළඳ සිටිය යුතු බවයි. මෙයින් අදහස් කරන්නේ අනවශ්‍ය ලෙස අවධානය ඇදගන්නා, අමුතු, විච්චූර්ණ විලාසිතාවලින් වැළකී සිටිය යුතු බවයි. එමෙන්ම ලිංගික හැඟීම් ඇවිස්සීම හා සිරුරේ වසාගත යුතු තැන් නිරාවරණය කිරීම අප ඇඳ පැළඳගෙන සිටින ආකාරයෙන් සිදු නොවිය යුතු බවද එයින් අදහස් කෙරේ. එමෙන්ම අප අඳින පළඳින ආකාරයෙන් ‘දෙවි කෙරෙහි ගෞරවයක්ද’ පිළිබිඹු විය යුතුයි. ඇත්තෙන්ම මෙය අප කල්පනා කළ යුතු දෙයක් නොවේද? සභා රැස්වීම්වලට පැමිණෙන විට පමණක් විනීත ලෙස ඇඳ පැළඳගෙන පැමිණ වෙනත් අවස්ථාවලදී නොසැලකිලිමත් ලෙස ඇඳ පැළඳ සිටීම සුදුසු දෙයක් නොවේ. අප දවසේ පැය 24 පුරාම ක්‍රිස්තියානීන් හා දේවසේවකයන් වන නිසා සැම විටම අපේ පෞද්ගලික පෙනුමෙන් දේවභක්තිය හා ගෞරවාන්විත ආකල්පයක් විදහාපෙන්විය යුතුයි. අප වැඩ කරන විට හෝ පාසැල් යන විට අඳින ඇඳුම්, ඒ ඒ තත්වයට යෝග්‍ය ලෙස තිබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේවෙතත් අප ඇඳ පැළඳ සිටිය යුත්තේ විනීතව හා ගෞරවාන්විත ලෙසයි. අප දෙවිව විශ්වාස කරන අය බව අන් අයට දැකගත හැකි වන ලෙස අප සැම විටම ඇඳ පැළඳ සිටිනවා නම්, අපේ පෙනුම ගැන ලැජ්ජාසහගත හැඟීමක් ඇතිවීම නිසා අවිධිමත් ලෙස සාක්ෂි දැරීමෙන් අප කවදාවත් වැළකී සිටින්නේ නැත.—1 පේතෘස් 3:15.

‘ලෝකයට ප්‍රේම නොකරන්න’

15, 16. (අ) ඇඳුම් පැළඳුම් හා බාහිර පෙනුම හා සම්බන්ධ කාරණාවලදී අප ලෝකය අනුකරණය කිරීමෙන් වැළකීම වැදගත් වන්නේ මන්ද? (1 යොහන් 5:19) (ආ) ඇඳුම් පැළඳුම් හා බාහිර පෙනුම සම්බන්ධයෙන් අප ලෝකයේ කාලීන විලාසිතාවලින් වැළකී සිටිය යුත්තේ කුමන ප්‍රායෝගික හේතුව නිසාද?

15 අපේ ඇඳුම් පැළඳුම් හා බාහිර පෙනුම සම්බන්ධයෙන් අප කරන තේරීම්වලදී 1 යොහන් 2:15, 16 දී තිබෙන උපදේශයෙන්ද මඟ පෙන්වීමක් ලබාගත හැකියි. එහි අපට මෙසේ කියවීමට තිබේ. “ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේම කෙරේ නම්, පියාණන් කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත. මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් [ජීවිතයේ තමා සතු දේ පුහු ආටෝපයෙන් ප්‍රදර්ශනය කිරීම, NW] පියාණන්ගෙන් නොව ලෝකයෙන් වේ.”

16 එම උපදේශය මොනතරම් කාලෝචිතද! තුල්‍ය පීඩනය වෙන කවරදාටත් වඩා ඉතාමත් ප්‍රබලව පවතින යුගයක පවා අපේ ඇඳුම් පැළඳුම් හා බාහිර පෙනුම සකස් කරගන්නා ආකාරය කෙරෙහි බලපෑම් කිරීමට මේ ලෝකයට ඉඩ නොදිය යුතුයි. මෑතක සිට ඇඳුම් පැළඳුම් හා බාහිර පෙනුම හා සම්බන්ධ විලාසිතා පහත් මට්ටමකට පත් වී තිබේ. මිනිසුන් රැකියාව සඳහා අඳින ඇඳුම් පවා බොහෝ අවස්ථාවලදී ක්‍රිස්තියානීන් සඳහා යෝග්‍ය ප්‍රමිතියක් සපයන්නේ නැත. දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වීමට අපට වුවමනා නම් ‘දැන් පවතින ක්‍රමයට අනුව හැඩගැසීමෙන් වැළකී සිටීමේ’ අවශ්‍යතාව ගැන අප නිතරම සාවධාන විය යුතුය. කලින් සඳහන් කළ තත්වය මේ සඳහා තවත් හේතුවක් සපයයි. මෙසේ දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වීමෙන් ‘දෙවිගේ ධර්මය සියලු කාරණාවලදී අලංකාර කරන්ට’ අපට පුළුවනි.—රෝම 12:2, NW; තීතස් 2:10.

17. (අ) ඇඳුම් මිල දී ගැනීමට සාප්පු යන විට හෝ විලාසිතාවක් තෝරාගැනීමේදී අපට කුමන ප්‍රශ්න සලකා බැලිය හැකිද? (ආ) තම පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලික පෙනුම ගැන පවුල් මූලිකයන් සැලකිලිමත් විය යුත්තේ මන්ද?

17 යම් ඇඳුමක් මිල දී ගන්නවාද නැද්ද කියා තීරණය කරන්ට කලින් ඔබෙන්ම මෙසේ අසාගැනීම ඥානවන්තයි. ‘මේ විලාසිතාවට මගේ සිත ඇදී ගියේ ඇයි? මම හුඟාක් කැමති ප්‍රසිද්ධ කලාකරුවෙකුගේ නම මෙය හා බැඳී තිබෙනවාද? මේ විලාසිතාව මගින් ස්වාධීන මත දරන, කැරලිකාර ස්වභාවයක් විදහාපෙන්වන යම් කල්ලියක් හෝ කණ්ඩායමක්ව හඳුන්වා දෙනවාද?’ ඒ වගේම අප මිල දී ගන්නා ඇඳුම අතට අරගෙන හොඳින් පරීක්ෂා කර බැලිය යුතුයි. එය ගවුමක් හෝ සායක් නම් එහි දිග හා හැඩය ගැන කුමක් කිව හැකිද? මේ ඇඳුම විනීතද, සුදුසුද, ගෞරවාන්විතද නැත්නම් ඇඟට හිර වන එකක්ද? කාමුක හැඟීම් අවුස්සන එකක්ද? අපිළිවෙළකින් යුක්තද? ‘මම මේ ඇඳුම ඇන්දොත් අනිත් අය බාධාවට පත් වෙයිද?’ කියාත් ඔබෙන්ම අසාගන්න. (2 කොරින්ති 6:3, 10ආ) ඉහත සඳහන් දේවල් ගැන අප සැලකිලිමත් විය යුත්තේ මන්ද? ‘ක්‍රිස්තුස් පවා තමන්ව සතුටු කර නොගත්’ බව බයිබලය පවසන නිසාය. (රෝම 15:3) තම පවුලේ සාමාජිකයන් සැරසී සිටින ආකාරය ගැන ක්‍රිස්තියානි පවුල්වල මූලිකයන් සැලකිලිමත් විය යුතුය. තමන් නමස්කාර කරන මහිමාන්විත දෙවි කෙරෙහි තිබෙන ගෞරවය නිසා, අවශ්‍ය අවස්ථාවලදී පවුල් මූලිකයන් පසුබට නොවී ස්ථිර නමුත් ප්‍රේමනීය උපදෙස් තම පවුලේ සාමාජිකයන්ට දිය යුතුය.—යාකොබ් 3:13.

18. ඔබේ ඇඳුම් පැළඳුම් හා පෙනුම ගැන හොඳ අවධානයක් දීමට ඔබව පොලඹවන්නේ කුමක්ද?

18 අප මිනිසුන්ට දන්වන පණිවිඩය අපට ලැබී තිබෙන්නේ යෙහෝවාගෙනි. ඔහු ගෞරවයේ හා ශුද්ධකමේ ශ්‍රේෂ්ඨතම ප්‍රතිමූර්තියයි. (යෙසායා 6:3) බයිබලය අපව දිරිගන්වන්නේ “ප්‍රිය දරුවන් මෙන්” ඔහුව අනුකරණය කරන්ට කියායි. (එපීස 5:1) අපේ ඇඳුම් පැළඳුම් හා බාහිර පෙනුම මගින් අපේ ස්වර්ගික පියා කෙරෙහි හිතකර හෝ අහිතකර යමක් කියාපාන්ට පුළුවනි. අප සෑම කෙනෙකුම කැමති ඔහුගේ සිත සතුටු කිරීමට බව නිසැකයි!—හිතෝපදේශ 27:11.

19. “දෙවිගේ මහිමාන්විත දේවල්” අන් අයට පැවසීමෙන් ලබන ප්‍රයෝජන මොනවාද?

19 ඔබ ඉගෙනගෙන තිබෙන “දෙවිගේ මහිමාන්විත දේවල්” ගැන ඔබට හැඟෙන්නේ කෙසේද? ඇත්තෙන්ම අපට සත්‍යය ඉගෙනගන්ට ලැබීම මොනතරම් උතුම් වරප්‍රසාදයක්ද! යේසුස් ක්‍රිස්තුස් වැගිරූ රුධිරය කෙරෙහි අප ඇදහිල්ල තබන නිසා අපේ පාපවලට සමාව අපට ලැබේ. (ක්‍රියා 2:38) මෙහි ප්‍රතිඵලයක් හැටියට දෙවි ඉදිරියෙහි කතා කිරීමේ නිදහස අපට තිබේ. බලාපොරොත්තුවක් නැති අය මෙන් අපි මරණයට බිය නොවෙමු. මන්ද යම් දවසක ‘[සිහිවීමේ, NW] සොහොන් ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසී පිටත්ව එන’ බවට යේසුස් දුන් සහතිකය අපට තිබෙන නිසාය. (යොහන් 5:28, 29) මේ සෑම දෙයක්ම අපට අනාවරණය කිරීමෙන් යෙහෝවා අපට පෙන්වා තිබෙන අනුග්‍රහය මොනතරම්ද! එපමණක්ද නොව ඔහුගේ ආත්මය ඔහු අපට ලබා දී තිබේ. මේ සෑම යහපත් ත්‍යාගයක් සඳහාම අප කෘතඥ විය යුතු නැද්ද? එසේනම් ඔහුගේ උසස් ප්‍රමිතිවලට ගරු කිරීමටත් අනිත් අයට මේ “මහිමාන්විත දේවල්” ජ්වලිතව ප්‍රකාශ කරමින් ඔහුව පැසසුමට ලක් කිරීමටත් අපි පෙලඹෙමු!

[පාදසටහන්වල]

^ 5 ඡේ. තම සෙනඟ වෙනුවෙන් ඵාරාවෝට කතා කිරීමට මෝසෙස්ව සහ ආරොන්ව පත් කළ අවස්ථාවේදී යෙහෝවා මෝසෙස්ට මෙසේ පැවසුවේය. “මම නුඹ ඵාරාවෝට දෙවි කෙනෙකු කොට තැබුවෙමි. නුඹේ සහෝදරයා වූ ආරොන් නුඹේ ප්‍රොපේතවරයා වන්නේය.” (නික්මයාම 7:1, අකුරු ඇල කළේ අපය.) ආරොන් අනාගතවක්තෘවරයෙකු ලෙස කටයුතු කළේ අනාගත සිද්ධීන් පුරෝකථනය කිරීමෙන් නොව, මෝසෙස්ගේ නියෝජිතයා නොහොත් ඔහු වෙනුවෙන් කතා කරන්නා වශයෙන් සේවය කිරීමෙනි.

^ 7 ඡේ. වසර 2002 මාර්තු 28වනදා සමරන ලද ස්වාමීන්ගේ රාත්‍රි භෝජනයට අතිවිශාල පිරිසක් පැමිණ සිටි අතර, ඔවුන් අතර සිටි දශලක්ෂ ගණනක් තවමත් යෙහෝවාට ක්‍රියාශීලී ලෙස සේවය කරන අය නොවෙති. අපේ අවංක ආශාව වන්නේ උනන්දුව දක්වන ඒ අයගෙන් විශාල පිරිසක් ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ වරප්‍රසාදය භුක්ති විඳීම සඳහා සුදුසුකම් ලැබීමට පෙලඹෙනවා දැකීමයි. අපි ඒ සඳහා යාච්ඤා කරන්නෙමු.

^ 12 ඡේ. පාවුල් එම වදන්වලින් ඇමතුවේ ක්‍රිස්තියානි ස්ත්‍රීන්ව වූවත් එම ප්‍රතිපත්ති එක හා සමානව ක්‍රිස්තියානි පුරුෂයන්ට හා තරුණ තරුණියන්ටද අදාළ වේ.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී රැස්ව සිටි සෙනඟට අසන්ට ලැබුණු “මහිමාන්විත දේවල්” මොනවාද? ඔවුන් එයට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

• යමෙකු යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයෙකු බවට පත් වන්නේ කෙසේද? ගෝලයෙකු වීමට අයත් වන්නේ කුමක්ද?

• අපේ ඇඳුම් පැළඳුම් හා බාහිර පෙනුම ගැන සැලකිලිමත් වීම වැදගත් වන්නේ මන්ද?

• ඇඳුමක් හෝ විලාසිතාවක් තමන්ට සුදුසුද කියා තීරණය කිරීමේදී සැලකිල්ලට ගත යුතු දේවල් මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

යේසුස්ව මළවුන්ගෙන් නැඟුටුවා තිබූ බව පේතෘස් දැන්නුවේය

[17වන පිටුවේ පින්තූර]

ඔබේ බාහිර පෙනුම මගින් ඔබ නමස්කාර කරන දෙවි ගැන කියාපාන්නේ හිතකර යමක්ද?

[18වන පිටුවේ පින්තූර]

තම පවුලේ අයගේ පෙනුම ගැන ක්‍රිස්තියානි දෙමාපියන් සැලකිලිමත් විය යුතුයි