මිථ්‍යා විශ්වාසවල බලපෑමට හසු වූ විට
මිථ්‍යා විශ්වාසවල බලපෑමට හසු වූ විට
නිවසින් පිටත් වන විට ඔබට යමෙකුව මුණගැසෙනවා. ඔබේ කකුලේ ඇඟිල්ලක් ගලක හැප්පෙනවා. රෑ යාමයේදී එක්තරා කුරුලු විශේෂයක් කෑගසනවා. ඔබ විටින් විට එකම සිහිනය දකිනවා. මේවා බොහෝදෙනෙක් සලකන්නේ හානිකර නොවන සාමාන්‍ය සිදුවීම් ලෙසයි. නමුත් බටහිර අප්‍රිකාවේ සමහරෙකු ඒවා සලකන්නේ ආත්ම විෂයෙන් පැමිණෙන ලකුණු, පෙර නිමිති හෝ පණිවිඩ වශයෙනුයි. ලකුණ හා එහි අර්ථ දැක්වීමට අනුව එය සුභ හෝ අසුභ නිමිත්තක් විය හැකි බවට විශ්වාස කෙරෙනවා.
මිථ්‍යා විශ්වාසයන් පවතින්නේ අප්‍රිකාවේ පමණක් නොවන බව නොකිවමනායි. අවුරුදු ගණනාවක් පුරාම අදේවවාදය නිල වශයෙන් පිළිගෙන සිටින චීනයේ හා කලින් සෝවියට් දේශයේ විවිධ ජනරජවල පවා විශාල පිරිසක් තවමත් මිථ්‍යා විශ්වාසවලට තදින් ඇලී සිටීම පුදුම දනවන්නක්. බටහිර ලෝකයේ බහුතරයක් තම හඳහන බැලීමට පුරුදු වී සිටිනවා. ඔවුන් 13වන සිකුරාදා සලකන්නෙත් භයංකර දවසක් ලෙසයි. ඒ වගේම කළු පූසන්ව මූලිච්චි වීමෙන් ඔවුන් වැළකී සිටිනවා. උතුරු අර්ධගෝලයේ වෙසෙන සමහර අය උත්තරාලෝකය සලකන්නේ යුද්ධයේ හෝ වසංගතයේ පෙර නිමිත්තක් වශයෙන්. ඒ වගේම ඉන්දියාවේ ට්‍රක් රියැදුරන් සිතන්නේ ඌෂ්ණාධික දිනකදී ගතට සිසිලසක් ලබන්න නම් තමන් ලිංගික සම්බන්ධකම් පැවැත්විය යුතු බවයි. ඔවුන්ගේ මෙම ක්‍රියා කලාපය නිසා ඒඩ්ස් වසංගතය පැතිරෙමින් පවතිනවා. ජපානයේ උමං ඉදි කරන්නන් විශ්වාස කරන්නේ උමඟ ඉදි කර අවසන් කිරීමට පෙර එයට කාන්තාවක් ඇතුල් වුණොත් එය අසුභ ලකුණක් කියා. ක්‍රීඩා ලෝකයේ පවා මිථ්‍යා විශ්වාසයන්ගේ අඩුවක් නැහැ. එක් වොලිබෝල් ක්‍රීඩකයෙක් පැවසුවේ තමා නිතරම දිනන්නේ සුදු මේස් වෙනුවට කළු මේස් පළඳින නිසා කියායි. ඇත්තෙන්ම මිථ්‍යා විශ්වාසවල ලැයිස්තුවට නම් නිමක් නැහැ.
ඔබේ තත්වය කුමක්ද? ඔබේ සිතේ පැහැදිලි කළ නොහැකි සැඟවුණු බියක් තිබෙනවාද? “තර්කානුකූලව පැහැදිලි කළ නොහැකි විශ්වාසයක්, අඩ විශ්වාසයක් හෝ සිරිතක් ඔබට යම් ආකාරයකින් බලපෑම් කරනවාද?” ඔබ එම ප්‍රශ්නයට දෙන පිළිතුර මගින් මිථ්‍යා විශ්වාස ඔබව පාලනය කරනවාද නැද්ද යන්න හෙළි විය හැකියි. මන්ද එක් මූලාශ්‍රයක ‘මිථ්‍යා විශ්වාස’ නිර්වචනය කර තිබෙන්නේ එලෙසයි.
තීරණ ගනිද්දී හා දෛනික ජීවිතයේ කටයුතුවලදී නිතරම මිථ්‍යා විශ්වාසවලට ඇලී ගැලී සිටීම හරි හැටි නොතේරෙන යමකට තමන්ව පාලනය කිරීමට ඉඩහැරීමක්. එය ඇත්තෙන්ම බුද්ධිමත් දෙයක් කියා සිතිය හැකිද? පැහැදිලි කළ නොහැකි මෙන්ම සමහරවිට දුෂ්ට යමකට අපව යටත් කරන්න අප ඉඩ දිය යුතුද? මිථ්‍යා මත විශ්වාස කිරීම එතරම්ම ගණනකට නොගත යුතු මිනිස් නැඹුරුවාවක්ද? නැත්නම් එමගින් භයානක තර්ජනයක් එල්ල විය හැකිද?