වයසින් මුහුකුරා ගිය තෘප්තිමත් ජීවිතයක්
ජීවිත කතාව
වයසින් මුහුකුරා ගිය තෘප්තිමත් ජීවිතයක්
පැවසුවේ මියුරියල් ස්මිත්
ඉස්සරහ දොරට දෙදුරුම්කන තරම් හයියෙන් ගහනවා ඇහුණා. උදේ දේශනා සේවයේ ගිහිල්ලා මම දවල් කෑම කන්න ගෙදර ආවා විතරයි. වෙනදා වගේම එදත් තේ එකක් හදාගන්න වතුර උණු වෙන්න තියලා මම කකුල් දෙක දිග හැරලා පැය භාගයක් විතර පුටුවේ හාන්සි වෙන්න ගියා. එතකොටම තමයි දොරට හයියෙන් ගහන සද්දය ඇහුණේ. ඒ සද්දේ හරි වේගවත්ව එක දිගටම ඇහුණා. මම දොර ළඟට යන ගමන් කල්පනා කළා කවුද මේ වේලාවේ ඇවිත් තියෙන්නේ කියලා. මට ඒක දැනගන්න වැඩි වේලාවක් ගියේ නැහැ. මගේ ගෙදර දොර පඩිය උඩ හිටපු දෙන්නා ඔවුන් පොලිසියේ නිලධාරීන් බව හඳුන්වා දුන්නා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද පොත් පත් ගෙදර තියෙනවාද කියා සොයා බැලීමට ඔවුන් පැමිණි බව කිව්වා. ඒ කාලයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය තහනම් කරලයි තිබුණේ.
ඕස්ට්‍රේලියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කර තිබුණේ ඇයි? මම ඔවුන්ගෙන් කෙනෙක් වුණේ කොහොමද? වර්ෂ 1910දී මට අම්මාගෙන් තෑග්ගක් ලැබුණට පස්සෙයි මේ හැම දෙයක්ම පටන්ගත්තේ. මට එතකොට වයස අවුරුදු දහයයි.
අපි ජීවත් වුණේ සිඩ්නිවල උතුරු ප්‍රදේශයේ ක්‍රෝස් නෙස්ට් කියන ගමේ ලෑලි ගෙදරක. දවසක් මම ඉස්කොලේ ඇරිලා ගෙදර එනකොට දැක්කා අම්මා ඉස්සරහ දොර ළඟ මනුෂ්‍යයෙක් එක්ක කතා කර කර ඉන්නවා. පිළිවෙළකට ඇඳ පැළඳ බෑගයක් පුරවලා පොත් පත් ගෙනත් තිබුණු මේ මනුෂ්‍යයා කවුද කියලා දැනගන්න මා තුළ කුතුහලයක් තිබුණා. මම ලජ්ජාවෙන් බලා සිට ගේ ඇතුළට දිව්වා. කොහොමවුණත් මිනිත්තු කිහිපයකට පස්සේ අම්මා මට කතා කළා. ඇය කිව්වා “මේ මහත්මයා ළඟ ශුද්ධ ලියවිලි ගැන කතා කරන ලස්සන පොත් පත් තියෙනවා. ඔයාගේ උපන් දිනේත්
ළඟයිනේ. ඔයාට ලස්සන ගවුමක් ඕනේද නැත්නම් මේ පොත් ඕනේද? ඔයාට කැමති එකක් තෝරාගන්න පුළුවන්” කියලා.“අම්මේ මම පොත් ටික ගන්නම්. ගොඩක් ස්තූතියි” කියා මම ප්‍රතිචාරය දැක්වුවා.
මේ අනුවයි මට අවුරුදු දහයේදී චාල්ස් ටේස් රසල් විසින් ලියන ලද ශුද්ධ ලියවිලිවල අධ්‍යයනය (සිංහලෙන් නැත) යන පොත් කාණ්ඩ තුන ලැබුණේ. පොත් ටික ගෙනාපු මනුෂ්‍යයා අම්මට කිව්වා පොත්වල තියෙන කාරණා ටිකක් ගැඹුරු නිසා ඒවා මට තේරුම් කරලා දෙන්න වේවි කියලා. අම්මා ඒ වගකීම ඉටු කරන්න සතුටින් භාරගත්තා. අභාග්‍යකට වගේ මේ සිද්ධිය වෙලා ටික දිනකින් මගේ අම්මා මැරුණා. මල්ලීවයි, නංගිවයි මාවයි තාත්තා ඉතා හොඳින් බලාගත්තා. ඒත් මට තවත් අමතර වගකීම් පැවරිලා තිබුණා. මේවායින් මම යටපත් වෙලයි හිටියේ. නමුත් වැඩි කල් නොගොස් තවත් ඇබැද්දියකට මුහුණ දෙන්න සිද්ධ වුණා.
වර්ෂ 1914දී පළමුවෙනි ලෝක මහ යුද්ධය පටන්ගත්තා. එයින් අවුරුද්දකට විතර පස්සේ අපේ එකම රැකවරණය වූ තාත්තාව මරනු ලැබුවා. අනාථ දරුවන් හැටියට නංගිවයි, මල්ලිවයි අපේ ඥාතියෙක් ළඟට ඇරියා. මාව කතෝලික නේවාසික පාසැලක නතර කළා. සමහර අවස්ථාවලදී මම අද්දැක්ක තනිකම පාළුව මෙතෙක් යැයි කියන්න බැරි තරම්. මගේ ප්‍රියතම විනෝදාංශය වන සංගීතය, විශේෂයෙන්ම පියානෝ වාදනය ඉගෙනගැනීමට ලබා දුන් අවස්ථාව සම්බන්ධයෙන් මම තවමත් අගය කරනවා. කාලය ගෙවී යනවාත් සමඟම මම නේවාසික පාසැල් අධ්‍යාපනය නිම කළා. වර්ෂ 1919දී මා සංගීත භාණ්ඩ අලෙවි කරන්නෙකු වශයෙන් සේවය කළ රෝයි ස්මිත් හා විවාහ වුණා. වර්ෂ 1920දී අපේ පවුලට අලුත් සාමාජිකයෙක් එකතු වීමත් සමඟම මම එදිනෙදා වැඩ කටයුතුවල යෙදීමෙන් කාර්ය බහුල වුණා. ඒ අතරතුර අර පොත් ටිකට මොකද වුණේ?
අසල්වැසියෙක් ආත්මික සත්‍යය බෙදාගනී
ඒ අවුරුදු ගණනාව තුළ මම යන යන තැන “බයිබල් පොත්” ටික ගෙන ගියා. මම ඒවා හොඳින් කියවලා තිබුණේ නැති වුණත් මම දැනගෙන හිටියා ඒවායේ තියෙන්නේ වැදගත් පණිවිඩයක් කියලා. වර්ෂ 1920 අග භාගයේදී දවසක් අපේ අසල්වැසියෙක් වන ලිල් බිම්සන් අපේ ගෙදර ආවා. අපි තේ ටිකක් බොන්න විසිත්ත කාමරයට ගිහින් වාඩි වුණා.
“ආහ්, ඔයා ළඟත් මේ පොත් තියෙනවද” කියලා ඇය එකපාරටම ඇහුවා.
“මොන පොත්ද” කියා මම ඇහුවා.
පොත් රාක්කයේ තිබූ ශුද්ධ ලියවිලිවල අධ්‍යයනය නමැති පොත් දෙසට ඇය ඇඟිල්ල දික් කරලා පෙන්නුවා. ඇය ඒ පොත් මගෙන් ඉල්ලාගෙන ගෙදර ගිහින් උනන්දුවෙන් කියෙව්වා. ඇය මේ සම්බන්ධව දැක්වූ උනන්දුව ඇගේ ක්‍රියාවෙන් පෙනුණා. එවකට බයිබල් ශිෂ්‍යයන් යනුවෙන් හැඳින්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් ලිල් තවත් බොහෝ පොත් පත් ලබාගත්තා. ඒ විතරක් නෙවෙයි, ඒවායින් ඉගෙනගත් තොරතුරු අපිටත් කියා දුන්නා. එලෙස ලබාගත් පොත් පත් අතරින් දෙවිගේ වීණාව (සිංහලෙන් නැත) නම් පොත වැඩි කල් නොගොස් අපේ ගෙදරටත් ගෙනාවා. බයිබලය ආශ්‍රිතව ලියන ලද මෙම පොත කියවීමට කාලය වෙන් කරගත්තාට පස්සෙයි මම යෙහෝවාට සේවය කරන්න පටන්ගත්තේ. අවසානයේදී පල්ලියෙන් ලබාගන්න බැරි වී තිබුණු මූලික ප්‍රශ්නවලට පිළිතුරු මේ පොත්වලින් මට ලැබුණා.
ප්‍රීතියට කාරණයක් නම් රෝයිද බයිබල් සත්‍යය කෙරෙහි දැඩි උනන්දුවක් පෙන්වීමයි. අපි දෙන්නම උද්‍යෝගිමත් බයිබල් ශිෂ්‍යයන් වුණා. රෝයි කලින් ෆ්‍රීමේසන්ස් සංවිධානයේ (17වන සියවසේදී පමණ ආරම්භ වූ රහස් සංවිධානයක්) සාමාජිකයෙක්ව සිටියා. නමුත් පස්සේ අපේ පවුල සත්‍ය නමස්කාරයේ එක්සත්ව ගමන් කරන්න පටන්ගත්තා. අපේ පවුලේ සියලුදෙනාම සමඟ සතියකට දෙවතාවක් සහෝදරයෙක් බයිබල් පාඩමක් පැවැත්තුවා. අපි රැස්වීම්වලට යන්න පටන්ගත්තාම බයිබල් ශිෂ්‍යයන්ගෙන් තවත් දිරිගැන්වීම් ලැබුණා. එතකොට රැස්වීම් පැවැත්වුණේ සිඩ්නි නගරයේ නිව් ටවුන් නම් ගමක කුලියට ගත්
කුඩා ශාලාවක. ඒ වෙන කොට මුළු රටේම හිටියේ සාක්ෂිකරුවන් 400දෙනෙකුට ටිකක් අඩුවෙන්. ගොඩාක් සහෝදරයන්ට රැස්වීම්වලට සහභාගි වෙන්න සෑහෙන දුරක් ගමන් කරන්න තිබුණා.අපි හැම රැස්වීමකටම ගියේ සිඩ්නි වරාය හරහායි. වර්ෂ 1932දී සිඩ්නි වරායේ පාලම හදන්න කලින් වරාය හරහා ගියේ තොටුපළ බෝට්ටුවෙන්. මේ ගමන සඳහා කොතරම් කාලයක් හා මුදලක් වැය වුණත් නිතිපතා යෙහෝවා සපයන ආත්මික ආහාර ලබාගන්න දැඩි උනන්දුවකින් කටයුතු කළ අපි එක රැස්වීමක්වත් අතපසු නොකරන්න වෑයම් කළා. සත්‍යයේ ස්ථිරව සිටීමට දැරූ හැම වෑයමක්ම වටිනවා. මේ කාලය වන විට දෙවෙනි ලෝක මහා යුද්ධය උත්සන්න වෙමින් තිබුණු අතර මධ්‍යස්ථභාවය සම්බන්ධ ප්‍රශ්නය අපේ පවුලට කෙළින්ම බලපාන බව දැනගෙන හිටියා.
පරීක්ෂා හා ආශීර්වාදවලට කාලයක්
වර්ෂ 1930ගණන්වල මුල් භාගය අපට අමතක නොවන කාලයක්. හේතුව මමයි මගේ පවුලේ අයයි අලුත් අද්දැකීම් සමූහයක් ඒ කාලේ අද්දැක්කා. මම 1930දී බව්තීස්ම වුණා. ඒ වගේම 1931දී යෙහෝවාගේ සාක්ෂිකරුවන් යන ඒ ලස්සන නම අපට හඳුන්වා දුන් සමුළුවට සහභාගි වෙන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ සමුළුවේදී අපි සැමෝම අපිව ඒ නමින් හඳුන්වනු ලැබීමටකැමතියි කියා උද්‍යෝගයෙන් එක හඬින් කියා සිටියා. එම නමට එකඟව ජීවත් වීම සඳහා රෝයි සහ මම සංවිධානය විසින් හඳුන්වා දුන් දේශනා කිරීමේ සියලුම ක්‍රම හා ව්‍යාපෘතීන් සතුටින් දියත් කළා. උදාහරණයක් ලෙස 1932දී සිඩ්නි වරායේ පාලම විවෘත කිරීමේ දවසට පැමිණි විශාල ජනකායට පොත් පිංච බෙදා දීමේ විශේෂ ව්‍යාපෘතියේ අපි යෙදුණා. මෙම ව්‍යාපෘතීන්වල එක් විශේෂත්වයක් වූයේ මෝටර් රථවලට සවි කළ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පණිවිඩය දැනුම් දීමයි. අපේ කාර් එකත් මෙම ප්‍රචාරණ කටයුතු සඳහා පාවිච්චි කිරීමට ලැබීම මහත් භාග්‍යයක්. මේ විදිහට අපි පටිගත කරන ලද සහෝදර රදෆඩ්ගේ බයිබල් දේශන මුළු නගරය පුරා රැව් පිළිරැව් දෙන්න සැලැස්සුවා.
කෙසේවෙතත් අප ඉදිරියේ තිබුණේ අසීරු කාලපරිච්ඡේදයක්. වර්ෂ 1932දී ඕස්ට්‍රේලියාව මහා ආර්ථික පරිහානියකට මුහුණ දුන් අතර මෙය අපටද බෙහෙවින් බලපෑවා. අපේ ජීවිත සරල කරගැනීමට අපි දෙන්නා එකඟ වුණා. මේ සඳහා අප ගත් එක පියවරක් නම් රාජ්‍ය ශාලාවට ආසන්නව පදිංචියට යෑමයි. ඒකෙන් අපේ ගමනා ගමන වියදම අඩු කරගන්න පුළුවන් වුණා. දෙවන ලෝක මහා යුද්ධය නිසා අද්දුටු දේවල් හා සසඳන කොට මේ ආර්ථික ගැටලු එතරම් දෙයක් නොවෙයි කියලා අපට හිතුණු වාර ගණන අනන්තයි.
ලෝකයේ කොටසක් නොවන්න යන යේසුස්ගේ ආඥාවට කීකරු වීම නිසා ඕස්ට්‍රේලියාව ඇතුළු මුළු ලෝකයේම යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝ පීඩා වින්දා. යුද්ධයෙන් මනස පිරිහී තිබුණු විරුද්ධවාදීන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව කොමියුනිස්ට්වාදීන් යයි හැඳින්වුවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඕස්ට්‍රේලියාවේ තිබුණු ඔවුන්ගේ ගුවන් විදුලි මධ්‍යස්ථාන හතර පාවිච්චි කරලා ජපානයේ හමුදාවට පණිවිඩ යවන බව මෙම විරුද්ධවාදීන් චෝදනා කළා.
යෞවන සහෝදරයන්ව හමුදා සේවයට බඳවාගැනීමට උත්සාහ කළ අතර ඔවුන්ට එම පීඩනයෙන් මිදී මධ්‍යස්ථභාවය රැකගැනීමට සෑහෙන්න වෑයමක් දරන්න සිදු වුණා. මගේ පුත්තු තුන්දෙනාම ඔවුන්ගේ ඇදහිල්ල සම්බන්ධයෙන් ස්ථාවරයක් ගෙන මධ්‍යස්ථභාවය රැකගැනීම ගැන මම ගොඩාක් සතුටු වුණා. මගේ වැඩිමහල් පුතා රිචඩ් මාස 18ක සිර දඬුවමක් ලැබුවා. මගේ දෙවෙනි පුතා කෙවින් හෘදය සාක්ෂියට එකඟව යුද හමුදාවට බැඳෙන්න බැරි බවට ලියාපදිංචි වුණා. මගේ බාල පුතා ස්ටුඅර්ට් ඔහුගේ මධ්‍යස්ථභාවය සම්බන්ධ නඩු විභාගයකට පෙනී සිටීමට යන අතරමඟදී රිය අනතුරකින් මිය ගියා. මේ මරණය අපි හැමෝටම දරාගන්න බැරි මහත් කම්පාවක් වුණා. ඒත් යෙහෝවාගේ රාජ්‍යය කෙරෙහි නෙත් යොමාගෙන සිටීම නිසාත් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව තියෙන නිසාත් අපට මේ දේ දරාගන්න ශක්තියක් ලැබුණා.
ඔවුන්ට වටිනාම දේ ලැබුණේ නැහැ
වර්ෂ 1941 ජනවාරි මාසයේ ඕස්ට්‍රේලියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරනු ලැබුවා. නමුත් යේසුස්ගේ ප්‍රේරිතයන් වගේ රෝයි සහ මම මනුෂ්‍යයන්ට වඩා දෙවිට කීකරු වුණා. අවුරුදු දෙකහාමාරක් විතර අපි රහසිගතව වැඩ කළා. මේ දවස්වලදී තමයි මම මුලින් සඳහන් කළ පොලිස් නිලධාරීන් දෙන්නා සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන ඇවිත් මගේ දොරට තට්ටු කළේ. ඊට පස්සේ මොකක්ද වුණේ?
මම ඔවුන්ව ඇතුළට ආරාධනා කළා. ඊට පස්සේ මම ඔවුන්ගෙන් ඇහුවා “ඔයගොල්ලන් ගේ සෝදිසි කරන්න පටන්ගන්න කලින් මම තේ එක බීලා ආවාට කමක් නැද්ද” කියලා. පුදුමයකට වගේ ඔවුන් කැමති වුණා. මම ඉක්මනට කුස්සියට ගිහිල්ලා යෙහෝවාට යාච්ඤා කරලා මගේ සිතුවිලි එකලාසයක් කරගත්තා. මම ආවාට පස්සේ එක් පොලිස් නිලධාරියෙක් අපේ පුස්තකාලයෙන් මුරටැඹ ලාංඡනය තිබුණු සියලුම පොත් පත් අරගත්තා. ඒ විතරක් නෙවෙයි
මගේ දේශනා මල්ලේ තිබුණු පොත් පත් හා බයිබලයත් ගත්තා.“ඔයා වෙන කොහෙ හරි පෙට්ටිවල පොත් පත් හංගලා තියෙනවද” කියලා ඔහු ඇහුවා. “ඔයා මේ පාර කෙළවරේ ඇති ශාලාවක පවත්වන රැස්වීම්වලට හැම සතියේම යනවා කියලත් එහෙට යනකොට ගොඩාක් පොත් පත් ගෙනියනවා කියලත් අපිට ආරංචියි.”
“ඒක ඇත්ත” මම කිව්වා.“නමුත් දැන් ඒ ශාලාව එතන නැහැ.”
“ඔව් ස්මිත් මහත්මිය අපි ඒක දන්නවා” කියා ඔහු කිව්වා. “ඒ වගේම අපි දන්නවා පොත් පත් ආරක්ෂා කරලා තියෙන්නේත් මේ දිස්ත්‍රික්කයේ ඉන්න අයගේ ගෙවල්වල කියලා.”
මගේ පුතාගේ කාමරේ තිබිලා පොත් පෙට්ටි පහක් හොයාගත්තා. ඒවායේ තිබුණේ ෆ්‍රීඩම් ඕර් රෝමැනිසම් යන පොත් පිංචයේ පිටපත්.
“ගරාජයේ තවත් පොත් නැහැයි කියලා ඔයාට හොඳටම විශ්වාසද?” කියා ඔහු ඇසුවා.
“නැහැ, එහේ කිසිවක් නැහැ” යයි මම උත්තර දුන්නා.
ඊට පස්සේ ඔහු කෑම කාමරයේ තිබුණු කබඩ් එකක් ඇරලා බැලුවා. ඔහුට ඒකෙන් සභා වාර්තා පුරවන හිස් පෝරම් වගයක් හම්බවුණා. ඔහු ඒවා අරගෙන ගරාජය සෝදිසි කරන්න අවශ්‍යමයි කියා කියා සිටියා.
“එහෙනම් මෙහෙන් එන්න” කියා මම කිව්වා.
ඔවුන් මා පසු පස ගරාජයට ඇවිත් සෝදිසි කරලා බලලා යන්න ගියා.
පොත් පෙට්ටි පහ ලැබුණාම ඒ පොලිස් නිලධාරීන් හිතුවේ ඔවුන් සෙවූ වටිනාම දේ ලැබුණා කියලා. කෙසේ නමුත් ඔවුන්ට වටිනාම දේ ලැබුණේ නැහැ කියලා දන්නේ මම විතරයි. මම ඒ දවස්වල සභාවේ ලේකම් හැටියට වැඩ කළ නිසා සභාවේ සියලුම ප්‍රචාරකයන්ගේ නම් ලැයිස්තුව හා වෙනත් වැදගත් තොරතුරු මා ළඟ අපේ ගෙදර තිබුණා. කලින්ම සහෝදරයන් අපිට අනතුරු අඟවලා තිබුණා මේ වගේ හදිසි වැටලීම් කරන්න පුළුවන් කියලා. ඒ නිසා මම මේ තොරතුරු තිබුණු ලියකියවිලි පරිස්සමින් හංගලා තිබ්බා. මං ඒවා ලියුම් කවරවල දාලා තේ කොළ, සීනි, පිටි දාන ටින්වල අඩියේ දාලයි තිබුණේ. ඒ වගේම තවත් සමහර ලියකියවිලි ගරාජය ළඟ තියෙන කුරුලු ගෙයි තැන්පත් කළා. පොලිස් නිලධාරීන් තමන්ට අවශ්‍යම ලියකියවිලි හංගලා තිබුණු තැන පහු කරගෙන ගියා.
පූර්ණ කාලීන සේවයට පා තැබීම
වර්ෂ 1947 වන විට අපේ වැඩිහිටි දරුවන් බැඳලා ඔවුන්ට ළමයිනුත් හිටියා. ඉතිං ඒ කාලයේ අපිට කිසිම බාධාවක් තිබුණේ නැති නිසා රෝයි සහ මම හිතුවා පූර්ණ කාලීන සේවය කරන්න. දකුණු ඕස්ට්‍රේලියාවේ සේවය කිරීමේ දැඩි අවශ්‍යතාවක් තිබුණු නිසා අපි අපේ ගේ විකුණලා කැරවෑන් එකක් ගත්තා. අපි ඒකට “මුරටැඹ” යන අදහස තියෙන මිශ්පා කියන නම දැම්මා. කැරවෑන් ජීවිතය අපිට ඈත පිටිසර ගම්වලට දේශනා කිරීමට ප්‍රස්තාව උදා කර දුන්නා. අපි බොහෝ වෙලාවට දේශනා කළේ සභාවකට පවරා නැති බලප්‍රදේශවලයි. ඒ කාලය ගැන මට ගොඩාක් ප්‍රීතිමත් අද්දැකීම් තියෙනවා. යෞවන කාන්තාවක් වන බෙවලී මම පැවැත්වූ බයිබල් පාඩම් අතරින් එක් කෙනෙක්. ඇය සත්‍යයේ දියුණු වී බව්තීස්ම වෙන්න කලින් ඒ ප්‍රදේශයෙන් ගියා. අවුරුදු ගණනාවකට පස්සේ සමුළුවකදී සහෝදරියක් මා ළඟට ඇවිත් තමා බෙවලී බව හඳුන්වා දුන්නා. මට ඒ වේලාවේ දැනුණු ප්‍රීතිය කියා නිම කරන්න වචන නැහැ. ඇයත් ඇයගේ ස්වාමිපුරුෂයාත් දරුවනුත් යෙහෝවාට සේවය කරනවා දැකීම මොනතරම් සතුටක්ද!
වර්ෂ 1979දී පුරෝගාමී සේවා පාසැලට ඇතුල් වෙන්න ලැබීම මම ලද කදිම වරප්‍රසාදයක්. පුරෝගාමී සේවයේ දිගටම නියැලෙන්න පෞද්ගලික පාඩම සඳහා හොඳ කාලසටහනක් තබාගැනීමේ අවශ්‍යතාව මෙම පාසැලෙන් කාවැද්දුවා. මම එය ඇත්තටම ප්‍රායෝගික බව අද්දැක්කා. පාඩම් කිරීම, රැස්වීම් හා දේවසේවය හැර මට වෙන ජීවිතයක් තිබුණේ නැහැ. අවුරුදු 50කට වැඩි කාලයක් ස්ථාවර පුරෝගාමියෙක් ලෙස සේවය කිරීමට ලැබුණු වරප්‍රසාදය මම ගොඩාක් අගය කරනවා.
සෞඛ්‍ය ගැටලු සමඟ කටයුතු කිරීම
පහුගිය දශක කිහිපය තුළදී මම විශේෂාකාර අභියෝග කිහිපයකට මුහුණ දුන්නා. වර්ෂ 1962දී මම නීලකාච (glaucoma) රෝගයෙන් පෙළෙන බව දැනගන්න ලැබුණා. ඒ කාලයේ මේ රෝගය සඳහා තිබුණේ සීමිත ප්‍රතිකාරයි. ඒ නිසා මගේ පෙනීම ඉක්මනින්ම අඩු වුණා. රෝයිගේ සෞඛ්‍ය තත්වයත් පිරිහෙන්න පටන්ගත්තා. ඔහු 1983දී ලේ කැටි ගැසීමෙන් ඉතා භයානක ආබාධයකට මුහුණ දුන්නා. ඊට පස්සේ ඔහුට අංශභාගය හැදිලා එක පැත්තක් පණ නැතුව ගිහින් කතා කරන්නත් බැරිව ගියා. ඔහු 1986දී මරණයට පත් වුණා. මගේ පූර්ණ කාලීන දේවසේවය සඳහා ඔහු මට ගොඩාක් උදව් කරලා තියෙනවා. ඇත්තටම ඔහු නැති පාළුව මට තදින්ම දැනෙනවා.
මේ සියලුම දුෂ්කරතා මැද මම මගේ ආත්මික කාලසටහනට ඇලී සිටින්න උත්සාහ කළා. ගම්බද ප්‍රදේශයේ සේවය කිරීම සඳහා මම හොඳ තත්වයක තියෙන කාර් එකක් සල්ලිවලට ගත්තා. මගේ දුව ජොයිස්ගේ උපකාරයෙන් මට පුළුවන් වුණා පුරෝගාමී සේවය දිගටම කරන්න. මගේ පෙනීම එන්න එන්නම දුර්වල වෙලා මගේ එක ඇහැක් සම්පූර්ණයෙන්ම නොපෙනී ගියා. දොස්තරවරු ඒ ඇහැ වෙනුවට බොරු ඇහැක් දැම්මා. අනික් ඇහේ පෙනීම දුර්වල වුවත් මම ලොකු අකුරෙන් ලියවිලා තියෙන පොත් පත් හා අකුරු ලොකු කර පෙන්වන කණ්ණාඩියක් පාවිච්චි කරලා දවසට පැය තුනක් පහක් වගේ කාලයක් පාඩම් කරනවා.
පාඩම් කිරීම මට හරියට වටිනවා. දවසක් මම පාඩම් කර කර ඉන්නකොට මට එකපාරටම කිසිම දෙයක් පේන්නේ නැතුව ගියා. මට මේක කොච්චර බලපාන්න ඇතිද කියලා නිකම් හිතලා බලන්න. කවුරු හරි තිබුණු එළිය නිවලා දැම්මා වගේයි දැනුණේ. දැන් මගේ පෙනීම සම්පූර්ණයෙන්ම නැති වෙලා. මම දැන් පාඩම් කරන්නේ කොහොමද? මට දැන් හරියට ඇහෙන්නේ නැති වුණත් මම කැසට් පටිවලින් හා මගේ පවුලේ අයගේ ප්‍රේමනීය උපකාරයෙන් ආත්මිකව ශක්තිමත්ව ඉන්නවා.
අවසානය දක්වාම විඳදරාගැනීම
අවුරුදු සියයක් වයසැති කෙනෙක් හැටියට මට තවත් සෞඛ්‍ය ගැටලු තියෙන හින්දා මට දේවල් සෙමින් කරන්න සිදු වෙලා තියෙනවා. සමහර අවස්ථාවලදී මගේ මනස හොඳටම අවුල් වෙනවා. ඇත්තටම මට කිසිම දෙයක් පේන්නේ නැති නිසා මම අතරමං වෙන අවස්ථාත් තියෙනවා. මම ආසයි බයිබල් පාඩම් කිහිපයක් පටන්ගන්න. නමුත් මගේ සෞඛ්‍ය තත්වය නිසා මට සේවයේ ගිහින් උනන්දුව දක්වන අයව හොයන්න විදිහක් නැහැ. මුලදීම නම් මම මේ තත්වය නිසා ගොඩාක් කලකිරුණා. නමුත් මට මගේ සීමා දැනගෙන ඒ අනුව කටයුතු කරන්න ඉගෙනගන්න වුණා. මට මේක ලේසි දෙයක් වුණේ නැහැ. ඒ වුණාට තාමත් හැම මාසේම යෙහෝවා ගැන කතා කරන්නත් ඒ කාලය වාර්තා කරන්න ලැබීමත් මොනතරම් භාග්‍යයක්ද! මට මුණ ගැහෙන හෙදියන්, වෙළෙන්දන් හා අනික් අයට බයිබලයේ සත්‍යයන් කතා කරන්න මම කොහොම හරි උපායශීලීව අවස්ථාව අල්ලා ගන්නවා.
මගේ ජීවිතයේ මම අද්දැක තියෙන ලොකුම ආශීර්වාදය තමයි මගේ පවුලේ පරම්පරා හතරක් යෙහෝවාට ඇදහිලිවන්තව සේවය කරනවා දකින්න ලැබීම. මෙයින් සමහර අය අවශ්‍යතා වැඩියෙන් තියෙන ප්‍රදේශවල පුරෝගාමීන් ලෙසත්, තවත් සමහරු සභා වැඩිමහල්ලන් හා සභා සේවකයන් හැටියටත් බෙතෙල් ගෘහයෙත් සේවය කරනවා. මගේ පරම්පරාවට අයත් බොහෝදෙනෙක් මෙන් මමත් බලාපොරොත්තු වුණේ මේ දුෂ්ට ක්‍රමයේ අවසානය මීට කලින් එයි කියලයි. එහෙත් මගේ මේ අවුරුදු හැත්තෑව තුළදී පුදුමාකාර වර්ධනයක් මම අද්දැකලා තියෙනවා. මේ විශාල වර්ධනය වෙනුවෙන් මටත් චූටි යමක් කරන්න ලැබීම ගැන මහත් තෘප්තියක් දැනෙනවා.
මාව බලන්න එන හෙදියන් කියන්නේ මගේ ඇදහිල්ල නිසයි මට තවමත් ජීවත් වෙන්න හැකියාව ලැබිලා තියෙන්නේ කියලා. මම ඒ අය එක්ක එකඟ වෙනවා. අපට ජීවිතය ගෙවන්න හොඳම ක්‍රමය තමයි යෙහෝවාගේ සේවයේ ජ්වලිත වීම. දාවිත් රජ හා සමානව මමත් වයසින් මුහුකුරා ගිය තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා කියා කියන්න පුළුවන්.—1 ලේකම් 29:28, NW.
(මෙම ලිපිය ප්‍රකාශයට පත් කිරීමට සූදානම් කර තිබූ කාලයේදී සහෝදරී මියුරියල් ස්මිත් 2002 අප්‍රියෙල් 1වනදා මිය ගියා. වයස අවුරුදු 102ක් වීමට තව තිබුණේ මාසයයි. ඇය ඇත්ත වශයෙන්ම ඇදහිල්ලේ හා විඳදරාගැනීමේ කදිම ආදර්ශයක්.)
[24වන පිටුවේ පින්තූර]
මම අවුරුදු පහේදී විතර සහ අවුරුදු 19දී (මගේ ස්වාමිපුරුෂයා වන රෝයිව හමු වුණු කාලයේදී)
[26වන පිටුවේ පින්තූරය]
මිශ්පා ලෙස නම් කළ අපේ කැරවෑන් එකයි කාර් එකයි
[27වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1971දී මගේ ස්වාමිපුරුෂයා වන රෝයි සමඟ