Skip to content

පටුනට යන්න

ඔබ පක්ෂපාත විය යුත්තේ කාටද?

ඔබ පක්ෂපාත විය යුත්තේ කාටද?

ඔබ පක්ෂපාත විය යුත්තේ කාටද?

“අපේ රට . . . හරි වුවද වැරදි වුවද ඇය සදහටම හරියයි සලකමු.”—වර්ෂ 1779-1820 දක්වා එ.ජ. නාවුක හමුදාවේ සේවය කළ නිලධාරියෙකු වූ ස්ටීවන් ඩිකේට.

ප්‍රශ්න කිරීමකින් තොරව තම රටට ජාතියට පක්ෂපාත වීම බොහෝදෙනෙකු සලකන්නේ ප්‍රධාන වගකීමක් ලෙසය. තවත් අයෙකු ස්ටීවන් ඩිකේටගේ වචන මේ ආකාරයට ප්‍රකාශ කළ හැක. ‘මගේ ආගම හරි වුවද වැරදි වුවද එය සදහටම හරියයි සලකමි.’

යථාර්ථවාදීව බැලූ කල, අප පක්ෂ විය යුතුයයි පැවසෙන රට හෝ ආගම තීරණය වන්නේ අප එක් එක්කෙනාගේ උපත අනුවයි. එහෙත් අප පක්ෂපාත විය යුත්තේ කාටද යන්න අහඹු සිදුවීමකින් තීරණය වීමට ඉඩ දිය හැකි යමක් නොවේ. කොහොම වුණත්, පක්ෂපාත විය යුත්තේ කුමකටද කාටද යන්න පිළිබඳව තමන් හැදී වැඩෙන පරිසරයේ දරන මත හරිද නැද්ද කියා ප්‍රශ්න කිරීමට ධෛර්යය අවශ්‍යයි. තවද එසේ කිරීමෙන් අභියෝග රැසකට මුහුණ දීමටද සිදු වේ.

පක්ෂපාතකම පරීක්ෂණයට ලක් වී

සැම්බියාවේ හැදී වැඩුණු කාන්තාවක් මෙසේ පවසන්නීය. “මම පොඩි කාලේ ඉඳන්ම ආගමට ලැදියි. අපේ ගෙදර පූජා කාමරයේ දිනපතාම යාතිකා කිරීම, ආගමික දින සැමරීම, නිතිපතා කෝවිලට යෑම වගේ දේවල් මට කුඩා වයසේ ඉඳන්ම පුරුදු කරලයි තිබුණේ. මගේ ආගමයි නමස්කාරයයි අතරත් සංස්කෘතිය, ප්‍රජාව හා පවුල අතරත් ලොකු බැඳීමක් තිබුණා.”

එහෙත් වයස අවුරුදු 20 ලබන්නට පෙර ඇය යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත්තාය. ඉන් ටික කලකට පසුව ඇය තම ආගම වෙනස් කිරීමටද තීරණය කළාය. මෙය ආගමට ද්‍රෝහිවීමක් වූවාද?

ස්ලැට්කෝ හැදී වැඩුණේ බොස්නියාවේය. කලක් ඔහු සටන් වැදුණේ යුද්ධයෙන් දෙදරා ගිය තම මව්බිම වෙනුවෙනි. ඔහුද යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත් අතර, දැන් කිසිම කෙනෙකුට එරෙහිව අවි අතට ගැනීම ප්‍රතික්ෂේප කරයි. ඔහු තම මව්බිමට ද්‍රෝහි වී ඇතැයි පැවසිය හැකිද?

මෙම ප්‍රශ්නවලට ඔබ දෙන පිළිතුරු රඳා පවතින්නේ ඔබේ දෘෂ්ටි කෝණය මතයි. කලින් සඳහන් කළ කාන්තාව මෙසේ විස්තර කරන්නීය. “මං ජීවත් වුණේ ආගම වෙනස් කරන එක කිසිදා සමාව දිය නොහැකි නින්දිත ක්‍රියාවක් හැටියට සලකන පරිසරයකයි. එය ප්‍රජාවේ හා පවුලේ අයට ද්‍රෝහිවීමක් ලෙසයි සැලකුවේ.” තවද ස්ලැට්කෝ සමඟ කලින් සේවය කළ හමුදා භටයන් ඔහුව සැලකුවේ තම පක්ෂය වෙනුවෙන් සටන් කිරීමට අකමැති වූ ද්‍රෝහියෙකු වශයෙනි. කොහොම නමුත්, එම කාන්තාවගේ මෙන්ම ස්ලැට්කෝගේ හැසිරීම දැන් පාලනය වන්නේ වඩා උතුම් ගණයේ පක්ෂපාතකමකිනි. එය නම්, දෙවිට තිබෙන පක්ෂපාතකමයි. අප දැන් සලකා බැලිය යුතු වැදගත්ම කාරණය වන්නේ දෙවිට පක්ෂපාතව කටයුතු කරන්න කැමති අය දෙස ඔහු බලන්නේ කෙසේද යන්නයි.

සැබෑ පක්ෂපාතකම—ප්‍රේමයේ ප්‍රකාශයක්

දාවිත් රජු යෙහෝවා දෙවිට මෙසේ පැවසීය. “පක්ෂපාත තැනැත්තා සමඟ ඔබ පක්ෂපාත ලෙස කටයුතු කරන්නේය.” (2 සාමුවෙල් 22:26, NW) මෙහිදී “පක්ෂපාත” වශයෙන් පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනයෙන් ගෙනහැර පාන අදහස නම්, යම් වස්තුවක් පිළිබඳව ඇති අරමුණ ඉටු කරගන්නා තුරුම එයට ප්‍රේමනීයව ඇලී සිටීමට පොලඹවන කරුණාව යන්නයි. කිරි බොන ළදරුවෙකු කෙරෙහි මවකට ඇති හැඟීම හා සමානව යෙහෝවා තම පක්ෂපාත අය සමඟ උණුසුම් ප්‍රේමයකින් මුසු වූ බැඳීමක් ඇති කරගනී. පුරාණ ඉශ්‍රායෙලයේ තම පක්ෂපාත සේවකයන්ට යෙහෝවා පැවසුවේ මෙසේය. “කුසේ දැරූ බිළිඳාට අනුකම්පා නොකර ඔහුව අමතක කර දමන්න මවකට හැකිද? මොවුන් අමතක කළත්, මම නම් කිසිදා ඔබ අමතක නොකරන්නෙමි.” (යෙසායා 49:15, NW) සෑම දෙයකටම ඉහළින් දෙවිට පක්ෂපාතකම දක්වන්න සූදානමින් සිටින අය යෙහෝවාගේ ප්‍රේමනීය රැකවරණය ලබන බවට සහතිකයක් ලබති.

යෙහෝවාට පක්ෂපාත වීම පදනම් වන්නේ ප්‍රේමය මතයි. යෙහෝවා ප්‍රේම කරන දේට ප්‍රේම කරන්නත් යෙහෝවා වෛර කරන නපුරු දේවලට වෛර කරන්නත් එය කෙනෙකුව පොලඹවයි. (ගීතාවලිය 97:10) යෙහෝවාගේ උතුම්ම ගුණාංගය ප්‍රේමය වන බැවින් අන්‍යයන් සමඟ ප්‍රේමනීය නොවන අන්දමින් කටයුතු කිරීමෙන් වැළකී සිටීමට දෙවිට පක්ෂපාත වීම අපට උපකාරවත් වේ. (1 යොහන් 4:8) එමනිසා යමෙකු දෙවිට පක්ෂපාතව සිටීමට තිබෙන අවශ්‍යතාව හේතුවෙන් ආගමික විශ්වාසයන් වෙනස් කළහොත් තම පවුලේ සාමාජිකයන්ට ප්‍රේම නොකරන බවක් ඉන් අදහස් නොවේ.

දෙවිට පක්ෂපාත වීම ප්‍රයෝජනදායකය

මුලදී සඳහන් කළ කාන්තාව ඇගේ ක්‍රියා කලාපය පැහැදිලි කරන්නේ මෙලෙසයි. “බයිබලය අධ්‍යයනය කරද්දී මං දැනගත්තා යෙහෝවා තමයි සැබෑ දෙවි කියලා. මම ක්‍රමක්‍රමයෙන් ඔහුත් සමඟ මිත්‍රත්වයක් ගොඩනඟා ගත්තා. යෙහෝවා, මම කලින් නමස්කාර කළ දෙවිවරුන්ට වඩා හාත්පසින්ම වෙනස් දෙවිකෙනෙක්. ඔහු ප්‍රේමය, යුක්තිය, ප්‍රඥාව හා බලය යන ගුණාංග විදහාපෙන්වන්නේ මනා සමබරතාවකින් යුතුවයි. යෙහෝවා තනි භක්තිය බලාපොරොත්තු වන නිසා අනිත් දෙවිවරුන්ව අත්හරින්න මට සිද්ධ වුණා.

“මම ඔවුන්ව අසතුටට පත් කරනවා කියාත් ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කළා කියාත් මගේ දෙමව්පියන් මට නිතරම වගේ පැවසුවා. මගේ දෙමව්පියන්ගේ අනුමැතිය ලබාගැනීම මට හරිම වැදගත් දෙයක් වුණ හින්දා මේක මට දරාගන්න පහසු දෙයක් වුණේ නැහැ. හැබැයි බයිබල් දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න ගත යුතු තීරණය පිළිබඳව මගේ සැකයන් දුරු වුණා. මට වැටහුණා මට කවදාවත් යෙහෝවාට පිටුපාන්න බැහැයි කියලා.

“ආගමික සම්ප්‍රදායන් අත්හැර යෙහෝවාට පක්ෂපාත වීමට තීරණය කිරීමෙන් අදහස් කරන්නේ නෑ මං මගේ පවුලේ අයට ද්‍රෝහි වෙනවා කියලා. ඔවුන්ගේ හැඟීම් තේරුම්ගන්නවා කියලා මගේ වචනවලින් හා ක්‍රියාවලින් මම පෙන්වන්න වෑයම් කරනවා. හැබැයි මම යෙහෝවාට පක්ෂපාත වුණේ නැත්නම් මගේ පවුලේ කිසිම කෙනෙකුට ඔහුව දැනහඳුනා ගන්න අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. මම එහෙම කළොත් ඒක ඇත්තටම ද්‍රෝහිවීමක් වේවි.”

තවද දෙවිට පක්ෂපාත වීමට වුවමනා නිසා දේශපාලනික අතින් මධ්‍යස්ථව සිටීමට හා අන්‍යයන්ට විරුද්ධව අවි අතට නොගැනීමට පුද්ගලයෙකු තීරණය කරනවා නම් ඔහු ද්‍රෝහියෙකු කියා ඉන් අදහස් නොවේ. ස්ලැට්කෝ තමා කටයුතු කළ ආකාරය මෙසේ පැහැදිලි කරයි. “නාමික ක්‍රිස්තියානියෙක් ලෙස හැදී වැඩුණත් මං විවාහ කරගත්තේ ක්‍රිස්තියානි නොවන කෙනෙක්වයි. යුද්ධය පටන්ගත්තාම පැති දෙකේම අය මම ඔවුන්ට පක්ෂව කටයුතු කරාවි කියා බලාපොරොත්තු වුණා. ඉතිං මට එක පැත්තක් තෝරගන්න සිදු වුණා. මං අවුරුදු තුනහමාරක් සටන් වැදුණා. හැබැයි අන්තිමේදී මමයි මගේ බිරිඳයි ක්‍රොඒෂියාවට පලා ගියා. එතැනදී තමයි අපිට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හම්බ වුණේ.

“බයිබලය අධ්‍යයනය කරද්දී මම තේරුම්ගත්තා අපි ප්‍රධාන වශයෙන්ම පක්ෂපාත විය යුත්තේ යෙහෝවාටයි කියලා. ඒ වගේම යෙහෝවා අපෙන් ඉල්ලා සිටින්නේ අපේ අසල්වාසීන්ගේ ආගම ජාතිය කුමක් හෝ වේවා ඔවුන්ට ප්‍රේම කරන්නයි කියලත් අපි ඉගෙනගත්තා. දැන් මමයි මගේ බිරිඳයි යෙහෝවාට එක්සත්ව නමස්කාර කරනවා. ඒ වගේම දැන් මට තේරෙනවා දෙවිට පක්ෂපාතව සිටින කෙනෙකුට අසල්වාසීන්ට විරුද්ධව සටන් කරන්න බැහැයි කියලා.”

පක්ෂපාතකම නිවැරදි දැනුමට එකඟව සකස් කරගැනීම

යෙහෝවා අපේ මැවුම්කරු වන නිසා වෙන කිසිම කෙනෙකුට හෝ දෙයකට වඩා අප පක්ෂපාත විය යුත්තේ ඔහුටයි. (එළිදරව් 4:11) ඒ කොහොම වුණත්, දෙවිට පක්ෂපාත වීමේදී අන්තවාදී හා හානිකර ආකාරයකින් කටයුතු නොකිරීම සඳහා නිවැරදි දැනුමට එකඟව අපේ පක්ෂපාතකම සකස් විය යුතුයි. බයිබලය අපට දෙන අවවාදය මෙයයි. “නුඹලා නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත් කරනු ලැබ, සැබෑ . . . ශුද්ධකමින්ද [පක්ෂපාතකමින්ද, NW] දෙවිට සමානව මවන ලද්දා වූ අලුත් මනුෂ්‍යයා [අලුත් පෞද්ගලිකත්වය, NW] පැළඳගන්න.” (එපීස 4:23, 24) එම වදන් ලියූ සුප්‍රකට තැනැත්තා තමා හැදී වැඩුණු පරිසරයේ පක්ෂපාතකම පිළිබඳව දැරූ මත ප්‍රශ්න කිරීමට තරම් ධෛර්යය ඇතුව සිටි අයෙකි. ඔහු කළ සොයා බැලීම ප්‍රයෝජනදායක වෙනසකට තුඩු දුණි.

ඔව්, අපේ කාලයේ බොහෝදෙනෙකුගේ පක්ෂපාතකම මෙන් සාවුල්ගේ පක්ෂපාතකමද පරීක්ෂණයට ලක් විය. සාවුල් හැදී වැඩුණේ තම පවුලේ දැඩි සම්ප්‍රදායන්ට අනුවයි. ඔහු උත්පත්තියෙන් උරුම කරගත් ආගමට ඉතා තදින් ඇලී සිටියේය. ආගමික ඉලක්කවලට පක්ෂපාතව ඇලී සිටි නිසා තම මතිමතාන්තරවලට එකඟ නොවූවන්ට විරුද්ධව සැහැසිකකම් කිරීමටද ඔහු පෙලඹුණේය. ක්‍රිස්තියානීන්ගේ නිවෙස්වලට කඩා වැදී ඔවුන්ව ඇදගෙන ගොස් දඬුවම් පැමිණවීම හෝ මරණයට පත් කිරීම සඳහා භාර දීම සම්බන්ධයෙන් සාවුල් ප්‍රසිද්ධ වී සිටියේය.—ක්‍රියා 22:3-5; පිලිප්පි 3:4-6.

එහෙත් බයිබලය පිළිබඳව නිවැරදි දැනුම ලබාගැනීමෙන් පසුව සාවුල් තම සගයන්ට කිසිදා තේරුම්ගත නොහැකි වූ යමක් කළේය. එනම් තම ආගම වෙනස් කිරීමය. පසු කලෙක ප්‍රේරිත පාවුල් වශයෙන් හැඳින්වූ සාවුල් තම සම්ප්‍රදායන් අත්හැර දෙවිට පක්ෂපාත වීමට තෝරාගත්තේය. නිවැරදි දැනුම පදනම් කරගෙන දෙවිට පක්ෂපාත වූ නිසා තම විනාශකාරි, අන්තවාදී හැසිරීම් රටාව අත්හැර ඉවසිලිවන්තව, ප්‍රේමනීයව හා දිරිගන්වනසුලු ලෙස ක්‍රියා කිරීමට ඔහු පෙලඹුණේය.

පක්ෂපාත විය යුත්තේ මන්ද?

අප පක්ෂපාත විය යුත්තේ කාටද නැත්නම් කුමකටද යන කාරණය දෙවිගේ ප්‍රමිතිවලට එකඟව තීරණය කිරීමෙන් අත් වන ප්‍රයෝජන පැහැදිලිව දැකගත හැකියි. නිදසුනකට, පවුල් පිළිබඳව අධ්‍යයනය කරන ඕස්ට්‍රේලියානු ආයතනයක් විසින් 1999දී නිකුත් කළ වාර්තාවකට අනුව කල්පවතින තෘප්තිමත් විවාහයකට දායක වන ප්‍රධාන සාධකයන් අතර “අන්‍යොන්‍ය විශ්වාසය, විශ්වාසවන්තකම හා අධ්‍යාත්මික හැඟීම්” වැදගත් තැනක් ගනී. “ශක්තිමත් හා තෘප්තිමත් විවාහයන්” භුක්ති විඳින පුරුෂයන් හා ස්ත්‍රීන් වඩාත් දීර්ඝායුෂ විඳිමින් සතුටුදායක, සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කරන බවත්, එමගින් දරුවන්ට ප්‍රීතිමත් ජීවිතයක් භුක්ති විඳීමට ඇති ඉඩ කඩ වැඩි වන බවත් එම අධ්‍යයනය තුළින් තවදුරටත් හෙළි විය.

මෙම අවිනිශ්චිත ලෝකයේ පක්ෂපාතකම සමාන කළ හැක්කේ දියෙහි ගිලෙන කෙනෙකුගේ දිවි ගළවාගැනීම සඳහා නැවකින් ඔහු වෙතට වීසි කරන කඹයකටයි. “ගිලෙන තැනැත්තා” කඹයක් අල්ලාගෙන නොසිටින්නේ නම් (එනම්, ඔහු කොයිම දෙයකටවත් කෙනෙකුටවත් පක්ෂපාතකම දක්වන්නේ නැත්නම්), ඔහු සතර වටින්ම එන සුළං හා රැළි වැනි දේවලට හසු වී එහෙට මෙහෙට වීසි වී යනු ඇත. අනික් අතට, වැරදි යමකට පක්ෂපාතකම දැක්වීම ගිලෙන නැවකට සවි කර තිබෙන කඹයක් අල්ලාගෙන සිටිනවා හා සමානයි. එවැනි දෙයක් කරන යමෙකු සාවුල් මෙන් විනාශයට මඟ පාදන ක්‍රියා මාර්ගයකට ඇදී යන්න පුළුවන. නමුත් නිවැරදි දැනුම මත පදනම්ව යෙහෝවාට දක්වන පක්ෂපාතකම ශක්තිමත් කඹයක් මෙනි. එය දිවි ගළවාගැනීමට මඟ පාදයි.—එපීස 4:13-15.

තමාට පක්ෂපාතව ඇලී සිටින අයට යෙහෝවා මේ පොරොන්දුව දෙයි. “යෙහෝවා යුක්තියට ප්‍රිය කරන්නෙකි. තවද ඔහු තම පක්ෂපාත අයව අත්නාරින්නේය. සදාකාලයෙන් සදාකාලයට ඔවුන්ව ආරක්ෂා කරන්නේය.” (ගීතාවලිය 37:28, NW) නුදුරු අනාගතයේදී යෙහෝවා තමන්ට පක්ෂපාතව සිටින අයව වියෝ දුකින් හා වේදනාවෙන් තොර පාරාදීස පොළොවකට ගෙන යනු ලබයි. එහිදී කිසිවෙකු දේශපාලනික හා ආගමික වශයෙන් බෙදී සිටින්නේ නැති නිසා සදාකාලික මිත්‍රත්වයන් භුක්ති විඳීමේ භාග්‍යයද ඔවුන්ට හිමි වනු ඇත.—එළිදරව් 7:9, 14; 21:3, 4.

සැබෑ සන්තෝෂය අත් කරගන්න පුළුවන් වන්නේ යෙහෝවාට පක්ෂපාතව සිටියොත් පමණයි කියා අදත් ලෝ වටා සිටින මිලියන ගණනකට වැටහී ගොස් ඇත. පක්ෂපාතකම පිළිබඳව ඔබ දරන මතය බයිබල් සත්‍යයන් සමඟ සසඳා බැලීමට ඔබට උපකාර කරන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ඉඩ නොදෙන්නේ මන්ද? “නුඹලා ඇදහිල්ලෙහි සිටිනවාද කියා නුඹලාම [නොකඩවාම, NW] පරීක්ෂා කර බලන්න. නුඹලාවම සෝදිසි කර බලන්න” කියා බයිබලයේ අපට පවසා ඇත.—2 කොරින්ති 13:5.

අපේ ඇදහිල්ල පිළිබඳව හා අප එයට පක්ෂපාත වන්නේ ඇයි කියා සොයා බලන්න නම් අපට ධෛර්යය අවශ්‍යයි. එහෙත් ඒ සඳහා දරන වෑයමේ ප්‍රතිඵලයක් වශයෙන් අප යෙහෝවා දෙවිට ළං වන විට එය ඇත්තෙන්ම වටින බව පෙනී යයි. බොහෝදෙනෙකුට මෙන් ඇයටද හැඟෙන ආකාරය ඉහත සඳහන් කාන්තාව මනාව පැහැදිලි කරන්නේ මෙසේය. “යෙහෝවාට හා ඔහුගේ ප්‍රමිතිවලට පක්ෂපාත වීම අපේ පවුලේ අය සමඟ සමබරව කටයුතු කිරීමටත් වඩාත් යහපත් පුරවැසියෙක් වීමටත් දායක වන බව මට වැටහී තිබෙනවා. අපි අද්දකින පරීක්ෂණ කොයිතරම් දරුණු වුණත් යෙහෝවාට පක්ෂපාතව සිටියොත් ඔහුත් හැමදාම අප සමඟ පක්ෂපාතව කටයුතු කරාවි.”

[6වන පිටුවේ පින්තූර]

පක්ෂපාතකම පිළිබඳව ඔහු දැරූ මතය වෙනස් කිරීමට සාවුල්ව පෙලඹුවේ නිවැරදි දැනුමයි

[7වන පිටුවේ පින්තූරය]

පක්ෂපාතකම පිළිබඳව ඔබ දරන මතය බයිබල් සත්‍යයන් සමඟ සසඳා නොබලන්නේ මන්ද?

[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ඉහළ වම්පස, චර්චිල්: U.S. National Archives photo; දකුණුපස කෙළවරේ, ජෝසෆ් ගෝබෙලස්: Library of Congress