Skip to content

පටුනට යන්න

කල්පනා ශක්තියට ඔබව ආරක්ෂා කළ හැක්කේ කෙසේද?

කල්පනා ශක්තියට ඔබව ආරක්ෂා කළ හැක්කේ කෙසේද?

කල්පනා ශක්තියට ඔබව ආරක්ෂා කළ හැක්කේ කෙසේද?

ඉහළ නඟින මුහුදේ රළ පෙළ දැකුම්කලු දසුනක්. නමුත් නැවියන්ට ඉන් ඇති කරන්නේ මහත් භීතියක්. ඉහළ නඟින ඒ රළ පෙළ ඔවුන්ගේ ජීවිත බිලිගන්නට පවා පිළිවන්.

ඒ හා සමාන ආකාරයකින්, දෙවිගේ සේවකයන් මතට කඩා වැටෙන පීඩාකාරි තත්වයන් නිසා ඔවුන්ට මහත් තර්ජනයක බර දැනිය හැකියි. පරීක්ෂා හා දුක් කරදර එක පිට එක කඩා වැටෙද්දී ඒවා දරාගත නොහැකි බරක් ලෙස ඔබටත් දැනී ඇති. ඔබට සහතිකවම වුවමනා වන්නේ ඒවාට දැඩි අධිෂ්ඨානයකින් යුතුව මුහුණ දී ජයගැනීමටයි. සිදු විය හැකි ඕනෑම ආකාරයක ආත්මික මුහුදුබත් වීමක් වළක්වාගැනීමට අදිටන් කරගැනීමටයි. (1 තිමෝති 1:19) මෙහිදී ඔබේ ආරක්ෂාවට තිබෙන දේ අතර කල්පනා ශක්තියත් අතිශයින් වැදගත්. එහෙත් කල්පනා ශක්තිය කියන්නේ මොකක්ද? එය අපට අත් කරගත හැකි වන්නේ කොහොමද?

“කල්පනා ශක්තිය” යනුවෙන් පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනය වන මෙසිම්මාහ් යන්න පැමිණෙන්නේ “සැලසුම් කිරීම හෙවත් උපක්‍රම යෙදීම” යන අරුත් ඇති මූලික වචනයකින්. (හිතෝපදේශ 1:4) මෙසේ, මෙසිම්මාහ් යන වචනය “සිහි කල්පනාව” හෙවත් “විචක්ෂණභාවය” හෝ “දුර දක්නා නුවණ” කියා ඇතැම් බයිබල් අනුවාදවල පරිවර්තනය කර තිබෙනවා. ජෙමීසන්, ෆොසෙට් සහ බ්‍රවුන් නමැති බයිබල් විශාරදයන් මෙසිම්මාහ් යන වචනය “නපුරෙන් වැළකී යහපත සෙවීමට විමසිලිමත්ව අවබෝධයෙන් සිටීම” කියා විස්තර කරනවා. අපගේ ක්‍රියාවල දිගුකාලීන හා ක්ෂණික ප්‍රතිඵල සැලකිල්ලට ගැනීමකුයි මෙහිදී අඟවන්නේ. මේ අනුව කල්පනා ශක්තිය ඇතුව අප කටයුතු කිරීමේදී, විශේෂයෙන් වැදගත් තීරණ ගන්නා විට, අප කරන දේ ගැන පරෙස්සමින් සලකා බලනවා ඇත.

කල්පනා ශක්තිය ඇති මිනිසෙක් තමාගේ අනාගතය ගැන හෝ තමා දැන් සිටින තත්වය ගැන තීරණ ගන්නා විට, ඇති විය හැකි උවදුරු හා මලපත් ගැනයි පළමුව සලකා බලන්නේ. සිදු විය හැකි අන්තරායන් හඳුනාගත් විගස, ඒවායින් වැළකිය හැකි අන්දම ගැන ඔහු සොයා බලනවා. ඒ වගේම ඔහු අවට තිබෙන පරිසරයට හා ඔහුව ඇසුරු කරන අයට එයින් සිදු විය හැකි බලපෑම්ද සැලකිල්ලට ගනියි. ඉතා හොඳ ප්‍රතිඵලයක් ලැබෙන ක්‍රියා මාර්ගයක් සැලසුම් කරගන්නට මෙසේ ඔහුට පුළුවන් වෙයි. ඒ විතරක් නෙමෙයි, එසේ කිරීම තුළින් දිව්‍ය ආශීර්වාද පවා ලැබිය හැකියි. මෙම ක්‍රියාමාර්ගය උපහැරණය කිරීමට අපි දැන් යම් ප්‍රායෝගික උදාහරණ කිහිපයක් ගැන සලකා බලමු.

ලිංගික දුරාචාරයේ මලපතෙන් වැළකෙන්න

දැඩි සුළං නිසා මුහුදේ රුදුරු රළ බෝට්ටුවක ඉදිරි කෙළවර දෙසට ගසද්දී, එම තත්වය මුහුදේ මාරියාව නඟිනවා කියා විස්තර කෙරෙනවා. ඉදිරියට ගසාගෙන එන එම මුහුදු රළ වළක්වාගෙන බෝට්ටුව පදවන්නට බැරි නම් බෝට්ටුව අනිත් පැත්තට පෙරළීමට පුළුවන්.

අපත් සිටින්නේ ඒ හා සමාන තත්වයකයි. මන්ද අප ජීවත් වන ලෝකයත් ලිංගිකත්වය හුවා දක්වමින් ඊට වසඟ වූ ලෝකයක්. සෑම දවසකම රාගික කාමුක අදහස් හා රූප අප ඇසට ගැටෙනවා, මනසට වැදෙනවා. අපගේ සාමාන්‍ය ලිංගික ආශාවන් කෙරෙහි ඒවායින් ඇති විය හැකි බලපෑම නම් අපට නොසලකා හරින්නට බැහැ. මේ නිසා අප කල්පනා ශක්තිය පාවිච්චි කළ යුතු අතර, භයානක තත්වයන් දෙසට අපව ගසාගෙන යෑමට ඉඩහරිනවා වෙනුවට මෙවැනි පරීක්ෂාවලට එරෙහිව නැඟී සිටිය යුතුයි.

නිදසුනක් වශයෙන්, ක්‍රිස්තියානි පුරුෂයන්ට බොහෝවිට වැඩ කරන්නට සිදු වී තිබෙන්නේ ස්ත්‍රීන්ව නිකම්ම නිකම් ලිංගික භාණ්ඩ ලෙස සලකන, ඔවුන් කෙරෙහි කිසිම ගෞරවයක් නැති අය සමඟයි. රැකියා ස්ථානයේ එකට වැඩ කරන අය කරන කතා බහට පහත් විහිළු සහ ලිංගික දේවල් ගැන ඉඟියෙන් කියාපාන දේවල් මුසු කරනවා වන්නට පුළුවන්. මේ වගේ වාතාවරණයක සිටින ක්‍රිස්තියානියෙකුගේ මනස අන්තිමේදී දුරාචාර අදහස්වලින් පිරී යනවා විය හැකියි.

බාහිර රැකියාවක් කරන ක්‍රිස්තියානි කාන්තාවකටද මේ හා සමාන දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වෙන්න පුළුවන්. ඇය එකට වැඩ කරන්නේ ඇගේ සදාචාර ප්‍රමිති පිළි නොගන්නා පුරුෂයන් හා කාන්තාවන් සමඟ විය හැකියි. සමහරවිට ඇය සමඟ එකට වැඩ කරන පිරිමියෙක් ඇය කෙරෙහි යම් විශේෂ උනන්දුවක් දක්වන්නට පුළුවන්. මුලින් ඔහු ඇය සමඟ ඉතා සැලකිල්ලෙන් කටයුතු කරනවා විය හැකියි. ඒ වගේම ඇයටත් ඇයගේ ආගමික විශ්වාසයන්ටත් ගරු කරනවා විය හැකියි. ඔහු ඇය කෙරෙහි දක්වන නිරන්තර අවධානය හා හිතවත් බව නිසා ඇය අන්තිමේදී ඔහු සමඟ කිට්ටු ඇසුරකට වැටෙන්නට පෙලඹීමක් ඇති වෙන්නට පුළුවන්.

ක්‍රිස්තියානීන් වශයෙන්, එවන් තත්වයන් යටතේ අපට කල්පනා ශක්තිය පාවිච්චි කරන්නට පුළුවන් කොහොමද? පළමුව, එය අපට ආත්මික අන්තරායක් ගැන කියාපානවා. දෙවනුව, සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීමට සැලසුම් කිරීමට එය අපව පොලඹවන්නට පුළුවන්. (හිතෝපදේශ 3:21-23) මෙවන් තත්වයන් යටතේදී, අපගේ ශුද්ධ ලියවිලිමය විශ්වාසයන් හේතුවෙන් අපගේ ප්‍රමිතීන් වෙනස් බවට අප සමඟ වැඩ කරන අයට පැහැදිලිව කියන්නට සිදු වේවි. (1 කොරින්ති 6:18) මෙහිදී අපගේ කතාවෙන් සහ හැසිරීමෙන් එම පණිවුඩයට අනුබල දෙන්නට පුළුවනි. එපමණක්ද නොවෙයි, එකට වැඩ කරන ඇතැම් අය සමඟ කටයුතු කරන විට සීමාවන් ඇතුව සිටින්නටත් සිදු වේවි.

කොහොම වුණත්, ලිංගික දුරාචාරයට තිබෙන පීඩනයන් රැකියා ස්ථානයටම සීමා වී නැහැ. විවාහක යුවළක් තමන්ගේ එක්සත්කමට තුඩු දෙන දේවලට හානි කරගනී නම් මෙවැනි තත්වයන් මතු වන්නට ඉඩ තිබෙනවා. එක්තරා සංචාරක දේවසේවකයෙක් මෙසේ නිරීක්ෂණය කළා. “විවාහයන් දෙදරා යෑම එකපාරටම සිදු වන්නේ නැහැ. යුවළක් එකිනෙකාගෙන් ඈත් වෙන්නට පටන්ගන්නේ ටිකෙන් ටික. ඔවුන් එකිනෙකා සමඟ කතා බහ කරන්නේ කලාතුරකින් නම්, නැත්නම් එකට කාලය ගත කරන්නේ නැත්නම් මෙය සිදු වෙන්නට පුළුවන්. මේ නිසා තම විවාහයේ හිස් බව පුරවාගන්නට ද්‍රව්‍යමය දේවල් පසුපස හඹා යන්නට ඔවුන් උත්සාහ කරාවි. ඔවුන් එකිනෙකාගේ විවිධ අවශ්‍යතා සපුරාගන්නේ කලාතුරකින් නිසා, විරුද්ධ ලිංගයේ වෙනත් අය දෙසට ඔවුන්ව ඇදී යන්නට පුළුවන්.”

අද්දැකීම් ලත් මෙම දේවසේවකයා තවදුරටත් මෙහෙම ලීවා. “විවාහක කලත්‍රයන් කලින් කලට එකට වාඩි වී යම් කිසිවකින් තමන්ගේ සම්බන්ධතාවට හානි සිදු වෙනවාද කියා සලකා බැලිය යුතුයි. එකට එකතු වී පාඩම් කරන්නේ, යාච්ඤා කරන්නේ හා එකට දේශනා කරන්නේ කොහොමද කියා ඔවුන් සැලසුම් කළ යුතුයි. ඒ වගේම ‘නිවසේදී, පාරේදී, නිදන විට හා නැඟිටින විට’ එකිනෙකා සමඟ කතා කිරීමෙන් ඔවුන්ට බොහෝ ප්‍රයෝජන නෙළාගන්න පුළුවන්. එය හරියට දෙමාපියන් හා දරුවන් එක්ව කළ යුතු දෙයක් වගේමයි.”—ද්විතීය කථාව 6:7-9.

ක්‍රිස්තියානි විරෝධී හැසිරීමකට මුහුණ දීම

සදාචාරමය පරීක්ෂණවලින් සාර්ථකව ජයගැනීමට අපට උදව් වෙනවාට අමතරව, සෙසු ක්‍රිස්තියානීන් සමඟ ඇති වන ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීමටත් කල්පනා ශක්තිය අපට උපකාරි වෙනවා. බෝට්ටුවේ පසු පැත්ත හෙවත් අවර දෙසට හුළං හමා රළ ගසන විට, මුහුදේ මාරියා අඬෝනවා කියා විස්තර කෙරෙනවා. එවිට රළවලින් බෝට්ටුවේ අවර හෙවත් පසු පැත්ත ඉහළට ඔසවා බෝට්ටුව පැත්තකට ඇදගෙන යනවා. මේ නිසා බෝට්ටුවේ පැත්තක් රළවල දිශාවට එල්ල වී එයට හානි සිදු විය හැකියි.

අපත් එලෙසම අපේක්ෂා නොකළ දිශාවකින් එන අන්තරායකට කොටු වෙන්නට පුළුවනි. “උරෙන් උර ගැටී” අප යෙහෝවාට සේවය කරන්නේ අපගේ විශ්වාසවන්ත ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් බොහොමයක් සමඟයි. (ශෙපනියා 3:9, NW) ඔවුන්ගෙන් කෙනෙක් ක්‍රිස්තියානි විරෝධී ආකාරයකට ක්‍රියා කරයි නම්, ඒ තුළින් විශ්වාසය පලුදු වී අප තුළ ගැඹුරු ශෝකයක් ඇති කරවන්නට පුළුවනි. මෙහිදී අපේ සමබරතාව අහිමි කර නොගෙන අනවශ්‍ය විදිහට හිත් රිදවාගැනීමකින් තොරව කටයුතු කරන්නට කල්පනා ශක්තිය අපට කෙසේ උපකාරවත් වේවිද?

‘පව් නොකරන මනුෂ්‍යයෙක් නැති’ බව මතක් කරගන්න. (1 රාජාවලිය 8:46) එමනිසා ඉඳ හිට යම් ක්‍රිස්තියානි සහෝදරයෙක් අපව හදිසියේම බාධාවට පත් කරයි නම් හෝ අපේ හිත් රිදවයි නම්, ඒ ගැන අපි පුදුම නොවිය යුතුයි. මේ ගැන දන්නා අපි එවැනි තත්වයක් මතු වුවහොත් කෙලෙස ප්‍රතික්‍රියා කරනු ඇද්දැයි කලින්ම සිතා බැලීම හොඳයි. තම ක්‍රිස්තියානි සහෝදරයන් සමහරදෙනෙක් තමාට හිත් රිදෙන, නින්දාසහගත විදිහට කතා කළ අවස්ථාවලදී ප්‍රේරිත පාවුල් ප්‍රතිචාර දැක්වූයේ කොහොමද? තමාගේ ආත්මික සමබරතාව නැති කරගන්නවා වෙනුවට, යෙහෝවාගේ අනුමැතිය දිනාගැනීම මිනිසුන්ගේ අනුමැතිය දිනාගැනීමට වඩා ඉතා වැදගත් බව ඔහු නිගමනය කළා. (2 කොරින්ති 10:10-18) අපට එවන් ආකල්පයක් තිබෙනවා නම්, යම් කෙනෙකු විසින් අපව කුපිත කරවන විට හදිසි වී ප්‍රතික්‍රියා කිරීමෙන් වැළකීමට එය අපට උදව් වේවි.

එය හරියට අපේ කකුලේ ඇඟිල්ලක් යමක තදින් වැදුණා හා සමානයි. එසේ වූ විට විනාඩියක් දෙකක් යන තුරු අපට දැඩි වේදනාවක් දැනෙන්නට පුළුවනි. නමුත් වේදනාව සමනය වූ පසු, අපට දේවල් ගැන හොඳින් සිතා බලා සාමාන්‍ය විදිහට කල්පනාවෙන් ක්‍රියා කරන්නට හැකියි. ඒ හා සමානව, අකාරුණික වදනකට හෝ ක්‍රියාවකට අප විගසින් ප්‍රතික්‍රියා නොකළ යුතුයි. ඒ වෙනුවට, නිකරුණේ කරන පළිගැනීමකින් ඇති වන ඵල විපාක ගැන මදක් නැවතී කල්පනා කර බලන්න.

වසර ගණනාවක් පුරා මිෂනාරි සේවයේ යෙදී සිට ඇති මැල්කම්, තමාගේ සිත් රිදුණු අවස්ථාවක කරන දේ පැහැදිලි කරන්නේ මෙලෙසයි. “මගේ පළමු පියවර නම් ප්‍රශ්න වැලක් මගෙන්ම අසාගැනීමයි. මගේ සහෝදරයා සමඟ තරහෙන් ඉන්නේ අපේ පෞද්ගලිකත්වයේ ගැටුමක් සිදු වූ නිසාද? ඔහු කියූ දේ එතරම්ම වැදගත්ද? මගේ හැඟීම් ඇවිස්සී තිබෙන්නේ මට කලින් වැලඳී තිබූ මැලේරියා රෝගය මගේ නහරවලට තවමත් බලපාන හින්දද? පැය කිහිපයක් යන විට මම මේ දේවල් වෙනස් විදිහට දකීවිද?” මැල්කම් සොයාගෙන ඇති දේ නම්, බොහෝ අවස්ථාවලදී එකඟ නොවීම වැදගත් දෙයක් නොවන බවත් එය අමතක කර දැමිය හැකි බවත්ය. a

මැල්කම් තවදුරටත් මෙසේ කියනවා. “ඇතැම් සිද්ධීන්වලදී, තත්වය සමථයකට පත් කරගැනීමට මම කොච්චර උත්සාහ ගත්තත් අනෙක් සහෝදරයා තවමත් කිසිම සුහද ගතියක් නොපෙන්වා සිටින අවස්ථා තිබෙනවා. මෙවැනි අවස්ථාවලදී මම උත්සාහ කරන්නේ කලකිරෙන්නේ නැතුව ඉන්නයි. මට කළ හැකි සියල්ලම මම කළායින් පස්සේ, මම කාරණය දකින්නේ වෙනස් විදිහකටයි. මම මානසිකව එම කාරණය ‘පෞද්ගලික ලිපි ගොනුවේ’ දමනවා වෙනුවට ‘ඉදිරියට කිරීමට නියමිත දේවල් තියෙන ලිපි ගොනුවේ’ තබනවා. මාව ආත්මිකව වැට්ටීමට හෝ යෙහෝවා සමඟත් මගේ සහෝදරයන් සමඟත් ඇති සම්බන්ධයට බලපෑම් කිරීමට මම එයට ඉඩ දෙන්නේ නැහැ.”

මැල්කම් මෙන්, අපත් එක් පුද්ගලයෙකුගේ වැරදි හැසිරීම අපව ඕනෑවට වඩා බාධාවට පත් කිරීමට ඉඩ නොදිය යුතුයි. සෑම සභාවකම ඉතා ප්‍රීතියෙන් සේවය කරන විශ්වාසවන්ත සහෝදර සහෝදරියන් බොහෝදෙනෙකු සිටිනවා. ඔවුන් සමඟ “එක සිතකින්” ගමන් කිරීමට ලැබීම ඉතා සතුටට කරුණක්. (පිලිප්පි 1:27) අපගේ ප්‍රේමනීය පියාණන්ගෙන් ලැබෙන ප්‍රේමනීය සහයෝගය ගැන මතක තබාගෙන සිටීමෙන්ද කාරණා නිසි තැන පිළිවෙළට තබාගන්නට අප හැකි වේවි.—ගීතාවලිය 23:1-3; හිතෝපදේශ 5:1, 2; 8:12.

ලෝකයේ දේවලට ප්‍රේම නොකිරීම

කල්පනා ශක්තිය තිබෙනවා නම්, තවත් ආකාරයක සියුම් පීඩනයකට මුහුණ දීමට අපට හැකි වේවි. රළු මුහුදක තිබෙන නැවක එක පැත්තක බඳට වේගයෙන් රළ ගසයි නම්, මෙවන් මුහුදක ගමන් කරන එම නැව මුහුදේ රළු ගතිය නිසා එහි ගමන් මගෙන් ටිකෙන් ටික ඉවතට ගසාගෙන යන්නට පුළුවනි. කෙසේවෙතත්, කුණාටුවක් ඇති විට, රළු මුහුදේ යන බෝට්ටුවක් උඩු යටිකුරු අතට පෙරළෙන්නට පුළුවනි.

ඒ හා සමානව, මේ දුෂ්ට ලෝකයෙන් අපට පිදිය හැකි සියලුම දේවල් භුක්ති විඳීමේ පීඩනයට අපි නතු වුවහොත්, ද්‍රව්‍යවාදී මෙම ජීවිත රටාව නිසා අප ආත්මිකව යන ගමනෙන් ඉවතට ඇදී යන්නට පිළිවන්. (2 තිමෝති 4:10) මේ ගැන අපි සුපරීක්ෂාකාරි නොවුණහොත්, ලෝකයට ඇති ඇලුම්කම අවසානයේදී අපගේ ක්‍රිස්තියානි මාර්ගය මුළුමනින්ම අත්හැර දමන තත්වයට අපව පත් කළ හැකියි. (1 යොහන් 2:15) මෙහිදී කල්පනා ශක්තිය අපට ආධාරයක් වන්නේ කොහොමද?

පළමුව, අපට එරෙහිව එන අන්තරායන් මොනවාද කියා කලින් දකින්නට එය අපට උදව් වෙනවා. මේ ලෝකය සියලු වාණිජමය ගැට සහ උගුල්වලින් අපව හසු කරගැනීමට මාන බලයි. පොහොසත්, සමාජයේ කැපී පෙනෙන, ජේත්තුවට අඳින පළඳින, “සාර්ථක” ජීවිතයක් සෑම කෙනෙක්ම ගත කළ යුතුයයි මේ ලෝකය දිගින් දිගටම අපට යෝජනා කරනවා. (1 යොහන් 2:16) සෑම කෙනෙකුගේම, විශේෂයෙන්ම අප අවට පරිසරයේ වෙසෙන්නන්ගේ හා අසල්වාසීන්ගේ අනුමැතිය හා ප්‍රශංසාව අපට ලැබෙන බවට පොරොන්දු වෙනවා. අපට කල්පනා ශක්තිය තිබෙනවා නම්, මේ ප්‍රචාරණයෙන් අපි මුළා වෙන්නේ නැහැ. මන්ද යෙහෝවා ‘අපගෙන් කිසිසේත් අහක්ව නොයන බවට’ පොරොන්දු වී ඇති නිසා ‘මුදලට ප්‍රේම කිරීමෙන් වැළකී සිටීමේ’ වැදගත්කම එය අපට මතක් කර දෙනවා.—හෙබ්‍රෙව් 13:5.

දෙවනුව, අපට කල්පනා ශක්තිය තිබෙන විට, “සැබෑකම ගැන මුළා වී” සිටින අයගෙන් ඈත් වී සිටින්න පුළුවන්. (2 තිමෝති 2:18) අප කැමති, අප විශ්වාසය තබා ඇති අයට එරෙහිව යමක් පැවසීම හෝ සිතීම එතරම්ම දුෂ්කර දෙයක්. (1 කොරින්ති 15:12, 32-34) එහෙත් ක්‍රිස්තියානි මාර්ගය අත්හැර ගිය අය සමඟ අප අතේ දුරින් ඇසුරු කළත් එය අපේ ආත්මික ප්‍රගතියට හානි කරමින් අන්තිමේදී අපව ආත්මික අන්තරායකට ඇද දමන්නට පුළුවනි. එය හරියට යම් නැවක් එහි ඍජු ගමන් මාර්ගයෙන් එක දශමයක් හැරෙනවා වගේ වෙන්නට පුළුවන්. ඈත දුර ගමනක් යන මේ නැව, එසේ මදක් ඉවතට හැරීමෙන් එය ඉලක්ක කළ ගමනාන්තයට වඩා බොහෝ දුරක් ඈතින් පිහිටීමට සිදු වෙයි.—හෙබ්‍රෙව් 3:12.

කල්පනා ශක්තිය තවත් දේකට අපට උදව් වෙනවා. ඒ තමයි, අපගේ වත්මන් ආත්මික තත්වය හා අපගේ ආත්මික ගමනේ දිශාව කුමක්ද යන්න විග්‍රහ කර බැලීම. සමහරවිට, ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල වඩාත් පුළුල් ලෙස හවුල් වීමේ අවශ්‍යතාවක් ඇති බව අප වටහාගන්නවා විය හැකියි. (හෙබ්‍රෙව් 6:11, 12) එක් සාක්ෂිකාර යෞවනයෙක් තමාගේ කල්පනා ශක්තිය යොදාගෙන ආත්මික ඉලක්ක ලුහුබැඳ ගිය සැටි සැලකිල්ලට ගන්න. “මාධ්‍යවේදී වෘත්තියක් ලුහුබැඳ යෑමට මට අවස්ථාවක් ලැබුණා. මෙය තදින් මගේ සිත් ඇදගත්තා. නමුත් ‘ලෝකය පහව යමින් තිබෙන’ බවත් ‘දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින’ බවත් කියන බයිබල් පදය මට මතක් වුණා. (1 යොහන් 2:17) මම මගේ ජීවිතය ගත කරන ආකාරයෙන් මගේ විශ්වාසයන් පිළිබිඹු විය යුතු බව මා කල්පනා කළා. මගේ දෙමාපියන් ක්‍රිස්තියානි ඇදහිල්ල අත්හැරලයි තිබුණේ, මට ඕනෑ වුණේ නැහැ ඔවුන්ගේ අවාදර්ශය අනුගමනය කරන්න. ඒ නිසා අර්ථවත් ජීවිතයක් ගත කිරීමටත් ස්ථාවර පුරෝගාමියෙකු ලෙස සේවය පටන්ගැනීමටත් මට වුවමනා වුණා. අවුරුදු හතරක් පුරා ගත කළ තෘප්තිමත් ජීවිතය නිසා, මං දැනගත්තා මම හරි තේරීම කළා කියලා.”

ආත්මික කුණාටුවලට සාර්ථකව මුහුණ දීම

අදදින අප කල්පනා ශක්තිය පාවිච්චි කිරීම ඉතා අත්‍යවශ්‍ය දෙයක් වන්නේ ඇයි? මුහුදේ ඇති වන අනතුරු සංඥාවන්ට නැවියන් හොඳින් සංවේදීව සිටිය යුතුයි. විශේෂයෙන්ම කුණාටු හමා යන වේලාවල මෙය ඉතා වැදගත්. මුහුදේ අවට උෂ්ණත්වය අඩු වී සුළං හැමීම බලවත් වේ නම්, නැවේ දොරවල් ජනෙල් සියල්ලම වසා තබා පැමිණෙන අර්බුදයට මුහුණ දීමට ඔවුන් ලකලැහැස්ති වෙනවා. ඒ හා සමානව, මේ දුෂ්ට ක්‍රමය එහි අවසානයට ඇදී එත්ම අප කරා එල්ල වන පීඩනවල දැඩි සුළඟට මුහුණ දීමට අප සූදානම්ව සිටිය යුතුයි. සමාජය නමැති වස්ත්‍රයේ සදාචාරය නමැති නූල් එන්ට එන්ටම දුර්වල වී ‘නපුරු මනුෂ්‍යයෝ . . . වඩ වඩා නරක් වෙනවා.’ (2 තිමෝති 3:13) නැවියන් නිතරම කාලගුණ අනාවැකිවලට සවන් දෙනවා හා සමානව, අපිත් දෙවිගේ අනුභාවය ලත් වචනයේ අනාවැකිමය අනතුරු ඇඟවීම්වලට අවනත විය යුතුයි.—ගීතාවලිය 19:7-11.

අප කල්පනා ශක්තිය යොදාගන්නා විට, අප කරන්නේ සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම අදාළ කරගැනීමයි. (යොහන් 17:3) අපට ගැටලු අපේක්ෂා කරන්නටත් ඒවායින් ජයගත හැකි ආකාරය තීරණය කරන්නටත් එමගින් පුළුවන්. මෙසේ, ක්‍රිස්තියානි මාර්ගයෙන් ඈතට ගසාගෙන නොයන්නට අපි අදිටන් කරගනු ඇති. ඒ වගේම ආත්මික ඉලක්ක පිහිටුවාගෙන ඒවා ලුහුබැඳ යෑමෙන් “මතු කාලයට යහපත් අත්තිවාරමක් තබාගන්ට” අපට පිළිවන්.—1 තිමෝති 6:19.

අප ප්‍රායෝගික ප්‍රඥාව හා කල්පනා ශක්තිය ආරක්ෂා කරගන්නවා නම්, “හදිසි භීතියට” භයවීමට කිසිදු අවශ්‍යතාවක් නැහැ. (හිතෝපදේශ 3:21, 25, 26) ඒ වෙනුවට, දෙවිගේ පොරොන්දුවෙන් අපට සැනසීම ලැබිය හැකියි. “ප්‍රඥාව නුඹේ සිතට ඇතුල් වන්නේය. දැනගැන්මද නුඹේ ආත්මයට ප්‍රසන්න වන්නේය. සිහිය [කල්පනා ශක්තිය, NW] නුඹ රැකවල් කරන්නේය.”—හිතෝපදේශ 2:10, 11.

[පාදසටහන]

a මතෙව් 5:23, 24හි ඇති උපදෙසට අනුව, සමාදානය ඇති කරගැනීමට ක්‍රිස්තියානීන් උත්සාහ කළ යුතුයි. මෙම කාරණයට බරපතළ වැරදි ඇතුළත් වේ නම්, මතෙව් 18:15-17හි දක්වා ඇති පරිදි තම සහෝදරයාව දිනාගැනීමට ඔවුන් උත්සාහ කළ යුතුයි. වර්ෂ 1999 ඔක්තෝබර් 15 මුරටැඹ කලාපයේ පිටු 17-22 බලන්න.

[23වන පිටුවේ පින්තූරය]

නිතිපතා අදහස් හුවමාරු කරගැනීම විවාහය ගොඩනංවයි