Skip to content

පටුනට යන්න

කියවන්න ඉගෙනගත් නිසා එයාලාට හරි සතුටුයි

කියවන්න ඉගෙනගත් නිසා එයාලාට හරි සතුටුයි

කියවන්න ඉගෙනගත් නිසා එයාලාට හරි සතුටුයි

සොලොමන් දූපත්වල සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් සියයට 80දෙනෙකුට පමණ සාක්ෂරතා හැකියාව නැත. මෙය සතිපතා රැස්වීම්වලට සහභාගි වීම අඩපණ කළා පමණක් නොව අන් අයට රාජ්‍ය සත්‍යය ඉගැන්වීම ඔවුන්ට දුෂ්කර කටයුත්තක් කරවීය. ඇත්තටම පැන්සලක් කිසි දිනක නාල්ලපු වැඩිහිටියෙකුට අකුරු උගත හැකිද?

යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද කියවීමට සහ ලිවීමට අත්වැල (සිංහලෙන් නොමැත) නමැති විවරණිකාව සොලොමන් දූපත්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සෑම සභාවකම පවත්වන කියවීමේ පංතිවලදී භාවිතයට ගැනේ. මෙම වැඩසටහනින් බොහෝදෙනෙකු ප්‍රයෝජන ලබා ඇති බව මතු දැක්වෙන අද්දැකීම්වලින් පැහැදිලි වෙයි. වඩා වැදගත් වූයේ කියවීමට උගැන්මෙන් තම ඇදහිල්ල පිළිබඳව කදිම සාක්ෂියක් දීමට ඔවුන් ලද හැකියාවය.—1 පේතෘස් 3:15.

ප්‍රචාරකයන් සියදෙනෙකු පමණ සිටි සභාවක් සමඟ සේවය කිරීමට මිෂනාරිවරියකට පැවරුමක් ලැබුණි. එම සභාවේ මුරටැඹ සඟරාව භාවිතා කරමින් සතිපතා පවත්වන බයිබල් අධ්‍යයනයට තමන්ටම කියා සඟරාවේ පිටපත් තබාගෙන සිටියේ සුළු පිරිසක් බවත් පිළිතුරු දෙනු ලැබුවේ ඊටත් වඩා සුළු පිරිසක් බවත් එම මිෂනාරිවරිය නිරීක්ෂණය කළාය. මෙයට හේතුව ඔවුන්ට සාක්ෂරතා හැකියාව නොමැතිකමයි. මේ නිසා ලිවීමට සහ කියවීමට පාසැලක් පැවැත්වීමට කටයුතු යොදන බව සභාවේ නිවේදනය කළ විට මෙම මිෂනාරිවරිය සිය කැමැත්තෙන් ගුරුවරියක් වීමට ඉදිරිපත් වූවාය. මුලදී පාසැලට පැමිණියේ ශිෂ්‍යයන් සුළු පිරිසකි. පසුව විවිධ වයස් මට්ටම්වලින් 40දෙනෙක් පමණ සහභාගි වීමට පටන්ගත්හ.

ඇති වූ ප්‍රතිඵල ගැන මිෂනාරිවරිය ප්‍රකාශ කරන්නේ මෙසේයි. “මෙම පාසැල ආරම්භ වී ටික කාලයකට පසු උදේ හයට විතර මම මාර්කට් එකට ගියා මිෂනාරි නිවසට බඩු ගේන්න. මම දැක්කා සමහර ශිෂ්‍යයන්, ලොකු අය විතරක් නෙමෙයි පුංචි ළමයි පවා පොල්, එළවළු විකුණනවා. එසේ විකුණන්නේ ඔවුන්ගේ පංතියට අවශ්‍ය වන පොත් පෑන් මිල දී ගන්න අවශ්‍ය මුදල් හොයාගන්නයි. එම පාසැලට පැමිණීමෙන් තමන්ටම කියා මුරටැඹ සඟරාවේ පිටපතක් තබාගැනීමටද ඔවුන් තුළ පෙලඹීමක් ඇති වුණා. ඒ වගේම දැන් සභාවේ මුරටැඹ පාඩමට බාල මහලු සෑම කෙනෙක්ම එක හා සමානව හොඳින් සහභාගි වන නිසා සාකච්ඡාවත් සාර්ථකව කෙරීගෙන යනවා.” මෙම මිෂනාරිවරිය හුඟාක් සතුටු වූයේ මෙම පංතියට පැමිණි හතරදෙනෙකු දේශනා සේවයේ සහභාගි වීමට තමන්ට අවශ්‍ය බව කියා සිටි විටයි. “අපි දැන් බය නැහැ” කියා ඔවුන් ප්‍රකාශ කළේ සතුටිනි.

ශිෂ්‍යයෝ කියවීමට හා ලිවීමට ඉගෙනගන්නවාට අමතරව මෙම පංතිවලින් බොහෝ ප්‍රයෝජන ලැබූහ. එක් උදාහරණයක් සලකා බලමු. වසර ගණනාවක් පුරා සාක්ෂිකරුවෙකුගේ අවිශ්වාසවන්ත භාර්යාවකගෙන් සභාවට යම් බාධා ඇති විය. මන්ද ඇය සුළු කේන්තියක් ඇති වූ විට පවා මනුෂ්‍යයන්ට ගල් ගැසූ අතර වෙනත් ස්ත්‍රීන්ට ලී පොලුවලින් පහර දුන්නාය. ඇය ඉඳ හිට තම ස්වාමිපුරුෂයා සමඟ රැස්වීම්වලට පැමිණි අතර ඇය ස්වාමිපුරුෂයාට කොතරම් ඊර්ෂ්‍යා කළාද කිවහොත් ඔහු වෙනත් ස්ත්‍රීන් දෙස බලනවා කියා ඇය ඔහුට දොස් නැඟීය. එමනිසා ඔහු අව් කණ්ණාඩියක් පැළඳ සිටීමට තීරණය කළේය.

සාක්ෂරතා පංතිය ආරම්භ වූ පසු මෙම ස්ත්‍රිය “මාත් පංතියට එන්නද” කියා ඇසුවාය. ඇයට අවසර ලැබුණ අතර එතැන් පටන් ඇය පංතිය හෝ සභා රැස්වීම් අතපසු නොකළාය. ඇය වෙහෙස මහන්සි වී කියවීමේ පාඩම් කළ අතර ඉක්මන් දියුණුවක් පෙන්නුම් කළාය. ඇය එයින් ඉමහත් සතුටක් ලැබුවාය. “මට බයිබල් පාඩමක් කරන්න බැරිද?” එය තමයි ඇගේ අනෙක් ඉල්ලීම. ඇගේ ස්වාමිපුරුෂයා සතුටින් ඈ සමඟ පාඩමක් ආරම්භ කළ අතර ඇයද කියවීමෙහි හා ලිවීමෙහි පමණක් නොව බයිබලය පිළිබඳ දැනුම ලබාගැනීමෙහිද දියුණුවක් ලබමින් සිටියි.

කිසිදා පැන්සලක් නොඇල්ලූ පනස් වියැති පුද්ගලයෙකුට පෑනක් රැගෙන හෝඩිය ඉගෙනීම ඉතා දුෂ්කර කාර්යයකි. සමහරෙකු කොළයේ ලියන විට පෑන ඉතා තදින් ඇල්ලීම නිසා ඉගෙනුම ඇරඹූ විගස ඔවුන්ගේ ඇඟිලි මත බිබිලි හටගත්තේය. සති ගණනක් පෑන ඇල්ලීමට අත හුරු කරගැනීමට වෙහෙසීමෙන් පසු සමහර ශිෂ්‍යයෝ මුවට සිනාවක් නඟමින් මෙසේ කීහ. “දැන් මට සැහැල්ලුවට ලියන්න පුළුවන්.” ශිෂ්‍යයන්ගේ ප්‍රගතිය උපදේශකයන්ටද ප්‍රීතියකි. එක් උපදේශිකාවක් මෙසේ පැවසුවාය. “පංතියක උගන්වන එක සතුටක්. යෙහෝවා ලබා දුන් මෙම සැපයුමට ශිෂ්‍යයන් ගොඩක් වෙලාවට තම අගය ප්‍රකාශ කරන්නේ පංතිය අවසානයේ අත්පොළසන් දීමෙන්.”

මිෂනාරිවරුන් සමඟ අකුරු උගත් සාක්ෂිකරුවෝ ප්‍රීතියෙන් සිටිති. එයට හේතුව ඔවුන් ලද කියවීමේ සහ ලිවීමේ හැකියාව යෙහෝවා දෙවිව මහිමයට පත් කිරීමට යෙදවිය හැකිවීමයි.

[8, 9වන පිටුවේ පින්තූර]

බාල මහලු සෑම කෙනෙක්ම සාක්ෂරතා පංති අගය කරති