Skip to content

පටුනට යන්න

‘දිගටම මා පසුපස එන්න’

‘දිගටම මා පසුපස එන්න’

‘දිගටම මා පසුපස එන්න’

‘ඊට ඔබ කැඳවනු ලැබුවහුය. මක්නිසාද ක්‍රිස්තුස් ඔබ නිසා වධ විඳ, ඔබ ඔහුගේ අඩි පාරේ යන පිණිස ඔබට ආදර්ශයක් දී ගියේය.’—1 පේතෘස් 2:21.

1, 2. ගුරුවරයෙකු ලෙස යේසුස් තැබූ පරිපූර්ණ ආදර්ශය අපට අනුකරණය කළ නොහැකි තරම් ඉහළ තලයක තිබෙන එකක් නොවන්නේ මන්ද?

 මිහිපිට මෙතෙක් පය තැබූ උතුම්ම ගුරුවරයා යේසුස් ක්‍රිස්තුස්ය. ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨත්වය අතින් වෙන කිසිවෙකු ඔහුට ළඟා වන්නේවත් නැත. යේසුස් පරිපූර්ණ මිනිසෙක් විය. ඉන් අදහස් කරන්නේ මිනිසෙකු ලෙස තමන් ගත කළ මුළු ජීවිත කාලය පුරා ඔහු අතින් පාපයක් සිදු නොවූ බවය. (1 පේතෘස් 2:22) කෙසේවෙතත්, ගුරුවරයෙකු ලෙස යේසුස් තැබූ ආදර්ශය අසම්පූර්ණ මිනිසුන් වන අපට අනුකරණය කිරීමට නොහැකි තරම් ඉහළ තලයක තිබෙන බව මින් අදහස් වේද? කිසිසේත් නැත.

2 අප කලින් ලිපියේ දුටු පරිදි, යේසුස්ගේ ඉගැන්වීමට අඩිතාලම වූයේ ප්‍රේමය සහ ඇල්මයි. ප්‍රේමය අප සැමට වගා කළ හැකි දෙයකි. අන් අය සඳහා අපට තිබෙන ප්‍රේමය වර්ධනය කරගන්නත්, ඒ සම්බන්ධයෙන් දියුණු විය හැකි පැති ගැන අවධානය යොමු කරන්නත් දේවවචනය අපගෙන් උදක්ම ඉල්ලා සිටියි. (පිලිප්පි 1:11; කොලොස්සි 3:14) තම මැවිලිවලට කළ නොහැකි දේවල් යෙහෝවා කිසිවිටෙකත් ඔවුන්ගෙන් අපේක්ෂා නොකරයි. ඇත්තෙන්ම “දෙවි ප්‍රේමය” වන නිසාත්, ඔහුගේ ස්වරූපයෙන් අපව මවා ඇති නිසාත්, අපව නිර්මාණය කර ඇත්තේ ප්‍රේමය පෙන්නුම් කිරීමට කියා පැවසිය හැක. (1 යොහන් 4:8; උත්පත්ති 1:27) එමනිසා අපගේ තේමා බයිබල් පාඨයෙහි සඳහන් ප්‍රේරිත පේතෘස්ගේ වදන් කියවද්දී, අපට නිසැකකමින් යුතුව ඊට ප්‍රතිචාරය දැක්විය හැක. එවිට අපට ක්‍රිස්තුස්ගේ අඩිපාරෙහි ගමන් කරන්නට පුළුවන. ඇත්තෙන්ම ‘දිගටම මා පසුපස එන්න’ යන යේසුස්ගේ ආඥාවටද කීකරු විය හැක. (ලූක් 9:23NW) එසේ නම්, ක්‍රිස්තුස් විදහාපෙන්වූ ප්‍රේමය අනුකරණය කළ හැකි අන්දම සලකා බලමු. මුලින්ම ඔහු ඉගැන්වූ සත්‍යතා සඳහා දැක්වූ ඇල්ම සහ අනතුරුව ඔහු ඉගැන්වූ ජනතාවට දැක්වූ ප්‍රේමය අනුකරණය කළ හැකි අන්දම සෝදිසි කර බලමු.

අප ඉගෙනගන්නා සත්‍යයන් සඳහා ඇල්මක් ගොඩනැංවීම

3. ඇතමුන්ට අධ්‍යයනය කිරීම අසීරු කාර්යයක් වන්නේ මන්ද? එනමුත් හිතෝපදේශ 2:1-5හි සොයාගත හැක්කේ කවර අවවාදයද?

3 අන් අයට උගන්වන සත්‍යතාවලට ඇල්මක් දැක්වීමට නම්, එවන් සත්‍යතා පෞද්ගලිකව ඉගෙනගැනීමට අප ඇල්මක් දැක්විය යුතුය. අද වැනි ලෝකයක එවන් ඇල්මක් පහසුවෙන් ජනිත වන බව කීම අපහසුය. ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලබා නොමැති නිසාත්, යෞවන කාලයේදී අප්‍රියජනක පුරුදු වර්ධනය කරගෙන සිටින නිසාත්, බොහෝදෙනෙකුට යමක් අධ්‍යයනය කිරීමට ප්‍රියක් නැත. කෙසේවෙතත්, අප යෙහෝවාගෙන් ඉගෙනගැනීම අත්‍යවශ්‍යය. හිතෝපදේශ 2:1-5හි මෙසේ සැල වේ. “මාගේ පුත්‍රය, නුඹ මාගේ කීම් පිළිගෙන, මාගේ ආඥා නුඹ වෙත තබාගෙන, ප්‍රඥාවට ඇහුම්කන් දී ඥානයට නුඹේ සිත යොමු කරන්නෙහි නම්, එසේය, නුඹ නුවණට හඬගසා, ඥානයට නුඹේ ශබ්දය නඟන්නෙහි නම්, නුඹ රිදී මෙන් ඇය [දිගටම, NW] සොයා, නිධාන ගැන මෙන් ඇය ගැන විභාග කරන්නෙහි නම්, නුඹ යෙහෝවා කෙරෙහි භයවීම තේරුම්ගන්නෙහිය. දෙවි හැඳිනගැනීමටද පැමිණෙන්නෙහිය [දෙවි පිළිබඳ දැනුම අත් කරගන්නෙහිය, NW].”

4. ‘සිත යොමු කිරීමෙන්’ අදහස් කරන්නේ කුමක්ද? එසේ සිත යොමු කිරීමට කවර ආකල්පයක් දැරීම උපකාරවත් වේද?

4 මෙහි පළමුවන පදයේ සිට 4වන පදය දක්වා ඉගැන්වීම් “පිළිගෙන,” “තබාගෙන” සිටීමට පමණක් නොව, නමුත් “දිගටම” ඒවා ‘සෙවීමටත්,’ ‘විභාග කිරීමටත්’ අපගෙන් උදක්ම ඉල්ලා සිට ඇති ආකාරය සැලකිල්ලට ගන්න. කෙසේවෙතත්, මෙම කාර්යය ඉටු කිරීමට අපව පෙලඹවිය යුත්තේ කුමක්ද? “ඥානයට නුඹේ සිත යොමු” කරන්න යන වාක්‍ය ඛණ්ඩය සලකා බලන්න. එක් ආශ්‍රේය ග්‍රන්ථයක පවසන පරිදි මෙම අවවාදය “අවධානය යොමු කිරීමට කරන ඇරයුමක් පමණක් නොවේ. යම්කිසි ආකල්පයක් වර්ධනය කරගැනීම සඳහා කරන ලද ප්‍රබල ඉල්ලීමකි. එනම් ඉගෙනගන්නා දේ සඳහා උද්‍යෝගිමත් ප්‍රතිචාරයක් දැක්වීමට කරන අයැදීමකි.” එසේ නම්, යෙහෝවා අපට උගන්වන දේට හොඳ ප්‍රතිචාරයක් දක්වමින් ඒවා ඉගෙනීම සඳහා උද්‍යෝගයක් දැක්වීමට කුමක් උපකාරවත් විය හැකිද? ඒ සඳහා, අප විසින් “දෙවි පිළිබඳ දැනුම” [NW] “රිදී” මෙන්ද සැඟවුණු “නිධාන” මෙන්ද සැලකිය යුතුය.

5, 6. (අ) කාලය ගෙවී යෑමත් සමඟ කුමක් සිදු විය හැකිද? එවන් දෙයක් සිදුවීම අපට වළක්වාගත හැක්කේ කෙසේද? (ආ) අප බයිබලය තුළින් සොයාගත හැකි දැනුම් සම්භාරයට දිගටම තව තවත් නිධාන එකතු කරගත යුත්තේ මන්ද?

5 මෙවැනි ආකල්පයක් දැරීමට ඉගෙනගැනීම එතරම් දුෂ්කර කාර්යයක් නොවේ. නිදසුනකට, ඔබ මෙතෙක් අවබෝධ කරගෙන ඇති ‘දෙවි පිළිබඳ දැනුමට,’ විශ්වාසවන්ත මිනිස්වර්ගයා පොළොව මත පාරාදීසයේ සදාකල් ජීවත් වන බවට වූ යෙහෝවාගේ අරමුණ හා බැඳි සත්‍යය ඇතුළත් විය හැකිය. (ගීතාවලිය 37:28, 29) ඔබ එම සත්‍යය මුල් වරට ඉගෙනගත් විට, එය සැබෑ නිධානයක් ලෙස සැලකුවාට සැකයක් නැත. ඔව්, එය ඔබේ මනස සහ හදවත ප්‍රීතියෙන් උතුරා යෑමට සැලැස්වූ සත්‍යය වූ කාරණයක් විය. කෙසේවෙතත්, වර්තමානය ගැන කුමක් කිව හැකිද? කාලය ගෙවී යෑමත් සමඟ ඔබ සතු නිධානයේ වටිනාකම අඩු වී ඇද්ද? ඒ සඳහා ඔබේ අගය බොඳ වී තිබේද? එවැන්නක් සිදු වී ඇත්නම්, මේ කාරණා දෙක අත්හදා බලන්න. මුලින්ම, ඔබේ අගය යළි පණගන්වන්න. ඒ කෙසේද? වසර ගණනාවකට පෙර ඉගෙනගත් සත්‍යයන් ඇතුළුව යෙහෝවා ඔබට උගන්වා ඇති සෑම සත්‍යයක්ම ඔබ අනර්ඝ කොට සලකන්නේ මන්දැයි නිතිපතා සිහියට නඟන්න.

6 දෙවනුව, ඔබේ නිධානයට තවත් වස්තු දිගටම එකතු කරගන්න. ඇත්තෙන්ම, ඔබ අනර්ඝ මැණිකක් සොයාගත්තා නම්, සතුටින් එය සාක්කුවට දමාගෙන එය සොයාගත් පතලෙන් ඉවත්ව යනු ඇද්ද? එසේ නැතහොත් ඔබ තවත් මැණික් සෙවීමට පතල තවත් හාරනු ඇද්ද? ඇත්තෙන්ම දේවවචනය මැණික් සහ නිධාන සම්භාරයකින් හෙබි ග්‍රන්ථයකි. කොතරම් ගණනක් සොයා තිබුණත්, සෙවීමට තවත් බොහොමයක් ඇත. (රෝම 11:33) ඔබ සත්‍යයේ මැණිකක් ඉවතට ගන්නා විට ඔබෙන් මෙසේ අසාගන්න. ‘මෙය නිධානයක් කියා සැලකිය යුත්තේ මන්ද? යෙහෝවාගේ පෞද්ගලිකත්වය හෝ ඔහුගේ අරමුණු ගැන මට එමගින් වඩාත් ගැඹුරු අවබෝධයක් ලැබේද? යේසුස්ගේ අඩිපාරේ ගමන් කිරීමට උපකාරයක් විය හැකි යම් ප්‍රායෝගික මඟ පෙන්වීම් එතුළ නිදන්ගත වී ඇද්ද?’ යෙහෝවා ඔබට උගන්වා ඇති සත්‍යයන් සඳහා ඔබේ ඇල්ම වර්ධනය කරගැනීමට එවැනි ප්‍රශ්න ගැන මෙනෙහි කිරීම පිටුවහලක් වනු ඇත.

අප උගන්වන සත්‍යතා සඳහා ඇල්මක් පෙන්නුම් කිරීම

7, 8. බයිබලයෙන් අප ඉගෙනගෙන ඇති සත්‍යයන්ට අප ඇල්මක් දක්වන බව අන් අයට පෙන්නුම් කළ හැකි ඇතැම් ක්‍රම මොනවාද? උදාහරණයක් දෙන්න.

7 අන් අයට උගන්වද්දී දේවවචනයෙන් අප ඉගෙන ඇති සත්‍යතාවලට අප ඇල්මක් දක්වන බව පෙන්නුම් කළ හැක්කේ කෙසේද? අපගේ දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ කටයුතුවලදී අප බොහෝ සෙයින් රඳා සිටින්නේ බයිබලය මතය. මෙහිදී අපි යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරමු. මෑතක සිට ප්‍රසිද්ධ දේවසේවයෙහි බයිබලය වැඩියෙන් භාවිත කිරීමට ලොව පුරා සිටින දෙවිගේ ජනයාට දිරිගන්වා තිබේ. මෙම යෝජනාව පෞද්ගලිකව අදාළ කරගන්නා විට, ඔබ බයිබලයෙන් බෙදාගන්නා දේ පෞද්ගලිකව අනර්ඝ කොට සලකන බව නිවැසියාට දැනෙන්නට සැලැස්වීම සඳහා ක්‍රම සොයන්න.—මතෙව් 13:52.

8 නිදසුනකට, පසුගිය අවුරුද්දේ නිව් යෝක් නුවරෙහි සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව, එක් සහෝදරියක් දේවසේවයෙහි නිරත වන විට තමන්ට හමු වූ පුද්ගලයන් සමඟ ගීතාවලිය 46:1, 11හි සඳහන් අදහස බෙදාගත්තාය. මුලින්ම ඇය ඇසුවේ, එම ඛේදවාචකයෙන් පසුව ඔවුන් කවර මානසික තත්වයක සිටිනවාද යන්නයි. ඔවුන්ගේ ප්‍රතිචාරයට ඉතා හොඳින් සවන් දුන් ඇය, ඔවුන්ට තිබූ හැඟීම් තේරුම්ගෙන මෙසේ පැවසුවාය. “මෙම අමාරු කාලයේදී මට ඉමහත් සැනසිල්ලක් ලබා දුන් ශුද්ධ ලියවිලි පදයක් මම පෙන්නන්නද?” ඇගේ ආරාධනාව ප්‍රතික්ෂේප කළේ අතළොස්සක් පමණි. බොහෝදෙනෙකු සමඟ ඉතා අර්ථවත් සාකච්ඡා පවත්වන ලදි. යෞවනයන් මුණගැසෙද්දී මෙම සහෝදරිය සාමාන්‍යයෙන් පවසන්නේ මෙවන් දෙයකි. “මම දැනට බයිබලය අවුරුදු 50ක් පුරා උගන්වා තිබෙනවා. ඔබ දන්නවාද, බයිබලය තුළින් විසඳුමක් හොයන්න බැරි ගැටලුවක් මට තවමත් හමු වී නැහැයි කියලා.” අවංක මෙන්ම උද්‍යෝගිමත් එළඹීමක් භාවිත කිරීමෙන් අප දේවවචනයෙන් ඉගෙනගෙන ඇති දේ අගය කරන බවත්, ඊට ඇල්මක් දක්වන බවත් පෙන්වමු.—ගීතාවලිය 119:97, 105.

9, 10. අපගේ විශ්වාසයන් සම්බන්ධයෙන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙද්දී බයිබලය භාවිත කිරීම වැදගත් වන්නේ මන්ද?

9 අපගේ විශ්වාසයන් ගැන පුද්ගලයන් ප්‍රශ්න අසන විට, අප දේවවචනයට ඇල්මක් දක්වන බව පෙන්නුම් කිරීමට කදිම අවස්ථාවක් උදා වේ. යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන අප, නිකම්ම අපගේ පිළිතුරු අපගේම අදහස් මත පදනම් කරගන්නේ නැත. (හිතෝපදේශ 3:5, 6) පිළිතුරු දෙන විට අප භාවිත කරන්නේ බයිබලයයි. ඔබට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්නයක් අසයි කියා ඔබ බියෙන් සිටිනවාද? ඔබට ගත හැකි ඒකාන්ත පියවර දෙකක් සලකා බලන්න.

10 සූදානම් වී සිටින්නට ඔබට හැකි දේ කරන්න. ප්‍රේරිත පේතෘස් ලියූ දේ සලකා බලන්න. “නුඹලාගේ සිත්වලින් ස්වාමීන් කොට ක්‍රිස්තුස්ට ගෞරව කරන්න. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තර දෙන්ට නිතර සෑදී සිටින්න. නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය.” (1 පේතෘස් 3:15) ඔබේ විශ්වාසයන්ට පක්ෂව කතා කිරීමට ඔබ සූදානමින් සිටිනවාද? ශුද්ධ ලියවිල්ලට විරුද්ධ යම් චාරිත්‍රයක් හෝ සිරිතකට ඔබ සහභාගි නොවන්නේ මන්දැයි කෙනෙකුට දැනගන්නට වුවමනා නම්, “ඒක මගේ ආගමට විරුද්ධයි” යන්න පැවසීමෙන් සෑහීමට පත් නොවන්න. මෙවැනි උත්තරයකින් ඔබ වෙනුවෙන් තීරණ ගැනීමට ඔබ අන් අයට ඉඩ දෙන බවටත්, ඒ හේතුවෙන් ඔබ යම් උන්මත්තක ලබ්ධියක සාමාජිකයෙකු බවටත් ඇඟවීමක් දිය හැක. “දේවවචනය වන බයිබලයෙහි එය තහනම් කර තිබෙනවා” නැතහොත් “එවැනි දෙයක් කළොත් මගේ දෙවි අසතුටු වෙයි” වැනි පිළිතුරක් දී සාධාරණ ලෙස ඊට හේතුව පැහැදිලි කිරීම වඩාත් හොඳය.—රෝම 12:1.

11. දේවවචනයෙහි සඳහන් සත්‍යතා පිළිබඳව පැනනඟින ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා අපව සූදානම් කිරීමට උපකාරවත් විය හැකි පර්යේෂණ මෙවලම නම් කරන්න.

11 මෙවැනි දෙයක් කරන්නට ඔබ සූදානම් වී නැතැයි හැඟෙනවා නම්, සාකච්ඡා කිරීම සඳහා බයිබල් විෂයන් යන පොත් පිංචය අධ්‍යයනය කිරීම ප්‍රයෝජනවත් වේ. a ඇතැම්විට ප්‍රශ්න මතු කළ හැකියයි සිතෙන විෂයන් කිහිපයක් තෝරාගෙන, අදාළ ශුද්ධ ලියවිලිමය කාරණා කිහිපයක් මතකයෙහි තැන්පත් කරගන්න. නිතරම බයිබල් විෂයන් පොත් පිංචය සහ බයිබලය ළඟ තබාගන්න. ඒවා භාවිත කිරීමට පසුබට නොවන්න. ප්‍රශ්නවලට බයිබලයෙහි තිබෙන පිළිතුරු සෙවීමට උපකාරවත් වන පර්යේෂණ මෙවලමක් ඔබ ළඟ තිබෙන බවත් එය භාවිත කිරීමට ඔබ කැමති බවත් කියන්න.

12. බයිබල් ප්‍රශ්නයකට පිළිතුර නොදන්නා විට අපට කෙසේ ප්‍රතිචාරය දැක්විය හැකිද?

12 අනවශ්‍ය ලෙස කනස්සලු නොවන්න. කිසිම අසම්පූර්ණ පුද්ගලයෙකු ළඟ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු නැත. එමනිසා, ඔබට පිළිතුරු දිය නොහැකි බයිබල් ප්‍රශ්නයක් ඔබෙන් අසන විට ඔබට පිළිතුරු වශයෙන් මෙවන් දෙයක් පැවසිය හැක. “මේ වගේ වැදගත් ප්‍රශ්නයක් ඔබ ඇසූ එක හොඳයි. හැබැයි, අවංකව කියනවා නම්, මම පිළිතුර දන්නේ නැහැ. නමුත් බයිබලයෙහි පිළිතුරක් නිසැකවම ඇති. මම හරි කැමතියි බයිබලය පර්යේෂණ කරන්න. ඉතින් ඔබේ ප්‍රශ්නයට උත්තරය සොයාගෙන, මම ආපසු එන්නම්.” මෙවැනි අවංක, නිහතමානි පිළිතුරකින්, ඉදිරියෙහි තවදුරටත් සාකච්ඡා කිරීමට මඟ විවෘත කළ හැකිය.—හිතෝපදේශ 11:2, NW.

අප උගන්වන අයට ප්‍රේමය දැක්වීම

13. අප දේශනා කරන අය සම්බන්ධයෙන් සුබවාදී ආකල්පයක් පවත්වාගත යුත්තේ මන්ද?

13 යේසුස් තමා ඉගැන්වූ අයට ප්‍රේමය දැක්වීය. මේ සම්බන්ධයෙන් අපට ඔහුව අනුකරණය කළ හැක්කේ කෙසේද? අප අවට සිටින ජනයා කෙරෙහි අසංවේදී ආකල්පයක් අප තුළ වර්ධනය වීමට අප කිසිදාක ඉඩ නොදිය යුතුය. “සර්වපරාක්‍රම වූ දෙවිගේ මහත් දවසේ යුද්ධය” තව තවත් ළඟා වෙමින් පවතින අතර, බිලියන ගණනාවකින් යුත් මිනිස්වර්ගයාගෙන් වැඩි හරියක් එම යුද්ධයේදී විනාශ වනු ඇත. (එළිදරව් 16:14; යෙරෙමියා 25:33) එනමුත්, ජීවත් වන්නේ කවුද, මැරෙන්නේ කවුද යන්න අපි නොදනිමු. එම විනිශ්චය සිදු කරන්නේ අනාගතයේදීය. තවද එය කරන්නේ යෙහෝවා පත් කර ඇති විනිසුරු වන යේසුස් ක්‍රිස්තුස් විසිනි. එම විනිශ්චයේ තීන්දුව ප්‍රකාශ වන තෙක්, සෑම පුද්ගලයෙකු දෙසම අප බැලිය යුත්තේ යෙහෝවාගේ සේවකයෙකු බවට පත් විය හැකි කෙනෙකු ලෙසය.—මතෙව් 19:24-26; 25:31-33; ක්‍රියා 17:31.

14. (අ) අප ජනතාව කෙරෙහි සංවේදනය දක්වනවාද යන්න සලකා බැලීමට අපවම සෝදිසි කර බැලිය හැක්කේ කෙසේද? (ආ) අන් අය කෙරෙහි සංවේදනය සහ පෞද්ගලික උනන්දුවක් දැක්විය හැකි ප්‍රායෝගික ක්‍රම කිහිපයක් නම් කරන්න.

14 එසේ නම්, යේසුස් කළාක් මෙන් අපට හමු වන ජනයා සමඟ සංවේදනයෙන් යුතුව කටයුතු කිරීමට අපි උත්සාහ දරමු. අපගෙන්ම මෙසේ අසාගත හැකිය. ‘මෙම ලෝකයේ ආගමික, දේශපාලන සහ වාණිජ්‍ය අංගයන්ගේ සූක්ෂ්ම බොරු සහ රැවටිලි හේතුවෙන් මුළා වී ඇති ජනයා සඳහා මට අනුකම්පාවක් දැනෙනවාද? ඔවුන් වෙත අප ගෙනෙන පණිවිඩයට ඔවුන් උදාසීන ප්‍රතිචාරයක් දක්වනවා නම්, ඔවුන්ගේ ප්‍රතිචාරයට හේතුව තේරුම්ගන්නට මා උත්සාහ දරනවාද? මටත්, යෙහෝවාට දැනට සේවය කරමින් සිටින අනික් අයටත්, කලින් එවැනි හැඟීම් තිබුණු බව මට මතක් වෙනවාද? මෙය සැලකිල්ලට ගෙන මා දේශනා කරන විලාසය සකස් කර තිබෙනවාද? එසේ නැතහොත් මොවුන් වෙනුවෙන් උත්සාහයක් දැරීම නිෂ්ඵල කාර්යයක් කියා මා නිගමනය කර ඇද්ද?’ (එළිදරව් 12:9) අප සැබෑ සංවේදනයක් දක්වන බව ජනතාවට දැනෙන විට, අපගේ පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක් දැක්වීමට ඇති ඉඩ කඩ වැඩිය. (1 පේතෘස් 3:8) අපගේ දේවසේවයෙහි හමු වන පුද්ගලයන් කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීමට සංවේදනය අපව පෙලඹවිය හැකිය. ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ ප්‍රශ්න හා ඔවුන්ගේ සිත්තැවුලට හේතු වී ඇති දේවල් අවබෝධ කරගන්නට පුළුවන. නැවත පැමිණෙන විට, කලින් අවස්ථාවේදී ඔවුන් පැවසූ දේවල් ගැන අප කල්පනා කරමින් සිටි බව අපට පෙන්නුම් කළ හැකිය. තවද, ඔවුන්ව නැවත හමු වන අවස්ථාවේදී යම් හදිසි අවශ්‍යතාවක් ඔවුන්ට ඇත්නම්, යම් ප්‍රායෝගික උපකාරයක් දීමට අපට පුළුවන.

15. අප මනුෂ්‍යයන් තුළ තිබෙන හොඳ ගුණාංග වෙත අවධානය දිය යුත්තේ මන්ද? අපට එවැන්නක් කළ හැක්කේ කෙසේද?

15 යේසුස් කළාක් මෙන්, අපි මනුෂ්‍යයන්ගේ හොඳ ගුණාංග වෙත අවධානය දෙමු. ඇතැම්විට තනි මාපියෙක් තම දරුවන් ඇති දැඩි කිරීමට පැසසිය යුතු උත්සාහයක් දරමින් සිටිනවා වන්නට පුළුවන. පුරුෂයෙක් තම පවුල නඩත්තු කිරීමට දැඩි උත්සාහයක් දරමින් සිටියි. මහලු පුද්ගලයෙක් ආත්මික කාරණා කෙරෙහි උනන්දුවක් දක්වයි. අපට මුණගැසෙන පුද්ගලයන් තුළ අප දකින මෙවැනි දේවල් අපගේ සැලකිල්ලට යොමු කරවාගෙන, නිසි ලෙස ඔවුන්ට ප්‍රශංසා කරනවාද? එසේ කරන විට, අප හා ඔවුන් අතර අන්‍යොන්‍ය වශයෙන් තිබෙන සමානකම් කාවද්දනු ලබන අතර, එය රාජ්‍යය පිළිබඳව සාක්ෂියක් දීමට මඟ විවෘත කළ හැකිය. —ක්‍රියා 26:2, 3.

ප්‍රේමය පෙන්වීමට යටහත් පහත්කම අත්‍යවශ්‍යය

16. අප දේශනා කරන අය සමඟ මෘදුව සහ යටහත් ලෙස ගෞරවය දක්වමින් කටයුතු කිරීම වැදගත් වන්නේ මන්ද?

16 අප උගන්වන ජනයා කෙරෙහි ප්‍රේමයක් දක්වනවා නම්, බයිබලයෙහි සඳහන් මෙම ප්‍රඥාවන්ත අවවාදය සිහි කිරීමට පෙලඹෙනු ඇත. “ඥානය උඩඟුකම උපදවයි. නුමුත් ප්‍රේමය වැඩ සිද්ධ කරයි [ගොඩනංවයි, NW].” (1 කොරින්ති 8:1) යේසුස්ට සුවිශේෂ දැනුමක් නැත්නම් ඥානයක් තිබුණද, ඔහු තුළ අහංකාරකමක් දක්නට ලැබුණේ නැත. එමනිසා අන් අය සමඟ ඔබේ විශ්වාසයන් බෙදාගන්නා විට, විවාදශීලී ස්වරයකින් හෝ හිස උදුම්මාගත් විලාසයකින් ලොකුකමක් හිතට ගෙන කතා කිරීමෙන් වැළකී සිටින්න. අපගේ ඉලක්කය වන්නේ ඔවුන්ගේ හදවත් කරා ළඟා වී, අප ඇල්මක් දක්වන සත්‍යතාවලට ජනයාව ආකර්ෂණය කිරීමයි. (කොලොස්සි 4:6) තම ඇදහිල්ලට පක්ෂව කතා කරන්නට ක්‍රිස්තියානීන්ට උපදෙස් දුන් විට, ‘මෘදුකමින් සහ යටහත්කමින් එසේ කළ යුතු’ බව පේතෘස් සිහිගැන්වූ බව මතක තබාගන්න. (1 පේතෘස් 3:15) අප මෘදුව සහ යටහත් පහත් ලෙස ගෞරවය දක්වමින් කටයුතු කරනවා නම්, අප සේවය කරන දෙවි වෙත ජනයා ආකර්ෂණය වීමට ඇති ඉඩ කඩ වැඩිය.

17, 18. (අ) දේවසේවකයන් වශයෙන් අපගේ සුදුසුකම් පිළිබඳව අපව විවේචනයට ලක් වෙනවා නම්, අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද? (ආ) පුරාණ බයිබල් භාෂා පිළිබඳ දැනුමක් තිබීම බයිබල් ශිෂ්‍යයන්හට අත්‍යවශ්‍ය දෙයක් නොවන්නේ මන්ද?

17 අප සතු දැනුම හෝ අපගේ අධ්‍යාපනය ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවක් නැත. ඔබේ බලප්‍රදේශයෙහි ඇතමුන් විශ්ව විද්‍යාලයේ උපාධි හෝ නිලතල නොමැති අයට සවන් දීම ප්‍රතික්ෂේප කරනවා නම්, ඔවුන්ගේ ආකල්පයෙන් අධෛර්යයට පත් නොවන්න. එවකට පැවති ප්‍රසිද්ධ යුදෙව් ආගමික විද්‍යාලවලට ගොස් අධ්‍යාපනයක් නොලැබූ නිසා ඔහු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විරෝධතා යේසුස් ගණනකට ගත්තේ නැත. අනික් අතට, එවකට පැවති ජනප්‍රිය වූ මානසිකත්වයට යට වෙමින් තමා සතු දැනුම් සම්භාරය ප්‍රදර්ශනය කිරීමට ඔහු උත්සාහ දැරුවේද නැත.—යොහන් 7:15.

18 ලෞකික අධ්‍යාපනයට වඩා ක්‍රිස්තියානි දේවසේවකයන්ට බෙහෙවින් වැදගත් වන්නේ යටහත් පහත්කම සහ ප්‍රේමය නමැති ගුණාංගයි. ශ්‍රේෂ්ඨ ගුරුවරයා වන යෙහෝවා දේවසේවය සඳහා අපට සුදුසුකම් ලබා දෙයි. (2 කොරින්ති 3:5, 6, NW) තවද ක්‍රිස්තියානි ලෝකයේ පූජකයන් සමහරෙකු මොන දේ පැවසුවත්, දේවවචනයෙහි ගුරුවරුන් වීමට පුරාණ බයිබල් භාෂා ඉගෙනගැනීමට අවශ්‍යතාවක් නැත. යෙහෝවා බයිබලය කොතරම් පැහැදිලි, නිශ්චිත භාෂාවකින් ලිවීමට තම ආනුභාවය දුන්නාද කිවහොත්, එහි අනර්ඝ සත්‍යයන් ග්‍රහණය කරගැනීමට ඕනෑම කෙනෙකුට පාහේ පුළුවන. මෙම සත්‍යයන් භාෂා සිය ගණනකට පරිවර්තනය කළද, ඒවාට කිසිදු කැළලක්, පලුද්දක් සිදු වී නැත. එමනිසා, පුරාණ භාෂා ගැන දැනුමක් තිබීමෙන් යම් ප්‍රයෝජනයක් තිබුණත්, සත්‍යය දැනගැනීම සඳහා එය අත්‍යවශ්‍ය නොවේ. තවද තමාට හොඳ භාෂා හැකියාවක් ඇති බවට ආඩම්බරව සිතනවා නම්, සැබෑ ක්‍රිස්තියානීන්ට අත්‍යවශ්‍ය වන එක ගතිලක්ෂණයක් අහිමි වී යා හැක. එනම් ඉගෙනගැනීමට නැඹුරු යටහත් ආකල්පයක් තිබීමය.—1 තිමෝති 6:4.

19. අපගේ ක්‍රිස්තියානි දේවසේවය සේවාවක් වන්නේ කවර අර්ථයකින්ද?

19 අපගේ ක්‍රිස්තියානි දේවසේවය යටහත් පහත් ආකල්පයක් අවශ්‍ය කරවන කාර්යයක් වන බවට කිසිදු සැකයක් නොමැත. අපි නිරතුරුවම විරුද්ධවාදිකම්වලට, උදාසීනකමට, පීඩාවලට පවා නිරාවරණය වන්නෙමු. (යොහන් 15:20) කෙසේවෙතත්, අපගේ දේවසේවය විශ්වාසවන්තව ඉටු කරන විට, අප අතින් සිදු වන්නේ ඉතා වැදගත් සේවයකි. මෙම කාර්යයෙහි හවුල් වෙමින් අන් අය වෙනුවෙන් යටහත් පහත් ලෙස දිගටම සේවය කරනවා නම්, යේසුස් ක්‍රිස්තුස් ජනයාට පෙන්වූ ප්‍රේමය අනුකරණය කිරීමට අපි සමත් වන්නෙමු. නිදසුනකට, බැටළු ගුණැති එක පුද්ගලයෙකු කරා ළඟාවීම සඳහා උදාසීන හෝ විරුද්ධවාදිකම් පාන මිනිසුන් දහසකට දේශනා කරන්නට අපට සිදු වුවත්, එවැනි වෑයමක් වටින්නේයයි අප සලකන්නේ නැද්ද? නිසැකවම! එමනිසා, අප අත් නොහැර උත්සාහයක් දරන විට, අප තවමත් සොයාගෙන නැති බැටළු ගුණැති අය වෙනුවෙන් විශ්වාසවන්තව සේවය කරනවා කියා පවසන්නට පුළුවන. අවසානය පැමිණෙන්නට පෙර, මෙවැනි අනගි පුද්ගලයන් තවත් රැසක් සොයා අවශ්‍ය උපකාර ලබා දීමට යෙහෝවා සහ යේසුස් වගබලා ගන්නා බවට කිසිදු සැකයක් නැත.—හග්ගයි 2:7.

20. අපට ආදර්ශයෙන් ඉගැන්විය හැකි සමහරක් ක්‍රම මොනවාද?

20 අන් අය වෙනුවෙන් සේවය කිරීමට වූ අපගේ කැමැත්ත පෙන්නුම් කළ හැකි තවත් මාර්ගයක් වන්නේ අපගේ ආදර්ශයෙන් ඉගැන්වීමය. නිදසුනකට, ජීවත් විය හැකි හොඳම, තෘප්තිමත්ම ක්‍රමය “සන්තෝෂවත් දෙවි” වන යෙහෝවාට සේවය කිරීම බව ජනයාට ඉගැන්වීම අපගේ ආශාව වේ. (1 තිමෝති 1:11, NW) අපගේ හැසිරීම හා අසල්වාසීන්, පාසැලේ මිතුරන් සහ රැකියා ස්ථානයේ අය සමඟ අප කටයුතු කරන ආකාරය නිරීක්ෂණය කරද්දී, අප සන්තෝෂයෙන් සහ සෑහීමට පත්ව සිටිනවා කියා ඔවුන් දකිනවාද? එමෙන්ම, සිත් පිත් නොමැති, දරුණු ලොවක ක්‍රිස්තියානි සභාව ප්‍රේමයේ ක්ෂේම භූමියක් බව අපි බයිබල් ශිෂ්‍යයන්ට උගන්වන්නෙමු. අප සභාවේ සියලුදෙනාටම ප්‍රේම කරන බවත්, එකිනෙකා සමඟ සාමය පවත්වාගැනීමට දැඩි උත්සාහයක් දරන බවත් අපගේ ශිෂ්‍යයන්ට පහසුවෙන් දැකගත හැකිද?—1 පේතෘස් 4:8.

21, 22. (අ) අපගේ දේවසේවය ගැන ආත්ම සෝදිසියක් කිරීමෙන් කවර ප්‍රස්තා අල්ලාගැනීමට මඟ විවෘත විය හැකිද? (ආ) ඊළඟට පළ වන මුරටැඹ සඟරාවේ ලිපිවල සාකච්ඡා කරනු ඇත්තේ මොනවාද?

21 අපගේ දේවසේවය සඳහා කැමැත්තෙන් ඉදිරිපත් වීමේ ස්වභාවයක් තිබෙනවා නම්, එය විටින් විට ආත්ම සෝදිසියක් කිරීමට අපව පෙලඹවිය හැක. එවැන්නක් අවංකව කළ විට, පූර්ණ කාලීන සේවය කිරීමෙන් හෝ අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කිරීමට පදිංචිය මාරු කිරීමෙන් තම සේවය වැඩි කිරීමට හැකි බව බොහෝදෙනෙකුට පෙනී ගොස් ඇත. තවත් සමහරුන්, ඔවුන්ගේම බලප්‍රදේශයෙහි දිනෙන් දින වැඩි වන විදේශිකයන්ට සේවය කිරීම සඳහා විදේශීය භාෂාවක් ඉගෙනීමට තීරණය කර ඇත. ඔබටත් එවන් දෙයක් කළ හැකි නම්, ඒ ගැන පරෙස්සමින් හා යාච්ඤාපූර්වකව සලකා බලන්න. ඇත්තෙන්ම, අපගේ ජීවිතය සේවය කිරීම සඳහා යොමු කරනවා නම්, ඉන් ඉමහත් ප්‍රීතියක්, තෘප්තියක් සහ සහනයක් භුක්ති විඳිය හැකි වේ.—දේශනාකාරයා 5:12.

22 එසේ නම්, අප උගන්වන සත්‍යයන් සඳහා අපගේ ඇල්මද, අප උගන්වන ජනයා කෙරෙහි අපගේ ප්‍රේමයද ගොඩනැංවීමෙන් යේසුස් ක්‍රිස්තුස්ව නිරතුරුවම අනුකරණය කරමු. මෙම පැති දෙකේදී ප්‍රේමය සහ ඇල්මක් වර්ධනය කරගෙන විදහාපෙන්වීම, ක්‍රිස්තුස් හා සමාන ගුරුවරුන් වීමට කදිම අඩිතාලමක් දැමීමට අපහට මහෝපකාරි වනු ඇත. කෙසේවෙතත්, එම අඩිතාලම මත අපට ගොඩනැඟිය හැක්කේ කෙසේද? ඊළඟට පළ වන මුරටැඹ සඟරාවේ ලිපි මාලාවක, යේසුස් භාවිත කළ සුවිශේෂ ඉගැන්වීම් ක්‍රම කිහිපයක් සාකච්ඡාවට ලක් කරනු ලැබේ.

[පාදසටහන]

a යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

ඔබේ පිළිතුර කුමක්ද?

• ගුරුවරයෙකු වශයෙන් යේසුස් තැබූ ආදර්ශය අපට අනුකරණය කළ නොහැකි ඉහළ තලයක නොතිබෙන බවට සහතික විය හැක්කේ මන්ද?

• අප බයිබලයෙන් ඉගෙන ඇති සත්‍යයන්ට ඇල්මක් දක්වන බව පෙන්විය හැක්කේ කෙසේද?

• අප දැනුමෙන් වර්ධනය වෙද්දී දිගටම යටහත් පහත්කම ඇතුව සිටීම වැදගත් වන්නේ මන්ද?

• අප විසින් ඉගැන්වීමට උත්සාහ දරන ජනයාට ප්‍රේමය පෙන්නුම් කළ හැකි ක්‍රම සමහරක් මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ පින්තූර]

සූදානම් වී සිටින්නට ඔබට හැකි දේ කරන්න

[16, 17වන පිටුවේ පින්තූර]

ඔබ “දෙවි පිළිබඳ දැනුම” නිධානයක් සේ සලකනවා නම් බලපෑමෙන් යුක්තව බයිබලය භාවිත කිරීමට ඔබට හැක

[18වන පිටුවේ පින්තූරය]

ජනයා සමඟ ශුභාරංචිය බෙදාගැනීමෙන් අපි ඔවුන්හට ප්‍රේමය පෙන්වමු