Skip to content

පටුනට යන්න

‘මම ඔබට ආදර්ශය තැබුවෙමි’

‘මම ඔබට ආදර්ශය තැබුවෙමි’

‘මම ඔබට ආදර්ශය තැබුවෙමි’

‘කාලය ප්‍රකාරයට ඔබ ගුරුවරුන්ව සිටින්ට යුතුය.’—හෙබ්‍රෙව් 5:12.

1. හෙබ්‍රෙව් 5:12හි වදන් හේතුවෙන් ක්‍රිස්තියානියෙකු තුළ සාමාන්‍යයෙන් යම් කනස්සල්ලක් ඇති විය හැක්කේ මන්ද?

 අපගේ ප්‍රධාන බයිබල් පාඨයෙහි දේවානුභාවය ලත් වචන කියවන විට, ඔබට ඔබ සම්බන්ධයෙන් යම් කනස්සල්ලක් දැනුණාද? එසේ දැනෙනවා නම්, ඔබ තනි වී නැත. ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් හැටියට, අප ගුරුවරුන් විය යුතු බව කවුරුත් දන්නා කරුණකි. (මතෙව් 28:19, 20) අප දන්නා තවත් දෙයක් වන්නේ, අපගේ කාලවල හදිසිතාව නිසා අපට හැකි උපරිම අන්දමකින් ඉගැන්වීම් කටයුතුවල නිරත විය යුතු බවයි. අනික් අතට, අපගේ ඉගැන්වීම අප උගන්වන අයගේ ජීවිතය හා මරණය සමඟ බැඳි කාරණයක් බවද දනිමු. (1 තිමෝති 4:16) එසේ නම් අපගෙන් මෙසේ අසාගැනීම යහපති. ‘ගුරුවරයෙකු ලෙස මම කටයුතු කරන්නේ අපේක්ෂා කරන ප්‍රමිතියට අනුවද? මට දියුණු විය හැක්කේ කෙසේද?’

2, 3. (අ) සාර්ථකව ඉගැන්වීමේ අඩිතාලම එක් ගුරුවරයෙකු පැහැදිලි කළේ කෙසේද? (ආ) ඉගැන්වීම සම්බන්ධයෙන් යේසුස් අපට තැබුවේ කවර ආදර්ශයක්ද?

2 කෙසේවෙතත්, මෙම වගකීම නිසා අප අධෛර්යයට පත් විය යුතු නැත. ඉගැන්වීම යම් විශේෂ දක්ෂතාවන් අවශ්‍ය ශිල්පයක් හැටියට සලකනවා නම්, දියුණු වීමේ අවශ්‍යතාව ගැන සිතීමෙන් පවා අප අධෛර්යයට පත් විය හැක. කෙසේ නමුත්, හොඳ ඉගැන්වීමකට අඩිතාලම වන්නේ විශේෂ දක්ෂතාවන් නොව, නමුත් ඊටත් වඩා බෙහෙවින් වැදගත් දෙයකි. ඉගැන්වීම නමැති විෂය සම්බන්ධයෙන් එක් පළපුරුදු ගුරුවරයෙකු ලියූ මෙම කාරණා සලකා බලන්න. “හොඳින් ඉගැන්වීම රඳා පවතින්නේ යම් සුවිශේෂී දස්කම්, ශිල්ප ශාස්ත්‍ර, යෝජනා හෝ ක්‍රියාමාර්ගයන් මත නොවේ. . . . ඉගැන්වීම ප්‍රධාන වශයෙන් ප්‍රේමය සහ ඇල්ම සමඟ බැඳී ඇති කාරණයකි.” ඇත්තෙන්ම ඔහු දැරූ මතය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඕනෑම ගුරුවරයෙකුට අදාළ කරුණකි. කෙසේවෙතත්, ඔහු ඉදිරිපත් කළ කාරණය ක්‍රිස්තියානීන් වශයෙන් අප කරන ඉගැන්වීමට ඊටත් වඩා ප්‍රබලව අදාළ කළ හැකිය. ඒ කෙසේද?

3 ගුරුවරයෙකු ලෙස අපගේ ආදර්ශකයා වන්නේ වෙනත් කිසිවෙකු නොව, යේසුස් ක්‍රිස්තුස්ය. ‘මම ඔබට ආදර්ශය තැබුවෙමි’ කියා ඔහු තම අනුගාමිකයන්ට පැවසීය. (යොහන් 13:15, NW) මෙහිදී යේසුස් සඳහන් කළේ යටහත් පහත්කම සම්බන්ධයෙන් ඔහු තැබූ ආදර්ශය ගැනයි. එනමුත් සමස්තයක් ලෙස යේසුස් තැබූ ආදර්ශයට, මිහිපිට ඔහු මිනිසෙකු ලෙස කළ ප්‍රධාන කාර්යය නිසැකවම ඇතුළත් කළ යුතුය. එය නම්, දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ගැන ජනයාට ඉගැන්වීමේ කාර්යයයි. (ලූක් 4:43) යේසුස්ගේ සේවය විස්තර කිරීමට එක වචනයක් තෝරාගැනීමට සිදු වූවා නම්, ඔබ “ප්‍රේමය” යන වචනය තෝරාගන්නවාට සැකයක් නැත. ඇත්තටම ඔබ එසේ කරන්නේ නැද්ද? (කොලොස්සි 1:15; 1 යොහන් 4:8) තම ස්වර්ගික පිය වූ යෙහෝවා කෙරෙහි යේසුස්ට දැනුණු ප්‍රේමය සියල්ලේදී ප්‍රධාන තැන ගත්තේය. (යොහන් 14:31) එනමුත්, ගුරුවරයෙකු ලෙස යේසුස් ප්‍රේමය සහ ඇල්ම අමතර පැති දෙකකින්ද විදහාපෙන්වීය. යේසුස් තමන් ඉගැන්වූ සත්‍යයන්ට ප්‍රේමයක් නොහොත් ඇල්මක් දැක්වූ අතර, ඔහු ඉගැන්වූ ජනතාවටද ප්‍රේම කළේය. ඔහු අප වෙනුවෙන් තැබූ ආදර්ශයේ මෙම පැති දෙකට කිට්ටු අවධානයක් යොමු කරමු.

දිව්‍ය සත්‍යතා සඳහා බොහෝ කලක් පුරා පැවති ඇල්මක්

4. යෙහෝවාගේ ඉගැන්වීම් සඳහා ඇල්මක් යේසුස් ඇති කරගත්තේ කෙසේද?

4 ගුරුවරයෙකුගේ ඉගැන්වීමේ කලාවට බෙහෙවින් බලපාන දෙයක් නම්, තමා උගන්වන විෂය සම්බන්ධයෙන් ඔහු දරන ආකල්පයයි. යම් උදාසීනකමක් ඇතොත් එය දැකගත හැකි අතර, ඔහුගේ ශිෂ්‍යයන්ටද එය බෝ වනු ඇත. යෙහෝවා සහ ඔහුගේ රාජ්‍යය පිළිබඳව තමන් ඉගැන්වූ අනගි සත්‍යතාවන් සම්බන්ධයෙන් යේසුස්ට කිසිදු උදාසීනකමක් නොදැනිණ. තමා ඉගැන්වූ විෂය කෙරෙහි යේසුස්ට තිබුණේ ඉතා ගැඹුරු ඇල්මකි. ඇත්තෙන්ම ඔහු එම ඇල්ම ඇති කරගත්තේ ශිෂ්‍යයෙකුව සිටිද්දීය. මනුෂ්‍යයෙකු වීමට පෙර, ඔහු ගත කළ දිගු වකවානු ගණනාව තුළදී, මෙම ඒකජාතක පුත්‍රයා ඉතා උනන්දුමත් ශිෂ්‍යයෙක් විය. යෙසායා 50:4, 5හි මෙම උචිත වචන වාර්තා වී තිබෙන්නේ එමනිසාය. “විඩා වූ අයට වචනවලින් පිහිට වෙන්ට දැනගන සිටීමට ස්වාමි වූ යෙහෝවා උගතුන්ගේ දිව මට දී තිබේ. ගෝලයන් මෙන් ඇසීමට ඔහු උදයක් පාසා පුබුදුවන්නේය, මාගේ කන පුබුදුවන්නේය. ස්වාමි වූ යෙහෝවා මාගේ කන පැහැදුවේය. මා කැරලිකාර වුණේවත් පස්සට හැරුණේවත් නැත.”

5, 6. (අ) යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේදී පෙනෙන ප්‍රකාරයට ඔහු ලැබූ අද්දැකීම කුමක්ද? මෙම අද්දැකීම ඔහුට බලපෑවේ කෙසේද? (ආ) යේසුස් සහ සාතන් දේවවචනය භාවිත කළ ආකාරය අතර අප දකින්නේ කවර වෙනසද?

5 මිහිපිට මිනිසෙකු ලෙස වැඩෙමින් සිටියදී, දිව්‍ය ප්‍රඥාවට යේසුස් දිගටම දැක්වූයේ තද ඇල්මකි. (ලූක් 2:52) අනතුරුව බව්තීස්ම වූ අවස්ථාවේදී ඔහු ඉතා අද්විතීය අද්දැකීමක් ලැබීය. ලූක් 3:21හි පවසන්නේ “අහස විවර” වූ බවය. පෙනෙන ප්‍රකාරයට මින් අදහස් වන්නේ, යේසුස්ට මිනිසෙකු වීමට පෙර තම පැවැත්මේ සියලුම තොරතුරු එතැන් සිට යළි සිහියට නඟාගත හැකි වූ බවය. අනතුරුව ඔහු පාළුකරයෙහි දින 40ක් පුරා නිරාහාරව සිටියේය. ඇත්තෙන්ම යෙහෝවා සමඟ ස්වර්ගයෙහි සිටි විට තමන් විවිධ අවස්ථාවලදී ලැබූ උපදෙස් සම්භාරය ගැන මෙනෙහි කිරීමෙන් ඔහු ඉමහත් ආස්වාදයක් ලබන්නට ඇත. කෙසේවෙතත්, දෙවිගේ සත්‍යතා සඳහා තිබූ ඔහුගේ ඇල්ම පරීක්ෂාවට ලක්වීමට වැඩි කලක් ගත වූයේ නැත.

6 යේසුස් විඩාවෙන් සහ කුසගින්නෙන් පෙළුණු එම අවස්ථාවේදී, ඔහුව පරීක්ෂාවට හසු කරන්නට සාතන් මාන බැලීය. දෙවිගේ මෙම පුත්‍රයන් දෙදෙනා අතර අප දකින්නේ මොනතරම් වෙනසක්ද! දෙදෙනාම හෙබ්‍රෙව් ලියවිල්ලෙන් කරුණු උපුටා දැක්වුවද, දෙදෙනාගේ චේතනාවන් අහසට පොළොව මෙනි. දේවවචනය අගෞරවනීය ලෙස විකෘති කළ සාතන්, එය භාවිත කළේ තම ආත්මාර්ථකාමී අභිලාෂයන් ඉටු කරගැනීමේ අදහසිනි. ඒ කැරලිකාරයා දිව්‍ය සත්‍යතා දෙස බලන්නේ අපහාසාත්මක ඇස්වලින් පමණි. අනික් අතට, යේසුස් ශුද්ධ ලියවිල්ලෙන් උපුටා දැක්වූයේ ඉමහත් ප්‍රේමයක් හා ඇල්මක් ඇතුවය. සෑම පිළිතුරකදීම ඔහු දේවවචනයේ ඇති වදන් භාවිත කළේ පරෙස්සමිනි. එම දේවානුභාවය ලත් වචන ලියන්නට පෙරාතුව පවා යේසුස් ස්වර්ගයෙහි ජීවත්ව සිටියද, ඔහු ඒවා සැලකුවේ ඉමහත් ගෞරවාදරයකිනි. එම සත්‍යයන් තම ස්වර්ගික පියාණන්ගෙන් පැමිණි අනගි සත්‍යයන් විය. යෙහෝවාගෙන් ලැබූ එවැනි වචන ආහාරවලටත් වඩා අනර්ඝ බව ඔහු සාතන්ට පැවසීය. (මතෙව් 4:1-11) එසේ නම්, යෙහෝවා තමාට ඉගැන්වූ සෑම සත්‍යතාවක් සඳහාම යේසුස්ට ඇල්මක් තිබූ බව පැහැදිලිය. එනමුත්, ගුරුවරයෙකු ලෙස ඔහු එම ඇල්ම විදහාපෙන්වූයේ කෙසේද?

තමා ඉගැන්වූ සත්‍යතා සඳහා ඇල්මක්

7. තමාගේම ඉගැන්වීම් ප්‍රබන්ධ කිරීමෙන් යේසුස් වැළකී සිටියේ මන්ද?

7 තමා ඉගැන්වූ සත්‍යතා සඳහා යේසුස් දැක්වූ ඇල්ම කවදත් ප්‍රත්‍යක්ෂ විය. ඇත්තෙන්ම, තමාගේම අදහස් ප්‍රබන්ධ කිරීමට ඔහුට ඕනෑතරම් ඉඩ කඩ තිබිණ. මන්ද, ඔහුගේ දැනුමට සහ ප්‍රඥාවට සීමාවක් නොමැති තරම්ය. (කොලොස්සි 2:3) කෙසේවෙතත්, හෙතෙම නැවත නැවතත් තම ශ්‍රාවකයන්ට සිහිගැන්වූයේ තමා ඉගැන්වූ සියල්ල තමා උපදවාගත් දේවල් නොව නමුත්, තම ස්වර්ගික පියාණන්ගේ අදහස් වූ බවය. (යොහන් 7:16; 8:28; 12:49; 14:10) දිව්‍ය සත්‍යතා සඳහා යේසුස්ට තිබූ ඇල්ම කොතරම්ද කිවහොත්, ඒ වෙනුවට තමාගේ අදහස් පළ කිරීමට ඔහු හීනෙකින්වත් සිතුවේ නැත.

8. තම සේවය ආරම්භ කළ විට, දේවවචනය මත රඳා සිටීම සම්බන්ධයෙන් යේසුස් ආදර්ශයක් තැබුවේ කෙසේද?

8 යේසුස් තම ප්‍රසිද්ධ දේවසේවය ආරම්භ කළ විගස ඔහු අනුකරණය කළ යුතු යම් ආදර්ශයක් තැබීය. තමා පොරොන්දු වූ මෙසියස් බව දෙවිගේ ජනයාට මුලින්ම ප්‍රකාශ කළ අන්දම සලකා බලන්න. ඔහු නිකම්ම ජන සමූහයන් ඉදිරියට ඇවිත් තමා ක්‍රිස්තුස් බව පවසා, පැවසූ දේ ඔප්පු කිරීමට චමත්කාරජනක ප්‍රාතිහාර්යයන් සිදු කළාද? නැත. ඔහු ගියේ දෙවිගේ ජනයා සුපුරුදු පරිදි ශුද්ධ ලියවිලි කියෙවූ ස්ථානයක් වන සිනගෝගයකටය. එහිදී ඔහු යෙසායා 61:1, 2හි සඳහන් අනාවැකිය කියෙවූ අතර, මෙම අනාවැකිමය සත්‍යයන් තමාට අදාළ වූ බව පැහැදිලි කළේය. (ලූක් 4:16-22) ඔහුට යෙහෝවාගේ අනුග්‍රහය තිබූ බව ඔප්පු කිරීමට ඔහු සිදු කළ ප්‍රාතිහාර්යයන් රාශිය රුකුලක් විය. කෙසේවෙතත්, ඔහු තම ඉගැන්වීමේදී නිතරම දේවවචනය මත රඳා සිටියේය.

9. ඵරිසිවරුන් සමඟ කටයුතු කළ අවස්ථාවලදී, යේසුස් දේවවචනය සඳහා පක්ෂපාත ප්‍රේමයක් පෙන්නුම් කළේ කෙසේද?

9 ආගමික විරුද්ධකාරයන් යේසුස්ට අභියෝග කළ විට, ඔහු ඔවුන් සමඟ වාදවලට පැටලුණේ නැත. ඔවුන් සමඟ විවාද තරඟයකට පෙනී සිටියා නම් ඔහුට පහසුවෙන්ම ජය හිමි කරගැනීමට තිබිණ. ඒ වෙනුවට, ඔවුන්ව නිශ්ශබ්ද කිරීමට ඔහු දේවවචනය භාවිත කළේය. නිදසුනකට, යේසුස්ගේ අනුගාමිකයන් කෙතක් මැදින් ගමන් කරමින් සිටි අවස්ථාවේදී ධාන්‍ය කරල් කිහිපයක් කඩා කෑ විට ඵරිසිවරුන් චෝදනා කරමින් පැවසුවේ ඔවුන් සබත් නීතිය උල්ලංගනය කර තිබූ බවය. යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “දාවිත් තමාටත් තමා සමඟ සිටි මිනිසුන්ටත් බඩගිනි වූ විට ඔහු කළ දේ ඔබ කියවා නැද්ද?” (මතෙව් 12:1-5, NW) තමන් ධර්මිෂ්ඨයන් බව සිතූ එම මිනිසුන් 1 සාමුවෙල් 21:1-6හි සඳහන් දේවානුභාවය ලත් වාර්තාව කියවා තිබෙන්නට ඇති. එනමුත්, එහි තිබුණු වැදගත් පාඩම තේරුම්ගැනීමට ඔවුහු අපොහොසත් වූහ. කෙසේවෙතත්, යේසුස් එම වාර්තාව නිකම්ම කියවනවාට වඩා වැඩි යමක් කළේය. ඔහු ඒ ගැන කල්පනා කර තිබූ අතර, එහි පණිවිඩය සිතට ගෙන තිබිණ. එම වගන්තියෙන් යෙහෝවා ඉගැන්වූ ප්‍රතිපත්තිවලට ඔහු ඉමහත් ඇල්මක් දැක්වීය. එමනිසා, ඔහු එම වාර්තාව සහ මෝසෙස්ගේ නීතියෙන් උදාහරණයක් රැගෙන, නීතිය පුරා දක්නට ලැබූ සමබරතාව හෙළි කළේය. මෙම ආගමික නායකයන් වෑයම් දැරුවේ තම වාසිය තකා දේවවචනය විකෘති කර දැක්වීමට හෝ මිනිස් සම්ප්‍රදායන් නමැති මඩ ගොහොරුවේ එය සැඟවීමටයි. මේ හේතුවෙන්, සත්‍යය සඳහා වූ තම පක්ෂපාත ප්‍රේමයෙන් පෙලඹී යේසුස් ආගමික නායකයන්ගේ මෙම ප්‍රහාර හමුවේ දේවවචනය ආරක්ෂා කිරීමට කටයුතු කළේය.

10. යේසුස් තම ඉගැන්වීමේ ගුණය සම්බන්ධයෙන් පළ වූ අනාවැකි ඉටු කළේ කෙසේද?

10 යේසුස් තමන් ඉගැන්වූ සත්‍යයට ඇල්මක් දැක්වූ නිසා ඔහු යම් නිරස හෝ යාන්ත්‍රික ආකාරයකින්, කට පාඩමෙන් මෙන් ඉගැන්වූයේ නැත. දේවානුභාවය ලත් අනාවැකිවල සඳහන් වී තිබුණේ මෙසියස් සිය “තොල්වල අනුග්‍රහය” ඇතුව “ශෝභන වචන” කතා කරනු ඇති බවය. (ගීතාවලිය 45:2; උත්පත්ති 49:21) යේසුස් එම අනාවැකි ඉටු කළේ තමා ඇලුම් කළ සත්‍යයන් ඉගැන්වූ විට “ප්‍රියමනාප වදන්” භාවිත කරමින් තම පණිවිඩයට නැවුම් මෙන්ම ජීවමාන ගතියක් මුසු කරමිනි. (ලූක් 4:22, NW) ඔහුගේ උද්‍යෝගය ඔහුගේ මුහුණේ ඉරියව්වෙන් දැකගත හැකි වූවාට සැකයක් නැති අතර, සත්‍යය ගැන කතා කරද්දී ඔහුගේ ඇස් ප්‍රාණවත් බවකින් බැබළෙන්නට ඇති. ඔහුට සවන් දීම මොනතරම් සතුට දනවන අද්දැකීමක් වන්නට ඇද්ද! අප ඉගෙනගෙන ඇති දේවල් ගැන අන් අයට කතා කරන්නට අවස්ථාව ලැබෙද්දී අපට අනුගමනය කිරීම සඳහා මොනතරම් කදිම ආදර්ශයක්ද ඔහු සපයන්නේ!

11. ගුරුවරයෙකු ලෙස යේසුස් සතු හැකියාවන් හේතුවෙන් ඔහු කිසිදාක උඩඟු නොවූයේ මන්ද?

11 යේසුස් දිව්‍ය සත්‍යයන් හොඳින් වටහාගෙන සිටි නිසාත්, සිත් ඇදගන්නා වචනවලින් අන් අයව දිනාගැනීමට ඔහුට හැකියාව තිබූ නිසාත්, ඔහු උඩඟු වූවාද? මිනිසුන් සම්බන්ධයෙන් මෙය නිතරම සිදු වන දෙයකි. එනමුත්, යේසුස් ප්‍රඥාවන්ත වූයේ දේවභය පිළිබිඹු වන ආකාරයකින් බව මතක තබාගන්න. එවැනි ප්‍රඥාවක් අහංකාරකමට ඉඩක් තබන්නේ නැත. “ප්‍රඥාව තිබෙන්නේ නිහතමානි අය සමඟයි.” (හිතෝපදේශ 11:2, NW) කෙසේවෙතත් යේසුස් උඩඟු හෝ අහංකාර කෙනෙකු නොවීමට හේතු වූ තවත් දෙයක් සඳහන් කළ යුතුය.

යේසුස් තමා ඉගැන්වූ ජනතාවට ප්‍රේම කළේය

12. තම අනුගාමිකයන් ඔහුට බියෙන් තැතිගෙන සිටිනවා දැකීමට තමා අකමැති වූ බව යේසුස් පෙන්නුම් කළේ කෙසේද?

12 ජනතාව කෙරෙහි යේසුස්ට තිබුණු ගැඹුරු ප්‍රේමය ඔහුගේ ඉගැන්වීම් තුළින් නිතරම පිළිබිඹු විය. ඔහුගේ ඉගැන්වීම් නිසා ජනයා කිසිදාක බියට පත් වූයේ නැත. මෙහිදී ඔහු උඩඟුකමින් හිස උදුම්මාගත් මනුෂ්‍යයන්ට වඩා හාත්පසින්ම වෙනස් විය. (දේශනාකාරයා 8:9) යේසුස්ගේ ප්‍රාතිහාර්යයන්ගෙන් එකක් දුටු පේතෘස් පුදුමයට පත් වී යේසුස්ගේ පාමුල වැටුණේය. එනමුත්, තම අනුගාමිකයන් තමන්ට බියෙන් තැතිගෙන සිටිනවාට යේසුස් කැමති වූයේ නැත. “භය නොවන්න” කියා කාරුණිකව පැවසූ ඔහු, ඔවුන් සම්බන්ධ වනු ඇති උනන්දුව දනවන ගෝලයන් සෑදීමේ වැඩය ගැන පේතෘස්ට විස්තර සැපයීය. (ලූක් 5:8-10) යේසුස්ට වුවමනා වූයේ ඔවුන්ගේ ගුරුවරයාට බියෙන් තැතිගෙන සිටිනවා දැකීමට නොව නමුත් දෙවි පිළිබඳව පැවසූ අනර්ඝ සත්‍යයන් සඳහා ඔවුන් තුළ ඇති වන ඇල්ම ආධාරයෙන් පෞද්ගලිකව පෙලඹීමක් ලබනවා දැකීමටය.

13, 14. යේසුස් ජනයා සඳහා සංවේදනය විදහාපෙන්වූයේ කවර ආකාරවලින්ද?

13 තමා ඉගැන්වූ අය කෙරෙහි යේසුස්ට දැනුණු ප්‍රේමය ඔවුන් සඳහා ඔහු දැක්වූ සංවේදනය තුළින්ද ප්‍රත්‍යක්ෂ විය. “ඔහු සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටි බැවින් ඔවුන්ට අනුකම්පා කළේය.” (මතෙව් 9:36, NW) ඔවුන් සිටි දුක්ඛිත තත්වය සම්බන්ධයෙන් ඔහුට ඇති වූයේ ඉමහත් අනුකම්පාවකි. ඒ හේතුවෙන් ඔවුන්ට උපකාර කිරීමට ඔහු පෙලඹුණේය.

14 වෙනත් අවස්ථාවක යේසුස් දැක්වූ සංවේදනය ගැන සලකා බලන්න. ලේ ගැලීමකින් පෙළුණු ස්ත්‍රියක් සමූහයක් මැදින් ඔහු වෙතට ළඟා වී ඔහුගේ වස්ත්‍රයේ දාරය ස්පර්ශ කළ විට ඇය ප්‍රාතිහාර්යයක් මාර්ගයෙන් සුව විය. තමාගෙන් බලය ඉවතට ගලා යනවා යේසුස්ට දැනුණත්, සුවය ලැබූ කෙනා කවුදැයි ඔහු දුටුවේ නැත. සුවය ලැබූ තැනැත්තිය කවුදැයි හඳුනාගැනීමට ඔහුට අවශ්‍ය විය. මන්ද? නීතිය උල්ලංගනය කළ නිසා හෝ ලියන්නන් සහ ඵරිසිවරුන්ගේ නීති සමුදාය නොසලකා හළ නිසා ඇයව විවේචනය කිරීමට නම් නොවේ. ඇතැම්විට මෙම ස්ත්‍රිය ඇයට මෙවැනි දෙයක් සිදු වෙයි කියා බිය වන්නට ඇත. එනමුත් ඔහු ඇයට මෙසේ පැවසීය. “දියණිය, ඔබේ ඇදහිල්ල ඔබව සුව කළේය. සමාදානයෙන් ගොස්, ඔබේ බරපතළ රෝගයෙන් සුව වී සිටින්න.” (මාර්ක් 5:25-34, NW) එම වදන්වල මුසුව ඇති සංවේදනය ඔබ දුටුවාද? “සුව වෙන්න” කියා ඔහු නිකම්ම පැවසුවේ නැත. ඒ වෙනුවට “ඔබේ බරපතළ රෝගයෙන් සුව වී සිටින්න” යයි පැවසීය. මෙහිදී මාර්ක් භාවිත කරන වචනයෙන් පදගතාර්ථයෙන්ම අදහස් කරන්නේ “කස පහර කෑමයි.” එයින් යොමු දැක්වූයේ වධ හිංසා පැමිණවීමට භාවිත කළ කසයකි. මින් පෙනී යන්නේ කස පහරක් මෙන් මහත් වේදනාවක්, සමහරවිට ඉමහත් ශාරීරික සහ චිත්තවේගීය වේදනාවක් ඇගේ අසනීපය හේතුවෙන් විඳීමට සිදු වූ බව යේසුස් වටහාගත් බවය. ඔහුට ඇය සඳහා දැනුණේ මහත් අනුකම්පාවකි.

15, 16. යේසුස් මිනිසුන් තුළ තිබෙන හොඳ ගුණාංග වෙතට අවධානය යොමු කළ බව ඔහුගේ දේවසේවා කාලයේදී සිදු වූ කවර සිදුවීම්වලින් පැහැදිලි වේද?

15 යේසුස් ජනයා සඳහා ප්‍රේමය පෙන්නුම් කළ තවත් ක්‍රමයක් වූයේ ඔවුන් තුළ තිබූ යහපත් ගුණාංග දෙස බැලීමයි. පසු කලෙක ප්‍රේරිතයෙකු වූ නතානියෙල්ව මුල් වරට හමු වූ අවස්ථාවේදී සිදු වූ දේ සලකා බලන්න. “යේසුස් නතානියෙල් තමන් වෙතට එනවා දැක: මෙන්න, සැබවින්ම ඉශ්‍රායෙලිතයෙක්! මොහු තුළ කිසි වංචාවක් නැත” කියා පැවසීය. යේසුස් තම සුවිශේෂ බලය භාවිත කරමින් නතානියෙල්ගේ සිත සෝදිසි කළ අතර, ඔහු ගැන යමක් දැනගත්තේය. මින් අදහස් කරන්නේ නතානියෙල් පරිපූර්ණ කෙනෙක් වූ බව නම් නොවේ. අප සැමට තිබෙන්නාක් මෙන් ඔහුටද දුර්වලකම් තිබුණේය. ඇත්තෙන්ම, ඔහුට යේසුස් ගැන ආරංචි වූ අවස්ථාවේදී ඔහු “නාසරෙත් නුවරින් යම් යහපතක් එන්ට පුළුවන්දැයි” කියමින් තරමක දැඩි වූ අදහසක් පළ කළේය. (යොහන් 1:45-51) කෙසේවෙතත්, නතානියෙල් ගැන ඕනෑම දෙයක් පවසන්නට හැකි වුවද, යේසුස් කැමැත්තක් දැක්වූයේ ඒකාන්ත යමක් ගැන කතා කරන්නටයි. එනම් ඒ පුද්ගලයාගේ අවංකකම ගැන කතා කිරීමටයි.

16 රෝම ජාතිකයෙකුයයි සිතිය හැකි හමුදා නිලධාරියෙකු සම්බන්ධයෙන්ද ඒ හා සමාන දෙයක් සිදු විය. ඔහු යේසුස් වෙතට එළඹුණේ අසනීපයෙන් සිටි තම දාසයා සුව කරන මෙන් අයැද සිටිමිනි. මෙම හමුදා නිලධාරියාට දුර්වලකම් තිබූ බව යේසුස් දැන සිටියාට සැකයක් නැත. එවන් කෙනෙකු නොයෙකුත් දරුණු දේවලට හවුල් වෙමින් ලේ වගුරුවන්නටද ඇත. එපමණක්ද නොව, ඔහු බොරු නමස්කාරයෙහි නියැලෙන්නටද ඇත. එනමුත් යේසුස් යහපත් දෙයක්, එනම් එම පුරුෂයාගේ සුවිශේෂ ඇදහිල්ල වෙතට යොමු වූයේය. (මතෙව් 8:5-13) යේසුස් තමන් අසල වධකණුවක එල්ලී සිටි අපරාධකරුට කතා කළ විට, ඔහු අතීතයේ කළ වැරදි සම්බන්ධයෙන් ඔහුට අවවාද කරන්නට ගියේ නැත. ඒ වෙනුවට, ඔහුව දිරිගැන්වූයේ අනාගතය සඳහා බලාපොරොත්තුවක් දෙමිනි. (ලූක් 23:43) අන් අය ගැන නිෂේධාත්මක, විවේචනාත්මක දෘෂ්ටියක් දැරීම ඔවුන්ගේ අධෛර්යයට හේතුවක් වන බව යේසුස් දැන සිටි බව පැහැදිලිය. වෙනත් අය තුළ තිබෙන හොඳ ගුණාංග දැකීමට ඔහු ගත් උත්සාහය නිසා දේවල් තවත් හොඳින් කිරීමට බොහෝදෙනෙකුට දිරිගැන්වීමක් ලැබුණු බවට කිසිදු සැකයක් නැත.

අන් අයට සේවය කිරීම සඳහා කැමැත්ත

17, 18. පොළොවට පැමිණීමට වූ තම පැවරුම පිළිගැනීමේදී යේසුස් අන් අය වෙනුවෙන් සේවය කිරීමට කැමැත්තක් පෙන්නුම් කළේ කෙසේද?

17 තමන් ඉගැන්වූ අයට යේසුස් දැක්වූ ප්‍රේමයට තවත් ප්‍රබල සාක්ෂියක් වන්නේ ඔවුන් වෙනුවෙන් සේවය කිරීමට ඔහු තුළ වූ කැමැත්තයි. මිනිසෙකු වීමට පෙර ස්වර්ගයෙහි සිටි දෙවිගේ පුත්‍රයාට මිනිස්වර්ගයා සඳහා තිබුණේ ඉමහත් ඇල්මකි. (හිතෝපදේශ 8:30, 31) යෙහෝවාගේ “වචනය” නැතහොත් නියෝජිතයා ලෙස කටයුතු කළ ඔහු, මිනිසුන් සමඟ නොයෙකුත් අවස්ථාවලදී ගනු දෙනු කරන්නට ඇති. (යොහන් 1:1, NW) කෙසේවෙතත්, මිනිස්වර්ගයාට වඩාත් ඍජු ආකාරයකින් ඉගැන්වීම සඳහා, “ඒ සියල්ල බැහැර කොට, වහලෙකුගේ ස්වරූපය ගෙන” ස්වර්ගයෙහි තමාට හිමි උසස් තනතුර අත්හැරියේය. (පිලිප්පි 2:7, NW; 2 කොරින්ති 8:9) මිහිපිට සිටියදී යේසුස් අන් අයගෙන් ඇප උපස්ථාන බලාපොරොත්තු වූයේ නැත. ඒ වෙනුවට ඇත්තෙන්ම ඔහු පැවසුවේ මෙසේය. “මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවය කරන්ටද බොහෝදෙනෙකු උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේය.” (මතෙව් 20:28) යේසුස් දිවි ගෙව්වේ එම වදන්වලට එකඟවය.

18 යේසුස් යටහත් පහත් ලෙස තමන් ඉගැන්වූ අයගේ අවශ්‍යතා තේරුම්ගෙන ඔවුන්ට උපස්ථාන කළ අතර, ඔවුන් වෙනුවෙන් තම ශ්‍රමයද කැමැත්තෙන්ම පුද කළේය. පොරොන්දු දේශය පුරාම පයින් ගමන් කළ ඔහු, කිලෝමීටර් සිය ගණනක් යමින් දේශනා සංචාරවල නියැලුණේ හැකි තරම් ජනකායක් කරා ළඟාවීමට උත්සාහයක් දරමිනි. උඩඟු ඵරිසිවරුන් සහ ලියන්නන්ට වෙනස්ව ඔහු යටහත් පහත්, එළඹිය හැකි පුද්ගලයෙකු ලෙස දිගටම කටයුතු කළේය. ඔහු වෙතට සියලු ආකාර පුද්ගලයන් එළඹුණේ උනන්දුවෙන් හා බියක් සැකක් නොමැතිවය. ඔවුන් අතර, උසස් නිලධාරීහු, සෙබළු, නීතිඥයෝ, ස්ත්‍රීහු, දරුවෝ, දිළිඳු අය, රෝගීහු, සමාජය විසින් හංවඩු ගසන ලද අය පවා සිටියෝය. යේසුස් පරිපූර්ණ කෙනෙකු වුවත්, ඔහු මනුෂ්‍යයෙක් විය. එමනිසා විඩාවෙන් සහ කුසගින්නෙන් පෙළිණ. කෙසේවෙතත්, විඩාවට පත් වූ අවස්ථාවන්හි හෝ විවේකයක් ගැනීමට හෝ යාච්ඤා කිරීමට අවශ්‍ය වූ විටදී පවා තම අවශ්‍යතාවලට වඩා හෙතෙම ඉදිරියෙන් තැබුවේ අන් අයගේ අවශ්‍යතාවන්ය.—මාර්ක් 1:35-39.

19. තම ගෝලයන් සමඟ යටහත් පහත් ලෙස, ඉවසිලිවන්තව සහ කාරුණිකව කටයුතු කිරීම සම්බන්ධයෙන් යේසුස් ආදර්ශයක් තැබුවේ කෙසේද?

19 තම ගෝලයන් වෙනුවෙන් සේවය කිරීමටද යේසුස් දැක්වූයේ ඒ හා සමාන කැමැත්තකි. එසේ කළේ කාරුණිකව හා ඉවසිලිවන්තව ඔවුන්ට ඉගැන්වීමෙනි. වටිනා පාඩම් ග්‍රහණය කරගැනීමට ඔවුන්ට යම් කලක් ගත වුවද ඔහු තම උත්සාහය අත්හැරියේ නැත. කිසිදාක කෝප වී ඔවුන්ට පහත් අන්දමකින් කතා කළේ නැත. කෙසේ හෝ තම කාරණය ඔවුන්ගේ සිත් තුළ පැලපදියම් කරනු පිණිස නැවුම් ක්‍රම සෙවීමට ඔහු නිතරම උත්සාහ දැරීය. නිදසුනක් ලෙස, ඔවුන් අතර උතුම්ම කෙනා කවුද යන්න ගැන ගෝලයන් අතර කොතරම් වාර ගණනක් වාද ඇති වූවාද කියා සලකා බලන්න. එකිනෙකා සමඟ යටහත් පහත් ලෙස කටයුතු කළ යුතු අන්දම සම්බන්ධයෙන් යේසුස් නැවත නැවතත් අලුත් ක්‍රම භාවිත කරමින් ඔවුන්ට ඉගැන්වීය. ඔහුව ඝාතනය කිරීමට පෙර රාත්‍රියේදී පවා ඔහු එවන් උත්සාහයක නිරත විය. අන් සියලු දේවලදී මෙන්ම යටහත් පහත්කම නමැති කාරණාවේදීද ‘මම ඔබට ආදර්ශය තැබුවෙමි’ කියා පැවසීමට යේසුස්ට නිසැකවම හැකි විය.—යොහන් 13:5-15; මතෙව් 20:25; මාර්ක් 9:34-37.

20. යේසුස් ඵරිසිවරුන්ට වඩා හාත්පසින්ම වෙනස් වූයේ ඉගැන්වීමේදී භාවිත කළ කවර ක්‍රමය හේතුවෙන්ද? මෙම ක්‍රමය බලපෑමෙන් යුක්ත වූයේ මන්ද?

20 යේසුස් තම ගෝලයන්ට තමා තැබූ ආදර්ශය කුමක්ද කියා නිකම්ම පැවසුවේ නැති බව සැලකිල්ලට ගත යුත්තකි. ඔහු ‘ආදර්ශයක් තැබුවේය.’ ඔහු ඔවුන්ට ඉගැන්වූයේ ආදර්ශයෙනි. තමා ඉහළ තනතුරක් හොබවන්නෙකු ලෙස සලකමින් තම සේවකයන්ව පහත් කරමින් ඔහු කතා කළේ නැත. තමා ඉතා වැදගත් කෙනෙකු බවට ඇඟවීමක්ද දුන්නේ නැත. කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි දේවල් තමන් විසින් කිරීම අවශ්‍ය නැතැයි යන අදහසක් දුන්නේද නැත. ඒ ඵරිසිවරුන්ගේ ක්‍රියාකලාපය විය. “ඔවුන් කියනවා මිස කරන්නේ නැත” යයි යේසුස් ඔවුන් ගැන පැවසීය. (මතෙව් 23:3) තම ඉගැන්වීම්වලට එකඟව ජීවත් වීමෙන් හා ඒවා ක්‍රියාවට නැංවීමෙන් යේසුස් යටහත් පහත් ලෙස තම ශිෂ්‍යයන්ට පෙන්නුම් කළේ ඒවායින් සැබෑවට අදහස් කළේ මොනවාද යන්නයි. ද්‍රව්‍යවාදී ආකල්පවලින් නිදහස් වූ සරල ජීවිතයක් ගත කරන්නට කියා සිය අනුගාමිකයන්ගෙන් උදක්ම ඉල්ලා සිටි විට, ඔහු අදහස් කළ දේ මහත් ආයාසයක් දරා තේරුම්ගැනීමට ඔවුන්ට සිදු වූයේ නැත. ඔහුගේ වචනවලින් අදහස් කළේ දේ ඔවුහු ඇත්තටම තම ඇස්වලින්ම ඔහුගේ ආදර්ශය තුළින් දුටුවෝය. ශුද්ධ ලියවිල්ල මෙසේ පවසයි. “සිවලුන්ට බිල්ද ආකාශයේ පක්ෂීන්ට කූඩුද තිබේ; නමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්ට තැනක් නැත.” (මතෙව් 8:20) යේසුස් තම ගෝලයන් සඳහා යටහත් පහත් ලෙස ආදර්ශයක් තබමින් ඔවුන් වෙනුවෙන් සේවය කළේය.

21. ඊළඟ ලිපියෙහි සාකච්ඡා කරනු ලබන්නේ කුමක්ද?

21 මිහිපිට මෙතෙක් පය තැබූ උතුම්ම ගුරුවරයා යේසුස් වූ බවට කිසිදු සැකයක් නැත. ඉගැන්වූ දේවලට යේසුස් දැක්වූ ඇල්ම මෙන්ම තමන් ඉගැන්වූ ජනයා කෙරෙහි දැක්වූ ප්‍රේමය ඔහුට ඇහුම්කන් දුන් හා ඔහුව දුටු අවංක හදවත් ඇති සියලුදෙනාටම සක් සුදක් සේ පැහැදිලි විය. ඔහු තැබූ ආදර්ශය අධ්‍යයනය කරන අපටද එය මොනවට පැහැදිලි වේ. එනමුත්, අපට ක්‍රිස්තුස්ගේ පරිපූර්ණ ආදර්ශය අනුගමනය කළ හැක්කේ කෙසේද? එම ප්‍රශ්නය ඊළඟ ලිපියෙහි සාකච්ඡා කර ඇත.

ඔබේ පිළිතුර කුමක්ද?

• සාර්ථක ඉගැන්වීමකට හොඳ අඩිතාලමක් වන්නේ කුමක්ද? මෙය කාගේ ආදර්ශයෙන් කැපීපෙනේද?

• තමා ඉගැන්වූ සත්‍යතා සඳහා ඇල්මක් යේසුස් විදහාපෙන්වූයේ කවර ආකාරවලින්ද?

• තමා ඉගැන්වූ ජනයා කෙරෙහි තමාට තිබූ ප්‍රේමය යේසුස් පෙන්නුම් කළේ කෙසේද?

• තමා ඉගැන්වූ අය වෙනුවෙන් සේවය කිරීමට යේසුස් යටහත් පහත් ලෙස දැක්වූ කැමැත්ත කවර උදාහරණවලින් පැහැදිලි වේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12වන පිටුවේ පින්තූරය]

දේවවචනයෙහි අන්තර්ගත ප්‍රතිපත්තිවලට ඇල්මක් තිබූ බව යේසුස් පෙන්නුම් කළේ කෙසේද?