Skip to content

පටුනට යන්න

උතුම් ගුරුවරයාව අනුකරණය කරන්න

උතුම් ගුරුවරයාව අනුකරණය කරන්න

උතුම් ගුරුවරයාව අනුකරණය කරන්න

“එබැවින් ගොස් . . . මිනිසුන්ව ගෝලයන් කරන්න. . . . මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්ට ඔවුන්ට උගන්වන්න.”—මතෙව් 28:19, 20, NW.

1, 2. (අ) එක්තරා අර්ථයකින් අපි සියල්ලෝම ගුරුවරුන් වන්නේ කොහොමද? (ආ) ඉගැන්වීම යන කාරණයේදී සැබෑ ක්‍රිස්තියානීන්හට පවරා තිබෙන අද්විතීය වගකීම කුමක්ද?

 ඔබ ගුරුවරයෙක්ද? එක් අර්ථයකින් ගත් කල, අපි සියල්ලෝ ගුරුවරු වෙමු. ඔබ අතරමං වූ මඟියෙකුට පාර කියා දෙන සෑම වතාවකදීම, යම් වැඩක් කරන සැටි තවත් කෙනෙකුට කියා දෙන කල, නැතහොත් ළමයෙකුට සපත්තු පටි ගැට ගසන සැටි කියා දෙන කල, ඔබ කරන්නේ ඉගැන්වීමයි. එවන් ආකාරවලින් වෙනත් අයට උපකාර කරන විට යම් පමණක සෑහීමක් හෙවත් තෘප්තියක් ලැබෙනවා. එසේ නොවේද?

2 ඉගැන්වීම යන කාරණයේදී සැබෑ ක්‍රිස්තියානීන්ට පවරා තිබෙන්නේ අද්විතීය වගකීමක්. ‘මිනිසුන්ව ගෝලයන් කරන්ටත් . . . ඉගැන්වීමටත්’ අපට පවරා තිබෙනවා. (මතෙව් 28:19, 20) සභාව ඇතුළතද අපට ඉගැන්වීමට අවස්ථාවක් තිබෙනවා. සභාව ගොඩනැංවීමේ අටියෙන් සුදුසුකම් ලත් පුද්ගලයන්ව “එඬේරුන් සහ ගුරුවරුන්” ලෙස පත් කර තිබෙනවා. (එපීස 4:11-13, NW) තම දෛනික ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වලදී, මේරූ ස්ත්‍රීන් යෞවන ස්ත්‍රීන්හට “යහපත් දේ උගන්වන්නාවූ තැනැත්තියන්” විය යුතුයි. (තීතස් 2:3-5) අප සියල්ලන්ගෙන් ඉල්ලා සිටින්නේ සෙසු ඇදහිලිවන්තයන්ව දිරිගැන්වීමටයි. තවද අන්‍යයන්ව ගොඩනැංවීමට බයිබලය යොදාගැනීමෙන් අපගෙන් කෙරෙන එම ඉල්ලීමට අවනත වන්නට අපට හැකියි. (1 තෙසලෝනික 5:11) දේවවචනයේ ගුරුවරුන් වීමට ලැබීමත් දිගු කාලීනව ප්‍රයෝජන ලැබිය හැකි ආත්මික සාරධර්ම හවුලේ බෙදාගැනීමට ලැබීමත් මොනතරම් වරප්‍රසාදයක්ද!

3. ගුරුවරුන් වශයෙන් බලපෑමෙන් යුක්ත වීමෙන් අප ලබන ප්‍රතිඵල වැඩි කරගැනීමට අපට හැක්කේ කොහොමද?

3 එහෙත්, ගුරුවරුන් වශයෙන් බලපෑමෙන් යුක්ත වීමෙන් අප ලබන ප්‍රතිඵල වැඩි කරගැනීමට අපට හැක්කේ කොහොමද? මූලික වශයෙන්, අපගේ උතුම් ගුරුවරයාණන් වන යේසුස්ව අනුකරණය කිරීමෙන් එය කළ හැකියි. ‘නමුත් අපට යේසුස්ව අනුකරණය කළ හැක්කේ කොහොමද?’ කියා ඇතමුන් කල්පනා කරනවා විය හැකියි. ‘ඔහු පරිපූර්ණ කෙනෙක්.’ අපට පරිපූර්ණ ගුරුවරුන් විය නොහැකි බව ඇත්තයි. එහෙත්, අපගේ හැකියාවන් කුමක් වුවත්, යේසුස් ඉගැන්වූ ක්‍රම අනුකරණය කිරීමට අපගේ උපරිමය අපට කළ හැකියි. එනිසා, අපට අනුකරණය කළ හැකි ඔහුගේ ඉගැන්වීමේ ක්‍රම හතරක් ගැන දැන් සාකච්ඡා කරමු. ඒවා නම්, සරලබව, බලපෑමෙන් යුත් ප්‍රශ්න ඇසීම, තර්කානුකූලව හේතු දැක්වීම සහ ගැළපෙන උපමායි.

සරලව උගන්වන්න

4, 5. (අ) සරලබව බයිබල් සත්‍යතාවන්හි ප්‍රධාන අංග ලක්ෂණයක් වන්නේ ඇයි? (ආ) සරලව ඉගැන්වීම පිණිස, අපගේ වාග්මාලාව ගැන කල්පනාකාරිව සිටීම වැදගත් වන්නේ ඇයි?

4 දේවවචනයේ මූලික සත්‍යයන් සංකීර්ණ ඒවා නොවේ. යේසුස් යාච්ඤාවේදී මෙසේ ප්‍රකාශ කළා. “පියාණෙනි, ඔබ මේ දේවල් ප්‍රඥාවන්තයන්ගෙන්ද බුද්ධිමතුන්ගෙන්ද සඟවා, බිලිඳුන්ට හෙළි කර තිබෙන බැවින් මම ඔබට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරමි.” (මතෙව් 11:25, NW) යෙහෝවා සිය අරමුණ හෙළි කළේ අවංක, යටහත් පහත් හදවත් ඇති අයටයි. (1 කොරින්ති 1:26-28) මේ අනුව, බයිබල් සත්‍යතාවල ප්‍රධාන අංග ලක්ෂණයක් වනුයේ සරල බවයි.

5 ඔබ උනන්දුමත් කෙනෙකු සමඟ බයිබල් පාඩමක් පවත්වනවා නම් හෝ නැවත බැලීමක් කරනවා නම්, එම තැනැත්තාට සරලව ඉගැන්වීමට ඔබට හැක්කේ කෙසේද? හොඳයි, අපි උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගත්තේ කුමක්ද? තමාට සවන් දුන් “නූගත්, සාමාන්‍ය” මිනිසුන් බොහෝදෙනෙකුට ඉගැන්වීම සඳහා යේසුස් යොදාගත්තේ ඔවුන්ට පහසුවෙන් වටහාගත හැකි භාෂාවක්. (ක්‍රියා 4:13, NW) එසේ නම්, සරලව ඉගැන්වීම සඳහා පළමු අවශ්‍යතාව වන්නේ, අපගේ වාග් මාලාව ගැන හොඳ හැටි කල්පනාකාරි වීමයි. දෙවිගේ වචනය අනුන්ට ඒත්තුගැන්වීම සඳහා භාෂාවේ මහප්‍රාණ හෝ අමාරු වචන යොදාගන්නට අපට වුවමනා නැහැ. එවන් “බැරෑරුම් කතා” කෙනෙකුව බියගැන්විය හැකියි. විශේෂයෙන්ම, සීමිත අධ්‍යාපනයක් ලබා ඇති හෝ කුසලතාවන්ගෙන් සීමිත අයට එය එසේ විය හැකියි. (1 කොරින්ති 2:1, 2, NW) යේසුස්ගේ ආදර්ශයෙන් පෙන්වන්නේ ඉතා පරෙස්සමින් තෝරා බේරාගත් වචනවලින් සත්‍යය මහත් බලයකින් යුතුව උගන්වන්නට ඔහු සමත් වූ බවයි.

6. ඕනෑවට වඩා තොරතුරුවලින් බයිබල් ශිෂ්‍යයාව නැහැවීමෙන් වැළකී සිටීමට අපට හැක්කේ කොහොමද?

6 සරලව ඉගැන්වීමේදී, අප පරෙස්සම් විය යුතු තවත් දෙයක් තිබෙනවා. ඒ තමයි, ඕනෑවට වඩා තොරතුරුවලින් බයිබල් ශිෂ්‍යයාව නැහැවීමෙන් වැළකී සිටීම. යේසුස් සිය ගෝලයන්ගේ සීමාවන් ගැන සැලකිල්ල දැක්වූවා. (යොහන් 16:12) අපත් ශිෂ්‍යයා ගැන සැලකිලිමත් විය යුතුයි. නිදසුනක් වශයෙන්, සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොතෙන් පාඩමක් පවත්වන විට, සෑම පොඩි තොරතුරක්ම පැහැදිලි කිරීමට අපි උත්සාහ කරන්නේ නැහැ. a කලින් ඉලක්ක කරගත් තොරතුරු ප්‍රමාණයක් ආවරණය කිරීම මූලික අභිප්‍රාය කරගනිමින් හදිස්සියෙන් තොරතුරු පියවීම අවශ්‍ය වන්නෙත් නැහැ. ඒ වෙනුවට, ඥානවන්තම දේ වන්නේ ශිෂ්‍යයාගේ අවශ්‍යතා සහ හැකියාවන්ට සරිලන වේගයකින් පාඩම කිරීමයි. අපගේ ඉලක්කය වන්නේ ක්‍රිස්තුස්ගේ ගෝලයෙකු වීමටත් යෙහෝවාගේ නමස්කාරකයෙකු බවට පත්වීමටත් ශිෂ්‍යයාට උපකාර කිරීමයි. තමා ඉගෙනගනිමින් සිටින දෙය පැහැදිලිව වටහාගැනීම සඳහා උනන්දුව දක්වන ශිෂ්‍යයාට උපකාර කිරීමට කොයිතරම් කාලයක් වැය කිරීමට සිදු වුවත්, අප එම කාලය මිඩංගු කළ යුතුයි. එවිට, සත්‍යය ඔහුගේ හදවත ස්පර්ශ කර ක්‍රියාවට ඔහුව පොලඹවනවා ඇති.—රෝම 12:2.

7. අප සභාවේ කතා ඉදිරිපත් කරන විට, සරල ලෙස ඉගැන්වීමට අපට උපකාරවත් වන්නේ කිනම් යෝජනාද?

7 අප සභාවේ කතා ඉදිරිපත් කරන විට, විශේෂයෙන් සබයේ නවකයන් සිටින විට, “පහසුවෙන් තේරුම්ගත හැකි වදන්” කතා කිරීමට අපට හැක්කේ කොහොමද? (1 කොරින්ති 14:9, NW) මෙහිදී උපකාරවත් විය හැකි යෝජනා තුනක් ගැන සලකා බලන්න. පළමුව, ඔබට භාවිත කිරීමට සිදු විය හැකි නුහුරු නුපුරුදු වචන පැහැදිලි කර දෙන්න. දේවවචනය තේරුම්ගැනීමට හැකිවීම නිසා අපහට ලැබී තිබෙන්නේ ඉතා අද්විතීය වාග් මාලාවක්. “විශ්වාස වූ නුවණ ඇති දාසයා,” “වෙනත් බැටළුවෝ” සහ “මහා බබිලෝනිය” වැනි එවන් යෙදුම් අප භාවිත කරනවා නම්, ඒවායේ අර්ථය පැහැදිලි කරවන සරල යෙදුම් යොදා ඒවා පැහැදිලි කිරීමට අපට සිදු විය හැකියි. දෙවනුව, අනවශ්‍ය වැල්වටාරම් දෙඩීමෙන් වළකින්න. ඕනෑවට වඩා වචන භාවිත කරන විට, අනවශ්‍ය විදිහට භාෂා අලංකාරය සඳහා වචන දමා කතා කරන විට, අසා සිටින්නන්ට එය නිරස වේවි. පැහැදිලිකම එන්නේ අනවශ්‍ය වචන හා යෙදුම් බැහැර කිරීමෙනුයි. තුන්වෙනුව, ඕනෑවට වඩා තොරතුරු ආවරණය කිරීමට උත්සාහ කරන්න එපා. අප දේවල් පර්යේෂණ කරන විට බොහෝ උනන්දුව දනවන තොරතුරු අපට සම්බ වෙන්න පුළුවනි. නමුත් ප්‍රධාන කරුණු කිහිපයක් පමණක් පෙළගස්වා, එම කරුණුවලට අනුබල දෙන තොරතුරු පමණක් යොදාගෙන, නියමිත කාලය තුළ ඒවා පැහැදිලිව ගොඩනැංවීම හොඳම දෙයයි.

බලපෑමෙන් යුත් ප්‍රශ්න යොදාගැනීම

8, 9. ගෙවැසියාගේ උනන්දුව දනවන පරිදි සකස් කරන ලද ප්‍රශ්නයක් තෝරාගැනීමට අපට හැක්කේ කොහොමද? උදාහරණ දෙන්න.

8 තමාට සවන් දී සිටි අයගේ මනස්වල තිබූ දේ පිටතට ඇදගැනීමටත්, ඔවුන්ගේ කල්පනා ශක්තිය උත්තේජනය කිරීමටත් ප්‍රශ්න යොදාගැනීමෙහිලා යේසුස් ඉතා දක්ෂයෙකුව සිටි බව මතකයේ තබාගන්න. ප්‍රශ්න යොදාගනිමින් යේසුස් කළේ ඉතා මෘදු ලෙස ඔවුන්ගේ හදවත්වලට ළඟා වී ඒවා ස්පර්ශ කිරීමයි. (මතෙව් 16:13, 15; යොහන් 11:26) අපටත් යේසුස් මෙන් බලපෑමෙන් යුත් ප්‍රශ්න යොදාගත හැක්කේ කොහොමද?

9 ගෙයින් ගෙට දේශනා කරන විට අපට ප්‍රශ්න යොදාගනිමින් ජනයාගේ උනන්දුව ඇවිස්සිය හැකි අතර, එනයින් දෙවිගේ රාජ්‍යය ගැන කතා කිරීමට මාර්ගය පාදාගත හැකියි. ගෙවැසියාගේ උනන්දුව දනවන පරිදි සකස් කරන ලද ප්‍රශ්නයක් තෝරාගැනීමට අපට හැක්කේ කොහොමද? හොඳ සෝදිසියකින් සිටින්න. නිවසකට ළඟා වන විට, හොඳින් අවට බලන්න. ගෙමිදුලේ සෙල්ලම් බඩු තිබෙනවාද? එසේ නම් ඉන් අදහස් කරන්නේ නිවසේ දරුවන් සිටින බවයි. එසේ නම්, ඔබට මෙසේ අසන්නට පුළුවන්. ‘ඔබේ දරුවන් හැදී වැඩෙන විට, මේ ලෝකය කොයි වගේ තත්වයක තිබේවිද කියා ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද?’ (ගීතාවලිය 37:10, 11) ඉදිරි දොරටුවේ දොරගුල් කිහිපයක් දමා තිබෙනවාද? නැත්නම් ආරක්ෂක උපකරණ සවි කර තිබෙනවාද? එසේ නම්, අපට මෙසේ අසන්නට පිළිවන්. ‘ඔබයි මායි වගේ අය ගෙදර ඉන්නකොට හරි පාරේ යන එනකොට හරි අපිට කිසි බයක් හැකක් නැතුව ඉන්න පුළුවන් කාලයක් එයි කියලා ඔබ හිතනවාද?’ (මීකා 4:3, 4) ඉස්තෝප්පුවේ හෝ සාලයේ රෝද පුටුවක් දකින්නට තිබෙනවාද? එසේ නම් අපට මෙසේ ඇසිය හැකියි. ‘හැමෝටම හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට පුළුවන් කාලයක් එයි කියලා ඔබ හිතනවාද?’ (යෙසායා 33:24) මේ සඳහා යෝජනා බොහොමයක් ශුද්ධ ලියවිලි ඇසුරෙන් තර්ක කිරීම (rs, සිංහලෙන් නැත) නම් පොතෙන් සොයාගත හැකියි. b

10. බයිබල් ශිෂ්‍යයාගේ හදවතේ තිබෙන සිතිවිලි හා හැඟීම් ‘ඇදගැනීමට’ ප්‍රශ්න භාවිත කිරීමට අපට හැක්කේ කොහොමද? නමුත් අප මතකයේ තබාගත යුත්තේ කුමක්ද?

10 බයිබල් පාඩම් පැවැත්වීමේදී හොඳින් ප්‍රශ්න යොදාගැනීමට අපට හැක්කේ කෙසේද? යේසුස් මෙන් අපට අනුන්ගේ හදවත් විමසා බලන්නට බැහැ. කෙසේවෙතත්, ශිෂ්‍යයාගේ හදවතේ තිබෙන සිතිවිලි හා හැඟීම් ‘ඇදගැනීමට’ උපායශීලීව අදහස් විමසන ප්‍රශ්න යොදාගැනීමට අපට පුළුවන්. (හිතෝපදේශ 20:5) නිදසුනක් වශයෙන්, අපි දැනුම පොතේ, “දේවභක්තික ජීවිතයක් ගත කිරීමෙන් සන්තෝෂය ලැබීමට හේතුව” යන පරිච්ඡේදය සාකච්ඡා කරනවායයි සිතන්න. වංකකම, වේශ්‍යාකම සහ වෙනත් කාරණා පිළිබඳ දෙවිගේ දෘෂ්ටිය ගැන එහි සාකච්ඡා කෙරෙනවා. ශිෂ්‍යයා මුද්‍රිත ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු දෙනවා විය හැකියි. නමුත් ඔහු තමන් ඉගෙනගනිමින් සිටින දෙයට එකඟ වෙනවාද? අපට මෙසේ ඇසිය හැකියි. ‘එවන් කාරණා පිළිබඳ යෙහෝවාගේ දෘෂ්ටිය සාධාරණයි කියා ඔබට හිතෙනවාද?’ ‘මෙම බයිබල් ප්‍රතිපත්ති ඔබගේ ජීවිතය තුළ අදාළ කරගැනීමට ඔබට හැක්කේ කොහොමද?’ එහෙත්, ශිෂ්‍යයාගේ ආත්ම ගෞරවය රකිමින් ගෞරව සම්පන්න විලාසයකින් ප්‍රශ්න ඇසීම කළ යුතු බව මෙහිදී මතක තබාගන්න. බයිබල් ශිෂ්‍යයාව ව්‍යාකූලත්වයට හෝ යම් ලැජ්ජාවකට පත් කරන ප්‍රශ්න ඇසීමට අපට වුවමනා නැහැ.—හිතෝපදේශ 12:18.

11. ප්‍රසිද්ධ කථිකයන්ට බලපෑමෙන් යුක්තව ප්‍රශ්න යොදාගත හැක්කේ කිනම් මාර්ගවලින්ද?

11 ප්‍රසිද්ධ කථිකයන්ටද බලපෑමෙන් යුත් ප්‍රශ්න යොදාගත හැකියි. සවන් දී සිටින්නන්ගෙන් පිළිතුරු අපේක්ෂා නොකරන ප්‍රශ්න ඇසීමෙන් සබයේ සිටින අයට සිතීමටත් තර්කානුකූලව කල්පනා කිරීමටත් උපකාර කරන්නට පුළුවන්. යේසුස්ද ඉඳ හිට එවන් ප්‍රශ්න ඇසුවා. (මතෙව් 11:7-9) මීට අමතරව, හැඳින්වීමෙන් පසුව, සාකච්ඡා කිරීමට නියමිත ප්‍රධාන කරුණු ගෙනහැර දැක්වීම සඳහා ප්‍රශ්න යොදාගැනීමට කථිකයාට හැකියි. ඔහුට මෙසේ කියන්නට පුළුවන්. “අදදින අපේ සාකච්ඡාව තුළ, පහත සඳහන් ප්‍රශ්නවලට අපි පිළිතුරු සලකා බලන්නට යනවා. . . .” පසුව, අවසානයේදී, ප්‍රධාන කරුණු යළිත් සලකා බැලීමට එම ප්‍රශ්න නැවතත් ඇසීමට ඔහුට හැකියි.

12. දෙවිගේ වචනයෙන් සහනය ලබාගැනීමට සෙසු ඇදහිලිවන්තයෙකුට උපකාර කිරීමට ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට හැකි ආකාරය ගැන උදාහරණයක් දෙන්න.

12 යෙහෝවාගේ වචනයෙන් දෙන සහනය ලබාගැනීම සඳහා ‘ක්ලාන්ත සිත් ඇත්තන්ට’ උපකාර කිරීමට තම එඬේර බැහැදැකීම්වලදීද ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට ප්‍රශ්න යොදාගත හැකියි. (1 තෙසලෝනික 5:14) නිදසුනක් වශයෙන්, මානසික අසහනයෙන් සිටින්නන්ට උපකාර කිරීම සඳහා, වැඩිමහල්ලෙකුට ගීතාවලිය 34:18ට ඍජු අවධානයක් දෙන්නට පුළුවන්. එහි මෙසේ කියයි. “යෙහෝවා බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටියි. තැළුණු ආත්ම ඇත්තන් ගළවයි.” අසහනයෙන් සිටින තැනැත්තා හෝ තැනැත්තිය විසින් මෙය තමාට පෞද්ගලිකව අදාළ වන ආකාරය තේරුම්ගන්න බවට සහතික වීම පිණිස වැඩිමහල්ලාට මෙසේ ඇසිය හැකියි. “යෙහෝවා ළංව සිටින්නේ කාටද? සමහර වෙලාවට ඔබට ‘බිඳුණු සිතක්’ සහ ‘තැළුණු ආත්මයක්’ තිබෙන බව ඔබටත් හැඟෙනවාද? බයිබලය කියන්නාක් මෙන්, යෙහෝවා එවන් අයට ළංව සිටිනවා නම්, ඔබ ළඟත් යෙහෝවා සිටිනවා කියා ඉන් අදහස් කරන්නේ නැද්ද?” මානසිකව වැටී සිටින අයගේ මානසික ස්වභාවය යළිත් ඉහළ නංවාලීමට එවන් මුදු මොළොක් සැනසීමකට බොහෝ දේ කළ හැකියි.—යෙසායා 57:15.

තර්කානුකූලව හේතු දැක්වීම

13, 14. (අ) තමාට නොපෙනෙන දෙවි කෙනෙකු කෙරෙහි තමන් විශ්වාස කරන්නේ නැහැයි කියා යමෙක් පවසන විට අපට කෙසේ තර්ක කළ හැකිද? (ආ) සෑම කෙනෙකුම ඒත්තුගනීවිය කියා අපි අපේක්ෂා කළ යුතුද?

13 අපේ දේවසේවයේදී නිවැරදි, ඒත්තුගන්වන අන්දමින් කාරණා ගැන තර්ක කර හදවත්වලට ළඟාවීමට අපට වුවමනායි. (ක්‍රියා 19:8; 28:23, 24) දෙවිගේ වචනයේ ඇති සත්‍යතාවන් අන් අයට ඒත්තුගැන්වීම සඳහා අප ඉතා සංකීර්ණ වූ තර්කයන් යොදාගත යුතුය කියාද ඉන් අදහස් කරන්නේ? නැහැ. කොහෙත්ම නැහැ. නිවැරදි ලෙස තර්ක කිරීමේදී සංකීර්ණ වීම අවශ්‍ය නැහැ. ඉතා සරල ආකාරයකින් තර්කානුකූල ලෙස හේතු දැක්වීමයි, බොහෝ විට වඩාත් බලපෑමක් ඇති කරන්නේ. මේ සඳහා උදාහරණයක් සලකා බලන්න.

14 තමාට නොපෙනෙන දෙවිකෙනෙකු කෙරෙහි විශ්වාස කිරීමට බැරි බව යමෙකු කියන විට අපට ඊට ප්‍රතිචාරය දැක්විය හැක්කේ කොහොමද? හේතු ඵලවාදය නමැති ස්වාභාවික නීතිය ගැන තර්කානුකූලව කරුණු ගෙනහැර දක්වන්නට අපට හැකියි. අපට ඵලය පෙනෙන විට, ඊට හේතුවක් ඇති බව අප පිළිගත යුතුයි. අපට මෙසේ කියන්නට පුළුවන්. ‘ඔබ ඈත පළාතක ඇවිදගෙන යනකොට, හොඳට කෑම බීම (ඵලය) තිබෙන ලස්සන ගෙයක් හම්බ වුණා නම්, යමෙක් (හේතුව) එම ගෙය හැදූ බවත්, එහි කුස්සියේ රාක්කවල ආහාර පුරවා තිබෙන්නේ ඔහු බවත් ඔබ විගස විශ්වාස කරනවාද? ඒ හා සමානව ස්වභාව ධර්මයේ නිර්මාණයත්, මේ පොළොවේ “රාක්කවල” (ඵලය) බහුල ලෙස ආහාර තිබෙනවාත් දකිනකොට, මෙය යමෙකු (හේතුව) විසින් ඇති කළාය කියා සිතීම සාධාරණ නැද්ද?’ බයිබලයේ සරලව මෙම තර්කය ඉදිරිපත් කරන්නේ මෙහෙමයි. “මක්නිසාද සියලුම ගෘහයෝ යම් යම් අය විසින් සාදනු ලබති. නුමුත් සියලු දේවල් පිහිටෙවූ තැනැත්තා දෙවිය.” (හෙබ්‍රෙව් 3:4) කෙසේවෙතත්, අපගේ තර්කයන් කොතරම් නිවැරදිව තිබුණත්, හැම කෙනෙක්ම ඒවා ඒත්තුගන්නේ නැහැ. බයිබලය අපට සිහිගන්වන්නේ, “හරි නැඹුරුවාවක්” තිබෙන අය පමණක් ඇදහිලිවන්තයන් බවට පත් වන බවයි.—ක්‍රියා 13:48, NW; 2 තෙසලෝනික 3:2.

15. යෙහෝවාගේ ගුණාංග සහ මාර්ගයන් කැපීපෙනෙන්න සැලැස්වීමට අපට කිනම් ආකාරයක තර්ක කිරීමක් හෙවත් හේතු දැක්වීමක් යොදාගත හැකිද? අපට එවන් තර්ක කිරීමක් යොදාගත හැකි බව පෙන්වන්නේ කිනම් උදාහරණ දෙකද?

15 ක්ෂේත්‍ර සේවයේදී හෝ වේවා, සභාවේදී හෝ වේවා, අපට යෙහෝවාගේ ගුණාංග සහ මාර්ගයන් කැපීපෙනීමට සැලැස්වීම සඳහා යම් යම් කාරණා ගැන තර්කානුකූලව හේතු දැක්වීමට හැකියි. මෙහිදී විශේෂයෙන් බලපෑමෙන් යුක්ත ක්‍රමයක් වන්නේ, යේසුස් ඉඳ හිට යොදාගත් ‘ඊටත් වඩා කොපමණ වැඩියෙන්’ යන යෙදුම යොදාගෙන තර්ක කිරීමේ ක්‍රමයයි. (ලූක් 11:13; 12:24; NW) යම් සිද්ධාන්ත දෙකක් ගෙන ඒවා එකිනෙකට සසඳමින්, මේ ආකාරයෙන් තර්ක කිරීම මගින් යමක් ගැඹුරින් කාවද්දන්නට හැකියි. නිරාගින්න නමැති මූලධර්මය පුස්සක් බව පෙන්වීමට අපට මෙසේ කියන්නට පිළිවන්. ‘තමාගේ දරුවාට ආදරය කරන කිසිම පියෙක් ඔහුගේ අත ගින්දරට දමා පුච්චමින් දඬුවම් කරන්නේ නැහැ. එසේ නම් නිරාගින්නේ පුච්චනවා කියන අදහස ඊටත් වඩා කොපමණ වැඩියෙන් අපගේ ප්‍රේමවන්ත ස්වර්ගික පියාණන්ගේ හිතටවත් ආපු නැති, කොපමණ පිළිකුල්සහගත අදහසක් විය යුතුද?’ (යෙරෙමියා 7:31) යෙහෝවා සිය සේවකයන්ට පුද්ගලයන් වශයෙන් සැලකිල්ල දක්වන බව ඉගැන්වීමට අපට මෙසේ කිව හැකියි. ‘යෙහෝවා බිලියන ගණනක් වූ එක් එක් තාරකාවල නම් දන්නවා නම්, තමන්ට ප්‍රේම කරන, ඒ වගේම ඔහුගේ පුත්‍රයාගේ වටිනා ලේවලින් මිලට ගත් මිනිසුන් කෙරෙහි ඔහු ඊට වඩා කොතරම් වැඩියෙන් සැලකිල්ල දක්වනවා විය හැකිද?’ (යෙසායා 40:26; ක්‍රියා 20:28) එවන් ආකාරයට ප්‍රබල අන්දමින් කාරණා ගැන හේතු දැක්වීමෙන් අපට අන්‍යයන්ගේ හදවත්වලට ළඟා වෙන්නට පුළුවනි.

ගැළපෙන උපමා

16. උපමා හෙවත් නිදර්ශන, ඉගැන්වීමේදී යොදාගැනීම ඉතා වටින්නේ ඇයි?

16 අපගේ ඉගැන්වීම අනුන්ට රසවත් යමක් කරවන තවත් දෙයක් තමයි, බලපෑමෙන් යුත් උපමා හෙවත් නිදර්ශන යොදාගැනීම. ඉගැන්වීමේදී උපමා යොදාගැනීම ඉතා වටින්නේ ඇයි? එක් අධ්‍යාපනඥයෙක් මෙසේ අදහස් දැක්වූවා. “කිසිම චිත්‍රයක් හෝ පින්තූරයක් නැතුව යමක් ගැන කල්පනා කිරීම මිනිසුන්හට ඉතා දුෂ්කර කාර්යයක්.” උපමාවකින් අපගේ මනස් තුළට ඉතා අර්ථවත් පින්තූරයක් කාවද්දනවා. අලුත් අදහස් වඩාත් හොඳින් ග්‍රහණය කරගැනීමට එය අපට උපකාර වෙනවා. උපමා හෙවත් නිදර්ශන යොදාගැනීම අතින් යේසුස් කැපීපෙනුණු පුද්ගලයෙක්. (මාර්ක් 4:33, 34) මෙම ඉගැන්වීමේ ක්‍රමය යොදාගත හැකි ආකාරය ගැන අපි දැන් සලකා බලමු.

17. යම් උපමාවකින් හෙවත් නිදර්ශනයකින් බලපෑමක් ඇතිවීමට නම්, තිබිය යුතු සාධක හතර කවරේද?

17 උපමාවක් හෙවත් නිදර්ශනයක් බලපෑමෙන් යුක්ත කරවන්නේ කුමක්ද? පළමුව, එය අපේ සබයට ගැළපිය යුතුයි. අපට සවන් දෙන්නන්ට පහසුවෙන් වටහාගත හැකි තත්වයන්ගෙන් ඒවා උකහාගත යුතුයි. යේසුස් සිය උපමා බොහොමයක් උකහාගත්තේ ඔහුට සවන් දී සිටි අයගේ එදිනෙදා ජීවිතවලින් බව අපට මතකයි. දෙවනුව, උපමාවක් හෙවත් නිදර්ශනයක් කාවද්දන්නට උත්සාහ කරන කාරණයට බොහෝ දුරට ගැළපිය යුතුයි. මෙහිදී උපමාවකින් කරන සැසඳීම ගැළපෙන්නේ නැත්නම්, ඉන් සිදු වන්නේ අසන්නන්ගේ අවධානය බිඳී යෑම පමණයි. තුන්වෙනුව, නිදර්ශනයක් අනවශ්‍ය තොරතුරුවලින් ගහන නොවිය යුතුයි. අවශ්‍ය නිශ්චිත තොරතුරු දුන් නමුත් යේසුස් සිය උපමාවල අනවශ්‍ය තොරතුරු බැහැර කළ බව මතක් කරන්න. හතරවනුව, අප උපමාවක් හෙවත් නිදර්ශනයක් යොදාගන්නා විට, එහි අදාළ කිරීම පැහැදිලි කිරීමටත් වගබලා ගත යුතුයි. නැත්නම්, කාවද්දන්නට උත්සාහ කරන මූලික කාරණය ඇතැම් අයට වැටහී නොයන්නට ඉඩ තිබෙනවා.

18. ගැළපෙන උපමා හෙවත් නිදර්ශන සොයාගැනීමට අපට හැක්කේ කොහොමද?

18 ගැළපෙන උපමා හෙවත් නිදර්ශන සොයාගැනීමට අපට හැක්කේ කොහොමද? අපට දිගු වැල්වටාරම්වලින් යුත් කතන්දර ගැන සිතන්නට අවශ්‍ය නැහැ. කෙටි ඒවා බොහෝ සෙයින් බලපෑමෙන් යුක්තයි. මූලික කාරණය කාවැද්දෙන උදාහරණයන් ගැන සිතීමට උත්සාහ කරන්න. නිදසුනක් වශයෙන්, දෙවිගේ සමාව දීම නම් විෂය ගැන අපි සාකච්ඡා කරමින් සිටිනවායයි සිතමු. ක්‍රියා 3:20හි කාවද්දා ඇති පරිදි යෙහෝවා අපේ පව් ‘මකා දමනවා’ හෙවත් පිස දමනවා යන කාරණය අපට නිදර්ශනය කිරීමට සිදු වෙනවායයි සිතන්න. ‘මකා දමනවා’ යන අදහසම ඉතා විචිත්‍රවත් භාෂාලංකාරයක් වුණත්, එම මූලික කරුණ උපහැරණයකින් කාවැද්දීම සඳහා කිනම් සැබෑ නිදර්ශනයක් භාවිත කළ හැකිද? මකන කෑල්ලක්, ස්පොන්ජි කැබැල්ලක්? අපට මෙසේ කියන්නට පුළුවන්. ‘යෙහෝවා අපේ පාපවලට සමාව දෙන කොට, ඔහු ඒවා පිස දමන්නේ, හරියට ස්පොන්ජි කැබැල්ලක් අරන් ඒවා පිස දමනවා (හෝ මකන කැබැල්ලකින් මකා දමනවා) වගේ.’ එවැනි සරල නිදර්ශනයක මූලික කරුණ අමතක කිරීම නම් ලෙහෙසි පහසු දෙයක් නොවෙයි.

19, 20. (අ) හොඳ නිදර්ශන සොයාගැනීමට අපට හැක්කේ කොහෙන්ද? (ආ) අපගේ පොත් පත්වල පළ කර ඇති බලපෑමෙන් යුත් නිදර්ශන පිළිබඳව උදාහරණ දෙන්න. (කොටුවද බලන්න.)

19 සැබෑ ජීවිත අද්දැකීම් ඇතුළත් ගැළපෙන උපමා හෙවත් නිදර්ශන ඔබට සොයාගත හැක්කේ කොහෙන්ද? ඔබගේම ජීවිතයෙන් හෝ සෙසු ඇදහිලිවන්තයන්ගේ පසුබිම් සහ අද්දැකීම්වලින් ඒවා ඔබට සොයාගන්නට පුළුවන්. උපමා හෙවත් නිදර්ශන වෙනත් මූලාශ්‍රවලින්ද සොයාගන්නට පුළුවනි. සජීවි හෝ අජීවි වස්තූන්, ගෙදර දොරේ පාවිච්චි කරන දේවල් හෝ අද සමාජයේ ප්‍රසිද්ධ යම් යම් දේවලින්ද මේවා උකහාගන්නට හැකියි. හොඳ නිදර්ශන සොයාගන්නට හැකි ක්‍රමය තමයි, හොඳින් සුපරීක්ෂාකාරිව සිටීම. එනම් අප අවට එදිනෙදා තත්වයන් ගැන ‘හොඳ සෝදිසියකින්’ සිටීමයි. (ක්‍රියා 17:22, 23) ප්‍රසිද්ධ කථිකත්වය පිළිබඳ එක්තරා ග්‍රන්ථයක සඳහන් වෙන්නේ මෙසේයි. “මිනිස් ජීවිතය හා එහි විවිධාවස්ථා නිරීක්ෂණය කරන කථිකයා, සියලු ආකාර මිනිසුන් සමඟ කතා කරයි. දේවල් දෙස කෙළින්ම බලා ඒවා මොනවාද කියා තේරුම්ගන්නා තුරු ප්‍රශ්න අසයි. අවශ්‍ය අවස්ථාවලදී පාවිච්චි කිරීම පිණිස නිදර්ශනය කළ හැකි වස්තු සම්භාරයක් රැස් කරගැනීමට ඔහු සමර්ථයෙකි.”

20 බලපෑමෙන් යුත් උපමා හෙවත් නිදර්ශන සොයාගත හැකි තවත් මහඟු මූලාශ්‍ර වන්නේ මුරටැඹ, පිබිදෙව්! සඟරා සහ යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද පොත් පත්ය. මෙම ප්‍රකාශනවල උපහැරණ භාවිත කර ඇති ආකාරය සෝදිසි කර බැලීමෙන් ඔබට බොහෝ දේ ඉගෙනගන්න පුළුවනි. c නිදසුනක් වශයෙන් දැනුම පොතේ 17වන පරිච්ඡේදයේ 11වන ඡේදයේ භාවිත කර ඇති නිදර්ශනය බලන්න. සභාව තුළ සිටින විවිධ පෞද්ගලිකත්වයන් සහිත පුද්ගලයන්ව පාරේ ගමන් කරන විවිධ වාහනවලට එහි සසඳා තිබෙනවා. මෙම නිදර්ශනය ඉතා කාවදිනසුලු එකක් වන්නේ ඇයි? එය පදනම් වී තිබෙන්නේ එදිනෙදා තත්වයක් මතයි. ඇරත් කාවද්දන්නට උත්සාහ කරන කරුණට එය ඉතා හොඳින් ගැළපෙනවා. ඒ වගේම එහි අදාළත්වය පැහැදිලියි. අප උගන්වන විට, පළ කර ඇති එම උපමා හෙවත් නිදර්ශන අපට භාවිත කරන්නට හැකියි. සමහරවිට බයිබල් ශිෂ්‍යයෙකුට සරිලන අන්දමට හෝ කතාවක අවශ්‍යතාවන්ට අනුව ඒවා සකස් කරගන්නටත් පුළුවනි.

21. දේවවචනයේ බලපෑමෙන් යුත් ගුරුවරයෙකු වීමෙන් ලැබෙන ඵල විපාක මොනවාද?

21 බලපෑමෙන් යුත් ගුරුවරයෙකු වීමේ විපාක ඉතා මහත්. අප උගන්වන විට, අප කරන්නේ අනුන් සමඟ දේවල් බෙදාගැනීමක්. ඒ වගේම අප සතු සම්පත්වලින් කොටසක් උපයෝගි කරගෙන ඔවුන්ට උපකාර කිරීමක්. එවන් දීමකින් සන්තෝෂය ගෙන දෙයි. මන්ද බයිබලය පවසන්නේ “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ’ කියායි. (ක්‍රියා 20:35, NW) දේවවචනයේ ගුරුවරුන්ට ලැබෙන සන්තෝෂය මෙයයි. එනම් ඉතා අව්‍යාජ වූ සත්‍යය වූ සදාකාලික වටිනාකමක් ඇති අනර්ඝ දෙයක් අනුන් සමඟ බෙදාගන්නවා යන්න දැන සිටීමෙන් ලැබෙන ප්‍රීතියයි. එම අනර්ඝ දෙය නම් යෙහෝවා පිළිබඳ සත්‍යයයි. එමෙන්ම අපගේ උතුම් ගුරුවරයා වන යේසුස් ක්‍රිස්තුස්ව අප අනුකරණය කරමින් සිටින බව දැනගැනීමෙන් පැමිණෙන තෘප්තියද අපට ලබාගත හැකියි.

[පාදසටහන්වල]

a යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

b යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද මෙම පොතේ පිටු 9-15 දක්වා තිබෙන “ක්ෂේත්‍ර සේවය සඳහා හැඳින්වීම්” යන කොටස (සිංහලෙන් ප්‍රකාශයට පත් කර ඇති බයිබල් සාකච්ඡා ආරම්භ කර දිගටම කරගෙන යා හැකි අයුරු නමැති පොත් පිංචයේ පිටු 2-7 දක්වා) බලන්න.

c මෙම උදාහරණ සොයාගැනීම පිණිස, යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් භාෂා ගණනාවකින් පළ කරන ලද 1986-2000 මුරටැඹ ප්‍රකාශන සූචියේ (dx, සිංහලෙන් නැත) “Illustrations [නිදර්ශන, උපමා]” යටතේ බලන්න.

ඔබට මතකද?

• නිවාස බයිබල් පාඩමක් පවත්වන විට, සරලව ඉගැන්වීමට අපට හැක්කේ කොහොමද? සභාවේ කතාවක් දෙන විට සරලව ඉගැන්විය හැක්කේ කොහොමද?

• ගෙයින් ගෙට දේශනා සේවයේ යෙදී සිටින විට, බලපෑමෙන් යුත් ප්‍රශ්න යොදාගැනීමට අපට හැක්කේ කොහොමද?

• යෙහෝවාගේ ගුණාංග සහ මාර්ගයන් කැපීපෙනීමට සැලැස්වීම සඳහා තර්කානුකූලව හේතු දැක්වීමට අපට හැක්කේ කොහොමද?

• ගැළපෙන උපමා හෙවත් නිදර්ශන සොයාගැනීමට අපට හැක්කේ කොහෙන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබට මෙම උපමා මතකද?

පහත දැක්වෙන්නේ බලපෑමෙන් යුත් උපමා හෙවත් නිදර්ශන කිහිපයක්. මේවායේ මූලාශ්‍ර සෝදිසි කර, සාකච්ඡා කෙරෙන මූලික කාරණය කාවැද්දීම පිණිස උපමා මහෝපකාරි වන අන්දම සොයා නොබලන්නේ මන්ද?

• සර්කස් සංදර්ශනයක් ඉදිරිපත් කරන ශිල්පීන් දෙදෙනෙක් හෝ අයිස් මත රැඟුමක් ඉදිරිපත් කරන යුවළක් මෙන් සාර්ථක විවාහයක් ගොඩනැංවීමට අදහස් කරන අයත් ගැළපෙන සහකරුවෙකු තෝරාගැනීම මත බොහෝ සෙයින් රඳා සිටිනවා.—2001 මැයි 15දා මුරටැඹ කලාපයේ 16වන පිටුව.

• ඔබේ හැඟීම් පළ කිරීම බෝලයක් වීසි කරනවාක් වැනි දෙයක්. ඔබට හැඟීම් මෘදු ලෙස තවත් කෙනෙකුට ප්‍රකාශ කළ හැකියි. නැත්නම් තව කෙනෙකුට තුවාල සිදු වන පරිද්දෙන් එය වේගයෙන් වීසි කරන්නටත් හැකියි.—2001 ජනවාරි 8 පිබිදෙව්! කලාපයේ 10වන පිටුව.

• ප්‍රේමය ප්‍රකාශ කිරීමට ඉගෙනගැනීම අලුත් භාෂාවක් ඉගෙනගැනීම හා සමානයි.—1999 පෙබරවාරි 15දා මුරටැඹ කලාපයේ 18, 22-23 පිටු.

• උරුම කරගත් පාපය, වයිරසයක් මගින් පරිගණක ගොනුවක් විනාශ වූ විට සිදු වන දෙයට සමාන කළ හැකියි.—ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? 156වන පිටුව.

• දඩයක්කාරයාගේ උගුලට සතුන් ඇදගැනීම සඳහා ඇමක් භාවිත කරන්නාක් මෙන්, දුෂ්ට ආත්මයන් භූතවාදය ඇමක් ලෙස යොදාගෙන මිනිසුන්ව ඊට ඇදගනී.—සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොතේ 111වන පිටුව.

• ආදම්ගේ පාපයෙන් ගළවාගැනීමට යේසුස් පැමිණීම, ධනවත් ව්‍යාපාරිකයෙක් (වංක කළමනාකාරයෙකු විසින් ඇති කරන ලද) සමාගමේ ණය ගෙවන්නටත් කර්මාන්ත ශාලාව යළි විවෘත කිරීමෙන් එහි සේවකයන්හට ප්‍රයෝජන ලබා දීමටත් ඉදිරිපත් වීම හා සැසඳිය හැකියි.—1992 අප්‍රියෙල් 1 මුරටැඹ කලාපයේ 21වන පිටුව.

• තදබල හානි සිදු වී ඇති ඉතා උසස් කලා කෘතියක් නැවත පිළිසකර කිරීම සඳහා කලා රසිකයන් බොහෝ දේ කරන්නට ඉදිරිපත් වෙන්නාක් මෙන්, අපගේ අසම්පූර්ණකම්වලින් ඔබ්බට බලන්නටත්, අප තුළ තිබෙන යහපත දකින්නටත්, අන්තිමේදී ආදම් අහිමි කරගත් ඒ පරිපූර්ණත්වය යළි ලබා දෙන්නටත් යෙහෝවාට හැකියි.—යෙහෝවාට ළං වන්න, 246වන පිටුව.

[20වන පිටුවේ පින්තූර]

සැබෑ ක්‍රිස්තියානීන් දේවවචනයේ ගුරුවරුන්

[21වන පිටුවේ පින්තූරය]

දේවවචනයෙන් සහනය ලබාගැනීමට සෙසු ඇදහිලිවන්තයන්ට උපකාර කිරීමට වැඩිමහල්ලන්හට ප්‍රශ්න යොදාගත හැකියි