Skip to content

පටුනට යන්න

ඔක්කොම අසල්වැසියෝ කොහේ ගිහිල්ලාද?

ඔක්කොම අසල්වැසියෝ කොහේ ගිහිල්ලාද?

ඔක්කොම අසල්වැසියෝ කොහේ ගිහිල්ලාද?

“නවීන සමාජය අසල්වැසියන්ව ගණන් ගන්නේ නැහැ.”—19වන සියවසේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන බෙන්ජමින් ඩිස්රේලි පවසයි.

වයස්ගත වන කියුබානු වැසියන් අසල්වැසියන්ගේ ශුභ සිද්ධිය තකා අසල්වැසි ජාලයක් හෝ සීයලාගේ සංගමය යනුවෙන් අසාමාන්‍ය වැඩ පිළිවෙළක් දියත් කළා. වර්ෂ 1997 වාර්තාවකට අනුව වයස්ගත කියුබානු වැසියන් පස්දෙනෙකුගෙන් එක් කෙනෙක් මෙවැනි සංගමයකට බැඳී සිටියා. ඔවුන්ට මෙම සංගම් මාර්ගයෙන් මිත්‍රත්වයන් ගොඩනඟා ගැනීමටත්, සැනසිල්ල ලබාගැනීමටත්, ඒ වගේම යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වාගැනීමට අවශ්‍ය ප්‍රායෝගික උපදෙස් ලබාගැනීමටත් හැකි වී තිබෙනවා. ඔවුන් ගැන වර්ල්ඩ් හෙල්ත් සඟරාව පෙන්වා දෙන්නේ මෙසේයි. “ගම්මානය භාරව සිටින පවුල් වෛද්‍යවරයින්ට එන්නත් විදීමේ ව්‍යාපාරයක් දියත් කරන්න අවශ්‍ය වුණාම පූර්ණ සහයෝගය ලබා දීමට මෙම සංගම්වල ඉන්න සාමාජිකයෝ කැමැත්තෙන් සිටිති.”

කනගාටුවට කාරණයක් නම් ලෝකයේ බොහෝ ප්‍රජාවල මෙවැනි සැලකිල්ල දක්වන පරිසර නොතිබීමයි. උදාහරණයකට වුල්ෆ්ගෑං ඩර්කස් මහතාට සිදු වූ දේ සලකා බලන්න. ඔහු ජීවත් වූයේ බටහිර යුරෝපයේ තට්ටු නිවාස සංකීර්ණයකයි. අවුරුදු කිහිපයකට කලින් ද කැන්බරා ටයිම්ස් නම් පුවත්පතේ වාර්තා වූ පරිදි මෙම සංකීර්ණයේ පවුල් 17ක් ජීවත් වූ අතර වුල්ෆ්ගෑංව කාලයක් තිස්සේ දැක්කේ නැති වුණත් ඔවුන් “කිසි කෙනෙක් ඔහුගේ තට්ටු නිවාසයේ සීනුව නාද කර බලන්න සිතුවේ නැහැ.” අන්තිමට ඔන්න ගෙවල් අයිතිකරු ආවාම “ඔහු දැක්කේ රූපවාහිනිය ඉස්සරහ ඇටසැකිල්ලක් වාඩි වෙලා ඉන්නවා.” ඇට සැකිල්ලේ ඔඩොක්කුවේ තිබුණු රූපවාහිනි වැඩසටහන් අත්පොතේ සඳහන් වී තිබූ දිනය වුණේ 1993 දෙසැම්බර් 5වෙනිදා. ඒ කියන්නේ වුල්ෆ්ගෑං මැරිලා අවුරුදු පහක් ගත වෙලා තිබුණා! අසල්වැසියන් එකිනෙකා කෙරෙහි උනන්දුව හා සැලකිල්ල නොදැක්වීම සම්බන්ධව කොතරම් දුක්ඛිත උදාහරණයක්ද? එසේනම්, තමාගේ ප්‍රදේශයත් අනෙකුත් සියලුම ප්‍රදේශ මෙන් “අමුත්තන්ගෙන් පිරුණු සමාජයක්” බවට පත් වී තිබුණු බව එක් නිබන්ධකයෙක් සඟරාවකට (The New York Times Magazine) ලියා තිබීම පුදුමයට කාරණයක් නොවෙයි. මෙය ඔබේ ප්‍රජාව සම්බන්ධයෙනුත් සත්‍යයක්ද?

සමහර ගම්බද ප්‍රදේශවල තවමත් සැබෑ මිත්‍රශීලිබවක් දක්නට ලැබෙනවා. ඒ වගේම තවත් සමහර නගරබද ප්‍රදේශවල ජනයා උත්සාහ දරන්නේ අසල්වැසියන් ගැන වැඩි සැලකිල්ලක් දැක්වීමටයි. කෙසේනමුත්, ප්‍රධාන නගරවල ජීවත් වන වැසියන්ට හැඟෙන්නේ තමන්ගේම ගම්මානයේ තමන් අනාරක්ෂිත හා හුදෙකලා ජීවිතයක් ගත කරන බවයි. ඔවුන් ජීවත් වෙන්නේ අනිත් අයගෙන් වෙන් වී ඔවුන්ටම උරුම වූ පාළු හුදෙකලා ලෝකයක. එසේ වන්නේ කොහොමද?

පාළු හුදෙකලා ලෝකයක්

බොහෝවිට අපේ අසල්වාසීන් ඉන්නේ වැඩි ඈතක නොවෙයි අපේම ගෙවල් ළඟයි. රූපවාහිනි යන්ත්‍රයේ එළිය, ජනේලයෙන් පෙනෙන එහා මෙහා යන හෙවනැලි, පත්තු වෙන නිවෙන විදුලි බුබුළු, වාහන යන එන සද්දේ, කොරිඩෝරය දිගේ ඇවිදින සද්දේ, දොරවල් අරින වහන යතුරු කැරලිවල සද්දේ වැනි මේ හැම දෙයකින්ම කියන්නේ අපි අවට සිටින අසල්වාසීන් “ජීවත්ව” සිටින බවයි. එකිනෙකාව ආශ්‍රය නොකරන හුදෙකලා ලෝකයක ජීවත් වන අයට හෝ එසේත් නැත්නම් අන් අය ගැන සොයා බැලීමට නොහැකි තරමටම කාර්ය බහුල ජීවිතයක් ගත කරන අයගෙන් සැබෑ අසල්වැසි සබඳතා තුරන් වී ගොසින්. අසල්වාසීන් සමඟ පෑහී කටයුතු කිරීමට හෝ ඔවුන් සමඟ බැඳීමක් ඇති කරගැනීමට අවශ්‍ය නැති බව සමහර අය කල්පනා කළ හැක. ඕස්ට්‍රේලියාවේ පුවත්පතක (Herald Sun) මෙසේ පළ වුණා. “මිනිස්සු තමන් අවට වාසය කරන්නන් ගැන කිසිවක් දන්නේ නැහැ. ඒ හේතුව නිසා ඔවුන් අතර සමාජීය බැඳීම්වලට පෙලඹීමක් ඇති වෙලා නැහැ. අද සමාජයේ පිළිගැනීමක් නැති කෙනෙකුව පහසුවෙන්ම කොන් කිරීමට හෝ නොසලකා හැරීමට පුළුවන්.”

වර්ධනය වී ඇති මෙම තත්වය පුදුමයට කාරණයක් නොවෙයි. අද ලෝකයේ මිනිස්සු “තමුන්ටම ප්‍රේම කරන්නෝය.” අපි අද අද්දකින්නේ මමත්වය පෙරදැරි කරගෙන ජීවත් වන සමාජයක ප්‍රතිඵලයි. (2 තිමෝති 3:2) මෙම තත්වය නිසා නෙළාගෙන තිබෙන ඵල විපාක නම් තනිකම හා ආගන්තුකබවේ හැඟීමක් ඇතිවීමයි. මෙම ආගන්තුකබවේ හැඟීම නිසා අවට යම් සැහැසියාවක් හා භයානක අපරාධයක් වූ විට සැමෝවම සැක කිරීමට පෙලඹෙනවා. ඒ වගේම සැකය, මිනිසුන් කෙරෙහි අප දක්වන දයාව අපෙන් තුරන් කරවීමට හේතු වෙනවා.

ඔබ ජීවත් වන ප්‍රදේශයේ තත්වය කුමක් වුවත් යහපත් අසල්වැසියන් සමාජයට මහඟු දායාදයක් කියා ඔබ සිතනවාට කිසිම සැකයක් නැහැ. හැමෝම පොදු ඉලක්කයක් කරා වැඩ කරන විට බොහෝ දේ ඉෂ්ට කරගත හැකියි. ඇත්තටම හොඳ අසල්වැසියන් ආශීර්වාදයක්. ඊළඟ ලිපිය එම කියමන සැබෑ වන ආකාරය ගැන සාකච්ඡා කරයි.