Skip to content

පටුනට යන්න

ඔහු “උපමාවක් නැතිව ඔවුන්ට කතා නොකළේය”

ඔහු “උපමාවක් නැතිව ඔවුන්ට කතා නොකළේය”

ඔහු “උපමාවක් නැතිව ඔවුන්ට කතා නොකළේය”

“යේසුස් මේ සියල්ල සමූහයන්ට උපමා මගින් කීවේය. උපමාවක් නැතිව ඔවුන්ට කතා නොකළේය.”—මතෙව් 13:34, NW.

1, 2. (අ) බලපෑමෙන් යුක්ත උපමාවන් ලෙහෙසියෙන් අමතක නොවන්නේ ඇයි? (ආ) යේසුස් භාවිත කළේ කිනම් ආකාරයේ උපමාද? ඔහු විසින් මෙම උපමාවන් භාවිත කිරීම ගැන කිනම් ප්‍රශ්න පැනනඟිනවාද? (පාද සටහනද බලන්න.)

 ඔබ ඇසූ උපමාවක් ඔබට මතකද? සමහරවිට මීට අවුරුදු කිහිපයකට ඉහත ප්‍රසිද්ධ කථාවකින් ඇසූ උපමාවක්? බලපෑමෙන් යුත් උපමා ඉක්මනින් අමතක වන්නේ නැහැ. එක් ලේඛකයෙකු පැවසුවේ, උපමා “කෙනෙකුගේ කන් දෙක ඇස් දෙකක් බවට පත් කරමින් ඔහුගේ මනස තුළ රූප අඳින්නට සමත් වෙනවා” කියායි. බොහෝ විට අප සාමාන්‍යයෙන් මනසෙහි පින්තූරු අඳිමින් සිතන නිසා, උපමාවලින් යම් සංකල්පයන් පහසුවෙන් වටහාගැනීමට සලස්වනවා. උපමාවලින් වචනවලට යම් ජීවයක් කවා අපට පාඩම් උගන්වන්නේ අපේ මතකයට ඒවා ඉතා තදින් කාවද්දමින්.

2 පොළොව මත විසූ කිසිම ගුරුවරයෙක් කිසි කලෙකත් යේසුස් ක්‍රිස්තුස් තරම් ඉතා දක්ෂ ලෙස උපමාවන් යොදාගෙන නැහැ. යේසුස් පැවසූ උපමාවන් ඒවා පවසනු ලැබුවාට වසර දෙදහසකට පසුව පවා තවමත් මතකයේ රැඳී තිබෙනවා. a මේ විශේෂ ඉගැන්වීම් ක්‍රමය යේසුස් බොහෝ සෙයින් යොදාගත්තේ ඇයි? තවද ඔහුගේ උපමාවන් එතරම්ම බලපෑමෙන් යුක්ත වූයේ ඇයි?

යේසුස් උපමාවලින් ඉගැන්වීමට හේතුව

3. (අ) මතෙව් 13:34, 35ට අනුව, යේසුස් විසින් උපමා යොදාගැනීමට එක් හේතුවක් නම් කරන්න. (ආ) යෙහෝවා විසින් මෙම ඉගැන්වීම් ක්‍රමය වටිනා එකක් ලෙස සැලකූ බව ඇඟවෙන්නේ කුමකින්ද?

3 යේසුස් විසින් උපමාවන් යොදාගැනීමට විශේෂ හේතු දෙකක් බයිබලය අපට ඉදිරිපත් කරනවා. පළමුව, එසේ කිරීමෙන් අනාවැකිවල ඉටුවීමක් සිදු වුණා. ප්‍රේරිත මතෙව් මෙසේ ලිව්වා. “යේසුස් මේ සියල්ල සමූහයන්ට උපමා මගින් කීවේය. උපමාවක් නැතිව ඔවුන්ට කතා නොකළේය. මෙසේ සිදු වුණේ අනාගතවක්තෘ මාර්ගයෙන් කියන ලද මේ දේ ඉටු වන පිණිසය. එනම්, ‘මම උපමා මගින් කතා කරන්නෙමි.’” (මතෙව් 13:34, 35, NW) මතෙව් විසින් උපුටාගනු ලැබූ “අනාගතවක්තෘ,” ගීතාවලිය 78:2හි ගීතිකාව ලියූ රචකයායි. ගීතිකාකරු මෙය ලිව්වේ යේසුස්ගේ උපතට සියවස් ගණනාවකට පෙර දෙවිගේ ආත්මයේ මඟ පෙන්වීම යටතේයි. වසර සිය ගණනකට පෙර, යෙහෝවා සිය පුත්‍රයා විසින් උපමාවලින් උගන්වන බව ස්ථිර ලෙස කියා සිටීම මෙහිලා කැපීපෙනෙන දෙයක් නොවේද? යෙහෝවා මෙම ඉගැන්වීම් ක්‍රමය බොහෝ සෙයින් අගය කරන බව සහතිකය!

4. යේසුස් විසින් උපමා යොදාගැනීමට හේතුව පැහැදිලි කළේ කොහොමද?

4 දෙවනුව, යේසුස්ම පැවසූ ලෙස ඔහු උපමා යොදාගත්තේ හොඳ ප්‍රතිචාරයක් නොදක්වන හදවත් ඇති අයව වෙන් කරගැනීමටයි. වපුරන්නාගේ උපමාව ‘මහත් සමූහයන්හට’ ඔහු විසින් පැවසූ විට, “ඔබ උපමා යොදාගනිමින් ඔවුන්ට කතා කරන්නේ මන්ද” කියා ගෝලයන් ඇසූ අවස්ථාවේදී යේසුස් පිළිතුරු දුන්නේ මෙසේයි. “ස්වර්ග රාජ්‍යයේ පරිශුද්ධ රහස් තේරුම්ගැනීමේ හැකියාව ඔබට දී ඇති නමුත් ඔවුන්ට දී නැත. ඔවුන් බලමින් සිටියත් ඔවුන් බලන්නේ ඵලක් නැතිවය. ඔවුන් අසමින් සිටියත්, ඔවුන් අසන්නේ ඵලක් නැතිවය. ඔවුන්ට එහි හරය වැටහෙන්නේ නැත. එහෙයින් මම උපමා යොදාගනිමින් ඔවුන්ට කතා කරමි. යෙසායාගේ මේ අනාවැකිය ඔවුන් සම්බන්ධයෙන් ඉටු වේ. එනම්, ‘ඇහුම්කන් දෙන නිසා ඔබට ඇසෙන්නේය. නමුත් ඔබට එහි හරය කිසිසේත් වැටහෙන්නේ නැත. බලන නිසා ඔබ දකින්නේය. නමුත් ඔබට කිසිසේත් තේරුම්යන්නේ නැත. මන්ද මේ ජනයාගේ සිත් දැඩි වී තිබේ.’”—මතෙව් 13:2, 10, 11, 13-15, NW; යෙසායා 6:9, 10.

5. යේසුස්ගේ උපමා මගින් යටහත් පහත් සවන්දෙන්නන්ගෙන් උඩඟු වූවන්ව වෙන් කළේ කොහොමද?

5 මිනිසුන්ව වෙන් කිරීමට යේසුස්ගේ උපමා හේතු වූයේ කෙසේද? ඇතැම් අවස්ථාවලදී, ඔහුගේ වචනවල මුළු තේරුම වටහාගැනීමට ඔහුගේ ශ්‍රාවකයන්ට ඒ දේවල් ගැඹුරට හාරා බැලීමට සිදු වුණා. යටහත් පහත් පුද්ගලයන් තව තවත් තොරතුරු සොයා බැලීමට පෙලඹුණා. (මතෙව් 13:36; මාර්ක් 4:34) එසේ නම්, යේසුස්ගේ උපමාවන්ගෙන් සත්‍යය හෙළි වුණේ සත්‍යය සඳහා කුසගින්නක් තිබූ අයටයි. ඒ අතරම, ඔහුගේ උපමා උඩඟු සිත් ඇති අයගෙන් එම සත්‍යතාවන් වසා තබන්නටත් ඉවහල් වුණා. ඇත්තටම යේසුස් කොතරම් කැපීපෙනෙනසුලු ගුරුවරයෙක්ද! ඔහුගේ උපමාවන් එතරම් බලපෑමක් කළාවූ ඇතැම් හේතු කිහිපයක් ගැන අපි සලකා බලමු.

තෝරා බේරා තොරතුරු යොදාගැනීම

6-8. (අ) පළමු සියවසේ යේසුස්ගේ කාලයේ විසූ ශ්‍රාවකයන්ට නොතිබූ වාසිය කුමක්ද? (ආ) යේසුස් ඉතා පරෙස්සමින් තෝරා බේරාගෙන යම් යම් විස්තර ඉදිරිපත් කළ බවට තිබෙන උදාහරණ කවරේද?

6 යේසුස්ගේ ඉගැන්වීම්වලට කෙළින්ම සවන් දුන් ගෝලයන්ට එය මොන වගේ අද්දැකීමක් වන්නට ඇද්දැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද? යේසුස්ගේ කටහඬට සවන් දෙන්නට වරප්‍රසාද ලැබ සිටියද, ඔහු පැවසූ දේවල් යළි යළිත් මතක් කරගැනීම පිණිස යම් ලිඛිත වාර්තාවක් පරිහරණය කිරීමේ වාසිය ඔවුන්ට තිබුණේ නැහැ. ඒ වෙනුවට, ඔවුන්ට යේසුස්ගේ වචන සටහන් කරගැනීමට තිබුණේ ඔවුන්ගේ මනස් හා හෘද තුළයි. දක්ෂ ලෙස උපමා යොදාගැනීමෙන් තමා විසින් ඉගැන්වූ දෙය මතක තබාගැනීමට යේසුස් ඔවුන්හට පහසු කළා. ඔහු එය කළේ කුමන ආකාරයෙන්ද?

7 යම් තොරතුරු ඉදිරිපත් කරන විට යේසුස් එසේ කළේ ඉතා පරෙස්සමින් අවශ්‍ය තොරතුරු පමණක් භාවිත කිරීමෙනුයි. යම් කතන්දරයකට හෝ අවධාරණය කිරීම පිණිස හෝ යම් තොරතුරු යොදාගැනීමට සිදු වූ විට ඔහු ඒ ගැන ඉතා සුපරීක්ෂාකාරි වුණා. මේ අනුව, අයාලේ ගිය බැටළු පැටවෙකුව සොයා ගිය අයිතිකරු බැටළුවන් කීදෙනෙක් දමා ගියාද කියාත්, මිදි වත්තේ වැඩකරුවන් පැය කීයක් වැඩ කළාද කියාත්, තලෙන්ත කීයක් විශ්වාසවන්තව භාර දුන්නාද කියාත් ඔහු හරියටම පවසා සිටියා.—මතෙව් 18:12-14; 20:1-16; 25:14-30.

8 ඒ අතරම, යම් උපමාවල අර්ථය අපට තේරුම්ගැනීමට අසීරු කරවන යම් අනවශ්‍ය තොරතුරු ඉවත දැමීමටද යේසුස් වගබලා ගත්තා. නිදසුනක් වශයෙන්, දයා විරහිත දාසයා පිළිබඳ උපමාව තුළ, එම දාසයා තම ස්වාමියාට දිනාර් 6,00,00,000ක් දක්වා ණය වුණේ කොහොමද කියා පැහැදිලි කර නැහැ. යේසුස් මෙහිදී අවධාරණය කරමින් සිටියේ සමාව දීමට කැමැත්තක් දැක්වීමේ ඇති අවශ්‍යතාව ගැනයි. වැදගත් දේ වූයේ, එම දාසයා ණය වූයේ කොහොමද යන්න නොව, නමුත් ඔහුගේ ණය අවලංගු කරනු ලැබුවේ කොහොමද, එසේ කළත් සාපේක්ෂ වශයෙන් තමාට ඉතා සුළු මුදලක් ණයව සිටි සෙසු දාසයාට ඔහු සැලකුවේ කොහොමද යන්නයි. (මතෙව් 18:23-35) ඒ හා සමානව, නාස්තිකාර පුත්‍රයා පිළිබඳ උපමාවේදී බාල පුතා හදිසියේම තම උරුමය ඉල්ලුවේ ඇයි කියාත් ඔහු එය නාස්ති කළේ ඇයි කියාත් පැහැදිලි විස්තරයක් යේසුස් ඉදිරිපත් කළේ නැහැ. නමුත් තම පුතා සිත වෙනස් කරගෙන නැවත නිවසට හැරී එන විට ඒ පියාට දැනුණු අන්දම ගැන සවිස්තරයක් යේසුස් මෙහිදී දුන්නා. එයට හේතුව, යේසුස් සිතා සිටි මූලික කාරණය කාවද්දන්නට පියාගේ ප්‍රතිචාරය පිළිබඳ එවැනි විස්තර අතිශයින් අවශ්‍ය වීමයි. එම කාරණය නම් යෙහෝවා “අතිශයින් කමා වෙනවා” යන්නයි.—යෙසායා 55:7; ලූක් 15:11-32.

9, 10. (අ) සිය උපමාවල චරිත ගැන විග්‍රහ කිරීමේදී යේසුස් වැඩි අවධානයක් දුන්නේ කුමකටද? (ආ) යේසුස් තමාට සවන් දුන් අයටත් පසුව වෙනත් අයටත් තමා විස්තර කළ උපමාවන් වඩාත් පහසුවෙන් මතක තබාගැනීමට උපකාර කළේ කොහොමද?

9 යේසුස් සිය උපමාවල විස්තර කළ චරිත විග්‍රහ කරද්දී ඉතා නැණවත්ව දුර දිග බැලුවා. එම චරිතවල බාහිර පෙනුම ගැන අනවශ්‍ය විස්තර දෙනවා වෙනුවට, යේසුස් බොහෝ විට උනන්දු වූයේ ඔවුන් කළ දෙය හෝ ඔහු විස්තර කළ සිද්ධීන්ට ඔවුන් දැක්වූ ප්‍රතිචාරය කුමක්ද යන්න විග්‍රහ කිරීමටයි. මෙබැවින්, කාරුණික සමරිතානුවරයාගේ බාහිර පෙනුම ගැන විස්තර කරනවා වෙනුවට, යේසුස් විස්තර කළේ ඊට වඩා බොහෝ සෙයින් වටින්නාවූ දෙයක්. ඒ තමයි, තුවාල වී පාරේ වැටී සිටි යුදෙව්වාට මෙම සමාරියවරයා ඉතා දයාන්විත ලෙස ආධාරෝපකාර කළ ආකාරය. මෙසේ අසල්වැසියාට ප්‍රේම කිරීම, තමාගේම ජාතියේ හෝ වර්ගයේ මිනිසුන්ට ප්‍රේම කිරීමටත් වඩා ඔබ්බට යා යුතු යමක් බව ඉගැන්වීමටයි යේසුස් එවැනි විස්තර යොදාගත්තේ.—ලූක් 10:29, 33-37.

10 යේසුස් විස්තර සහිත තොරතුරු පරෙස්සමින් යොදාගත් නිසා ඔහුගේ උපමාවන් කෙටියි, ඒ වගේම ඒවායේ ඕනෑවට වඩා විස්තර නැහැ. මේ ආකාරයට, ඔහුට සවන් දුන් පළමු සියවසේ විසූවන්ටත් ඉන් පසුව දේවානුභාවය ලත් සුවිශේෂයන් කියවන අසංඛ්‍යාත වෙනත් අයටත් ඔහු ඉගැන්වූ වටිනා පාඩම් මතක තබාගැනීමට ඔහු වඩාත් පහසු කෙරෙව්වා.

එදිනෙදා ජීවිතයෙන් උකහාගත් දේ

11. යේසුස් ගලීලයේ හැදී වැඩෙද්දී කිසිදු සැකයකින් තොරව ඔහු විසින් දුටු බවට අපට විශ්වාස කළ හැකි දේවල් ඔහුගේ උපමාවන් තුළින් පිළිබිඹු වූ ආකාරය පිළිබඳ නිදසුන් දෙන්න.

11 මිනිසුන්ගේ ජීවිතවලට සම්බන්ධ දේවල් සිය උපමාවලට ඈඳාගැනීමට යේසුස් ඉතා දක්ෂයෙක්. ඔහුගේ උපමාවල සඳහන් වූ බොහෝ දේවල්, ඔහු ගලීලයේ හැදී වැඩෙන විට දුටු දේවල් බවට කිසිදු සැකයක් නැහැ. ඔහුගේ ජීවිතයේ මුල් අවදිය ගැන මොහොතකට සිතා බලන්න. සාදන ලද මුහුන් මුසු පිටි ගුළියකින් ඉතිරි වූ කැබැල්ලක් ගෙන, පිටි නැළිය සමඟ මිශ්‍ර කර එය පිපීමට සලස්වා, තම මව රොටි සාදන සැටි ඔහු කොපමණ වතාවක් බලා සිටින්නට ඇද්ද? (මතෙව් 13:33) ධීවරයන් තමන්ගේ මාළු දැල් ගලීල මුහුදේ පැහැදිලි නිල් වතුරට දමන සැටි ඔහු කී වතාවක් බලා සිටින්නට ඇද්ද? (මතෙව් 13:47) වෙළඳාම්පොළේ ළමුන් සෙල්ලම් කරනවා ඔහු කොපමණ වාර ගණනක් බලා සිටින්නට ඇද්ද? (මතෙව් 11:16) ඒ වගේම එදිනෙදා දක්නට ලැබූ සුලභ තවත් දේවල්ද යේසුස් සිය උපමාවන්ට යොදාගත් බවක් අපට පෙනී යනවා. ඒවා නම්, බීජ වැපිරීම, ප්‍රීතිමත් විවාහ මංගල්‍යයන් හා ඉර අව්වේ ආධාරයෙන් ධාන්‍ය පැසීම වැනි දේවල්.—මතෙව් 13:3-8; 25:1-12; මාර්ක් 4:26-29.

12, 13. ප්‍රාදේශීය තත්වයන් ගැන යේසුස් හුරුපුරුදුව සිටි බව ඔහුගේ තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාවෙන් පෙන්වන්නේ කෙලෙසද?

12 මිනිසුන්ගේ එදිනෙදා ජීවිතවල යම් යම් අවස්ථාවන් හා තත්වයන් යේසුස්ගේ උපමා බොහොමයක සඳහන්ව තිබීම පුදුමයට හේතුවක් නොවෙයි. එමනිසා, ඔහුගේ ඉගැන්වීමේ ක්‍රමයේ මෙම විශේෂ දක්ෂතාව ගැන පූර්ණ අවබෝධයක් ලැබීම පිණිස, ඔහුගේ වචනවලින් සිය යුදෙව් ජාතික ශ්‍රාවකයන්හට අදහස් කළ දෙය සලකා බැලීම උපකාරවත් වෙයි. අපි දැන් උදාහරණ දෙකක් ගැන හොඳින් සලකා බලමු.

13 පළමුව, තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාවේ යේසුස් පැවසුවේ එක්තරා මිනිසෙක් තම කෙතේ හොඳ තිරිඟු වැපුරූ නමුත්, “සතුරෙක්” ඔහුගේ කෙතට රහසේ පැමිණ ඊට උඩින් කිරිඳි වැපුරූ බවයි. මෙවැනි සතුරු ආක්‍රමණයක් යේසුස් විසින් විශේෂයෙන් තෝරාගන්නට යෙදුණේ ඇයි? හොඳයි, මෙන්න මේ කාරණය මතක තියාගන්න. ඔහු මෙම උපමාව පැවසුවේ ගලීල මුහුදට යාබදවයි. ඇරත් ගලීලයන්ගේ ප්‍රධාන රැකියාව වූයේ කෘෂිකර්මාන්තය බවක් පෙනෙන්ට තිබෙනවා. යම් ගොවියෙකුගේ ගොවිපොළකට සතුරෙක් හොර රහසේ පැමිණ හානිකර බීජ ඔහුගේ කෙතේ වපුරා යනවාට වඩා වැඩි හානියක් කළ හැක්කේ වෙන කුමකින්ද? ඒ කාලයේ තිබූ ලෞකික නීතිවලින් පෙන්නුම් කරන්නේ එවැනි ප්‍රහාරයන් ඇත්තටම සිදු වූ බවයි. එසේ නම් තම සවන් දෙන්නන්ට හොඳින් හුරුපුරුදු තත්වයක් යේසුස් විසින් මෙහිදී යොදාගත් බව පැහැදිලිව පෙනී යන්නේ නැද්ද?—මතෙව් 13:1, 2, 24-30.

14. කාරුණික සමරිතානුවරයා ගැන පැවසූ උපමාවේ, තම කරුණ හොඳින් කාවැද්දවීම පිණිස, “යෙරුසලමේ සිට යෙරිකෝව” දක්වා යන පාර යේසුස් විසින් යොදාගැනීම මෙහිදී කැපීපෙනෙන්නේ ඇයි?

14 දෙවනුව, කාරුණික සමරිතානුවරයාගේ උපමාව මතකයට නඟන්න. යේසුස් එය පටන්ගත්තේ මෙසේ පවසමින්. “එක්තරා මිනිසෙක් යෙරුසලමේ සිට යෙරිකෝව බලා බැස යද්දී කොල්ලකරුවන්ට හසු විය. ඔවුහු ඔහුගේ වස්ත්‍රත් ඔහු සතු සියල්ලත් පැහැරගෙන ඔහුට පහර දී ඔහුව අඩපණ කොට දමා යන්ට ගියහ.” (ලූක් 10:30, NW) මෙහිලා විශේෂත්වයක් නම්, තම කරුණ කාවැද්දීමට යේසුස් “යෙරුසලමේ සිට යෙරිකෝව” දක්වා යන පාර යොදාගත් ආකාරයයි. සිය උපමාව පවසද්දී, ඔහු සිටියේ යෙරුසලමට නුදුරු යුදයෙයි. එබැවින්, මෙම උපමාවේ සඳහන් කළ පාර, යේසුස්ගේ ශ්‍රාවකයන් හොඳින් දැන සිටි බව පෙනෙන්ට තිබෙනවා. මෙම පාර අන්තරා සහිත පාරක් බවත්, විශේෂයෙන්ම තනිවම ගමන් කරන අයට කොල්ලකරුවන්ගෙන් හානි සිදු වන පාරක් බවත් ප්‍රසිද්ධයි. මෙම පාරේ වංගු සහිත පාළු පෙදෙස් තිබූ බැවින් එය මංපහරන්නන්ගේ තෝතැන්නක් විය.

15. කාරුණික සමරිතානුවරයා පිළිබඳ උපමාව තුළ පූජකයා හා ලෙවීවරයා දැක්වූ උදාසීනකම සාධාරණීකරණය කිරීමට කිසිවෙකුට නොහැකි වූයේ ඇයි?

15 “යෙරුසලමේ සිට යෙරිකෝව” දක්වා යන පාර ගැන යේසුස් විසින් සඳහන් කිරීමේ තවත් විශේෂත්වයක් තිබෙනවා. මේ කතන්දරයට අනුව, පළමුව පූජකයෙක්ද පසුව ලෙවීවරයෙක්ද මේ පාරෙන් ගියා. එනමුත් ඔවුන් වැටී සිටි තුවාලකරුට උපකාර කරන්නට නැවතුණේ නැහැ. (ලූක් 10:31, 32) යෙරුසලමේ දේවමාළිගාවේ සේවය කළේ පූජකයන්. ලෙවීවරුන් ඔවුන්ට සහය වුණා. දේවමාළිගාවේ සේවය නොකරන වේලාවලදී පූජකයන්ගෙන් හා ලෙවීවරුන්ගෙන් බොහෝදෙනෙක් නතර වී සිටියේ යෙරිකෝවෙයි. මන්ද යෙරිකෝව පිහිටා තිබුණේ යෙරුසලමෙන් කිලෝ මීටර් 23ක් දුරින් පමණයි. මේ නිසා, මේ පාරෙන් ගමන් කිරීමට ඔවුන්ට අවස්ථා උදා වූ බවට කිසිදු සැකයක් නැහැ. ඒ වගේම මෙම උපමාවේ පූජකයා සහ ලෙවීවරයා “යෙරුසලමේ සිට” එනම්, දේවමාළිගාවෙන් පිටත් වී ගමන් කරමින් සිටි බව සැලකිල්ලට ගන්න. b එමනිසා මෙම මිනිසුන් දෙදෙනා දැක්වූ උදාසීනභාවය මෙසේ කියමින් සාධාරණීකරණය කිරීමට කිසිවෙකුට බැරිය. එනම්, ‘ඔවුන් මේ මිනිසාගෙන් ඉවත්ව ගියේ, ඔහු මිය ගොස් සිටි බවක් පෙනෙන්ට තිබූ නිසායි. මන්ද මළ මිනියක් අතින් ඇල්ලුවා නම්, එය දේවමාළිගාවේ සේවය කිරීමට තාවකාලික වශයෙන් නුසුදුසුකමක් වෙනවා ඇති.’ (ලෙවී කථාව 21:1; ගණන් කථාව 19:11, 16) යේසුස්ගේ උපමාව තුළින් ඔහුට සවන් දී සිටි අයට වඩාත් හුරුපුරුදු යමක් මනසේ ඇඳුණු බවට මින් අපට පැහැදිලිව පෙනී යන්නේ නැද්ද?

මැවිල්ලෙන් උකහාගත් උපමා

16. යේසුස් මැවිල්ල ගැන ඉතා හොඳින් දැන සිටීම පුදුමයක් නොවන්නේ ඇයි?

16 යේසුස් සඳහන් කළ උපමා ගණනාවකින් පෙනී යන දෙයක් නම්, ඔහු පැළෑටි, සතුන් හා වෙනත් දෑ ගැන හොඳ අවබෝධයකින් සිටි බවයි. (මතෙව් 6:26, 28-30; 16:2, 3) ඔහුට එවන් දැනුමක් ලැබුණේ කොහෙන්ද? ගලීලයේ හැදී වැඩෙන විට, යෙහෝවාගේ මැවිලි සෝදිසි කරන්නට ඔහුට අපමණවත් ප්‍රස්තා තිබූ බවට කිසිදු සැකයක් නැහැ. ඒ විතරක් නොවෙයි, යේසුස් “මුළු මැවිල්ලේ කුලුඳුලා.” එමෙන්ම සියලු දේවල් මවද්දී යෙහෝවා ඔහුව “ප්‍රධාන කර්මාන්තකාරයා” ලෙස යොදාගත්තා. (කොලොස්සි 1:15, 16; හිතෝපදේශ 8:30, 31) මේ අනුව මැවිල්ල ගැන යේසුස්ට ඉතා හොඳ දැනුමක් තිබීම පුදුමයක්ද? ඔහු මෙම දැනුම ඉගැන්වීම සඳහා ඉතා දක්ෂ ලෙස යොදාගත් ආකාරය දැන් අපි බලමු.

17, 18. (අ) යොහන් 10වන පරිච්ඡේදයේ වාර්තා වී ඇති යේසුස්ගේ වචනවලින් ඔහු බැටළුවන්ගේ ගති ලක්ෂණ ගැන හුරුපුරුදුව සිටි බව හෙළි වන්නේ කොහොමද? (ආ) බයිබල් දේශවලට යන සංචාරකයන් එඬේරුන් සහ බැටළුවන් අතර ඇති සම්බන්ධය ගැන නිරීක්ෂණය කර තිබෙන්නේ මොනවාද?

17 යේසුස්ගේ උපමා අතරින් ඉතාමත් සංවේදජනක උපමාවක් වාර්තා වන්නේ යොහන් 10වන පරිච්ඡේදය තුළයි. එහි ඔහුට ඔහුගේ අනුගාමිකයන් සමඟ තිබෙන කිට්ටු සම්බන්ධතාව එඬේරෙකු සහ ඔහුගේ බැටළුවන් අතර තිබෙන සම්බන්ධතාවට යේසුස් සමාන කර තිබෙනවා. යේසුස්ගේ වචනවලින් හෙළි වන්නේ හීලෑ බැටළුවන්ගේ ගති ලක්ෂණ ගැන ඔහුට ඉතා හොඳ හුරුවක් තිබූ බවයි. බැටළුවන් තමන්ට යමෙකු විසින් මඟ පෙන්වනු ලැබීමට ඉඩහරින බවත්, ඔවුන් තමුන්ගේ එඬේරාව ඉතා විශ්වාසවන්ත ලෙස අනුගමනය කරන බවත් ඔහු පෙන්නුවා. (යොහන් 10:2-4) එඬේරුන් සහ බැටළුවන් අතර ඇති මේ අද්විතීය සම්බන්ධතාව බයිබල් දේශවලට යන සංචාරකයන් විසින් හොඳින් නිරීක්ෂණය කර තිබෙනවා. දහනවවන සියවසේ ස්වභාව විද්‍යාඥයෙකු වූ එච්. බී. ට්‍රිස්ට්‍රම් මෙසේ සඳහන් කළා. “මා එක අවස්ථාවක දැක්කා එඬේරෙක් ඔහුගේ රැළ එක්ක සෙල්ලම් කරනවා. උන්ගෙන් ඉවතට පලා දුවන්න යන බවක් ඔහු බොරුවට ඇඟෙව්වා. බැටළුවන් ඔහු ලුහුබැඳ ගොස් ඔහුව වට කරගත්තා. . . . අන්තිමේදී රැළේ සිටි සියල්ලන් ඔහු වටේ කවයක ආකාරයකට සිටිමින් සෙල්ලමට වගේ උඩ පනිමින් දුවන්නට පටන්ගත්තා.”

18 බැටළුවන් තම එඬේරා පසුපස යන්නේ ඇයි? “ඔහුගේ හඬ අඳුනන බැවින්” යයි යේසුස් පැවසුවා. (යොහන් 10:4) බැටළුවන් තම එඬේරාගේ කටහඬ ඇත්තටම හඳුනනවාද? ජෝර්ජ් ඒ. ස්මිත් නැමැත්තා තම අද්දැකීම් සිය පොතක (The Historical Geography of the Holy Land) මෙසේ ලීවා. “සමහරක් වේලාවට අපි අපේ දිවා කාලයේදී, මඳක් ගිමන් නිවාගත්තේ යුදයේ ළිං අසලයි. එවන් අවස්ථාවලදී එඬේරුන් තුන්දෙනෙක් හෝ හතරදෙනෙක් ඔවුන්ගේ රැළත් රැගෙන එතැනට ආවා. එම රැළවල් එකිනෙකා සමඟ මිශ්‍ර වුණා. එතකොට අපි කල්පනා කළා කොහොමද මේ එක් එක් එඬේරා තමන්ගේම රැළේ බැටළුවන්ව ආයෙමත් වෙන් කරගන්නේ කියලා. නමුත් උන් ටික වතුර බීලා සෙල්ලම් කරලා ඉවර වුණායින් පසුව, එඬේරුන් තැනිතලාවේ වෙනස් පැතිවලට ගමන් කරන්නට වුණා. ඊටපස්සේ එඬේරු තමන්ගේ පුරුදු කටහඬින් තම බැටළුවන්ට අඬගැසුවා. එතකොට, එක ගොඩේ සිටි බැටළුවන් එකිනෙකාගෙන් වෙන් වී තමන්ගේම ගාලේ එඬේරා පස්සේ යන්නට පටන්ගත්තා. නැවතත් ඔවුන් එතැනින් පිටත් වී තමන්ගේ එඬේරා පස්සේ ගියේ එතැනට ආපු විදිහටමයි.” තමාගේ කරුණ හොඳින් නිරූපණය කරන්නට යේසුස්ට මීට වඩා හොඳ වෙන ක්‍රමයක් තිබුණේ නැහැ. අපි ඔහුගේ ඉගැන්වීම් හඳුනාගෙන ඔහුට කීකරු වී ඔහුගේ මඟ පෙන්වීම අනුගමනය කරනවා නම්, අපට අපේ ‘යහපත් එඬේරාගේ’ මුදු මොළොක් ප්‍රේමනීය සැලකිල්ල ගැන සහතික වන්නට පුළුවන්.—යොහන් 10:11.

සිය ශ්‍රාවකයන් දන්නා සිද්ධීන්වලින් උකහාගෙන

19. යම් බොරු මතයක් හෙළා දැකීමට, යේසුස් එම ප්‍රදේශයේ සිදු වූ අභාග්‍යසම්පන්න සිද්ධියක් යොදාගත්තේ කොහොමද?

19 බලපෑමෙන් යුත් උපමා, යම් පාඩම් උකහාගත හැකි අද්දැකීම් හා ආදර්ශ ආකාරයෙන්ද ඉදිරිපත් කළ හැකියි. එක් අවස්ථාවක, යේසුස් එවකට සිදු වූ සිද්ධියක් යොදාගත්තා යම් වැරදි මතයක් හෙළා දැකීමට. ඒ තමයි, යම් විපත්තියකට ගොදුරු වන්නේ එය ලැබීමට වටින අයයි කියන මතය. ඔහු පැවසුවේ මෙසේයි. “සිලෝවම්හි ටැඹ වැටී, ඊට යට වී මරණයට පත් වූ දසඅටදෙනා, යෙරුසලමේ වසන අන් සියලුම මිනිසුන්ට වඩා පව්කාරයන්ව සිටි බව ඔප්පු වුණේයයි ඔබ සිතනවාද?” (ලූක් 13:4, NW) ඉරණම කලින් ලියවී තිබේය යන බොරු මතයට එරෙහිව යේසුස් තර්ක කළේ ඉතා චතුර ලෙසයි. එම පුද්ගලයන් 18දෙනා විනාශ වූයේ දිව්‍ය ශාපය ලැබීමට හේතු වූ යම් පාපයක් නිසා නොවෙයි. ඒ වෙනුවට, ඔවුන්ගේ අභාග්‍යසම්පන්න මරණවලට හේතු වූයේ කාලය සමඟ කලින් දැකිය නොහැකි කාරණා සිදුවීමයි. (දේශනාකාරයා 9:11) මෙසේ සිය ශ්‍රාවකයන් හොඳින් දැන සිටි සිද්ධියකට යොමු දක්වමින් ඔහු බොරු ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම බිඳ දැමුවා.

20, 21. (අ) පරිසිවරුන් යේසුස්ගේ ගෝලයන්ව හෙළා දැක්කේ ඇයි? (ආ) සබත් නීතිය ඉතා දැඩි නීති යොදා අදාළ කිරීම යෙහෝවා කිසිවිටෙකත් අදහස් නොකළ බව පෙන්වීමට යේසුස් යොදාගත් ශුද්ධ ලියවිලිමය වාර්තාව කුමක්ද? (ඇ) ඊළඟ ලිපියේ සාකච්ඡා කරනු ඇත්තේ කුමක්ද?

20 සිය ඉගැන්වීම්වලදී යේසුස් ශුද්ධ ලියවිලිමය ආදර්ශයන්ගෙන්ද උකහාගත්තා. ඔහුගේ ගෝලයන් සබත් දවසේදී ධාන්‍ය කරල් කඩාගෙන කෑ නිසා පරිසිවරුන් ඔවුන්ව හෙළා දුටු අවස්ථාව සිහියට ගන්න. ඇත්ත වශයෙන්ම, ගෝලයන් මෙහි උල්ලංගනය කළේ දෙවිගේ නීතිය නොව, නමුත් සබත් දවසේදී වැඩ කිරීම නීති විරෝධී බවට පරිසිවරුන් විසින් කරන ලද දැඩි අර්ථකථනයයි. දෙවි තම සබත් නීතිය එතරම් දැඩි ලෙස අකුරටම පිළිපැදීම කිසිවිටෙකත් අදහස් නොකළ බව පෙන්වා දීමට, යේසුස් 1 සාමුවෙල් 21:3-6හි වාර්තා කර ඇති සිද්ධියකට යොමු දැක්වූවා. දාවිත් සහ ඔහුගේ මිනිසුන් මණ්ඩපය ළඟ නැවතුණු අවස්ථාවේදී කුසගින්නෙන් සිටි ඔවුන් ඉවත් කර තිබූ පිදීමේ රොටි අනුභව කළා. මෙම අහකට ගත් රොටි සාමාන්‍යයෙන් වෙන් කර තිබුණේ පූජකයන්ගේ ආහාරය සඳහායි. එහෙත්, මෙම තත්වයන් යටතේ දාවිත් සහ ඔහුගේ මිනිසුන් ඒවා අනුභව කිරීම හෙළා දකිනු ලැබුවේ නැහැ. මෙහිලා කැපීපෙනෙන කරුණක් නම්, පූජකයන් නොවන අය විසින් අහකට ගත් රොටි කෑම පිළිබඳව බයිබලයේ වාර්තා වන එකම සිද්ධිය මෙය වීමයි. ගෙනහැර දැක්විය යුතු නියම සිද්ධිය කුමක්දැයි යේසුස් දැන සිටි අතර, මෙම සිද්ධිය ඔහුගේ යුදෙව් ශ්‍රාවකයන් හොඳින් දැන සිටි බවට සැකයක් නැහැ.—මතෙව් 12:1-8.

21 සැබවින්ම, යේසුස් උතුම් ගුරුවරයෙක්! ඉතා වැදගත් සත්‍යතාවන් තමාට සවන් දී සිටි අයගේ හදවත්වල පැලපදියම් කිරීමට ඔහු සතුව තිබූ අසමසම හැකියාව අපව පුදුමයට පත් කරවනවා. අප විසින් උගන්වන විට අපට ඔහුව අනුකරණය කළ හැක්කේ කොහොමද? මෙම කාරණය ඊළඟ ලිපියේ සාකච්ඡා කෙරෙනවා ඇති.

[පාදසටහන්වල]

a යේසුස්ගේ උපමාවන් විවිධ ස්වරූපවලින් සමන්විත වුණා. උදාහරණ, සැසඳීම්, උපමාලංකාර සහ රූපකලංකාර ඊට ඇතුළත් වුණා. ඒ වගේම උපමාවලින් ඉගැන්වීම ගැන ඔහු ඉතා සුප්‍රකටයි. උපමාවක් යනු “සදාචාරමය හා අධ්‍යාත්මික සත්‍යතාවක් ගෙනහැර දක්වන කෙටි, සාමාන්‍යයෙන් මනඃකල්පිත කතන්දරයක්” කියා නිර්වචනය කරන්නට පුළුවනි.

b යෙරුසලම පිහිටා තිබුණේ යෙරිකෝවට වඩා ඉහළිනුයි. මේ අනුව, උපමාවේ සඳහන් පරිදි, “යෙරුසලමේ සිට යෙරිකෝව” දක්වා යමින් සිටි තැනැත්තා පහළට ‘බැස ගියා’ කියා මුල් භාෂාවල පිටපත්වල පවසා තිබෙනවා.

ඔබට මතකද?

• යේසුස් උපමාවලින් ඉගැන්වූයේ මන්ද?

• පළමු සියවසේ විසූ සිය ශ්‍රාවකයන්ට ඉතා හුරු වූ උපමා යේසුස් විසින් යොදාගත් බව පෙනී යන්නේ කිනම් උදාහරණයෙන්ද?

• මැවිල්ල පිළිබඳ සිය දැනුම සිය උපමාවලට යේසුස් ඉතා දක්ෂ ලෙස යොදාගත්තේ කොහොමද?

• සිය ශ්‍රාවකයන්ට හොඳින් හුරුපුරුදු සිද්ධීන් යේසුස් යොදාගත්තේ කිනම් ආකාරවලින්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූර]

සුළු ණයක් අවලංගු කර දැමීම ප්‍රතික්ෂේප කළ දාසයෙකු ගැනත්, සිය මුළු උරුමය රැගෙන ගිය නාස්තිකාර පුත්‍රයාට සමාව දුන් පියෙකු ගැනත් යේසුස් කතා කළා

[16වන පිටුවේ පින්තූරය]

කාරුණික සමරිතානුවරයා පිළිබඳ යේසුස්ගේ උපමාවේ මූලික කරුණ කුමක්ද?

[17වන පිටුවේ පින්තූරය]

බැටළුවන් තම එඬේරාගේ කටහඬ සැබවින්ම හඳුනාගන්නවාද?