Skip to content

පටුනට යන්න

“කිසි කලක කිසිම මිනිසෙක් මේ වගේ නම් කතා කළේ නැත”

“කිසි කලක කිසිම මිනිසෙක් මේ වගේ නම් කතා කළේ නැත”

“කිසි කලක කිසිම මිනිසෙක් මේ වගේ නම් කතා කළේ නැත”

‘ඒ සියලුදෙනාම ඔහු ගැන හොඳ සාක්ෂියක් දෙමින් ඔහුගේ මුවින් නික්මෙන ප්‍රිය මනාප වදන් ගැන පුදුම වූහ.’—ලූක් 4:22, NW.

1, 2. (අ) යේසුස්ව අත්අඩංගුවට ගැනීමට යවනු ලැබූ නිලධාරීන් හිස් අතින් හැරී ආවේ ඇයි? (ආ) යේසුස්ගේ ඉගැන්වීම් තදින් කාවැදුණේ නිලධාරීන්ගේ හිත්වලට පමණක් නොවන බව පෙනී යන්නේ කුමකින්ද?

 නිලධාරීන් තම මෙහෙය ඉටු කිරීමට අසමත් වුණා. ඔවුන්ව යවනු ලැබුවේ යේසුස් ක්‍රිස්තුස්ව අත්අඩංගුවට ගැනීමටයි. නමුත් ඔවුන් නැවත හැරී ආවේ හිස් අතින්. නායක පූජකයන් හා පරිසිවරුන් මේ ගැන පැහැදිලි කරන්න කියා තදින් ඉල්ලා සිටියා. “ඔබ ඔහුව නොගෙනාවේ මන්ද?” ඇත්ත වශයෙන්ම, කායික වශයෙන් කිසිම විරෝධයක් නොපෑ මිනිසෙකුව අල්ලාගැනීමට එම නිලධාරීන්ට නොහැකි වූයේ ඇයි? නිලධාරීන් පැහැදිලි කළේ, “කිසි කලක කිසිම මිනිසෙක් මේ වගේ නම් කතා කළේ නැත” කියායි. ඔවුන්ට යේසුස්ගේ ඉගැන්වීම් කොතරම් තදින් හිතට කාවැදුණාද කියනවා නම්, මේ සාමකාමී මිනිසාව අත්අඩංගුවට ගැනීමට අබමල් රේණුවක තරම් සිතිවිල්ලක්වත් ඔවුන්ගේ හිත්වලට ආවේ නැහැ. aයොහන් 7:32, 45, 46, NW.

2 යේසුස්ගේ ඉගැන්වීම් තදින් කාවැදුණේ මේ නිලධාරීන්ගේ හිත්වලට පමණක් නොවෙයි. ඔහු කතා කරන දේවල් ඇසීමට මිනිසුන් මහත් පිරිසක් රැස්කකා පැමිණි බව බයිබලය අපට කියනවා. ඔහුගේ ගමේ විසූ ජනයා “ඔහුගේ මුවින් නික්මෙන ප්‍රිය මනාප වදන් ගැන” පුදුම වුණා. (ලූක් 4:22, NW) ගලීලයේ මුහුද අසල රැස්වී සිටි මහත් සමූහයන්ට ඔහු ඔරුවක සිට එක වරකට වඩා ඇමතුවා. (මාර්ක් 3:9; 4:1; ලූක් 5:1-3) එක් අවස්ථාවක, “ඉතා මහත් සමූහයක්” දවස් ගණනාවක් ඔහු සමඟ රැඳී සිටියේ කෑම ගැනීම පවා අමතක කරමිනුයි.—මාර්ක් 8:1, 2.

3. යේසුස් කැපීපෙනෙන ගුරුවරයෙකු බවට පත් වූ ප්‍රධාන හේතුව කුමක් වීද?

3 යේසුස් කැපීපෙනෙන ගුරුවරයෙකු වූයේ කුමක් නිසාද? එයට ප්‍රධාන හේතුව වූයේ ප්‍රේමයයි. b තමා ඉදිරිපත් කළ සත්‍යයන්ට ඇලුම් කළ යේසුස්, තමා ඉගැන්වූ මිනිසුන්ටත් ප්‍රේම කළා. නමුත් ඉගැන්වීම් ක්‍රම ගැනත් ඔහුට තිබුණේ හසළ දැනුමක් හා අවබෝධයක්. මෙම කලාපයේ පළ වෙන පාඩම් ලිපිවලදී අපි සාකච්ඡා කරන්නට යන්නේ ඔහු යොදාගත් බලපෑමෙන් යුත් ක්‍රම සමහරක් සහ අපට ඒවා අනුකරණ කළ හැකි ආකාරය ගැනයි.

සරලකම හා පැහැදිලිකම

4, 5. (අ) යේසුස් සිය ඉගැන්වීම්වලදී සරල භාෂාවක් භාවිත කළේ මන්ද? ඔහු එසේ කිරීමේ ඇති විශේෂත්වය කුමක්ද? (ආ) කන්ද උඩ දේශනාව, යේසුස් සරලව ඉගැන්වූ බවට උදාහරණයක් වන්නේ කොහොමද?

4 තමන්ට සවන් දෙන අයට නොතේරෙන භාෂාවක් යොදාගෙන ඔවුන්ට කතා කිරීම දැන උගත් අය අතර අසාමාන්‍ය දෙයක් නොවෙයි. නමුත් අප කියන දේ අනිත් අයට තේරෙන්නේ නැත්නම්, අපේ දැනුමෙන් ඔවුන් ප්‍රයෝජන ගන්නේ කොහොමද? යේසුස් ගුරුවරයෙකු වශයෙන් කිසිම විටකත් තමන්ට සවන් දෙන අයට නොතේරෙන භාෂාවකින් කතා කළේ නැහැ. ඔහුගේ මහත් වාග් මාලාවෙන් කොයිතරම් වචන යොදාගෙන කතා කරන්නට හැකිකම තිබුණාද කියා සිතා බලන්න. එහෙත්, කොතරම් පුළුල් දැනුමක් තිබුණත්, ඔහු සිතුවේ තමා ගැන නොව, තමාට සවන් දෙන අය ගැනයි. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් “නූගත්, සාමාන්‍ය” අය බව ඔහු දැන සිටියා. (ක්‍රියා 4:13, NW) ඔවුන්ට ඉගැන්වීම සඳහා ඔහු යොදාගත්තේ මිනිසුන්ට තේරුම්ගත හැකි භාෂාවක්. ඒ වචන ඉතා සරල ඒවා වෙන්නට ඇති. නමුත් ඒවායින් කියා පෑ සත්‍යතාවන් නම් ඉතා ගැඹුරුයි.

5 නිදසුනක් වශයෙන්, මතෙව් 5:3–7:27 දක්වා වාර්තා කර ඇති කන්ද උඩ දේශනාව සැලකිල්ලට ගන්න. එම දේශනය ඉදිරිපත් කිරීමට යේසුස් ගත්තේ විනාඩි 20ක තරම් කාලයක් වන්නට ඇති. එහෙත් එම දේශනාවේ ඉගැන්වීම් ගැඹුරුයි. පරදාර සේවනය, දික්කසාදය හා ද්‍රව්‍යවාදය වැනි කාරණාවල මුලටම කිඳා බැස යන ඉගැන්වීම් ඒවා. (මතෙව් 5:27-32; 6:19-34) එහෙත් මේවා ඉදිරිපත් කර තිබෙන්නේ සංකීර්ණ වූ තේරුම්ගන්නට අමාරු මහප්‍රාණවලින් නම් නොවෙයි. කුඩා දරුවෙකුට පහසුවෙන් එක වර තේරුම්ගන්නට බැරි එක අමාරු වචනයක්වත් එතැන තිබුණාද? නැහැ! ඔහු එම දේශනාව අවසන් කළ විට, ගොවියන්, එඬේරුන් සහ ධීවරයන් ඇතුළු එතැන රොක් වී සිටි ජනයා ‘ඔහු උගන්වන ආකාරය ගැන මවිත වීම’ ගැන පුදුම වෙන්නට දෙයක් නැහැ!—මතෙව් 7:28, NW.

6. යේසුස් පැවසූ සරල මුත් අරුත්බර කියමන් සඳහා උදාහරණ කිහිපයක් දෙන්න.

6 බොහෝ විට පැහැදිලි කෙටි වාක්‍ය යොදාගනිමින් යේසුස් පැවසූ කියමන් සරල මුත් අරුත්බරව තිබුණා. මුද්‍රිත පොත් භාවිතයට එන්නට පෙර, මෙසේ ඔහු තමන්ගේ ශ්‍රාවකයන්ගේ මනස්වලත් හදවත්වලත් තම පණිවිඩය නොමැකෙන ලෙස සටහන් කළා. මේවායින් උදාහරණ කිහිපයක් සැලකිල්ලට ගන්න. “ස්වාමිවරුන් දෙදෙනෙකුගේ දාසයෙකු වීමට කිසිවෙකුට නොහැක. . . . ඔබට ධනයටත් දෙවිටත් දාසයෙකු විය නොහැක.” “විනිශ්චය කිරීම නතර කරන්න. එවිට ඔබවද විනිශ්චය කරනු නොලබන්නේය.” “ඔවුන්ගේ ඵලවලින් ඔබ ඒ මිනිසුන්ව නිසැකවම ඇඳිනගන්නහුය.” “රෝගීන්ට මිස නිරෝගීන්ට වෛද්‍යවරයෙකුගෙන් වැඩක් නැත.” “කඩුව ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසින්නෝය.” “සීසර්ගේ දේ සීසර්ටද, දෙවිගේ දේ දෙවිටද දෙන්න.” “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ.” c (මතෙව් 6:24; 7:1, 20; 9:12; 26:52; මාර්ක් 12:17; ක්‍රියා 20:35; NW) යේසුස් විසින් පවසන ලද මෙම ප්‍රබල කියමන් වසර 2,000කට පමණ පසුව අදදින පවා, කාගෙත් මතකයට නැඟෙන්නේ ඉතා පහසුවෙන්.

ප්‍රශ්න යොදාගැනීම

7. යේසුස් ප්‍රශ්න ඇසුවේ ඇයි?

7 යේසුස් ප්‍රශ්න යොදාගත්තේ ඉතා චමත්කාරජනක අන්දමකිනුයි. තමාගේ ශ්‍රාවකයන්ට අවශ්‍ය කරුණ වචනයකින් දෙකකින් ඉක්මනින් පැහැදිලි කිරීමට හැකියාව තිබුණද, ඔහු බොහෝ විට කළේ ප්‍රශ්න යොදාගැනීමයි. එසේ නම්, ඔහු ප්‍රශ්න ඇසුවේ ඇයි? තමාට විරුද්ධ වූවන්ගේ චේතනා හෙළි කිරීමට සලස්වමින්, ඔහු ඉඳ හිට සිත් විමසන ප්‍රශ්න යොදාගනිමින් ඔවුන්ව නිහඬ කළා. (මතෙව් 12:24-30; 21:23-27; 22:41-46) කෙසේවෙතත්, බොහෝ අවස්ථාවලදී සත්‍යතාවන් පැහැදිලිව ඉදිරිපත් කිරීම සඳහාත්, තමන්ට සවන් දී සිටියවුන්ගේ හදවත්වල තිබූ දේවල් හෙළි කිරීමට ඉඩහැරීම සඳහාත් සිය ගෝලයන්ගේ සිතිවිලි පුබුදුවා ඒවා පුහුණු කරවීමටත් ප්‍රශ්න ඇසීමට යේසුස් කාලය ගත්තා. දැන් අපි උදාහරණ දෙකක් සලකා බලමු. මේ අවස්ථා දෙකටම ප්‍රේරිත පේතෘස් සම්බන්ධයි.

8, 9. දේවමාළිගා බද්ද ගෙවීමේ කාරණය සම්බන්ධයෙන් හරි නිගමනයට ඒමට පේතෘස්ට උපකාර කිරීම සඳහා යේසුස් ප්‍රශ්න යොදාගත්තේ කොහොමද?

8 යේසුස් දේවමාළිගා බද්ද ගෙව්වාදැයි අයබදු එකතු කරන්නන් පේතෘස්ගෙන් විමසූ අවස්ථාව පළමුවෙන්ම මතක් කරගන්න. d ඇතැම් අවස්ථාවලදී ආවේගශීලී වන පේතෘස්, “ගෙවන්නේය” කියා පිළිතුරු දුන්නා. කෙසේවෙතත්, ටික වේලාවකට පසුව, යේසුස් ඔහුට තර්කානුකූලව කාරණා පැහැදිලි කරමින්, “‘සීමොන්, ඔබ හිතන්නේ කුමක්ද? පොළොවේ රජවරුන් තීරු බදු හෝ ඇඟ බදු හෝ ලබාගන්නේ කාගෙන්ද? තමුන්ගේ පුත්‍රයන්ගෙන්ද නැත්නම් අන්‍යයන්ගෙන්දැ’ යි ඇසීය. ‘අන්‍යයන්ගෙන්’ යයි ඔහු කී විට, යේසුස් ඔහුට මෙසේ කීවේය: ‘එසේ නම්, පුත්‍රයන් බදු ගෙවීමෙන් නිදහස්ය.’” (මතෙව් 17:24-27, NW) යේසුස්ගේ ප්‍රශ්නවල මූලික කරුණ පේතෘස්හට පැහැදිලි වූවා විය යුතුයි. එසේ වීමට හේතුව කුමක්ද?

9 යේසුස්ගේ කාලයේ රජවරුන්ගේ පවුල් සාමාජිකයන් බදුවලින් නිදහස්ව සිටීම සුප්‍රකට කරුණක්. දේවමාළිගාවේ නමස්කාර කරනු ලැබූ ස්වර්ගික රජුගේ ඒක ජාතක පුත්‍රයා වූ යේසුස් බදු ගෙවීමට බැඳී නොසිටියා විය යුතුයි. මෙහිදී මේ දෙය සැලකිල්ලට ගන්න. පේතෘස්ට නිවැරදි පිළිතුර පවසනවා වෙනුවට, හරි නිගමනවලට ඒමට, ඒ වගේම සමහරවිට කතා කිරීමට පෙර වැඩියෙන් සිතා බැලීමේ අවශ්‍යතාව දැක්වීමට යේසුස් බලපෑමෙන් යුතුව මුත් ඉතා මෘදු ලෙස ප්‍රශ්න යොදාගත්තා.

10, 11. පොදු යුගයේ 33 අවුරුද්දේ පාස්කු රාත්‍රියේ මිනිසෙකුගේ කන පේතෘස් විසින් කපා දැමූ විට, යේසුස් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද? තවද ප්‍රශ්න ඇසීමේ වටිනාකම යේසුස් අවබෝධ කරගෙන සිටි බව මින් පෙනී යන්නේ කෙලෙසද?

10 පොදු යුගයේ 33 අවුරුද්දේ පාස්කු රාත්‍රියේ යේසුස්ව අත්අඩංගුවට ගැනීමට මැර පිරිසක් පැමිණි වේලාවේදී සිදු වූ සිද්ධිය දෙවෙනි උදාහරණයයි. යේසුස්ව බේරාගැනීමට සටන් කරන්නදැයි ගෝලයන් ඔහුගෙන් ඇසුවා. (ලූක් 22:49) පිළිතුර ලැබෙන තෙක් බලා නොසිටිමින්, පේතෘස් කළේ කඩුවකින් එක්කෙනෙකුගේ කන කැපීමයි (මෙහිදී මීටත් වඩා දරුණු හානියක් ඔහුට කිරීමට පේතෘස් හිතාගෙන ඉන්නටත් ඇති). පේතෘස් ක්‍රියා කළේ සිය ස්වාමියාගේ කැමැත්තට පටහැනි අන්දමකින්. මන්ද යේසුස් ලැහැස්ති වී සිටියේ ඔවුන්ට බාරවීමටයි. යේසුස් මෙහිදී ප්‍රතිචාර දැක්වූයේ කොහොමද? සෑමවිටම ඉවසීමෙන් ක්‍රියා කළ යේසුස් පේතෘස්ගෙන් ප්‍රශ්න තුනක් ඇසුවා. “පියාණන් මට දී තිබෙන කුසලානෙන් මා බිව යුතුම නොවේද?” “මේ මොහොතේදී, දේවදූත සේනාංක දොළොසකට වඩා මට එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්ට නොහැකියි කියා ඔබ සිතනවාද? එසේ කළොත්, එය මේ ආකාරයෙන් සිදු විය යුතුයි කී ශුද්ධ ලියවිලි ඉටු වන්නේ කෙසේද?”—යොහන් 18:11; මතෙව් 26:52-54; NW.

11 මේ අවස්ථාව ගැන මඳකට මෙනෙහි කර බලන්න. කෝපාවිෂ්ට වූ මැර පිරිසකට මැදිව සිටි යේසුස් දැනගත්තා තමාගේ මරණය ආසන්න බවත්, ඒ වගේම සිය පියාණන්ගේ නාමය මත ඇති වූ කැළැල ඉවත් කිරීම හා මිනිස් පවුලේ ගැළවීම තමාගේ කර පිට තිබෙන බවත්. එහෙත්, ප්‍රශ්න මාර්ගයෙන් ඉතා වැදගත් සත්‍යතාවන් පේතෘස්ගේ මනස තුළ ධාරණය කිරීමට යේසුස් එම මොහොතෙන් පවා ප්‍රයෝජන ගත්තා. එසේ නම් ප්‍රශ්න ඇසීමේ වටිනාකම යේසුස් අවබෝධ කරගෙන සිටි බව මින් අපට පැහැදිලි වන්නේ නැද්ද?

ප්‍රබල අතිශයෝක්ති කියමන්

12, 13. (අ) අතිශයෝක්ති කියමන් යනු කුමක්ද? (ආ) අපගේ සහෝදරයන්ගේ පුංචි පුංචි වැරදි ගැන විවේචනය කිරීමේ මෝඩකම කාවැද්දීමට යේසුස් අතිශයෝක්තියක් යොදාගත්තේ කොහොමද?

12 යේසුස් සිය දේවසේවය තුළදී ඉගැන්වීමට තවත් ප්‍රබල ක්‍රමයක් යොදාගත්තා. ඒ තමයි, අතිශයෝක්ති කියමන්. මෙය යම් කරුණක් කාවැද්දවීමට හිතාමතාම දේවල් වැඩි කර කීමක් හෙවත් අතිශයෝක්තියක්. අතිශයෝක්ති කියමන් යොදාගනිමින් යේසුස් කළේ අමතක කිරීමට අමාරු විදිහට, ගලේ කෙටුවාක් මෙන් අසන්නන්ගේ මනසේ යම් චිත්‍ර ඇඳීමයි. මේ සම්බන්ධ උදාහරණ කිහිපයක් අපි දැන් සලකා බලමු.

13 කන්ද උඩ දේශනාවේදී, අනුන්ව ‘විනිශ්චය කිරීම නැවැත්වීමේ’ අවශ්‍යතාව අවධාරණය කරමින් යේසුස් පැවසුවේ මෙසේයි. “එසේ නම්, ඔබේ ඇසේ ඇති පරාලය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති රොඩ්ඩ ගැන බලන්නේ මන්ද?” (මතෙව් 7:1-3, NW) මේ ජවනිකාව ඔබේ මනසට නඟාගන්නට පුළුවන්ද? අනුන්ව විවේචනය කිරීමේ ප්‍රවණතාවක් ඇති යමෙක් උත්සාහ කරන්නේ තමාගේ සහෝදරයාගේ “ඇසේ” තිබෙන පුංචි රොඩ්ඩ ගළවන්නටයි. පිළිගත හැකි යම් විනිශ්චයක් කිරීමට තරම් තමාගේ සහෝදරයාට පැහැදිලිව පෙනෙන්නේ නැහැයි කියා එවැනි විවේචනය කරන්නෙකු කියනවා විය හැකියි. නමුත් යමක් විනිශ්චය කිරීමට මෙම විවේචකයා තුළම තිබෙන හැකියාව, ‘පරාලයක්,’ එනම් වහලකට රුකුල් දී සිටින ලොකු ලී කොටයක් හෝ බාල්කයක් මගින් අවහිර වෙලා. ඇත්තටම අපිම අප ගාව ලොකු දෝෂයන් තියාගෙන අපගේ සහෝදරයන්ගේ පුංචි පුංචි වැරදි ගැන විවේචනය කිරීම මෝඩකමක් කියා කාවැද්දීමට, මෙය මතක හිටින මොනතරම් ප්‍රබල ක්‍රමයක්ද!

14. මදුරුවා අයින් කර ඔටුවා ගිල දැමීම පිළිබඳ යේසුස්ගේ වචන විශේෂයෙන්ම ඉතා බලපෑමෙන් යුත් අතිශයෝක්තියක් වන්නේ මන්ද?

14 තවත් අවස්ථාවක, යේසුස් පරිසිවරුන්ට දෝෂාරෝපණය කළේ, “අන්ධ මඟ පෙන්වන්නෙනි! ඔබ මදුරුවා අයින් කර ඔටුවා ගිල දමති” යන්න පවසමිනුයි. (මතෙව් 23:24, NW) මෙය විශේෂයෙන්ම ප්‍රබල ලෙස අතිශයෝක්තිය යොදාගැනීමක්. ඒ මන්ද? කුඩා මදුරුවෙකු සහ ඔටුවෙකු අතර වෙනස බලන්න. යේසුස්ගේ ශ්‍රාවකයන් දැන සිටි අන්දමට ලොකු සතෙකු වූ ඔටුවා ගැන සිතන කොට ඔටුවා සහ මදුරුවා අතර වෙනස ඉතා විශාලයි. සාමාන්‍ය ඔටුවෙකුගේ බරට සමාන කිරීමට මදුරුවන් මිලියන 70ක් අවශ්‍ය බවයි ගණනය කර තිබෙන්නේ! ඒ වගේම, පරිසිවරුන් වයින් බොන විට රෙදි කැබැල්ලකින් එය පෙරාගන්නා බව යේසුස් දැන සිටියා. නීතිවලටම ඇලී සිටි ඒ නීතිකාරයන් එසේ කළේ මදුරුවෙකුවත් අහම්බෙන් වයින් එක්ක ගිලීම වැළැක්වීමටයි. එසේ කළේ චාරිත්‍රානුකූලව පිරිසිදුව සිටීමටයි. එහෙත්, ඔවුන් අපවිත්‍ර සතෙකු වූ ඔටුවෙකුව සංකේතාකාරයෙන් ගිල දැම්මා. (ලෙවී කථාව 11:4, 21-24) යේසුස් කාවද්දන්නට උත්සාහ කළ කාරණය හරි පැහැදිලියි. පරිසිවරුන් නීතියේ කුඩාම අවශ්‍යතාවන් ඒ විදිහටම සපුරාලන්නට දැරුවේ මහත් වෙහෙසක්. නමුත් ඔවුන් වඩාත් බරපතළ කාරණා එනම්, “යුක්තිය, දයාව, විශ්වාසවන්තකම” යන කාරණා ගැන කිසිදු තැකීමක් කළේ නැහැ. (මතෙව් 23:23, NW) යේසුස් කොතරම් කදිම ලෙස ඔවුන්ගේ වෙස් මුහුණු ගළවා දැම්මාද!

15. උපමා යොදාගැනීම මගින් යේසුස් ඉගැන්වූ සමහරක් පාඩම් මොනවාද?

15 දේවසේවය පුරාම, යේසුස් බොහෝ විට අතිශයෝක්ති කියමන් යොදාගත්තා. ඇතැම් උදාහරණ සලකා බලන්න. කන්දක් චලනය කළ හැකි “[ඉතා පුංචි] අබ ඇටයක් තරම්වත් ඇදහිල්ල” ඇතුව සිටීම ගැන යේසුස් කතා කළා. ඉතා පුංචි ඇදහිල්ලකින් පවා බොහෝ දේ ඉටු කළ හැකි බව අවධාරණය කිරීමට යේසුස් මෙම අතිශයෝක්තිය කදිමට භාවිත කළා. (මතෙව් 17:20, NW) ඉතා විශාල ඔටුවෙක් මහන ඉඳිකටුවක සිදුරෙන් රිංගන්නට උත්සාහ කිරීම තවත් එවැනි උදාහරණයක්. ද්‍රව්‍යවාදී ජීවන රටාවක් පවත්වාගැනීමට අරඅඳින අතරේදී, දෙවිට සේවය කිරීමට ධනවත් පුද්ගලයෙකුට කොතරම් දුෂ්කරද කියා පෙන්වීමට යොදාගන්නා ලද කොතරම් ප්‍රබල උපහැරණයක්ද! (මතෙව් 19:24) ඔව්, ඉතා ප්‍රබල කියමන් යොදාගනිමින් අවම වචනවලින් උපරිම බලපෑමක් කරන්නට යේසුස්ට තිබූ හැකියාව ගැන ඔබ මවිතයට පත් වන්නේ නැද්ද?

බිඳිය නොහැකි තර්ක

16. යේසුස් සෑමවිටම සිය තියුණු මානසික හැකියාවන් යොදාගත්තේ කුමන ආකාරයෙන්ද?

16 පරිපූර්ණ මනසක් තිබූ යේසුස්, මිනිසුන්හට කාරණා තර්කානුකූලව ඒත්තුගැන්වීමට අතිදක්ෂයෙක්. එහෙත්, ඔහු කිසිවිටෙකත් මේ හැකියාව අයුතු ලෙස යොදාගත්තේ නැහැ. තම ඉගැන්වීමේදී ඔහු සෑමවිටම තම තියුණු මානසික හැකියාවන් යොදාගත්තේ සත්‍යය ප්‍රචලිත කිරීමටයි. ඇතැම් අවස්ථාවල, තම ආගමික විරුද්ධවාදීන්ගේ බොරු චෝදනා බිඳ හෙළීමට ප්‍රබල තර්කයන් ඔහු යොදාගත්තා. බොහෝ අවස්ථාවලදී ඔහු කාරණා තර්කානුකූලව පහදා දුන්නේ සිය ගෝලයන්හට වැදගත් පාඩම් කියා දීමටයි. මෙසේ තර්කයන් යොදාගැනීමෙහිලා යේසුස් තුළ තිබූ සුවිශේෂ දක්ෂතාව දෙස අපි දැන් බැල්මක් හෙළමු.

17, 18. පරිසිවරුන්ගේ බොරු චෝදනා බිඳ හෙළීමට යේසුස් යොදාගත්තේ කිනම් ප්‍රබල තර්කයන්ද?

17 අන්ධව හා කතා කිරීමට බැරිව භූතාවේශ වී සිටි මිනිසෙකුව යේසුස් විසින් සුවපත් කළ විට සිදු වූ දෙය සලකා බලන්න. මේ ගැන ඇසූ පරිසිවරුන් කීවේ මෙහෙමයි. “මේ මිනිසා භූතයන්ගේ පාලකයා වන බෙල්සෙබුබ් [සාතන්] මාර්ගයෙන් මිස වෙන විධියකින් භූතයන් දුරු නොකරන්නේය.” සාතන්ගේ භූතයන් එළවා දමන්නට අධිමානුෂික බලයක් අවශ්‍යය යන කාරණය පරිසිවරුන් පිළිගත් බව මෙහිදී සැලකිල්ලට ගන්න. එහෙත්, ජනයා යේසුස් කෙරෙහි විශ්වාසය තැබීම වැළැක්වීමට, ඔවුන් කියා සිටියේ ඔහුගේ බලය පැමුණුණේ සාතන්ගෙන් බවයි. ඔවුන් තම තර්කය ගැන හරිහැටි කල්පනා කර නොබලා ඔහේ දෙඩූ බව පෙන්වා දෙමින් යේසුස් පිළිතුරු දුන්නේ මෙසේයි. “යම් රාජ්‍යයක් භේදව තිබෙන්නේද ඒ රාජ්‍යය පාළු වන්නේය. යම් නුවරක් හෝ ගෙයක් හෝ භේදව තිබෙන්නේද ඒ නුවර හෝ ගෙය නොපවතී. ඒ ආකාරයෙන්ම, සාතන් විසින්ම සාතන්ව දුරු කරනු ලැබේ නම්, ඔහු තමන්ටම විරුද්ධව භේද වී සිටියි. එසේ නම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේද?” (මතෙව් 12:22-26, NW) වෙනත් වචනවලින් කියතොත් යේසුස් මෙහිදී කියමින් සිටියේ, ‘ඔබ කියන විදිහට මම සාතන්ගේ දූතයෙකු නම්, සාතන් කළ දේ මම අනික් පැත්තට හරවමින් සිටිනවා නම්, සාතන් ක්‍රියා කරන්නේ තමන් කැමති දේටම පටහැනිවයි. එහෙනම් ඔහු ඉක්මනින්ම වැටී යනවා ඇති’ යන අදහසයි. ප්‍රබල තර්කයක්, එසේ නොවේද?

18 අනතුරුව යේසුස් තවදුරටත් මෙම කාරණය ගැන හේතු සහිතව තර්ක කළා. පරිසිවරුන්ගේම යම් කණ්ඩායමක් භූතයන්ව එළවා තිබූ බවද යේසුස් දැන සිටියා. මෙබැවින්, ඔහු ඇසුවේ සරල මුත් ඔවුන්ගේ කටවල් වසාලන ප්‍රශ්නයක්. “මා භූතයන් දුරු කරන්නේ බෙල්සෙබුබ් මාර්ගයෙන් නම්, ඔබේ පුත්‍රයන් [නැතහොත් ගෝලයන්] භූතයන්ව දුරු කරන්නේ කවරෙකු මාර්ගයෙන්ද?” (මතෙව් 12:27, NW) එක්තරා අන්දමකින් ගතහොත්, යේසුස්ගේ තර්කය වූයේ මෙයයි. ‘ඇත්තෙන්ම, මම භූතයන්ව එළවා දමන්නේ සාතන්ගේ බලයෙන් නම්, ඔබගේම ගෝලයනුත් ක්‍රියා කරමින් සිටින්නේ එම බලයෙන්මයි.’ පරිසිවරුන් කුමක් කියන්නද? තමන්ගේ ගෝලයන් සාතන්ගේ බලයෙන් ක්‍රියා කළා කියා ඔවුන් කිසිම විටෙකත් පිළිගන්නේ නැහැ. මේ වගේ බිඳ හෙළිය නොහැකි තර්කයන් යොදාගනිමින් යේසුස් තමන්ට එරෙහිව ඔවුන් කළ චෝදනා නිකම්ම නිකම් විකාර කතා බවට පත් කළේ ඉතා දක්ෂ ලෙසයි.

19, 20. (අ) යේසුස් තර්ක යොදාගත්තේ කිනම් ඒකාන්ත ආකාරයටද? (ආ) යාච්ඤා කිරීමට උගන්වන ලෙසට සිය ගෝලයන් කළ ඉල්ලීමට ප්‍රතිචාරය දැක්වීමේදී යේසුස් විසින් ‘ඊටත් වඩා කොපමණ වැඩියෙන්’ යන යෙදුම යොදාගත්තේ කෙලෙසද?

19 තමාගේ විරුද්ධවාදීන් නිශ්ශබ්ද කිරීමට තර්කයන් යොදාගන්නවාට අමතරව, යෙහෝවා පිළිබඳව දිරිගැන්වෙන හද උණුසුම් කරවන සත්‍යතාවන් ඉගැන්වීමටත් ඔහු තර්කානුකූල, ඒත්තු ගැන්වෙනසුලු කියමන් යොදාගත්තා. වතා ගණනාවකම ඔහු යොදාගත් තර්කානුකූල පිවිසීම නම්, ‘ඊටත් වඩා කොපමණ වැඩියෙන්’ යන යෙදුම පාවිච්චි කිරීමයි. මින් සිදු වුණේ ඔහුගේ ශ්‍රාවකයන්ට හුරුපුරුදු සත්‍යයන් තව තවත් ඒත්තුගැනීමට හැකිවීමයි. මේවායින් උදාහරණ දෙකක් පමණක් අපි සලකා බලමු.

20 යාච්ඤා කරන්නේ කොහොමද කියා සිය ගෝලයන් යේසුස්ගෙන් විමසූ විට, ඊට ඔහු පිළිතුරු දුන්නේ යම් ආකාරයක උපමාවක්ද කියමින්. මෙම උපමාවේ සඳහන් වුණේ, එක්තරා මිනිසෙක්, උපකාර කරන්නට අකමැතිව සිටි තම මිතුරෙකු ඉදිරියෙහි දැරූ “එඩිතර අඛණ්ඩ උත්සාහය” නිසා අන්තිමේදී ඉල්ලූ දේ ලබාගත් සැටියි. එසේම දෙමාපියන් තම දරුවන්ට ‘හොඳ තෑගි දීමට’ ඇති කැමැත්ත ගැනද යේසුස් විස්තර කළා. අනතුරුව ඔහු අවසන් කළේ මෙසේයි. “එබැවින්, ඔබ දුෂ්ට වුවත්, ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්නේ කෙසේද කියා ඔබ දන්නවා නම්, ස්වර්ගයෙහි සිටින පියාණන්, තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊටත් වඩා කොපමණ වැඩියෙන් ශුද්ධාත්මය නොදෙන්නේද?” (ලූක් 11:1-13, NW) යේසුස් මෙහි ඉදිරිපත් කළ මූලික කරුණ පදනම් වන්නේ, කරුණු දෙකක් අතර සමානකම පෙන්නුම් කිරීම මත නොව නමුත් කරුණු දෙකක් අතර පරස්පර විරෝධි බව පෙන්වීම මතයි. යමක් දෙන්නට අකමැති මිත්‍රයෙකුව අන්තිමේදී තම අසල්වැසියාට දීම සඳහා ඔහුව පෙලඹීමට හැකි වූවා නම්, අසම්පූර්ණ මිනිසුන් තමන්ගේ දරුවන්ගේ අවශ්‍යතා බලාකියා ගන්නවා නම්, අපගේ ප්‍රේමනීය ස්වර්ගික පියාණන් තමා වෙතට යටහත් පහත් ලෙස යාච්ඤාවෙන් ළඟා වෙන සිය පක්ෂපාත සේවකයන්ට කොපමණ වැඩියෙන් ශුද්ධාත්මය දේවිද!

21, 22. (අ) ද්‍රව්‍යමය දේවල් සම්බන්ධයෙන් ඇති වන කනස්සල්ල සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් උපදෙස් දීමේදී යේසුස් කිනම් තර්කයන් යොදාගත්තාද? (ආ) යේසුස්ගේ ඉගැන්වීම් ක්‍රම ගැන සලකා බැලීමෙන් පසුව, අප එළඹෙන නිගමනය කුමක්ද?

21 ද්‍රව්‍යමය දේවල් සම්බන්ධයෙන් ඇති වන කනස්සල්ල සමඟ කටයුතු කිරීම පිළිබඳව උපදෙස් දීමේදීත් යේසුස් යොදාගත්තේ ඒ හා සමානම තර්ක කිරීමක්. ඔහු මෙසේ පැවසුවා. “කපුටන් බීජ වපුරන්නේ හෝ අස්වැන්න නෙළාගන්නේ හෝ නැති බවත් උන්ට අටුවක්වත් ගබඩාවක්වත් නැති බවත් හොඳින් සිහියට ගන්න. එහෙත් දෙවි උන්ව පෝෂණය කරන්නේය. ඔබ කුරුල්ලන්ට වඩා කොපමණ වටිනවාද! ලිලී මල් වැවෙන ආකාරය හොඳින් සිහියට ගන්න. ඒවා මහන්සි වී වැඩ කරන්නේවත් නූල් කටින්නේවත් නැත. . . . ඇදහිල්ල හීන තැනැත්තෙනි, අද තිබී හෙට උදුනෙහි දමනු ලබන තණ බිමේ පැළෑටි දෙවි මෙසේ පළඳවන්නේ නම්, ඔබව පළඳවන්ට ඔහු ඊටත් වඩා කොපමණ සතුටු වනවාද!” (ලූක් 12:24, 27, 28, NW) ඔව්, යෙහෝවා මල් හා කුරුල්ලන් රැකබලා ගන්නේ නම්, කොපමණ වැඩියෙන් ඔහු සිය සේවකයන්ව රැකබලා ගනීවිද! ස්නේහවන්ත හා උණුසුම් ලෙස හද ස්පර්ශ කරන එවන් ප්‍රබල තර්කයන් යේසුස්ගේ ශ්‍රාවකයන්ගේ හදවත තුළ ලැගුම්ගත් බවට කිසිදු සැකයක් නැහැ.

22 යේසුස්ගේ ඉගැන්වීම් ක්‍රම කිහිපයක් ගැන සලකා බැලුවායින් පසුව, ඔහුව අත්අඩංගුවට ගැනීමට අසමත් වූ එම නිලධාරීන් තමන් පැවසූ දේ අතිශයෝක්තියෙන් නොපැවසූ බව අපට ඉතා පහසුවෙන් නිගමනය කළ හැකියි. ඔවුන් පැවසුවේ මෙසේයි. “කිසිකලක කිසිම මිනිසෙක් මේ වගේ නම් කතා කළේ නැත.” යේසුස් ඉගැන්වූ ක්‍රම සම්බන්ධයෙන් ගත් කල, ඔහුව වඩාත් ප්‍රසිද්ධ වී තිබෙන්නේ ඔහු විසින් නිදර්ශන හෝ උපමා යොදාගැනීම අතිනුයි. ඔහු මෙම ක්‍රමය යොදාගත්තේ ඇයි? ඔහුගේ උපමා මහත් බලපෑමෙන් යුක්ත වූයේ ඇයි? මෙම ප්‍රශ්න ඊළඟ ලිපියේ සාකච්ඡා කෙරෙනවා ඇති.

[පාදසටහන්වල]

a පෙනෙන විදිහට, මෙම නිලධාරීන් සැන්හීඩ්‍රිනයෙහි නියෝජිතයන් වූ අතර, නායක පූජකයන්ගේ අධිකාරයට යටත්ව සිටියා.

b වර්ෂ 2002 අගෝස්තු 15දා මුරටැඹ කලාපයේ “මම ඔබට ආදර්ශය තැබුවෙමි” සහ ‘දිගටම මා පසුපස එන්න’ යන ලිපි බලන්න.

c මෙහි අවසානයේ සඳහන් ක්‍රියා 20:35හි වචනවල අරුත සුවිශේෂ වාර්තාවල දක්නට තිබුණත් එය උපුටාගෙන තිබෙන්නේ ප්‍රේරිත පාවුල් විසින් පමණයි. පාවුල් මෙම ප්‍රකාශය වාචිකව (යේසුස් කියන විට අසා සිටි ගෝලයෙකුගෙන් හෝ නැවත නැඟිටුවනු ලැබූ යේසුස්ගෙන්) හෝ දිව්‍යමය එළිදරව් කිරීමකින් හෝ දැනගත්තා විය හැකියි.—ක්‍රියා 22:6-15; 1 කොරින්ති 15:6, 8.

d යුදෙව්වන් අවුරුදු පතා දේවමාළිගා බද්ද වශයෙන් ඩ්‍රැක්මා දෙකක් (දවස් දෙකක පමණ වැටුපක්) ගෙවිය යුතුව තිබුණා. බදු මුදල් භාවිත කළේ දේවමාළිගාවේ නඩත්තු කටයුතු කිරීමටත්, එහි කරන ලද සේවාවන් සැපයීමටත්, ජාතිය වෙනුවෙන් කරන ලද දෛනික පූජාවන් සඳහාත්ය.

ඔබට මතකද?

• යේසුස් සරලව හා පැහැදිලිව ඉගැන්වූ බව පෙන්වන්නේ කිනම් උදාහරණද?

• යේසුස් සිය ඉගැන්වීම්වලදී ප්‍රශ්න යොදාගත්තේ ඇයි?

• අතිශයෝක්ති කියමන් යනු කුමක්ද? යේසුස් මෙම ඉගැන්වීම් ක්‍රමය යොදාගත්තේ කොහොමද?

• යෙහෝවා ගැන හද උණුසුම් කරවන සත්‍යතාවන් සිය ගෝලයන්ට උගන්වන පිණිස යේසුස් තර්කානුකූලව කාරණා පහදා දීමේ කලාව යොදාගත්තේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූරය]

යේසුස් යොදාගත්තේ සාමාන්‍ය ජනයාට තේරුම්ගන්නට හැකි වූ සරල භාෂාවයි

[10වන පිටුවේ පින්තූරය]

පරිසිවරුන් ‘මදුරුවා අයින් කර ඔටුවා ගිල දැම්මා’