Skip to content

පටුනට යන්න

පරීක්ෂාවන් දෙස අප බැලිය යුත්තේ කෙසේද?

පරීක්ෂාවන් දෙස අප බැලිය යුත්තේ කෙසේද?

පරීක්ෂාවන් දෙස අප බැලිය යුත්තේ කෙසේද?

පරීක්ෂාවන් අද්නොදැකපු කෙනෙකු නොමැත. විවිධ පෞද්ගලිකත්වයන්, ආර්ථික ගැටලු, සෞඛ්‍ය ගැටලු, වැරදි පෙලඹීම්, වැරදි කිරීමට මිතුරන්ගෙන් එල්ල වන පීඩනය, පීඩා, මධ්‍යස්ථභාවය රැකීමේ අභියෝග හෝ රූප වන්දනාව සහ වෙනත් බොහෝ දේවල් මගින් පරීක්ෂා පැමිණිය හැක. පරීක්ෂාවන් කුමනාකාරයෙන් පැමිණියත් එය සිත් තැවුලට හේතුවක් විය හැකියි. මේ හේතුව නිසා පරීක්ෂාවන් අප සාර්ථකව හැසිරවිය යුත්තේ කෙසේද කියාත් ඒවා අපගේ ප්‍රයෝජනයට හේතු වන්නේ කෙසේද කියාත් සලකා බලමු.

හොඳම උපකාරය

ඈත අතීතයේ විසූ දාවිත් රජ තම මුළු ජීවිත කාලය පුරාම පරීක්ෂාවන්ට මුහුණ දුන්නේය. නමුත් ඔහු මරණය දක්වා විශ්වාසවන්තව සිටියේය. ඔහුට විඳදරාගැනීමට හැකි වූයේ කෙසේද? ඔහුගේ ශක්තියේ උල්පත කවුද කියා දාවිත් කියූ වදන්වලින් පැහැදිලි වේ. “යෙහෝවා මගේ එඬේරාය. මට හිඟයක් නොවන්නේය. . . . මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත් කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි. මක්නිසාද ඔබ මා සමඟය.” (ගීතාවලිය 23:1, 4) යෙහෝවා සැමවිටම උපකාර පිරිනැමීමට සූදානම්ය. ඔහු දාවිත් මුහුණ දුන් අඳුරු කාලපරිච්ඡේදයේදී ඔහුට සවියක් විය. එලෙසින්ම අපගේ අවශ්‍යතාවලදීත් උපකාර කිරීමට ඔහු බලා සිටියි.

අප යෙහෝවාගේ උපකාරය ලබාගන්නේ කෙසේද? බයිබලයෙහි එය පෙන්නුම් කර තිබේ. එහි ඉල්ලා සිටින්නේ, ‘යෙහෝවා යහපත් බව රස බලා දැනගන්නා’ ලෙසයි. (ගීතාවලිය 34:8) එය හද උණුසුම් කරවන ආරාධනයකි. ඒත් මෙම ආරාධනයෙහි ගැබ් වී ඇති අරුත කුමක්ද? ඇත්තෙන්ම එය යෙහෝවාට සේවය කිරීමටත් මුළුමනින්ම ඔහුගේ කැමැත්තට එකඟව අපගේ ජීවිත හැඩගස්වාගැනීමටත් අපව දිරිමත් කරයි. එවන් ජීවන රටාවක් අපගේ නිදහස ඇහිරීමටත් කැප කිරීම් කිරීමටත් හේතු විය හැකි සේම, සමහර අවස්ථාවල එය පරීක්ෂාවන්, පීඩාවන් සහ වේදනාසහගත තත්වයන්ට මුහුණ දීමටත් හේතු විය හැකියි. එනමුත්, දෙවිගේ ආරාධනය සිතෙහි මුළු කැමැත්තෙන්ම පිළිගන්නා කෙනෙකු කිසි දින බලාපොරොත්තු සුන් තත්වයට පත් වන්නේ නැත. යෙහෝවා ඔවුන් සමඟ කාරුණිකව කටයුතු කරයි. ඔහු ඔවුන්ට මඟ පෙන්වමින් ආත්මිකව රැකගනියි. පරීක්ෂාවන්ට මුහුණ දෙන විට තම වචනය, ශුද්ධාත්මය සහ ක්‍රිස්තියානි සභාව තුළින් ඔහු ඔවුන්ව ශක්තිමත් කරයි. ඔහු අවසානයේ ඔවුන්ට සදාතන ජීවිතයද දානය කරයි.—ගීතාවලිය 23:6; 25:9; යෙසායා 30:21; රෝම 15:6.

යෙහෝවාට සේවය කිරීම සඳහා ජීවිතය පරදුවට තබන තීරණයක් රැගෙන එම තීරණයට එකඟව කටයුතු කරන අය යෙහෝවා තම පොරොන්දු ඉටු කරන බව අද්දකිනු ඇත. යෝෂුවා විසින් පොරොන්දු දේශයට ගෙන ගිය ඉශ්‍රායෙල්වරුන්ට මෙය අද්දැකීමට හැකි විය. ඔවුන් යොර්දානය හරහා ගිය පසු පීඩා විඳදරාගැනීමට, සටන්වලට මුහුණ දීමට මෙන් දරුණු පාඩම් පවා ඉගෙනීමට සිදු විය. නමුත් එම පරම්පරාව, මිසරයෙන් පිටතට පැමිණ, පසුව පාළුකරයේ මියගිය තම පියවරුන්ට වඩා විශ්වාසවන්තයි කියා ඔප්පු කළහ. එමනිසා යෙහෝවා එම විශ්වාසවන්ත අයට උපකාර පිරිනැමීය. යෝෂුවාගේ ජීවිතයේ අවසන් භාගයේ ඔවුන් සිටි තත්වය ගැන බයිබලයේ මෙසේ පවසා තිබේ. “යෙහෝවා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ සියල්ල ලෙස හාත්පසින් ඔහු ඔවුන්ට විශ්‍රාම දුන්නේය. . . . යෙහෝවා ඉශ්‍රායෙල් වංශයට කී යහපත් දෙයින් කිසිවක් අත්නෑරී සියල්ලම සිදු වුණේය.” (යෝෂුවා 21:44, 45) පරීක්ෂා අද්දකින විටද අනෙක් අවස්ථාවලදීද අපත් මුළුමනින්ම යෙහෝවා මත රැඳී සිටිනවා නම් අපේ අද්දැකීමත් එයම වන බව නිසැකයි.

යෙහෝවා කෙරෙහි ඇති අපගේ විශ්වාසය හීන කිරීමට කුමක් ඉවහල් විය හැකිද? යේසුස් ඉන් එක් කාරණයක් හුවා දැක්වූයේ මෙලෙසයි. “ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්ට කිසිවෙකුට නුපුළුවන. . . . දෙවිට සහ වස්තුවටත් සේවය කරන්ට නුඹලාට නුපුළුවන.” (මතෙව් 6:24) අප යෙහෝවා මත විශ්වාසය තබනවා නම් ලෝකයේ බොහෝදෙනෙකු කරන්නාක් මෙන් ද්‍රව්‍යමය දේවල්වලින් සුරක්ෂිතභාවය සොයන්නේ නැත. යේසුස් තම අනුගාමිකයන්ට මෙසේ උපදෙස් දුණි. “පළමුකොට ඔහුගේ රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද සොයන්න. මේ සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේය.” (මතෙව් 6:33) ක්‍රිස්තියානියෙකු ද්‍රව්‍යමය දේ පිළිබඳව සමබර දෘෂ්ටියක් තබාගෙන තම ජීවිතය තුළ දෙවිගේ රාජ්‍යයට පළමු තැන දෙන්නෙහි නම් එය නිවැරදි තේරීමකි. (දේශනාකාරයා 7:12) ඇත්තෙන්ම මේ සඳහා ඔහු යම් දෙයක් වැය කළ යුතුයි. ඔහුට යම් ද්‍රව්‍යමය දේ කැප කිරීමට සිදු විය හැකියි. එනමුත් එයින් ඔහු ආශීර්වාද රැසක් නෙළාගනියි. ඒ වගේම යෙහෝවාගේ සහයෝගයද ඔහුට ලැබේ.—යෙසායා 48:17, 18.

පරීක්ෂා තුළින් අප ඉගෙනගන්නේ මොනවාද?

‘යෙහෝවා යහපත් බව රස බලා දැනගැනීමට’ තෝරාගත් පමණින්, යම් කෙනෙකු තම ජීවිතයේ බලාපොරොත්තු නොවන ආකාරයේ සිදුවීම්වලින් නිදහස් වන්නේවත් සාතන් සහ ඔහුගේ මිනිස් නියෝජිතයන් විසින් ගෙනෙනු ලබන ප්‍රහාරවලින් පූර්ණ රැකවරණයක් ලබන්නේවත් නැත. (දේශනාකාරයා 9:11) මේ නිසා ක්‍රිස්තියානියෙකුගේ අවංකකම සහ අධිෂ්ඨානය පරීක්ෂාවට ලක් විය හැකියි. යෙහෝවා තම නමස්කාරකයන්ව එවන් පරීක්ෂාවන්ට හසුවීමට ඉඩහැර තිබෙන්නේ මන්ද? ප්‍රේරිත පේතෘස් එක් හේතුවක් සඳහන් කළේ මෙලෙසිනි. “ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත් වන නුමුත්, ඒ ගැළවීම ගැන නුඹලා ඉතා ප්‍රීති වන්නහුය. එසේ ශෝකයට පත් වන්නේ නාස්ති වී යන්නාවූ, එසේද වුවත් ගින්නෙන් සෝදිසි කරන්නාවූ රනට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂා කිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්ගේ එළිදරව් වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය.” (1 පේතෘස් 1:6, 7) ඇත්තෙන්ම පරීක්ෂාවන් මගින් අපේ ඇදහිල්ලත් යෙහෝවාට ඇති අපේ ප්‍රේමයත් නිරූපණය කිරීමට අවස්ථාව සැලසේ. ඒ වගේම දොස් නඟන්නා සහ චෝදනා කරන්නා වන සාතන් නමැති යක්ෂයාට පිළිතුරක් දීමටද ඉන් හැකියාව සැලසේ.—හිතෝපදේශ 27:11; එළිදරව් 12:10.

වෙනත් ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කිරීම සඳහාද පරීක්ෂාවන් රුකුලක් වෙයි. මෙහිදී දාවිත්ගේ වචන නිදසුනක් ලෙස සලකා බැලිය හැකියි. ‘යෙහෝවා උසස් නුමුත් පහත් අය සලකන්නේය. නුමුත් උඩඟු අය දුරදීම දන්නේය.’ (ගීතාවලිය 138:6) අපගෙන් බහුතරයක් නිහතමානිකම උපතින් උරුම කරගෙන නැත. ඒත් පරීක්ෂාවන් එම අත්‍යවශ්‍ය ගුණාංගය වඩවාගැනීමට අපට උපකාර වෙයි. මෝසෙස් ජීවත් වූ කාලයෙහි සමහර ඉශ්‍රායෙලිතයන්ට දිනපතා මන්නා කෑම වෙහෙසකර කාර්යයක් විය. ප්‍රාතිහාර්යමය ලෙස මන්නා දෙනු ලැබුවත් පෙනෙනාකාරයට ඔවුන් එය සැලකුවේ පරීක්ෂණයක් ලෙසයි. මෙම පරීක්ෂණයේ අරමුණ පිළිබඳව මෝසෙස් ඔවුන්ට මෙසේ පැවසීය. “පාළුකරයේදී යෙහෝවා මන්නා නමැති ආහාරයකින් ඔබ පෝෂණය කළේ . . . ඔබට නිහතමානිකම උගන්වා, ඔබ සෝදිසි කිරීමටය.”—ද්විතීය කථාව 8:16, NW.

අපේ නිහතමානිකමත් පරීක්ෂණයට භාජන විය හැකියි. එවන් අවස්ථා කිහිපයක් තිබේ. එක් අවස්ථාවක් නම් සංවිධානයෙහි සිදු වන වෙනස්කම්ය. එසේ වෙනස්කම් සිදු කරන විට අප ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද? (යෙසායා 60:17) ඒ වගේම දේශනා සේවයට සහ ඉගැන්වීමේ වැඩයට අපේ හද පිරි සහයෝගය පිරිනමනවාද? (මතෙව් 24:14; 28:19, 20) “විශ්වාස වූ නුවණ ඇති දාසයා” පහදා දෙන බයිබල් සත්‍යයන් අප විගස පිළිගන්නවාද? (මතෙව් 24:45-47; හිතෝපදේශ 4:18) නවීනතම ආම්පන්න, මෝස්තර, නව මාදිලියේ රථ වාහන ලබාගැනීමට තිබෙන පීඩනයට විරුද්ධව අප සටන් කරනවාද? නිහතමානි කෙනෙකුට නම් මෙම ප්‍රශ්න සියල්ලටම ඔව් කියා පිළිතුරු දිය හැකියි.—1 පේතෘස් 1:14-16; 2 පේතෘස් 3:11.

තවත් වටිනා ගුණාංගයක් වන විඳදරාගැනීම වඩවාගැනීමටත් පරීක්ෂාවන් උපකාරි වෙයි. අනුගාමිකයෙක් වූ යාකොබ් පැවසුවේ, “මාගේ සහෝදරයෙනි, නුඹලාගේ ඇදහිල්ල සෝදිසි කිරීමෙන් ක්ෂාන්ති ගුණය [විඳදරාගැනීම, NW] උපදින බව දැන, අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල, ඒ සියල්ල ප්‍රීතියක්යයි සිතන්න” කියායි. (යාකොබ් 1:2, 3) යෙහෝවා මත පූර්ණ විශ්වාසය තබා පරීක්ෂාවන් ගණනාවකදී ඉතාමත් සාර්ථක ලෙස විඳදරාගැනීමෙන් ස්ථිරකම, භක්තිවන්තකම සහ පක්ෂපාතකම වඩවාගත හැකියි. මෙම ලෝකයේ කෝපාවිෂ්ට දෙවියා වන සාතන්ගෙන් මතුවට පැමිණිය හැකි ප්‍රහාරවලට විරුද්ධව සිටීමට එය අපව ශක්තිමත් කරයි.—1 පේතෘස් 5:8-10; 1 යොහන් 5:19; එළිදරව් 12:12.

පරීක්ෂාවන් පිළිබඳව නිවැරදි දෘෂ්ටියක් තබාගන්න

දෙවිගේ පරිපූර්ණ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් පොළොව මත සිටිද්දී පරීක්ෂාවන් බොහෝමයකට මුහුණ දුන් අතර ඒවා විඳදරාගැනීමෙන් ප්‍රයෝජන රාශියක් නෙළාගත්තේය. යේසුස් “තමන් වින්ද දේවලින් කීකරුකම ඉගෙනගත්තේය” කියා ප්‍රේරිත පාවුල් විසින් ලියනු ලැබුවේ එමනිසයි. (හෙබ්‍රෙව් 5:8) මරණය දක්වා ඔහු පෙන්නූ පක්ෂපාතකම යෙහෝවාගේ නාමයට ගෞරවය ගෙනා අතරම, තම පරිපූර්ණ මිනිස් ජීවිතයේ වටිනාකම මිදීමේ මිලයක් ලෙස මනුෂ්‍යවර්ගයා උදෙසා දීමටත් හැකි කරවීය. එමගින් යේසුස් කෙරෙහි ඇදහිල්ල තබන අයට සදාතන ජීවිතය ලබාගැනීමේ බලාපොරොත්තුව උරුම කරගැනීමට ඔහු මං විවෘත කළේය. (යොහන් 3:16) යේසුස් පරීක්ෂාවන් යටතේ විශ්වාසවන්තව සිටි නිසා ඔහු දැන් අපේ උත්තම පූජකයා මෙන්ම සිංහාසනාරූඪ රජ වී ඇත.—හෙබ්‍රෙව් 7:26-28; 12:2.

අප ගැන කුමක් කිව හැකිද? පරීක්ෂා හමුවේ අප පෙන්වන පක්ෂපාතකමටත් බොහෝ ආශීර්වාද ලැබෙයි. ස්වර්ගික බලාපොරොත්තුවක් ඇති අයට බයිබලය මෙසේ පවසයි. “පරීක්ෂාව ඉවසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය [සන්තෝෂවත්ය, NW]. මක්නිසාද ඔහු ඒත්තුගනු ලැබූ කල, තමන්ට ප්‍රේමකරන්නවුන්ට යෙහෝවා විසින් පොරොන්දු වුණාවූ ජීවනය නම් ඔටුන්න ලබන්නේය.” (යාකොබ් 1:12) භූමික බලාපොරොත්තුවක් ඇති අය විශ්වාසවන්තව විඳදරාගත් විට පාරාදීස පොළොවක සදාතන ජීවිතය උරුම කරගන්න බවට සහතික කර තිබේ. (එළිදරව් 21:3-6) මේ සෑම දෙයකටම වඩා වැදගත් වන්නේ විශ්වාසවන්තව විඳදරාගැනීමෙන් යෙහෝවා යන නාමය ගෞරවයට පත්වීමය.

අප යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරනවා නම් මෙම ක්‍රමය තුළ අප මුහුණ දෙන සෑම පරීක්ෂාවකින්ම සාර්ථකව ජයගත හැකියි. (1 කොරින්ති 10:13; 1 පේතෘස් 2:21) ජයගත හැක්කේ කෙසේද? “සාමාන්‍ය ඉක්මවූ බලය” දෙන යෙහෝවා මත රඳා සිටීමෙනි. (2 කොරින්ති 4:7, NW) ඉතාමත් දරුණු පරීක්ෂණ අද්දුටු යෝබ් විශ්වාසයෙන් යුතුව පැවසුවේ “[දෙවි] මා පරීක්ෂා කළ කල්හි මම රන් මෙන් නික්ම එන්නෙමි” කියායි. අපත් එවන් නිසැකකමක් විදහා පෙන්වමු.—යෝබ් 23:10.

[31වන පිටුවේ පින්තූරය]

පරීක්ෂා යටතේ යේසුස් පෙන්වූ පක්ෂපාතකම යෙහෝවාට ප්‍රශංසාව ගෙනාවේය. අපටත් එසේ කළ හැකියි