Skip to content

පටුනට යන්න

“මම කිසි දෙයක් වෙනස් කරන්නේ නැහැ!”

“මම කිසි දෙයක් වෙනස් කරන්නේ නැහැ!”

ජීවිත කතාව

“මම කිසි දෙයක් වෙනස් කරන්නේ නැහැ!”

පැවසුවේ ග්ලැඩිස් ඇලන් විසින්

“ඔයාට ආපහු ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුණොත් ඔයා වෙනස් කරන්නේ මොනවද” කියලා ඇතැම් අවස්ථාවලදී සමහරු මගෙන් අහනවා. “මම කිසි දෙයක් වෙනස් කරන්නේ නැහැ” කියලා අවංකවම කියන්න මට පුළුවන්. මට මේ විදිහට හැඟෙන්නේ ඇයි කියලා මම පැහැදිලි කරන්නම්.

වර්ෂ 1929 ගිම්හානයේදී මට වයස අවුරුදු දෙකක් වන විට මගේ පියාට (මැතිව් ඇලන්) අපූරු දෙයක් සිදු වුණා. ඒ කාලයේ ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන් (දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්) පළ කරලා තිබුණ දැන් ජීවත් වන මිලියන සංඛ්‍යාතයක් කිසිදා මිය නොයයි! (සිංහලෙන් නැහැ) කියන පොත් පිංචය ඔහු ලබාගත්තා. තාත්තා එක හුස්මට පිටු කීපයක් කියවලා මෙහෙම කිව්වා. “මං කියවලා තියෙන හොඳම දේ මේකයි!”

ඊට ටික කාලෙකට පස්සේ තාත්තා බයිබල් ශිෂ්‍යයන්ගේ අනිත් ප්‍රකාශනත් ලබාගත්තා. කල් නොදමා, තමන් ඉගෙනගන්න දේවල් හැම අසල්වාසියෙකුටම කියන්න ඔහු පටන්ගත්තා. ඒත්, අපි හිටිය පිටිසර පළාතේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක් තිබුණේ නැහැ. කැනඩාවේ, ඔන්ටේරියෝහි ඔරෙන්ජ්විල්වල සභාවක් තිබුණා. ඉතින්, ක්‍රිස්තියානි ඇසුර නිතිපතා ලැබිය යුතුයි කියන එක වටහාගත්ත තාත්තා, 1935දී අපිවත් අරගෙන එහෙ පදිංචියට ගියා.

ඒ කාලයේදී, දරුවන්ට සභා රැස්වීම්වලට සහභාගි වෙන්න උනන්දු කළේ නැහැ. වැඩිහිටියන් රැස්වීම ඉවර වෙලා එනකම් ඔවුන් සාමාන්‍යයෙන් එළියට වෙලා සෙල්ලම් කළා. මේ වැඩේට තාත්තා එච්චර කැමති වුණේ නැහැ. ඔහු හිතුවේ “මට රැස්වීම් හොඳ නම් මගේ දරුවන්ටත් ඒවා හොඳ වෙන්න ඕන” කියලයි. ඉතින් තාත්තා අලුත් වුණත් මගේ අයියටයි (බොබ්), මගේ අක්කලාටයි (එලා සහ රූබි), මටයි ලොකු අය එක්කම රැස්වීමට හවුල් වෙන්න කියලා උපදෙස් දුන්නා. ඉතිං අපිත් හවුල් වුණා. ටික දවසකට පස්සේ අනිත් සාක්ෂිකරුවන්ගේ දරුවනුත් රැස්වීමට ඇවිත් හිටියා. රැස්වීම්වලට යෑමත්, එහෙදී අදහස් දැක්වීමත් අපේ ජීවිතයේ ඉතා වැදගත් අංගයක් වෙලා තිබුණා.

තාත්තා බයිබලයට ලොකු ආදරයක් දැක්වුවා. ඔහු හරි ලස්සනට බයිබල් කතන්දර රඟපාලා පෙන්නුවා. මේ දේවල් තුළින් ඔහු අපේ යොවුන් හදවත්වලට අමතක නොවන වටිනා පාඩම් කාවැද්දුවා. මම තාමත් ඒවා මතකයට නඟන්නේ ඉමහත් ආශාවකින්. මට මතක් වෙන එක දෙයක් තමයි යෙහෝවාට කීකරු වෙන අයට යෙහෝවා ආශීර්වාද කරන විදිහ ගැන කියා දුන්න පාඩම.

අපේ ඇදහිල්ල වෙනුවෙන් කතා කරද්දී බයිබලය පාවිච්චි කරන හැටිත් තාත්තා අපිට කියලා දුන්නා. අපි ඒකෙන් සෙල්ලමකුත් කළා. තාත්තා මෙහෙම කිව්වා. “මම විශ්වාස කරන්නේ මං මැරුණහම ස්වර්ගයට යනවා කියලයි. මම ස්වර්ගයට යන්නේ නැහැ කියලා ඔප්පු කරන්න පුළුවන්ද?” ඒ ඉගැන්වීම බොරු බව ඔප්පු කරන්න පුළුවන් බයිබල් පද රූබියි මමයි පණ දාගෙන වචන සූචියෙන් හෙව්වා. අපි පද හොයාගෙන කියෙව්වට පස්සේ තාත්තා අපිට මෙහෙම කිව්වා. “කරුණු ටික නං හොඳයි. හැබැයි මට තාම හරියටම පැහැදිලි වුණේ නැහැ.” එතකොට අපි ආපහු වචන සූචිය අරං පද හොයන්න පටන්ගන්නවා. මේ වගේ පිළිතුරු දීලා තාත්තව සෑහීමට පත් කරන්න හුඟක් වෙලාවට පැය ගානක් ගත වෙනවා. මේ විදිහට අන්තිමේදී අපේ විශ්වාසයන් ගැන පැහැදිලි කරන්නත්, අපේ ඇදහිල්ල ගැන කතා කරන්නත් රූබිටයි මටයි හොඳ පුහුණුවක් ලැබුණා.

මිනිස් බිය ජයගැනීම

නිවසේදීත් සභා රැස්වීම්වලදීත් මට කදිම පුහුණුවක් ලැබුණත් ක්‍රිස්තියානියෙකු හැටියට ඉන්න එක අභියෝගයක් කියලා පෙනුණ අවස්ථාත් තිබුණ බව මම පිළිගන්නවා. යෞවන අය හුඟදෙනෙක් වගේ මමත් කැමති වුණේ නැහැ අනිත් අයට වඩා වෙනස් වෙන්න. විශේෂයෙන්ම මගේ පංතියේ ළමයින්ට වඩා වෙනස් වෙන්න. මගේ ඇදහිල්ල මුලින්ම පරීක්ෂණයට ලක් වුණේ පුවරු රැගෙන වීදිවල ගමන් කරපු අවස්ථාවෙයි.

අපිට ඕන වුණේ සහෝදර සහෝදරියන් කණ්ඩායමක් එකතු වෙලා විශේෂ පණිවිඩ ලියා තිබුණ පුවරු අරගෙන නගරයේ ප්‍රධාන වීදිවල හෙමිහිට ඇවිදගෙන යන්නයි. අපේ නගරයේ හිටියේ මිනිස්සු 3,000ක් වගේ සුළු ගානක් නිසා හැම කෙනෙක්ම එක් එක්කෙනාව දැනගෙන හිටියා. මේ වගේ ඇවිදගෙන ගිය එක අවස්ථාවකදී, “ආගම මලපතකි, ප්‍රයෝගයකි” කියා ලියා තිබුණ පුවරුව අරගෙන මම හිටියේ පෝලිමේ අන්තිමටයි. පාසැලේ මිතුරියන් කීපදෙනෙක් මාව දැකලා දුවගෙන ඇවිත් මගේ පිටිපස්සෙන් හිටගෙන “දෙවි, රජ රැක දේවා!” යන ජාතික ගීය කියන්න පටන්ගත්තා. එතකොට මම මොකද කළේ? නොනැවතී යන්න මට ශක්තිය දෙන්න කියලා දැඩි ඕනෑකමකින් යාච්ඤා කළා. අපේ ගමන නිම වුණාට පස්සේ ඉක්මනින් රාජ්‍ය ශාලාවට ගිහින් පුවරුව තියලා ගෙදර යන්නයි මම හැදුවේ. ඒත්, තවත් ගමනක් පටන්ගන්න තියෙනවා; පුවරුවක් ගෙනියන්න තව එක්කෙනෙක් අපිට ඕනෙ කියලා අපිව මෙහෙයවපු කෙනා කිව්වා. ඉතින් මට සිද්ධ වුණා ආයිත් යන්න. ඉස්සෙල්ලටත් වඩා වුවමනාවෙන් යාච්ඤා කළා. කොහොමවුණත්, ඒ වෙනකොට මගේ පාසැල් මිතුරියන් මහන්සි නිසා ගෙදර ගිහින් තිබුණා. ශක්තිය ඉල්ලලා මං කළ යාච්ඤාවල් ස්තුතිපූර්වක යාච්ඤා බවට පරිවර්තනය වුණා.—හිතෝපදේශ 3:5.

පූර්ණ-කාලීන සේවකයන් අපේ ගෙදරට නිතරම ආවා ගියා. ඔවුන් නිතරම හිටියේ ප්‍රීතියෙන්. ඔවුන්ගේ ඇසුරත් ප්‍රිය එකක් වුණා. මට මතක හැටියට, අපි කුඩා කාලයේ ඉඳලාම දෙමාපියන් නිතරම කිව්වේ හොඳම වෘත්තිය පූර්ණ-කාලීන සේවය කියලයි.

ඔවුන්ගේ දිරිගැන්වීමට අනුව, 1945දී මම පූර්ණ-කාලීන දේවසේවය මගේ වෘත්තිය කරගත්තා. පස්සේ මම ඔන්ටේරියෝහි ලන්ඩන්වල පුරෝගාමි සේවයේ යෙදෙමින් හිටිය මගේ සහෝදරිය (එලා) එක්ක හවුල් වුණා. එහෙදී මට කරන්න සිද්ධ වුණේ, කවදාවත් කරන්න පුළුවන් වෙයි කියලා හිතුව නැති වැඩක්. මත්පැන් හල්වල මත්පැන් ගනිමින් හිටිය අයගේ මේසයෙන් මේසයට සහෝදරයන් ගිහින් මුරටැඹ සහ පිබිදෙව්! (ඒ කාලයේ කොන්සලේෂන්) පිටපත් ඉදිරිපත් කරමින් හිටියා. භාග්‍යයකට ඒක කළේ සෙනසුරාදා හවස් වරුවේ නිසා එහෙ යන්න ධෛර්යය ඉල්ලලා යාච්ඤා කරන්න මට මුළු සතියක්ම තිබුණා! ඒ වැඩේ එච්චර ලේසි එකක් වුණේ නැතත් හොඳ ප්‍රතිඵල ලැබුණා.

අනිත් අතට, නාට්සි කඳවුරුවල හිටිය අපේ සහෝදරයන්ට පැමිණි පීඩා සම්බන්ධයෙන් තිබුණ විශේෂ කොන්සලේෂන් කලාප අපි බෙදාහැරියා. විශාල සමාගම්වල සභාපතිවරුන් ඇතුළු වැදගත් කැනේඩියානු ව්‍යාපාරිකයන්ව විශේෂයෙන්ම හමු වෙලා ඒවා බෙදා දෙන්නෙ කොහොමද කියලා මම ඉගෙනගත්තා. අපි ශක්තිය සඳහා යෙහෝවා මත රඳා ඉන්නවා නම් ඔහු අපිට නිතරම උපකාර කරන බව ගත වුණ වසර ගණනාව තුළදී මට වැටහිලා තියෙනවා. තාත්තා නිතරම කිව්වේ යෙහෝවාට කීකරු වෙන අයට ඔහු ආශීර්වාද කරනවා කියලයි.

ක්විබෙක්හි සේවය සඳහා කළ ආරාධනාව පිළිගනිමින්

වර්ෂ 1940 ජූලි 4වෙනිදා, කැනඩාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩය තහනම් කළා. පස්සේ කාලෙක තහනම ඉවත් කළත්, ක්විබෙක්හි රෝමානු කතෝලික පළාතේදී අපිට පීඩාවලට මූණ දෙන්න සිද්ධ වුණා. එහෙ හිටිය අපේ සහෝදරයන් විඳින පීඩාවලට අවධානය යොමු කරවන්න පත්‍රිකාවක් යොදාගනිමින් අපි විශේෂ ව්‍යාපෘතියක් දියත් කළා. දෙවි, ක්‍රිස්තුස් හා නිදහසට එරෙහිව ක්විබෙක්හි දැවෙන වෛරය කැනඩාවේ සියල්ලන්ටම ලජ්ජාවක් කියා ඒකෙ කෙළින්ම ලියලා තිබුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වූ නේදන් එච්. නෝර්, අපි කරන්න යන දේ ගැන පැහැදිලි කරන්න මොන්ට්‍රියෙල් නගරයේ පුරෝගාමීන් සියගණනක් හමු වුණා. මේ ව්‍යාපෘතියට හවුල් වෙන්න කැමති නම් හිරේට යන්නත් ලෑස්ති වෙලා ඉන්න වෙයි කියලා සහෝදර නෝර් අපිට කිව්වා. ඒක කොච්චර ඇත්තක්ද! එක කාලෙකදී මාව 15 වතාවක් අත්අඩංගුවට ගත්තා. අපි ක්ෂේත්‍ර සේවයේ යෙදෙද්දී, අපේ දත් බුරුසු සහ පනා ගෙනියන්න අමතක කළේ නැහැ. මොකද හදිසියේවත් අපිට එක රැයක් හරි හිරේ ඉන්න සිද්ධ වුණොත්.

මුලදී අපි හුඟක් වෙලාවට අපේ සේවය කළේ රාත්‍රි කාලයේදියි. එතකොට අපිව එච්චර කාගෙවත් අවධානයට ලක් වුණේ නැහැ. මම පත්‍රිකා තොගයක් පුරවපු බෑග් එකක් බෙල්ලේ එල්ලගෙන ඊට උඩින් කබාය ඇඳගත්තා. පත්‍රිකාවලින් බෑග් එක පිරිලා තියෙන හින්දා මාව පෙනුණේ බබෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක් වගෙයි. මගේ බලප්‍රදේශයට යන්න සෙනඟ පිරුණු රථයකට නඟින අවස්ථාවලදී ඒක වාසියක් වුණා. කරුණාවන්ත මහත්වරුන් හුඟදෙනෙක් නැඟිටලා “ගැබිණි” කාන්තාවට ආසනය දුන්නා.

මේ විදිහට කාලයක් ගෙවුණට පස්සේ අපි දවල් කාලයෙත් බෙදාහැරීමේ වැඩයෙහි හවුල් වෙන්න පටන්ගත්තා. අපි ගෙවල් තුන හතරකට පත්‍රිකා දාලා ඊට පස්සේ වෙන ප්‍රදේශයකට ගියා. ඒ ක්‍රමය සෑහෙන දුරකට සාර්ථක වුණා. ඒත්, අපි පූජකයෙකුගේ බලප්‍රදේශයේ ඉන්න බව ඒ ප්‍රදේශයේ පූජකයාගේ කනට ගියොත් අපි අමාරුවේ වැටෙනවා. එක අවස්ථාවකදී, අපිට තක්කාලිවලිනුයි, බිත්තරවලිනුයි ගහන්න කියලා පූජකයා වැඩිහිටියන් සහ ළමයින් 50ක් හෝ 60ක් අතර සංඛ්‍යාවක් උසිගන්නලා තිබුණා. ක්‍රිස්තියානි සහෝදරියකගේ නිවසේ ආරක්ෂා සහිතව හිටිය අපි එදා රාත්‍රියේ එහෙ බිම නිදාගත්තා.

ක්විබෙක්වල ප්‍රංශ භාෂාව කතා කරන අයට දේශනා කරන්න පුරෝගාමීන් අත්‍යවශ්‍ය වෙලා තිබුණ නිසා 1958 දෙසැම්බර්වලදී රූබි අක්කයි මමයි ප්‍රංශ භාෂාව ඉගෙනගන්න පටන්ගත්තා. ඊට පස්සේ එහෙ ප්‍රංශ භාෂාව කතා කරන පළාත් කීපයකටම අපිට පැවරුම් ලැබුණා. හැම පැවරුමක්ම අද්විතීය අද්දැකීමක්. එක ප්‍රදේශයක අපි අවුරුදු දෙකක් පුරා හැම දවසකම පැය අටක් ගෙයින් ගෙට ගියත් කවුරුත් එළියට ආවෙ නැහැ. ඔවුන් දොර ළඟට ඇවිත් එබිකම් කරලා දොර වහගත්තා. නමුත් අපි අත්ඇරියේ නැහැ. අද ඒ නගරයේ වර්ධනය වෙමින් තියෙන සභා දෙකක්ම තියෙනවා.

හැම අතින්ම යෙහෝවා ඉසිලුවා

වර්ෂ 1965දී අපිට විශේෂ පුරෝගාමි සේවයට දොර විවර වුණා. එක විශේෂ පුරෝගාමි පැවරුමකදී “කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටු වන්නෙමු” කියා 1 තිමෝති 6:8 වාර්තා කරලා තියෙන පාවුල්ගේ වචනවල සම්පූර්ණ අර්ථය අපි තේරුම්ගත්තා. අපිට හුඟක් අරපරෙස්සමින් මුදල් පරිහරණය කරමින් අපේ වියහියදම් පිරිමහගන්න සිද්ධ වුණා. ඒ නිසා අපි තාපය, කුලිය, විදුලි බලය හා ආහාර වෙනුවෙන් මුදල් වෙන් කළා. මේ හැම දෙයකටම වියදම් කළාට පස්සේ මාසේ ගෙවාගන්න අපිට ඉතුරු වුණේ කැනේඩියානු ශත 25ක් (දැන් රුපියල් 15.50ක් වගේ ගානක්).

අපි ළඟ තිබුණේ සීමිත මුදලක් නිසා රාත්‍රියේදී අපේ නිවසේ තාපකය පාවිච්චි කරන්න පුළුවන් වුණේ පැය කීපයක් විතරයි. ඒ නිසා අපේ නිදන කාමරය සෙල්සියස් අංශක 15කට වඩා උණුසුම් කරගන්න කවදාවත් බැරි වුණා. එක දවසක්දා, රූබිගේ බයිබල් ශිෂ්‍යයෙකුගේ පුතෙක් අපිව බලන්න ආවා. ඔහු ගෙදර ගිහින් අම්මට කියන්න ඇති අපි සීතලේ ගැහි ගැහී ඉන්නවා කියලා. ඉතින් ඈ අපිට හැම මාසෙකම ඩොලර් 10ක් (රුපියල් 600ක් වගේ ගානක්) එව්වා තෙල් ගන්න. එතකොට හැම තිස්සෙම තාපකය පත්තු කරලා තියන්න අපිට පුළුවන් වුණා. කොහොමවුණත් අපිට අඩුවක් දැනුණේ නැහැ. අපි ධනවතුන් නොවුණත් අපිට අවශ්‍ය දේවල් හැම වෙලාවෙම තිබුණා. වැඩිපුර ඉතුරු වුණ දේවල් තෑගි කියලයි අපිට හැඟුණේ. “සුදනෙකු අත්හළ බව වත්, ඔහුගේ දූදරුවන් සිඟමනේ ගිය බව වත් කිසි දා නුදුටිමි” කියා ගීතාවලිය 37:25හි [නව අනුවාදය] සඳහන් වෙලා තියෙන වදන් මොනතරම් සත්‍යයක්ද!

අපි මොන විරුද්ධවාදිකමකට මූණ දුන්නත්, මාත් එක්ක බයිබලය පාඩම් කරපු කීපදෙනෙක් සත්‍ය දැනුමට අනුව ක්‍රියා කරනවා දැකීමේ සතුට මට තිබුණා. සමහරු වෘත්තියක් හැටියට පූර්ණ-කාලීන දේවසේවය පවා කරන්න පටන්ගත්ත එක විශේෂ ප්‍රීතියක්.

අලුත් අභියෝගයන්ට සාර්ථකව මූණ දෙමින්

වර්ෂ 1970දී අපිට ඔන්ටේරියෝහි කෝන්වෝල්වලට අලුත් පැවරුමක් ලැබුණා. අපි කෝන්වෝල්වලට ඇවිල්ලා අවුරුදු දෙකක් ගත වුණාට පස්සේ අම්මා ලෙඩ වුණා. තාත්තා 1957දී මැරුණා. මමයි, අක්කලායි 1972දී අම්මා මැරෙනකන්ම මාරුවෙන් මාරුවට අම්මාව බලාගත්තා. අපේ විශේෂ පුරෝගාමි සහකාරියන් වන එලා ලිසිට්සා සහ ඈන් කොවාලෙන්කෝ ඒ කාලය තුළදී අපිට ලොකු හයියක් වුණා. ඔවුන්ගේ ප්‍රේමනීය උපකාරය නොඅඩුව ලැබුණා. අපි හිටියේ නැති අවස්ථාවලදී අපේ වගකීම් දරමින් අපේ බයිබල් පාඩම් පවා කෙරුවා. හිතෝපදේශ 18:24හි “සහෝදරයෙකුට වඩා ඇලුම් වෙන මිත්‍රයෙක් ඇත්තේය” කියා පවසන වචන මොනතරම් සැබෑද!

ජීවිතය ඇත්තෙන්ම අභියෝගවලින් පිරිලා. යෙහෝවාගේ ප්‍රේමනීය හස්තයේ ආධාරයෙන් ඒවාවලට මූණ දෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. මම තාමත් ප්‍රීතියෙන් පූර්ණ-කාලීන සේවයේ යෙදෙනවා. වර්ෂ 1993දී මියගිය බොබ් වසර 20කට වඩා පුරෝගාමි සේවයෙහි යෙදුණා. එයින් අගනා අවුරුදු 10ක් ඔහු ගත කළේ ඔහුගේ බිරිඳ වන ඩෝල් එක්ක සේවයේ යෙදෙමිනුයි. මගේ ලොකු අක්කා වන එලා, 1998 ඔක්තෝබර්වලදී මැරුණා. අවුරුදු 30කට වඩා පුරෝගාමි සේවයේ යෙදුණ ඈ හැම වෙලාවෙම පුරෝගාමි ස්ප්‍රීතුව පවත්වගත්තා. මගේ අනිත් අක්කාට (රූබිට) පිළිකාවක් තියෙන බව 1991දී දැනගන්න ලැබුණා. ඇයට හොඳ ශරීර ශක්තියක් නොතිබුණත් ශුභාරංචිය දේශනා කරන්න ඇගේ උපරිමය කළා. වර්ෂ 1999 සැප්තැම්බර් 26වෙනිදා ඈ මියයන තුරුම ඇය තම ප්‍රීතිය පවත්වගත්තා. මගේ අක්කලා මට අහිමි වුණත්, මගේ ප්‍රීතිය දිගටම පවත්වගන්න උපකාර කරන සහෝදර සහෝදරියන්ගෙන් යුත් ආත්මික පවුලක් මට ඉන්නවා.

මගේ ජීවිතය දිහා ආපහු හැරිලා බැලුවම මම මොන වගේ වෙනස්කම් කරයිද? මම කවදාවත් විවාහ නොවුණත්, තම ජීවිතයේ මුල් ස්ථානයට සත්‍යය දැම්ම ප්‍රේමනීය දෙමාපියන්, සහෝදරයෙක් සහ සහෝදරියන් ලැබීමේ භාග්‍යය මට ලැබිලා තියෙනවා. නැවත නැඟිටිනකොට ඒ ඔක්කොම අයව දකින්න මම බලාගෙන ඉන්නේ ආසාවෙන්. මට දැනෙන්නේ මගේ තාත්තා දැන් මාව තදින් වැලඳගන්නවා වගෙයි; මට පේන්නේ මගේ අම්මා මාව බදාගෙන ලොකු හාදුවක් දෙද්දී ඇගේ ඇස්වලින් කඳුළු ගලනවා වගෙයි. එලා, රූබි සහ බොබ් ප්‍රීතියෙන් උඩ පනීවි.

මේ කාලය තුළදී, මට මොන වගේ සෞඛ්‍ය තත්වයක් තිබුණත්, මොන වගේ ශක්තියක් තිබුණත් මට හැකි විදිහට දිගටම යෙහෝවාට ප්‍රශංසාව හා ගෞරවය ගෙන එන ආකාරයෙන් සේවය කරන්නයි මගේ කැමැත්ත. පූර්ණ-කාලීන පුරෝගාමි සේවය විපාකදායි ජීවිතයක්. ඒක හරියට යෙහෝවාගේ මාර්ගවල ගමන් කරන අය සම්බන්ධයෙන් ගීතිකාකරු පැවසූ දේ වගෙයි. ඔහු පැවසුවේ “නුඹ වාසනාවන්ත [සන්තෝෂවත්, NW] වන්නෙහිය, නුඹට ශුභසිද්ධ වන්නේය” කියායි.—ගීතාවලිය 128:1, 2.

[26වන පිටුවේ පින්තූර]

තාත්තා බයිබලයට ලොකු ආදරයක් දැක්වුවා. අපේ ඇදහිල්ල වෙනුවෙන් කතා කරද්දී බයිබලය පාවිච්චි කරන හැටිත් ඔහු අපිට කියලා දුන්නා

[28වන පිටුවේ පින්තූරය]

වමේ සිට දකුණට: 1947දී රූබි, මම, බොබ්, එලා, අම්මා සහ තාත්තා

[28වන පිටුවේ පින්තූරය]

ඉදිරි පෙළේ වමේ සිට දකුණට: 1998 දිස්ත්‍රික් සමුළුවේදී මම, රූබි සහ එලා