Skip to content

පටුනට යන්න

හොඳ අසල්වැසියෝ ආශීර්වාදයක්

හොඳ අසල්වැසියෝ ආශීර්වාදයක්

හොඳ අසල්වැසියෝ ආශීර්වාදයක්

“ළඟ සිටින අසල්වාසියෙක් දුර සිටින සහෝදරයෙකුට වඩා හොඳය.”—හිතෝපදේශ 27:10.

පොදු යුගයේ පළමුවෙනි ශතවර්ෂයේ විසූ විශාරදයෙක් යේසුස්ගෙන් මෙසේ ඇසුවා. “මාගේ අසල්වැසියා කවුද?” යේසුස්ගේ පිළිතුරේ ගැබ් වී තිබුණේ අසල්වාසියා කවුද යන එක ගැන නොවෙයි. ඒ වෙනුවට, හොඳ අසල්වැසියෙක් වෙන්නේ කොහොමද කියන එකයි. ඔබටත් මේ උපහැරණය හුරු පුරුදු එකක් විය හැකියි. මෙය බොහෝ අය හඳුන්වන්නේ යහපත් සමරිතානුවරයාගේ උපමාව යනුවෙන්. මෙය වාර්තා වී ඇත්තේ ලූක් සුවිශේෂයේ. මෙන්න මෙහෙමයි යේසුස් ඒ උපමාව විස්තර කළේ.

“එක්තරා මිනිසෙක් යෙරුසලමේ සිට යෙරිකෝව බලා යද්දී කොල්ලකරුවන්ට හසු විය. ඔවුහු ඔහුගේ වස්ත්‍රත් ඔහු සතු සියල්ලත් පැහැරගෙන ඔහුට පහර දී ඔහුව අඩපණ කොට දමා යන්න ගියහ. එකල එක්තරා පූජකයෙක් අහම්බෙන් ඒ මාර්ගයේ යන විට ඔහුව දැක, අනෙක් පැත්තෙන් ගියේය. එලෙසම, ලෙවීවරයෙක්ද එතැනට පැමිණ ඔහුව දැක, පාරේ අනෙක් පැත්තෙන් ගියේය. නමුත් ඒ මඟ දිගේ ගමන් කරමින් සිටි එක්තරා සමරිතානුවරයෙක් ඔහු වෙතට පැමිණ, ඔහුව දුටු විට, අනුකම්පාවෙන් පෙලඹී, ඒ මිනිසා ළඟට ඇවිත් ඔහුගේ තුවාලවලට තෙල් සහ වයින් වත් කර බැන්දේය. ඉන්පසු ඔහු ඒ මිනිසාව තමාගේම මෘගයා පිට නංවා තානායමකට ගෙන ගොස් ඔහුව බලාගත්තේය. පසුවදා, ඔහු ඩිනාරි දෙකක් ගෙන ඒවා තානායම්කරුට දී, ‘මොහුව බලාගන්න. මීට වඩා යමක් ඔබට වියදම් වුණොත් මම නැවත ආ විට ඔබට එය ගෙවන්නෙමියි’ කීවේය. කොල්ලකරුවන්ට හසු වූ මිනිසාට මොවුන් තුන්දෙනාගෙන් අසල්වැසියා වූයේ කවුරුන් කියාද ඔබ සිතන්නේ?”—ලූක් 10:29-36, NW.

එම විශාරදයාට උපමාවේ සාරය පැහැදිලි වුණා. තුවාලකරුවාගේ සැබෑ අසල්වැසියා වූයේ “ඔහු කෙරෙහි දයාන්විතව ක්‍රියා කළ තැනැත්තා” බව වටහාගැනීම ඔහුට අපහසු වුණේ නැහැ. ඉන්පසු යේසුස් පැවසුවේ “ගොස්, ඔබත් එසේම කරන්න” කියායි. (ලූක් 10:37 NW) මෙය සැබෑ අසල්වාසියාව හඳුන්වා දීමට භාවිතා කළ ප්‍රබල උපහැරණයක් නොවේද? යේසුස්ගේ උපහැරණය අපටත් මෙවැනි ප්‍රශ්න අපෙන්ම අසාගැනීමට උනන්දු කරයි. ‘මම කොයි විදිහේ අසල්වැසියෙක්ද? අසල්වාසීන් කවුද කියා තීරණය කිරීමේදී මගේ ජාතික හා වාර්ගික හැඟීම් මට බලපෑම් කරනවාද? උපකාර අවශ්‍ය කෙනෙකුට උදව් කිරීමේදී එවැනි හැඟීම් මාව සීමා කරනවාද? මම හොඳ අසල්වැසියෙක් වෙන්න සාමාන්‍යයට වඩා වැඩිපුර යමක් කරනවාද?’

පටන්ගන්නේ කොහෙන්ද?

අපට මේ කාරණාව සම්බන්ධයෙන් යම් දියුණුවක් ලබන්න අවශ්‍ය නම් අප මුලින්ම පටන්ගත යුත්තේ අපේ මානසික ආකල්පය සකස් කිරීමෙන්. අපි හොඳ අසල්වැසියෙක් වීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න අවශ්‍යයි. මෙමගින් අපටද හොඳ අසල්වැසියන් ඇති විය හැකියි. අවුරුදු දෙදහකට පමණ පෙර යේසුස් කන්ද උඩ දේශනාවේදී මිනිස් සබඳතා පැවැත්වීමේදී ප්‍රයෝජනවත් වන වැදගත් ප්‍රමිති අවධාරණය කළා. ඔහු කිව්වේ “එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න” කියායි. (මතෙව් 7:12) අපි අන් අයට ගෞරවයෙන්, කරුණාවෙන් හා උසස් ලෙස සලකන විට ඔවුනුත් අපට එසේ සලකන්න පෙලඹෙයි.

එක සඟරාවක (The Nation Since 1865) වාර්තාකාරියක් හා කතෘවරියක් වන ලීසේ ෆන්ඩබර්ග් “ඔබේ අහළ පහළ අයට ඇලුම් වීම” යන මාතෘකාව යටතේ ලිපියක් පළ කළා. අසල්වැසියන් සමඟ ඇයි හොඳයිකම් පවත්වාගැනීමට කළ හැකි දේවල් පිළිබඳව ඉතා සරල උපදෙස් කිහිපයක් එහි සඳහන් කර තිබුණා. “එකිනෙකා අනික් අය වෙනුවෙන් චූටි චූටි දේවල් කිරීම, උදාහරණයක් ලෙස පත්තර ගෙනත් දීම, දරුවන් බලාගැනීම, කඩේට යන වේලාවට අවශ්‍යය දෙයක් ගෙනත් දීම වැනි ක්‍රියා තුළින් ඔවුන් අතර අන්‍යොන්‍ය සම්බන්ධතා ඇති කරගත හැකියි. බිය හා සැහැසියාව නිසා දුර්වල වෙමින් පවතින, එකිනෙකා වඩ වඩාත් ඈත් වන සමාජයක මෙවැනි සම්බන්ධතා පවත්වනවා දැකීම මගේ ආශාවයි.” ඇය තවදුරටත් පැවසුවේ “අපි කොහෙන් හරි පටන්ගන්න ඕනේ. සමහරවිට මෙය පටන්ගන්න හොඳම තැන අල්ලපු ගෙදරයි.”

තවත් සඟරාවක (Canadian Geographic) අසල්වාසීන් අතර හොඳ සම්බන්ධයක් පවත්වාගැනීම සඳහා වර්ධනය කරගත යුතු යහපත් ආකල්ප ගැන පවසා තිබුණා. ලේඛිකාවක් වන මාර්නී ජැක්සන් නිරීක්ෂණය කළේ “අසල්වැසියන් හරියට පවුල වාගේ. අපිට කවදාවත් කැමති අය තෝරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ අය සමඟ හොඳ සම්බන්ධතාවක් පවත්වාගැනීමට නම් උපායශීලීව, ආචාරශීලීව හා ඉවසිලිවන්තව කටයුතු කිරීම අවශ්‍යයි.”

හොඳ අසල්වැසියෝ ත්‍යාගශීලීයි

ඇත්තටම අපි කවුරුත් අසල්වැසියන්ට ළං වෙන්න ටිකක් අදි මදි කරනවා. අන් අය සමඟ ගැටෙන්නේ නැතුව හුදකලාව විසීම ලේසියි කියා සමහරවිට සිතෙන්න පුළුවන්. කෙසේවෙතත් බයිබලයේ පවසන්නේ “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබේ” කියායි. (ක්‍රියා 20:35, NW) ඒ නිසා යහපත් අසල්වැසියෙක් නිතරම ඔහු අවට සිටින්නන්ව හඳුනාගැනීමට උත්සාහ කරයි. කිට්ටු කුලුපග මිත්‍රත්වයක් පවත්වාගැනීමට අවශ්‍ය නොවුවද ඉඳ හිට මිත්‍රශීලී සිනාවකින් හෝ අත වැනීම වැනි ක්‍රියාවකින් ඔහු අසල්වැසියන් සමඟ කතා බහට මුල පුරයි.

කලින් සඳහන් කළා හා සමානව “අනිත් අය වෙනුවෙන් චූටි චූටි දේවල් කිරීම” තුළ ලොකු අර්ථයක් ගැබ් වී තිබෙන අතර අසල්වැසියන් සමඟ යහපත් සබඳතාවක් ඇති කරගැනීමටත් ඒවා දිගටම පවත්වාගෙන යෑමටත් එවැනි දේවල් කිරීම උපකාරවත් වෙනවා. එමනිසා අසල්වාසීන් වෙනුවෙන් වචනයෙන් හෝ ක්‍රියාවෙන් කළ හැකි දේ කුඩා වුවත් කාරුණික දේවල් කෙරෙහි සාවධානව සිටීම වැදගත්. මෙමගින් බොහෝ විට එකමුතුකම හා අන්‍යොන්‍ය ගෞරවය වැඩි වෙයි. ඊටත් වඩා වැදගත් දේ නම් එසේ කිරීමෙන් අප පෙන්වන්නේ බයිබලයේ දෙන මෙම අනුශාසනාව අප පිළිගන්න බවයි. එනම්, “කරුණාව පෙන්වන්ට නුඹේ අතෙහි බලය තිබියදී, ඕනෑ කරන අයගෙන් එය වලක්වා නොගන්න” යන්නයි.—හිතෝපදේශ 3:27; යාකොබ් 2:14-17.

හොඳ අසල්වැසියෝ—අගය කරයි

තෑගි හා උපකාර ලබන සියලුදෙනාම ඒ සඳහා කෘතඥපූර්වක වනවා කියා කියන්න පුළුවන් නම් කොච්චර හොඳද? අභාග්‍යයකට මෙන් නොයෙක් විට කරන උපකාරයන් හා හිත හොඳින් දෙන ත්‍යාගයන් සඳහා බොහෝ අය කෘතඥපූර්වක වන්නේ නැහැ. එසේ වූ විට අවංක සිතින් තෑගි දුන් පුද්ගලයාට හිතෙන්නේ ‘මේ අන්තිම වතාව ආයේ නම් මම තෑගි දෙන්නේ නැහැ!’ කියලයි. සමහරවිට ඔබ ඉතා මිත්‍රශීලීව අත වනා අසල්වැසියන්ට ආචාර කළද ඔවුන් අකමැත්තෙන් යාන්තම් ඔළුව වැනීමෙන් ප්‍රතිචාරය දක්වන්න පුළුවන්.

බොහෝ අවස්ථාවලදී අසල්වාසීන් පිටත පෙනුමෙන් කෘතඥපූර්වක නොවන බවක් පෙනුණද ඇත්ත වශයෙන්ම ඔවුන් එසේ නොවන අය විය හැකියි. සමහරවිට ඔහුගේ සංස්කෘතික පසුබිම නිසා සහජයෙන්ම පසුබට වන හෝ අපහසුවට ලක් වන ගති ලක්ෂණ තිබෙන නිසා කුලුපග ආශ්‍රයට අකමැති වන බවක් පෙනෙන්න පුළුවන්. අනික් අතට, කෘතඥපූර්වක නොවන ලෝකයක ඔබ අන් අය කෙරෙහි දක්වන සැලකිල්ල අසාමාන්‍ය යමක් ලෙස හෝ ඔබේ ආකල්ප ගැන සැක කිරීමට ඉඩ තිබෙනවා. ඔවුන්ගේ බිය සැක දුරු කරන්න සිදු විය හැකියි. ඒ නිසා මිත්‍රශීලී ස්වභාවයක් ගොඩනඟා ගැනීමට කාලය හා ඉවසීම ඉතා අවශ්‍යයි. කෙසේවෙතත් ආචාරශීලීව ලබන්න හා පරිත්‍යාශීලීව දෙන්න ඉගෙනගෙන තිබෙන අසල්වැසියන් සිටින පරිසරයක එවැනි ස්වභාවයක් අන් අය තුළද ඇති කළ හැකි අතර එමගින් සාමය හා ප්‍රීතිය අද්දැකිය හැකියි.

විපතකදී . . .

විපතකදී හොඳ අසල්වැසියෙක් මහඟු දායාදයක්. විපතකදී සැබෑ අසල්වැසි ප්‍රේමය දැකගන්න පුළුවන්. විපත්ති කාලවලදී අසල්වැසියන් පෙන්වූ පරාර්ථකාමී ප්‍රේමනීය ක්‍රියා ගැන බොහෝ වාර්තා තිබෙනවා. එවැනි අවස්ථාවලදී අසල්වැසියන් සැණෙකින් එකතු වී එකිනෙකාට උදව් කිරීමටත් පෙලඹී තිබෙනවා. එකිනෙකට පරස්පර විරෝධි මත දරන අය පවා එකට වැඩ කරන අවස්ථා එමටයි.

වර්ෂ 1999දී තුර්කි රටේ සිදු වූ විනාශකාරි භූමිකම්පාව ගැන ද නිව් යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, පාරම්පරික සතුරන් එදා අසල්වැසියන් වශයෙන් එකඟත්වයෙන් කටයුතු කළ ආකාරය ගැනයි. “අපිට අවුරුදු ගණනාවක් උගන්වා තිබුණේ තුර්කි ජාතිකයන්ව පිළිකුල් කරන්න” යැයි ඇනා ස්ටර්යීයූ නම් ග්‍රීක තීරු ලේඛිකාවක් ඇතන්ස් ප්‍රවෘත්ති පත්‍රයක වාර්තා කර තිබුණා. “නමුත් ඔවුන් විඳපු දරුණු වේදනාව දැකලා අපි සතුටු වුණේ නැහැ. අපි කලබල වුණා. ඒ කුඩා දරුවන්ගේ මළ සිරුරු දැකලා අපේ ඇස් කඳුලින් පිරුණා. ඒ විතරක් නොවෙයි කාලයක් තිස්සේ තිබුණු වෛරය එකපාරටම නැති වෙලා ගියා.” ජීවිත සෙවීමේ කාර්යය නිල වශයෙන් නතර කරන බව නිවේදනය කළ පසුවද ග්‍රීක ජීවිතාරක්ෂක කණ්ඩායම එම කාර්යය නැවැත්වීමට කැමති වුණේ නැහැ.

යම් විපත්තියකින් පසු ජීවිත බේරාගැනීමේ කාර්යයෙහි යෙදීම ශ්‍රේෂ්ඨ මෙන්ම අසල්වැසියන් වෙනුවෙන් කරන වීර ක්‍රියාවක්. විපතක් වීමට කලින් අසල්වැසියෙකුගේ ජීවිතය බේරාගැනීමට ඒ ගැන දැනුම් දීම ඊටත් වඩා වටිනා කාර්යයක් ලෙස ගණන් ගනු ලබනවාට සැකයක් නැහැ. අභාග්‍යකට මෙන් අසල්වැසියන්ට විනාශයට පෙර දැනුම් දීමක් කළද ඔවුන් ඒ අනතුරු ඇඟවීමට එතරම් හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. දෘශ්‍යමාන සාක්ෂි නැති බැවින් මෙම විනාශය ගැන අනතුරු අඟවන විට ඒ විනාශය විගසින් පැමිණෙයි යන කාරණය සිතට ගැනීමට ඔවුන් අදි මදි කරයි. මෙම විනාශය සම්බන්ධව අනතුරු අඟවන අයට බොහෝ විට ලැබී තිබෙන්නේ නිෂේධාත්මක ප්‍රතිචාරයක්. මනුෂ්‍යයන් නොදන්නා වූ මෙම විනාශය ගැන එක් එක්කෙනාට ප්‍රකාශ කර ඉන් ගැළවීමට ඔවුන්ට උදව් කිරීමට ප්‍රයත්න දරන අය ආත්ම පරිත්‍යාගශීලී වීම හා අත් නෑර උත්සාහ කිරීම අවශ්‍යයි.

විශිෂ්ටතම කරුණාවේ ක්‍රියාව

ස්වාභාවික විපත්තියකට වඩා භයානක වූ ව්‍යසනයක් සියලුම මනුෂ්‍යවර්ගයා කෙරෙහි පැමිණීමට නියමිතයි. පුරෝකථනය කර තිබෙන ආකාරයට සියලු බලැති දෙවි සැහැසියාව, දුෂ්ටකම මෙන්ම ඒ හා බැඳී වෙනත් ගැටලුද සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. (එළිදරව් 16:16; 21:3, 4) මෙම භයානක සිදුවීම අවිනිශ්චිත ඡායාවක් නොවන අතර එය අනිවාර්යයෙන්ම සිදු වනු ඇත. එමනිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් නුදුරු අනාගතයේදී සිදුවීමට යන මෙම පොළොව කම්පා කරවන සිදුවීමෙන් ගැළවීමට අවශ්‍ය දැනුම හැකි සෑම කෙනෙකු සමඟම බෙදාගැනීමට සිටින්නේ මහත් ආශාවෙන්. ඔවුන් අත් නෑර මෙම ප්‍රසිද්ධ දේශනා සේවයේ නියැලෙන්නේ මේ හේතුව නිසයි. (මතෙව් 24:14) දෙවිට හා අසල්වැසියාට ඇති ප්‍රේමය නිසා ඔවුන් ස්වකැමැත්තෙන්ම මෙම සේවයේ යෙදී සිටියි.

එමනිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔබගේ නිවසට ආ විට හෝ වෙනත් ස්ථානයකදී මුණ ගැසුණු විට ඔවුන්ව කලින් විනිශ්චය කරමින් ඔවුන් ගැන නිෂේධාත්මකව සිතා හෝ කරදරයක් බව සිතමින් ඔවුන්ව මඟහරින්න එපා. ඔවුන් උත්සාහ කරන්නේ හොඳ අසල්වැසියන් වෙන්නයි. ඔවුන්ගේ ආරාධනාව පිළිගෙන ඔවුන්ගෙන් බයිබලය ගැන ඉගෙනගන්න. අනාගතයේදී දෙවිගේ පොරොන්දුවට අනුව අසල්වැසියන් ප්‍රීතියෙන් හා සමඟියෙන් ඉන්නා කාලයක් ගැන දැනගන්න. ඒ කාලයේදී අප බොහෝදෙනෙකු ඇති කරගැනීමට ආශා කරන සුහද මිත්‍රත්වයන් පලුදු කිරීමට ජාතික, ආගමික හෝ පන්ති භේදවලට ඉඩක් ලැබෙන්නේ නැහැ.

[6, 7වන පිටුවේ පින්තූර]

අසල්වාසීන් වෙනුවෙන් කාරුණික ක්‍රියාවන් කිරීම යහපත් දෙයකි

[හිමිකම් විස්තර]

ලෝක ගෝලය: Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.