Skip to content

පටුනට යන්න

ඔබට පිහිට වෙන්න සැබෑ සාන්තුවරයන්ට හැක්කේ කෙසේද?

ඔබට පිහිට වෙන්න සැබෑ සාන්තුවරයන්ට හැක්කේ කෙසේද?

ඔබට පිහිට වෙන්න සැබෑ සාන්තුවරයන්ට හැක්කේ කෙසේද?

“සාන්තුවරයා” යන අදහස ඇති ග්‍රීක් වචනය ඇතැම් බයිබල් අනුවාදවල පරිවර්තනය කර තිබෙන්නේ “ශුද්ධවන්තයා” කියායි. එම යෙදුම අදාළ කළේ කවරෙක්ටද? “ඇදහිලිවන්තයන්ව හැඳින්වීම සඳහා එම වචනය බහුවචනයෙන් යොදා ඇති විට එය අදාළ වන්නේ ශුද්ධවන්තයන්ට පමණක් නොව සියලුම ඇදහිලිවන්තයන්ටයි. එම වචනය අදාළ වන්නේ අතිශුද්ධ පුද්ගලයන්ට හෝ අතිශුද්ධ ක්‍රියාවන් කර මියගිය අයට පමණක් නොවෙයි” කියා එක් ප්‍රකාශනයක (An Expository Dictionary of New Testament Words) පවසා තිබෙනවා.

ප්‍රේරිත පාවුල් මුල් ක්‍රිස්තියානීන් සියලුදෙනාවම හැඳින්වූයේ සැබෑ සාන්තුවරයන් හෝ ශුද්ධවන්තයන් හැටියටයි. උදාහරණයක් වශයෙන්, පො.යු. මුල් සියවසේදී ඔහු ලියූ එක් ලිපියක් ආරම්භ කර තිබුණේ “කොරින්තියෙහි තිබෙන දෙවිගේ සභාවටත් අකාය මුළුල්ලෙහි සිටින සියලු ශුද්ධවන්තයන්ටත් ලියා එවන වග නම්” යනුවෙනි. (2 කොරින්ති 1:1) පසුව, පාවුල් “ශුද්ධ තැනැත්තන් වීමට කැඳවනු ලැබූ, රෝමයේ සිටින දෙවිගේ ප්‍රේමනීය සියල්ලන් වෙතට” ලිපියක් ලිව්වා. (රෝම 1:7, NW) මෙම ශුද්ධවන්තයන් ඒ වන විට මියගොස් නොසිටි බවත්, අනිත් ඇදහිලිවන්තයන්ට වඩා උසස්, විශිෂ්ට සත් ගුණවත්භාවයක් තිබුණු කණ්ඩායමක් හැටියට ඔවුන්ව හඳුන්වා නොතිබූ බවත් අමුතුවෙන් කිව යුතු නැහැ. එසේනම් ඔවුන්ව සාන්තුවරයන් හැටියට හඳුන්වා තිබෙන්නේ කුමන පදනමක් මතද?

දෙවිගෙන් ශුද්ධවන්තභාවය ලැබී

පුද්ගලයෙකු සාන්තුවරයෙකු හැටියට පත් කරන්නේ මිනිසුන් හෝ සංවිධානයක් මගින් නොවන බව දෙවිගේ වචනයේ පෙන්වයි. ශුද්ධ ලියවිල්ලේ මෙසේ පවසයි. “[දෙවි] අපේ ක්‍රියාවල ප්‍රකාරයට නොව තමන්ගේම අභිප්‍රායේද ක්‍රිස්තුස් යේසුස් තුළ පූර්ව කාලවලට ප්‍රථමයෙන් අපට දෙන ලද කරුණාවේද ප්‍රකාරයට අප ගළවා, ශුද්ධ වූ කැඳවීමකින් කැඳවාගත්තේය.” (2 තිමෝති 1:9) ශුද්ධවන්තයෙක් ශුද්ධත්වය ලබන්නේ දෙවිගේ මහත් කරුණාව හා යෙහෝවාගේ අරමුණට එකඟව ඔහුගෙන් කැඳවීමක් ලැබෙන නිසායි.

ක්‍රිස්තියානි සභාවේ ශුද්ධවන්තයන් “අලුත් ගිවිසුමක” පංගුකාරයන් වෙයි. යේසුස් ක්‍රිස්තුස් වැගිරූ රුධිරය හේතුවෙන් මෙම ගිවිසුම වලංගු වන අතර එහි පංගුකාරයන්ට ශුද්ධවන්තභාවයක් ලැබෙයි. (හෙබ්‍රෙව් 9:15; 10:29; 13:20, 24) දෙවිගේ නෙත් හමුවේ පවිත්‍රත්වය ලැබ සිටින ඔවුන් “යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන දෙවිට ප්‍රසන්න වූ ආත්මික පූජා ඔප්පු කරන පිණිස ශුද්ධ පූජක සමූහයක්” ලෙස කටයුතු කරයි.—1 පේතෘස් 2:5, 9.

සාන්තුවරයන්ගෙන් අයැදීම් හා ඔවුන්ගේ මැදිහත්කාරකම්

ඇදහිලිවන්තයන්ට විශේෂ බලයක් දානය කිරීමට “සාන්තුවරයන්ට” හැකියි යන විශ්වාසය නිසා, ඔවුන් සතුව තිබූ දෑ යොදාගනිමින් හෝ මැදිහත්කරුවන් ලෙස සලකා ඔවුන්ගෙන් අයැදීමෙන් හෝ මිලියන සංඛ්‍යාතදෙනෙක් ඔවුන්ට වැඳුම් පිදුම් කරනවා. මෙය බයිබල් ඉගැන්වීමක්ද? කන්ද උඩ දේශනාවේදී දෙවි වෙත ළඟා වන අයුරු තම අනුගාමිකයන්ට ඉගැන්වූ යේසුස් මෙසේ පැවසුවා: “එහෙයින් නුඹලා මෙසේ යාච්ඤා කරන්න. ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා.” (මතෙව් 6:9) අපේ යාච්ඤා ඉදිරිපත් කිරීමට සුදුසු තැනැත්තා වන්නේ යෙහෝවා දෙවි පමණයි.

“සාන්තුවරයන්ගේ” මැදිහත් වීමක් තිබෙන බව ඔප්පු කිරීමට වෙර දරමින් ඇතැම් දේවධර්මාචාර්යවරුන් රෝම 15:30 [NW] සඳහන් කරනවා. එහි අපට මෙසේ කියවිය හැකියි. “සහෝදරවරුනි, අපේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් තුළින්ද ආත්මයේ ප්‍රේමය තුළින්ද මා දැන් ඔබට උනන්දු කරන්නේ, මා වෙනුවෙන් දෙවිට යාච්ඤා කරමින් මා සමඟ වෙර දරන්න කියාය.” එම ඇදහිලිවන්තයන්ට පාවුල් දිරිගන්වමින් සිටියේ තමාට යාච්ඤා කරන්න කියා හෝ දෙවි වෙත ළංවීමට තමා තුළින් අයැදින්න කියාද? නැහැ. සැබෑ සාන්තුවරයන් හෝ ශුද්ධවන්තයන් උදෙසා යාච්ඤා ඉදිරිපත් කිරීමට බයිබලයේ දිරිගන්වා ඇතත්, එම ශුද්ධවන්තයන්ට යාච්ඤා කරන්න හෝ ඔවුන් තුළින් යාච්ඤා කරන්න කියා දෙවි කිසි විටක අණ කර නැහැ.—පිලිප්පි 1:1, 3, 4, NW.

කෙසේවෙතත්, අපේ යාච්ඤා සඳහා දෙවි විසින් මැදහත්කරුවෙකු පත් කර තිබෙනවා. “මාර්ගයද සත්‍යයද ජීවනයද මමය. මා තුළින් මිස කිසිවෙක් පියාණන් වෙතට පැමිණෙන්නේ නැත” කියා යේසුස් ක්‍රිස්තුස් පැවසුවා. යේසුස් මෙසේද සඳහන් කළා. “ඔබ මාගේ නාමයෙන් ඉල්ලන ඕනෑම දෙයක් තිබේද, පුත්‍රයා තුළින් පියාණන් මහිමයට පත් වන පිණිස, මම එය ඉටු කරන්නෙමි. ඔබ ඕනෑම දෙයක් මාගේ නාමයෙන් ඉල්ලුවොත්, මම එය ඉටු කරන්නෙමි.” (යොහන් 14:6, 13, 14, NW) යේසුස්ගේ නාමයෙන් ඉදිරිපත් කරන යාච්ඤාවලට සවන් දීමට යෙහෝවා දක්වන කැමැත්ත පිළිබඳව නිසැකකමක් තබාගන්න අපට පුළුවන්. යේසුස් සම්බන්ධයෙන් බයිබලයේ මෙසේ පවසයි. ‘ඔහු මගින් දෙවි වෙතට ළඟා වන්නන් සදහටම ගළවන්නට ඔහුට පිළිවන. මන්ද, ඔවුන් උදෙසා මැදහත් වීමට ඔහු සදහටම ජීවත් වන බැවිනි.’—හෙබ්‍රෙව් 7:25, නව අනුවාදය.

අප වෙනුවෙන් මැදහත්කම් කරන්න යේසුස් කැමැත්තක් දක්වනවා නම් ක්‍රිස්තියානි ලෝකයේ නමස්කාරකයන් බොහෝවිට “සාන්තුවරයන්ට” යාච්ඤා කරන්නේ මන්ද? ඉතිහාසඥ විල් ඩියුරන්ට්ගේ කෘතියක (දි ඒජ් ඔෆ් ෆේත්) මෙම නමස්කාර පිළිවෙතේ මූලාරම්භය ගැන සඳහන් කරයි. ගරුබිය දනවන සර්ව බලධාරි දෙවි වෙත එළඹීමට වඩා යේසුස් වෙත එළඹීම පහසු බව දක්නට තිබුණත් ඩියුරන්ට් මෙසේද පවසයි. “යේසුස් කන්ද උඩ දේශනාවේදී දුන් උපදෙස් සම්පූර්ණයෙන්ම නොසලකා හැරිය කෙනෙකුට [යේසුස්] සමඟ මුහුණට මුහුණලා නොබියව කතා කළ නොහැකියි. ස්ථිරවශයෙන්ම ස්වර්ගයේ සිටින බවට නිසැක විය හැකි සාන්තුවරයෙකුට යාච්ඤා කිරීමත්, ක්‍රිස්තුස් වෙනුවෙන් ඔහුගේ හෝ ඇගේ මැදිහත් වීම අයැද සිටීමත් නැණවත් බවයි පෙනී යන්නේ.” ඇත්තෙන්ම මෙවැනි තර්කයන් සාධාරණද?

යේසුස් මගින් දෙවිට යාච්ඤාව තුළින් ‘කතා කිරීමේ නිදහසත්, විශ්වාසයෙන් යුක්තව ළඟාවීමේ හැකියාවත්’ අපට තිබේ. (එපීස 3:11, 12, NW) සර්ව බලධාරි දෙවි අපේ යාච්ඤාවලට සවන් දෙන්න බැරි තරමටම අපෙන් දුරස්ව හෝ ඈත්ව නොසිටියි. ගීතිකාකාර දාවිත් නොසැලෙන විශ්වාසයකින් මෙසේ යාච්ඤා කළා. “යාච්ඤා අසන තැනැත්තාණෙනි, මාංසමය වූ සියල්ලෝම ඔබ වෙතට පැමිණෙන්නෝය.” (ගීතාවලිය 65:2) මියගිය “සාන්තුවරයන්” සතුව තිබූ දේවල් මගින් බලය දානය කරනවා වෙනුවට, යෙහෝවා ශුද්ධාත්ම බලය දෙන්නේ විශ්වාසයෙන් යුතුව තමාගෙන් ශුද්ධාත්මය ඉල්ලා සිටින අයටයි. මේ ගැන යේසුස් මෙසේ පැහැදිලි කළා. “ඔබ දුෂ්ට වුවත්, ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්නේ කෙසේද කියා ඔබ දන්නවා නම්, ස්වර්ගයෙහි සිටින පියාණන්, තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊටත් වඩා කොපමණ වැඩියෙන් ශුද්ධාත්මය නොදෙන්නේද?”—ලූක් 11:13, NW.

ශුද්ධවන්තයන්ගේ වැඩ කොටස

පාවුල්ගේ ලිපි ලද ශුද්ධවන්තයන් මීට සියවස් ගණනාවකට පෙර මියගිය අතර නිසි කාලයේදී ස්වර්ගයට නැවත නැඟිටීමක් එනම් “ජීවනයේ ඔටුන්න” ලැබුවා. (එළිදරව් 2:10) මෙම සැබෑ සාන්තුවරයන්ට වන්දනාමාන කිරීමෙන් ලෙඩ රෝගවලින්, ස්වාභාවික විපත්තිවලින්, ආර්ථික අස්ථායිතාවයෙන්, මහලු වියෙන් හෝ මරණයෙන් ආරක්ෂා වීම සහතික කළ නොහැකි බව දෙවිට දැඩි භක්තියක් දක්වන නමස්කාරකයන් පවා පිළිගන්නවා. මෙබැවින්, ඔබ මෙසේ ඇසිය හැකියි. ‘දෙවිගේ ශුද්ධවන්තයන් ඇත්තෙන්ම අප ගැන සලකනවාද? අප වෙනුවෙන් ඔවුන් යමක් කරයි කියා අප බලාපොරොත්තු විය යුතුද?’

දානියෙල් වාර්තා කර තිබූ අනාවැකියක ශුද්ධවන්තයන්ව උසස් කොට දක්වා තිබුණා. පොදු යුගයට පෙර හයවන සියවසේදී ඔහු සිත කලඹන දර්ශනයක් දුටු අතර එහි ඉටුවීම අපේ කාලය දක්වා දිව විත් තිබෙනවා. මිනිස් ආණ්ඩුක්‍රම සංකේතවත් කරන භයානක මෘගයන් හතරදෙනෙක් මුහුදෙන් නැඟී ආවා. මිනිස්වර්ගයාගේ සැබෑ අවශ්‍යතා තෘප්තිමත් කරන්න ඒවාවලට හැකිකමක් නැහැ. ඉන්පසු දානියෙල් මෙසේ පුරෝකථනය කළා. “නුමුත් මහෝත්තමයාගේ ශුද්ධවන්තයෝ රාජ්‍යය ලැබ, සෑම කලටම, සදාකාලයටම රාජ්‍යය භුක්ති විඳින්නෝය.”—දානියෙල් 7:17, 18.

ස්වර්ගයේ ක්‍රිස්තුස් සමඟ හවුල් උරුමක්කාරයන් වීමට සිටින “ශුද්ධ තැනැත්තන් වෙනුවෙන්” මෙම “උරුමය” වෙන් කර තිබෙන බව පාවුල් තහවුරු කළා. (එපීස 1:18-21, NW) යේසුස්ගේ රුධිරය ශුද්ධවන්තයන් 1,44,000කට ස්වර්ගික තේජස ලැබීම සඳහා නැවත නැඟිටීමට මාර්ගය විවෘත කළා. ප්‍රේරිත යොහන් ප්‍රකාශ කළේ මෙලෙසයි. “පළමුවෙනි නැවත-නැඟිටීමට පංගුකාරකම ඇති තැනැත්තා වාසනාවන්තය, ශුද්ධය. ඔවුන් කෙරෙහි දෙවෙනි මරණයට බලය නැත්තේය. ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝව, ඔහු හා සමඟ අවුරුදු දහසක් රජකම් කරන්නෝය.” (එළිදරව් 20:4, 6; 14:1, 3) එම දර්ශනයේදී, තේජස ලැබූ යේසුස් ඉදිරියේ අසංඛ්‍යාත ස්වර්ගික මැවිලි ගණනාවක් මෙලෙස ගායනා කරන හඬ යොහන්ගේ සවනෙහි වැකුණා. “සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනඟගෙන්ද ජාතීන්ගෙන්ද මිනිසුන් ඔබගේ ලෙයින් දෙවිට මිලේට ගෙන, ඔවුන් අපගේ දෙවිට රාජ්‍යයක්ද පූජකයන්ද කළේය. ඔවුහු පොළොවෙහි [පොළොව කෙරෙහි, NW] රජකම් කරති.” (එළිදරව් 5:9, 10) එය යළිත් අගනා තහවුරු කිරීමක් නොවේද! මෙම පුරුෂයන් හා ස්ත්‍රීන්ව පරෙස්සමින් තෝරාගෙන තිබෙන්නේ යෙහෝවා දෙවිමයි. එපමණක්ද නොව, මිනිසුන්ට විඳිය හැකි හැම ගැටලුවක්ම පාහේ අද්දකිමින් ඔවුන් පොළොවේදී විශ්වාසවන්තව සේවය කර තිබෙනවා. (1 කොරින්ති 10:13) එමනිසා, නැවත නැඟිටුණු මෙම ශුද්ධවන්තයන් හෝ සාන්තුවරයන් අපේ දුර්වලකම් හා සීමාවන් ගැන සලකමින් දයාවන්තව හා දැනුම් තේරුම් ඇතුව ක්‍රියා කරයි කියා අපට නිසැක විය හැකියි.

රාජ්‍ය පාලනය යටතේ ආශීර්වාද

සෑම දුෂ්ටකමක්ම හා සෑම වේදනාවක්ම පොළොවෙන් තුරන් කිරීමට එම රාජ්‍ය ආණ්ඩුක්‍රමය විගස ක්‍රියාත්මක වනු ඇත. ඒ කාලයේදී පෙර කවරදාකටත් වඩා වැඩියෙන් මිනිසුන් දෙවිට ළං වේවි. යොහන් මෙහෙම ලිව්වා. “මෙන්න, දෙවිගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරන්නේය. ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවිම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවි වන්නේය.” මෙමගින් කියා නිම කළ නොහැකි ආශීර්වාද මිනිසාට ලැබෙයි. මන්ද අනාවැකිය තවදුරටත් පවසන්නේ මෙයයි. “ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණය තවත් නොවන්නේය. වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.”—එළිදරව් 21:3, 4.

ඒක මොනතරම් ප්‍රීතිමත් කාලයක් වේවිද! ක්‍රිස්තුස් යේසුස්ගේ හා ශුද්ධවන්තයන් 1,44,000කගේ පරිපූර්ණ පාලකත්වයේ ප්‍රතිඵල මීකා 4:3, 4හි වාර්තා කර ඇති මෙම වචන මගින් තවදුරටත් විස්තර කර තිබෙනවා. “[යෙහෝවා] බොහෝ ජනයන් අතරේ විනිශ්චය කොට, දුරින් සිටින බලවත් ජාතීන්ට තීන්දුව කියන්නේය. ඔවුන් තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් ඔවුන් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත. තවද ඔවුහු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසය කරනවා ඇත. මක්නිසාද සේනාවල යෙහෝවාගේ මුඛය එය පැවසුවේය.”

එවන් ආශීර්වාදවලට පංගුකාරයන් වන්න යන ආරාධනය දෙමින් සිටින්නේ ශුද්ධවන්තයන් විසිනුයි. මණාලියකගෙන් සංකේතවත් වන සැබෑ සාන්තුවරු නොනැවතී “එන්නැයි” කියති. මෙම පදය තවදුරටත් මෙසේ පවසයි. “අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.” (එළිදරව් 22:17) ‘ජීවන-වතුරට’ අයත් වන්නේ කුමක්ද? එයට ඇතුළත් වන එක් දෙයක් වන්නේ දෙවිගේ අරමුණු පිළිබඳ නිවැරදි දැනුමයි. දෙවිට යාච්ඤා කරන විට යේසුස් මෙසේ පැවසුවා. “සදාකාල ජීවනය නම් මේය. එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඔවුන් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3, NW) මෙම දැනුම ලබාගත හැකි වන්නේ නිතිපතා බයිබලය අධ්‍යයනය කිරීම මගිනුයි. දෙවිගේ වචනය මගින් ශුද්ධවන්තයන්ගේ සැබෑ අනන්‍යතාව අවබෝධ කරගැනීමට හැකිවීම ගැනත්, මිනිසාගේ සදාකාල ප්‍රයෝජනය සඳහා ඔහු ඔවුන්ව යොදාගන්නා ආකාරය ඉගෙනීමට හැකිවීම ගැනත් අපට මොනතරම් සතුටු විය හැකිද!

[4වන පිටුවේ පින්තූරය]

පාවුල් සැබෑ සාන්තුවරයන්ට ආනුභාවයෙන් ලිපි ලියුවා

[4, 5වන පිටුවේ පින්තූරය]

යේසුස්ගේ විශ්වාසවන්ත ප්‍රේරිතවරුන් සැබෑ සාන්තුවරයන් හෝ ශුද්ධවන්තයන් බවට පත් වුණා

[6වන පිටුවේ පින්තූරය]

අපිට යේසුස් ක්‍රිස්තුස්ගේ මාර්ගයෙන් නිසැකකමින් යුතුව දෙවිට යාච්ඤා කළ හැකියි

[7වන පිටුවේ පින්තූරය]

නැවත නැඟිටුණු සාන්තුවරයන් හෝ ශුද්ධවන්තයන් දයානුකම්පිත පාලකයන් ලෙස පොළොව පාලනය කරනු ඇත