Skip to content

පටුනට යන්න

ඔබ ඉගෙනගෙන තිබෙන දේවල් දිගටම පිළිපදින්න

ඔබ ඉගෙනගෙන තිබෙන දේවල් දිගටම පිළිපදින්න

ඔබ ඉගෙනගෙන තිබෙන දේවල් දිගටම පිළිපදින්න

“නුඹලා ඉගෙනගත්තාවූ, පිළිගත්තාවූ, මා තුළ තිබෙන බව ඇසුවාවූ, දුටුවාවූ දේවලුත් කරන්න [පිළිපදින්න, NW]. එවිට සමාදානයේ දෙවි නුඹලා සමඟ සිටිනවා ඇත.”—පිලිප්පි 4:9.

1, 2. පොදුවේ ගත් කල, ආගමට ලැදියි කියා පවසන ජනයාගේ ජීවිත කෙරෙහි බයිබලය බලපෑමක් ඇති කරනවාද? පැහැදිලි කරන්න.

 “ආගමේ බලපෑම ප්‍රබලයි. එනමුත් සදාචාරය දුබලයි.” මෙය එක් ප්‍රවෘත්ති ලිපියක (Emerging Trends) ශීර්ෂ පාඨයක් විය. අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික මට්ටමින් කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල එයින් සාරාංශ ගත කර දක්වයි. එම රටෙහි පල්ලි යන ජනයාගේ මෙන්ම තමන්ගේ ජීවිතවල වැදගත් තැනක් ආගමට හිමි වන බවට පවසන ජනයාගේ වැඩිවීමක් පෙනෙන්ට තිබේ. කෙසේවෙතත් කලින් සඳහන් කළ ලිපියේ මෙසේද සඳහන් වේ. “ආගමට ලැදියි කියන පිරිස අතිවිශාල මෙන් පෙනෙන්ට තිබුණත් අමෙරිකානුවෝ බොහෝදෙනෙක් පෞද්ගලිකව තමන්ගේ ජීවිතවලට මෙන්ම සමස්ත සමාජයට ආගම දහම මගින් ඇති කරන බලපෑම ගැන සැක පහළ කරති.”

2 මෙම තත්වය එක රටකට පමණක් සීමා වී නැත. තමන් බයිබලය පිළිගන්නා බවත් ආගමට ලැදි බවත් ලොව පුරා බොහෝදෙනෙක් පවසති. එනමුත් ඔවුන්ගේ ජීවිත කෙරෙහි සැබෑ බලපෑමක් ඇති කිරීමට ශුද්ධ ලියවිල්ලට ඔවුන් ඉඩහරින්නේ නැත. (2 තිමෝති 3:5) “අප තවමත් බයිබලය ඉතා උතුම් කොට සැලකුවත් එය කියවීමට, අධ්‍යයනය කිරීමට හා අදාළ කරගැනීමට අතීතයේ කළාක් මෙන් කාලය යෙදවීම අපහසුයි” කියා එක් පර්යේෂණ කණ්ඩායමක ප්‍රධානියෙක් සඳහන් කළේය.

3. (අ) සැබෑ ක්‍රිස්තියානීන් බවට පත් වූවන් කෙරෙහි බයිබලය කිනම් බලපෑමක් ඇති කරයිද? (ආ) යේසුස්ගේ අනුගාමිකයන් පිලිප්පි 4:9හි සඳහන් පාවුල්ගේ උපදේශය අදාළ කරගන්නේ කෙසේද?

3 කෙසේවෙතත් සැබෑ ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් සලකා බලන කල තත්වය මීට වඩා වෙනස්ය. දේවවචනයේ උපදෙස් අදාළ කරගැනීම නිසා ඔවුන් සිතන ආකාරයෙහි හා හැසිරීමෙහි වෙනස්කම් ඇති වී තිබේ. ඔවුන්ගේ අලුත් පෞද්ගලිකත්වය අනිත් අයට පහසුවෙන් දැකිය හැක. (කොලොස්සි 3:5-10) යේසුස්ගේ අනුගාමිකයන් සතු බයිබලය, රාක්කයක දූවිලි බැඳි තිබෙන කවදාවත් පෙරළා නැති පොතක් නොවේ. මීට වෙනස්ව ප්‍රේරිත පාවුල් පිලිප්පියේ සිටි ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවේය. “නුඹලා ඉගෙනගත්තාවූ, පිළිගත්තාවූ, මා තුළ තිබෙන බව ඇසුවාවූ, දුටුවාවූ දේවලුත් කරන්න [පිළිපදින්න, NW]. එවිට සමාදානයේ දෙවි නුඹලා සමඟ සිටිනවා ඇත.” (පිලිප්පි 4:9, අකුරු ඇල කළේ අපය.) ක්‍රිස්තියානීහු දේවවචනයේ සඳහන් සත්‍යයන් පිළිගන්නවාට වඩා වැඩි යමක් කරති. තමන් ඉගෙනගන්න දේවල් ක්‍රියාවට නඟන ඔවුහු පවුලේදී, රැකියා ස්ථානයේදී, සභාවේදී හා තමන්ගේ ජීවිතයේ සෑම කාරණයකදීම බයිබලයේ සඳහන් උපදෙස් අදාළ කරගනිති.

4. දෙවිගේ නීති පිළිපැදීම අසීරු දෙයක් වන්නේ මන්ද?

4 දෙවිගේ නීති හා ප්‍රතිපත්ති පිළිපැදීම ලෙහෙසි දෙයක් නොවේ. අප ජීවත් වන්නේ සාතන් නමැති යක්ෂයාගේ ආධිපත්‍යය යටතේ පවතින ලොවකයි. බයිබලය ඔහුව හඳුන්වන්නේ “දැන් පවතින ක්‍රමයේ දෙවියා” කියායි. (2 කොරින්ති 4:4, NW; 1 යොහන් 5:19) මේ නිසා, යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති අඛණ්ඩව රක්ෂා කරමින් ජීවත් වීමේදී, ඊට බාධා කරන ඕනෑම දෙයකට එරෙහිව සිටීම ඉතාමත් වැදගත්ය. අපට අඛණ්ඩව දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රක්ෂා කළ හැක්කේ කෙසේද?

සුවදායී වචනවල රටාවට” ඇලී සිටින්න

5. ‘දිගටම මා පසුපස එන්න’ කියා පැවසීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද?

5 අප ඉගෙනගෙන තිබෙන දේවල් පිළිපැදීමට අයත් වන එක් දෙයක් වන්නේ නොඇදහිලිවන්තයන්ගේ විරුද්ධවාදිකම් මැද පවා සැබෑ නමස්කාරයට පක්ෂපාතව කටයුතු කිරීමයි. මෙහිදී විඳදරාගැනීම සඳහා වෑයම අවශ්‍යයි. “යමෙකුට මා පසුපස එන්ට ඕනෑ නම්, ඔහු තමාවම නොසලකා තම වධකණුව ගෙන, දිගටම මා පසුපස ඒවා” කියා යේසුස් පැවසුවේය. (මතෙව් 16:24, NW) අප ඔහුව අනුගමනය කළ යුත්තේ සතියක්, මාසයක් හෝ අවුරුද්දක් වැනි කාලයක් කියා යේසුස් පැවසුවේ නැත. ඔහු පැවසුවේ ‘දිගටම මා පසුපස එන්න’ කියායි. ඔහුගේ එම වදන්වලින් කියවෙන්නේ අප ඔහුගේ ගෝලයෙකු වීම ජීවිතයේ යම් කලකට පමණක් සීමා වන දෙයක් නොවන බවයි. එමෙන්ම අප සතු දේවභක්තිය අද තිබී හෙට නැති වන දෙයක්ද නොවේ. සැබෑ නමස්කාරයට පක්ෂපාතව කටයුතු කිරීමෙන් අදහස් වන්නේ මුහුණ දීමට සිදු විය හැකි දෙය කුමක් වුවත් අප තෝරාගත් මාර්ගයේ විශ්වාසවන්තව විඳදරාගෙන ගමන් කිරීමයි. අපට මෙය කළ හැක්කේ කෙසේද?

6. මුල් සියවසේ ක්‍රිස්තියානීන් පාවුල්ගෙන් ඉගෙනගත් සුවදායී වචනවල රටාව කුමක්ද?

6 පාවුල් ඔහුගේ හවුල් සේවකයෙකු වූ තිමෝතිගෙන් මෙසේ මහත් ඕනෑකමින් ඉල්ලා සිටියේය. “යේසුස් කෙරෙහි ඇදහිල්ලෙන් සහ ප්‍රේමයෙන් යුක්තව ඔබ මාගෙන් ඇසූ සුවදායී වචනවල රටාවට දිගටම ඇලී සිටින්න.” (2 තිමෝති 1:13, NW) මෙම වදන්වලින් පාවුල් අදහස් කළේ කුමක්ද? “රටාව” යනුවෙන් මෙහි පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනයේ පදගතාර්ථයෙන් විස්තර කෙරෙන්නේ චිත්‍ර ශිල්පියෙකු අඳින දළ රූ සටහනකි. මෙවන් රූ සටහනක එතරම් විස්තර අන්තර්ගත නොවුවත්, නරඹන්නාට සමස්ත චිත්‍රයෙන් කියවෙන දෙය තේරුම්ගැනීමට හැකි වන ලෙස එම රූ සටහනේ හැඩයන් හොඳින් ඇඳ තිබේ. මේ හා සමානව, පාවුල් තිමෝතිට හා වෙනත් අයට ඉගැන්වූ සත්‍යයේ රටාව නිර්මාණය කර තිබුණේ මනසට නැඟිය හැකි සෑම ප්‍රශ්නයකටම නිශ්චිත උත්තරයක් දීමේ අරමුණින් නොවේ. එහෙත් දළ රූ සටහනක් බඳු එම ඉගැන්වීම් සමුදාය මගින් අවංක හදවත් ඇති අයට යෙහෝවා තමන්ගෙන් අපේක්ෂා කරන්නේ මොනවාද කියා තේරුම්ගැනීමට ප්‍රමාණවත් මඟ පෙන්වීමක් සපයයි. ඔවුන් දෙවිව සතුටු කිරීමට නම් තමන් ඉගෙනගත් දේවල් පිළිපදිමින් සත්‍යයේ රටාවට දිගටම ඇලී සිටීම අවශ්‍ය වූ බව පැහැදිලිය.

7. සුවදායී වචනවල රටාවට ක්‍රිස්තියානීන්ට ඇලී සිටිය හැක්කේ කෙසේද?

7 මුල් සියවසේ සිටි හිමනේයස්, ඇලෙක්සැන්ඩර් හා ෆිලෙතස් වැනි අය “සුවදායී වචනවල රටාවට” නොගැළපෙන අදහස් වපුරමින් සිටියහ. (1 තිමෝති 1:18-20; 2 තිමෝති 2:16, 17; NW) ඇදහිල්ල අතහැර ගිය අයගේ මුළා කරවනසුලු වචනවලින් වැළකී සිටීමට මුල් ක්‍රිස්තියානීන්ට හැකි වූයේ කෙසේද? දේවානුභාවයෙන් ලියැවුණු ලියවිලි සැලකිලිමත් ලෙස අධ්‍යයනය කිරීමෙන් හා තමන් ඉගෙනගත් දේවල් අදාළ කරගැනීමෙනි. පාවුල්ගේ හා වෙනත් ඇදහිලිවන්තයන්ගේ ආදර්ශය අනුගමනය කරමින් සිටි අයට තමන්ට උගන්වා තිබූ සත්‍යයේ රටාවට එකඟ නොවූ ඕනෑම දෙයක් හඳුනාගෙන, ඒවා ප්‍රතික්ෂේප කිරීමට හැකි විය. (පිලිප්පි 3:17; හෙබ්‍රෙව් 5:14) “වචන ගැන ප්‍රශ්න කිරීමෙන්ද වාද කිරීමෙන්ද උමතුව” සිටිනවා වෙනුවට තමන් ගමන් කරමින් සිටින නිවැරදි වූ දේවභක්තික මාර්ගයේ ඔවුහු දිගටම ගමන් කළහ. (1 තිමෝති 6:3-6) අප ඉගෙනගෙන තිබෙන සත්‍යයන් දිගටම පිළිපදිනවා නම් අප කරන්නේද ඒ දෙයමයි. ලොව පුරා සිටින දශලක්ෂ ගණනක් තමන්ට උගන්වා තිබෙන බයිබලයේ සඳහන් සත්‍යයේ රටාවට දිගටම දැඩි සේ ඇලී සිටිමින් යෙහෝවාට සේවය කරනවා දැකීම අපේ ඇදහිල්ල කොතරම් ශක්තිමත් කරවන දෙයක්ද!—1 තෙසලෝනික 1:2-5.

“ප්‍රබන්ධ” ප්‍රතික්ෂේප කරන්න

8. (අ) අදදින අපේ ඇදහිල්ල විනාශ කිරීමට සාතන් මං සොයන්නේ කෙසේද? (ආ) දෙවන තිමෝති 4:3, 4හි පාවුල් දුන් අනතුරු ඇඟවීම කුමක්ද?

8 අපට උගන්වා තිබෙන දේවල් ගැන සැකයේ බීජ වැපිරීමෙන් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති අඛණ්ඩව රක්ෂා කිරීමට අප දරන උත්සාහය බිඳ හෙළීමට සාතන් මාන බලයි. පළමුවන සියවසේ මෙන් අදත් ඇදහිල්ල අත්හැර ගිය අය හා වෙනත් අය අහිංසකයන්ගේ ඇදහිල්ල විනාශ කිරීමට මං සොයති. (ගලාති 2:4; 5:7, 8) සමහර අවස්ථාවලදී ඔවුහු අප ගැන වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමට ජනමාධ්‍යය යොදාගනිති. එමෙන්ම යෙහෝවාගේ සෙනඟ යොදාගන්නා ක්‍රම හා ඔවුන්ගේ චේතනා ගැන අමූලික බොරුද පතුරුවති. සමහරුන් සත්‍යයෙන් ඉවත්ව යන බවට පාවුල් අනතුරු අඟවමින් ඔවුන් ගැන මෙසේ ලීවේය. “ඔවුන් සාරවත් ඉගැන්වීම නොඉවසා, කසන කන් ඇතුව, තමුන්ගේ ආශාවන් ලෙස [තමන් රිසි රිසි දෙය ඇසීමේ ආශාවෙන්, න. අ.] තමුන්ටම ගුරුවරුන් රැස් කරගෙන, සත්‍යයට කන් නොදී, ප්‍රබන්ධවලට හැරී යන කාලය පැමිණෙන්නේය.”—2 තිමෝති 4:3, 4.

9. “ප්‍රබන්ධ” ගැන සඳහන් කිරීමේදී පාවුල්ගේ මනසේ තිබෙන්ට ඇත්තේ කුමක්ද?

9 සුවදායී වචනවල රටාවට ඇලී සිටිනවා වෙනුවට සමහරුන් තුළ ‘ප්‍රබන්ධ’ ගැන සොයා බැලීමට කුතුහලයක් ඇති විය. මේ ප්‍රබන්ධවලට අයත් වූයේ මොනවාද? අසම්මත ග්‍රන්ථ සමූහයේ පොතක් වන තෝබිත් වැනි පොත්වල තිබෙන මනඃකල්පිත බොරු කතන්දර පාවුල්ගේ මනසෙහි තිබෙන්ට ඇති. a කුතුහලය දනවන, අනුමාන කට කතාද ප්‍රබන්ධවලට ඇතුළත් වූවා විය හැකියි. ‘තමුන්ගේ ආශාවන් ලෙස කටයුතු’ කළ සමහරුන්, දෙවිගේ ප්‍රමිති තමන්ගේ කැමැත්තට අනුව සකස් කරගත් අයගේ හා සභාවේ පෙරමුණ ගෙන කටයුතු කළ අයව විවේචනය කළ අයගේ මුළා කිරීම්වලට අසු වෙන්ට ඇති. (3 යොහන් 9, 10; යූද් 4) බාධාවට පත් කළ දෙය කුමක් වුවත්, සමහරුන් දේවවචනයේ සඳහන් සත්‍යයන්ට වඩා බොරු දේවලට වැඩි කැමැත්තක් දැක්වූ බව පෙනෙන්ට තිබේ. මොවුන් වැඩි කලක් යන්ට කලින් තමන් ඉගෙනගෙන තිබූ දේවල් පිළිපැදීම නතර කර දැමූ අතර, එය ඔවුන්ගේම ආත්මික විනාශයට හේතු විය.—2 පේතෘස් 3:15, 16.

10. වර්තමානයේ තිබෙන ඇතැම් ප්‍රබන්ධ වර්ගවලට උදාහරණ සපයන්න. සුපරීක්ෂාකාරිව සිටීමේ අවශ්‍යතාව යොහන් අවධාරණය කළේ කෙසේද?

10 අප සවන් දෙන හා කියවන දේවල් හොඳින් පරීක්ෂා කර බලා තෝරාගන්නවා නම් ප්‍රබන්ධවලට ඇදී යෑමෙන් වැළකී සිටීමට අපට පුළුවනි. නිදසුනක් වශයෙන් බොහෝ අවස්ථාවලදී ජනමාධ්‍යය මගින් දුරාචාරයට අනුබල දෙයි. බොහෝදෙනෙක් අඥෙයවාදය (දෙවිකෙනෙකුගේ පැවැත්ම සැක කරන්නන්) හෝ අදේවවාදයට රුකුල් දෙති. බයිබලයේ පොත් ගැන විවේචනය කරන්නෝ ඒවා දේවානුභාවයෙන් ලියා තිබෙන බවට වූ කාරණය විවේචනය කරති. අද සිටින ඇදහිල්ල අත්හැර යන්නෝ ක්‍රිස්තියානින්ගේ ඇදහිල්ල දුර්වල කිරීමේ අරමුණින් සැකයේ බීජ වැපිරීමට තැත් කරති. මේ හා සමානව මුල් සියවසේ සිටි බොරු අනාගතවක්තෘවරුන් නිසා ඇති වූ අනතුරු ගැන ප්‍රේරිත යොහන් මෙසේ අනතුරු ඇඟෙව්වේය. “ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම [ආනුභාවය ලත් ප්‍රකාශ, NW] විශ්වාස නොකොට ඒ ආත්ම දෙවිගෙන්දැයි පරීක්ෂා කරන්න.” (1 යොහන් 4:1) මේ නිසා අපද පරෙස්සම් විය යුතුයි.

11. අප ඇදහිල්ලේ සිටිනවාද කියා සෝදිසි කර බැලිය හැකි එක් ආකාරයක් කුමක්ද?

11 මේ සම්බන්ධයෙන් පාවුල් මෙසේ ලීවේය. “ඔබ ඇදහිල්ලේ සිටිනවාදැයි පරීක්ෂා කරමින් සිටින්න.” (2 කොරින්ති 13:5, NW) ක්‍රිස්තියානි ධර්මයේ විශ්වාසයන් සියල්ලටම අප ඇලී සිටිනවාද කියා නිශ්චය කරගැනීම සඳහා නිතරම අපවම පරීක්ෂා කර බැලීමට ප්‍රේරිතවරයා මහත් ඕනෑකමින් අපෙන් ඉල්ලා සිටියේය. සෑහීමට පත් නොවන පුද්ගලයන් පවසන දේවලට අපත් එකඟත්වය පළ කිරීමට නැඹුරුවාවක් දක්වනවා නම්, අප යාච්ඤාපූර්වකව අපේ තත්වය හොඳින් පරීක්ෂා කර බැලීම අවශ්‍යයි. (ගීතාවලිය 139:23, 24) යෙහෝවාගේ සෙනඟගේ වැරදි සෙවීමට අප තුළ නැඹුරුවාවක් තිබේද? එසේනම් එයට හේතුව කුමක්ද? යමෙකු පැවසූ දෙයක් හෝ කළ දෙයක් නිසා අප වේදනාවට පත්ව සිටිනවාද? තත්වය එය නම්, අප ඒ හා සම්බන්ධ දේවල් දෙස බලන්නේ නිවැරදිව හා යථාර්ථවාදීවද? පවතින මේ ක්‍රමය තුළ අප මුහුණ දෙන ඕනෑම ආකාරයේ පීඩාවක් කෙටි කාලීනයි. (2 කොරින්ති 4:17, 18අ) අප සභාව තුළ යම් පරීක්ෂණයකට මුහුණ දුන් පළියට දෙවිට සේවය කිරීම අප නතර කර දැමිය යුතුද? යම් දෙයක් අපේ සිතට වද දෙනවා නම් හොඳම දෙය එය විසඳාගැනීම සඳහා අපට කළ හැකි දෙය කිරීමෙන් පසු කාරණය යෙහෝවාගේ හස්තයට භාර කිරීම නොවේද?—ගීතාවලිය 4:4; හිතෝපදේශ 3:5, 6; එපීස 4:26.

12. බෙරීයයන් අපට කදිම ආදර්ශයක් තැබුවේ කෙසේද?

12 විවේචනය කරනවා වෙනුවට අපි පෞද්ගලික අධ්‍යයනයෙන් හා සභා රැස්වීම්වලින් ලබාගන්නා තොරතුරු කෙරෙහි හිතකර ආත්මික දෘෂ්ටියක් දිගටම පවත්වාගනිමු. (1 කොරින්ති 2:14, 15) දේවවචනය ගැන වාද විවාද කරනවා වෙනුවට මුල් සියවසේ සිටි ශුද්ධ ලියවිලි පරෙස්සමින් පරීක්ෂා කර බැලූ බෙරීයයන්ට තිබූ ආකල්පය ඇතුව සිටීම මොනතරම් නැණවත් දෙයක්ද! (ක්‍රියා 17:10, 11) එසේනම් අපි ඉගෙනගත් දේවල් පිළිපදිමින් ප්‍රබන්ධ ප්‍රතික්ෂේප කර සත්‍යයට ඇලී සිටිමු.

13. අප නොදැනුවත්වම බොරු කතා පැතිරවීමට හවුල් විය හැක්කේ කෙසේද?

13 අප එරෙහිව සිටිය යුතු තවත් ආකාරයේ ප්‍රබන්ධයක් ඇත. බොහෝ අවස්ථාවලදී විද්‍යුත් තැපෑලෙන් (E-mail) ඉමහත් උනන්දුවක් ඇති කරවන විස්මිත අද්දැකීම් රැසක් බෙදාහරිනු ලැබේ. මෙහිදී ලැබෙන තොරතුරු මුලින්ම සකස් කළේ කවුද කියා අප හරිහැටි දන්නේ නැත්නම්, මේ අද්දැකීම් හා පුවත් ගැන සුපරීක්ෂාකාරි වීම නැණවත් දෙයකි. යම් අද්දැකීමක් හෝ පුවතක් එවා තිබෙන්නේ විශ්වාසවන්ත ක්‍රිස්තියානියෙකු විසින් වුවත් එම තොරතුරු ගැන පෞද්ගලිකව හොඳ දැනුමක් ඔහුට නොතිබිය හැක. මේ නිසයි, සත්‍යය බවට තහවුරු කර නොගත් තොරතුරු වෙනත් අයට යැවීමේදී පරෙස්සම් වීම වැදගත් වන්නේ. අපට ලැබෙන “දෙවිව විශ්වාස නොකරන අයගේ මිථ්‍යාවන්” හා “ශුද්ධ දේවල් කෙලසන බොරු කතන්දර” වෙනත් අයට යවන්ට අපට කිසිම වුවමනාවක් නැත. (1 තිමෝති 4:7, නිව් ඉන්ටර්නැෂනල් වර්ෂන්) එකිනෙකා සමඟ ඇත්ත කතා කරන්ට අපි බැඳී සිටින්නෙමු. එනිසා අප නොදැනුවත්ව හෝ අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමට හේතු වන සෑම දෙයකින්ම වැළකී සිටිමින් සැමවිටම නැණවත්ව කටයුතු කරමු.—එපීස 4:25.

සත්‍යය පිළිපැදීමේ ප්‍රයෝජන

14. අප දෙවිගේ වචනයෙන් ඉගෙනගෙන තිබෙන දේවල් පිළිපැදීමෙන් අද්දකින ප්‍රයෝජන මොනවාද?

14 පෞද්ගලිකව බයිබලය අධ්‍යයනය කිරීමෙන් හා ක්‍රිස්තියානි රැස්වීම්වලින් අප ඉගෙනගන්නා දේවල් පිළිපැදීමෙන් අත් කරගත හැකි ප්‍රයෝජන බොහෝය. උදාහරණයක් හැටියට, ඇදහිල්ලේ පවුලට අයිති වූවන් සමඟ අප පවත්වන සබඳතා දියුණු වී තිබෙන බව අපට පෙනී යන්නට පුළුවන. (ගලාති 6:10) අප බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගනිද්දී අපේ පෞද්ගලිකත්වයේ යහපත් වෙනස්කම් සිදු වනු ඇත. (ගීතාවලිය 19:8) එපමණක්ද නොව, ඉගෙනගත් දේවල් පිළිපැදීමෙන් අපි ‘දෙවිගේ ධර්මය අලංකාර’ කරන්නෙමු. මෙහි ප්‍රතිඵලයක් හැටියට ජනයා සැබෑ නමස්කාරයට ආකර්ෂණය විය හැක.—තීතස් 2:6-10.

15. (අ) යෞවනියක් පාසැලේදී සාක්ෂි දැරීම සඳහා නිර්භීතකම වඩවාගත්තේ කෙසේද? (ආ) මේ අද්දැකීමෙන් ඔබ ඉගෙනගත්තේ මොනවාද?

15 බයිබලය සහ ක්‍රිස්තියානි ප්‍රකාශන පෞද්ගලිකව අධ්‍යයනය කිරීමෙන් හා නිතිපතා ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීමෙන් තමන් ඉගෙනගෙන තිබෙන දේවල් පිළිපදින යෞවනයන් බොහෝදෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර සිටිති. මොවුන්ගේ යහපත් හැසිරීම පාසැලේ ගුරුවරුන්ට හා සෙසු ශිෂ්‍යයන්ට කදිම සාක්ෂියක් වී තිබේ. (1 පේතෘස් 2:12) අමෙරිකා එක්සත් ජනපදයේ සිටින 13 හැවිරිදි ලෙස්ලිගේ අද්දැකීම සලකා බලන්න. තමන්ගේ පන්තියේ ළමයින්ට තමාගේ ආගමික විශ්වාසයන් ගැන කතා කිරීම සාමාන්‍යයෙන් අමාරු දෙයක් කියා සිතීමටයි ඇය පුරුදුව සිටියේ. නමුත් දවසක් ඇය මේ අදහස වෙනස් කරගත්තාය. “මිනිසුන් යම් දේවල් විකිණීමට වෑයම් කරන ආකාරය ගැන පන්තියේ එක පාඩමකදී සාකච්ඡා කළා. එක ගැහැනු ළමයෙක් අත ඔසවා යෙහෝවාගේ සාක්ෂිකරුවන් මේ සඳහා උදාහරණයක් කියා පැවසුවා.” සාක්ෂිකාරියක වන ලෙස්ලි ඒ අවස්ථාවේදී ක්‍රියා කළේ කෙසේද? ඇය මෙසේ පවසයි. “මම මගේ ඇදහිල්ලට පක්ෂව කරුණු ඉදිරිපත් කළා. සාමාන්‍යයෙන් මම පාසැලේ හුඟාක් නිහඬ ශිෂ්‍යාවක් නිසා මේ වගේ කතා කරද්දී හැම කෙනෙක්ම පුදුම වෙන්න ඇති කියලා මට හොඳටම විශ්වාසයි.” ලෙස්ලිගේ නිර්භීතකමේ ප්‍රතිඵලය වූයේ කුමක්ද? “අර ගැහැනු ළමයාට සාක්ෂිකරුවන් ගැන තවත් ප්‍රශ්න තිබුණු නිසා මට පුළුවන් වුණා, එයාට විවරණිකාවක් හා පත්‍රිකාවක් දෙන්න” කියා ලෙස්ලි පවසයි. තමන් ඉගෙනගෙන තිබෙන දේවල් ගැන පාසැලේදී බියක් සැකක් නැතිව සාක්ෂි දරද්දී, එය දකින යෙහෝවා මොනතරම් සතුටු වෙනවාද!—හිතෝපදේශ 27:11; හෙබ්‍රෙව් 6:10.

16. සාක්ෂිකාර යෞවනියක් දිව්‍යාණ්ඩු සේවා පාසැලෙන් ප්‍රයෝජන ලබා තිබෙන්නේ කෙසේද?

16 එලිසබෙත්ගේ අද්දැකීමද සලකා බලන්න. වයස අවුරුදු හතේ සිට ඇය ප්‍රාථමික පාසැලේ සිටි කාලය පුරා මේ කුඩා ගැහැනු ළමයා දිව්‍යාණ්ඩු සේවා පාසැලේ ඇයට පැවරුමක් තිබෙන සෑම අවස්ථාවකදීම රාජ්‍ය ශාලාවට එන්ට කියා ඇගේ ගුරුවරුන්ට ආරාධනා කළාය. ගුරුවරයෙකුට එන්ට නොහැකි වූවා නම් එලිසබෙත් පාසැලෙන් පසු නතර වී, ඒ ගුරුවරයා ඉදිරිපිට ඇගේ කතාව ඉදිරිපත් කළාය. ද්විතීයික පාසැලේ ඉගෙනුම ලැබූ අවසාන වසරේදී, එලිසබෙත් දිව්‍යාණ්ඩු සේවා පාසැලේ ප්‍රයෝජන ගැන පිටු දහයක වාර්තාවක් ලියා, හතරදෙනෙකුගෙන් සමන්විත වූ ගුරු මණ්ඩලයක් ඉදිරියේ එය ඉදිරිපත් කළාය. දිව්‍යාණ්ඩු සේවා පාසැලේ කතාවක් ඉදිරිපත් කරන ආකාරය ඔවුන් ඉදිරියේ පෙන්වන්න කියා ආරාධනාවක් ලැබූ ඇය, ඒ සඳහා තෝරාගත්තේ “දෙවි දුෂ්ටකමට ඉඩ දී තිබෙන්නේ මන්ද?” නමැති විෂයයි. දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පවත්වනු ලබන අධ්‍යාපනික වැඩසටහනින් එලිසබෙත් ප්‍රයෝජන ලබා ඇත. දේවවචනයෙන් තමන් ඉගෙනගත් දේවල් පිළිපැදීමෙන් යෙහෝවාව ප්‍රශංසාවට පත් කරන ක්‍රිස්තියානි දරු දැරියන් රාශියක් අතරින් ඇය එක් තැනැත්තියකි.

17, 18. (අ) අවංකකම සම්බන්ධයෙන් බයිබලය දෙන උපදේශය කුමක්ද? (ආ) යෙහෝවාගේ සාක්ෂිකරුවෙකුගේ අවංක හැසිරීම මිනිසෙකුට බලපෑවේ කෙසේද?

17 සෑම කාරණයකදීම අවංක වන්න කියා බයිබලය ක්‍රිස්තියානීන්ට උපදෙස් දෙයි. (හෙබ්‍රෙව් 13:18, NW) වංකකම අන් අය සමඟ තිබෙන අපේ සබඳතා විනාශ කර දමයි. ඊටත් වඩා සිදු වන හානිය වන්නේ යෙහෝවා සමඟ තිබෙන සබඳතාව පලුදු වීමයි. (හිතෝපදේශ 12:22) අප ඉගෙනගෙන තිබෙන දේවල් පිළිපදිමින් සිටින බවට අපේ විශ්වාසවන්තකම සාක්ෂියක් සපයයි. එමෙන්ම බොහෝදෙනෙකුට යෙහෝවාගේ සාක්ෂිකරුවන් කෙරෙහි ඉමහත් ගෞරවයක් ඇති කරගැනීමටද එම විශ්වාසවන්තකම හේතු වී තිබේ.

18 හමුදා නිලධාරියෙකු වූ ෆිලිප්ගේ අද්දැකීම සලකා බලන්න. ගණන සඳහන් නොකර තමන් අත්සන් කළ චෙක්පත තමන් තැබුවේ කොතැනද කියා ඔහුට මතක් වූයේ එය තැපෑලෙන් ආපසු ලැබුණු විටයි. මෙම චෙක්පත සොයාගනු ලැබුවේ යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු විසිනි. චෙක්පත ආපසු එවීමට තමන් තුළ පෙලඹීමක් ඇති කළේ තමාගේ ආගමික විශ්වාසයන් කියා සඳහන් කළ ලියුමක්ද ඒ සමඟ ඒවා තිබිණ. පිලිප්ට ඇති වූ පුදුමය වචනවලින් විස්තර කරන්ට බැරි තරම්ය. “මගේ අමෙරිකානු ඩොලර් 9,000 කවුරු හරි හොරකම් කරන්න ඉඩ තිබුණා” කියා ඔහු විමතියෙන් පැවසුවේය. මීට කලින් දේවස්ථානයේදී තමාගේ තොප්පිය සොරකම් කිරීම ගැන ඔහු කලකිරීමට පත් වී සිටියේය. ඔහුගේ තොප්පිය අරගන්න ඇත්තේ ඔහු දන්නා හඳුනන කෙනෙකු විය හැකියි. එනමුත් ඩොලර් දහස් ගණනක් වටිනා චෙක්පතක් ආපසු ඒවා තිබුණේ ඔහු කොහොමටවත් දන්නේ නැති කෙනෙකි! ඇත්තෙන්ම අවංක ක්‍රිස්තියානීහු යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරති.

ඔබ ඉගෙනගෙන තිබෙන දේවල් දිගටම පිළිපදින්න

19, 20. අප ශුද්ධ ලියවිලිවලින් ඉගෙනගන්නා දේවලට එකඟව කටයුතු කිරීමෙන් ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

19 තමන් ඉගෙනගෙන තිබෙන දේවල් පිළිපදින අය අත් කරගන්නා ප්‍රයෝජන කියා නිම කළ නොහැක. ශ්‍රාවක යාකොබ් මෙසේ ලීවේය. “නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගන, මතක නැති කරන අසන්නෙක් නොවී, ක්‍රියා කරන කෙනෙක්ව, එසේ පවතින්නාවූ තැනැත්තේම තමාගේ ක්‍රියා කිරීමෙහිදී ආශීර්වාද ලබන්නේය [සන්තෝෂය අද්දකිනු ඇත, NW].” (යාකොබ් 1:25) අප ශුද්ධ ලියවිලිවලින් ඉගෙනගත් දේවලට එකඟව කටයුතු කරනවා නම් අප සැබෑ සන්තෝෂය අද්දකින බව නිසැකයි. එමෙන්ම ජීවිතයේ පීඩනවලට සාර්ථකව මුහුණ දීමටද අපට හැකි වනු ඇත. සියල්ලටම වඩා වැදගත් දෙය වන්නේ යෙහෝවාගේ ආශීර්වාදය හා සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව ඇතුව සිටීමට හැකිවීමයි!—හිතෝපදේශ 10:22; 1 තිමෝති 6:6.

20 එසේනම් දේවවචනය අධ්‍යයනය කරමින් එයින් ඉගෙනගන්නා දේවල් දිගටම අදාළ කරගැනීමට හැකි සෑම වෑයමක්ම දරමු. යෙහෝවාට නමස්කාර කරන අය සමඟ නිතිපතා එකට එක්රැස් වෙමින් ක්‍රිස්තියානි රැස්වීම්වලදී අසන්ට ලැබෙන තොරතුරුවලට හොඳ අවධානයක් දෙමු. ඔබ ඉගෙනගන්නා දේවල් අදාළ කරගන්න. ඒවා දිගටම පිළිපදින්න. “එවිට සමාදානයේ දෙවි නුඹලා සමඟ සිටිනවා ඇත.”—පිලිප්පි 4:9.

[පාදසටහන]

a තෝබිත් නමැති පොත ලියන්ට ඇත්තේ පො.යු.පෙ. තුන්වන සියවසේදී විය හැක. තෝබියස් නම් යුදෙව්වෙකුගේ අද්භූත කතන්දරය එයට ඇතුළත් විය. දැවැන්ත මාළුවෙකුගේ හෘද වස්තුව, පිත හා අක්මාව යොදාගනිමින් ලෙඩ සුව කිරීමේ හා භූතයන්ව දුරු කිරීමේ හැකියාව ඔහුට තිබූ බව පැවසේ.

ඔබට මතකද?

• “සුවදායී වචනවල රටාව” යනු කුමක්ද? එයට දිගටම ඇලී සිටීමට අපට හැක්කේ කෙසේද?

• අප ප්‍රතික්ෂේප කළ යුතු “ප්‍රබන්ධ” මොනවාද?

• දේවවචනයෙන් ඉගෙනගත් දේවල් පිළිපදින අය ලබන ප්‍රයෝජන මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ පින්තූරය]

ඇදහිල්ල අත්හැර ගිය අයගේ මුළා කිරීම්වලින් වැළකී සිටීමට මුල් ක්‍රිස්තියානීන්ට හැකි වූයේ කෙසේද?

[18වන පිටුවේ පින්තූර]

ජනමාධ්‍යය හා අන්තර් ජාලය මගින්ද වර්තමානයේ ඇදහිල්ල අත්හැර යන්නන් විසින්ද සැකයේ බීජ වැපිරීමට පුළුවන

[19වන පිටුවේ පින්තූරය]

සත්‍යය බවට තහවුරු කර නොගත් තොරතුරු බෙදාහැරීම අනුවණකමකි

[20වන පිටුවේ පින්තූර]

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දේවවචනය කියවීමෙන් ඉගෙනගත් දේවල් රැකියා ස්ථානයේදී, පාසැලේදී හා වෙනත් ඕනෑම තැනකදී අදාළ කරගනිති