Skip to content

පටුනට යන්න

ප්‍රබෝධවත් පිනි බිඳු මෙන් වූ යෞවනයෝ

ප්‍රබෝධවත් පිනි බිඳු මෙන් වූ යෞවනයෝ

‘මා වෙතට එන්න, මම ඔබට සහනය දෙමි’

ප්‍රබෝධවත් පිනි බිඳු මෙන් වූ යෞවනයෝ

‘මා වෙතට එන්න, මම ඔබට සහනය දෙමි’ කියා යේසුස් ක්‍රිස්තුස් පැවසූ විට, තමා පසුපස ආ යෞවන අනුගාමිකයන්ටද එම ආරාධනාව කළ බවට කිසිදු සැකයක් නැත. (මතෙව් 11:28) ජනයා තම කුඩා දරුවන්ව ඔහු වෙතට ගෙන ඒමට පටන්ගත් විට, ඔවුන්ව වැළැක්වීමට ඔහුගේ ගෝලයෝ උත්සාහ කළහ. නමුත් යේසුස් කීවේ, “කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න. ඔවුන්ව වළක්වන්න උත්සාහ නොකරන්න” කියායි. “දරුවන්ව තුරුළු කරගෙන ඔවුන් පිට අත් තබමින් ඔවුන්ට ආශීර්වාද” කිරීමට පවා යේසුස් පෙලඹුණේය. (මාර්ක් 10:14-16, NW) එසේ නම්, යෞවනයන් ඉතා වටිනා අය ලෙස යේසුස් සැලකූ බවට කිසිදු සැකයක් නැත.

දෙවිට සේවය කිරීමෙහිලා ඉතා අනගි ආදර්ශයක් තැබූ විශ්වාසවන්ත යෞවනයන් හා යෞවනියන් ගැනද, ලොකු කුඩා දරුවන් ගැනද බයිබලය කතා කරයි. පිනි බිඳු මෙන් ප්‍රබෝධවත් කරවන ‘යෞවනයන්ගේ සමාජයක්’ ගැන ගීතාවලිය පොතේ පුරෝකථනය කර තිබේ. එමෙන්ම, යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කරන ‘යෞවන පුරුෂයන්’ හා ‘කන්‍යාවන්’ ගැනද එහි කතා කරයි.—ගීතාවලිය 110:3; 148:12, 13; NW.

ආත්මික සමෘද්ධිය ලැබීම සඳහා යෞවනයන්ට තෝතැන්නක්

යෞවනයන්ට පිනි බිඳුයයි පැවසීම ඉතා සුදුසුයි. මන්ද පිනි බිඳු සම්බන්ධ කර තිබෙන්නේ සමෘද්ධියට හා ආශීර්වාදවලටයි. (උත්පත්ති 27:28) පිනි බිඳු සිනිඳුයි, ප්‍රබෝධවත් කරයි. ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීමේ මෙම කාලය තුළ, ක්‍රිස්තියානි යෞවනයෝ ඉතා විශාල සංඛ්‍යාවක් ඉතා කැමැත්තෙන් හා උනන්දුවෙන් ඉදිරිපත් වෙති. ප්‍රබෝධවත් පිනි බිඳු මෙන් වූ බොහෝ යෞවන යෞවනියෝ ප්‍රීතියෙන් දෙවිට සේවය කරමින් තමන්ගේ සෙසු නමස්කාරකයන්ට උදව් කරති.—ගීතාවලිය 71:17.

ක්‍රිස්තියානි යෞවනයන් ප්‍රබෝධවත්භාවයක් ගෙන දෙන්නේ අනුන්ට පමණක් නොවේ. තමන්ගේ සේවය තුළින්ද ඔවුහුද ප්‍රබෝධයක් ලබති. ඔවුන්ට ආත්මික සමෘද්ධිය ලැබිය හැකි වාතාවරණයක් දෙවිගේ සංවිධානය තුළින් සැපයේ. උසස් සදාචාරයන් පවත්වාගන්නාවූ යෞවන යෞවනියෝ දෙවි සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවක් භුක්ති විඳිති. (ගීතාවලිය 119:9) සභාව තුළද, ඔවුහු සුවදායක ක්‍රියාකාරකම්වල යෙදෙන අතර කදිම යහපත් මිතුරන් සොයාගෙන සිටිති. මෙය ඔවුන්ට තෘප්තිමත් හා අර්ථවත් ජීවිතයක් භුක්ති විඳීමට දායක වෙයි.

‘සනීපයක් හා ප්‍රාණවත්කමක්’

තමන් “පිනි බිඳු” මෙන් යයි ක්‍රිස්තියානි යෞවනයන්ට හැඟෙනවාද? දේවසේවය තුළ මසකට පැය 70කට වඩා වැඩි කාලයක් සතුටින් මිඩංගු කරන සභාවේ ක්‍රියාශීලී යෞවන කාන්තාවක් වන ටානියාව හමු වන්න. ඇයට හැඟෙන්නේ කෙසේද? “මට මහත් ප්‍රබෝධයක් හා සිතට දිරියක් දැනෙනවා. මගේ ජීවිතයට යෙහෝවා සහ ඔහුගේ භූමික සංවිධානය සම්බන්ධ වී තිබීම නිසා, මට මහත් ‘සනීපයක්ද ප්‍රාණවත්කමක්ද’ දැනෙනවා” යනුවෙන් ඇය පවසන්නීය.—හිතෝපදේශ 3:8.

තවත් පූර්ණ කාලීන යෞවන දේවසේවිකාවක වන එරියල්, සභාව තුළින් තමා ලබන ආත්මික පෝෂණය අගය කරන්නීය. “මම ක්‍රිස්තියානි රැස්වීම්වලට, සමුළුවලට සහ එක්රැස්වීම්වලට යනකොට මට යෙහෝවාගේ ආත්මික මේසයෙන් මංගල්‍යයක් භුක්ති විඳින්ට පුළුවන්. මෙය ඇත්තටම මාව ආත්මිකව ප්‍රබෝධවත් කරනවා” යනුවෙන් ඇය අදහස් දක්වයි. “ඒ වගේම මුළු ලෝකයේම මං වගේම වැඩ කරන අය ඉන්නවා කියන එකත් මට මහත් දිරියක්.” ප්‍රබෝධයේ ඉහළම උල්පත ගැන කතා කරමින් ඇය කියන්නේ මෙයයි. “විශේෂයෙන්ම මේ ලෝකයෙන් මිනිස්සුන්ට එල්ල වෙන මහා භයානක දේවල් දකිනකොටත් අහනකොටත් යෙහෝවා මගේ මිතුරෙකු වීම මට කියා නිම කළ නොහැකි ප්‍රබෝධයක්.”—යාකොබ් 2:23.

වයස අවුරුදු 20ක් වන අබිෂායි පූර්ණ කාලීන එවැන්ජලිස්තවරයෙකු ලෙසත් සභාවේ සභා සේවකයෙකු ලෙසත් සේවය කරයි. ඔහු තම අද්දැකීම විස්තර කරන්නේ මෙම වදන්වලිනි. “අදදින යෞවනයන් මුහුණ දෙන බොහෝ ගැටලු සමඟ කටයුතු කරන්නට මා දන්නා නිසා මට මහත් ප්‍රබෝධයක් දැනෙනවා. මම බයිබලයෙන් ඉගෙනගත් සත්‍යය නිසා, යෙහෝවාට මුළු ආත්මයෙන්ම සේවය කිරීමට මට අවශ්‍ය කරන දෙයට පූර්ණ අවධානයක් දීමට මට හැකි වී තිබෙනවා.”

ඇන්ට්වාන් තමාගේ නහඹර අවදියේදී සුළු දේකට පවා වහා කිපෙන්නෙක් බවට පත් වී සිටියේය. වරක් තමාගේ පංතියේ සිසුවෙකුට පුටුවකින් දමා ගැසූ හේ තවත් සිසුවෙකුට පැන්සලයකින් ඇන්නේය. ඇන්ට්වාන් අනුන්ට ප්‍රබෝධයක් ගෙන දුන් පුද්ගලයෙකුව සිටි බව කීම උගහටය! නමුත් බයිබලයෙන් ඔහුට ලැබුණු උපදෙස් නිසා ඔහුගේ හැසිරීම වෙනස් විය. දැන් 19වන වියේ පසු වන ඔහු සභාවේ සභා සේවකයෙකු ලෙසත් පූර්ණ කාලීන දේවසේවකයෙකු ලෙසත් සේවය කරයි. ඔහු මෙසේ කියයි. “මම යෙහෝවාට ස්තුතිවන්ත වෙනවා. මන්ද ඔහු ගැන දැනුම ලබාගැනීමටත් ආත්ම දමනය පවත්වාගනිමින් මගේ ජීවිත මාර්ගය වෙනස් කිරීමටත් තිබෙන අවශ්‍යතාව දැකගැනීමට ඔහු මට ඉඩහැරියා. මේ විදිහට මම හුඟක් ගැටලුවලින් වැළකුණා.”

යෞවන ක්‍රිස්තියානීන්ගේ ප්‍රබෝධජනක ආකල්පය තවත් අය නිරීක්ෂණය කර තිබේ. මාතියෝ ඉතාලියේ වෙසෙන සාක්ෂිකාර යෞවනයෙක්. පංතියේ යමෙක් නරක වචනයක් පාවිච්චි කළා නම් කුඩා දඩයක් ගෙවිය යුතුය කියා ඔහුගේ ගුරුවරිය තීරණය කළාය. මද කලකට පසුව, ළමෝ එම නීතිය අවලංගු කරන ලෙසට ඉල්ලා සිටියහ. මන්දයත් ඔවුන් පැවසුවේ, “නරක භාෂාව භාවිතා නොකර සිටීම අපහසු” බවයි. “නමුත් එය එහෙම විය යුතු නැති බව ගුරුවරිය පැවසුවා. ඊළඟට ඇය යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වූ මාව ආදර්ශයක් ලෙස පෙන්වමින් මගේ පිරිසිදු භාෂාව ගැන මට මුළු පංතිය ඉදිරියේදී ප්‍රශංසා කළා” යයි මාතියෝ පැහැදිලි කරන්නේය.

තායිලන්තයේ නොහික්මුණු ළමුන්ගෙන් යුත් එක් පංති කාමරයකදී ගුරුවරිය, 11 හැවිරිදි රාච්‍යාව මුළු පංතිය ඉදිරිපිටට කැඳවා ඔහුගේ හැසිරීම ගැන ප්‍රශංසා කරමින් මෙසේ කියා සිටියාය. “මෙයාව ආදර්ශයට ගන්න ඔයාලට බැරි ඇයි? ඔහු වැඩවලට හරිම උනන්දුයි. කඩිසරයි. ඒ වගේම හොඳින් හැසිරෙන ළමයෙක්.” අනතුරුව ඇය ළමුන්ව අමතා පැවසුවේ මෙසේයි. “මං හිතන්නේ ඔයාලටත් රාච්‍යා වගේ හොඳින් හැසිරෙන්න නම් යෙහෝවාගේ සාක්ෂිකරුවන් බවට පත් වෙන්න වෙයි.”

ක්‍රිස්තියානි යෞවනයන් දහස් ගණනක් යෙහෝවාව වඩාත් හොඳින් දැනගෙන ඔහුගේ කැමැත්ත කරනවා දැකීම මහත් සතුටකි. එවන් කදිම යෞවනයෝ තමන්ගේ වයසට වඩා ප්‍රඥාව ලබාගෙන සිටින බව පෙන්වති. වර්තමාන ජීවිතයේ සාර්ථකත්වය ලබාගැනීම සඳහා ඔවුන්ට උපකාර කිරීමට දෙවිට හැකි අතර, පැමිණෙන නව ලෝකයේදී මහිමාන්විත ජීවිතයක්ද ඔහු ඔවුන්ට දෙනවා ඇත. (1 තිමෝති 4:8) ආත්මික මුඩුබිමක් වී තිබෙන වත්මන් ක්‍රමයේ කලකිරීමෙන් හා අසහනයෙන් පෙළෙන බොහෝ තරුණයන් අතරේ, මෙම යෞවනයන් ප්‍රබෝධවත් ලෙස බැබළෙන්නේ කොයිතරම් වෙනස් විදිහකටද!