Skip to content

පටුනට යන්න

‘සාමාන්‍යයට වඩා වැඩි අවධානයක් දෙන්න’

‘සාමාන්‍යයට වඩා වැඩි අවධානයක් දෙන්න’

‘සාමාන්‍යයට වඩා වැඩි අවධානයක් දෙන්න’

‘අප කෙදිනකවත් ගසාගෙන නොයන පිණිස අප විසින් සවන් දෙන ලද දේවලට සාමාන්‍යයට වඩා වැඩි අවධානයක් දීම අවශ්‍යයි.’—හෙබ්‍රෙව් 2:1, NW.

1. අවධානය වෙනතකට යොමු කිරීම අනතුරුවලට මඟ පෑදිය හැකි බව නිදසුනකින් පැහැදිලි කරන්න.

 රිය අනතුරු නිසා එක්සත් ජනපදයේ පමණක් වාර්ෂිකව 37,000දෙනෙකු පමණ මියයන බව වාර්තා වේ. රියැදුරන් මාර්ගයට වැඩි අවධානයක් දුන්නා නම් එම මරණවලින් බොහොමයක් වළක්වාගත හැකිව තිබූ බව විශේෂඥයෝ පවසති. සමහර රියැදුරන්ගේ අවධානය වෙනතකට යොමුවීමට හේතුව මාර්ගවල තිබෙන වෙළඳ දැන්වීම් හා වෙනත් පුවරු දෙස බැලීම හෝ ජංගම දුරකථන භාවිත කිරීමයි. තවත් සමහරු රිය පදවන අතරතුර ආහාරද අනුභව කරති. මේ සෑම තත්වයකදීම අවධානය වෙනතකට යොමුවීමේ ප්‍රතිඵලයක් හැටියට අනතුරු සිදු විය හැක.

2, 3. පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට දුන් අවවාදය කුමක්ද? එසේ උපදෙස් දීම සුදුසු වූයේ මන්ද?

2 රථ වාහන නිෂ්පාදනය කිරීමට අවුරුදු 2,000කට ආසන්න කාලයකට කලින් ප්‍රේරිත පාවුල් අවධානය වෙනතකට යොමු විය හැකි තවත් සුවිශේෂ වූ දෙයක් හඳුන්වා දුන්නේය. මෙය ඇතැම් හෙබ්‍රෙව්වරුන්ගේ විනාශයට හේතු විය. නැවත නැඟිටවනු ලැබූ යේසුස් ක්‍රිස්තුස් දෙවිගේ දකුණු පැත්තේ හිඳගත් නිසා සියලුම දේවදූතයන්ට වඩා ඉහළ තනතුරක් ඔහුට දී තිබූ බව පාවුල් අවධාරණය කළේය. ඉන් අනතුරුව ඔහු පැවසුවේ මෙසේය. ‘අප කෙදිනකවත් ගසාගෙන නොයන පිණිස අප විසින් සවන් දෙන ලද දේවලට සාමාන්‍යයට වඩා වැඩි අවධානයක් දීම අවශ්‍ය වන්නේ එමනිසයි.’—හෙබ්‍රෙව් 2:1, NW.

3 හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් යේසුස් පිළිබඳව “සවන් දෙන ලද දේවලට සාමාන්‍යයට වඩා වැඩි අවධානයක් දීම” අවශ්‍ය වූයේ මන්ද? එක් හේතුවක් වූයේ යේසුස් පොළොවෙන් සමුගෙන ඒ වන විට අවුරුදු 30කට ආසන්න කාලයක් ගත වී තිබීමයි. සිය ස්වාමියා ඔවුන් සමඟ නොසිටීම නිසා ඇතැම් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් සැබෑ ඇදහිල්ලෙන් ඉවතට ගසාගෙන යෑමට පටන්ගෙන තිබිණ. මොවුහු තමන් නමස්කාරයේදී කලින් අනුගමනය කළ පිළිවෙත වූ යුදෙව් ආගම කෙරෙහි සිත යොමු කරන්නට පටන්ගත්තෝය.

ඔවුන් වඩාත් කිට්ටු අවධානයක් දීම අවශ්‍ය විය

4. ආපසු යුදෙව් ආගම වැලඳගැනීමට ඇතැම් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් තුළ ආශාවක් ඇති වන්ට ඇත්තේ මන්ද?

4 ආපසු යුදෙව් ආගම වැලඳගැනීමට ආශාවක් ක්‍රිස්තියානියෙකු තුළ ඇති වන්ට ඇත්තේ මන්ද? නීතිය යටතේ තිබූ නමස්කාර ක්‍රමයට අයත් වූයේ ඇසට පෙනෙන දේවල්ය. පූජකයන්ව දකින්නත් දවන පූජාවල සුවඳ ආඝ්‍රාණය කරන්නත් ජනයාට හැකි විය. කෙසේවෙතත් ඇතැම් ආකාරවලින් ක්‍රිස්තියානි ධර්මය ඊට වඩා බොහෝ වෙනස් විය. ක්‍රිස්තියානීන්ට යේසුස් ක්‍රිස්තුස් නමැති උත්තම පූජකයෙකු සිටියත් දශක තුනක සිට ඔහුව තමන්ගේ ඇස්වලින් දකින්ට ඔවුන්ට හැකියාවක් නොතිබිණ. (හෙබ්‍රෙව් 4:14) ඔවුන්ට දේවමාළිගාවක් තිබුණද, එහි ශුද්ධස්ථානය තිබුණේ ස්වර්ගයේය. (හෙබ්‍රෙව් 9:24) නීතිය යටතේ සිදු කළ ශාරීරික චර්මච්ඡේදනය මෙන් නොව ක්‍රිස්තියානි චර්මච්ඡේදනය සිදු වූයේ ‘ආත්මය මාර්ගයෙන් සිත තුළය.’ (රෝම 2:29, NW) මේ නිසා ක්‍රිස්තියානි ධර්මයට අයත් බොහෝ දේවල් ඇස්වලින් දැකිය නොහැකියි කියා හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් සිතීමට පටන්ගන්ට ඇති.

5. යේසුස් විසින් පිහිටවනු ලැබූ නමස්කාර ක්‍රමය නීතිය යටතේ තිබූ එකට වඩා උතුම් බව පාවුල් පෙන්වා දුන්නේ කෙසේද?

5 ක්‍රිස්තුස් විසින් පිහිටුවන ලද නමස්කාර ක්‍රමය හා සම්බන්ධ ඉතාමත් වැදගත් දෙයක් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් අවබෝධ කරගත යුතු විය. එනම්, එහි බොහොමයක් දේවල් පදනම් වූයේ පෙනෙන දේවලට වඩා ඇදහිල්ල මතය යන්නයි. එනමුත් එය අනාගතවක්තෘ මෝසෙස් මාර්ගයෙන් දෙන ලද නීතියට වඩා උතුම් විය. මේ ගැන පාවුල් මෙසේ ලීවේය. “එළුවන්ගෙත් ගොනුන්ගෙත් ලේවලින්ද, අශුද්ධ වී සිටින්නන්ට එළනෑම්බියෙකුගේ අළු ඉසීමෙන්ද මාංසය පවිත්‍ර වෙන හැටියට පිරිසිදු කරනු ලබන්නේ නම්, කැළලක් නැතුව සදාකාල ආත්මය කරණකොටගෙන තමන්ම දෙවිට පූජා වුණාවූ ක්‍රිස්තුස්ගේ ලෙයින් ජීවමාන දෙවිට සේවය කරන පිණිස, මළ ක්‍රියාවලින් නුඹලාගේ හෘදය සාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදු කරනු නොලබන්නේද?” (හෙබ්‍රෙව් 9:13, 14) යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව මත ඇදහිල්ල තැබීමෙන් ලබාගත හැකි සමාව, නීතිය යටතේ ඔප්පු කරන ලද පූජා මාර්ගයෙන් ලබාගත හැකිව තිබූ සමාවට වඩා බොහෝ ආකාරවලින් ශ්‍රේෂ්ඨ විය.—හෙබ්‍රෙව් 7:26-28.

6, 7. (අ) හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් “සවන් දෙන ලද දේවලට සාමාන්‍යයට වඩා වැඩි අවධානයක් දීම” හදිසි කාරණයක් වීමට හේතු වූයේ කුමක්ද? (ආ) පාවුල් හෙබ්‍රෙව්වරුන්ට සිය ලිපිය ලියන අවස්ථාව වන විට යෙරුසලම විනාශ වීමට තිබුණේ තව කොපමණ කාලයක්ද? (පාදසටහන බලන්න.)

6 හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් යේසුස් ගැන සවන් දෙන ලද දේවලට දැඩි අවධානයක් දිය යුතු වීමට තවත් හේතුවක් තිබිණ. යෙරුසලම විනාශ වන බවට ඔහු පුරෝකථනය කළේය. මේ ගැන ඔහු පැවසුවේ මෙසේය. “ඔබේ සතුරන් ඔබ වටා උල් කළ කණුවලින් බලකොටුවක් ගොඩනඟා, ඔබව වටලා, සෑම පැත්තෙන්ම ඔබට පීඩා කරන දවස් පැමිණෙන්නේය. තවද, ඔවුහු ඔබවත් ඔබ තුළ සිටින ඔබේ දරුවන්වත් පොළොවේ ගසා ඔබ තුළ ගලක් පිට ගලක් ඉතිරි නොකරන්නෝය. එසේ වන්නේ, ඔබව සෝදිසි කර බලන කාලය ඔබ වටහා නොගත් හෙයිනි.”—ලූක් 19:43, 44, NW.

7 මෙය සිදුවීමට නියමිතව තිබුණේ කවදාද? යේසුස් දවස හා පැය හෙළි කළේ නැත. ඒ වෙනුවට ඔහු මෙම උපදේශය දුන්නේය. “සේනාවන් කඳවුරු බැඳ යෙරුසලම වටලා සිටිනවා ඔබ දකින කල, ඇගේ පාළු කිරීම ළං වී තිබෙන බව දැනගන්න. එවිට යුදයේ සිටින අය කඳුවලට පලා යන්න. නුවර තුළ සිටින අය පිටත්ව යන්න. ගම්බද පළාත්වල සිටින අය නුවරට ඇතුල් නොවන්න.” (ලූක් 21:20, 21, NW) යේසුස් මෙම වදන් පවසා අවුරුදු 30ක් ගතවීමෙන් පසු, යෙරුසලමෙහි සිටි ඇතැම් ක්‍රිස්තියානීහු තමන් තුළ තිබූ හදිසිතාවේ හැඟීම නැති කරගෙන සිටියහ. එමෙන්ම තමන්ගේ අවධානය වෙනතකට යොමු කර තිබිණ. මෙය රියැදුරෙකු වාහනය පදවන අතරතුර වටපිට බලනවා හා සමාන දෙයක් විය. තමන් සිතන ආකාරය ඔවුන් වෙනස් කරගත්තේ නැත්නම් ඔවුන් විනාශයක් අද්දකින බව නිසැකයි. ඔවුන් ඒ ගැන සිතුවත් නැතත් යෙරුසලමේ විනාශය අත ළඟටම පැමිණ තිබිණ! a පාවුල්ගේ උපදේශය යෙරුසලමෙහි සිටි ආත්මික නින්දේ පසු වූ ක්‍රිස්තියානීන්ට අවදි වීම සඳහා කළ ඇඟවීමක් වූවා කියා සිතිය හැක.

අදදින “සාමාන්‍යයට වඩා වැඩි අවධානයක් දීම”

8. අප දෙවිගේ වචනයේ සත්‍යයන්ට “සාමාන්‍යයට වඩා වැඩි අවධානයක් දීම” අවශ්‍ය වන්නේ මන්ද?

8 මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් මෙන් අපත් දෙවිගේ වචනයේ සත්‍යයන්ට “සාමාන්‍යයට වඩා වැඩි අවධානයක් දීම” අවශ්‍යයි. ඒ මන්ද? අපත් වේගයෙන් පැමිණෙමින් තිබෙන විනාශයකට ළඟදීම මුහුණ දෙන නිසාය. මේ විනාශය එක ජාතියකට පමණක් නොව පවතින සමස්ත ක්‍රමයටම බලපානු ඇත. (එළිදරව් 11:18; 16:14, 16) යෙහෝවා මෙම ක්‍රියාමාර්ගය ගනු ලබන නිශ්චිත දවස හා පැය අප නොදන්නා බව සැබෑවකි. (මතෙව් 24:36) කෙසේවෙතත්, අප ජීවත් වන්නේ “අන්තිම දවස්වල” බව පැහැදිලිව අඟවන බයිබල් අනාවැකිවල ඉටුවීම අපි ඇස් දෙකින්ම දකින්නෙමු. (2 තිමෝති 3:1-5) එනිසා අපේ අවධානය වෙනතකට යොමු කරවන ඕනෑම දෙයකට අප එරෙහි විය යුතුය. අප දෙවිගේ වචනයට අවධානය දෙමින් දැඩි හදිසිතාවේ හැඟීමක් දිගටම පවත්වාගැනීම අවශ්‍යයි. “සිදුවීමට නියමිත මේ සියල්ලෙන්” බේරෙන්ට අපට හැක්කේ අප එසේ කරනවා නම් පමණි.—ලූක්. 21:36, NW.

9, 10. (අ) අප ආත්මික දේවලට අවධානය යොමු කරන බව පෙන්විය හැක්කේ කෙසේද? (ආ) දෙවිගේ වචනය ‘අපේ පාදයන්ට පහනක්’ හා ‘අපේ මාවතට එළියක්’ වන්නේ කෙසේද?

9 අප ආත්මික දේවලට “සාමාන්‍යයට වඩා වැඩි අවධානයක්” දෙමින් සිටින බව මේ තීරණාත්මක කාලවලදී අපට පෙන්විය හැක්කේ කෙසේද? එක් මාර්ගයක් නම් ක්‍රිස්තියානි රැස්වීම්වලට, එක්රැස්වීම්වලට හා සමුළුවට නිතිපතා යෑමයි. එමෙන්ම අප බයිබලය උනන්දුවෙන් අධ්‍යයනය කරන ශිෂ්‍යයන් විය යුතුය. මෙසේ කිරීමෙන් එහි කර්තෘ වන යෙහෝවාට ළංවීමට අපට පුළුවන. (යාකොබ් 4:8) පෞද්ගලික අධ්‍යයනයෙන් හා රැස්වීම් මගින් අප යෙහෝවා ගැන දැනුම දිගටම ලබාගන්නවා නම්, අප මෙම වදන් පැවසූ ගීතිකාකරු හා සමාන වනු ඇත. “ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය.”—ගීතාවලිය 119:105.

10 බයිබලය අනාගතය සඳහා වූ දෙවිගේ අරමුණු අපට පවසන නිසා එය ‘අපේ මාවතට එළියක්’ වෙයි. එමෙන්ම එය ‘අපේ පාදයන්ට පහනක්ද’ වේ. වෙනත් වචනවලින් පවසනවා නම්, අප ජීවිතයේ පීඩාකාරි ගැටලුවලට මුහුණ දෙන අවස්ථාවලදී අප ඊළඟ පියවර තබන විට අපට උපකාර කරන්ට එයට පුළුවන. මේ නිසයි, අප ඉගෙනගැනීම සඳහා සෙසු නමස්කාරකයන් සමඟ එක්රැස් වන විටත් පෞද්ගලිකව දෙවිගේ වචනය කියවන විටත් “සාමාන්‍යයට වඩා වැඩි අවධානයක් දීම” අතිවැදගත් දෙයක් වන්නේ. යෙහෝවාව සතුටු කරවන හා ඔහුගේ සිත ප්‍රීති කරවන නැණවත් හා ප්‍රයෝජනදායක තීරණ ගැනීමට අප ඉගෙනගන්නා තොරතුරු අපට උපකාරවත් වේ. (හිතෝපදේශ 27:11; යෙසායා 48:17) දෙවිගේ ආත්මික සැපයුම්වලින් අපට උපරිම ප්‍රයෝජන ගත හැකි වන ලෙස රැස්වීම්වලදී හා පෞද්ගලික අධ්‍යයනයේදී අපේ සිත වැඩි කාලයක් එක තැනක තබාගත හැක්කේ කෙසේද?

රැස්වීම්වලදී අවධානය දීම දියුණු කරගැනීම

11. සමහර අවස්ථාවලදී ක්‍රිස්තියානි රැස්වීම්වලට අවධානය දීම ලෙහෙසි දෙයක් නොවන්නේ මන්ද?

11 ඇතැම් අවස්ථාවලදී ක්‍රිස්තියානි රැස්වීම්වලට අවධානය යොමු කිරීම ලෙහෙසි දෙයක් නොවේ. ළදරුවෙකු අඬන විට හෝ ප්‍රමාද වී පැමිණෙන කෙනෙකු ආසනයක් සොයන විට අවධානය වෙනතකට යොමුවීම පහසුවෙන් සිදු විය හැක. දවසේ වැඩි වේලාවක් කාර්යබහුල වීම නිසා අපට මහත් වෙහෙස දැනෙයි. වේදිකාවේ සිට කතාව ඉදිරිපත් කරන තැනැත්තාගේ කතාව සිත්ගන්නාසුලු නොවන අවස්ථාවලදී නොදැනුවත්වම අප දවල් සිහින දකින්න පුළුවනි. නැත්නම් නිදි කිරා වැටෙන්න පුළුවනි. ඉදිරිපත් කරනු ලබන තොරතුරුවල තිබෙන වටිනාකම ගැන සිතා බලන විට, සභා රැස්වීම්වලදී අවධානය දීම දියුණු කරගැනීමට අප පියවර ගත යුතුය. අපට මෙය කළ හැක්කේ කෙසේද?

12. රැස්වීම්වලදී අවධානය දීම අපට පහසු කරවන්නේ කුමක්ද?

12 අප රැස්වීම්වලට හොඳින් සූදානම් වී පැමිණෙනවා නම් අවධානය යොමු කිරීම පහසුයි. එසේ නම්, රැස්වීම්වලදී සලකා බලනු ලබන තොරතුරු කලින් බැලීමට කාලය වෙන් කිරීම හොඳ අදහසක් නොවේද? සතිපතා බයිබල් කියවීම සඳහා වෙන් කර තිබෙන පරිච්ඡේදවලින් කොටසක් කියවා මෙනෙහි කිරීමට අවශ්‍ය වන්නේ සෑම දවසකම විනාඩි කිහිපයක් වෙන් කිරීම පමණයි. කලින් සැලසුම් කිරීමෙන් අපට පුළුවන්, සභා පොත් පාඩමට හා මුරටැඹ පාඩමට සූදානම් වීම සඳහා කාලය සොයාගන්න. අප සාදාගන්න කාලසටහන කුමක් වුවත්, එක දෙයක් නම් ස්ථිරයි. එය නම් සභා රැස්වීම්වලදී සලකා බලනු ලබන තොරතුරුවලට හොඳ අවධානයක් දීමට සූදානම් වීම උපකාරවත් වන බවයි.

13. රැස්වීම්වලදී සාකච්ඡා කරනු ලබන තොරතුරු කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කිරීමට අපට උපකාරවත් විය හැකි දේවල් මොනවාද?

13 හොඳින් සූදානම් වෙනවාට අමතරව, රාජ්‍ය ශාලාවේ ඉදිරි පෙළ ආසනවල අසුන් ගන්න විට හොඳ අවධානයක් දිය හැකි බව සමහරුන් සොයාගෙන තිබේ. කථිකයා සමඟ දෘෂ්ටි සම්බන්ධයක් පවත්වාගැනීම, ශුද්ධ ලියවිලි පාඨ කියවන විට ඒවා තමාගේ බයිබලයෙන් පෙරළා බැලීම හා සටහන් ගැනීම, අපේ සිත වෙනතකට යොමුවීම වළක්වාගත හැකි තවත් ක්‍රම කිහිපයකි. අවධානය යොමු කිරීමේ ඕනෑම ක්‍රමයකට වඩා වැදගත් දෙය වන්නේ සූදානම් කරගත් හදවතක් ඇතුව සිටීමයි. අප එකට එක්රැස් වීමේ අරමුණ අප තේරුම්ගැනීම අවශ්‍යයි. අප සෙසු ඇදහිලිවන්තයන් සමඟ එකට එක්රැස් වීමේ ප්‍රධාන අරමුණ වන්නේ යෙහෝවාට නමස්කාර කිරීමයි. (ගීතාවලිය 26:12; ලූක් 2:36, 37) අප ආත්මික පෝෂණය ලබාගන්නා වැදගත් මාධ්‍යයකි රැස්වීම්. (මතෙව් 24:45-47) එමෙන්ම ‘එකිනෙකාව ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට පෙලඹවීමට’ රැස්වීම්වලින් අපට ප්‍රස්තාවන් ලැබේ.—හෙබ්‍රෙව් 10:24, 25.

14. ඇත්තටම රැස්වීමක් සාර්ථක වන්නේ කුමක් නිසාද?

14 රැස්වීමක කොටස් මෙහෙයවන අයගේ ඉගැන්වීමේ හැකියාවන් අනුව රැස්වීමක ගුණය මනින්ට සමහරුන් නැඹුරු විය හැක. කථිකයන් දක්ෂ නම් රැස්වීමත් හොඳයි කියා සමහරු පවසති. ඒ නිසා, ඉගැන්වීම බලපෑමෙන් යුක්ත නැත්නම් රැස්වීම වැඩක් නැහැ කියා පැවසීමේ නැඹුරුවාවක් අප තුළ තිබිය හැකියි. රැස්වීමක කොටස් හසුරුවන අය ඉගැන්වීමේ කලාව යොදාගනිමින් සවන්දෙන්නන්ගේ හදවත්වලට ළඟාවීමට තමන්ගේ උපරිමය කළ යුතු බව ඇත්තයි. (1 තිමෝති 4:16) එනමුත් සවන් දෙන අප අනවශ්‍ය ලෙස විවේචනාත්මක නොවිය යුතුය. රැස්වීමක කොටස් මෙහෙයවන්නන්ගේ ඉගැන්වීමේ හැකියාව වැදගත් දෙයක් වුවත් රැස්වීමක සාර්ථකත්වය රඳා පවතින එකම සාධකය එය නොවේ. අපේ මූලික සැලකිල්ල යොමු විය යුත්තේ කථිකයා කොතරම් හොඳින් ඔහුගේ කතාව ඉදිරිපත් කරනවාද කියන දෙය කෙරෙහි නොව, නමුත් අප කොතරම් හොඳින් එයට සවන් දෙනවාද යන කාරණය කෙරෙහියි. ඔබ මෙයට එකඟ වන්නේ නැද්ද? අප රැස්වීම්වලට පැමිණ, ඉදිරිපත් කරනු ලබන තොරතුරුවලට අවධානය යොමු කරන විට අප කරන්නේ දෙවිගේ කැමැත්තට එකඟව ඔහුට නමස්කාර කිරීමයි. රැස්වීමක් සාර්ථක වීමට දායක වන්නේ එයයි. කථිකයාගේ හැකියාවන් කුමක් වුවත් අප මහත් ඕනෑකමින් දෙවි පිළිබඳ දැනුම ලබාගන්නවා නම් අප රැස්වීම්වලින් ප්‍රයෝජන ලබනු ඇත. (හිතෝපදේශ 2:1-5) එසේ නම්, අපේ රැස්වීම්වලදී ‘සාමාන්‍යයට වඩා වැඩි අවධානයක් දීමට’ අදිටන් කරගනිමු.

පෞද්ගලික අධ්‍යයනයෙන් පූර්ණ ප්‍රයෝජන ගනිමු

15. අධ්‍යයනය හා මෙනෙහි කිරීම අපට ප්‍රයෝජනවත් විය හැක්කේ කෙසේද?

15 පෞද්ගලික අධ්‍යයනයේ යෙදෙන විට හා මෙනෙහි කරන විට ‘සාමාන්‍යයට වඩා වැඩි අවධානයක් දීමෙන්’ අපට අත් කරගත හැකි ප්‍රයෝජන බොහෝය. බයිබලය සහ ක්‍රිස්තියානි ප්‍රකාශන කියවීම හා ඒවා ගැන ගැඹුරින් සිතා බැලීම දේවවචනයේ සත්‍යයන් අපේ හදවත්වල පැලපදියම් කරගැනීමට උදා වෙන අනගි ප්‍රස්තා ලෙස සැලකිය හැකියි. මෙය අප සිතන හා ක්‍රියා කරන ආකාරය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරනු ඇත. එමෙන්ම අපට යෙහෝවාගේ කැමැත්ත කිරීමෙන් මහත් ප්‍රීතියක් භුක්ති විඳීමටද එමගින් උපකාර ලැබෙනු ඇත. (ගීතාවලිය 1:2; 40:8) එනිසා අපේ සිත එක තැනක තබාගැනීමේ හැකියාව අප දියුණු කරගැනීම අවශ්‍යයි. මෙසේ කිරීමෙන් අප අධ්‍යයනය කරන කාලයෙන් ප්‍රයෝජන ලබන්ට පුළුවනි. අවධානය වෙනතකට යොමුවීම ඉතා පහසුවෙන් සිදු වන දෙයකි. දුරකථනය නාදවීම හෝ වෙනත් ශබ්දයක් වැනි කුඩා බාධාවන් නිසා අපේ අවධානය බිඳී යා හැක. එවන් බාධා නොතිබුණද දිගු වේලාවක් අවධානය යොමු කර තබාගැනීම අපට අමාරු දෙයක් විය හැක. අප වාඩි වන්නේ ආත්මිකව හොඳ පෝෂණයක් ලැබීමේ යහපත් අරමුණ ඇතුව වුවත්, වැඩි වේලාවක් යන්ට කලින් අපේ සිත වෙනත් දෙයක් කෙරෙහි යොමුවීමට ඉඩ තිබේ. අප දේවවචනය පෞද්ගලිකව අධ්‍යයනය කරද්දී ‘සාමාන්‍යයට වඩා වැඩි අවධානයක් දීමට’ අපට හැක්කේ කෙසේද?

16. (අ) පෞද්ගලික අධ්‍යයනය සඳහා කාලසටහනක් පිළියෙළ කරගැනීම වැදගත් වන්නේ මන්ද? (ආ) දේවවචනය අධ්‍යයනය කිරීම සඳහා ඔබ කාලය වෙන් කරගෙන තිබෙන්නේ කෙසේද?

16 අධ්‍යයනය සඳහා කාලසටහනක් පිළියෙළ කරගැනීමෙන් හා ඒ සඳහා වඩාත් සුදුසු පරිසරයක් තෝරාගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන වැඩිය. අපගෙන් බොහෝදෙනෙකුට තිබෙන කාලය අල්පය. එමෙන්ම හුදකලා වීමට ලැබෙන අවස්ථාද විරලය. වේගවත් දිය පහරකට අසු වූ ලී කැබැල්ලක් ගසාගෙන යන්නාක් මෙන් එදිනෙදා කඩිනමින් කරන වැඩ කටයුතු මගින් අපවද ගසාගෙන යන බවක් හැඟෙන්න පුළුවනි. කාර්යබහුලත්වය නමැති දිය පහර සමඟ පොරබදින අපේ වෑයම විය යුත්තේ නිසංසල වටපිටාවක් තිබෙන කුඩා දූපතකට සේන්දු වීමයි. එනම් බාධාවලින් තොර වේලාවන් සොයාගැනීමයි. අධ්‍යයනය කිරීම සඳහා අවස්ථාවක් ලැබෙන තෙක් අපට බලා සිටිය නොහැක. අප කළ යුත්තේ අධ්‍යයනය සඳහා කාලය ලැබෙන පරිදි තත්වය පාලනය කරගැනීමයි. (එපීස 5:15, 16) සමහරුන් අධ්‍යයනය සඳහා වෙන් කරගන්නේ එතරම් බාධා නොතිබිය හැකි උදෑසන කාලයයි. තවත් අයට වඩාත් හොඳම කාලය රාත්‍රි කාලයයි. කෙසේවෙතත්, මෙහිදී මතක තබාගත යුතු වැදගත්ම දෙය වන්නේ දෙවි ගැනත් ඔහුගේ පුත්‍රයා ගැනත් නිවැරදි දැනුම ලබාගැනීම අප විසින් නොසලකා නොහැරීමයි. (යොහන් 17:3) එනිසා පෞද්ගලික අධ්‍යයනය සඳහා කාලසටහනක් පිළියෙළ කරගෙන කෙසේ හෝ එය ක්‍රියාත්මක කිරීමට වෑයම් කරමු.

17. මෙනෙහි කිරීම යනු කුමක්ද? එයින් අපට ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද?

17 මෙනෙහි කිරීම කියන්නේ අධ්‍යයනය කිරීමෙන් අප ඉගෙනගත් දේවල් ගැඹුරින් සිතා බැලීමේ ක්‍රියාවලියයි. මෙහි ප්‍රයෝජන මිල කළ නොහැකියි. මුද්‍රිත පිටුවල තිබෙන දෙවිගේ සිතුවිලි ඒවායින් අරගෙන අපේ හදවත්වලට ඇතුල් කරගැනීමට අපට උපකාර කරන්නේ මෙනෙහි කිරීමයි. අපි “වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ” වීම සඳහා බයිබලයේ සඳහන් උපදෙස් අදාළ කරගත හැකි ආකාරය තේරුම්ගැනීමට අපට උපකාර කරන්නේද මෙනෙහි කිරීමයි. (යාකොබ් 1:22-25) එපමණක්ද නොව, පෞද්ගලික අධ්‍යයනයේ නිරත වන විට සලකා බලනු ලබන තොරතුරුවල යෙහෝවාගේ ගුණාංග කැපීපෙනෙන්ට සලස්වා තිබෙන ආකාරය ගැන ගැඹුරින් සිතා බලන්ට අපට ප්‍රස්තාව ලබා දෙන්නේද මෙනෙහි කිරීමයි. එමනිසා යෙහෝවාට තව තවත් ළංවීමට එය පිටුවහලක් වේ.

18. ඵලදායක ලෙස දේවල් මෙනෙහි කිරීම සඳහා අවශ්‍ය කරන්නේ මොනවාද?

18 අධ්‍යයනයෙන් හා මෙනෙහි කිරීමෙන් පූර්ණ ප්‍රයෝජන ගැනීමට නම් අපේ මනස කිසිම දෙයකින් බාධාවට පත්වීමට ඉඩ නොදිය යුතුයි. අලුත් තොරතුරු අපේ හදවතට ඇතුල් කරගැනීම සඳහා අප මෙනෙහි කරද්දී අවධානය වෙනතකට යොමු කරවන එදිනෙදා ජීවිතයේ දේවල් මනසින් ඉවත් කර දැමීම අවශ්‍යයි. මෙනෙහි කිරීම සඳහා කාලය හා හුදකලා වීම අවශ්‍ය වුවත්, දේවවචනයේ සඳහන් ආත්මික ආහාර අනුභව කිරීමෙන් හා සත්‍යය නමැති ජලය පානය කිරීමෙන් ලබන ප්‍රබෝධය මොනතරම්ද!

19. (අ) පෞද්ගලික අධ්‍යයනයේදී අවධානය යොමු කරන කාලය වැඩි කරගැනීමට ඇතමුන්ට උපකාරවත් වී තිබෙන්නේ කුමක්ද? (ආ) අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් අපට තිබිය යුතු ආකල්පය කුමක්ද? මෙම වැදගත් ක්‍රියාකාරකමෙන් අපට ලබාගත හැකි ප්‍රයෝජන මොනවාද?

19 අපට අවධානය යොමු කළ හැක්කේ කෙටි කාලයකට පමණක් නම් හෝ ටික වේලාවක් අධ්‍යයනය කිරීමෙන් පසු අපේ මනස එහා මෙහා යනවා නම් කුමක් කළ හැකිද? මුලින්ම අධ්‍යයනය සඳහා වඩා කෙටි කාලපරිච්ඡේදයන් වෙන් කර පසුව ක්‍රමානුකූලව එම කාලය වැඩි කිරීමෙන් සිත එක තැනක තබාගැනීමේ හැකියාව වැඩි කරගත හැකි බව ඇතමුන්ට පෙනී ගොස් තිබේ. අපේ ඉලක්කය විය යුත්තේ අධ්‍යයනය ඉක්මනින් කරගෙන යනවා වෙනුවට ප්‍රමාණවත් කාලයක් ඒ සඳහා යෙදවීමයි. සලකා බලනු ලබන විෂය ගැන ඉමහත් උනන්දුවක් හා ඇල්මක් අප වර්ධනය කරගැනීම අවශ්‍යයි. විශ්වාස වූ නුවණැති දාසයා විසින් සපයා තිබෙන ප්‍රකාශනවල සඳහන් තොරතුරු සම්භාරය යොදාගනිමින් තවදුරටත් පර්යේෂණ කිරීමට අපට පුළුවනි. හැකි සෑම වෑයමක්ම දරා ‘දෙවිගේ ගැඹුරු දේවල්’ සෝදිසි කර බැලීමෙන් අත් කරගත හැකි ප්‍රයෝජන බොහෝය. (1 කොරින්ති 2:10) එසේ කිරීමෙන් දෙවි පිළිබඳ අපේ දැනුම තවත් වැඩි කරගැනීමට හා අපේ තේරුම්ගැනීමේ හැකියාව වර්ධනය කරගැනීමට අපට පුළුවනි. (හෙබ්‍රෙව් 5:14) අප කඩිසර ලෙස දේවවචනය අධ්‍යයනය කරන ශිෂ්‍යයන් නම් අපි “අනිත් අයට ඉගැන්වීමට ප්‍රමාණවත් සුදුසුකම්” ලබන්නෙමු.—2 තිමෝති 2:2, NW.

20. යෙහෝවා සමඟ ඉතා කිට්ටු, සුහද සබඳතාවක් ඇති කරගෙන එය දිගටම පවත්වාගැනීමට අපට හැක්කේ කෙසේද?

20 නිතිපතා ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑම හා පෞද්ගලික අධ්‍යයනයේ නිරත වීම, යෙහෝවා සමඟ ඉතා කිට්ටු, සුහද සබඳතාවක් ගොඩනඟා ගැනීමටත් එය දිගටම පවත්වාගැනීමටත් අපට සපයන්නේ ඉමහත් උපකාරයකි. ගීතිකාකරුද මෙය අද්දුටු බව පෙනී යයි. ඔහු වරක් දෙවිට මෙසේ පැවසුවේය. “ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේම කරම්ද! දවස මුළුල්ලේම ඒක මාගේ භාවනාවය.” (ගීතාවලිය 119:97) එසේ නම් අපි හැකි සෑම උත්සාහයක්ම දරා නිතිපතාම රැස්වීම්වලට, එක්රැස්වීම්වලට හා සමුළුවලට යමු. බයිබලය අධ්‍යයනය කිරීමට හා මෙනෙහි කිරීමට කාලය සොයාගෙන එයින් උපරිම ප්‍රයෝජන නෙළාගනිමු. මෙසේ දේවවචනයට “සාමාන්‍යයට වඩා වැඩි අවධානයක්” දීමෙන් අප මහඟු විපාක අත් කරගන්න බව නිසැකයි.

[පාදසටහන]

a හෙබ්‍රෙව්වරුන්ගේ ලිපිය ඇතැම්විට ලියනු ලැබුවේ පො.යු. 61දී පමණය. එසේ නම්, සෙස්ටියස් ගැලස් යටතේ පැමිණි හමුදා යෙරුසලම වටේ කඳවුරු බැඳගත්තේ වසර පහක් තරම් කෙටි කලකට පසුවය. එම හමුදා ඉක්මනින්ම ඉවත් වූ අතර අවදියෙන් සිටි ක්‍රිස්තියානීන්ට පලා යෑමට එමගින් අවස්ථාව උදා විය. ඉන් වසර හතරකට පසුව සෙන්පති ටයිටස් යටතේ පැමිණි රෝම හමුදා විසින් නගරය විනාශ කරන ලදි.

ඔබට මතකද?

• ඇතැම් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් සැබෑ ඇදහිල්ලෙන් ඉවතට ගසාගෙන ගියේ මන්ද?

• ක්‍රිස්තියානි රැස්වීම්වලදී අපට එක දිගට අවධානය දිය හැක්කේ කෙසේද?

• බයිබලය පෞද්ගලිකව අධ්‍යයනය කිරීමෙන් හා මෙනෙහි කිරීමෙන් ප්‍රයෝජන ගැනීමට අපට උපකාරවත් වන්නේ මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[11වන පිටුවේ පින්තූරය]

ඉතා ආසන්නව තිබූ යෙරුසලමේ විනාශය ගැන හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් සුපරීක්ෂාවෙන් සිටිය යුතු විය

[13වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි රැස්වීම්වලින් ප්‍රයෝජන ගැනීමට තම දරුවන්ට උපකාර කරන්ට දෙමාපියන්ට හැකියි