Skip to content

පටුනට යන්න

“සෙප්ටූඅජින්ට්” අතීතයේදී සේම වර්තමානයේදීත් ප්‍රයෝජනවත්ය

“සෙප්ටූඅජින්ට්” අතීතයේදී සේම වර්තමානයේදීත් ප්‍රයෝජනවත්ය

“සෙප්ටූඅජින්ට්” අතීතයේදී සේම වර්තමානයේදීත් ප්‍රයෝජනවත්ය

එතියෝපීය බලවතෙක් යෙරුසලමේ සිට තම ගම රට බලා යමින් සිටියි. කාන්තාර මඟක් හරහා අසු බැඳි කරත්තයෙන් යන ඔහු ආගමික අකුළන පොතකින් යමක් හඬනගා කියවයි. තමන් කියවූ දෙයෙහි තේරුම දැනගත් විට එය ඔහුගේ ජීවිතයට කොතරම් බලපෑවාද කිවහොත් ඒ මොහොතේ සිටම ඔහුගේ ජීවිතය වෙනස් විය. (ක්‍රියා 8:26-38) යෙසායා 53වන පරිච්ඡේදයේ 7 සහ 8වන වගන්ති කියවමින් සිටි ඒ මිනිසා එය කියවූයේ මුල්ම බයිබල් පරිවර්තනයෙනි. එය නම්, ග්‍රීක් සෙප්ටූඅජින්ට් පරිවර්තනයයි. මේ පරිවර්තිත කෘතිය සියවස් ගණනාවක් පුරා බයිබලයේ අන්තර්ගත පණිවිඩය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් කොතරම් වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබෙනවාදැයි කිවහොත් එය ලෝකය වෙනස් කළ බයිබල් පරිවර්තනය ලෙස හඳුන්වනු ලබයි.

සෙප්ටූඅජින්ට් පරිවර්තනය සැලසුම් කළේ කිනම් තත්වයන් යටතේදීද? කවදාද? එවන් පරිවර්තනයක අවශ්‍යතාව පැනනැඟුණේ මක්නිසාද? පසු වූ සියවස් ගණනාව පුරා එය කොතරම් ප්‍රයෝජනවත් දෙයක් වී තිබේද? සෙප්ටූඅජින්ට් මාර්ගයෙන් අපට යමක් ඉගෙනගත හැකි නම්, ඒ කුමක්ද?

ග්‍රීක් භාෂාව කතා කරන යුදෙව්වන් වෙනුවෙන් සැකසුණි

ෆිනීසිය නගරයක් වන තීර් විනාශ කර, පො.යු.පෙ. 332දී මහා ඇලෙක්සැන්ඩර් ඊජිප්තුවට ළඟා වූ විට ඔහුව ගැළවුම්කරුවෙකු ලෙස එහිදී පිළිගනු ලැබුණි. එහි ඔහු පුරාණ ලෝකයේ අධ්‍යාපන මධ්‍යස්ථානයක් වූ ඇලෙක්සැන්ඩ්‍රියාව පිහිටුවීය. තමන් අත් පත් කරගත් දේශවල ග්‍රීක් සංස්කෘතිය පැතිරවීමට තිබූ ආශාව නිසා, සතර දිශාවටම පැතිරී තිබූ ඔහුගේ විශාල රාජධානියට ඇලෙක්සැන්ඩර් පොදු ග්‍රීක් (කීනි) භාෂාව හඳුන්වා දුන්නේය.

පොදු යුගයට පෙර තුන්වන සියවස වන විට, ඇලෙක්සැන්ඩ්‍රියාව විශාල යුදෙව් ප්‍රජාවකගේ වාසස්ථානය බවට පත් වුණි. බබිලෝනියේ වහල්භාවයෙන් පසු පලස්තීනයෙන් පිට විසිරී ජීවත් වූ යුදෙව්වන් බොහෝදෙනෙක් ඇලෙක්සැන්ඩ්‍රියාවට සංක්‍රමණය කළෝය. මේ යුදෙව්වෝ කොතරම් හොඳින් හෙබ්‍රෙව් භාෂාව දැන සිටියෝද? මක්ලින්ටොක් සහ ස්ට්‍රෝංගේ සයික්ලෝපීඩියාහි මෙසේ පවසයි. “යුදෙව්වන් බබිලෝනියේ වහල්භාවයෙන් නැවත පැමිණි පසු, ඔවුන් සතු පුරාණ හෙබ්‍රෙව් භාෂා ඌරුව සෑහෙන දුරට ගිලිහී ගොස් තිබුණු බව කවුරුත් දන්නා කරුණකි. පලස්තීනයේ තිබූ සිනගෝගවලදී මෝසෙස්ගේ පොත්වලින් කළ කියවීම් ආදිය කල්දීය භාෂාවකින් තේරුම් කර දෙන්නට විය. . . . ඇතැම්විට, ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටි යුදෙව්වන්ට හෙබ්‍රෙව් භාෂාව පිළිබඳ ඊටත් අල්ප දැනුමක් තිබෙන්නට ඇත. මන්ද, ඔවුන් හුරුව සිටියේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ග්‍රීක් භාෂාවටයි.” මෙසේ, හෙබ්‍රෙව් ලියවිලි ග්‍රීක් භාෂාවට පරිවර්තනය කිරීම සඳහා පැහැදිලිවම ඇලෙක්සැන්ඩ්‍රියාව සුදුසු වාතාවරණයක් සැපයීය.

ටොලමි ෆිලඩෙල්ෆස්ගේ පාලන සමයේදී (පො.යු.පෙ. 285-246 දක්වා) හෙබ්‍රෙව් නීතියේ අනුවාදයක් ග්‍රීක් භාෂාවට පරිවර්තනය කර අවසන් කළ බව පො.යු.පෙ. දෙවන සියවසේ විසූ යුදෙව්වෙක් වූ අරිස්ටොබියුලස් ලීවේය. “නීතිය” කියා කීමෙන් අරිස්ටොබියුලස් අදහස් කළේ කුමකටදැයි යන්න පිළිබඳ විවිධ මත තිබේ. සමහරුන් සිතන්නේ ඔහු යොමු දැක්වූයේ හුදෙක් පංච පුස්තකයට කියාය. තවත් අය සිතන්නේ, ඔහු අදහස් කළේ මුළු හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලම බවය.

ඒ කෙසේවෙතත්, ශුද්ධ ලියවිල්ල හෙබ්‍රෙව් භාෂාවෙන් ග්‍රීක් භාෂාවට පරිවර්තනය කිරීමට යුදෙව් විශාරදයන් 72ක් මුලින්ම හවුල් වූ බවයි සම්ප්‍රදායට අනුව කියැවෙන්නේ. පසු කාලයේදී, ආසන්න නිවැරදි ඉලක්කමක් වන 70 පාවිච්චි කරන්ට යෙදුණි. මෙසේ, මෙම අනුවාදය “70” යන්න අර්ථවත් කෙරෙන සෙප්ටූඅජින්ට් ලෙස හැඳින්වුණි. රෝම අංක ක්‍රමයේ 70 ලියැවෙන LXX ලෙස එය නම් කෙරුණි. පොදු යුගයට පෙර දෙවන සියවසේ නිමාවත් සමඟම හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ සියලුම පොත් ග්‍රීක් භාෂාවෙන් කියවීමට හැකි වුණි. මේ ආකාරයට, ග්‍රීක් භාෂාවට පරිවර්තනය වූ මුළු හෙබ්‍රෙව් ලියවිල්ලට සෙප්ටූඅජින්ට් යන නම පටබැඳුණි.

මුල් සියවසේදී ප්‍රයෝජනවත් විය

යේසුස් ක්‍රිස්තුස් හා ඔහුගේ ප්‍රේරිතයන් විසූ සමයේ හා ඊට පෙර කාලයේදී ග්‍රීක් භාෂාව කතා කළ යුදෙව්වෝ සෙප්ටූඅජින්ට් පරිවර්තනය බහුල ලෙස පාවිච්චි කළහ. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දිනයේදී යෙරුසලමට රැස් වූ යුදෙව්වන් හා යුදෙව්වන්ගේ ආගමට හැරුණු බොහෝදෙනෙකු පැමිණ සිටියේ ග්‍රීක් භාෂාව භාවිත කළ ආසියාවේ, ඊජිප්තුවේ, ලිබියාවේ, රෝමයේ හා ක්‍රීතයේ දිස්ත්‍රික්කවලිනි. ඔවුන් පුරුද්දක් හැටියට සෙප්ටූඅජින්ට් පරිවර්තනය කියවූ අය වූ බවට සැකයක් නැත. (ක්‍රියා 2:9-11) මෙලෙස, මුල් සියවසේදී ශුභාරංචිය පැතිරවීමට මෙම පරිවර්තනය මහත් බලපෑමක් විය.

උදාහරණයක් හැටියට, සිරේනිය, ඇලෙක්සැන්ඩ්‍රියාව, සිලීසියාව හා ආසියාව වැනි ප්‍රදේශවලින් පැමිණි මිනිසුන් සමඟ කතා කළ ස්තේපන් නමැති ගෝලයා මෙසේ පැවසුවේය. “යෝසෙප් මිනිසුන් යවා තම පිය වූ යාකොබ්වද ඔහුගේ සියලු නෑදෑයන්වද එතැනින් කැඳවාගත්තේය. එම මිනිසුන් සැත්තෑ පස්දෙනෙකු විය.” (ක්‍රියා 6:8-10; 7:12-14, NW) උත්පත්ති 46වන පරිච්ඡේදයේ සඳහන් එම වාර්තාව හෙබ්‍රෙව් ලියවිල්ලෙහි කියවෙන්නේ, යෝසෙප්ට සිටි නෑදෑයන් සංඛ්‍යාව සැත්තෑදෙනෙක්ය කියායි. නමුත්, සෙප්ටූඅජින්ට්හි එය සඳහන් වන්නේ සැත්තෑ පස්දෙනෙකු හැටියටයි. පෙනෙන විදිහට, ස්තේපන් මෙහිදී උපුටාගෙන තිබෙන්නේ සෙප්ටූඅජින්ට් පරිවර්තනයෙනි.—උත්පත්ති 46:20, 26, 27.

ප්‍රේරිත පාවුල් තම දෙවැනි හා තුන්වැනි මිෂනාරි සංචාරවලදී කුඩා ආසියාව හා ග්‍රීසිය පුරා ගමන් කරමින් දේවභයැති අන්‍යජාතීන් මෙන්ම “දෙවිට නමස්කාර කරන ග්‍රීකවරුන්” බොහෝදෙනෙකුට දේශනා කළේය. (ක්‍රියා 13:16, 26; 17:4; NW) මොවුන් තුළ දෙවි කෙරෙහි භයක් ඇතිවීමට හා ඔහුට නමස්කාර කිරීමට පදනම් වූ හේතුව වූයේ, ඔවුන් දෙවි ගැන සෙප්ටූඅජින්ට් මාර්ගයෙන් දැනගෙන සිටීමයි. ග්‍රීක් භාෂාව කතා කරන මේ මිනිසුන්ට දේශනා කරද්දී පාවුල් බොහෝ අවස්ථාවලදී මෙම පරිවර්තනයෙන් උපුටාගැනීම් කළ අතර, ඇතැම් අවස්ථාවලදී එහි ඇති අදහස ඔහුගේ වචනයෙන් විස්තර කළේය.—උත්පත්ති 22:18; ගලාති 3:8.

හෙබ්‍රෙව් ලියවිල්ලෙන් කළ ඍජු උපුටා දැක්වීම් 320ක් සහ සමස්තයක් හැටියට උපුටා දැක්වීම් හා යොමු දැක්වීම් 890ක් පමණ ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිල්ල තුළ අන්තර්ගතය. මේවායින් බොහොමයක් රැගෙන තිබෙන්නේ සෙප්ටූඅජින්ට් පරිවර්තනයෙනි. ප්‍රතිඵලයක් හැටියට, දේවානුභාවයෙන් දුන් ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිල්ලේ කොටසක් බවට පත් වූයේ හෙබ්‍රෙව් අත්පිටපත්වලින් ගත් ඒවා නොව නමුත්, මෙම පරිවර්තනයෙන් උපුටාගත් ඒවාය. එය මොනතරම් සුවිශේෂී කාරණාවක්ද! ජනාවාස පොළොව මුළුල්ලේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කරන බවට යේසුස් පුරෝකථනය කර තිබුණි. (මතෙව් 24:14) එම අරමුණ ඉටු කරගැනීම සඳහා ලොව වටා සිටින ජනයාට ඔවුන්ගේම භාෂාවෙන් දෙවිගේ ආනුභාවය ලද වචනය කියවීමට හැකි වන පරිදි එය පරිවර්තනය කිරීමට යෙහෝවා ඉඩහරියි.

අදටත් ප්‍රයෝජනවත්ය

සෙප්ටූඅජින්ට් අදටත් වටිනා වස්තුවක් වන අතර, පසු කාලයක පිටපත් කළ හෙබ්‍රෙව් අත්පිටපත්කරුවන් අතින් සිදු වූ දෝෂ අල්ලාගැනීමටත් මෙය යොදාගනු ලැබේ. උදාහරණයක් හැටියට, උත්පත්ති 4:8හි [NW] සඳහන් වාර්තාවේ මෙසේ කියැවේ. “පසුව, කායින් තම සහෝදර වූ ආබෙල්ට මෙසේ කීවේය: [‘අපි කෙතට යමු.’] මෙසේ ඔවුන් කෙතට ගිය පසු කායින් ඔහුගේ සහෝදරයාට පහර දී ඔහුව මැරුවේය.”

“අපි කෙතට යමු” යැයි මෙහි වරහන් යොදා දක්වා ඇති වගන්තිය පො.යු. දහවන සියවසට දින දැමූ හෙබ්‍රෙව් අත්පිටපත්වල දක්නට නොමැත. කෙසේවෙතත්, පැරණි සෙප්ටූඅජින්ට් අත්පිටපත්වල හා වෙනත් මුල් යොමු දැක්වීම්වල එය ඇතුළත් කර ඇත. එම හෙබ්‍රෙව් පිටපත්වල කතාව හඳුන්වා දුන්නද, කී දෙය සඳහන් කර නැත. ඒ කුමක් නිසා විය හැකිද? උත්පත්ති 4:8හි “කෙත” යන වචනය වාක්‍ය දෙකක දක්නට ලැබෙන නිසා, මක්ලින්ටොක් හා ස්ට්‍රෝංගේ සයික්ලෝපීඩියා මෙවන් අදහසක් ඉදිරිපත් කරයි. “[එකම] වචනය දෙතැනක තිබූ නිසා, හෙබ්‍රෙව් අත්පිටපත්කරුවා අතින් එක වාක්‍යයක් ගිලිහෙන්ට ඇත.” මෙසේ, අත්පිටපත්කරුවා අතින් අපි “කෙතට යමු” යන මුල් කියමන මඟහැරෙන්ට ඇත. පැහැදිලිවම, පසු කාලයේදී කරන ලද පිටපත්වල දෝෂ අල්ලාගැනීමට සෙප්ටූඅජින්ට් පරිවර්තනය හා දැනට පවතින වෙනත් පැරණි අත්පිටපත් ප්‍රයෝජනවත් විය හැකිය.

අනිත් අතට, සෙප්ටූඅජින්ට්හි පිටපත්ද දෝෂවලින් තොර නැත. සමහර ග්‍රීක් වගන්ති නිදොස් කරගැනීම සඳහා හෙබ්‍රෙව් ලියවිල්ලට යොමු වූ අවස්ථාද නැතුවා නොවේ. මෙසේ, හෙබ්‍රෙව් අත්පිටපත් ග්‍රීක් හා වෙනත් භාෂා පරිවර්තන සමඟ සසඳන විට, පරිවර්තන දෝෂ මෙන්ම පිටපත් කිරීමේ අඩු පාඩු හසු වේ. මෙමගින් දෙවිගේ වචනයේ නිරවද්‍ය පරිවර්තනයක් කිරීමට මඟ පෑදේ.

අද තිබෙන සෙප්ටූඅජින්ට්හි සම්පූර්ණ පිටපත් පො.යු. හතරවැනි සියවස තරම් ආපස්සට දිවෙයි. හෙබ්‍රෙව් ටෙට්‍රාග්‍රැමටනයෙන් (YHWH) නියෝජනය වන යෙහෝවා යන දිව්‍ය නාමය එවැනි පිටපත්වල හා ඉන්පසුව සිදු කළ පිටපත්වල ඇතුළත් වන්නේ නැත. එම පිටපත්වල හෙබ්‍රෙව් ලියවිල්ලේ ටෙට්‍රාග්‍රැමටනය සඳහන් වන සෑම තැනකම “දෙවි” හෝ “ස්වාමීන්” සඳහා යොදන ග්‍රීක් වචනය සඳහන් වී තිබේ. නමුත්, දැනට අවුරුදු 50කට පමණ පෙර පලස්තීනයේදී සොයාගත් දෙයකින් මීට හේතුව අනාවරණය විය. මළ මුහුදේ බටහිර වෙරළ අසල තිබූ ගුහා ගවේෂණය කළ කණ්ඩායමක් ග්‍රීක් භාෂාවෙන් ලියූ ප්‍රොපේතවරුන් 12දෙනාගේ (හොෂෙයා සිට මලාකී දක්වා) අකුළන ලද පුරාණ හම් පොතක කැබලි සොයාගත්තේය. මේ ලියවිලි පො.යු.පෙ. 50ත් පො.යු. 50ත් අතර කාලයට දින දමා ඇත. මේ වඩාත් පැරණි කොටස්වල ටෙට්‍රාග්‍රැමටනය වෙනුවට “දෙවි” හෝ “ස්වාමීන්” සඳහා යොදන ග්‍රීක් වචනය සඳහන් වී නොතිබුණි. මෙසේ, මුල් සෙප්ටූඅජින්ට් අනුවාදයෙහි දිව්‍ය නාමය පාවිච්චි කර තිබුණේය යන කාරණය තහවුරු විය.

වර්ෂ 1971දී, පුරාණ පැපිරස් අකුළන පොත්වල කොටස් අඩංගු ප්‍රකාශනයක් (ෆෝආඩ් 266 පැපිරායි) මුදාහැරුණි. පොදු යුගයට පෙර දෙවැනි හෝ පළමු සියවසට දින දමා ඇති සෙප්ටූඅජින්ට්හි මේ කොටස්වලින් හෙළි වන්නේ කුමක්ද? ඒවායේද දිව්‍ය නාමය සුරැකී තිබුණි. යේසුස් හා ඔහුගේ මුල් සියවසේ ගෝලයන් දෙවිගේ නාමය දැන සිටි බවටත් එය පාවිච්චි කළ බවටත් සෙප්ටූඅජින්ට්හි මෙම මුල් කොටස් ප්‍රබල සාක්ෂියක් සපයයි.

අද දවස වන විට ඉතිහාසයේ වැඩිම භාෂා ගණනකට පරිවර්තනය කළ පොත බයිබලයයි. මිනිස් පවුලෙන් සියයට 90කට වැඩි ප්‍රමාණයකට තමන්ගේම භාෂාවෙන් බයිබලයෙන් කොටසක්වත් ලබාගැනීමේ හැකියාව ඇත. වත්මන් භාෂාවට පරිවර්තනය කළ නිවැරදි බයිබල් පරිවර්තනයකට අපි විශේෂයෙන්ම ණයගැති වන්නෙමු. එය නම්, දැනට 40කට වැඩි භාෂා ගණනකින් ලබාගත හැකි ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනයයි. ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය—යොමුසටහන් සහිතව නමැති බයිබලයෙහි සෙප්ටූඅජින්ට් හා වෙනත් පැරණි අත්පිටපත්වලින් ගත් පාදසටහන්, යොමු දැක්වීම් සියගණනක් තිබේ. ඇත්ත වශයෙන්ම, අපේ කාලයේ සිටින බයිබල් ශිෂ්‍යයන්ට සෙප්ටූඅජින්ට් පරිවර්තනයෙහි ඇති වැදගත්කම හා වටිනාකම මිල කළ නොහැකිය.

[26වන පිටුවේ පින්තූරය]

පිලිප් නමැති ගෝලයා විස්තර කළේ “සෙප්ටූඅජින්ට්” පරිවර්තනයෙන් කියවූ කොටසකි

[29වන පිටුවේ පින්තූර]

ප්‍රේරිත පාවුල් නොයෙක් විට “සෙප්ටූඅජින්ට්” පරිවර්තනයෙන් උපුටා දැක්වූයේය