Skip to content

පටුනට යන්න

අර්බුදකාරී කාලවලදී සැනසිල්ලක්

අර්බුදකාරී කාලවලදී සැනසිල්ලක්

අර්බුදකාරී කාලවලදී සැනසිල්ලක්

අද කාලයේ ප්‍රවෘත්ති අසා නම් සැනසිල්ලක් ලබාගන්න බැහැ. “වර්තමාන සිදුවීම් කොයිතරම් කලකිරෙනසුලුද කිව්වොත් ප්‍රවෘත්ති බලනවාද නැද්ද කියා තීරණය කරන්න තරම්වත් අපට ධෛර්යයක් නැහැ” කියා එක්තරා පුද්ගලයෙක් ලිව්වා. යුද්ධ, ත්‍රස්තවාදි ක්‍රියාවන්, දුක් ගාවිනා, අපරාධ හා ලෙඩ රෝග ලෝකයේ අස්සක් මුල්ලක් නෑර දැකගන්න පුළුවන්. මෙවැනි දුක්ඛිත දේවල් දැනටමත් අපට ඍජුවම බලපාන්නේ නැත්නම් වැඩි කල් නොගොස් එසේ සිදු විය හැකියි.

මෙවන් තත්වයන් මතු වෙයි කියා බයිබලය ඉතා නිවැරදි ලෙස පුරෝකථනය කර තිබුණා. අපි ජීවත් වන කාලය ගැන විස්තර කරමින් යේසුස් පැවසුවේ මහත් යුද්ධ, වසංගත, ආහාර හිඟකම් හා භූමිකම්පා ඇති වන බවයි. (ලූක් 21:10, 11) ඒ හා සමානව, කෲර, මුදලට ප්‍රේම කරන හා යහපතට ප්‍රේම නොකරන මනුෂ්‍යයන් ජීවත් වන “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරී කාලවල්” [NW] ගැන ප්‍රේරිත පාවුල් කතා කළා. ඔහු මෙම කාලය හැඳින්වූයේ “අන්තිම දවස්” යනුවෙන්.—2 තිමෝති 3:1-5.

ඉතිං ලෝක සිදුවීම් විස්තර කරද්දී ප්‍රවෘත්ති වාර්තා සහ බයිබල් අනාවැකි අතර යම් සමානකමක් තිබෙන බව පිළිගත යුතුයි. නමුත් ඒ හැර ඒ දෙක අතර වෙන කිසිම සමානකමක් නැහැ. ප්‍රවෘත්ති වාර්තාවල නොපෙන්වන පැත්තක් බයිබල් වාර්තාවේ පෙන්වා තිබෙනවා. මෙතරම් දුෂ්ටකම් පවතින්නේ ඇයි කියා පමණක් නොවෙයි අනාගතයේදී අපට කුමක් බලාපොරොත්තු විය හැකිද කියාත් දෙවිගේ ආනුභාවයෙන් ලියැවුණු ඔහුගේ වචනයෙන් අපට තේරුම්ගත හැකියි.

දුෂ්ටකම ගැන දෙවිට හැඟෙන ආකාරය

අද පවතින වේදනාකාරී තත්වයන් ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද කියා බයිබලය පැහැදිලි කරනවා. වත්මන් දින ගැටලු සිදු වන බව කලින් දුටු නමුත් ඔහු ඒවාට අනුමැතිය දෙන්නේවත් ඒවා සදාකාලයටම පවතින්න ඉඩහරින්නේවත් නැහැ. ප්‍රේරිත යොහන් ලිව්වේ “දෙවි ප්‍රේමයය” කියායි. (1 යොහන් 4:8) යෙහෝවා මිනිස්සු ගැන ඉමහත් සැලකිල්ලක් දක්වනවා වගේම දුෂ්ටකමට වෛර කරනවා. දෙවි යහපත් මෙන්ම දයානුකම්පිත කෙනෙක් වන නිසාත්, දුෂ්ටකම මෙලොවින් තුරන් කිරීමට ඔහුට බලය මෙන්ම කැමැත්ත තිබෙන නිසාත් සැනසිල්ලක් ලබාගැනීම සඳහා ඔහු වෙතට හැරීම යෝග්‍ය දෙයක්. ගීතිකාකරු මෙසේ ලිව්වා. “[දෙවි විසින් පත් කරන ලද රජ] මොරගසන දිළිඳාද උපකාරකයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. ඔහු දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පා කරන්නේය, දිළිඳුන්ගේ ප්‍රාණයන් ගළවන්නේය. ඔහු ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය; ඔවුන්ගේ ලේ ඔහුගේ ඇස් හමුයෙහි අනර්ඝ වන්නේය.”—ගීතාවලිය 72:12-14.

දුක් පීඩා විඳින අය ගැන ඔබට අනුකම්පාවක් දැනෙන්නේ නැද්ද? නිසැකවම ඔබට එසේ දැනෙනවා ඇති. අපව මවා ඇත්තේ යෙහෝවාගේ ස්වරූපයෙන් වන නිසා අනුකම්පාව නමැති ගුණාංගය අපට ලැබී තිබෙන්නේ ඔහුගෙන්. (උත්පත්ති 1:26, 27) ඒ නිසා යෙහෝවා, මිනිසාගේ දුක් වේදනාවන් ගණනකට නොගන්නා හිතක් පපුවක් නොමැති කෙනෙක් නොවන බව අපට සහතික විය හැකියි. වෙන කොයිම කෙනෙකුටත් වඩා යෙහෝවාව හොඳින් දැන හඳුනාගෙන සිටින යේසුස් ඉගැන්වූයේ යෙහෝවා අපි ගැන දැඩි උනන්දුවක් දක්වන, දයානුකම්පාවෙන් පූර්ණ හා මෘදු මොළොක් හැඟීමෙන් යුත් කෙනෙක් කියායි.—මතෙව් 10:29, 31.

දෙවි මනුෂ්‍යයා ගැන සැලකිලිමත් වන බවට මැවිල්ල තුළින් පවා සාක්ෂි ලැබෙනවා. දෙවි “දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවන්නේය. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වන්නේය” කියා යේසුස් පැවසුවා. (මතෙව් 5:45, NW) ලිස්ත්‍රාව නම් නගරයෙහි විසූ මනුෂ්‍යයන්ට ප්‍රේරිත පාවුල් පැවසුවේ මෙසේයි. “[දෙවි] තමන් ගැන සාක්ෂි නොදී සිටියේ නැත. මන්ද, ඔහු ඔබට අහසින් වර්ෂාද සාරවත් කාලවල්ද දීමෙන්, කෑමෙන්ද ප්‍රීතියෙන්ද ඔබේ සිත් සම්පූර්ණයෙන් තෘප්තිමත් කළේය.”—ක්‍රියා 14:17, NW.

වගකිව යුත්තේ කවුද?

ලිස්ත්‍රාවේ ජනයාට පාවුල් පැවසූ මේ දේ සැලකිල්ලට ගැනීම වටී. “පසුගිය පරම්පරාවලදී [දෙවි] සියලු ජාතීන්ට තම තමන්ගේ මාර්ග ඔස්සේ ගමන් කිරීමට ඉඩහැරියේය.” එමනිසා තම තමන් මුහුණ දෙන දුෂ්කර තත්වයන්ට බොහෝවිට වගකිව යුත්තේ ජාතීන්, එහෙමත් නැත්නම් මිනිසුන්මයි. ඒ ගැන දෙවිට දොස් පැවරීමට නොහැකියි.—ක්‍රියා 14:16, NW.

යෙහෝවා නපුරු දේවල් සිදුවීමට ඉඩහරින්නේ ඇයි? ඔහු කවදාහරි ඒ සම්බන්ධයෙන් යම් පියවරක් ගනීවිද? මෙම ප්‍රශ්නවලට පිළිතුර සඳහන් වී තිබෙන්නේ බයිබලයේ පමණයි. මන්ද තවත් ආත්ම ජීවියෙක් හා අදෘශ්‍යමාන ආත්ම විෂයේදී ඔහු විසින් ඉදිරිපත් කරන ලද වාද විෂයක් එම පිළිතුරට කෙළින්ම සම්බන්ධ වන නිසයි.

[4වන පිටුවේ පින්තූර]

මනුෂ්‍යයන්ට අනුකම්පාව දැනෙනවා. එසේනම්, මිනිසාගේ දුක් වේදනාවන් පිළිබඳව දෙවිට අනුකම්පාවක් නොදැනෙයි කියා සිතිය හැකිද?

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

COVER: Tank: UN PHOTO 158181/J. Isaac; earthquake: San Hong R-C Picture Company

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Starving child: UN PHOTO 146150 BY O. MONSEN