Skip to content

පටුනට යන්න

අවසානය ළඟා වෙත්ම කීකරුකම වගා කරගන්න

අවසානය ළඟා වෙත්ම කීකරුකම වගා කරගන්න

අවසානය ළඟා වෙත්ම කීකරුකම වගා කරගන්න

“ජනයාගේ කීකරුකම අයිති වන්නේ [ෂීලෝටය].”—උත්පත්ති 49:10, NW.

1. (අ) අතීතයේදී, යෙහෝවාට කීකරු වීම යන්නට බොහෝ විට අයත් වූයේ කුමක්ද? (ආ) කීකරුකම සම්බන්ධයෙන් යාකොබ් කී අනාවැකිය කුමක්ද?

 යෙහෝවාට කීකරු වීම බොහෝ අවස්ථාවලදී ඔහුගේ නියෝජිතයන්ට කීකරු වීම හා බැඳී පැවතිණ. දේවදූතයන්, පිතෘ මූලිකයන්, විනිශ්චයකරුවන්, පූජකයන්, අනාගතවක්තෲන් හා රජවරුන් මොවුන්ට අයත් විය. ඉශ්‍රායෙල්හි රජුගේ සිංහාසනය යෙහෝවාගේ සිංහාසනය කියාද හැඳින්වීය. (1 ලේකම් 29:23) කනගාටුදායක ලෙස, ඉශ්‍රායෙල්හි විසූ පාලකයන්ගෙන් බොහෝදෙනෙක් දෙවිට අකීකරු වී, ඔවුන් මතත් ඔවුන්ගේ යටත්වැසියන් මතත් විපත්ති පමුණුවාගත්තෝය. එහෙත්, යෙහෝවා ඔහුට පක්ෂපාත අයගේ බලාපොරොත්තු සුන් කළේ නැත. දූෂණයෙහි නොයෙදෙන, ධර්මිෂ්ඨ අය කීකරු වීමට ප්‍රිය කරන රජෙකුව පත් කරන බවට පොරොන්දු වෙමින් ඔහු ඔවුන්ගේ බිය සැක දුරලීය. (යෙසායා 9:6, 7) පණ අදිමින් සිටියදී පිතෘ මූලිකයෙකු වූ යාකොබ් මේ අනාගත රජු ගැන අනාවැකි පළ කළේය. “ෂීලෝ එන තෙක් යූදා කෙරෙන් රාජ යෂ්ටියවත්, ඔහුගේ පාද අතරෙන් ආණ්ඩුකාරයාගේ සැරයටියවත් පහ නොවන්නේය. ජනයාගේ කීකරුකම අයිති වන්නේ ඔහුටය.”—උත්පත්ති 49:10, NW.

2. “ෂීලෝ” යන්නෙහි අර්ථය කුමක්ද? ඔහුගේ රාජකීය පාලනයට අයත් වන්නේ මොනවාද?

2 “ෂීලෝ” යනු හෙබ්‍රෙව් වචනයකි. එහි අර්ථය නම්, “අයිතිය සතු තැනැත්තා” හෝ “හිමිකම් ඇත්තා” යන්නයි. මේ අනුව, පිළිවෙළින් රාජ යෂ්ටි-යෙන් හා ආණ්ඩුකාරයාගේ සැරයටියෙන් නියෝජනය කළ පාලනය කිරීමේ අයිතිය හා අණ කිරීමේ බලය ෂීලෝ ලබනු ඇත. තවදුරටත්, ඔහුගේ රාජකීය පාලනතන්ත්‍රයට යාකොබ්ගෙන් පැවතෙන්නන් පමණක් නොව සියලු ‘ජනයාද’ අයත් වනු ඇත. මෙම කාරණය යෙහෝවා ආබ්‍රහම්ට දුන් පොරොන්දුවට එකඟය. ‘ඔබේ වංශය තමන් සතුරන්ගේ දොරටුව හිමි කරගන්නේය. ඔබේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු තමන්ටම ආශීර්වාද සලසාගන්නෝය.’ (උත්පත්ති 22:17, 18, NW) නාසරෙත්හි යේසුස්ව පො.යු. 29දී ශුද්ධාත්මයෙන් ආලේප කළ අවස්ථාවේදී, යෙහෝවා මේ ‘වංශයේ’ අනන්‍යතාව තහවුරු කළේය.—ලූක් 3:21-23, 34; ගලාති 3:16.

යේසුස්ගේ පළමු රාජ්‍යය

3. ස්වර්ගාරෝහණය වීමත් සමඟම යේසුස් පාලන බලය ලැබුවේ කුමක් කෙරෙහිද?

3 යේසුස් ස්වර්ගාරෝහණය වූ වහාම, ලෝකයේ සිටින ජාතීන්ව පාලනය කරන රාජ යෂ්ටිය අතට ගත්තේ නැත. (ගීතාවලිය 110:1) කෙසේවෙතත්, කීකරු යටත්වැසියන් සිටින ‘රාජ්‍යයක්’ ඔහුට ලැබිණ. ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට ලියූ දෙය මගින් මේ රාජ්‍යය ගැන අනාවරණය කළේය. “[දෙවි] අන්ධකාරයේ අධිකාරයෙන් අපව [ආත්මයෙන් ආලේප ලත් ක්‍රිස්තියානීන්ව] මුදා, තම ප්‍රේමනීය පුත්‍රයාගේ රාජ්‍යයට අපව මාරු කළේය.” (කොලොස්සි 1:13, NW) මේ මුදාගැනීම ආරම්භ වූයේ යේසුස්ගේ අනුගාමිකයන් මත ශුද්ධාත්මය වැගිරූ පො.යු. 33 පෙන්තකොස්ත දිනයේදීය.—ක්‍රියා 2:1-4; 1 පේතෘස් 2:9.

4. යේසුස්ගේ මුල් ගෝලයන් ඔවුන්ගේ කීකරුකම විදහා පෑවේ කිනම් ආකාරවලින්ද? යේසුස් ඔවුන්ව කණ්ඩායමක් හැටියට හඳුන්වා දුන්නේ කෙසේද?

4 ‘ක්‍රිස්තුස් වෙනුවෙන් තානාපතීන්’ හැටියට ආත්මයෙන් ආලේප ලත් මෙම ගෝලයෝ, ක්‍රිස්තුස්ට කීකරුව එම ආත්මික රාජ්‍යයේ ‘සෙසු පුරවැසියන්’ බවට පත් වන වෙනත් අයව එක්රැස් කිරීම ඇරඹූහ. (2 කොරින්ති 5:20; එපීස 2:19, NW; ක්‍රියා 1:8) ඊට අමතරව, මොවුන් තම රජු වන යේසුස් ක්‍රිස්තුස්ගේ අනුග්‍රහය භුක්ති විඳින පිණිස, ‘එකම මනසින් හා එකම සිතුවිලි රටාවකින් නිසි ලෙස එක්සත්ව’ කටයුතු කර ඇත. (1 කොරින්ති 1:10, NW) කණ්ඩායමක් හැටියට, ඔවුන් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” නැතහොත් විශ්වාසවන්ත ගබඩාකාර පංතිය පිහිටුවයි.—මතෙව් 24:45; ලූක් 12:42; NW.

දෙවිගේ ‘ගබඩාකාරයාට’ කීකරු වීම නිසා ආශීර්වාද ලබයි

5. පුරාතනයේ සිට යෙහෝවා තම සෙනඟට උගන්වා තිබෙන්නේ කෙසේද?

5 යෙහෝවා සෑමවිටම තම සෙනඟට ඉගැන්වීම සඳහා ගුරුවරුන් සපයයි. උදාහරණයක් හැටියට, යුදෙව්වන් බබිලෝනියෙන් නැවත පැමිණි පසු, එස්රා ඇතුළු සුදුසුකම් ඇති තවත් පුරුෂයෝ ගණනාවක් දෙවිගේ නීතිය මිනිසුන්ට නිකම්ම කියවනවා වෙනුවට, එම නීති “තෝරා දුන්නෝය.” එනම්, දෙවිගේ වචනයේ අර්ථය හා අදාළත්වය අවබෝධ කර දුන්නෝය.—නෙහෙමියා 8:8.

6, 7. දාස පංතිය එහි පාලක මණ්ඩලය හරහා කාලෝචිත ආත්මික ආහාර සපයා ඇත්තේ කෙසේද? දාස පංතියට යටත්කම දැක්වීම උචිත දෙයක් වන්නේ මන්ද?

6 මුල් සියවසේදී, එනම් පො.යු. 49දී චර්මච්ඡේදනය පිළිබඳ ගැටලුව උද්ගත වූ විට, ඒ මුල් දාස පංතියේ පාලක මණ්ඩලය, ගැටලුව යාච්ඤාපූර්වකව සලකා බලා ශුද්ධ ලියවිල්ලට එකඟ නිගමනයකට පැමිණියේය. ඔවුන් තම තීරණය ලිපියක් මාර්ගයෙන් දැන්වූ විට, සභාවෝ ලැබූ මඟ පෙන්වීමට කීකරු වීමේ ප්‍රතිඵලයක් හැටියට දෙවිගේ මහත් ආශීර්වාද භුක්ති වින්දාහ. (ක්‍රියා 15:6-15, 22-29; 16:4, 5) ඒ හා සමානව වර්තමාන කාලයේදීත්, විශ්වාසවන්ත නුවණ ඇති දාසයාගේ පාලක මණ්ඩලයද ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය රැකීම, රුධිරයේ පරිශුද්ධභාවය සහ මත්ද්‍රව්‍ය හා දුම්කොළ අනිසි භාවිතය වැනි වැදගත් කාරණා පිළිබඳව පැහැදිලි මඟ පෙන්වීම් සපයා ඇත. (යෙසායා 2:4; ක්‍රියා 21:25; 2 කොරින්ති 7:1) දේවවචනය හා විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කෙරෙහි තම සෙනඟ දක්වන එම කීකරුකමට යෙහෝවා ආශීර්වාද කළේය.

7 දෙවිගේ සෙනඟ දාස පංතියට යටත් වීම මගින් ස්වාමියා වන යේසුස් ක්‍රිස්තුස්ටද යටත් වන බව පෙන්වති. යාකොබ් මරණාසන්නව සිටියදී දුන් අනාවැකියට අනුව යේසුස්ගේ බලතල පුළුල් කර තිබෙන නිසා එවන් යටත්කමක් වර්තමාන කාලයේදී ඊටත් වඩා වැදගත්ය.

ෂීලෝ පොළොවේ නියම අයිතිය ඇති පාලකයා බවට පත් වෙයි

8. ක්‍රිස්තුස්ගේ අධිකාරය පැතිරෙන්ට පටන්ගත්තේ කවදාද? කෙසේද?

8 ෂීලෝ “ජනයාගේ කීකරුකම” අනිවාර්යයෙන්ම ලබාගනු ඇති බව යාකොබ්ගේ අනාවැකියෙන් පුරෝකථනය කෙරිණ. මෙසේ පැහැදිලිවම, ක්‍රිස්තුස්ගේ පාලකත්වය ආත්මික ඉශ්‍රායලයෙන් ඔබ්බටද පැතිරෙනු ඇත. ඊට අයත් වනු ඇත්තේ තව කුමක්ද? උත්තරය එළිදරව් 11:15හි තිබේ. “ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්ටද තමන් ක්‍රිස්තුස්ටද වූයේය. ඔහු සදාකාලේටම රජකම් කරන්නේය.” (අකුරු ඇල කළේ අපය.) වර්ෂ 1914දී, එනම් අනාවැකිමය “කාලවල් සත” හෙවත් “අන්‍යජාතීන් සඳහා නියම කරන ලද කාලවල්” අවසානයේදී යේසුස්ට එම අධිකාරය ලැබුණු බව බයිබලය හෙළි කරයි. a (දානියෙල් 4:16, 17; ලූක් 21:24, NW) එම වර්ෂයේදී, මෙසියානු රජු හැටියට ක්‍රිස්තුස් අදෘශ්‍යමානව “පැමිණ සිටින කාල පරිච්ඡේදයත්” ‘ඔහුගේ සතුරන් මැද ආණ්ඩු කරන’ කාලයත් ඇරඹිණ.—මතෙව් 24:3, NW; ගීතාවලිය 110:2.

9. තම රාජ්‍යය ලද විට යේසුස් කළේ කුමක්ද? මිනිස්වර්ගයා හා විශේෂයෙන්ම ඔහුගේ ගෝලයන් මත එමගින් එල්ල කරන ලද වක්‍රාකාර බලපෑම කුමක්ද?

9 රාජ්‍ය බලය ලැබීමෙන් පසු යේසුස් කළ මුල්ම රාජකාරිය වූයේ අකීකරුකමේ පුද්ගලාරෝපණය වන සාතන් හා ඔහුගේ භූතයන්ව ‘පොළොවට හෙළා දැමීමයි.’ එතැන් සිට මේ දුෂ්ට ආත්මයෝ, යෙහෝවාට කීකරු වීම දුෂ්කර කරවන වාතාවරණයක් ඇති කරනවාට අමතරව මිනිස්වර්ගයා මත පෙර නොවූ විරූ ආකාරයේ විපත්ති පමුණුවා ඇත. (එළිදරව් 12:7-12; 2 තිමෝති 3:1-5) ඇත්තෙන්ම, සාතන්ගේ ආත්මික යුද්ධයේ ප්‍රධාන කුරුමානම වන්නේ “දෙවිගේ ආඥා පවත්වන්නාවූ, යේසුස්ගේ සාක්ෂිය දරන්නාවූ” යෙහෝවාගේ ආලේප ලත් අය හා ඔවුන්ගේ “වෙනත් බැටළු” සාමාජිකයන්ය.—එළිදරව් 12:16; යොහන් 10:16.

10. සැබෑ ක්‍රිස්තියානීන්ට එරෙහිව සාතන් දියත් කරන යුද්ධයෙන් ඔහු පරදින බව සහතික කරන්නේ කිනම් බයිබල් අනාවැකිවල ඉටුවීම්ද?

10 කෙසේවෙතත්, මෙය ‘ස්වාමීන්ගේ දවස’ නිසාත් යේසුස්ගේ ‘ජයග්‍රහණය [අතරමඟ] නතර කිරීමට’ කිසිවකට හැකි නොවන නිසාත්, සාතන්ගේ පරාජය සිකුරුයි. (එළිදරව් 1:10; 6:2, NW) උදාහරණයක් හැටියට, යේසුස් ආත්මික ඉශ්‍රායෙල් වන 1,44,000දෙනාගේ අවසාන මුද්‍රා කිරීම සහතික කරන්නේය. එමෙන්ම, “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනඟගෙනුත් භාෂාවන්ගෙනුත් [සමන්විත] කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් [සමූහයද]” ඔහු ආරක්ෂා කරන්නේය. (එළිදරව් 7:1-4, 9, 14-16) කෙසේවෙතත්, මොවුහු තම ආලේප ලත් සහකරුවන්ට වඩා වෙනස්ව යේසුස්ගේ භූමික යටත්වැසියන් බවට පත් වනු ඇත. (දානියෙල් 7:13, 14) ඔවුන් මේ ලෝකයේ ජීවත්ව සිටීමෙන් “ලෝකයේ අධිපතිකම” සැබවින්ම ෂීලෝ සතු දෙයක් බවට සාක්ෂි දරයි.—එළිදරව් 11:15.

‘ශුභාරංචියට කීකරු වීමට’ කාලය දැන්ය

11, 12. (අ) වත්මන් ක්‍රමයෙන් ගැළවෙන්නේ කවුරුන් පමණද? (ආ) “ලෝකයේ ආත්මය” උරාගන්නා අය තුළ වර්ධනය වන ගති ලක්ෂණ මොනවාද?

11 සදාකාල ජීවනය ලැබීමට කැමති සියල්ලන්ම කීකරුකම ඉගෙනගත යුතුය. ඊට හේතුව පැහැදිලිවම බයිබලයෙහි පෙන්වා තිබේ. ‘දෙවිව නොදන්නා අයද අපේ ස්වාමීන් වන යේසුස් ගැන ශුභාරංචියට කීකරු නොවන අයද’ දෙවිගේ පළිගැනීමේ දවසින් ගැළවෙන්නේ නැත. (2 තෙසලෝනික 1:8, NW; 1:7, පැ.අ.) කෙසේවෙතත්, වත්මන් දුෂ්ට වාතාවරණයත් බයිබල් නීති හා ප්‍රතිපත්තිවලට විරුද්ධ කැරලිකාරකමේ ආත්මයත් ශුභාරංචියට කීකරු වීම ඉතාම දුෂ්කර දෙයක් බවට පත් කර ඇත.

12 දෙවිට පිටුපෑමට සලස්වන මේ මුරණ්ඩු ආකල්පය “ලෝකයේ ආත්මය” හැටියට බයිබලය විස්තර කරයි. (1 කොරින්ති 2:12) එය මිනිස්වර්ගයාට කරන නරක බලපෑම ගැන මුල් සියවසේ එපීසයේ සිටි ක්‍රිස්තියානීන්ට පැහැදිලි කරමින් ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. ‘පෙර කාලයේ ඔබ මේ ලෝකයේ ව්‍යවහාරය ලෙසත්, අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියා කරන්නාවූ ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත්, ඒවායෙහි හැසුරුණහුය. ඔවුන් අතරේ අපි සියල්ලෝද වරක් අපේ මාංසයේ තෘෂ්ණාවල හැසිරෙමින්, මාංසයටත් සිතටත් කැමති දේ කරමින්, ස්වභාවෙන් අනික් අය මෙන් උදහසේ දරුවෝව සිටියෙමු.’—එපීස 2:2, 3.

13. ක්‍රිස්තියානීන්ට සාර්ථක ලෙස ලෝකයේ ආත්මයට විරෝධය පෑ හැක්කේ කෙසේද? ඒ කිනම් ප්‍රයෝජනවත් ප්‍රතිඵල ඇතුවද?

13 එපීස ක්‍රිස්තියානීන් එම අකීකරුකමේ ආත්මයේ වහලුන්ව නොසිටීම සතුටට කරුණකි. ඔවුහු දෙවිගේ ආත්මයට යටත් වෙමින් ආත්මයේ බහුල හා යහපත් ඵල නෙළාගනිමින් දෙවිගේ කීකරු දරුවන් බවට පත් වූහ. (ගලාති 5:22, 23) එදා සේ අදත්, විශ්වයේ තිබෙන ප්‍රබලම බලය වන දෙවිගේ ආත්මය යෙහෝවාට කීකරු වීමට දශලක්ෂ ගණනකට උපකාර කර තිබේ. එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ, ‘අන්තිම දක්වා බලාපොරොත්තුවේ නිසැකකම’ ඇතුව සිටීමට හැකිවීමයි.—හෙබ්‍රෙව් 6:11; සෙකරියා 4:6.

14. අන්තිම දවස්වල සිටින සියලුම ක්‍රිස්තියානීන්ගේ කීකරුකම පරීක්ෂාවට ලක් කරවන නිශ්චිත කාරණා ගැන යේසුස් ඔවුන්ව සෝදිසියෙන් තැබුවේ කෙසේද?

14 අපට ෂීලෝගේ බලවත් අනුබලය තිබෙන බවද අමතක නොකරන්න. තම පියා සමඟ එකතුව අපේ සතුරන් එනම්, භූතයන් වේවා මිනිසුන් වේවා, අපට විරුද්ධව එල්ල කරන කීකරුකම පිළිබඳ පරීක්ෂණ අපට දරාගත හැකි ප්‍රමාණයෙන් ඔබ්බට යන්ට ඔහු ඉඩ නොතබන බවද මතක තබාගන්න. (1 කොරින්ති 10:13) ඇත්තෙන්ම, අපේ ආත්මික යුද්ධයේ නියැලීමට ආධාර කරවනු වස්, මේ අන්තිම දවස්වලදී අප මුහුණ දෙන නිශ්චිත ගැටලු සමහරක් ගැන යේසුස් විස්තර කළේය. ඔහු එය කළේ ප්‍රේරිත යොහන්ට දර්ශනයක් මාර්ගයෙන් දුන් ලියුම් සතක් ආධාරයෙනි. (එළිදරව් 1:10, 11) එදා සිටි ක්‍රිස්තියානීන්ට ඉතා වැදගත් උපදෙස් එහි අන්තර්ගත වූ බව නිසැකය. එහෙත්, එම ලියුම්වල මූලික අදාළත්වය තිබෙන්නේ 1914 සිට දිවෙන ‘ස්වාමීන්ගේ දවසටය.’ එමනිසා, එම පණිවිඩවලට අපගේ අවධානය දීම කොතරම් කාලෝචිතද! b

උදාසීනත්වයෙන්, දුරාචාරයෙන් හා ද්‍රව්‍යවාදයෙන් වළකින්න

15. එපීසයේ තිබූ සභාවට බලපෑ ගැටලුව සම්බන්ධයෙන් අප ආරක්ෂා විය යුත්තේ මන්ද? අපට එය කළ හැක්කේ කෙසේද? (2 පේතෘස් 1:5-8)

15 යේසුස්ගේ මුල්ම ලියුම යොමු වුණේ එපීසයේ තිබූ සභාවටයි. විඳදරාගැනීම පිළිබඳව ඔවුන්ට ප්‍රශංසා කර යේසුස් මෙසේ කියයි. ‘නමුත් ඔබේ පළමු ප්‍රේමය අත්හැරීය යන කාරණය ඔබට විරුද්ධව මට ඇත්තේය.’ (එළිදරව් 2:1-4) අදදිනත්, කලක් ජ්වලිතව සිටි සමහර ක්‍රිස්තියානීන් දෙවි කෙරෙහි ඔවුන්ට මුලින්ම තිබූ හෘදයාංගම ප්‍රේමය නැති කරගෙන තිබේ. එවන් තත්වයක් දෙවි සමඟ කෙනෙකුට තිබෙන සම්බන්ධය බෙලහීන කරවිය හැකි අතර හැකි ඉක්මනින් ඊට ප්‍රතිකාර කළ යුතු වේ. එවන් ප්‍රේමයක් යළි පණගන්වා ගන්නේ කෙසේද? නිතිපතා බයිබලය අධ්‍යයනය කිරීමෙන්, රැස්වීම්වලට පැමිණීමෙන්, යාච්ඤාවෙන් හා ඉගෙනගන්නා දේවල් පිළිබඳව මෙනෙහි කිරීමෙනි. (1 යොහන් 5:3) මේ වෙනුවෙන් “දැඩි උත්සාහයක්” [NW] දැරීම අවශ්‍ය බව නොකිවමනාය. එහෙත්, එසේ කිරීම වටින්නේය. (2 පේතෘස් 1:5-8) අවංක ආත්ම පරීක්ෂණයක් කළ පසු, ඇත්තටම ඔබේ ප්‍රේමයේ උණුසුම නිවී ගොස් ඇති බව හෙළි වේ නම්, යේසුස්ගේ අනුශාසනාවට එකඟව හැකි ඉක්මනින් එම තත්වය ප්‍රකෘතිමත් කරගන්න. ‘ඔබ වැටී ඇත්තේ කොතැනින්දැයි සිහි කර, පශ්චාත්තාපව, පළමු ක්‍රියාවන් කරන්න.’—එළිදරව් 2:5.

16. පර්ගමම් හා තියාතිරාහි තිබූ සභාවල පැවතියේ ආත්මිකත්වයට අනතුරුදායක වූ කිනම් බලපෑම්ද? යේසුස් ඔවුන්ට කී දෙය අදට උචිත වන්නේ මන්ද?

16 පර්ගමම් හා තියාතිරාහි තිබූ සභාවල විසූ ක්‍රිස්තියානීන්ගේ අඛණ්ඩතාව, විඳදරාගැනීම හා ජ්වලිතය සම්බන්ධයෙන් ප්‍රශංසා මුඛයෙන් කතා කෙරිණ. (එළිදරව් 2:12, 13, 18, 19) එහෙත්, බාලාම්ගේ හා යෙසබෙල්ගේ දුෂ්ට ආකල්පය විදහාපෑ සමහර අයගේ බලපෑමට ඔවුහු යටව සිටියහ. ඉහත කී දෙදෙනා පුරාණ ඉශ්‍රායෙලයට දරුණු බලපෑමක් කරමින් බාල් නමස්කාරය හා ලිංගික දුරාචාරය මාර්ගයෙන් ජාතියට වින කළ අය වූහ. (ගණන් කථාව 31:16; 1 රාජාවලිය 16:30, 31; එළිදරව් 2:14, 16, 20-23) නමුත්, “ස්වාමීන්ගේ දවස” වන අපේ කාලය ගැන කුමක් කිව හැකිද? එවැනිම දූෂිත බලපෑම් අදත් පෙනෙන්ට තිබේද? දෙවිගේ සෙනඟ අතර සිටින සමහර අයව සභා ආශ්‍රයෙන් කපාහැරීමට පාදක වන ප්‍රධාන හේතුවකි ලිංගික දුරාචාරය. එමනිසා, සභාව ඇතුළෙත් පිටත් සිටින සදාචාරාත්මක අතින් දූෂිත බලපෑමක් වන ඕනෑම කෙනෙකු සමඟ ආශ්‍රය කිරීමෙන් වැළකී සිටීම කොතරම් වැදගත් කාරණයක්ද! (1 කොරින්ති 5:9-11; 15:33) ෂීලෝගේ කීකරු යටත්වැසියෙකු වීමට කැමති සෑම කෙනෙක්ම සදාචාරයෙන් පහත වැටුණු විනෝදාස්වාදයෙන් හා මුද්‍රිතව මෙන්ම අන්තර්ජාලය ඔස්සේ පැමිණෙන කාමුක කෘතිවලින්ද වැළකී සිටිත්.—ආමොස් 5:15; මතෙව් 5:28, 29.

17. සාර්දිස් හා ලවෝදික සභාවන් තමන් ගැන දැරූ ආකල්පය හා දෘෂ්ටිය, යේසුස් ඔවුන්ගේ ආත්මික තත්වය ගැන දැරූ දෘෂ්ටියට වඩා වෙනස් වන්නේ කෙසේද?

17 සාර්දිස්හි තිබූ සභාවේ සිටි කිහිපදෙනෙකුට ඇරෙන්ට, අනිත් අයට නම් කිසිදු ප්‍රශංසාවක් ලැබුණේ නැත. එම සභාව ජීවමානව තිබෙන බවට පෙනුණද, එසේ පැවතුණේ ‘නමට’ විතරයි. එම සභාව ආත්මික උදාසීනත්වයේ ග්‍රහණයට කොතරම් තදින් හසුවී තිබුණාද කිවහොත් යේසුස්ගේ කෝණයෙන් එය ‘මැරී’ තිබිණ. ශුභාරංචියට කීකරු වීම යන්ත්‍රිකව කෙරෙන්නක් මෙන් විය. මොනතරම් දැඩි චෝදනාවක්ද! (එළිදරව් 3:1-3) ලවොදිකයේ තිබූ සභාව ක්‍රියාත්මක වූයේද ඊට සමාන තත්වයකිනි. ඔවුන් තම ධන සම්පත් ගැන පාරට්ටු කරගනිමින් “මම ධනවත්” යැයි කියාගත්තද, ක්‍රිස්තුස්ගේ ඇසින් එය ‘කාලකණ්ණි, දුක්ඛිත, දිළිඳු, අන්ධ හා නග්න’ තත්වයක පැවතිණ.—එළිදරව් 3:14-17.

18. දෙවිගේ ඇස් ඉදිරියේ ආත්මිකව ඇල් මැරී යෑමෙන් වැළකෙන්ට කෙනෙකුට හැක්කේ කෙසේද?

18 අදත්, කලක් ඇදහිලිවන්තව සිටි ක්‍රිස්තියානීන්ගෙන් සමහරෙකු එවැනිම අකීකරුකමේ රටාවකට වැටී තිබේ. සමහරවිට ඔවුන් තමන් තුළ තිබූ හදිසිතාවේ හැඟීම ඉවතට ඇදගැනීමට ලෝකයේ ආත්මයට ඉඩ දෙන්ට ඇති. එමගින්, බයිබල් අධ්‍යයනය, යාච්ඤාව, ක්‍රිස්තියානි රැස්වීම් හා දේවසේවය පිළිබඳව ආත්මිකව ඇල්මැරුණු ආකල්පයක් ඔවුන් තුළ වැඩෙන්ට ඇති. (2 පේතෘස් 3:3, 4, 11, 12) එවැනි අය ක්‍රිස්තුස්ට කීකරු වී ආත්මික ධනය එනම්, “ගින්නෙන් පවිත්‍ර කරන ලද රන් [ක්‍රිස්තුස්ගෙන්] මිල දී ගෙන” එය ආයෝජනය කිරීම කොතරම් වැදගත්ද! (එළිදරව් 3:18, NW) ‘යහපත් ක්‍රියාවලින් ධනවත් වීම, ත්‍යාගශීලී වීම හා බෙදාගැනීමට සූදානමින් සිටීම’ වැනි දේ නියම ධනයට අයත්ය. සැබවින්ම අනර්ඝ මේ සම්පත් මතු ප්‍රයෝජන තකා ආයෝජනය කිරීම මගින්, ‘සැබෑ ජීවිතය තදින් අල්ලාගන්නා පිණිස මතු කාලයට යහපත් අත්තිවාරමක් වශයෙන් අපි ඒවා සුරක්ෂිතව රැස් කරගන්නෙමු.’—1 තිමෝති 6:17-19, NW.

ඔවුන්ගේ කීකරුකම සඳහා ප්‍රශංසා කරයි

19. ස්මර්ණයේ හා පිලදෙල්පියාවේ සිටි ක්‍රිස්තියානීන්ට යේසුස් දුන්නේ කිනම් ප්‍රශංසා හා අනුශාසනාද?

19 ස්මර්ණයේ හා පිලදෙල්පියාවේ තිබූ සභා කීකරුකමේ ආදර්ශයන් ලෙස කැපී පෙනිණ. මන්ද, ඔවුන්ට පැමිණි යේසුස්ගේ ලියුම්වල කිසිදු අවවාදයක් ගැබ්ව තිබුණේ නැත. ස්මර්ණයේ සභාවේ සිටින අයට යේසුස් මෙසේ කීවේය. ‘මම ඔබේ පීඩාවද දිළිඳුකමද දනිමි. නමුත් ඔබ ධනවත්ය.’ (එළිදරව් 2:9) ලෞකික ධනවත්කම ගැන පාරට්ටු කරගත්තද ඇත්තෙන්ම දිළිඳු වූ ලවෝදිකයේ සභාවට වඩා මොවුන් කොතරම් වෙනස්ද! ඇත්ත වශයෙන්ම, කිසිම කෙනෙකු ක්‍රිස්තුස්ට ඇදහිලිවන්තව හා කීකරුව කටයුතු කරනවා දකින්ට යක්ෂයා සතුටු වූයේ නැත. ඒ නිසා යේසුස් මෙසේ අවවාද කළේය. ‘ඔබ විඳින්ට යන දේවලට භය නොවන්න. බලව, ඔබව විමසනු ලබන පිණිස යක්ෂයා ඔබගෙන් සමහරෙකුව හිරගෙයි දමන්ට යන්නේය. ඔබ දස දවසක් පීඩා විඳින්නහුය. මරණය දක්වා විශ්වාසව සිටින්න, එවිට මම ජීවනයේ ඔටුන්න ඔබට දෙන්නෙමි.’ (එළිදරව් 2:10) ඒ හා සමානව, පිලදෙල්පියාවේ තිබූ සභාවේ සිටි අය ගැනත් ප්‍රශංසා මුඛයෙන් කතා කරයි. යේසුස් මෙසේ ලියයි. ‘ඔබ මාගේ වචන රක්ෂා කළේය [නැතහොත්, මට කීකරු වුණේය]. ඔබ මාගේ නාමය එපා කළේ නැත. මම ඉක්මනින්ම එමි. කිසිවෙක් ඔබේ ඔටුන්න නොගන්නා ලෙස ඔබට තිබෙන දේ තදින් අල්ලාගන්න.’—එළිදරව් 3:8, 11.

20. දශලක්ෂ ගණනක් විසින් යේසුස්ගේ වචනය රක්ෂා කර ඇත්තේ කෙසේද? කවර තත්වයන් මධ්‍යයෙහිද?

20 වර්ෂ 1914දී පටන්ගත් ‘ස්වාමීන්ගේ දවසේ’ සිට ආලේප ලත් ඉතිරි කොටසක් සහ දැනට ගණනින් දශලක්ෂ ගණනක් වන ඔවුන්ගේ වෙනත් බැටළු සහයකයන් දේව සේවයෙහි ජ්වලිතව සහභාගි වීමෙන් හා අඛණ්ඩතාව රැකගැනීම මාර්ගයෙන් යේසුස්ගේ වචනය රක්ෂා කරගෙන ඇත. ඔවුන්ගේ මුල් සියවසේ සහෝදරයන් මෙන්, සමහරුන් ක්‍රිස්තුස්ට කීකරු වීම නිසා දුක්විඳ, සිරගත කර හා ගාල් කඳවුරුවල කල්ගත කර ඇත. තවත් සමහරුන්, සමෘද්ධිය හා ගිජුකම රජයන ලෝකයක දිගටම ‘ඇස සරලව’ [NW] තබාගැනීමෙන්ද යේසුස්ගේ වචනය රක්ෂා කර තිබේ. (මතෙව් 6:22, 23) එසේය, සෑම අවස්ථාවකදීම හා සෑම තත්වයකදීම, සැබෑ ක්‍රිස්තියානීන් ඔවුන්ගේ කීකරුකම මගින් යෙහෝවාගේ හදවත දිගටම සතුටු කර ඇත.—හිතෝපදේශ 27:11.

21. (අ) දාස පන්තිය දිගටම ඉටු කරන්නේ කිනම් ආත්මික වගකීමද? (ආ) අපි ඇත්තටම ෂීලෝට කීකරු වෙන්ට කැමති බව අප පෙන්වන්නේ කෙසේද?

21 අප මහත් පීඩාවට ආසන්න වෙනවාත් සමඟම, “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” [NW] තමන්ගේ ස්වාමියා වන ක්‍රිස්තුස්ට තිබෙන කීකරුකම කොයිම ආකාරයකින්වත් පාවා නොදීමට අධිෂ්ඨාන කරගෙන සිටී. දෙවිගේ ගෙවැසියන්ට කාලෝචිත ආත්මික ආහාර සූදානම් කිරීමද එම අධිෂ්ඨානයට අයත්ය. එනිසා, යෙහෝවාගේ පුදුමාකාර දිව්‍යාණ්ඩු සංවිධානයත් එමගින් සපයන දේ සඳහාත් දිගටම කෘතඥතාවෙන් සිටිමු. මෙසේ, තමන්ට කීකරු වන සියලුම යටත්වැසියන්ට සදාකාල ජීවනය නමැති විපාකය දෙන ෂීලෝට අපේ යටත්කම දක්වමු.—මතෙව් 24:45-47; 25:40; යොහන් 5:22-24.

[පාදසටහන්වල]

a “කාලවල් සත” පිළිබඳ විග්‍රහයක් අවශ්‍ය නම්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොතේ 10වන පරිච්ඡේදය බලන්න.

b සම්පූර්ණ ලියුම් සත ගැන සවිස්තර තොරතුරු සඳහා, යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! නමැති පොතේ 33වන පිටුවේ සිට බලන්න.

ඔබට මතකද?

• යාකොබ් මරණාසන්නව සිටියදී දුන් අනාවැකියට අනුව යේසුස් විසින් ඉටු කිරීමට නියමිතව තිබූ කාර්යභාරය කුමක්ද?

• යේසුස් ෂීලෝ හැටියට අප පිළිගන්නේ කෙසේද? අප වැළකී සිටිය යුත්තේ කිනම් ආත්මයෙන්ද?

• එළිදරව් පොතේ සඳහන් සභා සතට ලියූ ලියුම්වල අපේ කාලයට අදාළ වන උපදෙස් මොනවාද?

• පුරාණ ස්මර්ණයේ හා පිලදෙල්පියාවේ තිබූ සභාවන්හි සිටි අයව අපට අනුකරණය කළ හැක්කේ කිනම් ආකාරවලින්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූර]

තම සෙනඟ විශ්වාසවන්ත “ගබඩාකාරයා” හට කීකරු වීම නිසා යෙහෝවා ඔවුන්ට ආශීර්වාද කරයි

[19වන පිටුවේ පින්තූරය]

සාතන්ගේ බලපෑම දෙවිට කීකරු වීම දුෂ්කර දෙයක් කරවයි

[21වන පිටුවේ පින්තූර]

යෙහෝවා සමඟ ශක්තිමත් සම්බන්ධයක් තිබීම ඔහුට කීකරු වීමට අපට රුකුලක් වෙයි