Skip to content

පටුනට යන්න

දෙවි පිළිබඳ නිවැරදි දැනුමෙන් ලබන සැනසිල්ල

දෙවි පිළිබඳ නිවැරදි දැනුමෙන් ලබන සැනසිල්ල

දෙවි පිළිබඳ නිවැරදි දැනුමෙන් ලබන සැනසිල්ල

දෙවිගේ ප්‍රේමය හා දයාව පිළිබඳව බයිබලයේ පවසන දේ හේතුවෙන් ඇතමෙකු තුළ සිත කලඹවන ප්‍රශ්න මතු වී තිබෙනවා. නපුර තුරන් කිරීමට දෙවිට වුවමනාවක් තිබෙනවා නම්, එසේ කළ යුත්තේ කොහොමද කියා ඔහු දන්නවා නම් සහ එසේ කරන්න ඔහුට බලය තිබෙනවා නම් දුෂ්ටකම දිගටම වර්ධනය වෙමින් පවතින්නේ මන්ද? ඔවුන්ට ගැටලුවක් වී ඇත්තේ එකිනෙකට පටහැනියි කියා පෙනෙන්ට තිබෙන කාරණා තුනක් නිරාකරණය කරගැනීමයි. (1) දෙවි සර්ව බලධාරියි; (2) දෙවි යහපත් හා ප්‍රේමණීය කෙනෙක් සහ (3) විපත්තිදායක සිදුවීම් තවමත් දිගින් දිගටම පවතිනවා. අන්තිම කාරණය බොරුයි කියා පැවසිය නොහැකි නිසා අනිත් කාරණා දෙකෙන් අඩුම තරමින් එකක්වත් බොරු විය යුතුයි කියා ඔවුන් තර්ක කරනවා. ඔවුන් පවසන්නේ එක්කෝ දෙවිට දුෂ්ටකම තුරන් කළ නොහැකියි නැත්නම් ඔහුට ඒ පිළිබඳව කිසිම තැකීමක් නැහැ කියායි.

නිව් යෝක්හි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ විනාශය සිදු වී දවස් කිහිපයක් ගත වූ පසු එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ ආගමික නායකයෙක් පැවසුවේ මෙසේයි. “දෙවියන් ඛේදනීය දේවලට හා දුක් වේදනාවලට ඉඩ දෙන්නේ ඇයි කියා මගෙන් අනන්තවත් අහලා තියෙනවා. ඇත්තෙන්ම කියනවා නම් සෑහීමකට පත් වෙන්න පුළුවන් පිළිතුරක් මටවත් තවම හොයාගන්න බැරි වෙලා තියෙනවා.”

මෙම පිළිතුර පිළිබඳව අදහස් දක්වමින් දේවධර්මවාදය පිළිබඳ මහාචාර්යවරයෙක් පැවසුවේ එම ආගමික නායකයා දේශනා කළ “නිවැරදි ධර්මය” ඔහුගේ හිතටත් ගැඹුරින් කාවැදී තිබුණු බවයි. එක්තරා විශාරදයෙක් ලියූ මේ අදහසටත් ඔහු එකඟ වුණා. “දුක් වේදනා පවතින්නේ ඇයි කියා කොහෙත්ම තේරුම්ගත නොහැකියි. එය දෙවියන්ව කිසිදාක මුළුමනින්ම තේරුම්ගත නොහැකිය යන කාරණය හා බැඳී පවතියි.” නමුත් දෙවි දුෂ්ටකමට ඉඩහැර තිබෙන්නේ මන්ද යන කාරණය කිසිදා තේරුම්ගත නොහැකි යමක්ද?

දුෂ්ටකමේ මූලාරම්භය

ආගමික නායකයන් පවසන දේ කුමක් වුවත් දෙවි දුෂ්ටකමට ඉඩහැර තිබෙන්නේ මන්ද කියන කාරණය කිසිදා තේරුම්ගත නොහැකි යමක් බව නම් බයිබලයේ පවසා නැහැ. දෙවි දුෂ්ට ලෝකයක් නිර්මාණය නොකළාය යන්න වටහාගැනීම දුෂ්ටකම පැවතීමට හේතුව තේරුම්ගැනීමට මූලික වශයෙන් උපකාරවත් වෙනවා. ඔහු මුල් මනුෂ්‍ය යුවළ මැව්වේ පරිපූර්ණව හා පාපයෙන් තොරවයි. යෙහෝවා තම මැවිලි දෙස බලා එය “ඉතා යහපත්” බව නිගමනය කළා. (උත්පත්ති 1:26, 31) ආදම් සහ ඒව ලවා ඒදන් උයනේ පැවති පාරාදීසමය තත්වය මුළු පොළොව පුරාම පැතිරවීමත් එය සන්තෝෂවත් මිනිසුන්ගෙන් ජනාවාස කිරීමත් එම ජනයාට ඔහුගේ ප්‍රේමණීය ආධිපත්‍යය යටතේ ආරක්ෂාව ලබා දීමත් දෙවිගේ අරමුණ වුණා.—යෙසායා 45:18.

මුලදී දෙවිට විශ්වාසවන්තව සිටි ආත්ම පුද්ගලයෙක් පසුව තමාටම නමස්කාරය ලබාගැනීමේ ආශාවක් වර්ධනය කරගත් නිසයි දුෂ්ටකම ආරම්භ වූයේ. (යාකොබ් 1:14, 15) කැරැල්ල පොළොව වෙතට ගෙන යමින් දෙවිට විරුද්ධව කැරලිගැසීමට මුල් මනුෂ්‍ය යුවළව පවා ඔහු පෙලඹුවා. යහපත හා නපුර දැනගැනීම පිළිබඳ ගහේ ගෙඩිවලට අත ගසන්ටවත් ඒවා කන්ටවත් එපාය කියා දෙවි පැහැදිලිව දී තිබූ ආඥාවට යටත් වෙනවා වෙනුවට ආදම් සහ ඒව එයින් ගෙඩි ගෙන කෑවා. (උත්පත්ති 3:1-6) එසේ කිරීමෙන් ඔවුන් දෙවිට අකීකරු වුණා විතරක් නොවෙයි, ඔහුගෙන් ස්වාධීනව කටයුතු කිරීමට ආශාවක් ඇති බවද පිළිබිඹු කළා.

හරි වැරැද්ද කුමක්ද යන්න පිළිබඳව මතු වූ වාද විෂය

ඒදන් උයනේදී දියත් කළ මෙම කැරැල්ල නිසා හොඳ නරක කුමක්ද යන්න පිළිබඳව, මුළු විශ්වයටම බලපාන වැදගත් වාද විෂයක් ඉස්මතු වුණා. යෙහෝවා තම මැවිලි කෙරෙහි ආධිපත්‍යය පතුරුවන්නේ නිවැරදිවද යන්න පිළිබඳව මෙම කැරලිකාර මනුෂ්‍යයන් සැක පහළ කළා. මනුෂ්‍යවර්ගයාගෙන් පූර්ණ කීකරුකම බලාපොරොත්තු වීමට මැවුම්කරුට අයිතියක් තිබුණාද? මිනිසා ඔහුගෙන් ස්වාධීනව කටයුතු කළා නම් තත්වය ඊට වඩා හොඳ අතට පත්වීමට තිබුණා විය නොහැකිද?

ඉදිරිපත් කරනු ලැබූ මෙම අභියෝගයට යෙහෝවා මුහුණ දුන් ආකාරයෙන් ප්‍රේමය, යුක්තිය, ප්‍රඥාව හා බලය යන ගුණාංග ඔහු විදහාපෙන්වන්නේ මනා සමබරතාවකින් බව පැහැදිලියි. කැරැල්ල ඒ මොහොතේදීම යටපත් කර දැමීමට ඔහුගේ බලය යොදාගන්න ඔහුට පුළුවන්කම තිබුණා. ඔහුට එසේ කිරීමට අයිතිය තිබුණ නිසා ඒ දේ කිරීම යුක්තිසහගත දෙයක් මෙන් පෙනෙන්ට තිබුණා විය හැකියි. නමුත් එසේ කළා නම්, හරි වැරැද්ද කුමක්ද යන්න පිළිබඳව මතු වූ ප්‍රශ්නවලට පිළිතුරක් ලබා දීමට හැකි වන්නේ නැහැ. අනික් අතට, එම පාපය නොසලකා හැරීමටද දෙවිට හැකියාවක් තිබුණා. එලෙස නොසලකා හැරීම තමයි ප්‍රේමණීය දේ කියා අද සිටින ඇතමෙකුට හැඟෙන්න පුළුවන්. නමුත් තමාවම පාලනය කිරීමට මනුෂ්‍යයාට නිදහස දුන්නොත් වඩා හොඳ ප්‍රතිඵල අත් වන බවට වූ සාතන්ගේ චෝදනාවට එමගින් නිසි පිළිතුරක් ලබා දීමට නොහැකි වෙනවා. තවද, යෙහෝවාගේ මාර්ගයෙන් ඉවත්ව යෑමට තවත් අයටත් එමගින් දිරිය ලැබෙන්නේ නැද්ද? එහි අන්තිම ප්‍රතිඵලය වන්නේ නිමාවක් නොමැතිව දුක් වේදනා විඳීමට සිදුවීමයි.

යෙහෝවා ප්‍රඥාවන්ත ලෙස, මනුෂ්‍යයන්ට තමන්ට රිසි මඟෙහි යන්න කලකට ඉඩහැර තිබෙනවා. මෙම ක්‍රියාමාර්ගය ගැනීම නිසා තාවකාලිකව දුක් වේදනා පැවතීමට ඉඩහරින්න සිදු වුණ බව ඇත්තයි. එහෙත්, දෙවිගෙන් ස්වාධීන වී සාර්ථක ලෙස පාලනය කරන්න පුළුවන්ද බැරිද කියාත් හරි වැරැද්ද පිළිබඳව තමන්ගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වීමට තමන්ට හැකිද කියාත් පෙන්වීමට මනුෂ්‍යයන්ට එමගින් ප්‍රස්තාව උදා වී තිබෙනවා. එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ කුමක්ද? යුද්ධ, අයුක්තිය, කෲර පාලනය හා දුක් වේදනාවලින් ඉතිහාසය පුරාම මනුෂ්‍යයන් පීඩා විඳ තිබීමයි. අවසානයේදී, යෙහෝවාට විරුද්ධව සිදු කරනු ලැබූ කැරැල්ල අසාර්ථක වන විට ඒදන් උයනේදී ඉස්මතු කළ වාද විෂයන් සදහටම සමතයකට පත් වනු නියතයි.

ඒ අතරතුර මිදීමේ මිලයක් කොට තම මනුෂ්‍ය ජීවිතය පුද කිරීම සඳහා තම පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්ව පොළොවට එවීමෙන් දෙවි තම ප්‍රේමය පෙන්වා තිබෙනවා. ආදම්ගේ අකීකරුකම හේතුවෙන් පාපයට හා මරණයට වහල් වූ කීකරු මනුෂ්‍යවර්ගයාට නිදහස් වීමට එමගින් මඟ සැලසුණා. මිදීමේ මිලය නිසා, යේසුස් කෙරෙහි ඇදහිල්ල දක්වන ජනයාට සදාකාල ජීවනය ලැබීමේ ප්‍රස්තාවද විවෘත වුණා.—යොහන් 3:16.

මිනිසා විඳින දුක් වේදනා තාවකාලික බවට යෙහෝවා සැනසිලිදායක සහතිකයක් සපයනවා. “මද කලකින් දුෂ්ටයා නැති වන්නේය” කියා ගීතිකාකරු ලිව්වා. “නුඹ ඔහුගේ ස්ථානය පරීක්ෂා කර බලන්නෙහිය, ඔහු සම්බ නොවන්නේය. නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය; ඔවුහු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.”—ගීතාවලිය 37:10, 11.

අනාගතයේදී සුරක්ෂිතභාවය හා සන්තෝෂය

බයිබල් අනාවැකි ඉටුවීමෙන් පෙනී යන්නේ දෙවි අසනීප, වියෝ දුක හා මරණය නැති කර දමන කාලය ආසන්න බවයි. මතු පැමිණෙන දේවල් පිළිබඳව ප්‍රේරිත යොහන් දුටු මවිතකර දර්ශනය වෙතට මොහොතකට අවධානය යොමු කරමු. “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. මක්නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහව ගියේය; මුහුදද තවත් නොවීය. . . . දෙවි [මනුෂ්‍යවර්ගයා] සමඟ සිට . . . ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.” මෙම පොරොන්දුව කොතරම් විශ්වාසවන්තයිද කියා කාවැද්දවීම සඳහා යොහන්ට තවදුරටත් මෙසේ පවසනු ලැබුවා. “ලියන්න මක්නිසාද මේ වචන විශ්වාසය, සැබෑය.”—එළිදරව් 21:1-5.

ඒදන් උයනේ දියත් කළ කැරැල්ලෙන් පසුව මිය ගිය මිලියන සංඛ්‍යාත අහිංසක ජනයා ගැන කුමක් කිව හැකිද? දැන් මරණ නින්දෙහි සැතපී සිටින අයව නැවත ජීවත් කරවන බවට දෙවි පොරොන්දු කර තිබෙනවා. ප්‍රේරිත පාවුල් පවසන්නේ මෙසේයි. “ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ යන දෙපිරිසගේම නැවත නැඟිටීමක් ඇතැයි, . . . දෙවි කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටිමි.” (ක්‍රියා 24:15, NW) මෙවැනි අයට “ධර්මිෂ්ඨකම වාසය කරන” ලෝකයක ජීවත් වීමේ අපේක්ෂාව තිබෙනවා.—2 පේතෘස් 3:13.

ප්‍රේමණීය පියෙක් තම දරුවාට වේදනාකාරී සැත්කමකට මුහුණ දෙන්න ඉඩ දෙන්නේ එයින් කල් පවතින ප්‍රයෝජන අත් වන බව දන්න නිසයි. ඒ හා සමානව, තාවකාලිකව මිහිපිට දුෂ්ටකම පවතින්න යෙහෝවා ඉඩහැර තිබෙනවා. නමුත් දෙවිගේ කැමැත්ත සොයන අයට සදාකාලික ආශීර්වාද භුක්ති විඳින්න පුළුවන්. පාවුල් මෙසේ පැහැදිලි කළා. “මැවිල්ල නිෂ්ඵලභාවයට යටත් කරනු ලැබුවේ, මැවිල්ලේම කැමැත්ත නිසා නොව, නමුත් බලාපොරොත්තුව පදනම් කරගෙන එසේ යටත් කළ තැනැත්තා නිසාය. එනම් ඒ මැවිල්ලද දිරාපත් වීමේ වහල්කමින් නිදහස් වී දෙවිගේ දරුවන්ට හිමි තේජවත් නිදහස ලබන පිණිසය.”—රෝම 8:20, 21, NW.

මෙය රූපවාහිනියේ නැරඹීමට තිබෙන හෝ පුවත්පත්වල කියවීමට තිබෙන ප්‍රවෘත්ති මෙන් නොවෙයි. එය ඇත්තෙන්ම ශුභාරංචියක්. අපට ලැබිය හැකි හොඳම ප්‍රවෘත්තිය වන්නේ අප ගැන සලකන ‘සියලු සැනසිල්ලේ දෙවිගෙන්’ ලද එම පුවතයි.—2 කොරින්ති 1:3, NW.

[6වන පිටුවේ පින්තූර]

දෙවිගෙන් ස්වාධීන වී තමන්ව සාර්ථක ලෙස පාලනය කිරීමට මනුෂ්‍යයන්ට නොහැකි බව කාලයත් සමඟම හෙළි වී තිබෙනවා

[හිමිකම් විස්තර]

Somalian family: UN PHOTO 159849/M. GRANT; atom bomb: USAF photo; concentration camp: U.S. National Archives photo