Skip to content

පටුනට යන්න

“පුහුණුව ලබන්න”

“පුහුණුව ලබන්න”

“පුහුණුව ලබන්න”

ශීඝ්‍රයෙන්, ඉදිරියෙන්, මුළු වැරෙන් යා! පුරාණ ග්‍රීසියේ හා රෝමයේ මලල ක්‍රීඩකයන්ගේ ඉලක්කය වූයේ එම වදන්වලින් කියවෙන දෙය අත් කරගැනීමයි. සියවස් ගණනාවක් පුරා ඔලිම්පියා, ඩෙල්ෆි, නිමියා හා කොරින්තිය යන නගරවලදී දෙවි දේවතාවන්ගේ “ආශීර්වාද” මැද මලල ක්‍රීඩා පවත්වන ලද්දේ අතිඋත්සවශ්‍රීයෙනි. දහස්ගණන් ප්‍රේක්ෂකයන් ඒවා නැරඹුවේ මහත් උනන්දුවකින්. මෙම ක්‍රීඩාවලට සහභාගි වීමේ සුවිශේෂී ප්‍රස්තාව උදා වූයේ වසර ගණනාවක් පුරා වෙහෙස මහන්සි වී පුහුණු වීමෙන් අනතුරුවයි. ජයග්‍රාහකයන්ටත් ඔවුන් උපන් නගරයටත් මෙයින් අතිමහත් ගෞරවයක් හිමි විය.

එවන් සංස්කෘතියක් පැවති පසුබිමක ජීවත් වූ ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල ලේඛකයන් ක්‍රිස්තියානීන් නිරත වී සිටි ආත්මික ධාවන තරඟය මලල ක්‍රීඩාවක් සමඟ සංසන්දනය කිරීම පුදුමයට හේතුවක් නොවේ. ප්‍රේරිතයන් වූ පේතෘස් හා පාවුල් යන දෙදෙනාම ඉගැන්වීමේදී බලපෑමෙන් යුක්තව කරුණු ඉදිරිපත් කිරීම සඳහා ක්‍රීඩා හා බැඳි නිදසුන් දක්ෂ ලෙස යොදාගත්හ. අපේ කාලයේදීද එම දුෂ්කර වූ ක්‍රිස්තියානි ධාවන තරඟය අඛණ්ඩව ඇදෙමින් පවතී. මුල් සියවසේ විසූ ක්‍රිස්තියානීන්ට කටයුතු කිරීමට සිදු වූයේ යුදෙව් ක්‍රමය සමඟයි. වර්තමානයේ අපට ‘පොරබදින්න’ සිදු වී තිබෙන්නේ විනාශ වීමට ආසන්න ලෝක ක්‍රමයක් සමඟයි. (2 තිමෝති 2:5; 3:1-5) “ඇදහිල්ල නමැති මහා ධාවනය” නිමක් නොමැති ඉතා වෙහෙසකර ධාවනයක් බව ඇතැමුන්ට පෙනී යා හැක. (1 තිමෝති 6:12, නව අනුවාදය) ක්‍රිස්තියානි ධාවනය හා මලල ක්‍රීඩා අතර තිබෙන සමානකම් සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් කරුණු පරීක්ෂා කර බැලීමෙන් අපට ප්‍රයෝජන රැසක් අත් කරගත හැකියි.

විශිෂ්ට පුහුණුකරුවෙක්

මලල ක්‍රීඩකයෙකුගේ සාර්ථකත්වය බොහෝදුරට රඳා පැවතියේ ඔහුගේ පුහුණුකරු මතයි. ඉපැරණි ක්‍රීඩා ගැන එක් පොතක (Archaeologia Graeca) මෙසේ සඳහන් වේ. “තමන් මූලික අභ්‍යාසවල සම්පූර්ණ මාස දහයක් යෙදී සිටි බවට තරඟකරුවන් දිවුරුම් ප්‍රකාශයක් කළ යුතු විය.” ක්‍රිස්තියානීන්ද දැඩි වෑයමක් දැරිය යුතු පුහුණු වීම්වල නිරත වීම අවශ්‍යයි. ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකු වූ තිමෝතිට පාවුල් මෙසේ උපදෙස් දුන්නේය. “දේවභක්තිය ඔබේ ඉලක්කය කරගෙන පුහුණුව ලබන්න.” (1 තිමෝති 4:7, NW) ක්‍රිස්තියානි “මලල ක්‍රීඩකයෙකුගේ” පුහුණුකරු කවුද? යෙහෝවා දෙවි මිස වෙන කිසිවෙකු නොවේ. මේ සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “සියලු මහත් කරුණාවේ දෙවිම ඔබේ පුහුණුව නිමා කර, ඔබව ස්ථිර කරනු ඇත. ඔහු ඔබව ශක්තිමත් කරනු ඇත.”—1 පේතෘස් 5:10, NW.

‘ඔබේ පුහුණුව නිමා කරනු ඇත’ යන ප්‍රකාශය පැමිණෙන්නේ ග්‍රීක් ක්‍රියා පදයකිනි. එක් ශබ්ද කෝෂයකට (Theological Lexicon of the New Testament) අනුව එහි මූලික අර්ථය වන්නේ “යම් දෙයකින් [හෝ පුද්ගලයෙකුගෙන්] අපේක්ෂා කරන අරමුණට යෝග්‍ය ලෙස එය [හෝ ඔහුව] සකස් කිරීමයි. භාවිතයට උචිත ලෙස එය සූදානම් කිරීම හා සකස් කිරීමයි.” මේ හා සමානව, “සම්පූර්ණයෙන් සුදානම් කරනවා, පුහුණු කරනවා හෝ සම්පූර්ණයෙන්ම සන්නාහ සන්නද්ධ කරනවා” යනුවෙන්ද මෙම ක්‍රියා පදය විග්‍රහ කළ හැකි බව ලිඩ්ල් හා ස්කොට්ගේ ග්‍රීක් ඉංග්ලිෂ් ලෙක්සිකන් නමැති ශබ්ද කෝෂයේ සඳහන් වේ. අසීරු වූ ක්‍රිස්තියානි ධාවන තරඟයට යෙහෝවා ‘අපව සම්පූර්ණයෙන් සූදානම් කරන්නේ, පුහුණු කරන්නේ හා අපට අවශ්‍ය දෑ සපයන්නේ’ කිනම් ආකාරවලින්ද? ක්‍රිස්තියානි ධාවනයේ හා මලල ක්‍රීඩාවක තිබෙන සමානකම් තේරුම්ගැනීම සඳහා පුහුණුකරුවන් යොදාගන්නා ක්‍රම කිහිපයක් දැන් අපි සලකා බලමු.

පුරාණ ග්‍රීසියේ පැවති ඔලිම්පික් ක්‍රීඩා (සිංහලෙන් නැත) නමැති පොතේ මෙසේ සඳහන් වේ. “තරුණයන්ව පුහුණු කළ අය ප්‍රධාන ක්‍රම දෙකක් යොදාගත්හ. මෙහිදී යොදාගනු ලැබූ මුල් ක්‍රමයේ අරමුණ වූයේ විශිෂ්ටතම ප්‍රතිඵල අත් කරගැනීම සඳහා කායිකව යෙදවිය හැකි උපරිම වෑයම දැරීමට පුහුණුව ලබන්නාව දිරිමත් කිරීමයි. ඔහුගේ තාක්ෂණය හා ක්‍රීඩා විලාසය වැඩි දියුණු කිරීම දෙවන අරමුණ විය.”

මේ හා සමානව, අපේ උපරිම හැකියාව කරා ළඟාවීමට හා ඔහුගේ සේවයේ හවුල් වෙද්දී අපේ දක්ෂතා වර්ධනය කරගැනීමට යෙහෝවා අපව දිරිමත් කරයි. ශක්තිමත් කරයි. බයිබලය හා ඔහුගේ භූමික සංවිධානය මාර්ගයෙන්ද මේරූ ක්‍රිස්තියානීන් මාර්ගයෙන්ද අපේ දෙවි අපව පණගන්වයි. සමහර අවස්ථාවලදී ඔහු අපව පුහුණු කරන්නේ හික්මවීම සැපයීමෙනි. (හෙබ්‍රෙව් 12:6, NW) තවත් අවස්ථාවලදී විවිධ පරීක්ෂණවලට හා දුෂ්කරතාවලට මුහුණ දීමට ඔහු අපට ඉඩහැරිය හැක. මෙසේ කරන්නේ විඳදරාගැනීම වර්ධනය කරගැනීමට අපට අවස්ථාව ලබා දීම සඳහාය. (යාකොබ් 1:2-4) කෙසේවෙතත්, ඔහු අපට අවශ්‍ය ශක්තිය සපයයි. අනාගතවක්තෘ යෙසායා මෙසේ පවසයි. “යෙහෝවා ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්නෝය. ඔවුහු රාජාලීන් මෙන් පියාඹා නඟින්නෝය. ඔවුහු දුවන්නෝය. එහෙත් වෙහෙස නොවෙති. ඔවුහු ඇවිදින්නෝය. එහෙත් ක්ලාන්ත නොවෙති.”—යෙසායා 40:31.

ප්‍රධානතම දෙය වන්නේ දෙවි බහුල ලෙස ඔහුගේ ආත්මය අපට ලබා දීමයි. ඔහුට පිළිගත හැකි අයුරින් දිගටම පරිශුද්ධ සේවය පිරිනැමීමට අපව ශක්තිමත් කරන්නේ ඔහුගේ ආත්මයයි. (ලූක් 11:13) බොහෝ අවස්ථාවලදී දෙවිගේ සේවකයන් ඇදහිල්ල සම්බන්ධයෙන් දුෂ්කර මෙන්ම දිගු කාලයක් පවතින පරීක්ෂණ විඳදරාගෙන තිබේ. මෙසේ කර තිබෙන්නේ අප හා සමාන පුරුෂයන් හා ස්ත්‍රීන්ය. එනමුත් එවන් පරීක්ෂණ මැද විඳදරාගැනීමට ඔවුන්ට හැකි වී තිබෙන්නේ ඔවුන් සම්පූර්ණයෙන්ම දෙවි මත රඳා සිටි නිසාය. ඇත්තෙන්ම, ‘සාමාන්‍යය ඉක්ම වූ ඒ ශක්තිය පැමිණෙන්නේ අපෙන් නොව, දෙවිගෙනි.’—2 කොරින්ති 4:7, NW.

සානුකම්පිත පුහුණුකරුවෙක්

“එක් එක් මලල ක්‍රීඩකයාගේ අවශ්‍යතාව හා ඔහු නිරත වූ ක්‍රීඩාව අනුව ඔහු කළ යුතු ව්‍යායාම හා ඒවා කරන වාර ගණන තීරණය කිරීම” පුරාණයේ සිටි පුහුණුකරුවෙකුගේ එක් කාර්යයක් බව විද්වතෙක් පවසයි. දෙවි අපව පුහුණු කරද්දී අප එක් එක්කෙනාගේ තත්වයන්, හැකියාවන්, සැකැස්ම හා සීමාවන් සැලකිල්ලට ගනියි. යෙහෝවාගෙන් පුහුණුව ලබන අපි යෝබ් මෙන් බොහෝ අවස්ථාවලදී මෙසේ කන්නලව් කරන්නෙමු. ‘ඔබ මා මැටිවලින් සෑදූ බව සිහි කරන්න.’ (යෝබ් 10:9) අපේ සානුකම්පිත පුහුණුකරු එයට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? දාවිත් යෙහෝවා ගැන මෙසේ ලීවේය. “ඔහු අපේ ස්වභාවය දන්නේය. අප ධූලි බව ඔහු සිහි කරන්නේය.”—ගීතාවලිය 103:14.

දේවසේවයෙහි ඔබට කළ හැකි දේවල් සීමා කරවන දරුණු අසනීපයකින් ඔබ පෙළෙනවා විය හැකියි. නැත්නම් ඔබ ගැන ඇති වන අවතක්සේරු සහගත හැඟීම් සමඟ ඔබ පොරබදමින් සිටිනවා වන්නට පුළුවන. සමහරවිට ඔබ නරක පුරුද්දක් අත්හරින්ට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනවා විය හැකියි. නැත්නම් අසල්වැසියන්ගෙන් හෝ රැකියා ස්ථානයේදී හෝ පාසැලේදී ඇති වන තුල්‍ය පීඩනයට මුහුණ දීමට නොහැකියි කියා ඔබට හැඟෙනවා වන්නට පුළුවන. ඔබ මුහුණ දෙමින් සිටින තත්වය කුමක් වුවත්, ඔබේ ගැටලුව ගැන වෙන කිසිවෙකුට වඩා ඇත්තෙන්ම ඔබටත් වඩා හොඳින් යෙහෝවාට තේරෙන බව කවදාවත් අමතක කරන්ට එපා. ඔබ ඔහුට ළං වෙනවා නම්, සැලකිලිමත් පුහුණුකරුවෙකු වන ඔහු ඔබට උපකාර කිරීමට නිතරම සෑදී පැහැදී සිටියි.—යාකොබ් 4:8.

“ව්‍යායාම නිසා පමණක් නොව නොයෙක් මානසික හේතු, කනස්සල්ල හා අවපීඩනය මෙන්ම වෙනත් හේතු නිසා ඇති වූ වෙහෙස හා දුබලකම තේරුම්ගැනීමට” පුරාණයේ සිටි පුහුණුකරුවන්ට හැකි වූ බව එක් පොතක සඳහන් වේ. “[පුහුණුකරුවන්ට] තිබූ බලතල කොතරම්ද කියනවා නම් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික ජීවිතයේ කාරණා පවා සොයා බලන්න අවශ්‍යයි කියා ඔවුන්ට හැඟුණු අතර, අවශ්‍ය වූ විටෙක ඒවාට මැදිහත් වෙන්නත් ඔවුන් පසුබට වූයේ නැත.”

මේ ලෝකයෙන් එල්ල වන දැඩි පීඩන හා පරීක්ෂා නිසා වෙහෙසට පත්ව සිටින බවක් හෝ දුර්වලව සිටින බවක් ඔබට ඇතැම් අවස්ථාවලදී හැඟෙනවාද? ඔබේ පුහුණුකරු වශයෙන් යෙහෝවා ඔබ ගැන ඉමහත් සැලකිල්ලක් දක්වයි. (1 පේතෘස් 5:7) ආත්මික දුර්වලකමක් හෝ දැඩි ලෙස වෙහෙසට පත්ව සිටින බවක් ඔබ තුළ දක්නට තිබෙනවා නම් ඔහු එය ක්ෂණිකව වටහාගනී. යෙහෝවා අපේ නිදහස් කැමැත්තට හා පෞද්ගලික තේරීම්වලට ගරු කළත් අපේ සදාකාලික ශුභ සිද්ධිය ගැන සිතා අපට ඕනෑතරම් උපකාරය සපයයි. එමෙන්ම අවශ්‍ය අවස්ථාවලදී නිවැරදි කිරීම්ද ලබා දෙයි. (යෙසායා 30:21) ඒ කෙසේද? බයිබලය සහ බයිබලය මත පදනම් ප්‍රකාශන හා සභාවේ සිටින ආත්මික වැඩිමහල්ලන් මෙන්ම අපේ ප්‍රේමනීය සහෝදර සහෝදරියන්ව යොදාගනිමිනි.

“සියල්ලෙහිදී ආත්ම දමනයෙන්”

සාර්ථක වීම සඳහා හොඳ පුහුණුකරුවෙකු පමණක් ප්‍රමාණවත් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. බොහෝ දේ රඳා පවතින්නේ ක්‍රීඩකයා මත හා දැඩි පුහුණුවක් ලබාගැනීමට වූ ඔහුගේ කැපවීම මතයි. ඇතැම් දේවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටීම හා නිර්දේශිත ප්‍රමාණයකට ආහාර ගැනීම පුහුණුවට අයත් වූ නිසා එය දුෂ්කර විය. තරඟකරුවන් “ඉලක්කය අත් කරගැනීම සඳහා ස්ත්‍රීන්ගේ ඇසුර සොයා යෑමෙන් හා මත්පැන්වලින් වැළකී සිටියා” කියා පො.යු. පෙ. පළමුවන සියවසේ සිටි හෝරස් නම් කවියා පැවසුවේය. බයිබල් විශාරද එෆ්. සි. කුක් පවසන ආකාරයට ක්‍රීඩාවලට සහභාගි වූවන්ට “මාස දහයක් තිස්සේ ආත්ම දමනය ඇතුව සිටීමටද ඇතැම් ආහාර පානාදියෙන් වැළකී සිටීමටද” සිදු විය.

පාවුල් මෙම සැසඳීම කළේ ඉස්ත්මීය ක්‍රීඩා පැවැත්වූ ස්ථානය අසල පිහිටි නගරයක් වූ කොරින්තියේ විසූ ක්‍රිස්තියානීන්ට ලියූ අවස්ථාවේදීය. ඔහු ඔවුන්ට මෙසේ ලීවේය. “තරඟයක සහභාගි වන සෑම මිනිසෙකුම සියල්ලෙහිදී ආත්ම දමනයෙන් යුතුව හැසිරෙන්නේය.” (1 කොරින්ති 9:25, NW) සැබෑ ක්‍රිස්තියානීහු මේ ලෝකයේ ද්‍රව්‍යවාදී, දුරාචාරමය හා අපවිත්‍ර ජීවන රටාවලින් වැළකී සිටිති. (එපීස 5:3-5; 1 යොහන් 2:15-17) අභක්තික මෙන්ම ශුද්ධ ලියවිල්ලෙහි හෙළා දැක තිබෙන ගති ලක්ෂණ ගළවා දමා ඒ වෙනුවට ක්‍රිස්තුස් විදහාපෙන්වූ ගුණාංග පැළඳගත යුතුය.—කොලොස්සි 3:9, NW, 10, 12.

මෙය කළ හැක්කේ කෙසේද? ප්‍රබල උදාහරණයක් යොදාගනිමින් එක් ආකාරයක් ගැන පාවුල් පැවසූ දෙය සැලකිල්ලට ගන්න. “මාගේ ශරීරය දමනය කර වාල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනා කළාට පසු කොයි ලෙසකින්වත් මාම එපා කරනු නොලබන පිණිසය.”—1 කොරින්ති 9:27.

මෙහිදී පාවුල් ගෙනහැර දැක්වූ කරුණ මොනතරම්ද ප්‍රබලද! ශරීරයට වධ දීම ඔහු නිර්දේශ කරමින් සිටියේ නැත. තමාගේ අභ්‍යන්තරයේ ගැටුම් පවතින බව ඔහු පිළිගත්තේය. ඇතැම් අවස්ථාවලදී ඔහු කළේ ඔහු අකමැති වූ දේවල්ය. ඔහු කැමති වූ දේවල් කළේ නැත. එනමුත් තමාව පාලනය කිරීමට ඔහු කවදාවත් තමාගේ දුර්වලකම්වලට ඉඩ දුන්නේ නැත. ඔහු ‘තමාගේ ශරීරය දමනය කර වහල්කමට පමුණුවාගත්තේය.’ මින් අදහස් කරන්නේ මාංසික ආශාවන් හා ගතිලක්ෂණ මෙල්ල කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරීමයි.—රෝම 7:21-25.

සියලුම ක්‍රිස්තියානීන්ද ඒ දෙයම කිරීම අවශ්‍ය වේ. ක්‍රිස්තියානීන් වීමට කලින් වේශ්‍යාකම් කළ, පිළිම නමස්කාරයේ හා සමලිංගික සේවනයේ හවුල් වූ, සොරකම් කළ හා වෙනත් වැරදි දේවල් කළ කොරින්තියේ විසූ ඇතැමුන් පසුව කළ වෙනස්කම් ගැන පාවුල් කතා කළේය. එවන් වෙනස්කම් කිරීමට ඔවුන්ට හැකිකම ලබා දුන්නේ කුමක්ද? දෙවිගේ වචනයේ හා ශුද්ධාත්මයේ බලය හා එයට අනුකූල වීමට ඔවුන් තුළ තිබූ අධිෂ්ඨානයයි. “නුමුත් ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්ද අපගේ දෙවිගේ [ආත්මයෙන්ද] නුඹලා සෝදනු ලැබුවහුය. ශුද්ධ කරනු ලැබුවහුය. ධර්මිෂ්ඨ කරනු ලැබුවහුය” කියා පාවුල් පැවසුවේය. (1 කොරින්ති 6:9-11) එවන් නරක පුරුදු අත්හැරිය තවත් සමහරුන් ගැන පේතෘස්ද ලීවේය. ක්‍රිස්තියානීන් වශයෙන් ඔවුන් සියලුදෙනාම සැබෑ වෙනස්කම් කර තිබිණ.—1 පේතෘස් 4:3, 4.

නිවැරදි ඉලක්කයක් තබාගෙන දරන වෑයම්

තමාගේ මනස විශේෂයෙන් ආත්මික ඉලක්ක අත් කරගැනීම කෙරෙහි පැහැදිලිව යොමු කර තබාගෙන සිටි ආකාරය පාවුල් මෙසේ නිදර්ශනය කළේය. “මා . . . පහර දෙන්නේ හුළඟට පහර දෙන්නාක් මෙන් නොවේය.” (1 කොරින්ති 9:26) බොක්සිං තරඟකරුවෙක් පහර එල්ල කරන්නේ කෙසේද? එක් පොතක (The Life of the Greeks and Romans) එයට මෙසේ පිළිතුරු සපයයි. “විගස එක පිට එක පහර එල්ල කිරීම පමණක්ම නොව ප්‍රතිවාදියාගේ දුර්වලකම් ක්ෂණිකව හඳුනාගැනීමේ තියුණු දෘෂ්ටියක් තිබීමද අවශ්‍යය. එමෙන්ම මල්ලවපොර පුහුණු පාසැල්වලදී ඉගෙනගත් දක්ෂ පහර දීමේ ක්‍රම යොදාගැනීම හා ප්‍රතිවාදියාව පරාජයට පත් වන අයුරින් පහර එල්ල කරන ආකාරය සම්බන්ධයෙන් ක්ෂණික තීරණ ගැනීමේ හැකියාවද ජයග්‍රහණයට ඉවහල් විය.”

අපට සිටින ප්‍රතිවාදීන්ගෙන් කෙනෙකි, අපේ අසම්පූර්ණ ශරීරය. අපේ පෞද්ගලික “දුර්වලකම්” අප හඳුනාගෙන තිබෙනවාද? අප දෙස අනිත් අය බලන ආකාරයට, විශේෂයෙන්ම සාතන් අප දෙස බැලිය හැකි ආකාරයට අප අපවම සෝදිසි කර බැලීමට සූදානම්ද? මේ සඳහා තමන් ගැන අවංක තක්සේරුවක් කර අවශ්‍ය වෙනස්කම් කිරීම අවශ්‍යයි. තමන්වම රවටාගැනීම පහසුවෙන්ම සිදු විය හැක. (යාකොබ් 1:22) අනුවණ ක්‍රියාවක් සාධාරණීකරණය කිරීම මොනතරම් පහසු දෙයක්ද! (1 සාමුවෙල් 15:13-15, 20, 21) මෙය හරියට ‘සුළඟට පහර දීමක්’ වැනිය.

මේ අන්තිම දවස්වලදී, යෙහෝවාව සතුටු කිරීමටත් ජීවනය අත් කරගැනීමටත් කැමැත්තෙන් සිටින අයට හරි වැරැද්ද අතරත් දෙවිගේ සභාව හා දූෂිත ලෝකය අතරත් තේරීමක් කිරීමේදී දෙගිඩියාවෙන් බල බලා සිටිය නොහැක. ඔවුන් ‘දෙසිත් ඇති මනුෂ්‍යයෝව, තමාගේ සියලු මාර්ගවලදී අස්ථිරව සිටින’ වැනෙනසුලු අය මෙන් වීමෙන් වැළකී සිටිය යුතුය. (යාකොබ් 1:8) එමෙන්ම ඔවුන් ඵලක් නැති දේවල් ලුහුබැඳීම සඳහා තමන්ගේ කාලය හා ශ්‍රමය වැය නොකළ යුතුය. විශේෂයෙන් මනස යොමු කර තබාගත යුතු වූ මෙම පැහැදිලි මාර්ගයේ යමෙක් ගමන් කරන විට ඔහු සන්තෝෂය අද්දකිනු ඇත. එමෙන්ම ඔහුගේ ‘දියුණුව සියල්ලන්ටද පෙනෙනු ඇත.’—1 තිමෝති 4:15.

ක්‍රිස්තියානී ධාවනය අඛණ්ඩව ඉදිරියට ඇදෙමින් පවතී. අපේ ශ්‍රේෂ්ඨ පුහුණුකරු වන යෙහෝවා අපට විඳදරාගැනීමට හා අවසානයේදී ජයග්‍රහණය අත් කරගැනීමට අවශ්‍ය කරන උපදෙස් හා උපකාරය ප්‍රේමනීය ලෙස සපයයි. (යෙසායා 48:17) පුරාණයේ සිටි මලල ක්‍රීඩකයන් මෙන් අපත් තමන්වම හික්මවාගැනීම, ආත්ම දමනය හා ඇදහිල්ල සඳහා වූ අපේ සටන කෙරෙහි සිත මුළුමනින්ම යොමු කරගෙන සිටීම අවශ්‍යයි. නිවැරදි ඉලක්කයක් තබාගෙන දරන වෑයම්වලට මහඟු විපාක ලැබෙන බව නිසැකයි.—හෙබ්‍රෙව් 11:6.

[31වන පිටුවේ කොටුව]

‘ඔහුට තෙල් ආලේප කරන්න’

පුරාණ ග්‍රීසියේ සිටි මලල ක්‍රීඩකයන්ව පුහුණු කිරීමට අයත් එක් අංගයක් ඉටු කරනු ලැබුවේ තෙල් ආලේප කරන්නෙකු විසිනි. ඔහුගේ කාර්යය වූයේ ව්‍යායාම් කිරීමට සූදානම්ව සිටි පුරුෂයන්ගේ සිරුරුවල තෙල් ආලේප කිරීමයි. “පුහුණු වීම්වල නිරත වීමට කලින් ක්‍රීඩකයන්ගේ මාංශ පේශි දක්ෂ ලෙස සම්බාහනය කිරීමෙන් ප්‍රයෝජනදායක ප්‍රතිඵල ලැබෙන” බව පුහුණුකරුවෝ තේරුම්ගත්හ. එමෙන්ම, “පරෙස්සමින් මෘදු ලෙස කරනු ලබන සම්බාහනය දිගු වේලාවක් පුහුණු වීම්වල නිරත වූ ක්‍රීඩකයෙකුට වෙහෙස නිවාගැනීමට හා ප්‍රාණවත් බවක් ඇති කරගැනීමට උපකාරවත් වූ” බවත් ඔවුහු තේරුම්ගත් බව එක් පොතක (The Olympic Games in Ancient Greece) සඳහන් වේ.

සාමාන්‍යයෙන් යමෙකුගේ සිරුරට තෙල් ආලේප කරද්දී යම් සහනයක් හා සුවදායී බවක් දැනෙන්නාක් මෙන් වෙහෙසට පත් වූ ක්‍රිස්තියානි “මලල ක්‍රීඩකයෙකුට” දේවවචනයේ සඳහන් දෑ අදාළ කර දක්වද්දී එයින් සහනයක් හා සුවයක් ඔහුට දැනිය හැක. එමෙන්ම එමගින් තමාගේ අඩු ලුහුඬුකම් නිවැරදි කරගැනීමටද ඔහුට පුළුවන. මේ නිසා, එවන් කෙනෙකු වෙනුවෙන් යාච්ඤා කරන්ට කියා යෙහෝවාගේ මඟ පෙන්වීම යටතේ සිටින සභා වැඩිමහල්ලන්ට උපදෙස් දී තිබේ. එය ‘යෙහෝවාගේ නාමයෙන් තෙල් ආලේප කිරීමක්’ හා සමානය. ආත්මිකව සුවය ලැබීම සඳහා එය අත්‍යවශ්‍ය දෙයකි.—යාකොබ් 5:13-15; ගීතාවලිය 141:5.

[31වන පිටුවේ පින්තූරය]

තමන් මාස දහයක පුහුණුවක් ලබා තිබෙන බවට ක්‍රීඩකයෝ පූජාවක් ඔප්පු කිරීමෙන් පසු දිවුරුම් දුන්හ

[හිමිකම් විස්තර]

Musée du Louvre, Paris

[29වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Copyright British Museum