Skip to content

පටුනට යන්න

යුද්ධයෙන් පසු සිදු වූ වර්ධනයට හවුල් වීමේ වරප්‍රසාදය

යුද්ධයෙන් පසු සිදු වූ වර්ධනයට හවුල් වීමේ වරප්‍රසාදය

ජීවිත කතාව

යුද්ධයෙන් පසු සිදු වූ වර්ධනයට හවුල් වීමේ වරප්‍රසාදය

පැවසුවේ ෆිලිප් එස්. හෝෆ්මාන්

වර්ෂ 1945 මැයි මාසය වෙද්දී IIවෙනි ලෝක මහා යුද්ධය අවසන් වුණා. ඒ කාලයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත දේශනා සේවය අධීක්ෂණය කළේ නේදන් එච්. නෝර්. ඔහුගේ ලේකම් වෙලා හිටියේ 25-හැවිරිදි මිල්ටන් ජී. හෙන්ෂල්. ඒ දෙසැම්බරයේදී ඔහු තම ලේකම්වත් කැටුව ඩෙන්මාර්ක්වලට ආවා. ඔවුන් එන තෙක් ආශාවෙන් බලාගෙන හිටිය පිරිස විශාල ශාලාවක් කුලියට ගත්තා. සහෝදර හෙන්ෂල් අපේ වයස් මට්ටමේ හිටිය නිසා ඔහු දීපු කතාව යෞවන අපිව ප්‍රබෝධවත් කළා. ඔහු තෝරගෙන තිබුණේ “නුඹේ යෞවන දවස්වලදී නුඹේ මැවුම්කාරයා සිහි කරන්න” කියන තේමාවයි.—දේශනාකාරයා 12:1.

ඔවුන් අපිත් එක්ක හිටිය කාලෙදී ලෝක ව්‍යාප්ත දේශනා සේවයේ වර්ධනය සම්බන්ධයෙන් සිත්ගන්නාසුලු දේවල් සිදු වන බවත්, අපිටත් ඒවාට හවුල් වෙන්න පුළුවන් බවත් අපි දැනගත්තා. (මතෙව් 24:14) උදාහරණයක් කියනවා නම්, මිෂනාරි වැඩය සඳහා යෞවන යෞවනියන්ව පුහුණු කරන්න එක්සත් ජනපදයේ අලුත් පාසැලක් විවෘත කරලා තිබුණා. හදිසියෙන්වත් අපිට එහි යන්න ආරාධනයක් ලැබුණොත් අපිට “ප්‍රවේශ පත්‍ර ලැබෙන්නේ පැවරුම ලැබෙන තැනට යන්න විතරක්” බවත්, කොතැනකට පැවරුම ලැබෙයිද කියලා ස්ථිර වශයෙන් කියන්න බැරි බවත් සහෝදර නෝර් බර කරලා කිව්වා. ඒ වුණත්, අපි කීපදෙනෙක්ම ඉල්ලුම් පත්‍ර දැම්මා.

දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අද්දැක්ක දේවල් විස්තර කරන්න ඉස්සෙල්ලා 1919දී මම ඉපදුණ දවසේ ඉඳලාම පටන්ගන්නම්. යුද්දෙට කලින් සහ යුද්දේ කාලයේදී සිද්ධ වුණ හුඟක් දේවල් මගේ ජීවිතයට මහත් සේ බලපෑවා.

අවනම්බු කළ කෙනාගෙන් බයිබල් සත්‍යය

මම පවුලේ වැඩිමල් දරුවා. මාව ලැබෙන්න ඉන්නකොට අම්මා යාච්ඤා කරලා තියෙනවා පිරිමි ළමයෙක් ලැබුණොත් ඔහු මිෂනාරිවරයෙක් වෙනවා නම් හොඳයි කියලා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ඒ කාලයේදී හැඳින්නුවේ බයිබල් ශිෂ්‍යයන් කියලයි. අම්මාගේ අයියා බයිබල් ශිෂ්‍යයෙක් වෙලා හිටියත් ඇගේ පවුලේ අය ඔහුව සැලකුවේ පවුලට අවනම්බු කළ තැනැත්තෙක් හැටියටයි. අපේ නිවස කෝපන්හේගන් කිට්ටුව තිබුණ නිසා බයිබල් ශිෂ්‍යයන් වාර්ෂික සමුළු පවත්වන දවස්වලට හුඟක් ඈත පළාතක හිටිය තොමස් අන්කල්ට අපේ ගෙදර ඇවිත් නවතින්න කියලා අම්මා කියනවා. ඔහුට තිබුණ අපූරු බයිබල් දැනුම සහ කරුණු තර්කානුකූලව පැහැදිලි කිරීමේ හැකියාව නිසා 1930 වෙද්දී තමා බයිබල් ශිෂ්‍යාවක් වෙන්න ඕන කියලා අම්මා ඒත්තුගත්තා.

අම්මාට බයිබලය සඳහා තිබුණේ පුදුම ඇල්මක්. ද්විතීය කථාව 6:7හි තියෙන අණ පිළිපදිමින් අම්මා ‘නිවසේ ඉන්නකොට, මඟ යනකොට, නිදාගන්න යනකොට, නැඟිටිනකොට’ මටයි, නංගිටයි හුඟක් දේවල් ඉගැන්නුවා. කල් යද්දී, මම ගෙයින්-ගෙට දේශනා සේවයේ හවුල් වෙන්න පටන්ගත්තා. පල්ලිවල උගන්වන අමරණීය ආත්මය සහ නිරාගින්න වැනි විෂයන් ගැන සාකච්ඡා කරන්න මම හුඟක් ආශාවෙන් හිටියා. ඒ ඉගැන්වීම් වැරදි බව පැහැදිලිව බයිබලයෙන් පෙන්වන්න මට පුළුවන්කම තිබුණා.—ගීතාවලිය 146:3, 4; දේශනාකාරයා 9:5, 10; එසකියෙල් 18:4.

අපේ පවුල එක්සත් වුණා

වර්ෂ 1937දී කෝපන්හේගන්වල පවත්වපු සමුළුවෙන් පස්සේ ඩෙන්මාර්ක්වල පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ පොත් පත් ගබඩාවේ වැඩවලට තාවකාලික උපකාරයක් අවශ්‍යව තිබුණා. මම වාණිජ විද්‍යාලයක අධ්‍යාපනය අවසන් කළේ ඒ කාලයේදීමයි. එතකොට මම වගකීම්වලින් බැඳිලා හිටියෙත් නැහැ. ඉතින් මම ඒ වැඩවලට උපකාර කරන්න ඉදිරිපත් වුණා. ඒ ගබඩාවේ තිබුණ වැඩ ඉවර වුණාට පස්සේ ශාඛා කාර්යාලයට සහාය දෙන්න කියලා මට කිව්වා. ඊට ටික කාලෙකට පස්සේ, මම බව්තීස්ම වෙලා හිටියේ නැතත් ගෙදරින් පිට වෙලා කෝපන්හේගන්වල ශාඛා කාර්යාලයේ නවතින්න ගියා. මේරූ ක්‍රිස්තියානීන්ව දිනපතා ඇසුරු කිරීමෙන් මම ආත්මිකව දියුණුවක් ලැබුවා. ඊළඟ අවුරුද්දේ, ඒ කියන්නේ 1938 ජනවාරි 1වෙනිදා වතුර බව්තීස්මයෙන් මම යෙහෝවා දෙවිට වූ මගේ කැපවීම සංකේතවත් කළා.

වර්ෂ 1939 සැප්තැම්බර්වලදී IIවෙනි ලෝක යුද්ධය පටන්ගත්තා. ඊට පස්සේ 1940 අප්‍රියෙල් 9වෙනිදා ජර්මන් හමුදා ඩෙන්මාර්ක්වල කඳවුරු බැඳගත්තා. ඩෙන්මාර්ක් ජාතිකයන්ට සෑහෙන දුරට පෞද්ගලික නිදහසක් දීලා තිබුණ නිසා දිගටම දේශනා සේවයේ යෙදෙන්න අපිට පුළුවන් වුණා.

එතකොට අපූරු දෙයක් සිද්ධ වුණා. මගේ තාත්තාත් ක්‍රියාශීලී පක්ෂපාත සාක්ෂිකරුවෙක් වුණ නිසා අපේ පවුලේ සතුට පිරී ඉතිරී ගියා. තවත් ඩෙන්මාර්ක් ජාතිකයන් හතරදෙනෙකුටයි මටයි ගිලියද් පාසැලේ අටවෙනි පංතියට ආරාධනයක් ලැබුණු අවස්ථාවේ මගේ මුළු පවුලම ඒ සඳහා අවශ්‍ය සහයෝගය මට ලබා දුන්නා. වර්ෂ 1946 සැප්තැම්බර්වලදී ඇරඹුණු මාස-පහේ පාසැල් පාඨමාලාව පවත්වනු ලැබුවේ නිව් යෝක්හි සවුත් ලාන්සිංවලින් වැඩි දුරක් නැති අලංකාර විශ්වවිද්‍යාලයෙයි.

ගිලියද්වලදී හා ඉන්පසුව පුහුණුව ලබමින්

ගිලියද්වලදී නියම අලුත් යාළුවන් ඇති කරගන්න හුඟාක් අවස්ථාවල් උදා වුණා. එක් හවස් වරුවක එංගලන්තයෙන් පැමිණි හැරල්ඩ් කිං එක්ක විශ්වවිද්‍යාලය අවට ඇවිද ඇවිද ඉන්නකොට අපේ පුහුණුව ඉවර වුණහම අපිව යවන්න ඉඩ තිබුණ තැන් ගැන කතා වුණා. “මට හිතෙන හැටියට ඩෝවර්වල සුදු කඳු බෑවුම් බලන්න මට ආයේ අවස්ථාවක් ලැබෙයි” කියා හැරල්ඩ් පැවසුවා. ඔහු හරි. හැබැයි ඒ කඳු බෑවුම් දකින්න පුළුවන් වුණේ අවුරුදු 17කට පස්සෙයි. ඒ කාලයෙනුත් අවුරුදු හතරාමාරක්ම ඔහුට ගත කරන්න සිද්ධ වුණේ චීනයේ තනිව හිර කරලා තබන රැඳවුම් කඳවුරකයි! a

මගේ උපාධියෙන් පස්සේ මාව අ.එ.ජ. ටෙක්සස්වලට යැව්වා සංචාරක අවේක්ෂකයෙක් හැටියට සේවය කරන්න. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවලට ගිහින් ඔවුන්ට ආත්මික උපකාරය දීමයි මගේ වගකීම වුණේ. ඔවුන් මාව ඉත සිතින් පිළිගත්තා. ගිලියද් පාසැලෙන් උපාධිය ලැබුව ගමන්ම තරුණ යුරෝපීය යෞවනයෙක් තමන් වෙත පැමිණීම ටෙක්සස්හි සහෝදරයන්ට රසවත් අද්දැකීමක් වුණා. ඒත් ටෙක්සස්හි හිටියේ මාස හතක් විතරයි. ඊට පස්සේ මට නිව් යෝක් බෘක්ලින්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයට කැඳවීමක් ලැබුණා. එහිදී, සහෝදර නෝර් මට කාර්යාලයේ වැඩ පැවරුවේ හැම අංශයකම කෙරෙන වැඩ පිළිවෙළ ඉගෙනගන්න කියා උපදෙස් දෙමිනුයි. මොකද ඊට පස්සේ මම ඩෙන්මාර්ක්වලට ආපහු ගියහම බෘක්ලින්වල තියෙන වැඩ පිළිවෙළම අනුගමනය කරමින් මම ඉගෙනගෙන තිබුණ දේවල් එහේදී අදාළ කරගත යුතු වුණා. එහෙම කරන එකේ අරමුණ වුණේ ලෝක ව්‍යාප්ත ශාඛා කාර්යාලවල සිදු වෙන වැඩ පිළිවෙළවල් වඩාත් කාර්යක්ෂමව කිරීම සඳහා එකම ක්‍රමයකට කටයුතු කිරීමයි. ඊට පස්සේ සහෝදර නෝර් මාව ජර්මනියට මාරු කළා.

ශාඛාවන්ට දී තිබෙන උපදෙස් අදාළ කරගැනීම

මම 1949 ජූලිවලදී ජර්මනියේ විස්බාඩෙන්වලට එනකොටත් ජර්මනියේ හුඟක් නගරවල්වල තිබුණේ යුද්ධයේ සුන්බුන් විතරයි. එහි දේශනා වැඩයේ පෙරමුණ අරගෙන හිටියේ හිට්ලර් බලයට ආපු අවුරුද්ද වන 1933 සිට පීඩා අද්දැක්ක පුරුෂයන්. සමහරු අවුරුදු අට, දහය නැත්නම් ඊටත් වඩා වැඩි කාලයක් ගත කරලා තිබුණේ සිර කඳවුරුවල සහ වධක කඳවුරුවල! මම අවුරුදු තුනහමාරක් ඒ විදිහේ යෙහෝවාගේ සේවකයන් එක්ක වැඩ කළා. ඔවුන්ගේ අද්විතීය ආදර්ශය මගේ මතකයට නඟන්නේ ජර්මානු ඉතිහාසඥ ගාබ්‍රියෙලා යෝනාන් සඳහන් කළ අදහසක්. ඇය මෙහෙම ලිව්වා. “ජාතික සමාජවාදි ආඥාදායකත්වයක් යටතේ සිටින මෙම නොසැලෙන ක්‍රිස්තියානි කණ්ඩායමේ ආදර්ශය නොතිබුණා නම් අවුෂ්විට්ස් සහ එහි සිදු වූ සමූල ඝාතනයෙන් පස්සේ අපිට සිද්ධ වෙන්නේ යේසුස්ගේ ක්‍රිස්තියානි ඉගැන්වීම් ඉටු කරන්න හැමෝටම පුළුවන් වෙයිද කියලා සැක කරන්නයි.”

මෙහේ ශාඛා කාර්යාලයේදී මට කරන්න වුණේ ඩෙන්මාර්ක්වලදී මම කළ රාජකාරියමයි. මට පැවරිලා තිබුණේ සංවිධානාත්මක දේවල් හැසිරවීම සඳහා අනිත් රටවලට සමාන අලුත් ක්‍රමයක් හඳුන්වා දෙන්නයි. එම පිළිසකර කිරීම් තමන්ගේ වැඩ විවේචනයට ලක් කිරීමක් නොවන බවත්, විවිධ ශාඛාවන් හා මූලස්ථාන අතර සමීප සහයෝගයක් දක්වමින් වැඩ කරන්න කාලය ඇවිත් තියෙන බවත් ජර්මානු සහෝදරයන් අවබෝධ කරගත්තා. ඒ නිසා ඔවුන් කදිම ස්ප්‍රීතුවක් ඇතුව සහයෝගයෙන් හා උද්‍යෝගයෙන් වැඩ කළා.

වර්ෂ 1952දී සහෝදර නෝර්ගේ කාර්යාලයෙන් ලිපියක් ලැබුණා ස්විට්සර්ලන්තයේ බර්න්හි ශාඛා කාර්යාලයට මාරු වෙන්න කියලා. මට 1953 ජනවාරි 1වෙනිදා ඉඳලා ශාඛා අවේක්ෂක හැටියට සේවය කරන්න පැවරුණා.

ස්විට්සර්ලන්තයේදී අලුත් ආකාරයේ ප්‍රීතියක්

ස්විට්සර්ලන්තයට ඇවිත් ටික කාලෙකින් සමුළුවකදී මට එස්තර්ව මුණගැහුණා. වැඩි කල් ගියේ නැහැ අපි විවාහ ගිවිසගත්තා. වර්ෂ 1954 අගෝස්තුවලදී බෘක්ලින්වලට එන්න කියලා සහෝදර නෝර් මට කිව්වා. එහේදී මට ප්‍රීතිදායක අලුත්ම වැඩක් කරන්න තියෙන බව ඔහු හෙළි කළා. ලොව පුරා ශාඛා කාර්යාලවල සංඛ්‍යාව සහ ප්‍රමාණය වැඩි වෙලා තිබුණ නිසා අලුත් විධිවිධානයක් හඳුන්වා දුන්නා. ලෝකය කලාපවලට බෙදලා හැම කලාපයකටම සේවය කරන්න කලාපීය අවේක්ෂකයෙකු පත් කළා. මට කලාප දෙකක් දුන්නා. ඒ තමයි යුරෝපය සහ මධ්‍යධරණී පළාත කියන කලාප දෙක.

බෘක්ලින්වල ටික කලක් හිටියට පස්සේ මම ආපහු ස්විට්සර්ලන්තයට ගිහින් කලාපීය සේවයට සූදානම් වුණා. එස්තරුයි මායි විවාහ වුණාට පස්සේ ස්විට්සර්ලන්තයේ ශාඛා කාර්යාලයේ සේවය කරන්න ඇයත් මාත් එක්ක එකතු වුණා. මගේ මුල්ම සංචාරයට ඉතාලියේ, ග්‍රීසියේ, සයිප්‍රසයේ, මැද පෙරදිග රටවල සහ උතුරු අප්‍රිකාවේ මුහුදු තීරයේ මෙන්ම ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ රටවල් ඇතුළු රටවල් 13ක මිෂනාරි නිවාස සහ ශාඛා කාර්යාල ඇතුළත් වුණා. බර්න්වලට ගියාට පස්සේ යකඩ තීරයේ සීමා තහංචි පනවලා තිබුණ රටවල් හැර බටහිරේ තියෙන අනිත් හැම යුරෝපීය රටකටම අපි සංචාරය කළා. අපි විවාහ වුණ මුල් අවුරුද්දේම අපේ ක්‍රිස්තියානි සහෝදරයන්ට සේවය කරන්න වෙච්ච නිසා මට සිද්ධ වුණා මාස හයක්ම ගෙදරින් පිට වෙලා ඉන්න.

තත්වයන් වෙනස් වුණා

වර්ෂ 1957දී එස්තර් දැනගත්තා ඇයට දරුවෙක් ලැබෙන්න යන බව. දෙමාපියන්ටයි දරුවන්ටයි එකට ඉන්න ශාඛා කාර්යාලයක් හදලා නැති හින්දා අපි තීරණය කළා ඩෙන්මාර්ක්වලට යන්න. එහෙදී අපේ තාත්තා අපිව සාදරයෙන් පිළිඅරං අපිව එහේ නවත්වාගත්තා. අලුතෙන් ගොඩනැඟුව ශාඛා කාර්යාලයේ වැඩවලට මම උදව් කළා. ඒ අතරතුරේදී එස්තර් අපේ රාඛෙල් දුවවත් මගේ තාත්තාවත් හොඳින් බලාගත්තා. සභා අවේක්ෂකයන් වෙනුවෙන් පැවැත්තුව රාජ්‍ය සේවා පාසැලේ උපදේශකයෙක් හැටියට මම සේවය කරන ගමන්ම කලාපීය අවේක්ෂකයෙක් හැටියටත් දිගටම සේවය කළා.

කලාපීය සේවකයෙක් හැටියට සංචාරය කරද්දී සෑහෙන කාලයක් පිට ඉන්න සිද්ධ වුණ නිසා අපේ දුවව කලාතුරකින් දකින්න ලැබුණ එක කනගාටුවට කරුණක්. ඒකෙන් යම් ප්‍රතිඵල අද්දකින්න සිද්ධ වුණා. එක වතාවකදී අපි පැරිසියේ පුංචි මුද්‍රණාලයක් පිහිටෙව්ව නිසා මට සෑහෙන කාලයක් එහේ ඉන්න සිද්ධ වුණා. එතකොට එස්තරුයි රාඛෙලුයි මාව බලන්න ගාර් ඩූ නෝර්වලට කෝච්චියෙන් ආවා. ශාඛා කාර්යාලයේ ලේයෝපෝල් ෂොන්ටායි මමයි ඔවුන්ව බලන්න ගියා. රාඛෙල් කෝච්චි පෙට්ටියේ පඩියේ හිටගෙන ලේයෝපෝල් දිහායි, මා දිහයි සැරෙන් සැරේ බලලා එක පාරටම ලේයෝපෝල්ව වැලඳගත්තා!

වයස අවුරුදු 45දී තවත් ලොකු වෙනසක් සිද්ධ වුණා. මගේ පවුල නඩත්තු කරන්න ප්‍රමාණවත් මුදලක් උපයන්න ඕන නිසා මම පූර්ණ-කාලීන දේවසේවය අත්හිටෙව්වා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දේවසේවකයෙකු හැටියට ලද පළපුරුද්ද නිසා අපනයන කළමනාකාරයෙකු හැටියට රැකියාවක් ලබාගන්න මට පුළුවන් වුණා. මම ඒ සමාගමේම අවුරුදු නමයක් විතර වැඩ කළාට පස්සේ රාඛෙලුත් ඇගේ පාසැල් අධ්‍යාපනය ඉවර කරලා තිබුණ නිසා රාජ්‍ය දේශනාකරුවන්ගේ අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කරන්න කියලා දුන්න දිරිගැන්වීම අනුව කටයුතු කරන්න අපි තීරණය කළා.

නෝර්වේවල රැකියා ප්‍රස්තාවන් තියෙන බව දැනගන්න ලැබුණ නිසා රැකියාවක් ලබාගන්න පුළුවන් වෙයිද කියලා මම ඒජන්සියකින් අහලා බැලුවා. නමුත් වැඩේ හරි ගියේ නැහැ. අවුරුදු 55ක කෙනෙක්ව වැඩට ගන්න ඔවුන් කැමැත්තක් දැක්වුවේ නැහැ. ඒත්, රැකියාවක් හම්බ වෙයි කියන විශ්වාසයෙන් මම ඔස්ලෝවල ශාඛා කාර්යාලයෙන් විස්තර දැනගෙන ඩ්‍රෝබක් නගරය කිට්ටුවෙන් ගෙයක් කුලියට ගත්තා. රැකියාවක් ලැබුණා. ඊට පස්සේ නෝර්වේවල ප්‍රීතියෙන් රාජ්‍ය සේවයේ යෙදුණා.

අපේ සභාවේ වැඩිදෙනෙක් ගත කළ හොඳම කාලය තමයි උතුරේ පවරලා නොතිබුණ බලප්‍රදේශවලට ගිහින් වැඩ කරපු කාලය. අපි වැඩ කරපු ප්‍රදේශයේ තිබුණ පුංචි ගෙවල් කුලියට අරගෙන තේජවත් කඳුවල තැනින් තැන පිහිටා තිබුණ ගොවිපොළවල්වලට ගියා හැම දවසකම. මෙම මිත්‍රශීලී මිනිසුන්ට දේවරාජ්‍යය ගැන කියන එක තරම් වෙන සතුටක් අපිට තිබුණේ නැහැ. පොත් පත් ගණනාවක් බෙදුවත් නැවත බැලීම් කරන්න ඊළඟ අවුරුද්ද වෙනකම් ඉන්න සිද්ධ වුණා. ඒත් ඒ මිනිසුන්ට අපිව අමතක වෙලා තිබුණේ නැහැ. අපි ආපහු එහේ ගිය වෙලාවේ හරියට ඒගොල්ලන්ගේම පවුලේ අයව හුඟ කාලෙකට පස්සේ හම්බ වුණා වගේ ඒගොල්ලෝ අපිව වැලඳගත්ත එක එස්තර්ටයි රාඛෙල්ටයි තාමත් මතකයි. නෝර්වේවල අවුරුදු තුනක් හිටියට පස්සේ අපි ඩෙන්මාර්ක්වලට ආපහු ගියා.

පවුල් ජීවිතයෙන් ලැබුණ ප්‍රීතිය

ඊට ටික කාලෙකට පස්සේ රාඛෙල් ජ්වලිතව පුරෝගාමි සේවයේ යෙදුණ පූර්ණ-කාලීන දේවසේවකයෙකු වූ නිල්ස් හොයෝ එක්ක විවාහ ගිවිසගත්තා. ඔවුන් විවාහ වුණාට පස්සේ නිල්ස් සහ රාඛෙල්, ඔවුන්ට දරුවෝ හම්බ වෙනකම්ම පුරෝගාමීන් වෙලා හිටියා. නිල්ස් හොඳ සැමියෙක් හා කදිම පියෙක් වෙමින් ඔහුගේ පවුල ගැන සැබෑ උනන්දුවක් පෙන්වලා තියෙනවා. එක හිමිදිරි පාන්දරක ඉර නඟින විදිහ දැක බලාගන්න ඔහු ඔහුගේ පුතාව බයිසිකලයෙන් මුහුදු වෙරළට අරගෙන ගියා. එහේ ගිහින් මොනවද කළේ කියලා අසල්වැසියෙක් පුතාගෙන් ඇහැව්වාම ඔහු මෙහෙම පිළිතුරු දුන්නා. “අපි යෙහෝවාට යාච්ඤා කළා.”

අවුරුදු කීපයකට පස්සේ අපේ වැඩිමල්ම මුණුබුරන් දෙන්නා වන බෙන්යමින් සහ නඩ්යා බව්තීස්ම වෙනවා දැකගන්න එස්තර්ටයි මටයි පුළුවන් වුණා. අපි අතරේ නිල්සුත් බලාගෙන හිටියා. අපි දෙන්නා මූණට මූණ ලා හිටගත්තා. ඔහු මා දිහා බලලා “නියම මිනිස්සු අඬන්නේ නැහැ” කියලා කිව්වත් ඊළඟ මොහොතේ අපි දෙන්නම එකිනෙකාව වැලඳගෙන ඇඬුවා. එකතු වෙලා හිනා වෙන්නයි අඬන්නයි පුළුවන් බෑනා කෙනෙක් ඉන්න එක මොනතරම් සතුටක්ද!

තවමත් තත්වයන් අනුව සකස් වෙමින්

ඩෙන්මාර්ක් ශාඛා කාර්යාලයේ සේවය කරන්න ආපහු එන්න පුළුවන්ද කියලා එස්තර්ගෙනුයි මගෙනුයි ඇහැව්ව එක තවත් ආශීර්වාදයක් වුණා. කොහොමවුණත්, ඒ වෙනකොටත් හෝල්බෙක්හි ටිකක් විශාල ශාඛා කාර්යාලයක් ඉදි කරන්න කටයුතු යොදලායි තිබුණේ. ඉදි කිරීමේ වැඩ අධීක්ෂණය කරන්න හවුල් වීමේ වරප්‍රසාදය මටත් ලැබුණු අතර ඒ සියලුම වැඩ සිද්ධ වුණේ කුලී නොගත් ස්වේච්ඡා සේවකයන් අතින්. තද ශීත කාලයක් වුණත් 1982 අගභාගයේදී සෑහෙන දුරකට එහි වැඩ කටයුතු නිම වෙලා තිබුණ නිසා පහසුකම් ඇතුළත් කර විශාල කරපු ගොඩනැඟිල්ලට අපි හැමෝම මාරු වුණේ සතුටින්!

මම ඉක්මනින්ම කාර්යාලයේ වැඩ පටන්ගත්තා. ඒකෙන් සෑහෙන තෘප්තියක් ලැබුණා. එස්තර් දුරකථන යතුරු පුවරුව ක්‍රියාකරවන්නිය හැටියට සේවය කළා. කොහොමනමුත්, තව කලක් ගත වුණහම ඇගේ උකුළේ ශල්‍යකර්මයක් කරන්න සිද්ධ වුණා. ඊට අවුරුදු එකහමාරකට පස්සේ ඇගේ පිත්තාශයේ ශල්‍යකර්මයක් කරන්න වුණා. ශාඛා කාර්යාලයේ සේවකයන් අපිට කරුණාවන්ත සැලකිල්ලක් දැක්වුවත් ශාඛා කාර්යාලයෙන් පිට වෙන එක වැඩිය සුදුසුයි කියලා අපි තීරණය කළා. අපේ දුවයි ඇගේ පවුලේ සාමාජිකයනුයි යන සභාවට අපි මාරු වුණා.

දැන් එස්තර්ගේ සෞඛ්‍ය තත්වය ඒ තරම් හොඳ නැහැ. ඒත් මට ස්ථිර වශයෙන්ම එක දෙයක් කියන්න පුළුවන්. අපි එකට සේවය කරපු අවුරුදු ගණනාව පුරා මොන තත්වයකට මූණ දුන්නත් ඇගේ සහාය සහ මිත්‍රත්වය නොඅඩුව ලැබුණා. අපි දෙන්නාගේම සෞඛ්‍යය දුර්වල වෙලා තිබුණත් තවමත් තරමක් දුරට අපි දේශනා සේවයෙහි හවුල් වෙනවා. මගේ ජීවිතය දිහා ආපහු හැරිලා බලද්දී “දෙවියනි, මාගේ යෞවන කාලයේ පටන් ඔබ මට ඉගැන්නුවේය” කියා ගීතිකාකරු පැවසූ වදන් මතකයට නැඟෙන්නේ කෘතඥපූර්වකවයි.—ගීතාවලිය 71:17.

[පාදසටහන]

a වර්ෂ 1963 ජූලි 15 මුරටැඹ 437-42 පිටු බලන්න (සිංහලෙන් නැහැ).

[24වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1949දී ජර්මනියේ ඉදි කෙරෙමින් තිබූ ශාඛා කාර්යාලයට පැමිණි පොත් පත් තොග බාමින්

[25වන පිටුවේ පින්තූරය]

වධක කඳවුරුවලින් යළි පැමිණි මේ සාක්ෂිකරුවන් මාත් එක්ක වැඩ කළ අය අතර සිටියා

[26වන පිටුවේ පින්තූර]

අද එස්තර් එක්ක සහ වර්ෂ 1955 ඔක්තෝබර්වලදී බර්න් බෙතෙල්හි අපේ විවාහය සිදු වූ දා