Skip to content

පටුනට යන්න

යෙහෝවා කීකරු අයට ආශීර්වාද කර ආරක්ෂා කරයි

යෙහෝවා කීකරු අයට ආශීර්වාද කර ආරක්ෂා කරයි

යෙහෝවා කීකරු අයට ආශීර්වාද කර ආරක්ෂා කරයි

“මට ඇහුම්කන් දෙන තැනැත්තේ සුවසේ [සුරක්ෂිතව, NW] වාසය කොට විපතට භය නොවී නිශ්චලව සිටින්නේය.”—හිතෝපදේශ 1:33.

1, 2. දෙවිට කීකරු වීම අත්‍යවශ්‍ය දෙයක් වන්නේ ඇයි? නිදර්ශනය කරන්න.

 කහ පාට ලොමින් වැසුණු කුකුළු පැටව් තණ බිස්සේ ආහාර සොයා එහා මෙහා ඇවිදින්නේ, ගොදුර ඩැහැගන්නට තතනමින් ඉහළ අහසේ සැරිසරන උකුස්සෙකු පිළිබඳ හාන්කවිසියකුදු නොදැනය. සැණෙකින් කුකුළු මව ගිරිය පුප්පාගෙන තම පැටවුන්ට අනතුරු අඟවමින් හඬලන්නේ ඇගේ තටුද විදහාමිනි. මෙය දකින පැටවුන් හනික දිව ගොස් ඇගේ පියාපත් යට සැඟවෙන්ට ගන්නේ නිමේෂයකි. උකුස්සා ගොදුරු හැර යයි. a පාඩම? කීකරුකම පණ රැක දෙයි!

2 එම පාඩම අද සිටින ක්‍රිස්තියානීන්ට විශේෂයෙන්ම වැදගත් වේ. මන්ද, දෙවිගේ සෙනඟ ගොදුරු කරගැනීමට සාතන් හැකි සෑම පැත්තකින්ම මාන බලමින් සිටින නිසාවෙනි. (එළිදරව් 12:9, 12, 16) සාතන්ගේ ඉලක්කය නම් අපේ ආත්මිකත්වය විනාශ කර දැමීමයි. එමගින් යෙහෝවාගේ අනුමැතියත් සදාකාල ජීවනයේ අපේක්ෂාවත් අපට නැති කර දැමීමයි. (1 පේතෘස් 5:8) එහෙත්, අපි දෙවිට සමීපව සිට ඔහුගේ වචනයෙන් හා සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට ක්ෂණිකව ප්‍රතිචාරය දක්වන්නෙමු නම්, ඔහුගේ රැකවරණය අපට ලැබෙන බවට සහතික විය හැකියි. මේ නිසයි, ‘ඔහු ස්වකීය පියාපතින් ඔබ වසන්නේය. ඔබ ඔහුගේ පියාපත් යට ආරක්ෂා වන්නේය’ කියා ගීතිකාකරු ලීවේ.—ගීතාවලිය 91:4.

විපතට ගොදුරු වූ අකීකරු ජාතියක්

3. ඉශ්‍රායෙල්වරුන් යළි යළිත් අකීකරු වීමේ ප්‍රතිඵලය කුමක් වීද?

3 ඉශ්‍රායෙල් ජාතිය යෙහෝවාට කීකරුව සිටි සෑමවිටකම, යෙහෝවාගේ නිරන්තර බැල්මෙන් ප්‍රයෝජන ලැබීය. එනමුත් ඔවුන් බොහෝ අවස්ථාවලදී කළේ, තමන්ව මැවූ දෙවිව අතහැර “පිහිට වෙන්ටත් ගළවන්ටත් නොහැකි නිරර්ථක” ලී ගල් දෙවිවරුන් වෙත හැරීමයි. (1 සාමුවෙල් 12:21) එවන් කැරලිකාරකමක අවුරුදු සියගණනක් පුරා නියැලුණු මේ සෙනඟ, ජාතියක් හැටියට යළි ගොඩගත නොහැකි වන පරිද්දෙන් ඇදහිල්ල අතහැර යෑමේ ආගාධයේ ගැඹුරටම වැටී සිටියහ. ඒ හේතුවෙන් යේසුස් මෙසේ විලාප නැඟුවේය. “යෙරුසලම, යෙරුසලම, අනාගතවක්තෘවරුන්ව මරන්නාවූ තමන් වෙතට එවූ අයට ගල් ගසන්නාවූ ඔබ,—කිකිළියක් තම පැටවුන් තම පියාපත් යටට එකතු කරගන්නාක් මෙන් ඔබේ දරුවන්ව එකතු කරගන්ට මා කී වරක් කැමති වූයෙම්ද! නමුත් ඔබ ඊට කැමති වූයේ නැත. බලන්න! ඔබේ ගෘහය ඔබට අත්හරිනු ලැබේ.”—මතෙව් 23:37, 38, NW.

4. යෙහෝවා යෙරුසලම අතහැරීම පො.යු. 70දී දකින්ට හැකි වූයේ කෙසේද?

4 යෙහෝවා කැරලිකාර ඉශ්‍රායෙල් ජාතියව අතහැරීම පො.යු. 70දී ඛේදනීය ලෙස දැකිය හැකි විය. එම වසරේදී, රාජාලි රූපවලින් සැරසූ පිළිම ලාංඡන රැගත් රෝම හමුදා දරුණු මිනිස් ඝාතනයක් සිදු කරමින් යෙරුසලම වෙතට වේගයෙන් කඩා වැදුණෝය. නගරය ඒ වන විට පාස්කු සමරන්නන්ගෙන් පිරී තිබිණ. ඔවුන් බොහෝ පුද පූජා සිදු කළද, දෙවිගේ අනුමැතිය දිනාගැනීමට ඒ එකකටවත් බැරි විය. මෙය අකීකරු වූ සාවුල් රජුට සාමුවෙල් කී දෙයෙහි කම්පිත කරවන මතක් කර දීමක් වූවාට සැක නැත. “යෙහෝවාගේ හඬට කීකරු වීම පමණ දවන පූජාවලටත් යාග පූජාවලටත් යෙහෝවා ප්‍රසන්න වන්නේද? පූජාවට වඩා කීකරු වීමත් බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන් දීමත් හොඳය.”—1 සාමුවෙල් 15:22.

5. යෙහෝවා අපේක්ෂා කරන්නේ කිනම් ආකාරයක කීකරුකමක්ද? එවන් කීකරුකමක් විදහාපෑ හැකි බව අප දන්නේ කෙසේද?

5 යෙහෝවා මිනිසුන්ගෙන් කීකරුකම කොතරම් ඉල්ලා සිටියත් අසම්පූර්ණ වූ ඔවුන්ගේ සීමාවන් ගැන ඔහු හොඳින්ම දන්නේය. (ගීතාවලිය 130:3, 4) දෙවි අපෙන් අපේක්ෂා කරන්නේ, මුසාවෙන් තොර අවංක හදවතක් සහ ඇදහිල්ල, ප්‍රේමය හා ඔහුව අසතුටු කිරීමට තිබෙන හිතකර භය මත පදනම් වූ කීකරුකමක් පමණි. (ද්විතීය කථාව 10:12, 13; හිතෝපදේශ 16:6; යෙසායා 43:10; මීකා 6:8; රෝම 6:17) කෙනෙකුට එවන් කීකරුකමක් විදහාපෑමට පුළුවන්ද? ඒ බව, දරුණු පරීක්ෂා හමුවේ හා ඇතැම්විට මරණය දෑසට පෙනි පෙනිත් පක්ෂපාතකම පෙන්වූ ‘ක්‍රිස්තියානි කාලයට පෙර විසූ මහත් සාක්ෂිකාර සේනාවක්’ විසින් විදහාපාන ලදි. (හෙබ්‍රෙව් 11:36, 37; 12:1) මේ අය යෙහෝවාගේ හදවත මොනතරම් සතුටු කළෝද! (හිතෝපදේශ 27:11) එනමුදු මුලින් ඇදහිල්ල පෙන්වූ සමහරු පසු කාලයේදී කීකරු ජීවන රටාවක් දිගටම ගත කිරීමට අසමත් වූහ. පුරාණ යූදා දේශයේ විසූ යෝවාෂ් රජු එවැන්නෙකි.

නරක ආශ්‍රයෙන් නරක් වූ රජෙක්

6, 7. යෙහෝයාදා ජීවත්ව සිටි කාලයේදී යෝවාෂ් කුමනාකාරයේ රජෙකු වීද?

6 රාජවංශය නැති කිරීමට ගත් වෑයමකදී බිලිඳු යෝවාෂ්ගේ ජීවිතය බේරුණේ අනූ නමයෙනි. යෝවාෂ්ට වයස අවුරුදු හතක් වූ කල, උත්තම පූජකයා වූ යෙහෝයාදා ධෛර්යය උපදවාගෙන සඟවා තැබූ තැනින් යෝවාෂ්ව ඉවතටගෙන ඔහුව රජකමට පත් කළේය. දේවභයැති යෙහෝයාදා යෝවාෂ්ගේ පියෙකු හා උපදේශකයා ලෙස ක්‍රියා කළ නිසා, මේ තරුණ පාලකයා ‘යෙහෝයාදා පූජකයාගේ කාලය මුළුල්ලෙහි යෙහෝවාගේ ඇස් හමුයෙහි හරිව තිබුණු දේ කළේය.’—2 ලේකම් 22:10-23:1, 11; 24:1, 2.

7 දේවමාළිගාව පුනර්නිර්මාණය කිරීම යෝවාෂ් කළ යහපත් ක්‍රියාවන්ට ඇතුළත් වේ. එය “යෝවාෂ්ගේ හදවතට ඉතාම ප්‍රිය වූ” [NW] ක්‍රියාවක් විය. දේවමාළිගාව අලුත්වැඩියා කිරීමට අවශ්‍ය මුදල් එකතු කිරීම සඳහා ‘මෝසෙස් නියම කළ’ ප්‍රකාරයට යූදා දේශයෙන් හා යෙරුසලමෙන් දේවමාළිගා බද්ද අය කිරීමේ අවශ්‍යතාව ගැන උත්තම පූජකයා වූ යෙහෝයාදාට ඔහු මතක් කළේය. එය තරුණ රජුට දෙවිගේ නීතිය පාඩම් කර එයට කීකරු වීමට යෙහෝයාදා දුන් දිරිගැන්වීමේ මල්පල ගැන්වීමක් බව පෙනෙයි. මේ වෑයමේ ප්‍රතිඵලයක් හැටියට, දේවමාළිගාව මෙන්ම එහි තිබූ බඩු බාහිරාදිය යථා තත්වයට පත් කිරීමේ වැඩකටයුතු වේගයෙන් අවසන් විණි.—2 ලේකම් 24:4, 6, 13, 14; ද්විතීය කථාව 17:18.

8. (අ) යෝවාෂ්ගේ ආත්මික වැටී යෑමට මූලිකවම පාදක වූයේ කුමක්ද? (ආ) රජුගේ අකීකරුකම අවසානයේදී ඔහුව මඟ පෑදුවේ කුමක් කරන්ටද?

8 එහෙත් කනගාටුදායක ලෙස, යෝවාෂ්ගේ කීකරුකම දිගුකලක් පැවතුණේ නැත. හේතුව? දෙවිගේ වචනය අපට මෙසේ කියයි. “යෙහෝයාදා මැරුණු පසු යූදාහි අධිපතීහු ඇවිත් රජුට වැන්දෝය. එවිට රජ ඔවුන්ට ඇහුම්කන් දුන්නේය. ඔවුහු [කෙමෙන් කෙමෙන්, NW] තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ යෙහෝවාගේ ගෘහය අත්හැර අෂේරා කණුවලටත් පිළිමවලටත් සේවය කළෝය. ඔවුන්ගේ මේ වරද නිසා යූදාද යෙරුසලමද පිටට උදහස පැමිණියේය.” යූදාහි අධිපතීන්ගේ හිතකර නොවූ මේ බලපෑම දෙවිගේ අනාගතවක්තෘවරුන්ට ඇහුම්කන් නොදෙන තැනට පවා රජුව පත් කළේය. රජුගේත් සෙනඟගේත් අකීකරුකම හේතුවෙන් අභීතව ඔවුන්ට අවවාද කළ එවන් අනාගතවක්තෘවරයෙකි යෙහෝයාදාගේම පුත්‍ර වූ සෙකරියා. පසුතැවිලි වනවා වෙනුවට, යෝවාෂ් සෙකරියාට ගල් ගසා මැරෙව්වේය. මොනතරම් හිත් පිත් නැති අකීකරු මිනිසෙකු වීද මේ යෝවාෂ්! මේ සියල්ලටම මුල නරක ආශ්‍රයේ බලපෑමට යටවීමයි.—2 ලේකම් 24:17-22; 1 කොරින්ති 15:33.

9. අකීකරු වීමේ අඥානකම යෝවාෂ්ගේ හා අධිපතීන්ගේ අවසාන ඉරණමෙන් කාවද්දන්නේ කෙසේද?

9 යෙහෝවාව අතහැරීම, යෝවාෂ්ටත් ඔහුගේ දුෂ්ට මිත්‍ර අධිපතීන්ටත් බලපෑවේ කෙසේද? “ගණනින් ස්වල්ප දෙනෙක්” වූ සිරියවරුන්ගේ හමුදාවක් යූදා දේශය ආක්‍රමණය කර “සෙනඟගේ සියලු අධිපතීන් නැති කර” දැමුවේය. රජුගේ ධන සම්පතුත් දේවගෘහයේ තිබෙන රන් රිදීත් ඔවුන්ට දෙන ලෙස ආක්‍රමණිකයෝ රජුට බල කළෝය. යෝවාෂ්ගේ ජීවිතය බේරුණත් ඔහු බෙලහීන හා රෝගී මිනිසෙකු බවට පත් විය. එතැන් සිට වැඩි කල් නොගොස්, ඔහුගේම සේවකයන් අතරින් කුමන්ත්‍රණකරුවෝ නැඟිට ඔහුව ඝාතනය කළෝය. (2 ලේකම් 24:23-25; 2 රාජාවලිය 12:17, 18) ඉශ්‍රායෙල්වරුන්ට යෙහෝවා කී වචන මොනතරම් සැබෑ වීද! ඔහු මෙසේ කියා තිබිණ. ‘ඔබේ දෙවිවූ යෙහෝවාගේ සියලු ආඥාද පනත්ද පවත්වන්ට බලාගන්න හැටියට ඔබ ඔහුගේ හඬට කන් නොදෙන්නේ නම්, මේ සියලු ශාප ඔබ පිටට පැමිණ ඔබව හසු කරගන්නේය.’—ද්විතීය කථාව 28:15.

කීකරු වී දිවි ගළවාගත් ලේකම්වරයෙක්

10, 11. (අ) බාරුක්ට යෙහෝවා දුන් උපදෙස ගැන මෙනෙහි කිරීම ප්‍රයෝජනවත් වන්නේ මන්ද? (ආ) යෙහෝවා බාරුක්ට දුන් උපදෙස කුමක්ද?

10 ක්‍රිස්තියානි දේවසේවයේදී අපට හමු වන අයගෙන් සමහරෙක් ශුභාරංචිය කෙරෙහි උනන්දුවක් නොපෙන්වීම නිසා ඔබ අධෛර්යයට පත්ව සිටිනවාද? යමක් කමක් තිබෙන අය සහ ඔවුන්ගේ තමන්වම පිනවන ජීවන රටාවට ඔබ යාන්තමින් හෝ ඊර්ෂ්‍යා කරනවාද? එසේ නම්, යෙරෙමියාගේ ලේකම්වරයා වූ බාරුක්වත් ඔහුට යෙහෝවා දුන් ප්‍රේමනීය උපදෙසත් සිහි කිරීම යහපති.

11 යෙහෝවාගේ අවධානය කෙළින්ම ඔහු වෙත එල්ල වී තිබෙන මොහොතක, බාරුක් සූදානමින් සිටියේ අනාවැකිමය පණිවිඩයක් ලියා තැබීමටයි. දෙවිගේ බැල්ම ඔහු කෙරෙහි යොමුව තිබුණේ මන්ද? ඊට හේතුව වූයේ, දෙවිගෙන් ලැබී තිබූ සේවයේ විශේෂ වරප්‍රසාදය අගය කරනවාට වඩා ඔහු තම දෛනික ජීවිතය ගෙවෙන ආකාරය ගැන කලකිරෙන්ටත් වෙනත් දේවලට ආශාවක් දක්වන්ටත් පටන්ගෙන තිබීමයි. බාරුක්ගේ ආකල්පයේ මේ වෙනස් වීම හඳුනාගත් යෙහෝවා, පැහැදිලි, නමුත් කාරුණික උපදෙසක් දුන්නේය. යෙහෝවා මෙසේ කීවේය. ‘ඔබටම මහත් දේවල් ලබාගන්ට ඔබ සොයනවාද? එසේ නොසොයන්න. මක්නිසාද මාංසමය වූ සියල්ලන් පිටට විපත්තිය පමුණුවමි. නුමුත් ඔබ යන්නාවූ සියලුම ස්ථානවලදී ඔබේ ප්‍රාණය කොල්ලයක් කොට ඔබට දෙමි.’—යෙරෙමියා 36:4; 45:5.

12. මේ වත්මන් ක්‍රමය තුළ අපිටම “මහත් දේවල්” සොයාගැනීමෙන් අප වැළකී සිටිය යුත්තේ මන්ද?

12 ඇදහිලිවන්තව හා එඩිතරව යෙරෙමියාගේ පැත්තකින් හිඳ සේවය කළ බාරුක් නම් වූ මේ කදිම මිනිසා කෙරෙහි යෙහෝවා දැක්වූ ගැඹුරු සැලකිල්ල එම වචනවලින්ම ඔබට පෙනෙනවාද? අදදිනත්, මේ වත්මන් ක්‍රමයේ, බැලූ බැල්මට වඩාත් සශ්‍රීක තණබිම්යැයි පෙනෙන ලෞකික සමෘද්ධිය පසුපස හඹා යෑමේ පරීක්ෂාවට පෙලඹෙන අය ගැනත් යෙහෝවා එවැනිම ගැඹුරු සැලකිල්ලක් දක්වයි. බාරුක් මෙන් එවැනි බොහෝදෙනෙකු වගකිව යුතු ආත්මික සහෝදරයන්ගේ ප්‍රේමනීය යළි සකස් කිරීම්වලට යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබීම සතුටට කරුණකි. (ලූක් 15:4-7) කෙසේවෙතත්, මේ වත්මන් ක්‍රමය තුළ තමන්ටම “මහත් දේවල්” සොයන අයගේ අනාගතය සුරක්ෂිත නැති බව අපි සියලුදෙනාම තේරුම්ගනිමු. එසේ කිරීමට යෑමේදී සැබෑ සන්තෝෂය සොයාගැනීමට ඔවුන් අසමත් වෙනවා පමණක් නොව, දරුණුම දෙය වන්නේ ඉතාම ළඟදී මේ ලෝකයත් එහි ආත්මාර්ථකාමී තෘෂ්ණාවනුත් සමඟ ඔවුන්ද විනාශයෙන් ගසාගෙන යෑමයි.—මතෙව් 6:19, 20; 1 යොහන් 2:15-17.

13. බාරුක් පිළිබඳ වාර්තාව අපට උගන්වන යටහත් පහත්කමේ පාඩම කුමක්ද?

13 බාරුක්ගේ වාර්තාව අපට යටහත් පහත්කම පිළිබඳ කදිම පාඩමක්ද උගන්වයි. යෙහෝවා බාරුක්ට කෙළින්ම කතා නොකර යෙරෙමියා ලවාම කතා කිරීමට කටයුතු කළේය. මෙහිදී බාරුක්, යෙරෙමියාටම ආවේණික අමුතු ගති ලක්ෂණ හා අසම්පූර්ණකම් ගැන හොඳින් දැන සිටි බව සැලකිල්ලට ගන්න. (යෙරෙමියා 45:1, 2) එහෙත්, බාරුක් උඩඟුකමින් කටයුතු කළේ නැත. ඒ වෙනුවට ඔහු යටහත් පහත්ව උපදෙස් පැමිණි සැබෑ උල්පත යෙහෝවා බව වටහාගත්තේය. (2 ලේකම් 26:3, 4, 16; හිතෝපදේශ 18:12; 19:20) ‘අපි නොදැනුවත්වම යම් වැරදි පියවරක් ගෙන’ දෙවිගේ වචනයෙන් නිසි උපදෙස් ලැබුවහොත් බාරුක් පෙන්වූ මේරුකම, ආත්මික විචාර බුද්ධිය හා යටහත් පහත්කම අනුකරණය කරමු.—ගලාති 6:1, NW.

14. අප අතරේ සිටින පෙරමුණ ගන්නන්ට අප කීකරු වීම හොඳ දෙයක් වන්නේ මන්ද?

14 අපේ පැත්තෙන් දක්වන යටහත් පහත් ආකල්පය උපදෙස් දෙන්නාටද පහසුවකි. හෙබ්‍රෙව් 13:17 මෙසේ කියයි. ‘ඔබේ ප්‍රධානියෝ [ඔබ අතරේ සිටින පෙරමුණ ගන්නෝ, NW] ගණන් දෙන්ට සිටින්නන් මෙන් ඔබේ ආත්ම ගැන රැකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් ඔබට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත් වෙන්න.’ වැඩිමහල්ලන් ඔවුන්ගේ එඬේර වැඩයේ දුෂ්කරම අංගය වන උපදෙස් දීම සිදු කිරීමට පෙර ඊට අවශ්‍ය ධෛර්යය, ප්‍රඥාව හා උපායශීලිත්වය ඉල්ලා යෙහෝවාට කොපමණ වරක් කන්නලව් කරනවා ඇද්ද! අපි “එවැනි පුරුෂයන්ට දිය යුතු පිළිගැනීම” දෙමු.—1 කොරින්ති 16:18, NW.

15. (අ) යෙරෙමියා බාරුක් කෙරෙහි තම විශ්වාසය පළ කළේ කෙසේද? (ආ) බාරුක් තම යටහත් පහත් කීකරුකම වෙනුවෙන් ආශීර්වාද ලැබුවේ කෙසේද?

15 බාරුක් තමන් සිතූ ක්‍රමය යළි සකස් කරගත් බව මීළඟට යෙරෙමියා ඔහුට දුන් ඉතාම අභියෝගාත්මක පැවරුමෙන් පෙනේ. ඒ, යෙරෙමියාගේ මුඛයෙන් කියූ විට බාරුක් විසින්ම ලියාගත් විනිශ්චයමය පණිවිඩය දේවමාළිගාවට ගොස් සෙනඟ ඉදිරියේ හඬගා කියවීම නමැති ඉතාම බාරදූර කාර්යයයි. බාරුක් කීකරු වීද? ඔව්, ‘අනාගතවක්තෘවූ යෙරෙමියා ඔහුට අණ කළ සියල්ල’ ඔහු කළේය. එපමණක්ද නොව, ඔහු එම වචනම යෙරුසලමේ සිටි අධිපතීන් ඉදිරියේද කියෙවූ අතර, ඒ සඳහා සෑහෙන එඩිතරකමක් අවශ්‍ය වූ බවට සැක නැත. (යෙරෙමියා 36:1-6, 8, 14, 15) තවත් අවුරුදු 18කට පසුව නගරය බබිලෝනිය යටතට පත් වූ විට, යෙහෝවාගේ අනතුරු ඇඟවීමට කීකරු වී තමන්ටම “මහත් දේවල්” සෙවීමෙන් වැළකීම නිසා දිවි ගළවාගැනීමට හැකිවීම ගැන බාරුක් මොනතරම් කෘතඥපූර්වක වන්ට ඇද්දැයි සිතා බලන්න!—යෙරෙමියා 39:1, 2, 11, 12; 43:6.

වටලනු ලැබූ විට කීකරුකම නිසා ගැළවුණු ජීවිත

16. පොදු යුගයට පෙර 607දී බබිලෝනිය යෙරුසලම වැටලූ විට යෙහෝවා යුදෙව්වන්ට දයානුකම්පාව පෙන්වූයේ කෙසේද?

16 පොදු යුගයට පෙර 607දී යෙරුසලමේ අවසානය පැමිණි විට කීකරු ජනයා වෙනුවෙන් දෙවිගේ දයානුකම්පාව නැවත වරක් පැහැදිලි විය. නගරය වටලනු ලැබීමේ උච්චතම අවස්ථාවේදී යෙහෝවා යුදෙව්වන්ට මෙසේ කීවේය. ‘මෙන්න, ජීවත් වීමේ මාර්ගයත් මරණයේ මාර්ගයත් ඔබ ඉදිරියේ තබමි. මේ නුවර නවතින්නා කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද මැරෙන්නේය. පිටතට ගොස් ඔබ වටලාගෙන සිටින කල්දිවරුන්ට එකතුවෙන්නා ජීවත් වන්නේය. ඔහුගේ ප්‍රාණය කොල්ලයක් මෙන් ඔහුට ලැබෙනවා ඇත.’ (යෙරෙමියා 21:8, 9) යෙරුසලමේ වැසියන් විනාශය ලැබීමට සුදුසුව සිටියද, එවන් තීරණාත්මක අවසන් හෝරාවේදී පවා යෙහෝවා තමන්ට කීකරු වූ අයට දයානුකම්පාව පෙන්වීය. b

17. (අ) යෙරුසලම වටලද්දී, ‘කල්දිවරුන්ට එකතු’ වන ලෙස යෙහෝවා උපදෙස් දුන් විට, යෙරෙමියාගේ කීකරුකම පරීක්ෂාවට ලක් වූ දෙයාකාරය කුමක්ද? (ආ) එඩිතරව කීකරු වීම පිළිබඳ යෙරෙමියාගේ ආදර්ශයෙන් ප්‍රයෝජන ලබන්ට අපට හැක්කේ කෙසේද?

17 යටත් වන ලෙස යුදෙව්වන්ට කියන්ට සිදුවීමේදී යෙරෙමියාගේ කීකරුකම පරීක්ෂාවට ලක් වුණාට සැකයක් නැත. ඊට එක් හේතුවක් නම්, දෙවිගේ නාමය ගැන ඔහු ජ්වලිතව සිටීමයි. ජයග්‍රහණය කර පණ නැති දේවපිළිමවලට ප්‍රශංසාව දෙන සතුරන් අතින් එම නාමය අවමානයට ලක් වෙනවාට ඔහු කැමති වූයේ නැත. (යෙරෙමියා 50:2, 11; විලාප ගී 2:16) ඊට අමතරව, යටත් වෙන්නැයි සෙනඟට කීම තමන්ගේ ජීවිතයද මහත් අනතුරේ හෙළාගැනීමක් බවත් ඔහු හොඳ හැටි දැන සිටියේය. මන්ද, එසේ කිරීමෙන් බොහෝදෙනෙකු තමන් රාජද්‍රෝහියෙකු ලෙස ගණන් ගනු ඇති නිසාවෙනි. එහෙත්, ඔහු භයින් හැකිළෙනවා වෙනුවට යෙහෝවාගේ දිව්‍ය වාක්‍ය කීකරුව ප්‍රකාශ කළේය. (යෙරෙමියා 38:4, 17, 18) යෙරෙමියා මෙන් අපද ජනයා අතරට ගෙන යන්නේ ඔවුන් ප්‍රිය කරන පණිවිඩයක් නොවේ. යේසුස්ව වෛරයට පාත්‍ර වූයේද එම පණිවිඩයම නිසායි. (යෙසායා 53:3; මතෙව් 24:9) එබැවින්, ‘මනුෂ්‍යයන්ට භය නොවෙමු.’ ඒ වෙනුවට, යෙරෙමියා මෙන් යෙහෝවා කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇතුව එඩිතර ලෙස ඔහුට කීකරු වෙමු.—හිතෝපදේශ 29:25.

ගොග්ගේ පහර දීම අබියස කීකරුකම

18. අනාගතයේදී, යෙහෝවාගේ සේවකයන් මුහුණ දෙන්නේ කීකරුකම සම්බන්ධ කිනම් පරීක්ෂණවලටද?

18 ඉතාම ළඟදී, සාතන්ගේ මුළු දුෂ්ට ක්‍රමයම පෙර නොවූ විරූ ආකාර ‘මහත් පීඩාවකින්’ විනාශ වනු ඇත. (මතෙව් 24:21) එම කාලයට පෙර හා ඒ අතරතුරේදී දෙවිගේ සෙනඟ ඔවුන්ගේ ඇදහිල්ල හා කීකරුකම සම්බන්ධයෙන් දරුණු පරීක්ෂණවලට නිසැකවම මුහුණ දෙනු ඇත. උදාහරණයක් හැටියට, සාතන් “මාගොග් දේශයේ ගොග්” හැටියට කටයුතු කරමින් යෙහෝවාගේ සේවකයන්ට විරුද්ධව බිහිසුණු පහර දීමක් දියත් කෙරේ. සටනට සූදානම් කරන හමුදාව ගැන දී තිබෙන විස්තරයේ හැටියට එය ‘දේශය වසාගන්නා වලාකුළක් මෙන් වූ බලවත් සේනාවකි.’ (එසකියෙල් 38:2, 14-16) නමුත්, දෙවිගේ සෙනඟව පෙනෙන්නේ ආයුධවලින් තොර සාපේක්ෂ වශයෙන් සුළු පිරිසක් මෙනි. එනමුදු ඔවුන්, කීකරු අයගේ ආරක්ෂාව උදෙසා විදහාගෙන සිටින යෙහෝවාගේ ‘පියාපත්’ තම සරණය කරගනු ඇත.

19, 20. (අ) රතු මුහුද අබියසදී ඉශ්‍රායෙල්වරුන්ගේ පැත්තෙන් කීකරුකම ඉතාම අත්‍යවශ්‍ය දෙයක් වූයේ මන්ද? (ආ) රතු මුහුදේ සිද්ධිය ගැන යාච්ඤාපූර්වකව මෙනෙහි කිරීමෙන් අපට ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද?

19 ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් නික්ම යෑම මෙම තත්වයෙන් අපට මතක් කර දෙයි. ඊජිප්තුවට විනාශකාරී පීඩා දසයෙන් පහර දුන් පසු, යෙහෝවා තම සෙනඟට මඟ පෙන්වූයේ පොරොන්දු දේශයට ඔවුන්ට යා හැකි කෙටිම මාර්ගයෙන් නොව, පහසුවෙන්ම ඔවුන්ව කොටු කර පහර දිය හැකි රතු මුහුද දෙසටයි. යුධමය කෝණයෙන් බැලූ කල, එය සියදිවි හානි කරගැනීමකි. ඔබ එදා සිටියා නම්, මෝසෙස් මගින් දුන් යෙහෝවාගේ මඟ පෙන්වීමට කීකරු වී, පොරොන්දු දේශය තිබෙන ප්‍රදේශයෙන් මදක් වෙනස් දිශාවකට ගමන් කරන බව දැන දැනත්, පූර්ණ විශ්වාසයෙන් යුතුව රතු මුහුද දෙසට ගමන් කරනු ඇද්ද?—නික්මයාම 14:1-4.

20 අපි නික්මයාම පොතේ 14වැනි පරිච්ඡේදය කියවද්දී, යෙහෝවා තම සෙනඟව ගළවාගත් ඔහුගේ බලයේ අතිශය භය උපදවන ප්‍රදර්ශනය අපි දකින්නෙමු. එවන් වාර්තා අධ්‍යයනය කිරීමට හා ඒවා ගැන මෙනෙහි කිරීමට කාලය ගත කළොත්, අපේ ඇදහිල්ල කොතරම් ශක්තිමත් කරන්ට ඒවාට හැකිද! (2 පේතෘස් 2:9, 10) ප්‍රතිඵලයක් හැටියට, දෙවිගේ දෘෂ්ටිය මිනිසුන් සිතන ආකාරයට පටහැනි වුවත් යෙහෝවා කෙරෙහි අපට තිබෙන කීකරුකම තර කරන්ට ශක්තිමත් ඇදහිල්ලකට හැකියි. (හිතෝපදේශ 3:5, 6) ඒ නිසා, ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘කඩිසරව බයිබලය පාඩම් කිරීම, යාච්ඤා කිරීම, මෙනෙහි කිරීම සහ දෙවිගේ සෙනඟ සමඟ නිතිපතා ආශ්‍රය කිරීම වැනි දේ කිරීමෙන් මගේ ඇදහිල්ල ගොඩනඟා ගැනීමට මම දැඩි උත්සාහයක් දරමින්ද ඉන්නේ?’—හෙබ්‍රෙව් 10:24, 25; 12:1-3.

කීකරුකම බලාපොරොත්තුව ජනිත කරවයි

21. යෙහෝවාට කීකරු වන අය දැනුත් අනාගතයේදීත් අද්දකින ආශීර්වාද මොනවාද?

21 යෙහෝවාට දක්වන කීකරුකම තමන්ගේ ජීවන මාර්ගය කරගන්නා වූ අය වර්තමාන කාලයේදී පවා හිතෝපදේශ 1:33හි කියා ඇති දෙයෙහි ඉටුවීම අද්දකින්නෝය. ‘මට [කීකරු ලෙස] ඇහුම්කන් දෙන තැනැත්තේ සුරක්ෂිතව වාසය කොට විපතට භය නොවී නිශ්චලව සිටින්නේය.’ යෙහෝවාගේ පැමිණෙන පළිගැනීමේ දවසේදී සැනසිලිදායක මේ වචන මොනතරම් පුදුමාකාර ලෙස අදාළ වේවිද! ඇත්තෙන්ම, යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙසේ කීවේය. “මේ දේ සිදු වන්න පටන්ගත් කල, නැඟී සිට ඔබේ හිස් ඔසවන්න. මන්ද ඔබේ ගැළවීම ළඟය.” (ලූක් 21:28, NW) පැහැදිලිවම, මෙම වචන පිළිපැදීමට තරම් ඒවා කෙරෙහි විශ්වාසයක් තබනු ඇත්තේ දෙවිට කීකරු වන අය පමණයි.—මතෙව් 7:21.

22. (අ) විශ්වාසය තැබීම සඳහා යෙහෝවාගේ සෙනඟට තිබෙන හේතුව මොකක්ද? (ආ) මීළඟ ලිපියේදී සාකච්ඡා කරනු ඇති කාරණා මොනවාද?

22 මෙසේ, විශ්වාසය තැබීම සඳහා තවත් හේතුවක් නම්, ‘ස්වාමි වූ යෙහෝවා තමන්ගේ රහස තමන් මෙහෙකරුවන් වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකිරීමයි.’ (ආමොස් 3:7) අතීතයේදී අනාගතවක්තෲන්ට ආනුභාවය දුන්නා සේ යෙහෝවා අදදින එසේ කරන්නේ නැත. ඒ වෙනුවට, තමන්ගේ ගෙවැසියන්ට කාලෝචිත ආහාර දීම සඳහා ඔහු විශ්වාසවන්ත නුවණ ඇති දාසයෙකුව පත් කර තිබේ. (මතෙව් 24:45-47) එමනිසා, අප එම “දාසයා” කෙරෙහි කීකරු ආකල්පයක් දැරීම කොතරම් වැදගත්ද! මීළඟ ලිපියේ පිරික්සා බලන ආකාරයට එවන් කීකරුකමක්, ‘දාසයාගේ’ ස්වාමියා වන යේසුස් කෙරෙහි අප දක්වන ආකල්පයද පෙන්නුම් කරයි. මන්ද, “ජනයාගේ කීකරුකම අයිති” වන තැනැත්තා ඔහු නිසායි.—උත්පත්ති 49:10, NW.

[පාදසටහන්වල]

a බියසුලුයැයි බොහෝවිට විස්තර කර තිබුණද, “මව් කිකිළිය තම පැටවුන්ගේ ජීවිත බේරාගැනීමට මරණය තෙක් වුවද සටන් කරන්නේයැයි” එක්තරා මානවහිතවාදී ආයතනයක් නිකුත් කළ ප්‍රකාශනයක සඳහන්ය.

b යුදෙව්වන් ගණනාවක් කල්දිවරුන්ට “එකතු වූ” බවත් ඔවුන්ව නොමරා වහල්භාවයට ගෙන ගිය බවත් යෙරෙමියා 38:19 හෙළි කරයි. ඔවුන් යෙරෙමියාගේ වචනවලට ඇහුම්කන් දී, ආක්‍රමණික හමුදාවන්ට යටත් වූවාද කියා සඳහන් කර නැත. එනමුත්, ඔවුන් ගැළවුණා නම්, ඉන් අනාගතවක්තෘවරයාගේ වචන සනාථ විය.

ඔබට මතකද?

• ඉශ්‍රායෙල්වරුන් නැවත නැවතත් අකීකරු වීමෙන් ලද ප්‍රතිඵලය කුමක්ද?

• යෝවාෂ් රජුගේ ජීවිතයේ මුල් කාලයේදී හා පසු කාලයේදී ඔහුගේ ආශ්‍රිතයන්ගෙන් ඔහුට ඇති වූ බලපෑම කුමක්ද?

• බාරුක්ගෙන් අපට ඉගෙනගත හැකි පාඩම් මොනවාද?

• වත්මන් ක්‍රමයේ අවසානය ළඟ ළඟම පැමිණියත් යෙහෝවාගේ කීකරු සෙනඟට භයවීමට හේතුවක් නැත්තේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූරය]

යෙහෝයාදාගේ මඟ පෙන්වීම යටතේ සිටි යෝවාෂ් යෙහෝවාට කීකරුව සිටියේය

[15වන පිටුවේ පින්තූරය]

දෙවිගේ අනාගතවක්තෘවරයාව මරා දැමීමට නපුරු ආශ්‍රිතයන් යෝවාෂ්ව පෙලඹවීය

[16වන පිටුවේ පින්තූරය]

ඔබ යෙහෝවාට කීකරුව සිට ගළවාගැනීමට ඔහු සතු භය උපදවන බලය ගැන ඔබ සාක්ෂි දෙනු ඇද්ද?