Skip to content

පටුනට යන්න

සත්‍යයට ප්‍රේමයක් දක්වන යෞවනයෝ

සත්‍යයට ප්‍රේමයක් දක්වන යෞවනයෝ

සත්‍යයට ප්‍රේමයක් දක්වන යෞවනයෝ

“තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍ර කරගන්නේ කුමකින්ද?” එම ප්‍රශ්නය ඇසුවේ මීට අවුරුදු 2400කට ප්‍රථම හෙබ්‍රෙව් ජාතික ගීතිකාකරුවෙක්. (ගීතාවලිය 119:9) මෙම ප්‍රශ්නය අදදිනටත් වලංගුයි. මන්දයත් වත්මන් ලෝකයේ සිටින යෞවනයන් මුහුණ දෙන ගැටලු එසේ මෙසේ ඒවා නොවෙයි. ඉවක් බවක් නොමැතිව ලිංගිකත්වයට අත පෙවීම නිසාවෙන් යෞවනයන් වැඩි පිරිසක් ඒඩ්ස් රෝගයට නිරාවරණය වී තිබේ. මෙම මාරාන්තික රෝගයට ගොදුරු වූවන්ගෙන් හරි අඩක්ම අවුරුදු 15ත් 24ත් අතර වයස් මට්ටම්වල සිටින යෞවනයන්ය. මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම නොයෙකුත් ගැටලුවලට හේතු වන අතරම එනිසාවෙන් තරුණ ජීවිත විකසිත වීමට පෙරම පර වී යනු දක්නට තිබේ. අසභ්‍ය සංගීතය, ප්‍රචණ්ඩත්වය සහ සදාචාරයෙන් තොර චිත්‍රපටි, රූපවාහිනි සහ විඩියෝ දර්ශනත් අන්තර් ජාලයෙහි තිබෙන අසභ්‍ය දේවලුත් යෞවනයන්ට ඇති කරන බලපෑම ව්‍යසනකාරියි. මේ හේතුව නිසා ගීතිකාකරු ඇසූ ප්‍රශ්නය අදදින මාපියන්ගෙත් යෞවනයන්ගෙත් සැලකිල්ලට භාජනය වී තිබේ.

ගීතිකාකරු ඇසූ ප්‍රශ්නයට ඔහුම මෙසේ පිළිතුරු සපයයි. “ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි.” ඇත්තෙන්ම දේවවචනය වන බයිබලයෙහි යෞවනයන්ට කදිම උපදෙස් දී ඇත. එම උපදෙස් පිළිපැදීමෙන් බොහෝ යෞවනයන් තම ජීවිතය සාර්ථක කරගෙන තිබේ. (ගීතාවලිය 119:105) විනෝදයට මුල් තැනක් දෙන ද්‍රව්‍යවාදි ලෝකයක දෙවිට ප්‍රේම කරමින් ආත්මිකව ශක්තිමත්ව සිටින යෞවනයන්ගේ උදාහරණ කිහිපයක් සලකා බලමු.

දෙමාපියන්ගේ මඟ පෙන්වීම ඔවුන් අගය කරයි

ජේකබ් එමැනුවෙල් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මෙක්සිකෝ ශාඛා කාර්යාලයේ සේවකයෙකි. ඊට ප්‍රථම ඔහු පුරෝගාමියෙකු ලෙසද සේවය කර තිබේ. දෙවිගේ සේවය සඳහා ප්‍රේමයක් ඔහු තුළ වර්ධනය වූ ආකාරය ගැන ඔහු මෙසේ සිහිපත් කරයි. “මෙයට මූලික වුණේ මගේ දෙමාපියන්. ඒ වගේම අද්දැකීම් ලත් ආත්මික සහෝදරයන්ව මිත්‍රයන් කරගැනීමත් ලොකු උපකාරයක් වුණා. එයාලා තමයි දේශනා සේවය සඳහා ඇල්මක් මා තුළ ඇති කළේ. මටත් නොදැනීම එයාලා මාව නියම මාර්ගයට යොමු කළා. මට බල කරනවායි කියලා කවමදාකවත් හැඟුණේ නැහැ.”

ඩේවිඩ් දැනට පූර්ණ කාලීන සේවයේ අවුරුදු කිහිපයක්ම නිරත වී තිබෙනවා. ඔහු සහ ඔහුගේ සහෝදරයා කුඩා කාලයේ සිටම තම දෙමාපියන් විශේෂ පුරෝගාමීන් ලෙස සේවය කිරීම තමාගේත් තම සහෝදරයාගේත් ජීවිතයට බලපෑ ආකාරය ඔහු සිහියට නඟයි. ඔවුන්ගේ පියා මිය ගිය විට පවා මව විශේෂ පුරෝගාමි සේවය අත් නෑරියාය. ඇය ශුභාරංචිය දේශනා කරනවාට අමතරව දරුවන්වද රැකබලා ගත්තාය. “හැබැයි එයාලා මට පුරෝගාමියෙක් වෙන්න කියලා බල කළේ නැහැ. නමුත් පවුලක් වශයෙන් පූර්ණ කාලීන දේශනා සේවයේ යෙදීමෙන් අපි ප්‍රීතියක් අද්දැක්කා. එම පවුල් පසුබිම තමයි මාව පෙලඹුවේ පුරෝගාමියෙක් වෙන්න” කියා ඩේවිඩ් පවසයි. දෙමාපියන් විසින් දරුවන්ට යහපත් මඟ පෙන්වීම සහ අවධානය දීමේ වැදගත්කම ගැන ඩේවිඩ් හුවා දක්වන්නේ මෙසේයි. “හැම රැයකදීම මගේ අම්මා, අහිමි පාරාදීසයේ සිට උරුම වූ පාරාදීසය දක්වා a (සිංහලෙන් නොමැත) කියන පොතෙන් අපට කතා කියලා දුන්නා. ඇය කොයිතරම් සිතට කාවදින විදිහට ඒවා කියලා දුන්නද කියනවා නං ආත්මික ආහාර ගන්න එක අපිට ඉතා රසවත් අද්දැකීමක් වුණා.”

රැස්වීම් සඳහා අගයක්

සමහර යෞවනයන් ක්‍රිස්තියානි රැස්වීම් කෙරෙහි එතරම් අගයක් පෙන්වන්නේ නැත. ඔවුන් ඒවාට සහභාගි වන්නේ දෙමාපියන් ඔවුන්ව රැගෙන යන නිසයි. නමුත් දිගටම රැස්වීම්වලට යනවා නම් කාලයත් සමඟම රැස්වීම් සඳහා ඔවුන් අගය කිරීමක් පෙන්වාවි. අවුරුදු 11දී පූර්ණ කාලීන සේවය ආරම්භ කළ අල්ෆ්‍රෙඩෝගේ අද්දැකීම සලකා බලන්න. වයස අවුරුදු පහේදී රැස්වීම් අතරතුර ඔහුට නිදිමත බවක් දැනුණ නිසා රැස්වීම්වලට යෑමට ඔහු අකමැති විය. නමුත් ඔහුගේ දෙමාපියන් රැස්වීම් පවත්වන අතරතුරේදී නිදාගැනීමට ඔහුට ඉඩ දුන්නේ නැත. ඔහු මෙසේ තම අතීත මතක සටහන් සිහියට නඟයි. “ටිකෙන් ටික වැඩි වියට පා තබන විට විශේෂයෙන්ම මම ලියන්න කියවන්න ඉගෙනගත් පසු මගේම වචනවලින් පිළිතුරු සපයන්න හැකි වුණ නිසා රැස්වීම් යන්න මම උනන්දුවක් දැක්වුවා.”

ස්ථාවර පුරෝගාමියෙක් ලෙස සේවය කරන 17 වියේ පසු වන සින්තියා දෙවිගේ සේවය සඳහා ඇල්මක් වර්ධනය කරගැනීමට හොඳ ආශ්‍රය විශාල කාර්යභාරයක් ඉටු කළ ආකාරය පැහැදිලි කරයි. “ලෝකයේ මිතුරන් සහ යෞවනයන් අතර ජනප්‍රිය ඩිස්කෝ සමාජ ශාලාවලට නොයෑම නිසා මගේ සතුට නැති වුණා කියලා හැඟුණේ නැහැ. එසේ නොහැඟීමට හේතුව සහෝදරයන් සමඟ හොඳ ආශ්‍රයක් පැවැත්වීම සහ රැස්වීම්වලට නිතිපතා සහභාගි වීමයි. රැස්වීම්වලදී ඇසෙන පිළිතුරු සහ අද්දැකීම්, මට තිබෙන හැම දෙයක්ම යෙහෝවාට දෙන්න මා තුළ පෙලඹීමක් ඇති කළා. මම හිතුවා මට දෙන්න පුළුවන් හොඳම දේ මගේ යෞවන කාලය කියලා. ඒ නිසා මගේ යෞවන කාලය යෙහෝවාට සේවය කිරීම සඳහා යොදවන්න මම තීරණය කළා.”

නමුත් ඈ අතීතයේ කළ යම් නුසුදුසු දේවල් මතකයට නඟන්නේ මෙලෙසයි. “බව්තීස්ම වෙන්න කලින් ගෙදර වැඩ හෝ පාසැල් වැඩ කිය කිය මම බොරුවට රැස්වීම් මඟහරිනවා. මම රැස්වීම් කිහිපයක්ම මඟහැරිය අතර මෙය මගේ ආත්මිකත්වයට බලපෑවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි බයිබලය පාඩම් නොකළ පිරිමි ළමයෙක් සමඟ ආශ්‍රයක් ඇති වුණේ. යෙහෝවාට ස්තුතිවන්ත වෙන්න කාලයත් සමඟම දේවල් මම නිවැරදි කරගත්තා.”

පෞද්ගලික තීරණයක්

දෙවිගේ වචනයෙහි ඇති සත්‍යය සඳහා ඇල්මක් වර්ධනය වීමට හේතු වන ප්‍රධානතම දෙය කුමක්ද කියා යෙහෝවාට පූර්ණ කාලීනව සේවය කරන යෞවනයෙකු වන පබ්ලෝගෙන් ඇසූ විට ඔහු පිළිතුරු දුන්නේ මෙලෙසයි. “මේ සඳහා කාරණා දෙකක් තිබෙනවා. එකක් තමයි නොකඩවා කරන පෞද්ගලික අධ්‍යයනය. අනෙක් එක තමයි දේශනා සේවය සඳහා ජ්වලිතයක් ඇති කරගැනීම. යෙහෝවා ගැන සත්‍යය මට ඉගැන්වීම ගැන මම මගේ දෙමාපියන්ට ස්තුති කරනවා. මට හිතෙනවා එයාලට මං වෙනුවෙන් දෙන්න පුළුවන් හොඳම දේ ඒක කියලා. ඒ කොහොම වෙතත් මම යෙහෝවාට ප්‍රේම කරන්නේ ඇයි කියලා පෞද්ගලිකවම මට සහතික කරගන්න ඕනෑ වුණා. ඒ සඳහා බයිබලයෙහි අඩංගු සත්‍යයෙහි ‘පළල සහ ගැඹුර’ දැනගන්න ඕනේ. එතකොට තමයි යෙහෝවාගේ වචනය අන් අයට කීම සඳහා ‘ඇවිළෙන ගින්නක්’ වගේ ආශාවක් අප තුළ ඇති වෙන්නේ. දේශනා සේවය සඳහා තිබෙන එවන් ජ්වලිතයක් සත්‍යය සඳහා ඇති අපේ අගය දිගටම පවත්වාගැනීමට මහෝපකාරී වෙනවා.”—එපීස 3:19; යෙරෙමියා 20:9.

යෙහෝවාට සේවය කිරීම සඳහා පෞද්ගලිකවම තීරණයක් ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් කලින් සඳහන් කළ ජේකබ් එමැනුවෙල් මෙසේ අදහස් දක්වයි. ඔහු පවසන්නේ ඔහුගේ දෙමාපියන් ඔහුට කිසිදා බව්තීස්ම වෙන්න කියා බල නොකළ බවයි. “මම හිතන්නේ ඒ ක්‍රමය තමයි හොඳම ක්‍රමය. මොකද මම ඒකේ යහපත් ප්‍රතිඵල අද්දකිනවා. උදාහරණයක් කියනවා නම්, මම ආශ්‍රය කළ සමහර යෞවනයන් එකම අවස්ථාවේ බව්තීස්ම වෙන්න තීරණය කළා. ඒක හොඳයි. හැබැයි සමහර අය බව්තීස්ම වුණේ හැඟීම්වලට වහල් වෙලා. ටික කාලයක් යනකොට රාජ්‍ය කටයුතු සඳහා එයාලා තුළ තිබුණ ජ්වලිතය අඩු වුණා. ඒත් මගේ දෙමාපියන් කවමදාකවත් යෙහෝවාට මගේ ජීවිතය කැප කරන්න කියලා බල කළේ නැහැ. ඒක මම පෞද්ගලිකව ගත්ත තීරණයක්.”

සභාවේ කාර්යභාරය

සමහර යෞවන අය දෙවිගේ වචනයෙහි අන්තර්ගත සත්‍යය ඉගෙනගෙන තිබෙන්නේ දෙමාපියන්ගේ උපකාරයක් නොමැතිව, ස්වකැමැත්තෙන්මයි. එවන් තත්වයන් යටතේ නිවැරදි දේ කිරීමට ඉගෙනීමත් අඛණ්ඩව එයට අනුකූලව සිටීමත් ඇත්තෙන්ම අභියෝගයක්.

නෝඊ නමැති යෞවනයාට සත්‍යය ප්‍රයෝජනදායක වූ ආකාරය ඔහු සිහියට නඟයි. ඔහුට කුඩා කල සිට ඉවසීමේ ගුණාංගය නොතිබුණ අතර ඔහු ප්‍රචණ්ඩකාරියි. නමුත් ඔහු අවුරුදු 14දී බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත් පසු ඔහුගේ මානසික ස්වභාවය දියුණු අතට හැරුණි. මෙය බයිබලය කෙරෙහි උනන්දුවක් නොදැක්වූ ඔහුගේ දෙමාපියන්ගේ ප්‍රීතියට හේතුවක් විය. නෝඊ ආත්මිකව දියුණුවක් ලබාගත් විට ඔහුගේ ජීවිතය දෙවිගේ සේවයේ මුළුමනින්ම යෙදවීමටද ඔහුට ඕනෑ විය. දැන් ඔහු පූර්ණ කාලීන සේවයේ නිරතව සිටියි.

ඇලකැන්ඩ්‍රෝගේ අද්දැකීමත් මීට සමානයි. ඔහුගේ දෙමාපියන් සත්‍යයට උනන්දුවක් නොදැක්වුවත් ඔහු ඉතා කුඩා වියේදීම ක්‍රිස්තියානි සත්‍යයට උනන්දුවක් පෙන්වීය. සත්‍යයට තමන් තුළ ඇති අගය ඔහු වදනට නඟන්නේ මෙසේයි. “මම හැදුණේ තද කතෝලික වාතාවරණයක් තිබූ නිවසක. නමුත් කුඩා කාලයේදීම මගේ මනසට වද දුන් ප්‍රශ්නවලට පල්ලියෙන් පිළිතුරු නොලැබුණ නිසා කොමියුනිස්ට් අදේවවාදය ගැන වැඩි වැඩියෙන් උනන්දු වෙන්න පටන්ගත්තා. යෙහෝවාගේ සංවිධානය තමයි මට දෙවි පිළිබඳ දැනුම ලබාගැනීමට උපකාර කළේ. ඒක හරියට මගේ ජීවිතය ගැළෙව්වා වගෙයි. බයිබලය අධ්‍යයනය කළේ නැත්නම් දුරාචාරමය දේවලට සහ බේබදුකමට හෝ මත්ද්‍රව්‍යවලට මම ඇබ්බැහි වෙලා ඇති. ඒ වගේම මම විප්ලවවාදි කණ්ඩායමකට බැඳිලා ඉතා දරුණු ප්‍රතිඵලවලට මුහුණ දීලාත් ඇති.”

යෞවනයෙකුට තම දෙමාපියන්ගේ සහයෝගය නොමැතිව සත්‍යය නොකඩවා සොයන්නත් ඊට එකඟව සිටින්නත් හැක්කේ කෙසේද? සභාවේ වැඩිමහල්ලන් සහ අනෙකුත් සභා සාමාජිකයන් මෙහිදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. නෝඊ ඒ පිළිබඳව මෙසේ අදහස් දක්වයි. “මට කවමදාකවත් තනිකමක් දැනුණේ නැහැ. යෙහෝවා හැම මොහොතකම මට ඉතාම කිට්ටුවෙන් හිටියා. ඒ වගේම ප්‍රේමනීය සහෝදර සහෝදරියන් හුඟදෙනෙකුගේ සහයෝගයත් ලැබුණා. ඒ අය හරියට මගේ ආත්මික තාත්තලා, අම්මලා සහ අයියලා වගේයි.” ඔහු දැන් බෙතෙල් සේවයෙහි නිරතව වෙමින් තම කාලය දෙවිගේ සේවය සඳහා යොදවයි. ඇලකැන්ඩ්‍රෝද මේ හා සමානව විස්තර කරයි. “මා ගැන ඉතාමත් ප්‍රේමනීය ලෙස පෞද්ගලික අවධානයක් යොමු කළ වැඩිමහල් මණ්ඩලයක් සිටි සභාවක ඉන්න ලැබීම ගැන මම හැමදාම ස්තුතිවන්ත වෙනවා. මේ සැලසුමට ස්තුති කරන්න විශාල හේතුවක් තිබුණා. වයස අවුරුදු 16දී තමයි මම බයිබලය පාඩම් කළේ. ඒ වයසේදී සාමාන්‍යයෙන් තරුණ අයට මානසික වශයෙන් ඇති වන පීඩනය මටත් ඇති වුණා. එම අවස්ථාවේදී සභාවේ සිටි පවුල් මාව තනි කළේ නැහැ. කවුරු හරි කෙනෙක් හිටියා මට ආගන්තුක සත්කාරය පෙන්වන්න. මට ඔවුන්ගේ නිවසේ දොර ඇර ආහාර පාන දීමෙන් පමණක් නෙමෙයි තම හදවත පවා ඔවුන් විවෘත කළා.”ඔහු මෙතෙක් වසර 13කට වඩා පූර්ණ කාලීන සේවයෙහි නිරතව සිටියි.

සමහර අයගේ සිතුවිල්ල ආගම් තිබෙන්නේ වයසක දෙමාපියන්ට බවයි. නමුත් යෞවනයන් හුඟදෙනෙකු කුඩා කලම බයිබලයෙහි අන්තර්ගත සත්‍යය ඉගෙනගෙන තිබෙන අතර යෙහෝවාට ප්‍රේම කරමින් ඔහුට විශ්වාසවන්තව සිටියි. මෙම යෞවනයන්ට ගීතාවලිය 110:3හි සඳහන් දාවිත්ගේ වදන් මැනවින් ගැළපේ. “ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනඟ කැමැත්තෙන් පූජා වෙති. උදය ගර්භයෙන් නිකුත් වූ, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්ත වූ ඔබගේ යෞවනකමේ පිනි [පිනි වැනි වූ යෞවනයන්, NW] ඔබට ඇත්තේය.”

සත්‍යය ඉගෙනීමත් දිගටම එයට අනුකූලව සිටීමත් යෞවන අයට අභියෝගයක්. එසේ වුවත්, දෙවිගේ සංවිධානය සමඟ සමීපව කටයුතු කරමින්, නොකඩවා රැස්වීම්වලට සහභාගි වෙමින් හා ජ්වලිතව බයිබලය අධ්‍යයනය කරමින් බොහෝදෙනෙකු දෙවිට සහ ඔහුගේ සේවයට අව්‍යාජ ඇල්මක් පෙන්වනු දැකීම මොනතරම් සතුටක්ද!—ගීතාවලිය 119:15, 16.

[පාදසටහන]

a වර්ෂ 1958 යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර ඇත. දැන් එය මුද්‍රණය නොවෙයි.