Skip to content

පටුනට යන්න

ජ්වලිතය හා ඊර්ෂ්‍යාව ක්‍රිස්තියානි ස්ථාවරය කුමක්ද?

ජ්වලිතය හා ඊර්ෂ්‍යාව ක්‍රිස්තියානි ස්ථාවරය කුමක්ද?

ජ්වලිතය හා ඊර්ෂ්‍යාව ක්‍රිස්තියානි ස්ථාවරය කුමක්ද?

ක්‍රිස්තියානීන් වන අපට ‘ප්‍රේමය ලුහුබඳින්නට’ දිරිගන්වා ඇති අතර, “ප්‍රේමය ඊර්ෂ්‍යා වන්නේ නැත” යන්නද දනිමු. (1 කොරින්ති 13:4; 14:1; NW) තවද, යෙහෝවා “ජ්වලිත දෙවිකෙනෙකු” බවත් අපට පවසා ඇති අතර අපට අණ කර තිබෙන්නේ “දෙවිව අනුකරණය කරන්නන් වන්න” කියාය. (නික්මයාම 34:14; එපීස 5:1; NW) එමනිසා ඊර්ෂ්‍යාව සහ ජ්වලිතය සම්බන්ධයෙන් ක්‍රිස්තියානීන්ගේ ස්ථාවරය කුමක්ද?

“ඊර්ෂ්‍යාව” හා “ජ්වලිතය” යන වචන දෙකටම හෙබ්‍රෙව් සහ ග්‍රීක් භාෂාවල ඇත්තේ එක වචනයකි. මෙම තනි වචනයට (හෙබ්‍රෙව්, කිනාහ්; ග්‍රීක්, සීලොස්) ඉතා පුළුල් අර්ථ පරාසයක් ඇත. මේ අනුව, එම වචනය භාවිත කරන අවස්ථා සම්බන්ධයට අනුව ඊට යහපත් හෝ අයහපත් අදහසක් මුසු විය හැක. නිදසුනකට, හෙබ්‍රෙව් වචනයට “තනි භක්තිය අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වීම, කිසිදු එදිරිවාදිකමක් නොඉවසීම, ජ්වලිතය, දැඩි උද්‍යෝගය, ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට පක්ෂපාතව සිටීම යන අදහසද, අනුන්ගේ සැප සම්පත්, තනතුරු නොඉවසන ගතිය, කුඩුකේඩුකම හෝ ඊර්ෂ්‍යාව යන අදහස්ද තිබිය හැක.” මීට අනුරූප වන ග්‍රීක් වචනයටද ඒ හා සමාන අර්ථ පරාසයක් ඇත. තමාට එදිරිව නැඟී සිටිනවායයි සැක කරන කෙනෙකු හෝ යම් වාසියක් භුක්ති විඳිනවායයි දකින පුද්ගලයෙකු කෙරෙහි දක්වන විකෘති වූ අසමබර චිත්තවේගී හැඟීමක් විස්තර කිරීමට මෙම වචන යොදාගත හැක. (හිතෝපදේශ 14:30) අනික් අතට, දෙවිගෙන් නික්මෙන යහපත් ගුණාංගයකටද ඉන් යොමු දැක්විය හැක. එනම්, සහෘදයෙකුව යම් හානියකින් ආරක්ෂා කිරීමට දක්වන දැඩි ආශාවය. (2 කොරින්ති 11:2) මෙම යහපත් වූ ගුණාංගය සඳහා ජ්වලිතය යන වචනයද, නිෂේධාත්මක අදහස ලබා දීමට ඊර්ෂ්‍යාව යන වචනයද සිංහල භාෂාවෙහි භාවිත කෙරේ.

උතුම්ම ආදර්ශය

ජ්වලිතය නමැති යහපත් ගුණාංගය විදහාපෙන්වීමේදී උතුම්ම ආදර්ශය තබන්නේ යෙහෝවාය. ඔහුගේ චේතනා පිරිසිදුය, නිර්මලය. තම සෙනඟව ආත්මිකව හෝ සදාචාරාත්මකව යම් ආගාධයකට වැටීමෙන් ආරක්ෂා කිරීමට වූ දැඩි ආශාවකින් ඔහු පෙළෙයි. සියොන් යන සංකේතාත්මක නම දැරූ ඔහුගේ පුරාණ ජනයා සම්බන්ධයෙන් ඔහු පැවසුවේ මෙසේය. “මම සියොන් උදෙසා මහත් ජ්වලිතයෙන් ජ්වලිත වී, මහත් කෝපයෙන් ඈ ගැන ජ්වලිතව සිටිමි.” (සෙකරියා 8:2) ප්‍රේමණීය පියෙකු තම දරුවන්ව යම් හානියකින් ආරක්ෂා කිරීමට නිතරම සාවධානව සිටින්නාක් මෙන්, සිය සේවකයන්ගේ ජීවිතවලට මෙන්ම ආත්මිකත්වයට හානියක් විය හැකි අනතුරුවලින් ආරක්ෂා කිරීම සඳහා යෙහෝවා කල්පනාකාරීව සිටියි.

සිය සෙනඟව රක්ෂා කිරීමට යෙහෝවා තම වචනය වන බයිබලය සැපයීය. ඥානවන්තව කටයුතු කිරීමට අවශ්‍ය දිරිගැන්වීම් රැසක් එහි අන්තර්ගතව පවතින අතර, එසේ කටයුතු කළ අයගේ ආදර්ශ රැසක් එහි අඩංගුය. යෙසායා 48:17හි අපට මෙසේ කියවීමට තිබේ. “ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවි වූ යෙහෝවා වන මමය.” යෙහෝවා අප කෙරෙහි ජ්වලිතව සිටින හෙයින් අපව ආරක්ෂා කිරීමටත් අප ගැන අවධානයෙන් සිටීමටත් එය ඔහුව පොලඹවයි. එය මොනතරම් සැනසිල්ලක්ද! ඔහු මෙලෙස යහපත් අන්දමින් ජ්වලිතව සිටියේ නැත්නම්, අපගේ නොදැනුවත්කම නිසා අපට නොයෙකුත් හානිවලට ගොදුරු වන්නට සිදු වේ. යෙහෝවා විදහාපෙන්වන ජ්වලිතයට ආත්මාර්ථකාමිත්වය කිසිදු අන්දමකින්වත් ගෑවී නැත.

කෙසේවෙතත්, දිව්‍ය ජ්වලිතය සහ ඊර්ෂ්‍යාව නමැති නුසුදුසු ගුණාංගය අතර පවතින වෙනස කුමක්ද? මෙය තේරුම්ගැනීමට අප මිරියාම් සහ පීනෙහාස්ගේ ආදර්ශ සලකා බලමු. එලෙස ක්‍රියා කිරීමට ඔවුන්ව පෙලඹවූයේ කුමක්දැයි සැලකිල්ලට ගන්න.

මිරියාම් සහ පීනෙහාස්

ඊජිප්තුවෙන් නිදහස් වී ගමන් කළ ඉශ්‍රායෙලිතයන්ගේ නායකයන් ලෙස කටයුතු කළ මෝසෙස් සහ ආරොන්ගේ අක්කා වූයේ මිරියාම්ය. ඉශ්‍රායෙලිතයන් පාළුකරයෙහි සැරිසරමින් සිටිද්දී, මිරියාම් ඇගේ සහෝදරයා වූ මෝසෙස්ට ඊර්ෂ්‍යා කරන්නට පටන්ගත්තාය. බයිබල් වාර්තාවෙහි මෙසේ සැල වේ. “මෝසෙස් පාවාගත් කූෂ් ස්ත්‍රිය නිසා මිරියාම් සහ ආරොන් ඔහුට විරුද්ධව කතා කළෝය. . . . ඔවුහුද: යෙහෝවා කතා කෙරෙවුවේ මෝසෙස් ලවා පමණක්ද? ඔහු අප ලවාත් කතා නොකළේදැයි කීවෝය.” මෙහිදී ආරොන්ට නොව, මිරියාම්ට යෙහෝවාගෙන් හික්මවීමක් ලැබුණු හෙයින්, මෝසෙස්ට විරුද්ධව කළ මෙම කුමන්ත්‍රණයේදී මිරියාම් පෙරමුණ ගත් බව සිතිය හැක. ඇගේ අගෞරවනීය ක්‍රියාකලාපය හේතුවෙන් සතියක් පුරා ලාදුරු රෝගයෙන් පෙළීමට ඇයට සිදු විය.—ගණන් කථාව 12:1-15.

මෝසෙස්ට විරුද්ධව මෙලෙස ක්‍රියා කිරීමට මිරියාම් පෙලඹුණේ කුමක් නිසාද? සැබෑ නමස්කාරය සඳහාත්, සෙසු ඉශ්‍රායෙලිතයන්ව යම් හානියකින් ආරක්ෂා කිරීම සඳහාත් ඇවිළුණු යම් ජ්වලිත හැඟීමක් නිසාද? පෙනෙන ප්‍රකාරයට ඇයට එවන් හැඟීමක් තිබුණේ නැත. තවත් ප්‍රසිද්ධ වීමට, තව තවත් බලතල දැරීමට වූ නුසුදුසු ආශාව තම සිත තුළ පෝෂණය වීමට මිරියාම් ඉඩ දුන් බව පෙනී යයි. ඉශ්‍රායෙල්හි අනාගතවක්තෘවරියක ලෙස ඇය ජනයා ඉදිරියෙහි, විශේෂයෙන් ස්ත්‍රීන් ඉදිරියෙහි ගෞරවයට පාත්‍ර වූ තැනැත්තියක් වූ බවට සැකයක් නැත. රතු මුහුදෙන් ඉශ්‍රායෙල් ජනයා ආශ්චර්යවත් ලෙස ගැළවුණු අවස්ථාවේදී ගී ගැයීමට සහ සංගීතය වාදනය කිරීමට පෙරමුණ ගත්තේ ඇයයි. කෙසේවෙතත්, මෝසෙස්ගේ බිරිඳ නිසා තමන්ට හිමිව තිබූ ප්‍රසිද්ධිය යම් දුරකට හීන වී ඇති බවක් මිරියාම්ට හැඟෙන්නට ඇත. එමනිසා ඇයව තරඟකාරියක ලෙස සලකා මිරියාම් නුවමනා ලෙස කටයුතු කළා විය හැක. ආත්මාර්ථකාමී ගුණාංගයක් වන ඊර්ෂ්‍යාවෙන් උමතු වී යෙහෝවා විසින් පත් කරන ලද තැනැත්තා වන මෝසෙස්ට එරෙහිව යම් විරෝධයක් ඇති කිරීමට තරම් ඇය දුරදිග ගියාය.—නික්මයාම 15:1, 20, 21.

අනික් අතට, පීනෙහාස් ක්‍රියා කළේ හාත්පසින්ම වෙනස් චේතනාවක් පෙරදැරි කරගෙනය. ඉශ්‍රායෙලිතයන් කඳවුරු බැඳගෙන සිටියේ මෝවබ් මිටියාවතේය. ඒ පොරොන්දු දේශය තුළට පිවිසෙන්නට ටික කලකට පෙරාතුවය. එවන් අවස්ථාවකද ඉශ්‍රායෙල් පුත්‍රයන් බොහෝදෙනෙක් මෝවබ් සහ මිදියන් ජාතික ස්ත්‍රීන්ගේ මායම්වලට හසු වී දුරාචාරයට සහ රූප නමස්කාරයට ඇද වැටුණෝය. මේ නිසා කඳවුර අපවිත්‍ර විය. එය පවිත්‍ර කොට, යෙහෝවාගේ ඇවිළෙන උදහස නිවා දැමීම සඳහා පාපයට ඇද වැටුණු සියලුම පුරුෂයන්ව මරාදැමීමට ඉශ්‍රායෙල්හි විනිසුරුවන්ට අණ දෙන ලදි. සිමියොන් ගෝත්‍රයේ අධිපතියෙකු වූ සිම්රි කිසිදු බියක් ලජ්ජාවක් නොමැතිව අනාචාරයෙහි යෙදෙනු පිණිස ‘ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ඉදිරියෙහි’ කොස්බි නමැති මිදියන් ස්ත්‍රිය කඳවුර තුළටම ගෙනාවේය. පීනෙහාස් ක්‍රියා කළේ ඉතා තීරණාත්මක අන්දමකිනි. යෙහෝවාගේ නමස්කාරය සඳහා දැවෙන ජ්වලිතයකින් හා කඳවුර තුළ සදාචාර පවිත්‍රකම පවත්වාගැනීමේ ආශාවෙන් පෙලඹුණු ඔහු, එම වේශ්‍යාකම් කරන්නන්ව සිය කඳවුර තුළම ඝාතනය කළේය. ඔහු දැක්වූ “ජ්වලිතය” නිසාද, යෙහෝවාට එරෙහිව ඉස්මතු වන “කිසිදු එදිරිවාදිකමක් නොඉවසීම” [NW] නිසාද ඔහුව පැසසුමට ලක් කරන ලදි. පීනෙහාස් ක්ෂණිකව ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් 24,000දෙනෙකුගේ ජීවිත ගිලගත් වසංගතය නතර විය. තවද යෙහෝවා ඔහුට විපාක දුන්නේ පූජක තන්ත්‍රය සදහටම ඔහුගේ පෙළපතින් ඉදිරියට ගෙන යනු ලබන බවට වූ ගිවිසුම සමඟිනි.—ගණන් කථාව 25:4-13.

එසේනම්, බයිබලයේ භාවිත කර ඇති මුල් භාෂාවට අනුව එකම වචනයකින් යොමු දක්වන මෙම ගුණාංග දෙක අතර ඇති වෙනස කුමක්ද? මිරියාම් ඇගේ සහෝදරයාට විරුද්ධව පියවර ගත්තේ ආත්මාර්ථකාමී ඊර්ෂ්‍යාවක් හේතුවෙනි. අනික් අතට, පීනෙහාස් යුක්තිය ඉෂ්ට කළේ ඔහු තුළ ඇති වූ හටගත් දිව්‍ය ජ්වලිතය නිසාය. පීනෙහාස් මෙන්, අපද කතා කිරීමට හෝ යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙලඹිය යුතුය. අප එසේ කරන්නේ යෙහෝවාගේ නාමය, ඔහුගේ නමස්කාරය සහ ඔහුගේ ජනයා කෙරෙහි අපට දැනෙන පක්ෂපාතී හැඟීම නිසාවෙනි.

නුසුදුසු ජ්වලිතයක්

කෙසේවෙතත්, නිසි පදනමක් නොමැති නුසුදුසු ජ්වලිතයක් අප තුළ ඇති විය හැකිද? ඔව්, ඇති විය හැක. මුල් සියවසේ යුදෙව්වන් තුළ තිබූ ආකල්ප සම්බන්ධයෙන් මෙය සැබෑ විය. ඔවුහු ඉතා ජ්වලිතව දෙවි දුන් නීතිය සහ ඔවුන්ගේ සම්ප්‍රදායන් රක්ෂා කළෝය. එනමුත්, නීතිය ආරක්ෂා කිරීමට දැරූ උත්සාහයේදී, ඔවුන් රෙගුලාසි සහ සීමා තහංචි රැසක් ප්‍රබන්ධ කළේ ජනතාව පිට ඉමහත් බරක් පටවමිනි. (මතෙව් 23:4) දෙවි මෝසෙස්ට දුන් නීතියෙන් පිළිබිඹු කළේ ඉදිරියෙහි සිදුවීමට නියමිත යථාර්ථයන්ය. ක්‍රිස්තුස්ගේ පැමිණීමත් සමඟ එළි දුටු එම යථාර්ථයන් පිළිගැනීමට ඔවුන්ට නොහැකි වූ අතර ඒ සඳහා කැමැත්තක්ද තිබුණේ නැත. එබැවින් යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ට එරෙහිව වියරු කෝපයකින් ක්‍රියා කිරීමට ඔවුන්ගේ නොමනා ජ්වලිතය හේතුකාරකයක් විය. වරක් නීතිය සම්බන්ධයෙන් නිසි පදනමක් නොමැති, නුසුදුසු ජ්වලිතයක් ඇති කරගෙන සිටි ප්‍රේරිත පාවුල් පෙන්නුම් කළේ ජ්වලිතව නීතිය ආරක්ෂා කරගනිමින් සිටි එම ජනතාවට ‘දෙවි කෙරෙහි ජ්වලිතයක් තිබුණත්, එය නිවැරදි දැනුමට එකඟ වූවක්’ බවය.—රෝම 10:2, NW; ගලාති 1:14.

ක්‍රිස්තියානීන් බවට පත් වූ යුදෙව්වන් බොහෝදෙනෙකුටද, මෙම නීතිය සම්බන්ධයෙන් ඇති වී තිබූ අනවශ්‍ය ජ්වලිතය නැති කරගැනීමට අසීරු විය. පාවුල් සිය තුන්වන මිෂනාරි ගමනෙන් පසු, මුල් සියවසේ සිටි පාලක මණ්ඩලයට අන්‍යජාතිකයන්ගේ හැරීම පිළිබඳ වාර්තාවක් දුන්නේය. එම අවස්ථාව වන විටත් ‘නීතිය ගැන ජ්වලිතයක් දක්වන’ ක්‍රිස්තියානි යුදෙව්වන් දහස් ගණනක් සිටියෝය. (ක්‍රියා 21:20, NW) මෙවැනි තත්වයක් තිබුණේ, පාලක මණ්ඩලය විසින් අන්‍යජාතික ක්‍රිස්තියානීන් චර්මච්ඡේදනය වීම අනවශ්‍ය බව තීරණය කිරීමෙන් වසර ගණනාවක්ම ගත වූවායින් පසුවය. නීතියට එකඟව ජීවත් වීම හා බැඳි ප්‍රශ්න හේතුවෙන් සභාව තුළ භේද හටගෙන තිබිණ. (ක්‍රියා 15:1, 2, 28, 29; ගලාති 4:9, 10; 5:7-12) යෙහෝවා තම සෙනඟ සමඟ කටයුතු කරන ආකාරය පූර්ණ ලෙස අවබෝධ කර නොගත් ඇතැම් යුදෙව් ක්‍රිස්තියානීහු, තම මතයෙහිම එල්බගෙන සිටි අතර අන් අයවද විවේචනයට ලක් කළෝය.—කොලොස්සි 2:17; හෙබ්‍රෙව් 10:1.

මේ අනුව, අප වැදගත්යයි සලකන දේවවචනය මත ස්ථිරව පදනම් නොවූ මතිමතාන්තර හෝ පුරුදු ජ්වලිතව ආරක්ෂා කිරීමේ උගුලට හසු නොවී සිටීමට අප උත්සාහ දැරිය යුතුය. මීට වෙනස්ව, යෙහෝවා අදදින යොදාගනිමින් සිටින මාධ්‍යය දේවවචනය සම්බන්ධයෙන් හෙළි කරන නැවුම් ආලෝකයට අවනත වන්නට උත්සුක වීම යහපති.

යෙහෝවා කෙරෙහි ජ්වලිත වෙමු

කෙසේවෙතත්, දිව්‍ය ජ්වලිතය සැබෑ නමස්කාරයේදී වැදගත් කාර්යයක් ඉටු කරයි. තමාගේ නම හෝ අයිතිවාසිකම් ගැන අනවශ්‍ය ලෙස තැකීමට නැඹුරුවාවක් අප තුළ ඇති වන විට, දිව්‍ය ජ්වලිතය අපට උපකාර කරන්නේ අපගේ අවධානය යෙහෝවා වෙතට යොමු කරන්නටය. එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයෙක් යෙහෝවා ගැන සත්‍යය ප්‍රකාශ කිරීමට මං සොයමින් ඔහුගේ ක්‍රියාවන්ට සහ ඔහුගේ ජනයාට පක්ෂව කතා කරයි.

රුධිරය පිළිබඳ දෙවිගේ නීතිය ගැන වැරදි වැටහීමක් ඇතුව සිටි නිවැසියෙකුගෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ-කාලීන දේවසේවකයෙකු වූ අකීකෝට එරෙහිව ප්‍රබල වාචික ප්‍රහාරයක් එල්ල විය. කෙසේවෙතත්, අකීකෝ දෙවිගේ වචනයට පක්ෂව ඉතා උපායශීලී අයුරකින් කතා කළ අතර, රුධිර ප්‍රවේශන හේතුවෙන් පැනනඟින වෛද්‍ය ගැටලු සහ සංකීර්ණතා ගැන පවා සඳහන් කළේය. යෙහෝවා ගැන කතා කිරීමට දැවෙන ආශාවකින් සිටි ඇය, එම ස්ත්‍රියගේ විරෝධතාවලට සැබෑ පදනම වූයේ මැවුම්කරුවෙකු සිටින බවට ඇය තුළ තිබූ අවිශ්වාසය බව තේරුම්ගත්තාය. මෙය තේරුම්ගත් අකීකෝ සංවාදය එම කාරණය වෙතට යොමු කරමින්, මැවීම දෙස බලද්දී එය මැවුම්කරුවෙකු සිටින බවට තහවුරු කරන ආකාරය ගැන පැහැදිලි කර දුන්නාය. බයිබලයේ ඉගැන්වීම් නිර්භීතව තහවුරු කළ නිසා පදනමක් නොමැති අදහස් ඉවත් කළා පමණක් නොව, එම ස්ත්‍රිය නිවාස බයිබල් පාඩමකට පවා එකඟ වූවාය. කෝපයෙන් ක්‍රියා කළ එම ස්ත්‍රිය අද යෙහෝවාට ප්‍රශංසා කරන සහෝදරියකි.

සැබෑ නමස්කාරය සඳහා අපට නිසි ජ්වලිතයක් ඇත්නම් අවදිව සිට රැකියාවේදී, පාසැලේදී, කඩ සාප්පු යද්දී හා ගමන් බිමන් යද්දී අපගේ ඇදහිල්ල ගැන කතා කිරීමටත්, ඊට පක්ෂව අදහස් දැක්වීමටත් ප්‍රස්තා අල්ලාගැනීමට එය අපහට පෙලඹීමක් වේ. නිදසුනකට, තම රැකියා ස්ථානයේ සෙසු සේවක සේවිකාවන්ට තම ඇදහිල්ල ගැන කතා කිරීමට මිඩෝරි අතපසු කරන්නේ නැත. සිය 40ගණන්වල පසු වූ එක් සෙසු සේවිකාවක කියා සිටියේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ කිසිම ගනුදෙනුවක් කිරීමට තමා අකමැති බවය. කෙසේවෙතත්, වෙන අවස්ථාවක සිදු වූ සංවාදයකදී, තම දුවගේ පෞද්ගලිකත්වයේ නුසුදුසු ගතිලක්ෂණ වර්ධනය වී ඇති බවට ඇය පැමිණිලි කළාය. යෞවන අය අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු a යන පොත පෙන්වූ මිඩෝරි, ඇගේ දුව සමඟ එම පොතෙන් පාඩමක් කිරීමට ඉදිරිපත් වූවාය. පාඩමක් පටන්ගත්තද මව සාකච්ඡාවට සහභාගි වූයේ නැත. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය හඳුනාගනිමු b යන වීඩියෝ පටිය ඇයට පෙන්විය යුතු බව මිඩෝරි තීරණය කළාය. ප්‍රතිඵලයක් ලෙස, ඇගේ වැරදි වැටහීම් බොහොමයක්ම දුරු විය. තමා දුටු දෙයින් පෙලඹීමක් ලැබූ ඇය පැවසුවේ, “මටත් ඕනේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් වගේ වෙන්න” කියාය. ඇයද දුව සමඟ බයිබලය අධ්‍යයනය කිරීමේ කටයුත්තට එකතු වූවාය.

ක්‍රිස්තියානි සභාවේද නිසි ජ්වලිතයක් දැක්වීම අත්‍යවශ්‍යය. එමගින් ප්‍රේමය හා සැලකිල්ල දැක්වීමේ උණුසුම් ස්වභාවයක් පෝෂණය වන අතරම, අපගේ ආත්මික සහෝදරයන්ට හානියක් විය හැකි හානිකර ඕපාදූප හා ධර්මභේදී අදහස් වැනි කඩාකප්පල්කාරී බලපෑම්වලට එරෙහිව නැඟී සිටීමට අපව පොලඹවයි. ඇතැම් අවස්ථාවලදී වැරදි කරන අයට අවවාද කිරීමට වැඩිමහල්ලන්ට සිදු වේ. අපට දිව්‍ය ජ්වලිතයක් ඇත්නම්, ඔවුන් ගන්නා තීරණවලට අපගේ පූර්ණ සහයෝගය දැක්වීමට අපි පෙලඹෙන්නෙමු. (1 කොරින්ති 5:11-13; 1 තිමෝති 5:20) කොරින්ති සභාවේ සෙසු ඇදහිලිවන්තයන් සම්බන්ධයෙන් තමාට දැනුණු ජ්වලිතය ගැන ලියමින් පාවුල් මෙසේ පැවසීය. “පිරිසිදු කන්‍යාවක මෙන් නුඹලා ක්‍රිස්තුස් වන එක පුරුෂයෙකුට පාවා දීම පිණිස මා විසින් විවාහ බස් දුන් බැවින් දිව්‍ය වූ ජ්වලිතයකින් නුඹලා ගැන මම ජ්වලිතව සිටිමි.” (2 කොරින්ති 11:2) මෙයාකාරයට, ඉගැන්වීම් අතින්, ආත්මික වශයෙන් සහ සදාචාරමය ලෙස සභාවේ සිටින සියලුදෙනාගේ නිර්මලකම ආරක්ෂා කිරීමට අපි කළ හැකි සෑම දෙයක්ම කිරීමට පෙලඹෙන්නෙමු.

නිසි චේතනාවක් ඇතුව ජ්වලිතය, එනම් දිව්‍ය ජ්වලිතය විදහාපෙන්වන විට, එය අන් අයට හිතකරව බලපාන බව ඉතා පැහැදිලිය. එසේ කිරීමෙන් යෙහෝවාගේ අනුමැතිය ලබාගත හැකිය. මේ අනුව, එය අදදින ක්‍රිස්තියානීන් විසින් විදහාපෙන්විය යුතු ගුණාංගයක් වන බවට කිසිදු සැකයක් නොමැත.—යොහන් 2:17.

[පාදසටහන]

a යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශ කරන ලදි.

b යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශ කරන ලදි.

[29වන පිටුවේ පින්තූර]

පීනෙහාස් ගත් ක්‍රියාමාර්ගයට පදනම වූයේ දිව්‍ය ජ්වලිතයයි

[30වන පිටුවේ පින්තූර]

නොමනා ජ්වලිතයකට හසුවීමේ උගුලෙන් වැළකී සිටින්න

[31වන පිටුවේ පින්තූර]

අපගේ ඇදහිල්ල අනුන් සමඟ බෙදාගැනීමටත්, අපගේ සහෝදරත්වය දැඩි සේ අගය කිරීමටත් දිව්‍ය ජ්වලිතයයි අපව පොලඹවයි