Skip to content

පටුනට යන්න

නපුරු බලවේගයන් ක්‍රියාත්මක වී ඇද්ද?

නපුරු බලවේගයන් ක්‍රියාත්මක වී ඇද්ද?

නපුරු බලවේගයන් ක්‍රියාත්මක වී ඇද්ද?

“ගුප්ත බලවේගයන් සියලුම හදිසි දොරටු අවහිර කර තිබෙන්නාක් මෙන්, අද ලෝකය මිදිය නොහැකි සේ වියවුල් තත්වයක පවතියි.”—පත්‍රකලාවේදී ෂොන් ක්ලෝඩ් සූලේරි.

‘පිළිසරණක් නැතැයි හැඟෙන කෙනෙකුට ඉතා නපුරු බලවේගයන් තමා කෙරෙහි බලය පාමින් සිටින බවක් හැඟිය හැකියි.’—ඉතිහාසඥ ජෝසෆ් බාටන්.

වර්ෂ 2001 සැප්තැම්බර් 11වනදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඇති වූ අතිභයානක ව්‍යසනයෙන් පසු බොහෝදෙනෙකු සිද්ධ වෙන දේවල් ගැන සිතන්නේ බැරෑරුම්වයි. මයිකල් ප්‍රෞස් එංගලන්තයේ ෆිනැන්ෂල් ටයිම්ස් පුවත්පතට ලියමින් “කිසිම තිරිසනෙකුට ඒ වගේ ම්ලේච්ඡ වැඩක් කරන්නත් බැහැ, කරන එකකුත් නැහැයි” කියා පැවසීය. ප්‍රහාරය දියත් කිරීමට කළ සැලසුම් පිළිබඳව පමණක් නොව “එවැනි දෙයක් සාර්ථකව කිරීමට කොතරම් ප්‍රබල වෛරයක් ඉවහල් වූවාද යන්න පිළිබඳවත් සලකා බැලීම වැදගත් වේ. එය සාමාන්‍ය යුධ වැදීමකදී දක්නට ලැබෙන වෛරයට වඩා වැඩි යමකි. එය හිත් පිත් නැති, ගිවිසුමකට නොඑළඹෙන බද්ධ වෛරයක්” කියා නිව් යෝක් ටයිම්ස් කතුවැකියේ සඳහන් වී ඇත.

විවිධ විශ්වාසයන් ඇතුව සිටින ජනයා දුෂ්ට බලයක්වත් ක්‍රියාත්මක වෙනවාද කියා කල්පනා කරති. බොස්නියාවේ ජනවාර්ගික වෛරයේ බිහිසුණු සිද්ධීන් දුටු සරයේවෝහි ව්‍යාපාරිකයෙක් මෙසේ ප්‍රකාශ කළේය. “බොස්නියාවේ යුද්ධය අවුරුද්දක් පුරාම සිදු වෙනවා දැකලා තියෙන මට හැඟෙන්නේ පාලනය තියෙන්නේ සාතන්ගේ අතේ කියලයි. ඒක නම් පුදුම විනාශයක්!”

යක්ෂයෙක් ඉන්න බව විශ්වාස කරනවාදැයි ඉතිහාසඥ ෂොන් ඩෙලූමියෝගෙන් ඇසූ විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “සිද්ධ වෙන දේවල් දකිනකොටත්, මම ඉපදුණ දා ඉඳලම සිද්ධ වෙලා තියෙන දේවල් ගැන හිතනකොටත් යක්ෂ බලයක් නැහැයි කියලා හිතන්නේ කොහොමද? මිලියන 40කට වඩා වැඩිදෙනෙක් ගොදුරු වුණ දෙවෙනි ලෝක යුද්ධය; අවුෂ්විට්ස් කඳවුර සහ ඝාතක කඳවුරු; කාම්බෝජයේ සමූල ඝාතනය; චව්ෂෙස්කුගේ පාලනය යටතේ සිද්ධ වුණ දරුණු ලේ හැලීම; රජයේ ක්‍රියාදාමයක්ව පවතින ලොව පුරා බොහෝ තැන්වල සිදු වන වධ හිංසා පැමිණවීම්. මේ වගේ බිහිසුණු සිද්ධීන් කෙළවරක් නැතුව සිද්ධ වෙනවා. . . . මෙවැනි ක්‍රියාවලට ‘යක්ෂ’ ක්‍රියා කියලා කියන එක සාධාරණයි කියා මම හිතනවා. ඒවාවලට බලය දෙන්නේ අං සහ දෙපලු වූ යටිපතුල් තියෙන යක්ෂයෙක් නෙවෙයි. ලෝකය තුළ ක්‍රියාත්මක වන නපුරු ස්වභාවයේ හා බලයේ සංකේතය වන යක්ෂයෙකුයි.”

පවුල් තුළ මෙන්ම ලෝකය හාත්පස සෑම තැනකම සිටින මිනිස් සමාජයන් තුළ අද සිදු වන බිහිසුණු දේවල්, ෂොන් ඩෙලූමියෝ මෙන්ම බොහෝදෙනෙකු හඳුන්වන්නේ “යක්ෂ” ක්‍රියා ලෙසය. එහෙත් මින් අදහස් කරන්නේ කුමක්ද? එවැනි බිහිසුණු දේවල් අපෞද්ගලික නපුරු බලවේගයන් විසින් ඇති කරන්නක් විය හැකිද? එසේ නැතහොත් මිනිසුන් අතින් සාමාන්‍යයෙන් සිදු වන නරක දෑ අබිබවා යන දරුණු අපරාධ සිදු කිරීමට ඔවුන්ව පොලඹවන කෲර පුද්ගල බලවේගයන් ක්‍රියාත්මක වෙමින් පවතීද? එවැනි බලවේගයන් මෙහෙයවනු ලබන්නේ නපුරේ රජා වූ සාතන් නමැති යක්ෂයාද?

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Children: U.S. Coast Guard photo