Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

වෙනත් ආගමික නිකායකින් ගොඩනැඟිල්ලක් මිල දී ගෙන එය රාජ්‍ය ශාලාවක් බවට පත් කිරීම අන්තර් ඇදහිලි ක්‍රමවලට සම්බන්ධවීම හා සමානද?

සාමාන්‍යයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් අන්‍ය ආගම් සමඟ එවැනි සම්බන්ධකම් නොපවත්වයි. නමුත් මෙවැනි ගනු දෙනුවක් කිරීම අන්තර් ඇදහිලි හා සම්බන්ධවීමක් ලෙස ගණන් ගනු ලබන්නේ නැහැ. එය ගණන් ගැනෙන්නේ එක් අවස්ථාවකදී කළ සාමාන්‍ය ව්‍යාපාරික ගනු දෙනුවක් ලෙස පමණයි. ඇත්තෙන්ම, යෙහෝවාගේ සාක්ෂිකරුවන් වෙනත් ආගමික නිකායක් සමඟ එකතු වී ගොඩනැඟිල්ලක් සාදා එය හවුලේ භාවිත කිරීමට අදහස් කරන්නේ නැහැ.

දෙවිගේ ඇස් ඉදිරියේ කුමන ආකාරයේ ක්‍රියාද අන්තර් ඇදහිලි සම්බන්ධකම් ලෙස ගණන් ගැනෙන්නේ? මේ සම්බන්ධව පාවුල් දී ඇති මඟ පෙන්වීම සලකා බලන්න. “නොඇදහිලිකාරයන් සමඟ අසම ලෙස සම්බන්ධ නොවෙන්න. ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගිකම මොකද? නොහොත් අන්ධකාරය සමඟ ආලෝකයේ ඇති පංගුකාරකම මොකද? බෙලියෙල් සමඟ ක්‍රිස්තුස්ගේ ඇති එකමුතුකම මොකද? නොහොත් නොඅදහන කෙනෙකු සමඟ ඇදහිලිවන්තයෙකුගේ ඇති කොටස මොකද? දේවතා රූප සමඟ දෙවිගේ මාළිගාවට ඇති එකඟකම මොකද? . . . එබැවින් නුඹලා ඔවුන් අතරෙන් පිටතට ඇවිත් වෙන්ව සිටින්න. අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්න. එවිට මම නුඹලා පිළිගනිමි” කියා යෙහෝවා පවසයි. (2 කොරින්ති 6:14-17) පාවුල් කතා කළ “සහභාගිකම” හා “පංගුකාරකම” යන වචනවල තේරුම කුමක්ද?

පාවුල් සඳහන් කළ සහභාගිකම යන වචනයෙන් පැහැදිලිවම කියා පෑවේ රූප නමස්කාර කරන්නන් හා නොඇදහිලිකාරයන් සමඟ සම්බන්ධ වී කරන ආත්මික ක්‍රියාකාරකම් හා නමස්කාරය ගැනයි. “යක්ෂයන්ගේ . . . මේසයටද පංගුකාරයන්” වීම ගැන ඔහු කොරින්තිවරුන්ට අනතුරු ඇඟෙව්වා. (1 කොරින්ති 10:20, 21) අන්තර් ඇදහිල්ලට අයත් ක්‍රියා යනුවෙන් අදහස් කරන්නේ වෙනත් ආගමික සංවිධාන සමඟ ඔවුන්ගේ නමස්කාරයට හෝ ආත්මික ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමයි. (නික්මයාම 20:5; 23:13; 34:12) ආගමික සංවිධානයකට අයත් ස්ථානයක් රාජ්‍ය ශාලාවක් සඳහා මිල දී ගැනීමේදී මූලිකවම කරනු ලබන්නේ අවශ්‍ය ගොඩනැඟිල්ල ලබාගැනීම පමණයි. මෙම ගොඩනැඟිල්ල රාජ්‍ය ශාලාවක් සඳහා භාවිත කිරීමට පළමුව බොරු නමස්කාරය හා සම්බන්ධ සියලුම දෑ ඉවත් කරනු ලබයි. මෙලෙස ප්‍රතිසංස්කරණය කරන ලද ශාලාව කැප කරනු ලබන්නේ යෙහෝවාගේ නමස්කාරය සඳහා පමණක් භාවිත කිරීමටයි. සත්‍ය නමස්කාරය හා බොරු නමස්කාරය අතර කිසිම අන්දමක සහභාගිකමක් හෝ පංගුකාරකමක් නැහැ.

මෙවැනි ගනු දෙනුවකදී අනෙක් පාර්ශ්වය සමඟ කරන කතා බහ සීමා විය යුතු අතර මෙම සම්බන්ධකම ගනු දෙනුව සඳහා පමණක් විය යුතුයි. ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් පාවුල්ගේ අනතුරු ඇඟවීම සිහියේ තබාගැනීම වටී. එනම් “නොඇදහිලිකාරයන් සමඟ අසම ලෙස සම්බන්ධ නොවන්න” යන්නයි. එසේ කරන්නේ අන් ඇදහිලි ක්‍රමවලට අයිති අයට වඩා අපේ ඇදහිල්ල උසස් කියා හැඟෙන නිසා නොව, නමුත් අනවශ්‍ය ලෙස අන් අය සමඟ කුලුපඟ වීමෙන් ඔවුන්ගේ නමස්කාරයට ඇදී යෑමෙන් වැළකීම පිණිසයි. a

සභාවක් වෙනත් ආගමික සංවිධානයකට අයත් ගොඩනැඟිල්ලක් කුලියට ගැනීම සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? කුලියට ගැනීමේදී නිතරම අයිතිකරු සමඟ සම්බන්ධකම් පැවැත්විය යුතු නිසා මෙය සුදුසු දෙයක් වන්නේ නැහැ. එක් වතාවකට පමණක් ගොඩනැඟිල්ලක් කුලියට ගැනීමේදී පවා වැඩිමහල්ලන් පහත සඳහන් දෑ සැලකිල්ලට ගත යුතුයි. එම ගොඩනැඟිල්ල ඇතුළත හෝ පිටත ආගමික පිළිම, රූප හෝ ලාංඡන තියෙනවාද? අප එම ගොඩනැඟිල්ල භාවිත කිරීම සම්බන්ධයෙන් සමාජයේ අනික් අය සිතන්නේ මොනවාද? මෙම ගොඩනැඟිල්ල භාවිත කිරීම නිසා සභාවේ කවුරු හරි බාධාවට පත් වෙයිද? (මතෙව් 18:6; 1 කොරින්ති 8:7-13) වැඩිමහල්ලන් මේ කරුණු සැලකිල්ලට ගෙන ඒ අනුව කටයුතු කරයි. මෙවැනි ගොඩනැඟිල්ලක් මිලයට ගෙන රාජ්‍ය ශාලාවක් සඳහා භාවිත කිරීම සුදුසුද යන්න තීරණය කරන්නේ වැඩිමහල්ලන්ගේ හා සභාවේ අනෙකුත් සාමාජිකයන්ගේ හෘදය සාක්ෂිය සැලකිල්ලට ගනිමිනුයි.

[පාදසටහන]

a යෙහෝවා විසින් අනුමත නොකරන ලද සංවිධාන සමඟ ව්‍යාපාරික ගනු දෙනු කිරීම සුදුසුද යන්න පිළිබඳව විස්තර දැනගැනීම සඳහා 1999, අප්‍රියෙල් 15, මුරටැඹ සඟරාවේ 28 හා 29වෙනි පිටු බලන්න.

[27වන පිටුවේ පින්තූරය]

කලින් සිනගෝගයක් වූ මෙම ගොඩනැඟිල්ල මිලයට ගෙන අලුත්වැඩියා කර දැන් රාජ්‍ය ශාලාවක් ලෙස භාවිත කරයි