Skip to content

පටුනට යන්න

පිටරටකදී දරු දැරියන් ඇති දැඩි කිරීමේ අභියෝග හා ආශීර්වාද

පිටරටකදී දරු දැරියන් ඇති දැඩි කිරීමේ අභියෝග හා ආශීර්වාද

පිටරටකදී දරු දැරියන් ඇති දැඩි කිරීමේ අභියෝග හා ආශීර්වාද

පිටරටකට බොහෝදෙනෙක් ඇදී යන්නේ ජීවිතයට අලුත් ආරම්භයක් දීමේ බලාපොරොත්තුවෙනුයි. යුරෝපය කරා ඇදී ආ සංක්‍රමණිකයන් මිලියන 20කට අධික සංඛ්‍යාවක් සිටින අතර, වෙනත් රටවල උපත ලැබූ මිලියන 26කට වඩා වැඩි ගණනක් එක්සත් ජනපදයේ ජීවත් වෙනවා. ඒ අතරම ඕස්ට්‍රේලියාවේ මුළු ජනගහනයෙන් සියයට 21ක්ම පිටරටකදී උපත ලැබූ අයයි. බොහෝවිට මෙසේ මෙම රටවලට ඇදී ආ පවුල් නව භාෂාවකටත් නව සංස්කෘතියකටත් හැඩගැසිය යුතුයි.

අලුත් රටක වෙසෙන දරුවන් ඉක්මනටම එම රටේ භාෂාවන් ඉගෙනගැනීමට පටන්ගන්නවා විතරක් නොව, සිතන්නට පටන්ගන්නේද නව භාෂාවෙන්. ඔවුන්ගේ දෙමාපියන් නම් එම භාෂාවන් ඉගෙනගන්නට වැඩි කාලයක් ගත කරනවා විය හැකියි. දෙමාපියන්ට නුහුරු රටක දරුවන් ඇති දැඩි වෙන විට, භාෂාවේ නුහුරු නුපුරුදුකම නිසා ඔවුනොවුන් අතර පහසුවෙන් විසඳිය නොහැකි අදහස් හුවමාරුවේ ගැටලු ඇති වෙන්න පුළුවන්.

දරුවන් ඉගෙනගන්නා අලුත් භාෂාව ඔවුන් සිතන ආකාරයට බලපෑම් කරනවා පමණක් නොව, අලුත් රටේ සංස්කෘතියද ඔවුන්ට හැඟෙන ආකාරයට බලපෑම් කරනවා. දරුවන්ගේ ප්‍රතික්‍රියාවන් තේරුම්ගැනීමද දෙමාපියන්ට අසීරු දෙයක් විය හැකියි. එමනිසා, “යෙහෝවාගේ හික්මවීමෙන්ද මානසික ශික්ෂණයෙන්ද” තම දරුවන් ඇති දැඩි කිරීමට උත්සාහ කරන පිටරටකට ඇදී ආ දෙමාපියන් මුහුණ දෙන්නේ අතිවිශේෂ අභියෝගවලටයි.—එපීස 6:4, NW.

මනසට සහ හෘදයට ළඟාවීමේදී මුහුණ පාන අභියෝගය

තමන්ගේ දරුවන්ට බයිබල් සත්‍යතාව නමැති “නිර්මල භාෂාව” ඉගැන්වීමේ ආශාව හා වගකීම ක්‍රිස්තියානි දෙමාපියන් සතුයි. (ශෙපනියා 3:9, NW) එහෙත්, දරුවන් ලබාගන්නේ තම දෙමාපියන්ගේ භාෂාව පිළිබඳ සීමිත දැනුමක් පමණක් නම්, එමෙන්ම දරුවන් හුරු පුරුදු වී සිටින භාෂාවෙන් බලපෑමෙන් යුක්තව අදහස් ප්‍රකාශ කරන්නට දෙමාපියන් අසමත් වෙනවා නම්, තම දරුවන්ගේ හදවත්වල යෙහෝවාගේ නීතිය පැළපදියම් කරන්නට දෙමාපියන්ට හැක්කේ කොහොමද? (ද්විතීය කථාව 6:7) තම දෙමාපියන් කතා කරන වචනවල තේරුම දරුවන්ට වැටහෙනවා වෙන්නට පුළුවන්. නමුත් ඔවුන් කියන දේවල් දරුවන්ගේ හෘදයට යන්නේ නැත්නම්, එක අතකින් එය හරියට දරුවන් තමන්ගේම නිවසේ සිටින අමුත්තන් වගෙයි.

පෙඩ්‍රෝ සහ සැන්ඩ්‍රා දකුණු අමෙරිකාවේ සිට ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. නහඹර වියේ පුතුන් දෙදෙනෙකුව ඇති දැඩි කරමින් සිටින ඔවුන්ද මෙම අභියෝගයට මුහුණ දෙනවා. a පෙඩ්‍රෝ මෙහෙම කියනවා. “ආත්මික කාරණා ගැන කතා බහ කරනකොට, හදවත සහ චිත්තවේගී හැඟීම් ඊට සම්බන්ධ වෙනවා. එනිසා ඔබට සිදු වෙනවා වඩාත් ගැඹුරු වගේම වඩාත් අර්ථාන්විත අදහස් පළ කරන්නට. ඉතිං ඒ සඳහා ඉතා පුළුල් වාග්මාලාවක් අවශ්‍යයි.” සැන්ඩ්‍රා තවදුරටත් මෙසේ කියනවා. “අපේ දරුවන්ට අපේම මව් බස ගැන පුළුල් අවබෝධයක් නැත්නම්, ඔවුන්ගේ ආත්මික ජීවිතයට ඉතා හානිකර ලෙස එය බලපාන්නට පුළුවන්. තමන් ඉගෙනගන්නා දේවල් පිටුපස තිබෙන ප්‍රතිපත්ති ගැන වැටහෙන්නේ නැති නිසා ඔවුන් තුළ සත්‍යය පිළිබඳව ගැඹුරු අවබෝධයක් මෙන්ම අගයක් ඇති නොවෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ ආත්මික විචාර බුද්ධියේ වර්ධනය හීන වෙන්නත් පුළුවන්. මේ නිසා යෙහෝවා සමඟ ඔවුන්ට තිබෙන සම්බන්ධතාවය දුර්වල විය හැකියි.”

ශ්‍රී ලංකාවේ සිට ජර්මනියට සංක්‍රමණය වූ යුවළක් වන ඥානප්‍රකාසම් සහ හෙලන්ට දැන් දරුවන් දෙදෙනෙක් සිටිනවා. ඔවුන් මෙසේ එකඟ වෙනවා. “අපි හිතනවා අපේ දරුවන් ජර්මන් බස ඉගෙනගන්නා අතරම අපේ මව් බසද ඉගෙනගැනීම වැදගත් කියලා. ඔවුන්ට තමන්ගේ හැඟීම් ගැන මුළු හදවතින් අපිත් එක්ක විවෘතව කතා කිරීමට හැකිවීම වැදගත්.”

උරුගුවේ සිට ඕස්ට්‍රේලියාව දක්වා සංක්‍රමණය වූ මිගෙල් සහ කාමන් කියන්නේ මෙහෙමයි. “අපි වගේ තත්වයන්වල සිටින දෙමාපියෝ අමතර වෑයමක් ගත යුතුයි. ආත්මික දේවල් හොඳින් තේරුම් අරගෙන තමන්ගේ දරුවන්ට පැහැදිලි කර දෙන්නට හැකි වන විදිහට එක්කෝ ඒ අය අලුත් භාෂාව හොඳින් හදාරන්නට ඕනෑ. නැත්නම් දෙමාපියන්ගේම භාෂාව හොඳින් හදාරන්නට තමන්ගේ දරුවන්ට උගන්වන්නට ඕනෑ.”

පවුලේ තීරණයක්

සංක්‍රමණය වූ පවුලක ආත්මික සෞඛ්‍යයට ඉතා වැදගත් වූ මූලික කාරණයක් තිබෙනවා. ඒ තමයි, ‘යෙහෝවා විසින් උගන්වනු ලැබීමට’ තමන් භාවිත කරන්නට යන්නේ කොයි භාෂාවද කියන එක. (යෙසායා 54:13) තම පවුලේ මව් භාෂාව කතා කරන සභාවක් ළඟපාතක තිබෙනවා නම්, එම සභාවට සම්බන්ධ වීම පවුලේ අයගේ තේරීමක් වෙන්නට පුළුවන්. අනෙක් අතට, තමන් අත්හැර ආ රටේ ප්‍රධාන භාෂාව කතා කරන සභාවකට යෑමටත් ඔවුන් තේරීමක් කරන්නට පුළුවන්. මෙම තීරණයට බලපාන්නේ කිනම් සාධකද?

ඩිමෙට්‍රියොස් සහ පැටෘලා සයිප්‍රස් රටේ සිට එංගලන්තයට සංක්‍රමණය වූ යුවළක්. ඔවුන්ට එහිදී ඇති දැඩි කරගත් දරුවන් පස්දෙනෙක් සිටිනවා. ඔවුන් ගත් තීරණයට පාදක වූ හේතුව ගැන පැහැදිලි කරමින් ඔවුන් කියන්නේ මෙහෙමයි. “මුලින්ම අපේ පවුලේ අය ගියේ ග්‍රීක් භාෂාව කතා කරන සභාවකටයි. දෙමාපියන් හැටියට අපට එය මහත් සේ උපකාරයක් වුණත්, ඒක අපේ දරුවන්ගේ ආත්මික වර්ධනයට බාධාවක් වුණා. ඔවුන්ට ග්‍රීක් භාෂාව ගැන මූලික දැනුමක් තිබුණා. ඒ වුණත්, ගැඹුරු හෝ සියුම් ආත්මික කාරණා උරාගන්න ඔවුන්ට ලෙහෙසි වුණේ නැහැ. ඉතින් ඔවුන්ගේ ආත්මික දියුණුව ඇති වුණේ හුඟක් හිමිහිටයි. ඉතිං අපි කළේ පවුලක් හැටියට, ඉංග්‍රීසි කතා කරන සභාවකට යන එකයි. ඒ නිසා ඉතා ඉක්මනින්ම වගේ අපේ දරුවන්ට ඒකෙන් යහපත් ප්‍රතිඵල ඇති වුණා. දැන් ඔවුන් ආත්මික වශයෙන් ශක්තිමත්ව සිටිනවා. කොහොම වුණත් සභාව මාරු කිරීම ලෙහෙසි පහසු දෙයක් නම් වුණේ නැහැ. නමුත් අපේ පැත්තෙන් ඒක ඥානවන්ත තීරණයක් වුණා.”

මේ පවුලේ අයට දෙමාපියන්ගේ මව් භාෂාව පිළිබඳවද අවබෝධයක් තිබූ බැවින් ඒ මගින්ද ඔවුන්ට ලැබුණේ මහත් ආශීර්වාදයි. ඒ පවුලේ දරුවන් මෙහෙම කියනවා. “භාෂා එකකට වඩා ඉගෙනගැනීම මහත් සම්පතක්. අපේ පළමු භාෂාව ඉංග්‍රීසි වුණත්, ග්‍රීක් භාෂාවත් ඉගෙනගත් නිසා අපට ශක්තිමත් කිට්ටු පවුල් සබඳතා තබාගන්නට පුළුවන් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ ආචිචිලා සීයලාත් එක්ක. ඒ වගේම වෙනත් රටවලින් එන අය කෙරෙහි වඩාත් සානුකම්පිත වෙන්න එය අපට හේතු වෙලා තියෙනවා. වෙනත් භාෂාවක් ඉගෙනගන්න අපට පුළුවන්ය යන ආත්ම විශ්වාසයත් ඒ මගින් අපට ලැබිලා තියෙනවා. ඉතින් අපි ටිකක් ලොකු වුණාට පස්සේ, අපේ පවුලේ අය ඇල්බේනියානු භාෂාව කතා කරන සභාවකට සහය වුණා.”

සයිප්‍රස් සිට එංගලන්තයේ පදිංචියට ගිය ක්‍රිස්ටොෆර් සහ මාගරීටාද එහිදී දරුවන් තිදෙනෙකු ඇති දැඩි කළා. ඔවුන් කැමති වුණේ ග්‍රීක් භාෂාව කතා කරන සභාවකට සහය වෙන්නයි. ග්‍රීක් භාෂාව කතා කරන සභාවක වැඩිමහල්ලෙකු ලෙස දැන් සේවය කරන ඔවුන්ගේ පුතා වන නිකොස් මෙසේ මතක් කරනවා. “අලුත පිහිටුවන ලද ග්‍රීක් භාෂාව කතා කරන සභාවට සම්බන්ධ වෙන්න කියා අපව දිරිගැන්නුවා. අපගේ පවුලේ අය ඒක සැලකුවේ දිව්‍යාණ්ඩු පැවරුමක් හැටියටයි.”

මාගරීටා මෙසේද නිරීක්ෂණය කරනවා. “පුතාලා දෙන්නා වයස අවුරුදු හත සහ අට වෙනකොට, දිව්‍යාණ්ඩු සේවා පාසැලට සම්බන්ධ වුණා. දෙමාපියන් හැටියට අපි ටිකක් චකිතයෙන් හිටියේ ග්‍රීක් භාෂාව ගැන පුතාලාට තිබුණු සීමිත අවබෝධය ගැන. කොහොම වුණත්, ලැබුණු සෑම පැවරුමක්ම පවුලේ ව්‍යාපෘතියක් හැටියටයි අපි සැලකුවේ. ඉතින් කතාවලට සූදානම් වෙන්න ඒ අයට උපකාර කරන්න අපි පැය ගණනාවක් ගත කළා.”

ඔවුන්ගේ දියණිය වන ජොඈනා කියන්නේ මෙහෙමයි. “මට මතකයි තාත්තා ගෙදර තිබූ කලු ලෑල්ලක ග්‍රීක් හෝඩිය ලියලා අපට ඉගැන්නුවා. අපට ඒක හොඳින් ඉගෙනගන්න සිද්ධ වුණා. හුඟදෙනෙක් භාෂාවක් ඉගෙනගන්නට අවුරුදු ගණනක් ගත කරනවා. නමුත් අපිට අම්මායි තාත්තායි උදව් කරපු නිසා, ග්‍රීක් භාෂාව ඉගෙනගන්න වැඩි කලක් ගත වුණේ නැහැ.”

දරුවන්ට “ආත්මික අවබෝධය” ලැබීම සඳහාත් ප්‍රගතිය කරා යෑම සඳහාත් තමන්ගේම මව් බසින් උගන්වනු ලැබීම අවශ්‍ය බව ඇතැම් දෙමාපියන්ට හැඟී ගොස් තිබෙන නිසා ඇතැම් පවුල් තමන්ගේ මව් භාෂාව කතා කරන සභාවකට සහය වෙනවා. (කොලොස්සි 1:9, 10, NW; 1 තිමෝති 4:13, 15) එසේ නැත්නම්, රටට ඇදී එන වෙනත් සංක්‍රමණිකයන්ට උපකාර කිරීම සඳහා තවත් භාෂාවක් ඉගෙනගැනීම සම්පතක් ලෙස එම පවුලේ අය දකින්නට පුළුවන්.

අනෙක් අතට, තමන් පදිංචියට ආ රටේ ප්‍රධාන භාෂාව කතා කරන සභාවකට යෑමෙන් උපරිම යහපතක් සිදු වන බව යම් පවුලකට හැඟෙන්නට පුළුවනි. (පිලිප්පි 2:4; 1 තිමෝති 3:5) පවුල සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, යාච්ඤාපූර්වකව තීරණයක් ගැනීම පවුලේ මූලිකයාගේ වගකීමක්. (රෝම 14:4; 1 කොරින්ති 11:3; පිලිප්පි 4:6, 7) මෙම පවුල්වලට උපකාරවත් විය හැකි යෝජනා මොනවා විය හැකිද?

සමහරක් ප්‍රායෝගික යෝජනා

මීට කලින් සඳහන් කළ පෙඩ්‍රෝ සහ සැන්ඩ්‍රා මෙසේ කියනවා. “අපේ ගෙදරදී ස්පාඤ්ඤ භාෂාව පමණක් කතා කළ යුතුය කියා නීතියක් අපි පනවා තියෙනවා. එහෙම නීතියක් දාලා තියෙන්නේ ස්පාඤ්ඤ භාෂාව අමතක වී යෑම වළක්වාගන්නටයි. මේ වගේ නීතියකට ඇලී සිටීම අමාරුයි. මොකද අපේ පුතාලා දන්නවා අපිට ඉංග්‍රීසි තේරෙනවා කියලා. නමුත් අපි මේ නීතිය පැනෙව්වේ නැත්නම් වැඩි කල් යන්න ඉස්සර වෙලා අපිට ස්පාඤ්ඤ භාෂාව අමතක වෙලා යාවි.”

මීට ඉහත සඳහන් කළාවූ මිගෙල් සහ කාමන් නිර්දේශ කරන්නේ මෙහෙමයි. “දෙමාපියන් නිතිපතා බයිබල් පාඩමත් සෑමදාම දිනපදය සාකච්ඡා කිරීමත් තමන්ගේම මව් භාෂාවෙන් කරනවා නම්, භාෂාවේ මූලික දේවලට වඩා වැඩි දෙයක් දරුවන් ඉගෙනගනීවි. ඒ කියන්නේ ආත්මික අදහස් ඒ භාෂාවෙන් පළ කරන්නට ඔවුන් ඉගෙනගනීවි.”

මිගෙල් මෙසේද යෝජනා කරනවා. “සාක්ෂි දැරීම ප්‍රීතිදායක කටයුත්තක් බවට පත් කිරීමට උත්සාහ කරන්න. අපේ බලප්‍රදේශයට නගරයේ විශාල කොටසක් අයිතියි. ඉතින් අපේ භාෂාව කතා කරන අයව සොයාගන්නට අපි කාර් එකෙන් හුඟ වෙලාවක් ගමන් කරනවා. පවුලේ අය එකට ගමන් කරනකොට බයිබලය ආශ්‍රිත ක්‍රීඩා කරන්නටත් ආත්මික කාරණා ගැන කතා බහ කරන්නටත් ඒ කාලය යොදාගන්නවා. මම සාක්ෂි දැරීමට යන ගමන් සැලසුම් කරනවා ඵලදායී නැවත බැලීම් කිහිපයක් කරන්නට. මේ නිසා දවස අවසානයේදී, අඩු තරමින් එක් අර්ථවත් සංවාදයකටවත් සම්බන්ධ වෙන්න අපේ දරුවන්ට හැකි වෙනවා.”

සංස්කෘතික වෙනස්කම්වලට සාර්ථකව මුහුණ දීම

දෙවිගේ වචනයේ යෞවනයන්ව දිරිගන්වන්නේ මෙහෙමයි. “මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ගුරුකම අසන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න.” (හිතෝපදේශ 1:8) කෙසේවෙතත්, පවුලක දරුවන් ඇති දැඩි වෙන වටපිටාවේ පැතිර පවතින සංස්කෘතියට වඩා වෙනස් සංස්කෘතියක් තුළ හැදී වැඩුණු පියාගේ හික්මවීමේ මිමි හා මවගේ “උපදෙස්” නිසා දුෂ්කරතා පැන නඟින්න පුළුවන්.

සෑම පවුල් මූලිකයෙකුටම තමන්ගේම පවුලේ අය කෙරෙහි මූලිකත්වය හෙබවීමට අයිතියක් තිබෙන බව පිළිගත යුතුයි. එලෙසින්ම වෙනත් පවුල්වලින් එල්ල වෙන බලපෑම්වලට අනවශ්‍ය ලෙස ඔහු යට නොවිය යුතුයි. (ගලාති 6:4, 5) එහෙත්, දෙමාපියන් සහ දරුවන් අතර හොඳින් අදහස් හුවමාරු වෙනවා නම්, අලුත් සිරිත් විරිත් පිළිගැනීමට මං විවෘත විය හැකියි.

කෙසේවුවද, දියුණු වූ රටවල පවතින සිරිත් විරිත් හෝ ගතිපැවතුම් බොහොමයක් ක්‍රිස්තියානියෙකුගේ ආත්මික සෞඛ්‍යයට හානි කරයි. බොහෝවිට ජනප්‍රිය සංගීතය හා විනෝදාස්වාදයන් තුළින් ලිංගික දුරාචාරයට, ගිජුකමට, සහ කැරලිකාරකමට දිරි දෙයි. (රෝම 1:26-32) දරුවන්ගේ භාෂාව හරි හැටි තේරෙන්නේ නැති නිසා දරුවන් විසින් තෝරාගන්නාවූ සංගීතය හා විනෝදාස්වාදය පාලනය කිරීමේ වගකීම දෙමව්පියන් විසින් පැහැරහැරීම අනතුරුදායකයි. ඇරත් මෙහිදී දෙමාපියෝ දරුවන්ට ස්ථිර මාර්ගෝපදේශයන් දිය යුතුයි. මෙය දෙමාපියන්ට අභියෝගයක් විය හැකියි.

කාමන් මෙසේ කියනවා. “අපිට බොහෝ විට අපගේ දරුවන් සවන් දෙන සංගීතයේ පද මාලාව තේරුම්ගන්නට අමාරුයි. සංගීතයේ තනුවල ප්‍රශ්නයක් නැති වෙන්නට පුළුවන්. නමුත් වචනවලට සැඟවුණු අරුත් තිබෙනවා නම්, පහත් භාෂාව යොදා තිබෙනවා නම්, එහෙම නැත්නම් දුරාචාරයට සම්බන්ධ අශික්ෂිත කියමන් තිබෙනවා නම්, අපි කොහොමද ඒ ගැන දැනගන්නේ?” මෙවන් තත්වයන්ට ඔවුන්ට සාර්ථකව මුහුණ දීමට හැකි වී තිබෙන්නේ කොහොමද? මිගෙල් මෙසේ කියනවා. “දුරාචාරයට සම්බන්ධ සංගීතයේ ඇති අන්තරායන් ගැන අපේ දරුවන්ට ඉගැන්වීමට අපි හුඟක් කාලයක් වැය කරනවා. අනික, තෝරාගැනීමට අපි ඔවුන්ට දිරිගන්වන්නේ යෙහෝවා විසින් අනුමත කරන සංගීතයයි.” ඔව්, සංස්කෘතික වෙනස්කම්වලට සාර්ථකව මුහුණ දීමට සුපරීක්ෂාකාරී බව සහ සාධාරණ බව අවශ්‍ය කරනවා.—ද්විතීය කථාව 11:18, 19; පිලිප්පි 4:5.

ආශීර්වාද නෙළාගැනීම

පිටරටකදී දරුවන්ව හදා වඩා ගැනීමට අමතර කාලය හා වෑයම අවශ්‍යයි. ඒ ගැන කිසිම වාදයක් නැහැ. එහෙත් දෙමාපියන් හා දරුවන් යන දෙපාර්ශ්වයටම එම ප්‍රයත්නය නිසා බොහෝ සෙයින් ආශීර්වාද නෙළාගන්නට පුළුවනි.

තුර්කියේ සිට ජර්මනියේ පදිංචියට ගිය අසාම් සහ සාරා එහිදී දරුවන් තිදෙනෙකුව ඇති දැඩි කළා. ඔවුන්ගේ වැඩිමහල් පුත්‍රයා දැන් ජර්මනියේ ෂෙල්ටර්ස්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරනවා. අසාම් මෙසේ කියනවා. “දරුවන්ට ලැබුණු ලොකුම ප්‍රයෝජනය තමයි, සංස්කෘතීන් දෙකේම තිබෙන යහපත් දේවල් උපයෝගී කරගෙන වටිනා ගුණාංග හා සාරධර්ම දියුණු කරන්නට හැකිවීම.”

ඇන්ටෝනියෝ සහ ලුටොනාඩියෝ ඇන්ගෝලාවේ සිට ජර්මනියේ පදිංචියට පැමිණ එහිදී දරුවන් නවදෙනෙකු ඇති දැඩි කරනවා. මේ පවුලේ අයට ලිංගාලා, ප්‍රංශ සහ ජර්මානු භාෂාවල් කතා කරන්නට පුළුවන්. ඇන්ටෝනියෝ මෙසේ පවසනවා. “අපේ පවුලේ අයට විවිධ භාෂාවන් කතා කිරීමට තිබෙන හැකිකම නිසා බොහෝ රටවලින් පැමිණි අයට සාක්ෂි දැරීමට එය මහත් රුකුලක් වී තිබෙනවා. ඇත්තෙන්ම මෙය අපට ඉමහත් සතුටක්.”

ජපානයේ සිට එංගලන්තයේ පදිංචියට ගිය ජපන් ජාතික යුවළකගේ දරුවන් දෙදෙනා පවසන්නේ තමන් ජපන් සහ ඉංග්‍රීසි භාෂාවල් දැන සිටීම මහත් වාසියක් වී ඇති බවයි. මෙම යෞවනයන් මෙසේ කියනවා. “භාෂා දෙකම දැන සිටීම නිසා එය අපට රැකියා ලබාගැනීමට මහෝපකාරී වී තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වෙන විශාල සමුළුවලින් ප්‍රයෝජන ගැනීමටද අපට හැකි වී තිබෙනවා. ඒ අතරම, අවශ්‍යතාව වැඩියෙන් පවතින ජපන් භාෂාව කතා කරන සභාවක අපට සේවය කරන්නට ලැබීමත් වරප්‍රසාදයක්.”

ඔබට සාර්ථක විය හැකියි

තමන්ගේ සංස්කෘතික අගයන් එතරම් නොතකන ජනතාවක් මැද තම දරුවන් ඇති දැඩි කරගැනීම බයිබල් කාලවල පටන්ම දෙවිගේ සෙනඟට අභියෝගයක් වී තිබීම සත්‍යයක්. මෝසෙස්ව ඇති දැඩි කරගනු ලැබුවේ ඊජිප්තුවේ වුවත් මෝසෙස්ගේ දෙමාපියන් ඒ සම්බන්ධයෙන් සාර්ථක වුණා. (නික්මයාම 2:9, 10) බබිලෝනියාවේ වහල්භාවයට ගිය යුදෙව්වන් විසින් ඇති දැඩි කළ දරුවන්, සැබෑ නමස්කාරය යළි පිහිටුවීම සඳහා නැවතත් යෙරුසලමට යෑමට කැමති වුණා.—එස්රා 2:1, 2, 64-70.

ඒ හා සමානව අදදිනත්, ක්‍රිස්තියානි දෙමාපියන්ට සාර්ථක විය හැකියි. එක්තරා යුවළක් තම දරුවන්ගේ මුඛයෙන් ඇසූ මෙම වදන්, ක්‍රිස්තියානි දෙමාපියන්ටද තමන්ගේ දරුවන් පවසනවා ඇසීමේ ආශීර්වාදය ලැබේවි. එම දරුවන් පැවසුවේ මෙසේයි. “අපි හුඟක් කිට්ටුවෙන් ඉන්න පවුලක්. ඒ අපේ තාත්තාගෙයි අම්මාගෙයි ස්නේහවන්ත සැලකිල්ල නිසා. ඒ අය එක්ක අපි නිතරම කතා බහ කරන්නේ හරි සතුටකින්. දැන් අපි යෙහෝවාට සේවය කරමින් සිටින ලෝක ව්‍යාප්ත පවුලක පංගුකාරයන් වීම මහත් සන්තෝෂයක්.”

[පාදසටහන]

a ඇතැම් නම් වෙනස් කර ඇත.

[24වන පිටුවේ පින්තූරය]

නිවසේදී ඔබේ මව් බසින් පමණක් කතා කිරීම නිසා එම භාෂාව ගැන මූලික දැනුමක් ඔබේ දරුවන් ලබාගන්නවා

[24වන පිටුවේ පින්තූරය]

එක් භාෂාවක් කතා කිරීමෙන් ආච්චිලා සීයලා සහ මුණුපුරු මිණිපිරියන් අතර බන්ධනය සුරක්ෂිත වෙයි

[25වන පිටුවේ පින්තූරය]

ඔබේ දරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමෙන් ඔවුන්ගේ “ආත්මික අවබෝධය” ගොඩනැංවෙයි