Skip to content

පටුනට යන්න

“යක්ෂයාට විරුද්ධව සිටින්න”

“යක්ෂයාට විරුද්ධව සිටින්න”

“යක්ෂයාට විරුද්ධව සිටින්න”

“යක්ෂයාට විරුද්ධව සිටින්න. එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත.”—යාකොබ් 4:7.

1. අද ලෝකයේ පවතින තත්වය ගැන කුමක් කිව හැකිද? ආලේප ලත් ක්‍රිස්තියානීන් හා ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් සුපරීක්ෂාවෙන් සිටිය යුත්තේ මන්ද?

 “දෙවියන් අතුරුදහන්. සාතන් නම් යහතින් සිටියි.” ප්‍රංශ කතුවරයෙකු වන ඕනඩ්‍රේ මැල්රෝගේ එම වදන්වලින් අද ලෝකයේ පවතින තත්වය මැනවින් විස්තර කෙරේ. අද මිනිසුන් කරන දේවලින් දිස් වන්නේ දෙවිගේ කැමැත්තට වඩා යක්ෂයාගේ කපටි උපායන්ය. සාතන් “බොරු වූ සියලු ආකාර ආශ්චර්යවලින්ද ලකුණුවලින්ද පුදුමවලින්ද, විනාශ වන්නවුන්ට අධර්මිෂ්ඨකමේ සියලු රැවටිලිවලින්ද” මිනිසුන්ව මුළා කරමින් සිටියි. (2 තෙසලෝනික 2:9, 10) කෙසේවෙතත්, මේ “අන්තිම දවස්වලදී” සාතන් විශේෂ අවධානයක් යොමු කරන්නේ දෙවිගේ කැපවූ සේවකයන් කෙරෙහිය. ඔහු “දෙවිගේ ආඥා පවත්වන්නාවූ, යේසුස්ගේ සාක්ෂිය දරන්නාවූ” ආලේප ලත් ක්‍රිස්තියානීන්ට එරෙහිව යුද්ධයක් දියත් කරමින් සිටියි. (2 තිමෝති 3:1; එළිදරව් 12:9, 16) මේ නිසා මෙම ආලේප ලත් ක්‍රිස්තියානීන් මෙන්ම භූමික බලාපොරොත්තුවක් ඇති ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් සුපරීක්ෂාවෙන් සිටිය යුතුයි.

2. සාතන් ඒවව රැවැට්ටුවේ කෙසේද? ප්‍රේරිත පාවුල්ට තිබූ බිය කුමක්ද?

2 සාතන් මිනිසුන්ව රැවටීමට අති දක්ෂයෙකි. දෙවි ගැන නොසිතා, තමන්ට ඕනෑ විදිහට කටයුතු කිරීමෙන් සන්තෝෂය වැඩි කරගත හැකි බව සිතීමට සලස්වමින් සාතන් ඒවව රවටනු ලැබුවේ ප්‍රයෝගකාරී ලෙස සර්පයෙකුව යොදවාගෙනය. (උත්පත්ති 3:1-6) සාතන් ඒවව රවටා අවුරුදු හාරදහසකට ආසන්න කාලයකට පසු කොරින්තියේ සිටි ආලේප ලත් ක්‍රිස්තියානීන්ද සාතන්ගේ කපටි උපායන්වලට ගොදුරු වේදෝ කියා බියක් තමන්ට දැනුණු බව ප්‍රේරිත පාවුල් පැවසුවේය. මේ පිළිබඳව ඔහු ලීවේ මෙසේය. “සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවාක් මෙන් ක්‍රිස්තුස් කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසිදුකමෙන්ද යම් විධියකින් නුඹලා වෙන් කොට නුඹලාගේ සිත් දූෂ්‍ය කරනු ලැබේදෝ කියා භය වෙමි.” (2 කොරින්ති 11:3) සාතන් ජනයාගේ සිත් දූෂ්‍ය කරවමින් ඔහුට ඕනෑ විදිහට ඔවුන්ගේ සිතුවිලි විකෘති කරයි. ඔහු ඒවව රවටනු ලැබුවාක් මෙන් ක්‍රිස්තියානීන්වද රැවටිය හැකියි. ඔහු මෙය කරන්නේ වැරදි නිගමනවලට ඒමට සලස්වා, අපේ සන්තෝෂය රඳා පවතින්නේ යෙහෝවා හා ඔහුගේ පුත්‍රයා අනුමත කරන්නේ නැති දේවල් කිරීම මතයි කියා සිතීමට සැලැස්වීමෙනි.

3. යක්ෂයාගෙන් ආරක්ෂා වීම සඳහා යෙහෝවා උපකාර කරන්නේ කෙසේද?

3 තමන්ට උගුලක් අටවා ඇතැයි කියා සැක නොසිතන පක්ෂීන්ව අල්ලාගන්නා පක්ෂි වැද්දෙකුට සාතන්ව සමාන කළ හැක. සාතන්ගේ උගුල්වලට අසු නොවී සිටීමට නම් අප ‘මහෝත්තමයාගේ රහස් ස්ථානයෙහි වාසය කිරීම’ අවශ්‍යයි. යෙහෝවාගේ විශ්ව පරමාධිපත්‍යයට යටත් වන බව තමන් කරන දේවලින් පෙන්වන අයට ඔහු ආරක්ෂාව සපයන සංකේතමය ස්ථානයකි එය. (ගීතාවලිය 91:1-3) ‘යක්ෂයාගේ උපායවලට විරුද්ධව’ සිටීම සඳහා දෙවි ඔහුගේ වචනය, ශුද්ධාත්මය හා ඔහුගේ සංවිධානය මාර්ගයෙන් සපයන ආරක්ෂාව අපට ඉඳුරාම අවශ්‍යයි. (එපීස 6:11) ‘උපායන්’ සඳහා භාවිත කර තිබෙන ග්‍රීක් වචනය “කපටි ක්‍රියා” ලෙසද පරිවර්තනය කළ හැක. යෙහෝවාගේ සේවකයන්ව ගොදුරු කරගැනීම සඳහා සාතන් කපටි ක්‍රියා රැසක් යොදාගනිමින් සිටින බවට කිසිම සැකයක් නැත.

සාතන් මුල් ක්‍රිස්තියානීන්ට ඇටවූ උගුල්

4. මුල් ක්‍රිස්තියානීන් ජීවත් වූයේ කුමන ආකාරයේ ලෝකයකද?

4 පළමු හා දෙවන සියවස්වල සිටි ක්‍රිස්තියානීන් ජීවත් වූයේ රෝම අධිරාජ්‍යය එහි පාලන බලයේ හිණි පෙත්තටම නැඟ තිබූ අවධියකයි. රෝම අධිරාජ්‍යය පුරා රෝම සාමය (පාක්ස් රෝමානා) පැවති බැවින් එහි ව්‍යාපාරික කටයුතු සමෘද්ධිමත් විය. මෙහි ප්‍රතිඵලයක් හැටියට පාලක පන්තියට විවේකීව සිටීමට වැඩි කාලයක් ලැබිණ. පොදු ජනයාගේ සිත්වල කැරලිකාර අදහස් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් පාලකයෝ ජනයාට විනෝද වීම සඳහා විවිධ දේවල් සංවිධානය කළහ. ඇතැම් කාල වකවානුවලදී ප්‍රසිද්ධ නිවාඩු දවස් ගණන වැඩ කරන දවස් ගණන තරම් විය. පාලකයෝ මහ ජනයාගේ බඩ කට පිරවීම සඳහා ආහාර පානාදිය සැපයීමටත් ඔවුන්ගේ සිත් වෙනතකට යොමු කිරීම සඳහා ප්‍රසිද්ධ සංදර්ශන සංවිධානය කිරීමටත් මහජන අරමුදල් යෙදවූහ.

5, 6. (අ) රෝමයේ නාට්‍ය ශාලාවලට හා අර්ධ චක්‍රාකාර නෘත්‍යාගාරවලට යෑම ක්‍රිස්තියානීන්ට සුදුසු දෙයක් නොවූයේ මන්ද? (ආ) සාතන් යොදාගත් උපාය කුමක්ද? එයට හසු නොවී සිටීමට ක්‍රිස්තියානීන් කුමක් කළ යුතු වූවාද?

5 එදා පැවති එම තත්වය මුල් ක්‍රිස්තියානීන්ට අනතුරුදායක වූවාද? ප්‍රේරිතවරුන්ගේ අභාවයෙන් කෙටි කලකට පසු ජීවත් වූ ටර්ටූලියන් වැනි ලේඛකයන් විසින් ලියන ලද අනතුරු ඇඟවීම් සලකා බැලීමෙන් පෙනී යන්නේ ඒ කාලයේ ජනයා විවේකය ගත කිරීම සඳහා කළ දේවලින් බොහොමයක් සැබෑ ක්‍රිස්තියානීන්ගේ ආත්මිකත්වයට හා සදාචාරයට තර්ජනයක් වූ බවයි. ප්‍රසිද්ධ උත්සව හා ක්‍රීඩා බොහොමයක් පවත්වනු ලැබුවේ මිථ්‍යා දෘෂ්ටික දෙවිවරුන්ට ගරු බුහුමන් දැක්වීමක් වශයෙනි. මෙය ක්‍රිස්තියානීන්ට මුහුණ දීමට සිදු වූ එක් අනතුරකි. (2 කොරින්ති 6:14-18) නාට්‍ය ශාලාවල රඟදක්වන ලද සම්භාව්‍ය නාට්‍ය බොහොමයක පවා ප්‍රදර්ශනය කෙරුණේ අතිශය දුරාචාර රංගන හා ලේ වගුරුවන සැහැසිකකම්ය. කල් යෑමේදී සම්භාව්‍ය නාට්‍ය සඳහා මහජනයාට තිබූ ආශාව නැති වී ගියේය. ඒවා වෙනුවට කාමුකත්වය හුවා දක්වන අසභ්‍ය පැන්ටොමයිම් රංගන හා මුද්‍රා නාටක ජනප්‍රිය විය. ඉතිහාසඥ ජෙරොම් කාර්කොපිනෝ විසින් රචිත පොතක (Daily Life in Ancient Rome) මෙසේ සඳහන් වේ. “මෙම නාට්‍යවල රඟපාන නිළියන්ට තමන්ගේ ඇඳුම් සම්පූර්ණයෙන්ම ගළවා දැමීමට අවසර තිබිණ. . . . රුධිරය අධික ලෙස වගුරුවන ලදි. . . . [නිහඬ රංගනයේදී] අස්වාභාවික ක්‍රියාවල අන්තයටම ගොස් තිබිණ. ඒවා නගරයේ සිටි ජනයාව ආකර්ෂණය කරගැනීමට සමත් විය. එවන් ප්‍රදර්ශන ඔවුන් තුළ දැඩි පිළිකුලක් ඇති කළේ නැත. මීට හේතුව බොහෝ කලක සිට නෘත්‍යාගාරවල ප්‍රදර්ශනය කෙරුණු අති දරුණු ලේ වැගිරීම් නිසා ඔවුන්ගේ හැඟීම් දැනීම් මොට වී තිබීමයි.”—මතෙව් 5:27, 28.

6 එම අර්ධ චක්‍රාකාර නෘත්‍යාගාරවල ග්ලැඩියේටර්වරු මිය යන තෙක්ම සටන් කළහ. එසේ නැතහොත් වන සතුන් සමඟ සටන් කරමින් උන්ව මරා දැමූහ. ඇතැම් අවස්ථාවලදී වන සතුන් විසින් ඔවුන්ව මරා දමන ලදි. මරණ දණ්ඩනයට නියම කළ සිරකරුවන්වද පසු කාලයේදී ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකුවද දරුණු වන සතුන් ඉදිරියට දමන ලදි. මුල් කාලයේ සිටම සාතන්ගේ උපාය වූයේ දුරාචාරය සහ සාහසිකකම් සම්බන්ධයෙන් ජනයා තුළ ඇති වන පිළිකුල නැති කර දැමීමයි. මේවා සාමාන්‍ය දේවල් බවට පත් වී ජනයා අතර ඒවා සඳහා දැඩි ආශාවක් ඇති වන තෙක්ම සාතන් ඔහුගේ උපාය අත්හැරියේ නැත.එම උගුලට හසු නොවී සිටීමට හැකි වූයේ ඒවා ප්‍රදර්ශනය කළ නාට්‍ය ශාලාවලට හා අර්ධ චක්‍රාකාර නෘත්‍යාගාරවලට නොයා සිටීමෙන් පමණි.—1 කොරින්ති 15:32, 33.

7, 8. (අ) ක්‍රිස්තියානියෙකු අශ්ව රථ තරඟ නරඹන්න යෑම ඥානවන්ත දෙයක් නොවූයේ මන්ද? (ආ) ක්‍රිස්තියානීන්ව උගුලට හසු කරගැනීම සඳහා රෝමයේ ජනප්‍රියව තිබූ ස්නානය යොදාගැනීමට සාතන්ට අවස්ථාව සැලසුණේ කෙසේද?

7 කවාකාර එළිමහන් නෘත්‍යාගාරයක සිදු වූ අශ්ව රථ තරඟ කාගෙත් සිත් දෙගුණයක් ඇදගත් දෙයක් වූ බවට සැකයක් නැත. එනමුත් ඒවා නැරඹීමට පැමිණි ජනයා බොහෝ අවස්ථාවලදී කෝලහාල කරගත් නිසා ඒවා නැරඹීමට යෑම ක්‍රිස්තියානීන්ට සුදුසු දෙයක් නොවීය. සමහර නරඹන්නන් එකිනෙකා සමඟ දබර කරගත් බව තුන්වන සියවසේ සිටි ලේඛකයෙක් වාර්තා කළේය. එම සර්කස් ගොඩනැඟිලි සංකීර්ණය “තාරකා ශාස්ත්‍රඥයන්ට හා ගණිකාවන්ට තෝතැන්නක් වූ” බව ඔහු තවදුරටත් සඳහන් කළේය. මේවායින් පැහැදිලි වන්නේ රෝමයේ තිබූ එම තරඟ භූමි ක්‍රිස්තියානීන්ට සුදුසු ස්ථානයක් නොවූ බවයි.—1 කොරින්ති 6:9, 10.

8 ඒ කාලයේ ජනප්‍රිය වූ රෝම ස්නානයන් ගැන කුමක් කිව හැකිද? පිරිසිදුව සිටීම සඳහා දිය නෑමේ කිසිදු වරදක් නැත. නමුත් රෝමයේ ස්නානය කිරීම සඳහා සාදා තිබූ විශාල ගොඩනැඟිලි සම්බාහනය කරන කාමරවලින්ද, සූදු කෙළීමට මෙන්ම කෑමට හා බීමට වෙන් කර තිබූ කාමරවලින්ද, ගෘහස්ත ක්‍රීඩාවල නිරත වීමේ පහසුකම්වලින්ද සමන්විත විය. ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට වෙනම දිය නෑම සඳහා විවිධ වේලාවන් වෙන් කර තිබුණද ඔවුන්ට එකට දිය නෑමට බොහෝ අවස්ථාවලදී ඉඩහරින ලදි. ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් මෙසේ ලීවේය. “ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දිය නෑමට පුළුවන. ඒවා ඇතුළේ ඇඳුම් ගලවා දැමූ ඔවුහු තමන්ට රිසි සේ අනාචාරයේ හැසුරුණෝය.” ක්‍රිස්තියානීන්ව හසු කරගැනීමට කදිම උගුලක් ලෙස පිළිගත් එවන් මධ්‍යස්ථානයක් යොදාගැනීමට සාතන්ට අවස්ථාව තිබිණ. ඥානවන්තයන් එවැනි ස්ථානවලට ගියේ නැත.

9. මුල් ක්‍රිස්තියානීන්ට වැළකී සිටීමට සිදු වූයේ කුමන මලපත්වලින්ද?

9 රෝම අධිරාජ්‍යයේ සමෘද්ධිමත්ම අවධියේදී සූදුව ජනප්‍රිය විනෝදාස්වාදයක් විය. අශ්ව රථ තරඟවලදී ඔට්ටු ඇල්ලීමෙන් වැළකී සිටීමට මුල් ක්‍රිස්තියානීන්ට හැකි වූයේ ඔවුන් එම ස්ථානවලට නොයෑමෙනි. අවන්හල්වල හා තැබෑරුම්වල තිබූ පිටුපස කාමරවල නීති විරෝධී ලෙස සුළු පරිමාණයෙන් සූදුව සිදු කෙරුණි. සූදු කෙළින අය කළේ, යම් කෙනෙකුගේ අතේ තිබෙන ගල්කැට හෝ අස්ථි කැබලි ගණන ඔත්තේ ගණනක්ද නැත්නම් ඉරට්ටේ ගණනක්ද කියා අනුමාන කරමින් ඔට්ටු ඇල්ලීමයි. මිනිසුන් සූදුවට ආකර්ෂණය වූයේ මහන්සි නොවී ලෙහෙසියෙන් මුදල් ලබාගත හැකි නිසාය. (එපීස 5:5) එපමණක්ද නොව, මත්පැන් පානය කළ එවැනි ස්ථානවල සේවයේ යෙදුණු කාන්තාවෝ බොහෝ අවස්ථාවලදී ගණිකාවන් ලෙසද කටයුතු කළහ. මේ නිසා ලිංගික දුරාචාරයට හසුවීමේ අනතුරක් එවැනි ස්ථානවල තිබිණ. මේවා රෝම අධිරාජ්‍යයට අයත්ව තිබූ නගරවල විසූ ක්‍රිස්තියානීන්ව හසු කරගැනීම සඳහා සාතන් යොදාගත් මලපත්වලින් සමහරකි. වර්තමානයේ ඔහු යොදාගන්න මලපත් මේවාට වඩා බෙහෙවින් වෙනස්ද?

වර්තමානයේ සාතන් යොදාගන්න මලපත්

10. වර්තමානයේ පවතින තත්වය රෝම අධිරාජ්‍යයේ පැවති තත්වයට සමාන වන්නේ කෙසේද?

10 පොදුවේ ගත් කල සාතන්ගේ උපායන් පසුගිය සියවස් ගණනාව පුරා වෙනස් වී නැත. නරක දේවලින් දූෂිතව තිබූ කොරින්ති නගරයේ ජීවත් වූ ක්‍රිස්තියානීන්ව ‘සාතන් විසින් පරාජය’ [NW] කරනු නොලබන පිණිස ප්‍රේරිත පාවුල් ඔවුන්ට දැඩි උපදෙස් දුන්නේය. ඔහු මෙසේ පැවසුවේය. “ඔහුගේ [සාතන්ගේ] උපායවල් අප විසින් නොදැන සිටිනවා නොවේ.” (2 කොරින්ති 2:11) සංවර්ධිත රටවල් බොහොමයක පවතින වත්මන් තත්වය රෝම අධිරාජ්‍යයේ සමෘද්ධිමත්ම අවධියේදී පැවති තත්වයට සමානය. බොහෝදෙනෙකුට විවේකයෙන් කාලය ගත කිරීමට ලැබෙන ඉඩ ප්‍රස්තා වැඩිය. රජයේ අනුග්‍රහය ලබන ලොතරැයි පත් මගින් දුප්පත් කෙනෙකුට පවා ධනවත් වීමේ බලාපොරොත්තු උදා කරයි. අඩු මුදලට විනෝදාස්වාදය සපයන ක්‍රම අද ඕනෑතරම් තිබේ. ජනයාගේ මනස් මේවායින් පිරී ඇත. ක්‍රීඩාංගණ ප්‍රේක්ෂකයන්ගෙන් උතුරා යයි. ජනයා සූදුවෙහි නියැලෙයි. ඇතැම් අවස්ථාවලදී නරඹන්නන් අතර පමණක් නොව ක්‍රීඩකයන් අතරද ගැටුම් ඇති වේ. සෑම පැත්තකින්ම මිනිසුන්ගේ සවනට වැටෙන්නේ පහත් සංගීතයයි. චිත්‍රපටවල හා රූපවාහිනි තිරයේ පමණක් නොව වේදිකා නාට්‍යවලද ප්‍රදර්ශනය වන්නේ අසභ්‍ය දර්ශනයි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම එක්ව අධි උණුසුම් කාමරවල, උණු දිය උල්පත්වල දිය නෑම ජනප්‍රිය දෙයකි. මෙහිදී ඇතැම් මුහුදු වෙරළවල නිරුවතින් මුහුදේ නෑමද සඳහන් කළ යුතුය. සාතන් මුල් සියවස්වල සිටි ක්‍රිස්තියානීන්ව හසු කරගැනීමට යොදාගත් මලපත්ම යොදාගනිමින් දෙවිගේ සේවකයන්වද වරදට පොලඹවාගැනීමට ලෝකයේ විනෝදාස්වාදයන් යොදාගනී.

11. ජීවිතයේ ඒකාකාරීබවින් මිදීම සඳහා විනෝද වීමට තිබෙන ආශාව කුමන ආකාරයේ මලපත්වලට මඟ පෑදිය හැකිද?

11 ජීවිතයේ ඒකාකාරීබවෙන් මිදීම සඳහා විවේකයක් ගෙන ටිකක් විනෝද වුණොත් හොඳයි කියා හැඟීම, මානසික පීඩනය බහුල ලොවක සාමාන්‍ය දෙයකි. කෙසේවෙතත්, මුල් ක්‍රිස්තියානීන්ට අනතුරක් විය හැකි විවිධ දේවල් රෝමයේ ජනප්‍රියව පැවති ස්නානය කිරීමේ ස්ථානවල තිබුණාක් මෙන් ඇතැම් නිවාඩු නිකේතනවල හා විනෝදාස්වාදයන් සපයන ස්ථානවලද සාතන් උගුල් අටවා තිබෙන බව ඔප්පු වී තිබේ. මෙසේ උගුල් ඇටවීමෙන් ඔහු බලාපොරොත්තු වන්නේ වර්තමානයේ සිටින ක්‍රිස්තියානීන්ව දුරාචාරයට හෝ අධික මත්පැන් පානයට හසු කරගැනීමටයි. පාවුල් කොරින්තියේ විසූ ක්‍රිස්තියානීන්ට මෙසේ ලීවේය. “මුළා නොවන්න. නරක ආශ්‍රයෙන් ප්‍රයෝජනවත් පුරුදු නරක් වේ. ධර්මිෂ්ඨකමට එකඟව පිබිද, පියවි සිහියට පැමිණෙන්න. පුරුද්දක් ලෙස පව් නොකරන්න. මන්ද සමහරු දෙවි ගැන නොදනිති.”—1 කොරින්ති 15:33, 34, NW.

12. අදදින සිටින යෙහෝවාගේ සේවකයන්ව ගොදුරු කරගැනීම සඳහා සාතන් යොදාගන්න උපායන් සමහරක් මොනවාද?

12 සාතන් කපටි ලෙස ඒවගේ සිතුවිලි දූෂ්‍ය කළ ආකාරය අපි දනිමු. (2 කොරින්ති 11:3) අදදින යක්ෂයා යොදාගන්න මලපතක් වන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද අනිත් අය වගේ කියා පෙන්වීම සඳහා යම් ප්‍රමාණයකට ලෝකයේ ක්‍රමයට හැඩගැසීමට උත්සාහ කිරීමෙන් සමහරුන්ව සාර්ථක ලෙස සත්‍යයට ඇදගත හැකි බව සිතීමට සැලැස්වීමයි. ඇතැම් අවස්ථාවලදී මෙහි අනිත් පැත්ත සිදු වී තිබෙන්නේ, ඔවුන් නොඇදහිලිවන්තයන් මෙන් හැසිරෙන්න යෑම නිසාය. (හග්ගයි 2:12-14) සාතන්ගේ තවත් උපායක් වන්නේ දෙබිඩි ජීවිත ගත කිරීමට සලස්වමින් ‘දෙවිගේ ශුද්ධාත්මයට දුක් දීමට’ තරුණ, වැඩිහිටි යන කැපවූ ක්‍රිස්තියානීන් දෙපක්ෂයම පොලඹවාගැනීමට තැත් කිරීමයි. (එපීස 4:30) සමහරුන් මෙම උගුලට හසු වී තිබෙන්නේ අන්තර්ජාලය වැරදි ලෙස භාවිත කිරීම නිසාය.

13. සාතන්ගේ කපටි ක්‍රියාවලට අයත් එක් සැඟවුණු මලපතක් වන්නේ කුමක්ද? මෙහිදී සලකා බැලීමට වටින හිතෝපදේශය කුමක්ද?

13 සාතන්ගේ තවත් මලපතක් වන්නේ භූතවාදයේ හානියක් නැතැයි කියා පෙන්වීමයි. කිසිම ක්‍රිස්තියානියෙකු දැනුවත්ව කිසිම ආකාරයකින් භූතවාදයට සම්බන්ධ වන්නේ නැත. එහෙත් සමහරු චිත්‍රපට, ටෙලි නාට්‍යය, වීඩියෝ ක්‍රීඩා හා සාහසිකකම් හෝ අධි ස්වාභාවික දේවල් හුවා දක්වන ළමා කතන්දර පොත් හා චිත්‍ර කතා පොත් යනාදිය බැලීමෙන් හා කියවීමෙන් නොදැනුවත්වම තමන්ගේ ආරක්ෂාව දුර්වල වීමට ඉඩහරිති. යම් දෙයක් අල්ප මාත්‍රයකින්වත් භූතවාදයට සම්බන්ධ නම් ඒවායින් වහාම ඈත්වීම අවශ්‍යයි. නැණවත් හිතෝපදේශයක මෙසේ සඳහන් වේ. “කටුගස්ද මලපත්ද වංක අයගේ මාර්ගයෙහි ඇත. තමාගේ ප්‍රාණය ආරක්ෂා කරගන්නා ඒවායින් දුරව සිටියි.” (හිතෝපදේශ 22:5) “දැන් පවතින ක්‍රමයේ දෙවියා” සාතන් නිසා මේ ලෝකයේ ජනප්‍රිය දේවල්වල ඔහුගේ මලපත් සැඟවී තිබෙන්න පුළුවනි.—2 කොරින්ති 4:4, NW; 1 යොහන් 2:15, 16.

යක්ෂයාට විරුද්ධව සිටි යේසුස්

14. සාතන්ගේ මුල්ම පරීක්ෂාවට යේසුස් විරෝධය පෑවේ කෙසේද?

14 යක්ෂයාට විරුද්ධව සිටිමින් ඔහුව පලවාහැරීම පිළිබඳව කදිම ආදර්ශයක් යේසුස් සපයයි. යේසුස් බව්තීස්ම වීමෙන් හා දින 40ක් නිරාහාරව සිටීමෙන් පසු සාතන් විසින් ඔහුව පරීක්ෂා කරන ලදි. (මතෙව් 4:1-11) පළමුවන පරීක්ෂාව මගින් සාතන් තැත් කළේ නිරාහාරව සිටීමෙන් පසු යේසුස්ට නිරායාසයෙන්ම දැනුණු කුසගින්නෙන් වාසි ප්‍රයෝජන ගැනීමටයි. තමාගේ මාංසික අවශ්‍යතාවක් වූ කුසගින්න නිවාගැනීම සඳහා තමන්ගේ මුල් ප්‍රාතිහාර්යය කරන්න කියා සාතන් යේසුස්ගෙන් ඉල්ලා සිටියේය. යේසුස් ද්විතීය කථාව 8:3 උපුටා දක්වමින් තමා සතු බලය ආත්මාර්ථකාමී ලෙස යොදාගැනීම ප්‍රතික්ෂේප කළේය. මෙහිදී ඔහු පෙන්නුවේ මාංසික ආහාරවලට වඩා ආත්මික ආහාර වටිනා බවයි.

15. (අ) සාතන් යේසුස්ව පරීක්ෂා කිරීම සඳහා උත්සාහ කළේ කවර ස්වාභාවික ආශාව තම වාසියට හරවාගන්නද? (ආ) වර්තමානයේ සිටින දෙවිගේ සේවකයන්ව පරීක්ෂාවට හසු කරගැනීම සඳහා යක්ෂයා යොදාගන්න ප්‍රධාන කපටි ක්‍රියාවලින් එකක් කුමක්ද? එනමුත් ඔහුට එරෙහි වීමට අපට හැක්කේ කෙසේද?

15 මේ පරීක්ෂාවේ දැකිය හැකි සිත්ගන්නාසුලු කරුණක් වන්නේ ලිංගික දුරාචාරය හා සම්බන්ධ පාපයකට යේසුස්ව හසු කරගැනීමට සාතන් තැත් නොකිරීමයි. ඒ අවස්ථාවේදී යේසුස්ව පරීක්ෂා කිරීම සඳහා යොදාගත හැකිව තිබූ ප්‍රබලතම මාංසික ආශාව වූයේ ආහාරවලට දැඩි ආශාවක් ඇති කරවන සාමාන්‍ය දෙයක් වන කුසගින්න බව පෙනෙන්න තිබිණ. අදදින සාතන් දෙවිගේ සෙනඟව මලපත්වලට හසු කරගැනීම සඳහා යොදාගන්න පරීක්ෂාවන් මොනවාද? එකිනෙකට වෙනස් පරීක්ෂා බොහොමයක් තිබෙන නමුත් යෙහෝවාගේ සෙනඟගේ අඛණ්ඩතාව බිඳහෙළීම සඳහා ඔහු යොදාගන්න ප්‍රධානතම කපටි ක්‍රියාවලින් එකක් වන්නේ ලිංගික දේවල් හා සම්බන්ධ පරීක්ෂාවන්ය. යේසුස්ව අනුකරණය කිරීමෙන් යක්ෂයාට විරුද්ධව සිටීමටත් පරීක්ෂාවලට හසු නොවී සිටීමටත් අපට හැක. අවස්ථාවට උචිත ශුද්ධ ලියවිලි පාඨ මතකයට නඟාගැනීමෙන් යේසුස් සාතන්ගේ පරීක්ෂා පරාජය කළාක් මෙන් සාතන් අපවත් ලිංගික දේවල් හා සම්බන්ධ පරීක්ෂාවලට හසු කරගැනීමට තැත් කරද්දී උත්පත්ති 39:9 සහ 1 කොරින්ති 6:18 වැනි බයිබල් පද මතකයට නඟාගැනීමට අපට පුළුවනි.

16. (අ) සාතන් යේසුස්ව දෙවන වතාවට පරීක්ෂා කළේ කෙසේද? (ආ) යෙහෝවාව පරීක්ෂාවට ලක් කිරීම සඳහා සාතන් අපව පොලඹවාගත හැක්කේ කවර ආකාරවලින්ද?

16 දේවදූතයන්ව යොදාගනිමින් තමන්ව ආරක්ෂා කිරීමට දෙවිට තිබෙන හැකියාව පරීක්ෂා කර බැලීම සඳහා දේවමාළිගාවේ ආරක්ෂක පවුරෙන් පැන බලන්න කියා යක්ෂයා යේසුස්ට අභියෝග කළේය. යේසුස් ද්විතීය කථාව 6:16 උපුටා දක්වමින් තම පියාව පරීක්ෂාවට ලක් කිරීම ප්‍රතික්ෂේප කළේය. දේවස්ථානයක තිබෙන උස් පවුරකින් පනින්න කියා පවසමින් සාතන් අපව පරීක්ෂා කරාවියයි සිතිය නොහැකියි. එනමුත් යෙහෝවාව පරීක්ෂාවට ලක් කිරීම සඳහා ඔහු අපව පෙලඹවීමට පුළුවනි. උපදෙස් ලැබීම දක්වා අන්තයටම නොයමින් අපේ ඇඳුම් පැළඳුම් හා බාහිර පෙනුම සම්බන්ධයෙන් ලෝකයේ විලාසිතා කොතෙක් දුරට අනුකරණය කළ හැකිද කියා බැලීමට අප නැඹුරුවනවාද? නුසුදුසු විනෝදාස්වාදවල නියැලීමට අප තුළ පෙලඹවීමක් ඇති වේද? මෙවැනි දෙයක් සිදු වේ නම් අප යෙහෝවාව පරීක්ෂාවට ලක් කරනවා විය හැකියි. අප තුළ එවැනි නැඹුරුවාවන් තිබේ නම් සාතන් අපව අත්හැර යනවා වෙනුවට අප අසල ගැවසෙන්න ඉඩ තිබේ. මෙසේ ඔහු අප අසල ගැවසෙන්නේ ඔහුගේ පැත්ත ගෙන දෙවිට පිටුපෑමට අපව පොලඹවාගැනීමට ඔහුට හැකි සෑම වෑයමක්ම දරමින්ය.

17. (අ) යක්ෂයා තුන්වෙනි වතාවට යේසුස්ව පරීක්ෂා කළේ කෙසේද? (ආ) යාකොබ් 4:7 අප ක්‍රියාවට නඟන බව අපට පෙන්විය හැක්කේ කෙසේද?

17 බිම වැටී එක වරක් නමස්කාර කළොත් ලෝකයේ සියලුම රාජ්‍යයන් දෙන බව සාතන් පැවසූ අවස්ථාවේදී නැවත වතාවක් යේසුස් ඔහුට එරෙහිව සිටියේ ශුද්ධ ලියවිලි උපුටා දක්වමිනි. ඒ අවස්ථාවේදී යේසුස් සිය පියා හැර වෙන කිසිවෙකුට හෝ කිසිවකට නමස්කාර නොකිරීමට වූ සිය ස්ථාවරයේ නොසැලී සිටියේය. (ද්විතීය කථාව 5:9; 6:13; 10:20) සාතන් අද ලෝකයේ තිබෙන රාජ්‍යයන් අපට ලබා දීමට ඉදිරිපත් නොවුණත්, ද්‍රව්‍යමය දේවලින් ආකර්ෂණය ඇති කිරීමට තැත් කරයි. සමහරවිට සැප සම්පතින් පිරි කුඩා රාජ්‍යයක් පවා තැනීමට ඔහු නිතරම අප තුළ පෙලඹීමක් ඇති කළ හැක. යෙහෝවාට පමණක් අපේ භක්තිය පිරිනැමීමෙන් අපත් ප්‍රතිචාරය දක්වන්නේ යේසුස් මෙන්ද? එසේනම් යේසුස් අද්දුටු දෙය අපත් අද්දකිනු ඇත. මේ ගැන මතෙව්ගේ වාර්තාවේ මෙසේ සඳහන් වේ. “එකල යක්ෂයා ඔහු අත්හැර ගියේය.” (මතෙව් 4:11) අවස්ථාවට උචිත බයිබල් ප්‍රතිපත්ති සිහියට නඟාගෙන, ඒවා ක්‍රියාත්මක කරමින් සාතන්ට එරෙහිව අප දැඩි ස්ථාවරයක සිටිනවා නම් ඔහු අපවද අත්හැර යනු ඇත. ශ්‍රාවක යාකොබ් මෙසේ ලීවේය. “යක්ෂයාට විරුද්ධව සිටින්න. එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත.” (යාකොබ් 4:7) ක්‍රිස්තියානි සහෝදරයෙක් ප්‍රංශයේ පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට මෙසේ ලීවේය. “ඇත්තටම සාතන් හරිම කපටියි. මගේ චේතනා කොච්චර යහපත් වුණත්, මගේ හැඟීම් හා ආශාවන් පාලනය කරගන්න හුඟාක් අමාරුයි. ඒ කොහොම වුණත්, නොපසුබස්නා උත්සාහය, ඉවසිලිවන්තකම හා විශේෂයෙන්ම යෙහෝවාගේ උපකාරය නිසා මගේ අඛණ්ඩතාව රැකගෙන සත්‍යයට ඇලී සිටීමට මට හැකි වී තිබෙනවා.”

යක්ෂයාට විරුද්ධව පූර්ණ ලෙස සන්නාහ සන්නද්ධ වෙමු

18. යක්ෂයාට විරුද්ධව සිටීමට හැකි වන ලෙස අපට සපයා තිබෙන ආත්මික යුද්ධායුධ කට්ටලය කුමක්ද?

18 “යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට” අපට හැකි වන ලෙස අංග සම්පූර්ණ ආත්මික යුද්ධායුධ කට්ටලයක් යෙහෝවා අපට සපයා දී තිබේ. (එපීස 6:11-18) සත්‍යය සඳහා අපට තිබෙන ඇල්ම අපේ ඉඟටි බැඳ තබනු ඇත. මින් අදහස් කරන්නේ අප ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල නිරත වීමට නිතරම සූදානම්ව සිටීමයි. යෙහෝවාගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකගැනීමට වූ අපේ අධිෂ්ඨානය අපේ හදවත ආරක්ෂා කරන ළයවැස්මක් වැනිය. අපි ශුභාරංචිය නමැති වහන් පයලා සිටින්නෙමු නම් අප නිතිපතා දේශනා සේවයේ හවුල් වනු ඇත. මෙසේ දේශනා සේවයේ හවුල් වීම අපව ආත්මිකව තවත් ශක්තිමත් කරවයි. අපව ආරක්ෂා කරයි. ‘නපුරාගේ ගිනි හෙල්ල’ නමැති ඔහුගේ කපටි ප්‍රහාරවලින් හා පරීක්ෂාවලින් අපව ආරක්ෂා කරන්නේ විශාල පලිහක් බඳු අපේ ඇදහිල්ලයි. යෙහෝවාගේ පොරොන්දුවල ඉටුවීම ගැන අපට තිබෙන නිසැක බලාපොරොත්තුව ආරක්ෂක තොප්පියක් හා සමානය. අපේ සිතුවිලි ආරක්ෂා කරමින් අපේ මනස්වල සාමය ඇති කරවන්නේ එම බලාපොරොත්තුවයි. (පිලිප්පි 4:7) දේවවචනය දක්ෂ ලෙස හසුරුවන්න අපට හැකි නම්, එය කඩුවක් හා සමාන වනු ඇත. ආත්මික ලෙස සාතන්ට වහල් වී සිටින ජනයාට ආත්මික නිදහස ලබාගැනීමට උපකාර කිරීම සඳහා අපට එය පාවිච්චි කිරීමට පුළුවනි. එමෙන්ම පරීක්ෂාවලදී යේසුස් කළාක් මෙන් අපටත් එය දක්ෂ ලෙස හසුරුවමින් අපව ආරක්ෂා කරගත හැක.

19. ‘යක්ෂයාට විරුද්ධව සිටීමට’ අමතරව තවත් කුමක් කළ යුතුද?

19 අප ‘දෙවිගේ මේ සියලු යුද්ධායුධ’ සෑම මොහොතකම පැළඳ සිටිමින් යාච්ඤාවෙහි නොකඩවා නිරත වෙනවා නම් සාතන් පහර දෙන විට යෙහෝවා අපව ආරක්ෂා කරන බවට නිසැක විය හැක. (යොහන් 17:15; 1 කොරින්ති 10:13) එනමුත් ‘යක්ෂයාට විරුද්ධව සිටීම’ පමණක් ප්‍රමාණවත් නොවන බව යාකොබ් පෙන්වා දුන්නේය. සියල්ලටම වඩා අප ගැන සලකන ‘දෙවිට යටත් විය යුතුය.’ (යාකොබ් 4:7, 8) දෙවිට යටත්ව සිටීමට අපට හැක්කේ කෙසේද කියා ඊළඟ ලිපියේදී අපි සලකා බලමු.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• මුල් ක්‍රිස්තියානීන්ට වැළකී සිටීමට සිදු වූයේ සාතන් යොදාගත් කුමන මලපත්වලින්ද?

• යෙහෝවාගේ සේවකයන්ව හසු කරගැනීම සඳහා සාතන් වර්තමානයේ යොදාගන්න කපටි ක්‍රියා මොනවාද?

• යේසුස් යක්ෂයාගේ පරීක්ෂාවලට විරුද්ධ වූයේ කෙසේද?

• යක්ෂයාට විරුද්ධව සිටීම සඳහා අපට උපකාරවත් වන ආත්මික යුද්ධායුධ කට්ටලය කවරේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[8, 9වන පිටුවේ පින්තූර]

යේසුස් එක හෙළාම යක්ෂයාට විරුද්ධ වූයේය

[10වන පිටුවේ පින්තූර]

මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීහු සාහසික හා දුරාචාරමය විනෝදාස්වාදයන් ප්‍රතික්ෂේප කළහ

[හිමිකම් විස්තර]

The Complete Encyclopedia of Illustration/J. G. Heck