Skip to content

පටුනට යන්න

සාතන් මිථ්‍යාවක්ද නැත්නම් දුෂ්ට පුද්ගලයෙක්ද?

සාතන් මිථ්‍යාවක්ද නැත්නම් දුෂ්ට පුද්ගලයෙක්ද?

සාතන් මිථ්‍යාවක්ද නැත්නම් දුෂ්ට පුද්ගලයෙක්ද?

නපුරේ මූලාරම්භයට හේතුව සෙවීමට මුල් කාලවල පටන් චින්තකයන් උනන්දු වී ඇත. ජේම්ස් හේස්ටිංස්ගේ ඒ ඩික්ෂනරි ඔෆ් ද බයිබල් මෙසේ පවසයි. “අවට තිබෙන දෑ පිළිබඳව අවබෝධයක් ලැබූ දා පටන්, පාලනය කළ නොහැකි බලවේගවලට මුහුණ දෙන්න තමන්ට සිදු වී ඇති බව මිනිසා වටහාගෙන සිටී. එම බලවේග හානිකර හෝ විනාශකාරී බලපෑමක් සිදු කර තිබේ.” එම පොතේම තවදුරටත් මෙසේ පවසයි. “මුල් මිනිස්සු ඒ දේවලට නිතැතින්ම හේතු සාධක සෙවූ අතර සොබාදහමේ පවතින බලවේගයන් හා වෙනත් දේවලට පෞද්ගලිකත්වයක්ද ආරූඪ කළහ.”

ඉතිහාසඥයන් පවසන පරිදි, භූත දෙවිවරු හා යක්ෂ ආත්ම කෙරෙහි විශ්වාසය මුල් මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ ඉතිහාසය දක්වා දිවයන්නකි. ඉපැරණි බබිලෝනිවරුන් විශ්වාස කළේ, නරකාදිය හෝ “යම ලෝකය” භාරව සිටින්නේ “ගින්නෙන් පුලුස්සන” බවට ප්‍රසිද්ධ දුෂ්ට දෙවියෙක් වන නේර්ගල් කියාය. භූතයන්ටද බිය වූ බැවින් ඔවුහු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මාර්ගයෙන් යකුන්ව සතුටු කිරීමටද වෑයම් කළහ. ඊජිප්තියානු දේවකතාවල නපුරේ දෙවියන්ව හැඳින්වූයේ සෙත් කියාය. “ඔහු පෙනී සිටියේ සිහින්, වක ගැසුණු හොම්බක්, ඍජු, හරි හතරැස් කන් සහ බෙදී ගිය දැඩි වලිගයක් ඇති අරුම පුදුම මෘගයෙකුගේ අංග ලක්ෂණවලිනි.”—ලාරූස් එන්සයික්ලොපීඩියා ඔෆ් මිතොලොජි.

ග්‍රීක සහ රෝමවරුන් ත්‍යාගශීලී හා විනාශකාරී දෙවිදේවතාවුන් විශ්වාස කළත් නපුර හා සම්බන්ධ ප්‍රධාන දෙවි කෙනෙක් ඔවුන්ට නොසිටියේය. ඔවුන්ගේ දාර්ශනිකයෝ එකිනෙකට විරුද්ධ ප්‍රතිපත්ති දෙකක් තිබෙන බව ඉගැන්වූහ. එම්පිඩොක්ලීස්ගේ මතයට අනුව ඒ ප්‍රතිපත්ති දෙක ප්‍රේමය හා විරෝධය වේ. ප්ලේටෝගේ මතයට අනුව ලෝකයෙහි “ආත්ම” දෙකක් තිබෙන අතර එකක් යහපත සිදු කරයි, අනික නපුර සිදු කරයි. ෂෝර්ෂ් මින්වා ල ඩියාබ්ල (යක්ෂයා) යන සිය පොතෙහි පැවසූ පරිදි, “සම්භාව්‍ය [ග්‍රීක රෝමානු] මිථ්‍යා ආගම යක්ෂයෙකු සිටින බව ඉගැන්වූයේ නැත.”

ඉරානයෙහි සෝරෝඇස්ට්‍රියානුවාදය මගින් ඉගැන්නුවේ ශ්‍රේෂ්ඨතම දෙවියන් වන අහුර-මස්දා හෝ ඕමස්ඩ් විසින් ඇන්ග්‍ර මයින්‍යූ නොහොත් ආරිමන්ව මැවූ අතර, ඔහු නපුරු දේ කිරීමට තෝරාගත් බැවින් විනාශකාරී ආත්මය හෝ විනාශ කරන්නා බවට ඔහු පත් වූවා කියාය.

යුදෙව් ධර්මයට අනුව, දෙවිගේ එදිරිකාරයා වන සාතන්ව සරල ලෙස පැහැදිලි කර තිබෙන්නේ පාපය ගෙනා තැනැත්තා වශයෙනි. එහෙත් සියවස් ගණනාවකට පසු, එය මිථ්‍යා අදහස්වලින් දූෂණය වීමට පටන්ගත්තේය. එන්සයික්ලොපීඩියා ජුඩෙයිකා මෙසේ පවසයි. “පොදු යුගයට පෙර අවසාන සියවස්වලදී . . . විශාල වෙනසක් සිදු වී තිබෙනවා. මේ කාලය තුළදී [යුදෙව්] ආගම එකිනෙකට ප්‍රතිවිරුද්ධ බලවේගයන් දෙකක් ඇති බවට වූ විශ්වාසයේ බොහෝ අංග ඈඳාගත්තා. එම විශ්වාසයට අනුව, දෙවිටත් යහපතේ මෙන්ම සත්‍යයේ බලවේගයන්ටත් එරෙහිව නපුරේ හා මුළාවේ ප්‍රබල බලවේගයන් ස්වර්ගයේදී මෙන්ම පොළොවේදී නැඟී සිටි බව පිළිගෙන තිබුණා. මෙය පර්සියානු ආගමෙන් උකහාගත් දෙයක් බවයි පෙනෙන්න තිබෙන්නේ.” ද කොන්සයිස් ජුයිෂ් එන්සයික්ලොපීඩියා මෙසේ ප්‍රකාශ කරයි. “අණ දීම්වලට කීකරු වීමෙන් හා යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් භූතයන්ගෙන් ආරක්ෂාව ලබාගන්න ඉඩ සලසා දී තිබුණා.”

ධර්ම විරෝධී ක්‍රිස්තියානි දේවධර්මවාදය

යුදෙව් ධර්මය සාතන් හා භූතයන් සම්බන්ධයෙන් බයිබලයේ නැති සංකල්ප ඈඳාගත්තාක් මෙන් ධර්ම විරෝධී ක්‍රිස්තියානීහුද ශුද්ධ ලියවිල්ලට පටහැනි අදහස් පෝෂණය කළහ. දි ඇන්ක බයිබල් ඩික්ෂනරි මෙසේ පවසයි. “වඩාත්ම අන්තවාදී වූ පුරාණ දේවධර්මවාදී අදහස්වලින් එකක් වන්නේ දෙවි තම ජනයාව නිදහස් කරගැනීම සඳහා සාතන්ට ගෙවීමක් කර ඔවුන්ව මුදාගත් බවය.” මෙම අදහස හඳුන්වා දෙන ලද්දේ අයිරීනියස් (පො.යු. දෙවන සියවසේ) විසින්ය. එය තවදුරටත් වැඩිදියුණු කරමින් ඔරිගන් පැවසුවේ, “යක්ෂයා මිනිසුන් කෙරෙහි නීතිමය අයිතියක්” ලබාගෙන තිබෙන බවය. එමෙන්ම “ක්‍රිස්තුස්ගේ මරණය . . . යක්ෂයාට ගෙවූ මිදීමේ මිලයක්” ලෙසද ඔහු සැලකුවේය.”—ආඩොල්ෆ් හානාක් විසින් රචිත හිස්ට්‍රි ඔෆ් ඩොග්මා.

ද කැතලික් එන්සයික්ලොපීඩියා පවසන පරිදි, “[යක්ෂයාට මිදීමේ මිලක් ගෙවූ බවට වූ අදහස] වසර දහසක පමණ කාලයක් පුරා දේවධර්මවාදී ඉතිහාසය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට දායක වූ” අතර එය පල්ලියේ විශ්වාසයක්ව පැවතුණි. (පො.යු. හතරවන-පස්වන සියවස්වල සිටි) ඔගස්ටින් ඇතුළු වෙනත් පල්ලි පියවරු මිදීමේ මිලය ගෙවනු ලැබුවේ සාතන්ටය යන අදහස ඈඳාගත්හ. නමුත් අවසානයේදී, පො.යු. 12වන සියවසේදී කතෝලික දේවධර්මාචාර්යයන් වන ඇන්ස්ලම් සහ ඇබෙලා නිගමනය කළේ ක්‍රිස්තුස්ගේ පූජාව සාතන්ට නොව දෙවිට ඔප්පු කරනු ලැබූවක් බවය.

මධ්‍යකාලීන යුගයේ මිථ්‍යා විශ්වාසයන්

සාතන් නම් විෂය සම්බන්ධයෙන් කතෝලික සභා කවුන්සල බොහෝමයක් සෑහෙන නිහඬතාවක් දැක්වූ නමුත් පො.යු. 1215දී සිව්වන ලැටරන් මණ්ඩලය විසින් නිව් කැතලික් එන්සයික්ලොපීඩියාහි දැක්වෙන “ඇදහිල්ලේ බැරෑරුම් ප්‍රකාශය” ඉදිරිපත් කරනු ලැබීය. පළමුවන ධර්ම ග්‍රන්ථ මාලාවේ මෙසේ පවසයි. “දෙවි යක්ෂයාව සහ වෙනත් භූතයන්ව මවනු ලැබුවේ යහපත් පුද්ගලයන් ලෙසයි. නමුත් ඔවුන් යක්ෂයන් බවට පත් වුණේ ඔවුන්ගේම වුවමනාවෙනුයි.” ඔවුන් මිනිස්වර්ගයාව පොලඹවාගැනීමට වෑයම් කරමින් ක්‍රියාශීලීව සිටින බවද එහි පවසයි. ඉහත සඳහන් කළ අදහස මධ්‍යකාලීන යුගයේදී බොහෝදෙනෙකුගේ සිත්වල තදින්ම කාවැදී තිබුණි. පැහැදිලි කළ නොහැකි අසනීපයක්, හදිසි මරණයක් හෝ සරුසාර අස්වැන්නක් නොලැබීම වැනි අසාමාන්‍යයයි පෙනීමට තිබූ දේවල් පිටුපස සිටියේ සාතන්ය. නවවන ග්‍රෙගරි පාප් පො.යු. 1233දී, යක්ෂයාට නමස්කාර කරන්නන්යයි කිව හැකි ලුසිෆවාදීන් ඇතුළු මිථ්‍යාවාදීන්ට එරෙහිව නියෝග කීපයක් පැනවීය.

යක්ෂයා හෝ ඔහුගේ භූතයන් මිනිසුන්ට වැහෙන බවට වූ විශ්වාසය වැඩි කල් නොගොස් සම්පූර්ණයෙන්ම පීඩනෝන්මාදයක් එනම් යන්ත්‍ර මන්ත්‍ර හා හදි හූනියම් හා සම්බන්ධ පාලනය කළ නොහැකි අසාමාන්‍ය බියක් ජනිත කරවීමට සමත් විය. මායාකාරයන්ට ඇති බිය යුරෝපය තුළ පැතිර ගිය අතර 13වන සියවස හා 17වන සියවස අතරතුරේදී උතුරු අමෙරිකාවේ යුරෝපියානු ජනපදවාසීන් කරාද ළඟා විය. රෙපරමාදු ප්‍රතිසංස්කාරකයන් වන මාටින් ලූතර් සහ ජෝන් කැල්වන් පවා මායා බන්ධනකරුවන්ව සොයා ඔවුන්ට දඬුවම් කිරීමේ ව්‍යාපාරය අනුමත කළහ. යුරෝපයේ කට කතා හෝ කෲර හෙළා දැකීම් මත පදනම් වූ මායා බන්ධන ක්‍රියා පිළිබඳ නඩු විභාග කරනු ලැබුවේ අධර්ම මර්දනාධිකරණය හා බාහිර උසාවි මගිනි. “වරද” කළ බවට බලෙන් පාපෝච්චාරණය කරවාගැනීම සඳහා වධ හිංසා පැමිණවීම පොදු දෙයක් විය.

වරදකරු බවට පත් වූ අයව පුලුස්සා දැමීමට හෝ එංගලන්තයෙහි හා ස්කොට්ලන්තයෙහි නම් එල්ලා මරා දැමීමට හැකි විය. මීට ගොදුරු වූ සංඛ්‍යාව ගැන ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා මෙසේ පවසයි. “ඇතැම් ඉතිහාසඥයන් පවසන පරිදි, 1484 සිට 1782 දක්වා කාලයේදී ක්‍රිස්තියානි පල්ලිය මායා බන්ධනයට සම්බන්ධ වී සිටි ස්ත්‍රීන් 3,00,000ක් පමණ මරණයට පත් කළේය.” මෙම මධ්‍යකාලීන යුගයේ ඛේදවාචකය පිටුපස සාතන් සිටියා නම් ඔහුගේ මෙවලම් වී ඇත්තේ ගොදුරුවූවන්ද නැතහොත් අන්තවාදී ආගමික පීඩාකරුවන්ද?

වත්මන් විශ්වාසය හෝ අවිශ්වාසය

ඥානාලෝකය ලැබීම වශයෙන් ප්‍රසිද්ධ ඥානාන්විත අදහස් මල්පල ගත්තේ 18වන සියවසේදීය. එන්සයික්ලොපීඩියා බ්‍රිටෑනිකා මෙසේ පවසයි. “ඥානාලෝක යුගයෙහිදී දර්ශනවාදය හා දේවධර්මවාදය මගින් වෑයම් කළේ යක්ෂයා නමැති පුද්ගලයාව ක්‍රිස්තියානි මනසෙන් ඉවත් කර දැමීමටය. ඔහුව ගෙනහැර දැක්වූයේ මධ්‍යකාලීන යුගවල තිබූ මිථ්‍යා කථාවල සිටි මනඃකල්පිත පුද්ගලයෙකු වශයෙනි.” රෝමානු කතෝලික සභාව ඊට එරෙහිව නැඟී සිටිමින් ප්‍රථම වතිකානු කවුන්සලයේදී (1869-70) යක්ෂයා නමැති සාතන් පිළිබඳ විශ්වාසය යළි තහවුරු කළේය. නමුත් දෙවන වතිකානු කවුන්සලයේදී (1962-65) යළිත් වරක් මෙම විශ්වාසය පිළිබඳව සඳහන් කළේ එතරම් බලපෑමෙන් යුක්තව නොවේ.

නිව් කැතලික් එන්සයික්ලොපීඩියා නිල වශයෙන් පිළිගත් ලෙස “ක්‍රිස්තියානි සභාව දේවදූතයන්ව හා භූතයන්ව විශ්වාස කිරීමට බැඳී සිටී.” කෙසේවෙතත්, කතෝලික ධර්මය පිළිබඳ ප්‍රංශ ශබ්දකෝෂයක් වූ තියෝ පවසන්නේ “ලෝකයේ නපුර තිබෙන්නේ යක්ෂයා නිසාය කියා අදදින බොහෝ ක්‍රිස්තියානීන් නොපිළිගන්නා” බවය. මෑත වසරවලදී කතෝලික දේවධර්මාචාර්යවරයන් නවීන-දින චින්තනය සමඟ නිල ලත් කතෝලික ධර්මය නුවණක්කාර ලෙස සමබර කර තිබෙන්නේ අවදානම් සහිතවය. “නිදහස් ක්‍රිස්තියානි දේවධර්මය, සාතන් පිළිබඳව බයිබලයේ සඳහන් දේ පදගතාර්ථයෙන්ම නොගෙන ඔහුව “චිත්ත රූපයක්” ලෙස පමණක් සැලකීමට නැඹුරුවාවක් දක්වයි. එය විශ්වයේ පවතින නපුර පිළිබඳ යථාර්ථය හා එය පැතිර යෑම පිළිබඳව ප්‍රකාශ කිරීම සඳහා මිථ්‍යා කථා සංග්‍රහය විසින් දරන ලද වෑයමකි” කියා එන්සයික්ලොපීඩියා බ්‍රිටෑනිකා පවසයි. රෙපරමාදු භක්තිකයන්ගේ අදහස සම්බන්ධයෙන් එහි මෙසේ ගෙනහැර දක්වයි. “නවීන නිදහස් රෙපරමාදු ධර්මය යක්ෂයා නමැති පුද්ගලයෙකු කෙරෙහි විශ්වාසය තැබීමේ අවශ්‍යතාව ප්‍රතික්ෂේප කිරීමට නැඹුරුවාවක් දක්වමින් සිටියි.” එහෙත් බයිබලයේ සාතන් ගැන පවසන දේවල් සැබෑ ක්‍රිස්තියානීන් සැලකිය යුත්තේ හුදෙක් “චිත්ත රූපයක්” ලෙසද?

ශුද්ධ ලියවිල්ලේ උගන්වන දේ

මිනිසුන්ගේ දර්ශනවාදය හා දේවධර්මවාදය මගින් නපුරේ මූලාරම්භය සම්බන්ධයෙන් බයිබලයේ පැහැදිලි කර ඇති දේට වඩා හොඳ පැහැදිලි කිරීමක් කර නැත. නපුරේ හා මිනිසුන්ගේ වේදනාවේ මූලාරම්භයත් සෑම වසරකම දරුණු ප්‍රචණ්ඩකාරී දේ තව තවත් දරුණු වීමට හේතුවත් තේරුම්ගැනීම සඳහා සාතන් ගැන ශුද්ධ ලියවිල්ලේ පවසන දේ සලකා බැලීම ඉතා වැදගත් වේ.

සමහරු මෙසේ ඇසිය හැක. ‘දෙවි යහපත් ප්‍රේමණීය මැවුම්කරු නම්, සාතන් වැනි දුෂ්ට ආත්ම මැවිල්ලක් බිහි කිරීමට ඔහුට හැකි වූයේ කෙසේද?’ යෙහෝවා දෙවිගේ සියලු ක්‍රියා සම්පූර්ණයි, ඔහුගේ බුද්ධිමත් මැවිලි සියල්ලටම ඔහු නිදහස් කැමැත්ත දානය කර තිබේ යන ප්‍රතිපත්තියයි බයිබලයේ සඳහන් වන්නේ. (ද්විතීය කථාව 30:19; 32:4; යෝෂුවා 24:15; 1 රාජාවලිය 18:21) එසේනම්, සාතන් බවට පත් වූ ආත්ම පුද්ගලයාව මවා තිබුණේ පරිපූර්ණවය. ඔහු සත්‍ය හා ධර්මිෂ්ඨ මාර්ගයෙන් ඉවත් වීමට තීරණය කළේ හිතාමතාම විය යුතුයි.—යොහන් 8:44; යාකොබ් 1:14, 15.

සාතන්ගේ කැරලිකාර ක්‍රියාමාර්ගය “තීර්හි රජ” ගත් ක්‍රියාමාර්ගයට බෙහෙවින් සමානය. කාව්‍යාලංකාරයෙන් ඔහුව විස්තර කර තිබුණේ “අලංකාරකමෙන් සම්පූර්ණව” සහ ‘ඔහු මවනු ලැබූ දා පටන් ඔහු තුළ අධර්මිෂ්ඨකම සම්බ වෙන තුරු ඔහුගේ මාර්ගවල ඔහු සම්පූර්ණව සිටියෙහිය’ කියාය. (එසකියෙල් 28:11-19) යෙහෝවාගේ ශ්‍රේෂ්ඨත්වය හෝ ඔහු මැවුම්කරුය යන කාරණය සම්බන්ධයෙන් සාතන් තරඟ වැදුණේ නැත. ඔහුව මවනු ලැබුවේ දෙවිම නිසා කෙසේද ඔහුට එසේ කළ හැකි වන්නේ? කෙසේවුවද, යෙහෝවා සිය පරමාධිපත්‍යය මෙහෙයවන ආකාරය සම්බන්ධයෙන් සාතන් අභියෝග කළේය. ඒදන් උයනේදී, මුල් මිනිස් යුවළට හිමිව තිබූ මෙන්ම ඔවුන්ගේ ශුභසිද්ධිය රඳා පැවති අයිතිවාසිකමක් දෙවි ඔවුන්ගෙන් පැහැරගෙන තිබෙන බව සාතන් වක්‍රාකාරව පැවසුවේය. (උත්පත්ති 3:1-5) ආදම් සහ ඒවව යෙහෝවාගේ ධර්මිෂ්ඨ පරමාධිපත්‍යයට එරෙහිව කැරලිගැසීමට පෙලඹවීමේදී සාර්ථකත්වයක් ලැබූ ඔහු ඔවුන්ට හා ඔවුන්ගෙන් බිහි වන්නන්ට පාපය හා මරණය උරුම කර දුන්නේය. (උත්පත්ති 3:6-19; රෝම 5:12) මෙබැවින් මිනිස් වේදනාවලට මුල් වූ තැනැත්තා සාතන් බව බයිබලයේ පෙන්වයි.

ජලගැල්මට ස්වල්ප කලකට පෙර වෙනත් දේවදූතයන්ද කැරලිගැසීමේදී සාතන් සමඟ හවුල් විය. මිනිස් දූවරුන් හා එක්ව තම ලිංගික ආශාවන් සංතෘප්ත කරගැනීම සඳහා ඔවුහු මූර්තිමත් වී මිනිස් වෙස් ලබාගත්හ. (උත්පත්ති 6:1-4) ජලගැල්ම පැමිණි විට මෙම කැරලිකාර දේවදූතයන් ආත්ම විෂයට යළි ගියත් දෙවි සමඟ ස්වර්ගයෙහි ‘මුල් ස්ථානයේ’ සිටීමට ඔවුන්ට නොහැකි විය. (යූද් 6, NW) ආත්මික ඝන අන්ධකාර තත්වයකට ඔවුන්ව හෙළනු ලැබීය. (1 පේතෘස් 3:19, 20; 2 පේතෘස් 2:4) තවදුරටත් යෙහෝවාගේ පරමාධිපත්‍යය යටතේ සේවය කිරීමට ප්‍රස්තාවක් නොලද ඔවුහු සාතන්ට යටත්ව ජීවත් වන භූතයෝ බවට පත් වූහ. යළිත් මූර්තිමත් විය නොහැකි තත්වයකට පත් වුවත් මිනිසුන්ගේ මනස්වලට සහ ජීවිතවලට බලපෑම් කරමින් අතිමහත් බලයක් යෙදීමට තවමත් භූතයන්ට හැක. එමෙන්ම අදදින අප දකින ප්‍රචණ්ඩ දේවලින් වැඩි කොටසකටද ඔවුන් වගකිව යුතු බවට සැකයක් නැත.—මතෙව් 12:43-45; ලූක් 8:27-33.

සාතන්ගේ පාලනයේ නිමාව ආසන්නයි

අදදින ලොව පුරා නපුරු බලවේගයන් ක්‍රියා කරමින් සිටින බව පැහැදිලිය. ප්‍රේරිත යොහන් මෙසේ ලිවීය. “මුළු ලෝකයා නපුරා තුළ [බව] දනිමුව.”—1 යොහන් 5:19.

කෙසේවුවද, ඉටු වූ බයිබල් අනාවැකිවලින් පෙනී යන්නේ යක්ෂයා පොළොවේ දුක් ගාවිනා තිව්‍ර කරමින් සිටින බවයි. තමාව සිර කිරීමට තිබෙන්නේ “ස්වල්ප කාලයක්” බව දන්න බැවින් ඔහු විනාශකාරී ක්‍රියාවල නිරත වෙමින් සිටී. (එළිදරව් 12:7-12; 20:1-3) සාතන්ගේ පාලනයේ නිමාවත් සමඟම උදා වනු ඇත්තේ ධර්මිෂ්ඨ නව ලොවක් වන අතර, එහි කඳුළු, මරණය හා වේදනාව ‘තවත් නොතිබෙනු ඇත.’ ඉන්පසුව, දෙවිගේ කැමැත්ත “ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු” ලබයි.—එළිදරව් 21:1-4; මතෙව් 6:10.

[4වන පිටුවේ පින්තූර]

බබිලෝනිවරුන් ප්‍රචණ්ඩකාරී දෙවියෙකු වූ නේර්ගල්ව (වම් කෙළවරේ) විශ්වාස කළේය. ප්ලේටෝ (වමේ) එකිනෙකට පටහැනි “ආත්ම” දෙකක් පවතින බව විශ්වාස කළේය

[හිමිකම් විස්තර]

සිලින්ඩරය: Musée du Louvre, Paris; ප්ලේටෝ: National Archaeological Museum, Athens, Greece

[5වන පිටුවේ පින්තූර]

යක්ෂයාට මිදීමේ මිලක් ගෙවූ බව අයිරීනියස්, ඔරිගන් හා ඔගස්ටින් ඉගැන්වූහ

[හිමිකම් විස්තර]

ඔරිගන්: Culver Pictures; ඔගස්ටින්: Great Men and Famous Women පොත ඇසුරෙනි

[6වන පිටුවේ පින්තූරය]

සිය දහස් ගණනක් මරා දැමීමට හේතුව වූයේ මායාබන්ධනකරුවන්ට තිබූ බියයි

[හිමිකම් විස්තර]

Bildersaal deutscher Geschichte නමැති පොත ඇසුරෙනි