Skip to content

පටුනට යන්න

අන්තිම දවස්වල මධ්‍යස්ථව සිටින ක්‍රිස්තියානීහු

අන්තිම දවස්වල මධ්‍යස්ථව සිටින ක්‍රිස්තියානීහු

අන්තිම දවස්වල මධ්‍යස්ථව සිටින ක්‍රිස්තියානීහු

“මා ලෝකයේ කොටසක් නොවන්නා සේම ඔවුහුද ලෝකයේ කොටසක් නොවෙති.”—යොහන් 17:16, NW.

1, 2. ලෝකය සමඟ තම අනුගාමිකයන් පවත්වාගත යුතු සබඳතාව ගැන යේසුස් පැවසුවේ කුමක්ද? තවද ඔහුගේ වදන්වලින් ඉස්මතු වන ප්‍රශ්න මොනවාද?

පරිපූර්ණ මිනිසෙකු ලෙස යේසුස් දිවි ගෙවූ අවසාන රැයේදී තම ගෝලයන්ට ඇසෙන පරිද්දෙන් හෙතෙම දිගු යාච්ඤාවක නිරත විය. ඒ අතරතුරේදී ඔහු සියලුම සැබෑ ක්‍රිස්තියානීන්ගේ ජීවිත සම්බන්ධයෙන් යමක් පැවසීය. තම අනුගාමිකයන් ගැන කතා කරමින් ඔහු පැවසුවේ මෙසේය. “මා ඔවුන්ට ඔබේ වචනය දී ඇත. මා ලෝකයේ කොටසක් නොවන්නා සේම ඔවුන්ද ලෝකයේ කොටසක් නොවන නිසා ලෝකය ඔවුන්ට වෛර කළේය. මා ඔබෙන් ඉල්ලන්නේ, ඔවුන්ව ලෝකයෙන් ඉවතට ගන්නා මෙන් නොව, නමුත් දුෂ්ටයා නිසා ඔවුන්ව ආරක්ෂා කරන මෙන්ය. මා ලෝකයේ කොටසක් නොවන්නා සේම ඔවුහුද ලෝකයේ කොටසක් නොවෙති.”—යොහන් 17:14-16, NW.

2 තම අනුගාමිකයන් ලෝකයේ කොටසක් නොවනු ඇති බව යේසුස් දෙවරක් සඳහන් කළේය. තවද, ලෝකයෙන් මෙසේ වෙන්ව සිටින නිසා, යම් අසීරුතාවකට මුහුණ දීමට ඔවුන්ට සිදු වනු ඇත. ඔව්, ලෝකය ඔවුන්ට වෛර කරයි. කෙසේවෙතත්, ක්‍රිස්තියානීන් මේ නිසා අධෛර්යයට පත් විය යුතු නැත. යෙහෝවා ඔවුන්ව රැකබලා ගනීවි. (හිතෝපදේශ 18:10; මතෙව් 24:9, 13) යේසුස් පැවසූ මෙම වදන් හේතුවෙන් අපගෙන් මෙසේ අසාගැනීම සුදුසුය. ‘සැබෑ ක්‍රිස්තියානීන් ලෝකයේ කොටසක් නොවන්නේ මන්ද? ලෝකයේ කොටසක් නොවීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ක්‍රිස්තියානීන් ලෝකයාගේ වෛරයට පාත්‍ර වී ඇත්නම්, ඔවුන් ලෝකය සලකන්නේ කෙසේද? විශේෂයෙන්ම, ඔවුන් මෙලොවෙහි ආණ්ඩු දෙස බලන්නේ කෙසේද? මෙම ප්‍රශ්නවලට ශුද්ධ ලියවිල්ල මත පදනම් උත්තර සලකා බැලීම වැදගත් වන්නේ ඒවා අප සැමට බලපාන නිසාවෙනි.

‘අප දෙවිගෙනි’

3. (අ) අප ලෝකයෙන් වෙන්ව සිටින්නේ කුමක් නිසාද? (ආ) ලෝකය නපුරාගේ බලපෑමට නතු වී ඇති බවට තිබෙන සාක්ෂි මොනවාද?

3 අප ලෝකයෙහි කොටසක් නොවීමට එක හේතුවක් වන්නේ යෙහෝවා සමඟ අපට ඇති කිට්ටු සබඳතාවයි. ප්‍රේරිත යොහන් ඒ ගැන ලීවේ මෙසේය. “අපි දෙවිගෙන් වන බවද මුළු ලෝකයා නපුරා තුළ බවද දනිමු.” (1 යොහන් 5:19) ලෝකය පිළිබඳව යොහන් පවසන වදන්වල සත්‍යතාව ඉතා පැහැදිලිය. අප දකින යුද්ධ, අපරාධ, මැරකම්, හිංසා පීඩා, වංකකම සහ දුරාචාරයෙන් පැහැදිලිව පෙනී යන්නේ මෙලොව දෙවිගේ නොව සාතන්ගේ බලපෑම යටතේ පවතින බවය. (යොහන් 12:31; 2 කොරින්ති 4:4; එපීස 6:12) පුද්ගලයෙකු යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වූ විට, ඔහු එවැනි වැරදි ක්‍රියාවල නිරත වන්නේවත්, ඒවාට අනුබල දෙන්නේවත් නැත. එමනිසා ඔහු ලෝකයෙහි පංගුකාරයෙකු නොවේ.—රෝම 12:2; 13:12-14; 1 කොරින්ති 6:9-11; 1 යොහන් 3:10-12.

4. අප යෙහෝවාට අයිති බව පෙන්නුම් කරන්නේ කවර ආකාරවලින්ද?

4 ලෝකයට වෙනස්ව, ක්‍රිස්තියානීන් ‘දෙවිගෙන් වන’ බව යොහන් පැවසීය. යෙහෝවාට කැප වන සියලුමදෙනා ඔහුට අයිති වෙති. ප්‍රේරිත පාවුල් එය මෙසේ පැහැදිලි කළේය. “මන්ද, අප ජීවත් වන්නේ නම්, අප ජීවත් වන්නේ යෙහෝවා උදෙසාය. එමෙන්ම අප මියයන්නේ නම්, අප මියයන්නේද යෙහෝවා උදෙසාය. එබැවින්, අප ජීවත් වුණත් මියගියත් අපි යෙහෝවාගේය.” (රෝම 14:8, NW; ගීතාවලිය 116:15) අප යෙහෝවාට අයිති වන නිසා, අපි ඔහුට තනි භක්තිය පිරිනමන්නෙමු. (නික්මයාම 20:4-6) එමනිසා සැබෑ ක්‍රිස්තියානියෙක් තම ජීවිතය යම් ලෞකික අරමුණක් වෙනුවෙන් කැප කරන්නේ නැත. තවද ඔහු ජාතික ලාංජන හා සංකේතවලට ගෞරවයෙන් සැලකුවද, තම ක්‍රියාවෙන් හෝ සිතින් හෝ ඒවාට නමස්කාර කරන්නේද නැත. ක්‍රීඩා තරුවලට හෝ වෙනත් නූතන විරුවන්ට ඔහු නමස්කාර නොකරයි. තමන්ට රිසි සේ ක්‍රියා කිරීමේ අයිතිය අන් අයට ඇති බව පිළිගෙන ඊට ගරු කළත්, ඔහු නමස්කාර කරන්නේ මැවුම්කරුට පමණි. (මතෙව් 4:10; එළිදරව් 19:10) මේ හේතු නිසාත් ඔහු ලෝකයෙන් වෙන්ව සිටියි.

“මාගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් නොවේ”

5, 6. දේවරාජ්‍යයට යටත් වන අප ලෝකයෙන් වෙන්ව සිටින්නේ කවර අරුතකින්ද?

5 ක්‍රිස්තියානීහු ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයෝ වන අතර, දේවරාජ්‍යයේ යටත්වැසියෝද වෙති. මෙම හේතු නිසාත් ඔවුන් ලෝකයේ කොටසක් වන්නේ නැත. පොන්තියුස් පිලාත් ඉදිරියෙහි යේසුස්ව විභාග කරනු ලැබූ විට ඔහු පැවසුවේ මෙසේය. “මාගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් නොවේ. මාගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් වූවා නම්, මාව යුදෙව්වරුන් අතට පාවා දෙනු නොලබන පිණිස මා යටතේ සිටින්නන් සටන් කරනවා ඇත. නමුත් මාගේ රාජ්‍යය මේ ලෝකයෙන් නොවේ.” (යොහන් 18:36, NW) යෙහෝවාගේ නාමය විශුද්ධ කරනු ලබන්නේද, ඔහුගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගතභාවය තහවුරු කරනු ලබන්නේද, ස්වර්ගයෙහි මෙන් මෙලොවෙහි ඔහුගේ කැමැත්ත කරනු ලබන්නේද මෙම රාජ්‍යය මාර්ගයෙනි. (මතෙව් 6:9, 10) තම දේවසේවය පුරා යේසුස් රාජ්‍යයේ ශුභාරංචිය ගැන දේශනා කළ අතර, පවතින ක්‍රමයේ අවසානය දක්වාම තම අනුගාමිකයන් විසින් එය ප්‍රකාශ කරනු ඇති බවද පැවසීය. (මතෙව් 4:23; 24:14) වර්ෂ 1914දී එළිදරව් 11:15හි සඳහන් මෙම අනාවැකිමය වදන් ඉටු විය. “ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්ටද තමන් ක්‍රිස්තුස්ටද වූයේය. ඔහු සදාකාලේටම රජකම් කරන්නේය.” ඉතාමත් ළඟදී දවසක එම ස්වර්ගික රාජ්‍යය මිනිස්වර්ගයා කෙරෙහි පාලනය කරන එකම ආණ්ඩුව බවට පත් වනු ඇත. (දානියෙල් 2:44, 45) එමනිසා එක්තරා අවස්ථාවකදී ලෞකික පාලකයන්ට පවා එහි අධිකාරය පිළිගැනීමට සිදු වේ.—ගීතාවලිය 2:6-12.

6 අදදින සැබෑ ක්‍රිස්තියානීහු මෙම සියලු කාරණා සිහියේ තබාගනිමින් දේවරාජ්‍යයේ යටත්වැසියන් ලෙස කටයුතු කරන අතර, “පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න” යන යේසුස්ගේ උපදෙසද අනුගමනය කරති. (මතෙව් 6:33, NW) මින් අදහස් කරන්නේ ඔවුන් ජීවත් වන රටට ඔවුන් ද්‍රෝහීව කටයුතු කරනවා යන්න නොවේ. එනමුත්, ඔවුහු ආත්මික අර්ථයකින් ලෝකයෙන් වෙන්ව සිටිති. මුල් සියවසේදී මෙන්, අදදිනත් ක්‍රිස්තියානීන්ගේ ප්‍රධාන කාර්යය ‘දෙවිගේ රාජ්‍යය ගැන පූර්ණ ලෙස සාක්ෂියක් දීම’ වේ. (ක්‍රියා 28:23, NW) දෙවිගෙන් ලද එම කාර්යයට බාධා කරන්නට කිසිදු මිනිස් ආණ්ඩුවකට අයිතියක් නැත.

7. සැබෑ ක්‍රිස්තියානීන් මධ්‍යස්ථව සිටින්නේ මන්ද? ඔවුන් මෙවන් දෙයක් පෙන්වන්නේ කෙසේද?

7 යෙහෝවාගේ සාක්ෂිකරුවන් යෙහෝවාට අයිති නිසාත්, ඔවුන් යේසුස්ගේ අනුගාමිකයන් හා දේවරාජ්‍යයේ යටත්වැසියන් වන නිසාත්, 20වන හා 21වන සියවස්වල ජාතික මට්ටමෙන් හා ජාත්‍යන්තර පරිමාණයෙන් සිදු වී ඇති ගැටුම්වලදී ඔවුන් මධ්‍යස්ථව කටයුතු කර ඇත. මින් අදහස් වන්නේ මෙම ගැටුම්වලදී ඔවුන් කිසිදු පැත්තක් ගෙන කටයුතු කර නැති බවත්, කිසිදු කෙනෙකුට විරුද්ධව අවි ඔසවා නැති බවත්ය. තවද යම් ලෞකික අරමුණක් සඳහා ප්‍රචාරණ කටයුතුවලද ඔවුන් නිරත වී නැත. ඉතාමත් දැඩි විරුද්ධවාදීකම් හමුවේ පවා ඔවුන් තම ඇදහිල්ල ස්ථිරව නිරූපණය කර ඇත. එසේ කරද්දී ඔවුන් කටයුතු කර ඇත්තේ 1934දී ජර්මනියේ නාට්සි පාලකයන්ට පළ කළ මෙම ප්‍රතිපත්තිවලට එකඟවය. “දේශපාලන කටයුතු ගැන අපට කිසිම උනන්දුවක් නැහැ. අප සම්පූර්ණයෙන්ම කැපවී සිටින්නේ ක්‍රිස්තුස්ගේ රජකම යටතේ පවතින දේවරාජ්‍යටයි. අප කාටවත් හිංසාවක් පීඩාවක් කරන්නේ නැහැ. අපට ලැබෙන සෑම ප්‍රස්තාවකදීම සෑම මනුෂ්‍යයෙකුටම යහපත කරමින් සාමයෙන් ජීවත් වීම අපගේ අවංක ආශාවයි.”

ක්‍රිස්තුස් වෙනුවෙන් පෙනී සිටින තානාපතීහු හා නියෝජිතයෝ

8, 9. අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවන් තානාපතීන් සහ නියෝජිතයන් වන්නේ කවර ආකාරවලින්ද? තවද මෙය ජාතීන් සමඟ ඔවුන්ගේ සබඳතාවලට බලපාන්නේ කෙසේද?

8 පාවුල් තමාවත්, සෙසු ආලේප ලත් ක්‍රිස්තියානීන්වත් විස්තර කළේ “ක්‍රිස්තුස් වෙනුවෙන් තානාපතීන්” ලෙස ක්‍රියා කරන අය වශයෙනි. ඒ හරියටම ‘දෙවි [ආලේප ලත් අය] මාර්ගයෙන් බැගෑපත්ව අයදින්නාක් මෙනි.’ (2 කොරින්ති 5:20, NW; එපීස 6:20) වර්ෂ 1914 පටන් ආත්මයෙන් ආලේප ලත් ක්‍රිස්තියානීන්ව දේවරාජ්‍යයේ තානාපතීන් ලෙස නිවැරදිව හැඳින්විය හැක. ඇත්තෙන්ම ඔවුහු දේවරාජ්‍යයේ “පුත්‍රයෝ” වෙති. (මතෙව් 13:38; පිලිප්පි 3:20; එළිදරව් 5:9, 10) ඒත් සමඟම, යෙහෝවා සියලු ජාතීන්ගෙන් ‘වෙනත් බැටළුවන්’ “මහත් සමූහයක්” එක්රැස් කර ඇති අතර, මොවුහු භූමික බලාපොරොත්තුවක් ඇති ක්‍රිස්තියානීහු වෙති. ඔවුන්ගේ කාර්යය නම් තානාපති කටයුතුවල යෙදී සිටින ආලේප ලත් පුත්‍රයන්ට අත හිත දීමය. (එළිදරව් 7:9; යොහන් 10:16) ‘වෙනත් බැටළුවන්’ මෙලෙස දේවරාජ්‍යයේ ‘නියෝජිතයන්’ ලෙස හැඳින්වීම උචිතය.

9 තානාපතියෙක් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය ඔවුන් සේවය කරන රටේ කටයුතුවලට ඇඟිලි ගසන්නේ නැත. ඒ හා සමානව, මෙලොවෙහි දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් ක්‍රිස්තියානීහු මධ්‍යස්ථව සිටිති. කිසිදු ජාතික, වාර්ගික, සාමාජීය හෝ ආර්ථික කණ්ඩායමකට එරෙහිව හෝ පක්ෂව ඔවුන් කටයුතු කරන්නේද නැත. (ක්‍රියා 10:34, 35) ඒ වෙනුවට ඔවුහු ‘සියල්ලන් කෙරෙහි යහපත’ කරති. (ගලාති 6:10) යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙසේ මධ්‍යස්ථව කටයුතු කරන බැවින්, ඔවුන් යම් ප්‍රතිවාදී වාර්ගික, ජාතික හෝ ගෝත්‍රික පිරිසකට අයත් පිරිසක් කියා පවසමින් ඔවුන්ගේ පණිවිඩය ප්‍රතික්ෂේප කිරීමට කිසිවෙකුට අවංකව නුපුළුවන.

හඳුනාගත හැක්කේ ප්‍රේමයෙනි

10. ක්‍රිස්තියානියෙකුට ප්‍රේමය කොතරම් වැදගත්ද?

10 ඉහත කී දේවලට අමතරව, ලෞකික කාරණා සම්බන්ධයෙන් ක්‍රිස්තියානීන් මධ්‍යස්ථව සිටින්නේ සෙසු ක්‍රිස්තියානීන් සමඟ ඔවුන්ට ඇති සබඳතාව හේතුවෙනි. යේසුස් තම අනුගාමිකයන්ට පැවසුවේ මෙසේය. “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:35, NW) ඇත්තෙන්ම ක්‍රිස්තියානියෙකු වීමට බෙහෙවින් ඉවහල් වන සාධකයකි සහෝදර ප්‍රේමය. (1 යොහන් 3:14) ක්‍රිස්තියානි භක්තිකයෙකු, යෙහෝවා සහ යේසුස් සමඟ පවත්වන කිට්ටු සබඳතාව හේතුවෙන් සෙසු ක්‍රිස්තියානීන් සමඟ පවත්වන සබඳතාවද ඉතා කිට්ටු එකකි. ඔහුගේ ප්‍රේමය ඔහුගේ සභාවේ සිටින අයට පමණක් සීමා වී නැත. එය මුළු ‘සහෝදර’ සංගමය දක්වා ව්‍යාප්ත වේ.—1 පේතෘස් 5:9.

11. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ හැසිරීම එකිනෙකා සඳහා ඔවුන්ට ඇති වන ප්‍රේමයෙන් පෙලඹී ඇත්තේ කෙසේද?

11 අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම සහෝදර ප්‍රේමය නිරූපණය කරන්නේ යෙසායා 2:4හි සඳහන් මතු දැක්වෙන වදන් ඉටු කරමිනි. “ඔවුහු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.” සැබෑ ක්‍රිස්තියානීන් යෙහෝවාගෙන් ඉගෙනුම ලබන බැවින්, ඔවුන් දෙවි සමඟ හා එකිනෙකා සමඟ සිටින්නේ සමාදානයෙනි. (යෙසායා 54:13) ඔවුන් දෙවිට හා තම සහෝදරයන්ට ප්‍රේම කරන නිසා, වෙනත් රටවල සිටින සෙසු ක්‍රිස්තියානීන්ට හෝ වෙනත් කිසිදු කෙනෙකුට විරුද්ධව අවි දැරීම ඔවුන්ට සිතාගත නොහැකි දෙයකි. ඔවුන් අතර පවතින සාමය සහ සමඟිය ඔවුන්ගේ නමස්කාරයේ අත්‍යවශ්‍ය අංගයක් වේ. මෙය ඔවුන් සමඟ දෙවිගේ ආත්මය සැබවින්ම පවතින බවට ප්‍රබල සාක්ෂියකි. (ගීතාවලිය 133:1; මීකා 2:12; මතෙව් 22:37-39; කොලොස්සි 3:14) ‘යෙහෝවාගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසට යොමු වී’ ඇති බව දන්නා ඔවුහු ‘සමාදානය සොයමින් එය’ ලුහුබඳිති.—ගීතාවලිය 34:14, 15.

ක්‍රිස්තියානීන් ලෝකය දෙස බලන අන්දම

12. මෙලොවෙහි සිටින ජනයා සම්බන්ධයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් දරන්නේ යෙහෝවා දරන කවර ආකල්පයද? ඒ කෙසේද?

12 යෙහෝවා සමස්තයක් වශයෙන් මෙලොවට දරුණු විනිශ්චයක් ගෙනෙන බවට ප්‍රකාශ කර ඇතත්, මෙලොවෙහි සිටින සියලුම පුද්ගලයන් සම්බන්ධයෙන් තවමත් විනිශ්චයක් කර නැත. ඔහු එම ක්‍රියාමාර්ගය ගන්නේ නියමිත කාලයේදී හා යේසුස් මාර්ගයෙනි. (ගීතාවලිය 67:3, 4; මතෙව් 25:31-46; 2 පේතෘස් 3:10) ඒ අතරතුරේදී, ඔහු මිනිස්වර්ගයා කෙරෙහි ඉමහත් ප්‍රේමයක් පෙන්වයි. ඔහු සිය ඒකජාතක පුත්‍රයාව පවා දුන්නේ සැමට සදාකාල ජීවනය අත් කරගැනීමේ ප්‍රස්තාව ලබා දීමටය. (යොහන් 3:16) ක්‍රිස්තියානීන් වශයෙන් අපි දෙවිගේ ප්‍රේමය අනුකරණය කරන්නෙමු. අප එසේ කරන්නේ ගැලවීම සඳහා දෙවිගේ විධිවිධානය ගැන අන් අයට දැන්වීමෙනි. අප දරන උත්සාහයට නිතරම යහපත් ප්‍රතිචාරයක් නොලැබුණද අපගේ උත්සාහය අත් නොහරින්නෙමු.

13. අප ලෞකික බලධාරීන් හා පාලකයන් දෙස බැලිය යුත්තේ කෙසේද?

13 අප ලෞකික බලධාරීන් සහ පාලකයන්ව සැලකිය යුත්තේ කෙසේද? මෙම ප්‍රශ්නයට පිළිතුරු සපයමින් පාවුල් මෙසේ ලීවේය. “සෑම කෙනෙකුම උසස් බලධාරීන්ට යටත් වන්න. මන්ද, දෙවිගෙන් මිස වෙන කිසි අධිකාරයක් නැත. දැන් සිටින බලධාරීන්ට හිමි සාපේක්ෂ බලතලවල ඔවුන්ව පිහිටුවා තිබෙන්නේ දෙවිය.” (රෝම 13:1, 2, NW) මිනිසුන්ට අධිකාරය සම්බන්ධයෙන් “සාපේක්ෂ බලතල” හිමි වන්නේ සර්වබලධාරී දෙවිගෙන් ඒ සඳහා අවසර ලැබී ඇති නිසාය. (“සාපේක්ෂ බලතල” යන්නෙන් අදහස් වන්නේ ඔවුන් එකිනෙකාට සාපේක්ෂ ලෙස වැඩියෙන් හෝ අඩුවෙන් බලතල තිබීම සහ ඔවුන් සෑම විටකම යෙහෝවාට වඩා අඩුවෙන් බලතල දැරීම යන්නයි.) ක්‍රිස්තියානියෙකු ලෞකික බලධාරීන්ට යටත් වන්නේ එය යෙහෝවාට ඔහු දක්වන කීකරුකමේ අංගයක් වන බැවිනි. එනමුත්, දෙවි ඉල්ලා සිටින දේ සහ මිනිස් ආණ්ඩු ඉල්ලා සිටින දේ අතර ගැටුමක් ඇති වුවහොත් කුමක් කිව හැකිද?

දෙවිගේ නීතිය සහ සීසර්ගේ නීතිය

14, 15. (අ) කීකරු වීම හා සම්බන්ධ කාරණයේදී යම් ගැටුමක් මඟහරවා ගැනීමට දානියෙල්ට හැකි වූයේ කෙසේද? (ආ) කීකරුවීම හා සම්බන්ධ කාරණයේදී යම් ගැටුමක් මඟහරවා ගත නොහැකි වූ අවස්ථාවකදී හෙබ්‍රෙව් තරුණයන් තිදෙනා ගත් ස්ථාවරය කුමක්ද?

14 මිනිස් ආණ්ඩුවලට යටත් වීම දෙවිගේ අධිකාරයට යටත් වීම සමඟ සමබර කරගන්නා අන්දම පිළිබඳව කදිම ආදර්ශයක් සපයන්නේ දානියෙල් සහ ඔහුගේ මිතුරන් තිදෙනාය. මෙම හෙබ්‍රෙව් තරුණයන් සිව්දෙනා බබිලෝනියේ වහලුන් බවට පත් වූ විට, එම රටේ නීතිවලට කීකරු වූ අතර විශේෂ පුහුණුවක් සඳහා ඔවුන්ව වහා තෝරාගන්නා ලදි. ලැබෙන පුහුණුව යෙහෝවාගේ නීතිය සමඟ ඇතැම්විට ගැටිය හැකියයි තේරුම්ගත් දානියෙල්, පාලක නිලධාරියා සමඟ එම ප්‍රශ්නය සාකච්ඡා කළේය. ප්‍රතිඵලයක් ලෙස මෙම හෙබ්‍රෙව් ජාතිකයන් සිව්දෙනාගේ හෘදය සාක්ෂියට ගරු කෙරෙන විශේෂ විධිවිධාන යොදන ලදි. (දානියෙල් 1:8-17) යෙහෝවාගේ සාක්ෂිකරුවෝද දානියෙල්ගේ ආදර්ශය අනුගමනය කරති. ඔවුන් එසේ කරන්නේ අනවශ්‍ය ගැටලු මඟහරවා ගැනීම සඳහා තම ස්ථාවරය උපායශීලීව පහදා දීමෙනි.

15 කෙසේවෙතත්, පසු අවස්ථාවකදී යටත් විය යුත්තේ කාටද යන්න පිළිබඳව මඟහැරිය නොහැකි ගැටුමක් ඇති විය. බබිලෝනීය රජ දූරා සමභූමියේ දැවැන්ත රූපයක් ඉදි කළේය. එහි සමාරම්භක උත්සවයට උසස් නිලධාරීන් සහභාගි විය යුතු බවටද ඔහුගෙන් නියෝගයක් නිකුත් විය. මෙම නිලධාරීන් පිරිසට සියලුම පළාත්වල පරිපාලකයන්ද ඇතුළත් කර තිබිණ. එම අවස්ථාවේදී දානියෙල්ගේ මිතුරන් තිදෙනා බබිලෝනීය පළාතේ පරිපාලකයන් ලෙස පත් කර තිබුණු බැවින්, මෙම නියෝගය ඔවුන්ටද අදාළ විය. උත්සවයේ එක්තරා අවස්ථාවකදී පැමිණ සිටි සියලුදෙනා රූපය ඉදිරියෙහි වැඳවැටිය යුතු විය. මෙවන් දෙයක් කිරීම දෙවිගේ නීතියට පටහැනි බව මෙම හෙබ්‍රෙව් තරුණයෝ දැන සිටියහ. (ද්විතීය කථාව 5:8-10) එබැවින් අන් සියලුදෙනා වැඳ වැටුණද, ඔවුහු සිටගෙන සිටියෝය. රජුගේ නියෝගයට අකීකරු වූ නිසා, ඉතා කුරිරු මරණයක් විඳීමේ අවදානමට ඔවුන් ලක් විය. ඇත්තෙන්ම ඔවුන්ගේ දිවි ගැලවුණේ ප්‍රාතිහාර්යයක් හේතුකොටගෙනය. කෙසේවෙතත්, යෙහෝවාට අකීකරු වෙනවාට වඩා මරණය විඳීමේ අවදානමට මුහුණ දෙන්නට ඔවුහු තෝරාගත්තෝය.—දානියෙල් 2:49–3:29.

16, 17. දේශනා කිරීම නතර කරන ලෙස නියෝග ලැබූ විට, ප්‍රේරිතයන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ඒ මන්ද?

16 මුල් සියවසේදී යේසුස් ක්‍රිස්තුස්ගේ ප්‍රේරිතයන්ව යෙරුසලමේ යුදෙව් නායකයන් ඉදිරියට කැඳවා යේසුස්ගේ නාමයෙන් දේශනා කිරීම නතර කරන ලෙස ඔවුන්ට නියෝග කෙරිණ. ඔවුන් මීට ප්‍රතික්‍රියා කළේ කෙසේද? යුදාව ඇතුළුව සියලු ජාතීන්ගෙන් ගෝලයන් සෑදීමේ පැවරුම යේසුස් ඔවුන්ට දී තිබුණා නොවේද? යෙරුසලමෙහි මෙන්ම මුළු මහත් ලෝකයෙහිම ඔහුගේ සාක්ෂිකරුවන් වන්නට ඔවුන්ට පවසා තිබුණා නොවේද? (මතෙව් 28:19, 20; ක්‍රියා 1:8) යේසුස් අණ කළ දෙය දේවකැමැත්ත වූ බව මෙම ප්‍රේරිතයෝ දැන සිටියෝය. (යොහන් 5:30; 8:28) එබැවින්, ඔවුන් පැවසුවේ “පාලකයා හැටියට අප කීකරු විය යුත්තේ මිනිසුන්ට වඩා දෙවිටය” යනුවෙනි.—ක්‍රියා 4:19, 20; 5:29, NW.

17 මෙහිදී ප්‍රේරිතයන් කැරලිකාර ස්වභාවයක් පෙන්නුම් කළා නොවේ. (හිතෝපදේශ 24:21) එනමුත්, දේවකැමැත්ත නොකරන ලෙස මිනිස් පාලකයන් අණ කළ විට, ‘පාලකයා හැටියට අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය’ කියා පැවසීමට ඔවුන්ට සිදු විය. අප “සීසර්ගේ දේ සීසර්ටද, දෙවිගේ දේ දෙවිටද” දිය යුතු බව යේසුස් පැවසීය. (මාර්ක් 12:17, NW) මිනිසෙකු කියන පළියට අප දිව්‍ය ආඥාවකට අකීකරු වෙනවා නම්, අප දෙවිට අයිති දෙයක් මිනිසෙකුට දෙනවා නොවේද? අපි සීසර්ට දිය යුතු සෑම දෙයක්ම දෙන අතර, යෙහෝවා සතු පරම අධිකාරයද පිළිගන්නෙමු. විශ්වයේ පරමාධිපති, මැවුම්කරුය. සියලුම අධිකාරයේ උල්පත ඔහුය.—එළිදරව් 4:11.

ස්ථිරව සිටිමු අපි

18, 19. අපගේ සහෝදරයන්ගෙන් බොහොමයක් ගෙන තිබෙන කදිම ස්ථාවරය විස්තර කරන්න. අපට ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කළ හැක්කේ කෙසේද?

18 දැනට ලෞකික ආණ්ඩු බොහොමයක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මධ්‍යස්ථ ස්ථාවරය පිළිගන්නා අතර, එසේ පිළිගැනීම ගැන අපි කෘතඥපූර්වක වන්නෙමු. කෙසේවෙතත්, ඇතැම් රටවල සාක්ෂිකරුවන් දැඩි විරුද්ධවාදීකම්වලට මුහුණ දී ඇත. විසිවන සියවස පුරාම වර්තමානය දක්වා අපගේ සහෝදර සහෝදරියන් සමහරෙකු දැඩි පොර ඇල්ලීමක නිරත වී ඇත්තේ ආත්මික අරුතකිනි. ඔවුන් ‘ඇදහිල්ලේ යහපත් සටනෙහි සටන් කර’ ඇත.—1 තිමෝති 6:12.

19 ඔවුන් හා සමාන ස්ථිරකමකින් අපට සිටිය හැක්කේ කෙසේද? මුලින්ම, අප විරුද්ධවාදීකම් අපේක්ෂාවෙන් සිටිය යුතු බව මතක තබාගැනීම අවශ්‍යය. ඊට මුහුණ දීමට සිදු වන විට, අප කම්පනයට හෝ පුදුමයට පත් නොවිය යුතුය. පාවුල් තිමෝතිට අනතුරු ඇඟවූයේ මෙසේය. “ක්‍රිස්තුස් යේසුස් සම්බන්ධයෙන් දේවභක්තියෙන් යුක්තව ජීවත් වන්න කැමති සියල්ලෝද පීඩා කරනු ලබන්නෝය.” (2 තිමෝති 3:12, NW; 1 පේතෘස් 4:12) සාතන්ගේ බලපෑම ඔඩු දුවන ලොවක අප විරුද්ධවාදීකම්වලට මුහුණ නොදී සිටිය හැකිද? (එළිදරව් 12:16) අප විශ්වාසවන්තව සිටින තාක් කල්, අප ගැන ‘පුදුම වී අපට අපහාස කරන’ පිරිසක්ද සැමවිටම සිටිනවා ඇත.—1 පේතෘස් 4:4.

20. කවර ශක්තිමත් කරවනසුලු සත්‍යයන් සම්බන්ධයෙන්ද අපට සිහිගන්වා ඇත්තේ?

20 දෙවනුව, යෙහෝවා සහ ඔහුගේ දේවදූතයන් අපට සහය දෙන බවට වූ කාරණය අපට ස්ථිරය. පුරාණයේ විසූ එලිෂා පැවසුවාක් මෙන් “ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝය.” (2 රාජාවලිය 6:16; ගීතාවලිය 34:7) සමහරවිට, යම් කලකට විරුද්ධවාදීන්ගෙන් එල්ල වන පීඩන පැවතීමට යෙහෝවා ඉඩ දෙන්නේ යම් හොඳ හේතුවක් නිසා විය හැක. කෙසේවෙතත්, විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය ඔහු අපට නිසැකවම ලබා දෙනු ඇත. (යෙසායා 41:9, 10) සමහරුන්ට තම දිවි පවා පුද කිරීමට සිදුවී ඇතත්, අප ඉන් අධෛර්යයට පත් වන්නේ නැත. යේසුස් මෙසේ පැවසීය. “ශරීරය නසන නමුත් ජීවිතය නැසිය නොහැකි අයට බිය නොවන්න. එහෙත් ජීවිතයද ශරීරයද යන දෙකම ගෙහෙන්නාවෙහි විනාශ කළ හැකි තැනැත්තාට බියව සිටින්න.” (මතෙව් 10:16-23, 28, NW) දැන් පවතින මෙම ක්‍රමයෙහි ජීවත් වන අප ‘විදේශීන්’ නොහොත් තාවකාලික වැසියන් පමණි. මිහිපිට ජීවත් වන තාක් කල් ‘සැබෑ ජීවිතය’ එනම් දෙවිගේ නව ලොවෙහි සදාකාල ජීවිතය ‘තදින් අල්ලාගැනීමට’ යත්න දරමු. (1 පේතෘස් 2:11; 1 තිමෝති 6:19, NW) අප යෙහෝවාට විශ්වාසවන්තව සිටිනවා නම්, එම විපාකය අපගෙන් උදුරාගැනීමට කිසිදු මිනිසෙකුට නුපුළුවන.

21. අප නිතරම සිහියේ තබාගත යුතු දේවල් මොනවාද?

21 එසේනම්, යෙහෝවා දෙවි සමඟ අප භුක්ති විඳින වරප්‍රසාද ලත් සබඳතාව සිහියේ තබාගනිමු. එමෙන්ම ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් වීමේ හා රාජ්‍යයේ යටත්වැසියන් වීමේ ආශීර්වාදයද නිතරම අගය කරමු. අපගේ සහෝදරයන්ට ඉත සිතින් ප්‍රේම කරමු. එමෙන්ම ඔවුන්ගෙන් ලැබෙන ප්‍රේමයෙන් නිරතුරුවම ප්‍රීතියෙන් පිනා යමු. වඩාත් වැදගත් ලෙස ‘යෙහෝවා කෙරෙහි බලා සිටින්න. ශක්තිමත් වන්න, ඔබගේ සිත ධෛර්යවත් වේවා! එසේය, යෙහෝවා කෙරෙහි බලා සිටින්න’ යන ගීතිකාකරුගේ වදන්වලට අවනත වෙමු. (ගීතාවලිය 27:14; යෙසායා 54:17) එවිට, අපට කලින් විසූ අසංඛ්‍යාත ක්‍රිස්තියානීන් මෙන් නිසැක බලාපොරොත්තුවක් ඇතුව ස්ථිරව සිටීමට අප සමත් වනු නියතය. එසේය, අපි ලෝකයේ කොටසක් නොවන විශ්වාසවන්ත වූ මධ්‍යස්ථ ක්‍රිස්තියානීන් වෙමු!

ඔබට පහදා දිය හැකිද?

• යෙහෝවා සමඟ අප භුක්ති විඳින සබඳතාව හේතුවෙන් අප ලෝකයෙන් වෙන් වන්නේ කවර අන්දමකින්ද?

• දේවරාජ්‍යයෙහි යටත්වැසියන් ලෙස, මෙලොවෙහි අප මධ්‍යස්ථ ස්ථාවරයක් පවත්වාගන්නේ කෙසේද?

• අපගේ සහෝදරයන් සඳහා අපට ඇති ප්‍රේමය හේතුවෙන් අප ලෝකය සම්බන්ධයෙන් මධ්‍යස්ථව සහ වෙන් වී සිටින්නේ කවර ආකාරවලින්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

අප දේවරාජ්‍යයට යටත් වන හෙයින්, ලෝකය සමඟ අපගේ සබඳතාවට එය බලපාන්නේ කෙසේද?

[16වන පිටුවේ පින්තූරය]

හුටු ගෝත්‍රිකයෙක් ටුට්සි ගෝත්‍රිකයෙකු සමඟ සතුටින් වැඩ කරයි

[17වන පිටුවේ පින්තූරය]

යුදෙව් හා අරාබි ජාතික ක්‍රිස්තියානි සොහොයුරෝ

[17වන පිටුවේ පින්තූරය]

සර්බියාවේ, බොස්නියාවේ සහ ක්‍රොඒෂියාවේ ක්‍රිස්තියානීහු එකිනෙකාගේ ඇසුර භුක්ති විඳිති

[18වන පිටුවේ පින්තූරය]

දෙවිගේ නීතිය උල්ලංගනය කිරීමට පාලකයන් අපට අණ කරන විට, ගත යුතු නිවැරදි ක්‍රියාමාර්ගය කුමක්ද?