Skip to content

පටුනට යන්න

‘අන්‍යජාතීන් අතරේ ඔබේ හැසිරීම ඔබිනා ලෙස පවත්වාගන්න’

‘අන්‍යජාතීන් අතරේ ඔබේ හැසිරීම ඔබිනා ලෙස පවත්වාගන්න’

‘අන්‍යජාතීන් අතරේ ඔබේ හැසිරීම ඔබිනා ලෙස පවත්වාගන්න’

“සියල්ලන්ටම ගෞරව කරන්න. මුළු සහෝදර සමාගමටම ප්‍රේම කරන්න.”—1 පේතෘස් 2:16, 17.

1, 2. (අ) යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන පුවත් වාර්තාකරුවෙක් දැක්වූ අදහස කුමක්ද? (ආ) යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැසිරීම සම්බන්ධයෙන් උසස් ප්‍රමිතීන් පවත්වාගැනීමට වෑයම් කරන්නේ මන්ද?

වසර කිහිපයකට ඉහතදී අ.එ.ජ. ටෙක්සස්හි ඇමරිලෝ නුවරේ පුවත් වාර්තාකරුවෙක් ප්‍රදේශයේ තිබෙන පල්ලිවලට ගොස් ඒවායින් ඔහු සොයාගත් දේ වාර්තා කළේය. ඉන් එක් කණ්ඩායමක් ඔහුගේ සිත්ගත්තේය. ඔහු මෙසේ පැවසුවේය. “ඇමරිලෝහි මහජන මධ්‍යස්ථානයේ පැවති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික සමුළුවට මා අවුරුදු තුනක් තිස්සේ සහභාගි වුණා. මා ඔවුන් සමඟ ගැවසුණද, ඔවුන්ගෙන් එකදු කෙනෙක් සිගරට්ටුවක් පත්තු කරනවාවත්, බියර් කෑන් එකක් අරිනවාවත්, අසභ්‍ය වචන පාවිච්චි කරනවාවත් දුටුවේ නැහැ. මට මේ දක්වා හමු වී ඇති පිරිසිදුම, හොඳට හැසිරෙන, විනීත ඇඳුම් අඳින, මිත්‍රශීලීම සෙනඟ ඔවුනුයි.” යෙහෝවාගේ සාක්ෂිකරුවන් පිළිබඳව මේ හා සමාන අදහස් බොහෝ අවස්ථාවලදී මුද්‍රණය වී ඇත. සාක්ෂිකරුවන් සිය ඇදහිල්ල නොදරන අයගෙන් බොහෝවිට ප්‍රශංසාව ලබන්නේ මන්ද?

2 සාමාන්‍යයෙන් දෙවිගේ සෙනඟ ප්‍රශංසාව ලබන්නේ ඔවුන්ගේ යහපත් හැසිරීම නිසාය. සමස්තයක් ලෙස ප්‍රමිතීන් පිරිහෙමින් තිබෙන වකවානුවක, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ හැසිරීම සම්බන්ධයෙන් උසස් ප්‍රමිතීන් පවත්වාගැනීම වගකීමක් නැතහොත් ඔවුන්ගේ නමස්කාරයේ අංගයක් ලෙස සලකති. යෙහෝවාත් ඔවුන්ගේ ක්‍රිස්තියානි සහෝදරයනුත් සම්බන්ධයෙන් මිනිසුන් දරන ආකල්පයට ඔවුන්ගේ ක්‍රියා බලපාන බව ඔවුන් හොඳින් දන්නා කරුණකි. තවද ඔවුන්ගේ යහපත් හැසිරීම ඔවුන් දේශනා කරන සත්‍යය පිළිගත හැකි යමක් බවටද තහවුරු කරයි. (යොහන් 15:8; තීතස් 2:7, 8) එසේනම්, අපගේ යහපත් හැසිරීම දිගටම පවත්වාගත හැක්කේ කෙසේද? එසේ කිරීමෙන් යෙහෝවාගේ හා ඔහුගේ සාක්ෂිකරුවන්ගේ කීර්ති නාමය දිගටම රැකගත හැක්කේ කෙසේද? එමෙන්ම, අපම ඉන් ප්‍රයෝජන ලබන්නේ කෙසේද යන කාරණා අපි සොයා බලමු.

ක්‍රිස්තියානි පවුල

3. ක්‍රිස්තියානි පවුල් ආරක්ෂා කරගත යුත්තේ කුමකින්ද?

3 පවුල තුළ අපගේ හැසිරීම සම්බන්ධයෙන් සලකා බලන්න. ගේහාට් බෙසීර් සහ අර්වින් කේ. ෂොයික් විසින් රචිත කෘතියක (Die Neuen Inquisitoren: Religionsfreiheit und Glaubensneid; නව අධර්ම මර්දනාධිකාරයෝ: ආගමික නිදහස හා ආගමික වෛරය) මෙසේ සඳහන් වේ. “[යෙහෝවාගේ සාක්ෂිකරුවන්] සම්බන්ධයෙන් ගත් කල, පවුල යනු විශේෂයෙන්ම ආරක්ෂා කරගත යුතු යමකි.” මේ කියමන සැබෑය. මන්ද පවුලට තර්ජනයක් විය හැකි අනතුරු රාශියක් තිබේ. “මවුපියන්ට අකීකරු” දරුවෝ සහ “ජන්ම ස්නේහය” නොමැති හෝ “ආත්ම දමනයෙන්” [NW] තොර වැඩිහිටියෝ සිටිති. (2 තිමෝති 3:2, 3) කලත්‍රයන් අතර සැහැසියාව, දෙමාපියන් ඔවුන්ගේ දරුවන්ට වාචිකව, ශාරීරිකව හා ලිංගික වශයෙන් අඩන්තේට්ටම් කිරීම නැතහොත් නොසලකා හැරීම, දරුවන් කැරලිගැසීම, මත්ද්‍රව්‍ය පාවිච්චියේ හා ලිංගික දුරාචාරයේ යෙදීම හෝ නිවෙස්වලින් පැන යෑම වැනි දේවල් පවුල්වල සිදු වේ. මේ සෑම දෙයක්ම ‘ලෝකයේ ආත්මයේ’ විනාශකාරී බලපෑමේ ප්‍රතිඵලයකි. (එපීස 2:1, 2) එම ආත්මයෙන් අපගේ පවුල් බේරාගත යුතුය. ඒ කෙසේද? පවුලේ සාමාජිකයන්ට දී තිබෙන යෙහෝවාගේ උපදෙස් හා මඟ පෙන්වීම් පිළිපැදීමෙනි.

4. එකිනෙකා සම්බන්ධයෙන් ක්‍රිස්තියානි පවුලේ සාමාජිකයන්ට ඇති වගකීම් මොනවාද?

4 ක්‍රිස්තියානි යුවළයන් වටහාගන්නා දෙයක් නම්, එකිනෙකාට චිත්තවේගීය, ආත්මික හා කායික වගකීම් තිබෙන බවය. (1 කොරින්ති 7:3-5; එපීස 5:21-23; 1 පේතෘස් 3:7) ක්‍රිස්තියානි දෙමාපියන්ටද ඔවුන්ගේ දරුවන් සම්බන්ධයෙන් බරපතළ වගකීමක් තිබේ. (හිතෝපදේශ 22:6; 2 කොරින්ති 12:14; එපීස 6:4) ක්‍රිස්තියානි දෙමාපියන් යටතේ හැදී වැඩෙන දරුවෝද ඔවුන් උස් මහත් වෙද්දී තමන්ටද වගකීම් තිබෙන බව ඉගෙනගනිති. (හිතෝපදේශ 1:8, 9; 23:22; එපීස 6:1; 1 තිමෝති 5:3, 4, 8) පවුල් වගකීම් ඉටු කිරීම සඳහා වෑයම, කැපවීම මෙන්ම ප්‍රේමණීය හා ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවයක් විදහාපෑමද අවශ්‍ය වේ. පවුලේ සියලු සාමාජිකයන් දෙවි ඉදිරියෙහි ඔවුන්ට ලැබී ඇති වගකීම් ඉටු කරන තරමටම, ඔවුහු එකිනෙකාටද, සභාවටද ආශීර්වාදයක් වෙති. මෙසේ කිරීමෙන් මේ සියල්ලටම වඩා පවුලේ ප්‍රාරම්භකයා වන යෙහෝවා දෙවිට ඔවුහු ගෞරව කරති.—උත්පත්ති 1:27, 28; එපීස 3:15.

ක්‍රිස්තියානි සහෝදරත්වය

5. සෙසු ක්‍රිස්තියානීන් සමඟ ඇසුරු කිරීමෙන් අප නෙළාගන්නා ආශීර්වාද මොනවාද?

5 ක්‍රිස්තියානීන් වශයෙන් අපට සභාවෙහි සිටින සෙසු ඇදහිලිවන්තයන් සම්බන්ධයෙන් වගකීම් ඇත. තවද එම වගකීම “ලෝකයෙහි සිටින . . . සහෝදරයන්” දක්වා විහිදෙයි. (1 පේතෘස් 5:9) සභාව සමඟ ඇති අපගේ සබඳතාව අපගේ ආත්මික සෞඛ්‍යයට අතිවැදගත්ය. සෙසු ක්‍රිස්තියානීන් සමඟ ඇසුරු කරන විට, අප ඔවුන්ගේ දිරිගන්වනසුලු ආශ්‍රය භුක්ති විඳින අතර, “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ලබා දෙන පෝෂ්‍යදායී ආත්මික ආහාරද භුක්ති විඳින්නෙමු. (මතෙව් 24:45-47, NW) ගැටලු පැනනඟින විට, ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති පදනම් කරගත් නිවැරදි උපදෙස් ලබාගැනීමට අපට අපගේ සහෝදරයන් වෙතට යා හැක. (හිතෝපදේශ 17:17; දේශනාකාරයා 4:9; යාකොබ් 5:13-18) අපට අවශ්‍යතාවක් පැනනඟින විට, අපගේ සහෝදරයන්ද අපව අත්හරින්නේ නැත. ඇත්තෙන්ම දෙවිගේ සංවිධානයට අයත්ව සිටීම මොනතරම් ආශීර්වාදයක්ද!

6. වෙනත් ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් අපට වගකීමක් ඇති බව පාවුල් පෙන්නුම් කළේ කෙසේද?

6 කෙසේවෙතත්, අප සභාවෙහි සිටින්නේ යම් දේවල් ලැබීමට පමණක් නොවේ. අපි දීමෙහිද නිරත වන්නෙමු. මීට එකඟව යේසුස් පැවසුවේ මෙසේය. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ.” (ක්‍රියා 20:35, NW) ප්‍රේරිත පාවුල් මතු දැක්වෙන පරිද්දෙන් ලියූ විට දීමේ ස්වභාවයක් ඇතුව සිටීමේ වැදගත්කම උලුප්පා දැක්වීය. “අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශ කිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු. මක්නිසාද පොරොන්දුව දුන් තැනැත්තා විශ්වාසව සිටින්නේය. තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළං වන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාද කරමු.”—හෙබ්‍රෙව් 10:23-25.

7, 8. සභාව තුළත් වෙනත් රටවල හෝ ප්‍රදේශවල සිටින ක්‍රිස්තියානීන්ටත් දීමේ ස්වභාවයක් ඇතුව අප කටයුතු කරන බව පෙන්නුම් කළ හැක්කේ කෙසේද?

7 සභාවෙහි සිටින අප ‘අපගේ බලාපොරොත්තුව ප්‍රකාශ කරන්නේ’ රැස්වීම්වලදී අදහස් ඉදිරිපත් කරන විට හෝ වෙනයම් ආකාරවලින් වැඩසටහනට සහභාගි වන විටදීය. මෙලෙස දායක වන විට, අපගේ සහෝදරයෝ නිරායාසයෙන්ම දිරිගැන්වීමක් ලබති. රැස්වීමට පෙර හා පසුව අපගේ කතා බහෙන්ද ඔවුන්ව දිරිගන්වන්නෙමු. එය දුර්වල අය ශක්තිමත් කළ හැකි, පීඩනයෙන් පෙළෙන අයව සනසාලිය හැකි, අසනීප වූවන්ට සහනයක් දිය හැකි අවස්ථාවක් වේ. (1 තෙසලෝනික 5:14) මෙලෙස දීම සම්බන්ධයෙන් අවංක ක්‍රිස්තියානීහු ත්‍යාගශීලීව කටයුතු කරති. ඇත්තෙන්ම මුලින්ම අපගේ රැස්වීම්වලට පැමිණෙන බොහෝදෙනෙකුගේ සිත්ගන්නේ අප අතර තිබෙන ප්‍රේමය ඔවුන්ට දැනෙන නිසායි.—ගීතාවලිය 37:21; යොහන් 15:12; 1 කොරින්ති 14:25.

8 කෙසේ නමුත්, අපගේ ප්‍රේමය අපගේම සභාවට සීමා වී නැත. එය ලොව පුරා සිටින අපගේ සහෝදර සංගමය දක්වා විහිදෙයි. නිදසුනකට, රාජ්‍ය ශාලාවන් බොහොමයක රාජ්‍ය ශාලා අරමුදල උදෙසා සම්මාදම් පෙට්ටියක් ඇත්තේ එමනිසාය. අපගේ රාජ්‍ය ශාලාව හොඳ තත්වයක තිබෙන්නට පුළුවන. එනමුත් වෙනත් ප්‍රදේශවල සිටින සෙසු ක්‍රිස්තියානීන් දහස් ගණනකට එකට එක්රැස්වීම සඳහා සුදුසු ස්ථානයක් නොමැති බව අපි දනිමු. අප රාජ්‍ය ශාලා අරමුදලට සම්මාදම් වන විට, සමහරවිට අප පෞද්ගලිකව නාඳුනන එවන් පුද්ගලයන් සඳහා අපගේ ප්‍රේමය පෙන්වීමට ප්‍රස්තාවක් ලබන්නෙමු.

9. යෙහෝවාගේ සාක්ෂිකරුවන් එකිනෙකාට ප්‍රේම කිරීමට ඉවහල් වන මූලික හේතුව කුමක්ද?

9 යෙහෝවාගේ සාක්ෂිකරුවන් එකිනෙකාට ප්‍රේම කරන්නේ මන්ද? එසේ කරන මෙන් යේසුස් ඔවුන්ට අණ කළ නිසාවෙනි. (යොහන් 15:17) තවද ඔවුන් එකිනෙකා සඳහා පෙන්වන ප්‍රේමය පුද්ගලයන් හා සමූහයක් වශයෙන් දෙවිගේ ආත්මය ඔවුන් කෙරෙහි ක්‍රියාත්මක වන බවට සාක්ෂියකි. ප්‍රේමය ‘ආත්මයේ ඵලවලින්’ එකකි. (ගලාති 5:22, 23) මේ අනුව, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ජීවත් වන්නේ ‘වැඩිදෙනාගේ ප්‍රේමය පිරිහී’ ඇති ලෝකයක වුවද, ඔවුන් බයිබලය අධ්‍යයනය කරන විට, ක්‍රිස්තියානි රැස්වීම්වලට යන විට, දෙවි ඉදිරියෙහි නිරතුරුව යාච්ඤා කරන විට, එකිනෙකාට ප්‍රේමය දැක්වීමට පෙලඹෙන්නේ නිරායාසයෙනි.—මතෙව් 24:12.

මිනිස් සමාජය තුළ හැසිරීම

10. මිනිස් සමාජය කෙරෙහි අපට ඇත්තේ කවර වගකීමක්ද?

10 “අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශ කිරීම” පිළිබඳව පාවුල් සඳහන් කරන දේ අප සතු තවත් වගකීමක් සිහිගන්වයි. ප්‍රසිද්ධියේ කරන මෙම ප්‍රකාශ කිරීමට අයත් වන දෙයක් නම්, අපගේ ක්‍රිස්තියානි සහෝදරයන් නොවන අයට ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයයි. (මතෙව් 24:14; 28:19, 20; රෝම 10:9, 10, 13-15) මෙලෙස දේශනා කිරීමද දීමේ අමතර ක්‍රියාවකි. එහි නිරත වීමට කාලය, ශ්‍රමය, සූදානම, පුහුණුව හා පෞද්ගලික වත්කම් වැය කිරීමට සිදු වේ. එනමුත් පාවුල් මෙසේද ලීවේය. “ග්‍රීකයන් හා ග්‍රීකයන් නොවන්නන්ටද, ප්‍රඥාවන්තයන් හා අඥානයන්ටද මම ණයගැතිව සිටිමි. එබැවින්, රෝමයේ සිටින ඔබටත් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මට මහත් ඕනෑකමක් තිබේ.” (රෝම 1:14, 15, NW) එසේනම් පාවුල්ව අනුකරණය කරමින්, මෙම “ණය” ගෙවා දැමීමේදී අපිද නොමසුරුව ක්‍රියා කිරීමට අදිටන් කරගනිමු.

11. ලෝකය සමඟ අප පවත්වන සබඳතාවට බලපාන ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති දෙක මොනවාද? එනමුත් අප පිළිගන්නේ කුමක්ද?

11 සෙසු ඇදහිලිවන්තයන් නොවන අය කෙරෙහි අපට තවත් වගකීම් ඇද්ද? නිසැකවම. “මුළු ලෝකයා නපුරා තුළ බව” අප පිළිගන්නවාට සැකයක් නැත. (1 යොහන් 5:19) “මා ලෝකයට අයත් නොවන්නා සේම ඔවුහුද ලෝකයට අයත් නොවෙති” යන්න යේසුස් තම ගෝලයන් සම්බන්ධයෙන් පැවසූ බවත් අපි දනිමු. එනමුත්, අප තවමත් ජීවත් වෙන්නේ ලෝකයේය. අප අපේ ජීවිකාව ගෙන යන්නේද ඒ තුළය. එමෙන්ම අපි එයින් සැපයෙන සේවාවන්ගෙන් ප්‍රයෝජන ලබමු. (යොහන් 17:11, 15, 16, NW) එමනිසා මිනිස් සමාජයට අප යම් ආකාරයකින් බැඳී සිටින බව කිව හැක. මෙම බැඳීම් කෙලෙස විස්තර කළ හැකිද? ප්‍රේරිත පේතෘස් එම ප්‍රශ්නයට පිළිතුරු සැපයීය. යෙරුසලමේ විනාශයට කෙටි කලකට පෙර ඔහු කුඩා ආසියාවේ විසූ ක්‍රිස්තියානීන්ට ලිපියක් ලියූ අතර, ලෝකය සමඟ සමබර සබඳතාවක් පවත්වාගැනීමට එම ලිපියෙහි කොටසක් අපට උපකාරවත් වේ.

12. ක්‍රිස්තියානීන් ‘ආගන්තුකයන් හා විදේශීන්’ වන්නේ කවර අරුතකින්ද? එමනිසා ඔවුන් වැලකී සිටිය යුතු දේවල් මොනවාද?

12 පේතෘස් මුලින්ම පැවසුවේ මෙවන් දෙයකි. “ප්‍රේමවන්තයෙනි, නුඹලා ආගන්තුකයන්ද විදේශීන්ද මෙන්, ආත්මයට විරුද්ධව යුද්ධ කරන මාංසික තෘෂ්ණාවලින් වැලකී සිටින ලෙස නුඹලාගෙන් ඉල්ලමි.” (1 පේතෘස් 2:11) සැබෑ ක්‍රිස්තියානීන් ‘ආගන්තුකයන් හා විදේශීන්’ වන්නේ ආත්මික අරුතකිනි. ඉන් අදහස් වන්නේ ඔවුන්ගේ ජීවිතය සැබවින්ම යොමු වී ඇත්තේ සදාකාල ජීවනය නමැති බලාපොරොත්තු වෙතට බවය. ආත්මයෙන් ආලේප ලත් අයට නම් එය ස්වර්ගික ජීවිතයක් වන අතර, ‘වෙනත් බැටළුවන්ට’ එය අනාගතයේදී උදා වන භූමික පාරාදීසයක ජීවත් වීම අදහස් කරයි. (යොහන් 10:16; පිලිප්පි 3:20, 21; හෙබ්‍රෙව් 11:13; එළිදරව් 7:9, 14-17) කෙසේවෙතත්, මාංසික තෘෂ්ණා කීමෙන් අදහස් වන්නේ කුමක්ද? පොහොසත් වීමට ආශාව, ප්‍රසිද්ධත්වය ඉසිලීමට ආශාව, දුරාචාරමය ලිංගික තෘෂ්ණා සහ “ඊර්ෂ්‍යාව” හා “තණ්හාව” ලෙස විස්තර කර ඇති තෘෂ්ණා වැනි දේවල් මීට ඇතුළත් වේ.—කොලොස්සි 3:5; 1 තිමෝති 6:4, 9; 1 යොහන් 2:15, 16.

13. මාංසික තෘෂ්ණා ‘අපගේ ආත්මයට විරුද්ධව යුද්ධ කරන්නේ’ කෙලෙසද?

13 ඇත්තෙන්ම එවැනි තෘෂ්ණා ‘අපගේ ආත්මයට විරුද්ධව සැබවින්ම යුද්ධ කරයි.’ එමගින් දෙවි සමඟ තිබෙන අපගේ සබඳතාව ඛාදනයට ලක් වන අතර, ප්‍රතිඵලයක් ලෙස අපගේ ක්‍රිස්තියානි බලාපොරොත්තුව (අපගේ “ආත්මය” නොහොත් ජීවිතය) අවදානමට ලක් වේ. නිදසුනකට, අප දුරාචාරමය දේවල් සම්බන්ධයෙන් ඕනෑවට වඩා සිත යොමු කරනවා නම්, “ජීවමාන වූද, ශුද්ධ වූද, දෙවිට පිළිගත හැකි වූද පූජාවක් ලෙස” අපගේ ශරීර ඔප්පු කළ හැකි වන්නේ කෙසේද? අප ද්‍රව්‍යවාදයේ උගුලට හසු වෙනවා නම්, ‘පළමුකොට රාජ්‍යය සොයමින් සිටින්නට’ හැක්කේ කෙසේද? (රෝම 12:1, 2; මතෙව් 6:33; NW; 1 තිමෝති 6:17-19) ඇත්තෙන්ම අනුගමනය කළ හැකි හොඳම ආදර්ශය මෝසෙස්ය. අපිද මෝසෙස් මෙන් ලෝකයෙන් ඉදිරිපත් වන පෙලඹවීම්වලට පිටු පා, යෙහෝවාගේ සේවය අපගේ ජීවිතයේ මුල් තැනට තබමු. (මතෙව් 6:19, 20; හෙබ්‍රෙව් 11:24-26) ලෝකය සමඟ සමබර සබඳතාවක් පවත්වාගැනීමට මෙය ඉතා වැදගත් සාධකයක් වේ.

‘හැසිරීම ඔබින ලෙස පවත්වන්න’

14. ක්‍රිස්තියානීන් ලෙස අප ඔබින ආකාරයකින් හැසිරීම පවත්වාගැනීමට උත්සාහ දරන්නේ මන්ද?

14 පේතෘස්ගේ ඊළඟ වදන්වල තවත් වටිනා මඟ පෙන්වීමක් අන්තර්ගතය. “නුඹලා නපුර කරන්නෝයයි අන්‍යජාතීන් නුඹලාට විරුද්ධව කතා කරන නමුත්, ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක, විභාග කිරීමේ දවසේදී දෙවිට ගෞරව කරන පිණිස, ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබින ලෙස පවත්වන්න.” (1 පේතෘස් 2:12) ක්‍රිස්තියානීන් වශයෙන් අප උත්සාහ දරන්නේ ආදර්ශවත් අය වීමටය. පාසැලේදී අපි වෙහෙස මහන්සිය නොබලා පාඩම් කරමු. අපගේ රැකියා ස්ථානයේදී අපගේ ස්වාමියා අසාධාරණ ආකාරයකින් කටයුතු කළත් අපි කඩිසරව හා අවංකව වැඩ කරමු. ආගමික වශයෙන් බෙදුණු පවුලක ඇදහිලිවන්ත පුරුෂයා හෝ භාර්යාව ක්‍රිස්තියානි ප්‍රතිපත්ති අනුගමනය කිරීමට දරන්නේ විශේෂ වෑයමකි. එවන් යමක් කිරීම හැමවිටම පහසු දෙයක් නොවේ. එනමුත් අපගේ ආදර්ශවත් හැසිරීම යෙහෝවාව සතුටු කරන බවත්, නිතරම පාහේ සාක්ෂිකරුවන් නොවන අය තුළ අප ගැන හොඳ හැඟීමක් ඇති කරන බවත් අපි දනිමු.—1 පේතෘස් 2:18-20; 3:1, 2.

15. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ හැසිරීමේ උසස්බව ලොව පුරා ප්‍රසිද්ධ වී ඇති බව අප දන්නේ කෙසේද?

15 යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙකු ආදර්ශවත් ප්‍රමිති රැකගැනීමට සමත් වී ඇත. මෙවැන්නක් පෙනී යන්නේ ඔවුන් සම්බන්ධයෙන් කලක් තිස්සේ පළ වී ඇති අදහස් දෙස බලන විටය. නිදසුනකට ඉතාලියෙහි ඉල් ටෙම්පෝ නමැති පුවත්පතෙහි මෙසේ වාර්තා විය. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් වැඩට ගන්නා උදවිය ඔවුන්ව විස්තර කරන්නේ අවංක සේවකයන් ලෙසය. ඔවුන් සිය ඇදහිල්ලෙහි කොතරම් ස්ථිරව සිටිනවාද කිවහොත් ඉන් ඔබ්බට වැදගත්කමකින් යුත් කිසිවක් ඔවුන්ට නැත. කෙසේවෙතත්, අඛණ්ඩව සදාචාර ප්‍රමිති රැකීම හේතුවෙන් ඔවුන් සැමගේ ගෞරවයට පාත්‍ර වී ඇත.” ආජෙන්ටිනාවේ බුනොස් ආරීස්හි හෙරල්ඩ් නමැති පුවත්පතෙන් මෙවැන්නක් සැල විය. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් සෑහෙන කාලයක් පුරා ඔප්පු කර ඇති දෙයක් නම්, ඔවුන් වෙහෙස මහන්සි නොබලා වැඩ කරන, හොඳ සිහියෙන් කටයුතු කරන, අරපිරිමැස්මෙන් වැඩ කරන, දේවභයැති පුරවැසියන් බවයි.” රුසියානු විශාරද සිර්ජියේ ඉවාන්යෙන්කෝ මෙසේ පැවසීය. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලොව පුරාම නම් දරන්නේ නීතියට එකඟව කටයුතු කරන, බදු ගෙවීම සම්බන්ධයෙන් ඉතා නිර්දෝෂ ස්ථාවරයක් දරන පිරිසක් ලෙසය.” යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් සමුළුවක් පැවැත්වීම සඳහා භාවිත කරන ලද සංකීර්ණයක කළමනාකාර මහතා පැවසුවේ මෙසේය. “සමහර සාක්ෂිකරුවන් කොළ කෑලි ඇහිඳින ආකාරයද, වැසිකිළි පිරිසිදු කරන ආකාරයද මගේම ඇස්වලින් දුටුවා. භාවිත කළ භූමිය අපට භාර දෙන්නේ පෙරටත් වඩා පිරිසිදු තත්වයකිනුයි. ඔබේ යෞවනයන්ට හරි හොඳ ප්‍රතිපත්ති තියෙනවා. මුළු ලෝකයම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් පිරිලා හිටියා නම් කොච්චර හොඳද!”

ක්‍රිස්තියානි යටත්කම

16. ලෞකික බලධාරීන් සමඟ ඇති අපගේ සබඳතාව කුමක්ද? ඒ මන්ද?

16 පේතෘස් ලෞකික බලධාරීන් සමඟ ඇති අපගේ සබඳතාව ගැනද අදහස් දක්වයි. ඔහු පවසන්නේ මෙසේය. “උත්තමයාව සිටින රජුට වේවා, නපුර කරන්නන්ට දඬුවම පිණිසත් යහපත කරන්නන්ට ප්‍රශංසාව පිණිසත් රජු විසින් එවන ලද්දාවූ ආණ්ඩුකාරයන්ට වේවා, සියලු මනුෂ්‍ය නියෝගවලට ස්වාමීන් නිසා යටත්වන්න. මක්නිසාද මෙසේ නුඹලා යහපත කිරීමෙන් අනුවණ මනුෂ්‍යයන්ගේ අඥානකම නිශ්ශබ්ද කිරීම දෙවිගේ කැමැත්තය.” (1 පේතෘස් 2:13-15) ඇත්තෙන්ම නීතිය හා විනය රැකීමට උත්සාහ කරන ආණ්ඩුක්‍රමයකින් ලැබෙන ප්‍රයෝජන අපි අගය කරමු. තවද පේතෘස්ගේ වදන්වල මඟ පෙන්වීමට අවනත වෙමින් ආණ්ඩුවේ නීතිවලට කීකරු වී අපගේ බදුද ගෙවන්නෙමු. නීතිය කඩ කරන අය පිට දඬුවම් පැමිණවීමට ආණ්ඩුවට දෙවිගෙන් අයිතියක් ලැබී ඇති බව අප පිළිගත්තද, ලෞකික බලධාරීන්ට අප ප්‍රධාන වශයෙන් යටත් වන්නේ ‘ස්වාමීන් නිසාය.’ එය දේවකැමැත්තය. තවද, යම් වරදක් කර, දඬුවම් ලබා යෙහෝවාගේ නාමය අපකීර්තියට ලක් කිරීම අපගේ කැමැත්ත නොවේ.—රෝම 13:1, 4-7; තීතස් 3:1; 1 පේතෘස් 3:17.

17. “අනුවණ මනුෂ්‍යයන්” අපට විරුද්ධව නැඟී සිටින විට, අපට නිසැක විය හැක්කේ කුමක් සම්බන්ධයෙන්ද?

17 අභාග්‍යයකට මෙන් යම් අධිකාරයක් හොබවන ඇතැම් ‘අනුවණ මනුෂ්‍යයෝ’ අපට පීඩා කරමින් හෝ වෙනත් ආකාරවලින් අපට එරෙහිව විරුද්ධවාදීකම් එල්ල කරති. නිදසුනකට, අපට විරුද්ධව මඩ ගැසීමේ ව්‍යාපාර ඔවුන්ගේ මෙහෙයවීම යටතේ සිදු කෙරේ. කෙසේවෙතත්, යෙහෝවාගේ නියමිත කාලයේදී ඔවුන් ගොතන බොරු හෙළි වනු ඇත. ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ ‘අඥාන’ කටවල් මැනවින් වැසී යයි. අපගේ ක්‍රිස්තියානි හැසිරීමෙන් පමණක් මෙම බොරු නිෂ්ප්‍රභ කළ හැක. රජයේ අවංක නිලධාරීන් යහපත කිරීම සම්බන්ධයෙන් අපව නිතරම පාහේ පැසසුමට ලක් කරන්නේ එමනිසාය.—රෝම 13:3; තීතස් 2:7, 8.

දෙවිගේ දාසයෝ

18. ක්‍රිස්තියානීන් වශයෙන් අපගේ නිදහස නොමනා ලෙස භාවිත කිරීමෙන් වැලකී සිටිය හැක්කේ කවර ආකාරවලින්ද?

18 ඊළඟට පේතෘස් අනතුරු අඟවන්නේ මෙසේය. “නුඹලා නිදහස් අය නමුත්, ඒ නිදහස නපුරට වැස්මක් කොට නොව දෙවිගේ දාසයන් මෙන් ව්‍යවහාර කරන්න.” (1 පේතෘස් 2:16; ගලාති 5:13) අපට බයිබල් සත්‍යය පිළිබඳ දැනුමක් ඇති නිසා අපි බොරු ආගමික ඉගැන්වීම්වලින් නිදහස් වී සිටිමු. (යොහන් 8:32) මීට අමතරව අපට නිදහස් කැමැත්තක් තිබෙන නිසා, අපට තේරීම් කළ හැකිය. කෙසේ නමුත්, අපගේ නිදහස වැරදි විදිහට අප භාවිත කරන්නේ නැත. එමනිසා, ඇසුර, ඇඳුම් පැළඳුම්, පෙනුම, විනෝදාස්වාදය, ආහාර පාන ගැන පවා තේරීම් කරද්දී, සැබෑ ක්‍රිස්තියානීන් තමන්ව සතුටු කර නොගනිමින් දෙවිගේ දාසයන් ලෙස කටයුතු කරන බව අපි මතක තබාගනිමු. අපගේ මාංසික තෘෂ්ණා හෝ ලෝකයේ විලාසිතා, නවීන මෝස්තර හා අරුමෝසම්වලට වහල් වනවා වෙනුවට අපගේ තේරීම වන්නේ යෙහෝවාට සේවය කිරීමයි.—ගලාති 5:24; 2 තිමෝති 2:22; තීතස් 2:11, 12.

19-21. (අ) ලෞකික බලධාරීන් ලෙස යම් නිලතල දරන අය දෙස අප බලන්නේ කෙසේද? (ආ) සමහරුන් මුළු ‘සහෝදර සමාගමට ප්‍රේමය’ දක්වා ඇත්තේ කෙසේද? (ඇ) අප සතු වැදගත්ම වගකීම කුමක්ද?

19 පේතෘස් තවදුරටත් මෙසේ පවසයි. “සියල්ලන්ටම ගෞරව කරන්න. සහෝදර සමාගමට ප්‍රේම කරන්න. දෙවිට භය වන්න. රජ්ජුරුවන්ට ගෞරව කරන්න.” (1 පේතෘස් 2:16, 17) මිනිසාට අධිකාරය හෙබවීම සම්බන්ධයෙන් විවිධාකාර තනතුරු දැරීමට යෙහෝවා දෙවි අවසර දී ඇති නිසා අපි එම මනුෂ්‍යයන්ට දිය යුතු ගෞරවය දෙන්නෙමු. අපට ඔවුන් උදෙසා යාච්ඤා කරන්නට පවා පුළුවන. එසේ කරන්නේ අපගේ සේවය සාමයෙන් සහ දේවභක්තියෙන් යුතුව කරගෙන යෑමට ඉඩ ප්‍රස්තාව ලබා දෙන මෙන් ඉල්ලීමටය. (1 තිමෝති 2:1-4) කෙසේවෙතත්, ඒ අතරතුරේදී අපි මුළු ‘සහෝදර සමාගමට ප්‍රේම කරන්නෙමු.’ අපගේ ක්‍රිස්තියානි සහෝදරයන්ගේ හානිය උදෙසා නොව නමුත් යහපත උදෙසා නිතරම වෙහෙස වන්නෙමු.

20 නිදසුනකට, එක් අප්‍රිකානු රටක් වාර්ගික ප්‍රචණ්ඩකාරිත්වයෙන් දෙදරුම් කෑ විට, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි හැසිරීම කැපීපෙනිණ. ස්විට්සර්ලන්තයේ පුවත්පතක් වන රේෆෝර්මිර්ටෙ ප්‍රෙස්සේහි මෙසේ වාර්තා විය. “වර්ෂ 1995දී යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැර සියලුම පල්ලි [මෙම ගැටුමට] සහභාගි වූ බව ඔප්පු කිරීමට අප්‍රිකානු අයිතිවාසිකම් සංවිධානයට හැකි විය.” මෙම ඛේදනීය සිදුවීම් පිළිබඳ පුවත බාහිර ලෝකයට ලැබුණු විට, යුරෝපයේ විසූ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ විගස ක්‍රියාත්මක වී, තම සහෝදරයන් සහ එම රටෙහි විසූ වෙනත් උදවිය සඳහා ආහාර පාන හා ඖෂධ සහනාධාර වශයෙන් එවූහ. (ගලාති 6:10) ඔවුන් අවනත වූයේ හිතෝපදේශ 3:27හි වදන්වලටය. “කරුණාව [යහපත, NW] පෙන්වන්ට නුඹේ අතෙහි බලය තිබියදී, ඕනෑ කරන අයගෙන් එය වලක්වා නොගන්න.”

21 කෙසේවෙතත්, කිසිදු ලෞකික බලධාරියෙකුට සහ අපගේ සහෝදරයන්ට පවා දිය යුතු ගෞරවයට වඩා වැදගත් වගකීමක් තිබේ. එය කුමක්ද? පේතෘස් මෙසේ පැවසීය. “දෙවිට භය වන්න.” කිසිදු මිනිසෙකුට වඩා අප වගකීමෙන් බැඳී ඇත්තේ යෙහෝවාටය. අප සම්බන්ධයෙන් එවන් යමක් සැබෑ වන්නේ කෙසේද? තවද දෙවි ඉදිරියෙහි අපට තිබෙන වගකීම් සහ ලෞකික බලධාරීන් ඉදිරියෙහි අපට ඇති වගකීම සමබරව ඉටු කළ හැක්කේ කෙසේද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු මීළඟ ලිපියෙන් ලැබේ.

ඔබට මතකද?

• පවුල් කවය තුළ ක්‍රිස්තියානීන් සතු වගකීම් මොනවාද?

• අපට සභාව තුළ දීමේ ආකල්පයක් විදහාපෙන්විය හැක්කේ කෙසේද?

• මිනිස් සමාජය ඉදිරියෙහි අපට ඇති වගකීම් කවරේද?

• අපගේ හැසිරීම ඉහළ ප්‍රමිතියකට අනුව පවත්වාගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන සමහරක් මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි පවුල් ජීවිතය ඉමහත් ප්‍රීතියට හේතුවක් විය හැක්කේ කෙසේද?

[10වන පිටුවේ පින්තූර]

යෙහෝවාගේ සාක්ෂිකරුවන් එකිනෙකාට ප්‍රේම කරන්නේ මන්ද?

[10වන පිටුවේ පින්තූර]

අපගේ සහෝදරයන් පෞද්ගලිකව එකිනෙකාව හඳුනන්නේ නැතත්, අපට ඔවුන් සඳහා ප්‍රේමය පෙන්නුම් කළ හැකිද?