Skip to content

පටුනට යන්න

අපි අපේ පැවරුම අත්හැරියේ නැහැ

අපි අපේ පැවරුම අත්හැරියේ නැහැ

ජීවිත කතාව

අපි අපේ පැවරුම අත්හැරියේ නැහැ

පැවසුවේ හර්මාන් බෘඩ

මා ඉදිරියේ තිබුණේ සරල තේරීමක්. එක්කෝ ප්‍රංශ විදේශ හමුදාවේ අවුරුදු පහක් සේවය කරන්න නැත්නම් මොරොක්කෝවේ සිර දඬුවමක් විඳින්න. මට මෙවැනි තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ ඇයි කියා මම දැන් ඔබට කියන්නම්.

මම ඉපදුණේ 1911, ජර්මනියේ ඕපනෞවලදීයි. ඒ පළමුවෙනි ලෝක යුද්ධය පටන්ගන්න අවුරුදු තුනකට කලිනුයි. ජෝසෙෆ් හා ෆ්‍රීඩා බෘඩ වන මගේ දෙමව්පියන්ට ළමයි 17දෙනෙක් සිටියා. මම 13වෙනියා.

මගේ මතකයන් අතර රැඳී ඇති මුල්ම දේ වන්නේ හමුදාවේ තූර්ය වාදන කණ්ඩායමක් අපේ ගමේ ප්‍රධාන පාරේ ගමන් කිරීමයි. එම කණ්ඩායම වාදනය කරමින් සිටි උද්‍යෝගිමත් සංගීතයට හිත ඇදී ගිය නිසා මම දුම්රිය ස්ථානය දක්වාම එය පිටුපසින් ගමන් කළා. එතැනදී මම දැක්කා මගේ තාත්තායි හමුදා නිල ඇඳුම්වලින් සැරසුණු වෙනත් අයයි දුම්රියට නඟිනවා. දුම්රිය ඉදිරියට ඇදෙද්දී වේදිකාවේ සිටි සමහර කාන්තාවන් කඳුළු සලන්න පටන්ගත්තා. ඉන් ටික කලකට පස්සේ අපේ පූජකයා පල්ලියේ දීර්ඝ දේශනයක් පැවැත්වුවා. ඉන්පසුව මව්බිම වෙනුවෙන් දිවි පිදූ පුරුෂයන් හතරදෙනෙකුගේ නම් සඳහන් කරමින් ඔහු පැහැදිලි කළේ “ඔවුන් දැන් සිටින්නේ ස්වර්ගයේ” කියලයි. මා ළඟ සිටගෙන සිටි කාන්තාවක් කලන්තේ දැම්මා.

රුසියාවේ යුද පෙරමුණේ සටන් කරද්දී තාත්තාට ටයිෆොයිඩ් උණ හැදුණා. ගෙදර එන විට ඔහු සෑහෙන්න දුර්වල තත්වයකයි සිටියේ. ඔහුව පුළුවන් ඉක්මනටම ගමේ රෝහලට ඇතුල් කළා. “සොහොන් පිටිය ළඟ තියෙන පල්ලිය ගාවට ගිහින් පරමණ්ඩල යාච්ඤාව පනස් වතාවක් හා නමෝ මරිය යාච්ඤාව පනස් වතාවක් කියන්න. එතකොට ඔයාගේ තාත්තා සනීප වෙයි” කියලයි පූජකයා මට කිව්වේ. මම ඔහු කියපු විදිහටම කළත් තාත්තා පහුවදා මැරුණා. ඇත්තෙන්ම යුද්ධය නිසා කුඩා දරුවන්ට පවා සෑහෙන දුක් විඳින්න සිදු වුණා.

මට සත්‍යය ලැබුණු හැටි

ලෝක යුද්ධ දෙක අතරතුර කාලයේදී රැකියාවක් සොයාගන්න එක පහසු දෙයක් වුණේ නැහැ. නමුත් 1928දී පාසැලෙන් අස් වුණාට පස්සේ, ස්විට්සර්ලන්තයේ බේසල්හි උද්‍යාන සේවකයෙක් හැටියට මට රැකියාවක් ලැබුණා.

ඒ කාලේ මමත් තාත්තා වගේම කතෝලික පල්ලියේ කණුවක්. මගේ එකම ඉලක්කය වුණේ ඉන්දියාවට ගිහින් එහි කැපුචින් නිකායේ පැවිද්දෙක් හැටියට සේවය කරන්නයි. ඒ වෙද්දී මගේ මල්ලි රිචඩ් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වෙලයි හිටියේ. පැවිද්දෙක් වෙන්න තිබුණ මගේ ආශාව ගැන දැනගත් ඔහු මගේ මනස වෙනස් කිරීමේ අදහසින් මාව බලන්න ස්විට්සර්ලන්තයටම ආවා. මිනිසුන්ව, විශේෂයෙන්ම පූජකයන්ව විශ්වාස කිරීමේ අන්තරාව ගැන ඔහු මට අනතුරු ඇඟෙව්වා. ඔහු මට දිරිගැන්වූයේ බයිබලය කියවන්න හා එය පමණක්ම විශ්වාස කරන්න කියායි. ඔහු කියපු දේ ගැන මට සැකයක් තිබුණත් මම නව ගිවිසුමේ පිටපතක් මිල දී අරං කියවන්න පටන්ගත්තා. ටිකෙන් ටික මට තේරුණා මම විශ්වාස කරන ගොඩක් දේවල් බයිබලයේ ඉගැන්වීම්වලට එකඟ නොවන බව.

වර්ෂ 1933 එක් ඉරු දිනකදී රිචඩ් ඔහුගේ නිවසේදී මට එක්තරා යුවළක් හඳුන්වලා දුන්නා. ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්. මම බයිබලය කියවන බව දැනගත් විට ඔවුන් මට අර්බුදය (The Crisis) * නම් වූ පොත්පිංචය දුන්නා. එදා මං ඒ පොත්පිංචය කියවලා ඉවර වෙනකොට රෑ 12ට කිට්ටු වෙන්න ඇති. මට සත්‍යය සම්බ වුණා කියන එක ගැන මට කිසිම සැකයක් තිබුණේ නැහැ!

බේසල්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන් ශුද්ධ ලියවිලිවල අධ්‍යයනය * නම් ප්‍රකාශනයේ වෙළුම් දෙකක්, සඟරා හා වෙනත් පොත් පත් මට ලබා දුන්නා. කියවපු තොරතුරු ටික මගේ සිතට තදින්ම කාවැදුණා. ඒ නිසා මං අපේ පූජකයා ගාවට ගිහින් කිව්වා පවුල් පොතෙන් මගේ නම අයින් කරන්න කියලා. පූජකයාට මාත් එක්ක හොඳටම කේන්ති ගිහිල්ලා මට කිව්වා මගේ ඇදහිල්ල නැති වේවි කියලා. හැබැයි වුණේ නම් ඒකේ අනිත් පැත්තයි. ජීවිතේ පළමුවෙනි වතාවට මම සැබෑ ඇදහිල්ලක් වර්ධනය කරගන්න උත්සුක වුණා.

ඒ සති අන්තයේදී බේසල්හි සහෝදරයන් සැලසුම් කර තිබුණා දේශනා කිරීම සඳහා අපේ දේශ සීමාවෙන් එපිට පිහිටි ප්‍රංශයට යන්න. මම සභාව එක්ක ආශ්‍රය කරන්න පටන්ගත්තේ ළඟකදී හින්දයි ඒකට ආරාධනයක් නොලැබුණේ කියා එක සහෝදරයෙක් ඉතා කාරුණිකව මට පැහැදිලි කළා. මම අධෛර්යයට පත් වුණේ නැහැ. මම කිව්වා දේශනා සේවයේ හවුල් වෙන්න මමත් කැමතියි කියා. තවත් වැඩිමහල්ලෙක් එක්ක ඒ ගැන කතා කළාට පසුව ඔහු මට ස්විට්සර්ලන්තයේ එක්තරා බලප්‍රදේශයක් පැවරුවා. ඉරිදා උදෙන්ම මම බයිසිකලේ නැඟලා බේසල් අසල තිබෙන කුඩා ගමක් දක්වා ගමන් කළා. පොත් 4කුයි, සඟරා 28කුයි විවරණිකා 20කුයි මගේ බෑග් එකේ තිබුණා. මම එතැනට යද්දී ගමේ වැඩි පිරිසක් පල්ලි ගිහින් තිබුණා. හැබැයි උදේ 11 වෙද්දී මගේ බෑග් එකේ එක ප්‍රකාශනයක්වත් ඉතිරි වෙලා තිබුණේ නැහැ.

මට බව්තීස්ම වෙන්න ඕනේ කියා සහෝදරයන්ට කිව්වාම ඔවුන් මාත් එක්ක ඒ ගැන බැරෑරුම් ලෙස සාකච්ඡා කළා. සත්‍යය පිළිබඳව සිත විමසන ප්‍රශ්න ඔවුන් මගෙන් ඇහුවා. යෙහෝවාට හා ඔහුගේ සංවිධානයට දැක්වූ පක්ෂපාතකමත් ඔවුන් තුළ තිබුණු ජ්වලිතයත් මා තුළ ලොකු පෙලඹීමක් ඇති කළා. මම බව්තීස්ම වුණේ ශීත කාලයේදී. ඒ හින්දා මාව බව්තීස්ම කළේ වැඩිමහල්ලෙකුගේ නිවසේ නාන කාමරේ තිබුණ තටාකයකයි. ඒ වෙලාවේ මට දැනුණ ප්‍රීතිය හා ඇතුළාන්ත ශක්තිය වචනවලින් විස්තර කරන්න බැහැ. එය සිදු වුණේ 1934දී.

බෙතෙල් ගොවිපොළේ

මට 1936දී ආරංචි වුණා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ස්විට්සර්ලන්තයේ ඉඩමක් මිල දී ගෙන තිබුණා කියා. ඉතිං එතැන උද්‍යාන සේවකයෙක් හැටියට වැඩ කරන්න මං ඉදිරිපත් වුණා. බර්න් සිට කිලෝමීටර් 30ක් ඈතින් පිහිටි ෂ්ටෙෆිස්බර්ග්හි බෙතෙල් ගොවිපළේ වැඩ කරන්න මට ආරාධනයක් ලැබීම මොනතරම් ප්‍රීතියක්ද! පුළුවන් සෑම අවස්ථාවකදීම ගොවිපොළේ අනිත් අයගේ වැඩවලටත් මං උදව් කළා. බෙතෙල්හිදී මම ඉගෙනගත්ත දෙයක් තමයි සහයෝගයෙන් වැඩ කිරීමේ වැදගත්කම.

මගේ බෙතෙල් සේවයේ විශේෂ අවස්ථාවක් වුණේ ගොවිපොළට 1936දී සහෝදර රදෆඩ්ගේ පැමිණීම. අපේ තක්කාලි ගෙඩිවල ප්‍රමාණය හා සරුවට වැඩෙන වගාවන් දැක්කාම ඔහු ගොඩක් සතුටු වුණා. ඔහු මොනතරම් හිතවත් සහෝදරයෙක්ද!

ගොවිපොළේ අවුරුදු තුනක් වැඩ කළ පසු, දවසක් උදේ කෑම කන වෙලාවේ එක්සත් ජනපදයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයේ සිට පැමිණි ලිපියක් බෙතෙල් පවුලට කියෙව්වා. දේශනා වැඩයේ හදිසිතාව කාවද්දලා තිබුණ එම ලිපියේ විදේශ රටක පුරෝගාමී සේවයේ යෙදෙන්න කැමති සියල්ලන්ට ආරාධනාවක් ඉදිරිපත් කරලා තිබුණා. මම එවෙලේම මගේ කැමැත්ත පළ කළා. මට 1939 මැයි මාසයේදී පැවරුමක් ලැබුණා. ඒ බ්‍රසීලයට!

ඒ කාලයේදී මම රැස්වීම් ගියේ බෙතෙල් ගොවිපොළ ළඟ තිබුණු තන් කියන සභාවටයි. ඉරිදා දිනවලදී සභාවේ කිහිපදෙනෙක් ඇල්ප්ස් කඳුකරයට ගියා දේශනා කරන්න. බයිසිකලයෙන් යද්දී එහෙට යන්න පැය දෙකක් ගත වුණා. අපි සමඟ හවුල් වුණ එක්කෙනෙක් තමයි මාර්ගරීටා ස්ටයිනර්. මට එකපාරටම අදහසක් ආවා. යේසුස් ඔහුගේ ගෝලයන්ව පිටත් කර යැව්වේ දෙන්නා බැගින් නේද? ඉතිං, මට බ්‍රසීලයට පැවරුමක් ලැබුණා කියලා මම නිකම් මාර්ගරීටාට කියලා බැලුවා. ඊට පස්සේ, අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කරන්න එයත් කැමතියි කියලා එයා මට කිව්වා. අපි දෙන්නා 1939 ජූලි 31 වෙනි දා විවාහ වුණා.

අනපේක්ෂිත බාධක

අපි 1939 අගෝස්තු අගභාගයේදී, ප්‍රංශයේ ලෙ ආවීර් සිට බ්‍රසීලයේ සැන්ටස් දක්වා වූ නැව් ගමන ආරම්භ කළා. අපි දෙන්නට ඉන්න වුණේ වෙනම නැව් කුටි දෙකකයි. ගමන යන අතරතුරේදී ආරංචි වුණා මහ බ්‍රිතාන්‍යයයි ප්‍රංශයයි ජර්මනියට විරුද්ධව යුද ප්‍රකාශයක් කර තිබුණු බව. ඒක ඇසූ ජර්මන් ජාතික මඟීන් 30දෙනෙක් විතර ජර්මානු ජාතික ගීය ගයන්න පටන්ගත්තා. නැවේ කපිතාන්වරයාට කොයිතරම් කේන්ති ගියාද කිව්වොත් ඔහු ගමන් මඟ වෙනස් කරලා මොරොක්කෝවේ සැෆයි තටාකය වෙතට නැව ගෙන ගියා. ජර්මන් ගමන් බලපත්‍ර තිබූ මඟීන්ට විනාඩි පහක් ඇතුළත නැවෙන් බහින්න කිව්වා. ඉතිං අපටත් බහින්න වුණා.

මුළු දවසක්ම අපිව පොලිස් ස්ථානයේ තියාගත්තා. ඊට පස්සේ අපිව පරණ බස් එකකට පටවලා කිලෝමීටර් 140ක් ඈත මාරාකේෂ්හි සිර ගෙදරට ගෙන ගියා. අපි එහි ගත කළ දවස් කිහිපය හරිම දුෂ්කරයි. අපේ සිරකුටිවල සිරකරුවන් පිරිලා හිටියා. ඒවා කට්ට කළුවරයි. සියලුදෙනාටම පාවිච්චි කරන්න වුණේ එකම වැසිකිළියයි. වැසිකිළිය හැටියට පාවිච්චි කළේ බිම හාරා සකස් කර තිබුණ වළක්! කොයි වෙලේ බැලුවත් වළ පිරිලා තිබුණා. අපි හැමෝටම අපිරිසිදු ගෝණියක් දුන්නා. ඒකේ තමයි අපි නිදාගත්තේ. රෑට මීයෝ අපේ කකුල් විකා කෑවා. අපිට දවසට දෙපාරයි කෑම ලැබුණේ. එය බෙදා දුන්නේ මලකඩ බැඳුණු ටින් බඳුනකටයි.

හමුදා නිලධාරියෙක් මට කිව්වා ප්‍රංශ විදේශ හමුදාවේ අවුරුදු පහක් සේවය කරන්න එකඟ වුණොත් මාව නිදහස් කරනවායි කියලා. මම ඒක ප්‍රතික්ෂේප කරපු හින්දා මට පැය 24ක්ම වචනවලින් විස්තර කරන්න බැරි ජරා තැනක ඉන්න වුණා. මම එතන ඉද්දී වැඩියෙන්ම කළේ යාච්ඤා කරන එකයි.

දවස් අටකට පස්සේ නැවතත් මාර්ගරීටාව දැකගන්න මට සිරගෙයි නිලධාරීන් අවසර දුන්නා. හොඳටම කෙට්ටු වෙලා හිටිය ඇය ඉකි ගගා ඇඬුවා. මං පුළුවන් තරම් ඇයව දිරිගන්වන්න වෑයම් කළා. අපෙන් ප්‍රශ්න වැලක් ඇහුවාට පස්සේ දුම්රියෙන් අපව යැව්වා කැසබ්ලැන්කාවලට. එහිදී මාර්ගරීටාව නිදහස් කළා. එතැනින් කිලෝමීටර් 180ක් ඈතින් තිබූ ලයෝටේ (දැන් කෙනිට්‍රා) වරාය අසල තිබූ සිර කඳවුරකට මාව යැව්වා. ස්විට්සර්ලන්තයේ තානාපති මාර්ගරීටාට අවවාද කළේ නැවතත් ස්විට්සර්ලන්තයට යන්න කියායි. හැබැයි ඇය මාව දාලා ගියේ නැහැ. මම ලයෝටේ වරායේ සිටි මාස දෙකේදී ඇය දිනපතාම කැසබ්ලැන්කාහි සිට කෑමත් රැගෙන මාව බලන්න එතැනට ආවා.

ඊට අවුරුද්දකට කලින් තමන් නාට්සි පාලනයට සම්බන්ධ නොවන බව පැහැදිලි කිරීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් පොතක් (ක්‍රිස්තියානි ධර්මයට එරෙහිව කුරුස යුද්ධයක් [සිංහලෙන් නැත]) මුදාහැර තිබුණා. මම සිර කඳවුරේ සිටිද්දී බර්න්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය ප්‍රංශ බලධාරීන්ට ලිපියක් යැව්වා. අපි නාට්සිවරුන් නොවන බව ඔප්පු කිරීමට එම පොතේ පිටපතක්ද එහි ඇතුළත් කර තිබුණා. මාර්ගරීටාත් සෑහෙන වෙහෙසක් දැරුවා රජයේ නිලධාරීන් වෙතට ගිහින් මගේ නිර්දෝෂ බව ඔප්පු කරන්න. අන්තිමට 1939 අගභාගයේදී තමයි අපට මොරොක්කෝවෙන් පිට වෙන්න අවසර ලැබුණේ.

බ්‍රසීලයට යන්න පටන්ගත්තායින් පසුවයි අපි දැනගත්තේ ජර්මන් සබ්මැරීන අත්ලන්තික් සාගරයේ නැව්වලට ප්‍රහාර එල්ල කරන බව. ඒ විතරක් නෙවෙයි, අපි තමයි ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වෙලා තිබුණේ! අප ගමන් කරමින් සිටියේ ජමෙයික් නම් වූ වෙළඳ නැවකයි. ඒත් නැවේ ඉදිරි හා පසු කෙළවරවල අවි සවි කරලයි තිබුණේ. කපිතාන්වරයා දවස පුරාම නැව කෙළින් යාත්‍රා නොකර සිග් සැග් ක්‍රමයට යාත්‍රා කළා. ඒ වගේම ඔහු ෂෙල් වෙඩිවලින් නොනවත්වාම පහර දුන්නා. රෑ බෝ වුණ ගමන්ම ජර්මානුවන්ට අපව දැකගත නොහැකි වන සේ විදුලි පහන් සියල්ලම නිවා දැමුවා. අපි අන්තිමට යුරෝපයෙන් පිට වී ගොස් මාස පහකට පස්සේ, එනම් 1940 පෙබරවාරි 6වන දා බ්‍රසීලයේ සැන්ටස් වරායට පැමිණෙද්දී අපිට දැනුණේ මොනතරම් සතුටක්ද!

නැවතත් සිර කූඩුවේ

අපි මුලින්ම දේශනා කරන්න ගියේ රියෝ ග්‍රෝන්ඩ් ඩො සුල් නම් බ්‍රසිලියානු ජනපදයේ දකුණු ප්‍රදේශයේ පිහිටි නගරයක් වන මොන්ටිනෙගෘවලටයි. අපේ පැමිණීම ගැන පල්ලියේ නිලධාරීන්ට දැනුම් දීලා තිබුණ බව පැහැදිලියි. අපිට දේශනා සේවයේ යෙදෙන්න ලැබුණේ පැය දෙකයි. පොලිස් භටයන් ඇවිල්ලා අපිව අත්අඩංගුවට අරගෙන, තැටිගත කර තිබූ අපේ බයිබල් දේශනා, අපේ පොත් පත් හා මොරොක්කෝවෙන් අපි අරගෙන තිබුණ ඔටු සම්වලින් සෑදූ පොත් බෑග් පවා රාජ්‍ය සන්තක කළා. පූජකයෙක් හා ජර්මන් භාෂාව කතා කරන ඇමතිවරයෙක් පොලිස් ස්ථානයේ අපි එනකම් බලා හිටියා. පොලිසියේ ප්‍රධානියා සහෝදර රදෆඩ්ගේ තැටිගත කළ කතාවක් වාදනය කළේ රාජ්‍ය සන්තක කර තිබූ අපේම ශබ්ද විකාශන යන්ත්‍රයෙනුයි. පූජකයාත් ඇමතිවරයාත් එයට සවන් දුන්නා. සහෝදර රදෆඩ් දේවල් වටින් ගොඩින් කියපු කෙනෙක් නම් නෙමෙයි! කතාවේ වතිකානුව ගැනත් සඳහන් කරලා තිබුණා. ඒ කොටස අහද්දී පූජකයාට හොඳටම කේන්ති ගිහින් කාමරයෙන් එළියට ගියා.

සැන්ටා මරියාහි බිෂොප්වරයාගේ ඉල්ලීම පිට අපව මාරු කළේ අගනුවර වන පෝටෝ ඇලෙග්‍රිවලටයි. මාර්ගරීටාව ඉක්මනින්ම නිදහස් කළා. ඇය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ උපකාර පැතුවාම තානාපති ඇයට අවවාද කළේ නැවත ස්විට්සර්ලන්තයට යන්න කියායි. මේ වතාවේදීත් මාව අත්හැර යන්න ඇය අකමැති වුණා. මාර්ගරීටා හැමදාමත් මට පක්ෂපාත සහකාරියක් වී තිබෙනවා. දින තිහක් ගත වුණාට පසුව මගෙන් ප්‍රශ්න ගණනාවක් අසා නිදහස් කළා. පොලිසිය අපට තේරීමක් කරන්න කිව්වා. ඔවුන් පැවසුවේ දින දහයක් ඇතුළත එම ජනපදයෙන් පිට වෙන්න, නැත්නම් අපට “විඳවන්න සිදු වෙයි” කියායි. එක්සත් ජනපදයේ අපේ ප්‍රධාන මූලස්ථානයේ උපදෙස් පරිදි අපි රියෝ ඩි ජැනීරෝ බලා පිටත් වුණා.

“කරුණාකර මේ කාඩ්පත කියවන්න”

අපි මෙලෙස කරදර මැද්දේ බ්‍රසිලියානු ක්ෂේත්‍රයට පිවිසුණත් අපිට කොයිතරම් ප්‍රීතියක්ද දැනුණේ! අපේ ජීවිතයට කිසිම හානියක් වුණේ නැහැ. බෑග්වල නැවතත් පොත් පත් පුරවාගෙන සිටි අපිට ප්‍රස්තාව ලැබුණා මුළු රියෝ ඩි ජැනීරෝ නගරය පුරාම දේශනා කරන්න. නමුත් ප්‍රශ්නයක් තිබුණා. පෘතුගීසි භාෂාව ගැන අපිට තිබුණේ සීමිත දැනුමක්. ඉතිං දේශනා කරන්නේ කොහොමද? කාඩ්පතක් මාර්ගයෙන්. දේශනා සේවයේ භාවිත කිරීම සඳහා අපි මුලින්ම ඉගෙනගත්ත පෘතුගීසි යෙදුම තමයි “පෝර් ෆාවෝර් ලේ එස්ටෙ කාර්ටෞන්” (“කරුණාකර මේ කාඩ්පත කියවන්න”). එම කාඩ්පත යොදා දේශනා කිරීම කොයිතරම් සාර්ථක වුණාද! මාසයක් ඇතුළත අපි පොත් 1000කට වඩා බෙදාහැරියා. පොත් පත් ලබාගත්ත බොහෝදෙනෙක් පසුව සත්‍යය වැලඳගත්තා. ඇත්තෙන්ම කියනවා නම්, අපිට වඩා බොහෝසෙයින් ඵලදායී සාක්ෂියක් දුන්නේ අපේ ප්‍රකාශනයි. උනන්දුව දක්වන අයට කොහොමහරි අපේ ප්‍රකාශන ලැබෙන්න සැලැස්වීමේ ඇති වැදගත්කම මට මෙයින් කාවැදුණා.

ඒ කාලයේදී රියෝ ඩි ජැනීරෝ බ්‍රසීලයේ අගනුවරයි. රජයේ ගොඩනැඟිලිවල සේවය කළ අය අපේ පණිවිඩයට විශේෂයෙන්ම හොඳ ප්‍රතිචාරයක් දැක්වූවා. මුදල් කටයුතු භාරව සිටි ඇමතිට හා අවි සන්නද්ධ හමුදා භාරව සිටි ඇමතිට පෞද්ගලිකව දේශනා කරන්න මට ප්‍රස්තාව ලැබුණා. ඒ අවස්ථාවලදී මම පැහැදිලිව අද්දැක්ක දෙයක් තමයි යෙහෝවාගේ ආත්මයේ මඟ පෙන්වීම මට ලැබුණා කියන එක.

රියෝ ඩි ජැනීරෝහි වෙළඳ මංසන්ධියක දේශනා කරමින් සිටි අවස්ථාවකදී මම විනිශ්චය මන්දිරයට ඇතුල් වුණා. මං දන්නේම නැතුව ඇතුල් වෙලා තිබුණේ කළු ඇඳුම්වලින් සැරසුණු මිනිසුන්ගෙන් වට වූ කාමරයකටයි. මම හිතුවේ එතැන අවමඟුල් උත්සවයක් පවත්වනවා කියා. මං වැදගත් පෙනුමක් ඇති මිනිහෙක් ගාවට ගිහින් මගේ කාඩ්පත පෙන්නුවා. බලං ගියාම එතැන පවත්වමින් හිටියේ අවමඟුල් උත්සවයක් නෙවෙයි. මම නඩු විභාගයක් පවත්වන අතරතුර එයට බාධා කර තිබුණා. මම කතා කරමින් සිටියේ විනිසුරු එක්කයි! ඔහු හිනා වෙවී ආරක්ෂක භටයන්ට කිව්වා කලබල වෙන්න එපා කියා. ඔහු ආශාවෙන් දරුවෝ * කියන පොතේ පිටපතක් අරගෙන ඒකට සම්මාදම් කළා. මම කාමරයෙන් පිටත් වෙනකොට ආරක්ෂක භටයන් මට දොරේ තිබුණ දැන්වීමක් පෙන්නුවා. එකේ පැහැදිලි අකුරින් ලියා තිබුණේ ප්‍රෝඉබීඩා එන්ට්‍රාඩ ඩ පෙසෝආස් එස්ට්‍රාන්වාස් (අමුත්තන්ට ඇතුල් වීම තහනම්) කියායි.

තවත් ඵලදායී ක්ෂේත්‍රයක් වුණේ වරායයි. එක් වතාවකදී මට නාවිකයෙක්ව හමු වුණා. ඔහු තම මුහුදු ගමන් ආරම්භ කරන්න කලින් මගෙන් සඟරා පොත් පත් ලබාගත්තා. පස්සේ කාලෙක අපිට ඔහුව මුණගැසුණේ අපේ එක්රැස්වීමකදීයි. ඒ වන විට ඔහුගේ මුළු පවුලම සත්‍යය පිළිගෙනයි තිබුණේ. ඔහුත් හොඳ ප්‍රගතියක් ලබමින් සිටියා. අපි ඒ ගැන ගොඩක් සතුටු වුණා.

අපිට ගැටලු නොතිබ්බාම නොවෙයි. මාස හයකට ලැබුණ වීසා එක ඉකුත් වී ගිය පසු අපි හිතුවේ අපිව පිටුවහල් කරාවි කියා. අපේ තත්වය ගැන එක්සත් ජනපදයේ ප්‍රධාන මූලස්ථානයට ලියා දැන්නුවා. ඊට පස්සේ, අපේ වෑයම අත් නොහරින්න කියා පවසමින් සහෝදර රදෆඩ් ඉතා ප්‍රේමණීය ලිපියකින් අපිව දිරිගැන්නුවා. ඔහු ලිපියේ අපිට කියා තිබුණා අපි මොකක්ද කළ යුත්තේ කියා. අපේ කැමැත්ත වුණේ දිගටම බ්‍රසීලයේ සිටින්නයි. ඉතිං නීතිඥයෙකුගේ උපකාරය ඇතුව 1945දී ස්ථිර වීසා එකක් ලබාගන්න අපිට පුළුවන් වුණා.

දීර්ඝ පැවරුමක්

ඊට කලින්, 1941දී අපේ පුතා ජොනතන්, 1943දී රූත් දුව හා 1945දී එස්තර් දුව ඉපදුණා. අපේ පවුලේ ඕනෑ එපාකම් බලාගැනීම සඳහා මම රැකියාවක් සොයාගත්තා. අපේ තුන්වෙනි දරුවාගේ උපත වෙනකම්ම මාර්ගරීටා පූර්ණ කාලීනව දේශනා සේවයේ නියැලුණා.

අපි මුලදී ඉඳන්ම දේශනා සේවයේ යෙදුණේ පවුලක් හැටියටයි. අපි වෙළඳ මංසන්ධිවල, දුම්රිය පොළවල්වල, වීථිවල හා ව්‍යාපාරික ස්ථානවල දේශනා කළා. අපි සෙනසුරාදා රාත්‍රිවලදී බෙදාහැරියේ මුරටැඹ හා පිබිදෙව්! සඟරායි. ඒ අවස්ථාවලදී අපි විශේෂ ප්‍රීතියක් අද්දැක්කා.

ගෙදරදී, සෑම දරුවෙකුටම කරන්න වැඩ කොටසක් පවරලා තිබුණා. ජොනතන්ට දීලා තිබුණේ ලිපයි කුස්සියයි සුද්ද කරන්න. දියණියන් ශීතකරණය සුද්ද කළා, මිදුල අතු ගෑවා, අපේ සපත්තු මැදලා දුන්නා. දේවල් පිළිවෙළකට සැලසුම් කරගන්නයි, මුල් පියවර අරගෙන යමක් කරන්නයි මේ මගින් ඔවුන් ඉගෙනගත්තා. අද අපේ දරුවන් කඩිසරව වැඩ කරමින් ඔවුන්ගේ නිවෙස් හා ඔවුන්ට අයිති අනිත් දේවල් පිළිවෙළකට තබාගන්නවා. මාර්ගරීටාටයි මටයි මේ ගැන දැනෙන්නේ ලොකු සතුටක්.

රැස්වීම්වලදීත් දරුවන් හොඳින් හැසිරෙන බවට අපි වගබලා ගත්තා. ඔවුන් වතුර බොන්න ගියේ, වැසිකිළිය පාවිච්චි කළේ රැස්වීම් පටන්ගන්න කලින්. රැස්වීම් වෙලාවේදී ජොනතන් මගේ වම් පැත්තෙන් හා රූත් මගේ දකුණු පැත්තෙන් ඉඳගෙන හිටියා. රූත්ගේ එහා පැත්තෙන් ඉඳගෙන හිටියේ මාර්ගරීටා. මාර්ගරීටාගේ දකුණු පැත්තෙන් ඉඳගෙන හිටියේ එස්තර්. මේකෙන් දරුවන්ට පුළුවන් වුණා චූටි කාලේ ඉඳන්ම රැස්වීම්වලට අවධානය දීලා ආත්මික ආහාරවලින් ප්‍රයෝජන ගන්න.

යෙහෝවා අපේ වෑයම්වලට ආශීර්වාද කරලා තිබෙනවා. අපේ සෑම දරුවෙක්ම සිටින්නේ විශ්වාසවන්තව හා ප්‍රීතියෙන් යෙහෝවාට සේවය කරමින් හා දේශනා සේවයේ හවුල් වෙමිනුයි. ජොනතන් දැන් රියෝ ඩි ජැනීරෝහි නෝවූ මායර් සභාවේ වැඩිමහල්ලෙක් ලෙස සේවය කරනවා.

අපේ දරුවන් සියලුදෙනාම 1970 වන විට විවාහ වෙලා ගෙදරින් පිට වී තිබුණා. ඒ හින්දා මායි මාර්ගරීටායි තීරණය කළා අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට පදිංචිය මාරු කරන්න. අපි මුලින්ම ගියේ පෝසස් ඩි කාල්ඩාස්වලටයි. එය තිබෙන්නේ මීනා ෂැරිස් ජනපදයේ. අපි එහෙට යද්දී එහේ තිබුණේ රාජ්‍ය ප්‍රකාශකයන් 19දෙනෙක් ඉන්න කුඩා කණ්ඩායමක් විතරයි. ඔවුන් රැස්වීම් පැවැත්වූ ස්ථානය දැකලා මම පුදුමයට පත් වුණා. ගොඩනැඟිල්ලක යටි මහලක තිබුණ ඒ කාමරයේ එක ජනේලයක්වත් තිබුණේ නැහැ. ඒකේ අලුත්වැඩියා කරන්න සෑහෙන්න දේවල් තිබුණා. අපි ඉක්මනටම වඩා සුදුසු ස්ථානයක් සෙව්වා. ඊට පස්සේ, හොඳ පිහිටීමක් තිබුණ ප්‍රියමනාප ගොඩනැඟිල්ලක් අපිට සම්බ වුණා. ඒකෙන් කොයිතරම් වෙනසක් ඇති වුණාද! අවුරුදු හතරහමාරකින් පසුව ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව 155 දක්වා ඉහළ නැග්ගා. අපි 1989දී ගියේ රියෝ ඩි ජැනීරෝහි අරාරූරාම කියන ප්‍රදේශයටයි. එහෙදී අපි අවුරුදු නවයක් සේවය කළා. එහි සේවය කළ කාලය තුළදී අලුත් සභා දෙකක් පිහිටවනු ලැබුවා.

අපේ පැවරුම අත් නොහැරීමෙන් ලද ආශීර්වාද

සෞඛ්‍ය ගැටලු හින්දයි අපේ දරුවන් ළඟ සිටින්න ආශාවක් ඇති වුණ හින්දයි අපි 1998දී රියෝ ඩි ජැනීරෝහි සාඋන් ගොන්සාලූවලට ගියා. මම තාමත් සභා වැඩිමහල්ලෙක් හැටියට සේවය කරනවා. අපි උපරිම වෑයමක් දරනවා නිතිපතා දේශනා සේවයේ හවුල් වෙන්න. ළඟපාත තිබෙන වෙළඳ සැලට එන අයට සාක්ෂි දරන්න මාර්ගරීටා හරිම කැමතියි. සභාවත් ඉතා කාරුණික ලෙස අපේ ගෙවල් ළඟම තිබෙන ප්‍රදේශයක් අපිටම වෙන් කරලා දීලා තිබෙනවා. ඒකෙන් අපිට වඩාත් පහසු වෙලා තිබෙනවා අසනීපයක් නැති දවස්වලදී දේශනා සේවයේ යෙදෙන්න.

මාර්ගරීටායි මායි දැන් අවුරුදු 60කට වඩා වැඩි කාලයක් පුරා යෙහෝවාට කැප වී සේවය කරනවා. අපි පෞද්ගලිකව අද්දැකලා තියෙනවා “ආණ්ඩුවලටවත්, දැන් තිබෙන දේවල්වලටවත්, පැමිණෙන්න තිබෙන දේවල්වලටවත්, බලයන්ටවත්, උසටවත්, ගැඹුරටවත්, වෙන කිසි මැවිල්ලකටවත්, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් තුළ තිබෙන දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ නොහැකි බව.” (රෝම 8:38, 39, NW) දෙවිගේ අලංකාරවත් මැවිලිවලින් වට වූ පරිපූර්ණ ලොවක සදාකාල ජීවනය භුක්ති විඳීමට නියමිත ‘වෙනත් බැටළුවන්ගේ’ එක්කාසු කිරීම දැකගන්න ලැබීමත් මොනතරම් සතුටක්ද! (යොහන් 10:16) අපි 1940දී රියෝ ඩි ජැනීරෝට පැමිණෙන විට තිබුණේ ප්‍රචාරකයන් 28න් යුත් එකම එක සභාවයි. අද එහි සභා 250ක් විතර තිබෙන අතර රාජ්‍ය ප්‍රචාරකයන් 20,000කට වැඩිය සිටිනවා.

යුරෝපයේ සිටින අපේ පවුලේ අය වෙතට නැවත යන්න ඕන තරම් අවස්ථා තිබුණා. නමුත් යෙහෝවා අපට පැවරුම දුන්නේ බ්‍රසීලයටයි. අපි අපේ පැවරුම අත්හැරියේ නැති එක ගැන අපි කොයිතරම් සතුටු වෙනවාද!

[පාදසටහන්වල]

^ 11 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් කලින් ප්‍රකාශයට පත් කළ නමුත් දැන් මුද්‍රණය නොකෙරේ. (සිංහලෙන් නැත)

^ 12 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් කලින් ප්‍රකාශයට පත් කළ නමුත් දැන් මුද්‍රණය නොකෙරේ. (සිංහලෙන් නැත)

^ 33 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කෙරිණ. දැන් මුද්‍රණය නොකෙරේ. (සිංහලෙන් නැත)

[21වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1930 අගභාගයේදී ස්විට්සර්ලන්තයේ ෂ්ටෙෆිස්බර්ග්හි බෙතෙල් ගොවිපොළේ (මම, වම් කෙළවරේ)

[23වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1939දී අපේ විවාහ මංගල්‍යයට ටික කලකට පෙර

[23වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1940 ගණන්වලදී කැසබ්ලැන්කා

[23වන පිටුවේ පින්තූරය]

පවුලක් හැටියට දේශනා සේවයේ යෙදෙමින්

[24වන පිටුවේ පින්තූරය]

අද අපි නිතිපතා දේවසේවයේ හවුල් වන හැටි