Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

සුළු මුදලකට වුවත් ඔට්ටු ඇල්ලීම වරදක්ද?

දේවවචනය තුළ සූදුව සම්බන්ධයෙන් වැඩි යමක් සඳහන් වන්නේ නැතත්, සියලුම සූදු කෙළීම් බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි බව පෙන්වීමට එහි පවසා ඇති දේ ප්‍රමාණවත්ය. * උදාහරණයකට සූදුව මගින් තණ්හාවක් නැතහොත් කෑදරකමක් ඇති කරන බව බහුතරයක් පිළිගෙන තිබේ. “තණ්හා ඇති අයට” දෙවිගේ රාජ්‍යය උරුම නොවනු ඇති බවත්, තණ්හාව රූප වැඳීමකට සමාන බවත් බයිබලයේ පවසන නිසා ක්‍රිස්තියානීන් එම කාරණය සලකා බැලීම වැදගත් වේ.—1 කොරින්ති 6:9, 10, NW; කොලොස්සි 3:5.

සූදුවෙන් මමත්වය මෙන්ම ජයග්‍රහණය කිරීමට බලවත් ආශාවක් වන නුසුදුසු තරඟකාරිත්වයක්ද ඇති කරයි. ප්‍රේරිත පාවුල් එවැනි දේවලට එරෙහිව මෙසේ අනතුරු ඇඟවීය. “අපි මමත්වයෙන් ක්‍රියා නොකර, එකිනෙකා සමඟ තරඟ නොඅවුස්සා, එකිනෙකාට ඊර්ෂ්‍යා නොකර සිටිමු.” (ගලාති 5:26, NW) තවදුරටත්, මිථ්‍යා විශ්වාසයක් ඇති කරගෙන වාසනාව මත රඳා සිටීමට සූදුව ඇතැම් අයට දිරි දෙයි. තමන්ගේ වාසනාව පාදාගැනීමේ බලාපොරොත්තුවෙන් සූදු කෙළින්නෝ සියලු ආකාරයේ මිථ්‍යා විශ්වාසයන් ඇති කරගනිති. ඔවුන් නිසා අපට මතක් වන්නේ ‘යෙහෝවා වන මා අත්හැර, මාගේ ශුද්ධ කන්ද අමතක කර, වාසනාවේ දේවතාවී වන ගාද්ට මේසයක් පිළියෙළ කර, දෛවයේ දේවතාවී වන මේනීට බඳුන් පුරවා, මිදියුෂ ඔප්පු කරන’ නොඇදහිලිවන්ත ඊශ්‍රායෙල්වරුන්ය.—යෙසායා 65:11, නව අනුවාදය.

නෑදෑයන් හෝ කිට්ටු මිතුරන් සමඟ කාඩ් හෝ කැරම්, චෙස් හා දාන් වැනි සුහද ක්‍රීඩාවල යෙදෙන විට සුළු මුදලකට ඔට්ටු ඇල්ලීම අහිංසක විනෝදයක් පමණයි කියා සමහරෙකු හේතු දැක්විය හැක. පුංචි මුදලකට ඔට්ටු අල්ලන කෙනෙක් තමන් කෑදර, මමත්වයෙන් ක්‍රියා කරන, තරඟකාරී හෝ මිථ්‍යාදෘෂ්ටික කෙනෙකු හැටියට තමන් ගැන නොසිතන බව සැබෑවකි. එහෙත්, ඔහු සමඟ සූදුවේ නියැලෙන අනිත් අය කෙරෙහි ඔහු කුමන බලපෑමක් ඇති කළ හැකිද? සූදුවට ඇබ්බැහි වූ බොහෝදෙනෙකු එය පටන්ගත්තේ ‘නිකම් සෙල්ලමට වගේ’ සුළුවෙනි. (ලූක් 16:10) ඔවුන්ගේ අහිංසක විනෝදය භයානක සෙල්ලමක් බවට පත් වී ඇත.

දරුවන් ගැන කල්පනා කරන විට මෙය විශේෂයෙන්ම සැබෑවකි. පුංචි ඔට්ටුවක් අල්ලා දිනීමෙන් උද්දාමයට පත් වන බොහෝ දරුවන් විශාල මුදලකට ඔට්ටු ඇල්ලීමට පෙලඹී ඇත. (1 තිමෝති 6:10) ඇරිසෝනා කවුන්සලය මගින් එක්සත් ජනපදයේදී කරන ලද දිගු-කාලීන අධ්‍යයනයකින් තහවුරු කළේ සූදුවට ඇබ්බැහි වන බොහෝදෙනෙකු මුලින්ම ඔට්ටු අල්ලන්නේ සුළු මුදලකට බවයි. මුලින්ම ඔවුහු තම “මිත්‍රයන් හෝ නෑදෑයන් සමඟ ක්‍රීඩාවන්වල යෙදෙන විට හෝ කාඩ් සෙල්ලම් කරන විට සුළු මුදලකට ඔට්ටු අල්ලති.” තවත් වාර්තාවක පවසන්නේ “දරුවන් සාමාන්‍යයෙන් සූදුව පටන්ගන්නේ පවුලේ සාමාජිකයන් හා මිත්‍රයන් සමඟ නිවසේදී කාඩ් සෙල්ලම් කිරීමෙන්” බවයි. “සූදුවේ නියැලුණ ළමුන්ගෙන් සියයට 30ක් එය අරඹා ඇත්තේ ඔවුන්ගේ එකොළොස්වන උපන් දිනයටත් පෙරය” කියා එම වාර්තාව තවදුරටත් පවසයි. ජනයා මෙතරම් සූදුවේ නියැලීමට හේතු—සූදුවට ඇබ්බැහි වීමේ ගැටලුව (සිංහලෙන් නැත) යන අධ්‍යයනයට අනුව, සූදුවේ නියැලෙන නහඹරයන් බොහෝදෙනෙකු තම ඇබ්බැහිය සඳහා මුදල් උපයාගන්නේ අපරාධවල හෝ දුරාචාරයේ යෙදෙමිනි. මුලින් හානි රහිතයයි පෙනෙන දෙයින් ඇති වන්නේ මොනතරම් ඛේදජනක ප්‍රතිඵලද!

අප වෙසෙන්නේ මලපත් හා පරීක්ෂාවන් බොහොමයක් තිබෙන ලෝකයක බැවින්, අප අනවශ්‍ය ලෙස අපවම තවත් පරීක්ෂාවකට නිරාවරණය කරගන්නේ මන්ද? (හිතෝපදේශ 27:12) දරුවන් ළඟ සිටින හෝ නොසිටින විට වේවා, සුළු හෝ විශාල මුදලකට වේවා සූදුවේ නියැලීම ආත්මිකත්වයට තර්ජනයක් වන බැවින් ඉන් වැළකිය යුතුය. විනෝදයට කැරම්, දාන්, චෙස් වැනි ක්‍රීඩා හෝ කාඩ් සෙල්ලම් කරන ක්‍රිස්තියානීන් ලකුණු සටහන් කරගැනීමට පමණක් සීමා වෙනවා නම් එසේත් නැතහොත් ලකුණු නොදමා සෙල්ලම් කරනවා නම් වඩා සුදුසුයි. තමන්ගේ මෙන්ම තම මිතුරන්ගේ හා පවුලේ සාමාජිකයන්ගේ ආත්මිකත්වය ගැන සැලකිලිමත් වන නැණවත් ක්‍රිස්තියානීහු සූදුවෙන් වැළකී සිටිති. අඩුම තරමින් සුළු මුදලකට හෝ එසේ නොකරති.

[පාදසටහන]

^ 3 ඡේ. වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා සූදුව නිර්වචනය කරන්නේ “සෙල්ලමක, තරඟයක හෝ අහඹු සිදුවීමක අවසාන ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඔට්ටු ඇල්ලීමක්” වශයෙනි. “ලොතරැයි, කාඩ් සෙල්ලම් සහ දාදු කැට ක්‍රීඩාව වැනි ක්‍රීඩාවල යෙදෙමින් . . . සූදු කෙළින්නෝ හෝ ක්‍රීඩා කරන්නෝ සාමාන්‍යයෙන් මුදල්වලට ඔට්ටු අල්ලති” කියා එහි තවදුරටත් පවසයි.